2. සඞ්ඝාදිසේස යැ යි යමක් කියන ලද ද, එය අසව. කිසේ යැ යත්: සඞ්ඝයා ම පිරිවෙස් දෙයි. මූලායපටිකස්සන කර්‍මය කෙරෙයි. මානත දෙයි. අබ්භාන කර්‍මය කෙරේ. (සඞ්ඝයා මුල මැද අග යන තුන් තැන ම කැමති විය යුතු ය යන) ඒ අර්‍ත්‍ථයෙන් තෙල ඇවැත සඞ්ඝාදිසේස යැ යි කියනු ලැබේ.
3. අනියත යැ යි යමක් කියනලද ද, එය අසව. කිසේ යැ යත්: නියත නැත්තේ අනියත නමි. නියම නො කරණ ලද සිකපද යයි. (පරිජි-සඟවෙසෙස්-පචිති යන) තුන් ඇවතින් එක්තරා ඇවැතකට පැමිණේ ද, (එහෙයින්) අනියත යැ යි කියනු ලැබේ.
4. ථුල්ලච්චය යැ යි යමක් කියන ලද ද, එය අසව. කිසේ යැ යත්: යමෙක් එකක්හුගේ සමීපයෙහි ඇවැත් දෙසයි ද, යමෙකුත් එය පිළිගණී ද එය හා සම වූ (අන් දේසනාගාමිනී) ඇවැතෙක් නැත් ද, එහෙයින් තෙල ථුල්ලච්චය යි කියනු ලැබේ.
5. නිස්සග්ගිය යැ යි යමක් කියන ලද ද, එය අසව. කිසේ යැ යත්: සඟමැද හෝ ගණමැද හෝ එකක්හු වෙතැ හෝ එක් වැ නිසදා ඇවැත් දෙසා ද, එබැවින් තෙල නිස්සග්ගියැ යි කියනු ලැබේ.
6. පාචිත්තිය යි යමක් කියන ලද ද, එය අසව. කිසේ යැ යත්: කුසලචිත්තය හෙළා ද ආර්‍ය්‍යමාර්‍ගය වරදවා ද සිත මුළාකිරීමට කරුණු වේ ද, එබැවින් තෙල පාචිත්තිය යි කියනු ලැබේ.
7. පාටිදේසනීය යැ යි යමක් කියන ලද ද, එය අසව. කිසේ යැ යත්: භික්‍ෂු තෙම නොනෑ වූයේ දුකසේ ලද තැනැත්තියගේ බොජුනක් තෙමේ ගෙණ වළඳනේ ද ඒ ගර්‍හා කටයුතු යැ යි කියනු ලැබේ.
8. නිමන්ත්‍රණයන්හි වළඳන්නහු එහි දී මෙහෙණක් තොමෝ රුචියෙන් (“ඉධ ඕදනං දෙථ” යනාදීන්) විධාන කෙරේ නම් එහි දී (“අපසක්ක තාව භගිනී” යනාදීන්) නො වළකා වළඳන්නේ වේ ද ඒ ගර්‍හා කටයුතු යයි කියනු ලැබේ.
9. ස්වල්ප සම්පත් ඇති නැළියකට වඩා වී නැති දිළිඳු වූ සැදැහැසිත් ඇති සේඛ කුලයකට ගොස් නො ගිලන් වැ එහි වළඳා නම් ගර්‍හා කටයුතු යයි කියනු ලැබේ.
10. යම් මහණෙක් සැකසහිත වූ බියසහිත වූ වනයෙහි ඉදින් වසන්නේ එහි දී පෙරැ නො දන්වන ලද භෝජනය අනුභව කෙරේ නම් ගර්‍හා කටයුතු යයි කියනු ලැබේ.
11. මෙහෙණක් තොමෝ නොනෑ වූවා අනුන් විසින් මමත්‍වය කරණලද ගිතෙල් තෙල් මී පැණි දියමස් ගොඩමස් කිරි දිහි තොමෝ විනවා පරිභෝග කෙරේ නම් බුදුසසුන්හි ගැරහියයුතු බවට පැමිණියා වෙයි.
12. දුක්කට යැ යි යමක් වදාරණ ලද ද, එය අසව කිසේ යැ යත්: නපුරු කොට කරණලද්දෙක් වරදවා කරණලද්දෙක් පමාදොසෙක් යම් (එබඳුවූ) දුෂ්කෘතයෙක් වේ ද,
13. මිනිස් තෙම එළියෙහි හෝ රහස්හි හෝ යම් පවක් කරන්නේ (එය) දුක්කට යැ යි (නුවණැත්තෝ) පවසත් ද, එහෙයින් මෙය දුක්කට යැ යි කියනු ලැබේ.
14. දුබ්භාසිත යැ යි යමක් කියන ලද ද, එය අසව, කිසේ යැ යත්: යම් හෙයකින් නපුරු කොට කියනලද සකිළිටු වූ යම්බඳු වචනයකට දුඛභාසිත යැ යි නුවණැත්තෝ ගරහත් ද, එහෙයින් මෙයද දුබ්භාසිත යැ යි කියනු ලැබේ.
15. සේඛියා යැ යි යමක් කියනලද ද, එය අසව, කිසේ යැ යත්: ඍජුමාර්‍ගය අනුව හැසිරෙණසුලු වූ (උපරිගුණාධිගමය සඳහා) හික්මෙන්නා වූ ශෛක්‍ෂ පුද්ගලයාහට.
16. තෙල සේඛියාව මුල් වෙයි, යළි පාදය ද වෙයි, ප්‍රමුඛද්වාරය වෙයි, සන්හිඳීම වෙයි, සංවරය වේ. එහෙයින් ම මේ හා සමාන වූ සිඛයෙක් නැති. මෙකරුණෙන් මෙය සේඛියා යි කියනු ලැබේ.
17. ඇවැත් (සඞ්ඛ්‍යාත ගෙය) සොයන ලදුයේ අතිශයින් කෙලෙස් වැසි වසියි, විවෘත වූයේ කෙලෙස් වැසි නො වසියි, එහෙයින් පිළිසන් ඇවැත විවෘත කරන්නේ යැ. එසේ ඇති කල්හි කෙලෙස් වැසි නො වසී.
18. මෘගයනට වනලැහැබ පිළිසරණ වෙයි, පක්‍ෂීනට අහස පිළිසරණ වෙයි, සියලු සඞ්ඛත ධර්‍මයනට (ඔවුනතර) නොවීම පිළිසරණ (අස්වැසීම) වෙයි, රහත්හට (අනුපාදිශේෂ) නිර්‍වාණධාතුව එකැතින් පිළිසරණ වේ.
ගාථාසඩ්ගණිකය නිමි.
එහි නාමාවලිය:
1. සප්ත නගරයෙහි පැණවූ සිකපද ද විපත්ති සතර ද භික්‍ෂු - භික්‍ෂුණීන් පිළිබඳ වූ සාධාරණ අසාධාරණ සිකපද ද ඇතුළත් මේ ගාථා සඞ්ඝණිකය ශාසනානුග්‍රහය පිණිස වේ.
අධිකරණ භේද
1. අධිකරණ සතරෙකි: විවාදාධිකරණ යැ අනුවාදාධිකරණ යැ ආපත්තාධිකරණ යැ කිච්චාධිකරණ යි. මේ අධිකරණ සතර යැ.
මේ සතර අධිකරණයන්ගේ උක්කෝටන (යලි විසඳුම් පිණිස ඉදිරියට ඇදීම්) කෙතෙක් ද යත්: මේ සතර අධිකරණයන්ගේ උක්කෝටන දශයෙකි: විවාදාධිකරණය පිළිබඳ උක්කෝටන දෙකෙකැ, අනුවාදාධිකරණය පිළිබඳ උක්කෝටන සතරෙකැ, ආපත්තාධිකරණය පිළිබඳ උක්කෝටන තුණෙකැ, කිච්චාධිකරණය පිළිබඳ උක්කෝටන එකෙකි. මේ සතර අධිකරණයන්ගේ මේ දස උක්කෝටන යි.
2. විවාදාධිකරණය උක්කෝටනය කරන්නේ කෙතෙක් ශමථයන් උක්කෝටනය කෙරේ ද, අනුවාදාධිකරණය උක්කෝටනය කරන්නේ කෙතෙක් ශමථයන් උක්කෝටනය කෙරේද, ආපත්තාධිකරණය උක්කෝටනය කරන්නේ කෙතෙක් ශමථයන් උක්කෝටනය කෙරේ ද, කිච්චාධිකරණය උක්කෝටනය කරන්නේ කෙතෙක් ශමථයන් උක්කෝටනය කෙරේ ද යත්:
විවාදාධිකරණය උක්කෝටනය කරන්නේ ශමථ දෙකක් උක්කෝටනය කෙරෙයි, අනුවාදාධිකරණය උක්කෝටනය කරන්නේ ශමථ සතරක් උක්කෝටනය කෙරෙයි, ආපත්තාධිකරණය උක්කෝටනය කරන්නේ ශමථ තුණක් උක්කෝටනය කෙරෙයි, කිච්චාධිකරණය උක්කෝටනය කරන්නේ එක් ශමථයක් උක්කෝටනය කෙරේ.
3. උක්කෝටනයෝ කෙතෙක් ද, කෙතෙක් අයුරෙකින් උක්කෝටනය දනවයි ද, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත පුද්ගල තෙමේ අධිකරණය උක්කෝටනය කෙරේ ද, කෙතෙක් පුද්ගලයෝ අධිකරණය උක්කෝටනය කරන්නාහු ඇවැත් අවදිත් ද යත්:
උක්කෝටන දොළොසෙකි, දශ අයුරෙකින් උක්කෝටනය දනවයි, සිවු අඟෙකින් යුත් පුද්ගල තෙමේ අධිකරණය උක්කෝටනය කෙරෙයි, පුඟුලෝ සතරදෙනෙක් අධිකරණය උක්කෝටනය කරන්නාහු ඇවැත් අවදිත්.
4. දොළොස් උක්කෝටනයෝ කවරහු ද යත්: නොකරණලද කර්‍ම යැ, වරදවා කරණ ලද කර්‍ම යැ, නැවැත කටයුතු කර්‍ම යැ, නො සන්හිඳුවන ලද්ද යැ, වරදවා සන්හිඳු වන ලද්ද යැ, නැවැත සන්හිඳවියයුත්ත යැ, නො විසඳනලද්ද යැ, වරදවා විසඳනලද්ද යැ, නැවැත විසඳියයුත්ත යැ, ව්‍යුපශමනය නො කරණ ලද්ද යැ, වරදවා ව්‍යුපශමනය කරණ ලද්ද යැ, නැවත ව්‍යුපශමනය කටයුත්ත යැ යි. මේ දොළොස් උක්කෝටනයෝ යි.
5. කවර දශ අයුරෙකින් උක්කෝටනය දනවා ද යත්: ඒ විහාරයෙහි හටගත් අධිකරණය උක්කෝටනය කෙරෙයි, එහි හටගත් සන්හිඳුවන ලද අධිකරණ උක්කෝටනය කෙරෙයි, අතරමඟැ අධිකරණය උක්කෝටනය කෙරෙයි, අතරමඟ සන්හිඳුවනලද අධිකරණය උක්කෝටනය කෙරෙයි, එහි ගියහු එහි ම හිඳුවා විනිශ්චය කළ අධිකරණය උක්කෝටනය කෙරෙයි, එහි ගියහු එහි ම හිඳුවා සන්හිඳුවනලද අධිකරණය උක්කෝටනය කෙරෙයි, සතිවිනය උක්කෝටනය කෙරෙයි, අමූළ්හවිනය උක්කෝටනය කෙරෙයි, තස්සපාපිය්‍යසිකාව උක්කෝටනය කෙරෙයි, තිණවත්‍ථාරකය උක්කෝටනය කෙරේ. මේ දශ අයුරින් උක්කෝටනය දනවයි.
6. කවර සිවු අඟෙකින් යුත් පුද්ගල තෙමේ අධිකරණය උක්කෝටනය කෙරේ ද යත්: ඡන්‍දයෙන් අගතියට යන්නේ අධිකරණය උක්කෝටනය කෙරෙයි, ද්වේෂයෙන් අගතියට යන්නේ ... මෝහයෙන් අගතියට යන්නේ ... බියෙන් අගතියට යන්නේ අධිකරණය උක්කෝටනය කෙරේ. මේ සිවුඅඟින් යුත් පුද්ගල තෙමේ අධිකරණය උක්කෝටනය කෙරේ.
7. කවර පුද්ගලයෝ සතර දෙනෙක් අධිකරණය උක්කෝටනය කරන්නාහු ඇවැත් අවදිත් ද යත්: එදවස උපසපන් වූයේ උක්කෝටනය කෙරේ නම් උක්කෝටනක පචිතිය වෙයි, ආගන්තුක තෙමේ උක්කෝටනය කෙරේ නම් උක්කෝටනක පචිතිය වෙයි, කාරක තෙමේ උක්කෝටනය කෙරේ නම් උක්කෝටනක පචිතිය වෙයි, ඡන්‍දදායක තෙමේ උක්කෝටනය කෙරේ නම් උක්කෝටනක පචිතිය වේ. මේ පුද්ගලයෝ සතර දෙන අධිකරණය උක්කෝටනය කරන්නාහු ඇවැත් අවදිත්.
අධිකරණනිදානාදිය
1. විවාදාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර (රැස්) කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්: අනුවාදාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්: ආපත්තාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්: කිච්චාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්:
විවාදාධිකරණය (අටළොස් භේදකර වස්තු සඞ්ඛ්‍යාත) විවාදය නිදාන කොට ඇත්තේ යැ, විවාදය සමුදය කොට ඇත්තේ යැ, විවාදය ජාති කොට ඇත්තේ යැ, විවාදය ප්‍රභවය කොට ඇත්තේ යැ, විවාදය සම්භාර කොට ඇත්තේ යැ, විවාදය සමුට්ඨාන කොට ඇත්තේ යි. අනුවාදාධිකරණය චෝදනාව නිදාන කොට ඇත්තේ යැ, චෝදනාව සමුදය කොට ඇත්තේ යැ, චෝදනාව ජාති කොට ඇත්තේ යැ, චෝදනාව ප්‍රභව කොට ඇත්තේ යැ, චෝදනාව සම්භාර කොට ඇත්තේ යැ, චෝදනාව සමුට්ඨාන කොට ඇත්තේ යි. ආපත්තාධිකරණය ආපත්ති නිදාන කොට ඇත්තේ යැ, ආපත්ති සමුදය කොට ඇත්තේ යැ, ආපත්ති ජාති කොට ඇත්තේ යැ, ආපත්ති ප්‍රභව කොට ඇත්තේ යැ, ආපත්ති සම්භාර කොට ඇත්තේ යැ, ආපත්ති සමුට්ඨාන කොට ඇත්තේ යි. කිච්චාධිකරණය (සිවුවැදෑරුම්) සඞ්ඝකර්‍ම නිදාන කොට ඇත්තේ යැ, සඞ්ඝකර්‍ම සමුදය කොට ඇත්තේ යැ, සඞ්ඝකර්‍ම ජාති කොට ඇත්තේ යැ, සඞ්ඝකර්‍ම ප්‍රභව කොට ඇත්තේ යැ, සඞ්ඝකර්‍ම සම්භාර කොට ඇත්තේ යැ, සඞ්ඝකර්‍ම සමුට්ඨාන කොට ඇත්තේ යි.
2. විවාදාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්: අනුවාදාධිකරණය ... ආපත්තාධිකරණය ... කිච්චාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්:
විවාදාධිකරණය (කුසලාකුසල අව්‍යාකත) හේතු නිදාන කොට ඇත්තේ යැ. හේතු සමුදය කොට ඇත්තේ යැ. හේතු ජාති කොට ඇත්තේ යැ, හේතු ප්‍රභව කොට ඇත්තේ යැ, හේතු සම්භාර කොට ඇත්තේ යැ, හේතු සමුට්ඨාන කොට ඇත්තේ යි. අනුවාදාධිකරණය ... ආපත්තාධිකරණය ... කිච්චාධිකරණය හේතු නිදාන කොට ඇත්තේ යැ. හේතු සමුදය කොට ඇත්තේ යැ, හේතු ජාති කොට ඇත්තේ යැ, හේතු ප්‍රභව කොට ඇත්තේ යැ, හේතු සම්භාර කොට ඇත්තේ යැ. හේතු සමුට්ඨාන කොට ඇත්තේ යි.
3. විවාදාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්: අනුවාදාධිකරණය ... ආපත්තාධිකරණය ... කිච්චාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්:
විවාදාධිකරණය ප්‍රත්‍යය නිදාන කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය සමුදය කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය ජාති කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය ප්‍රභව කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය සම්භාර කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය සමුට්ඨාන කොට ඇත්තේ යි. අනුවාදාධිකරණය ... ආපත්තාධිකරණය ... කිච්චාධිකරණය ප්‍රත්‍යය නිදාන කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය සමුදය කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය ජාති කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය ප්‍රභව කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය, සම්භාර කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය සමුට්ඨාන කොට ඇත්තේ යි.
අධිකරණමූලාදිය
1. සතර අධිකරණයන්ගේ මුල් කෙතෙක් ද, සමුට්ඨාන කෙතෙක් ද යත්:
සතර අධිකරණයන්ගේ මුල් තෙතිසෙක, සමුට්ඨාන තෙතිසෙකි.
2. සතර අධිකරණයන්ගේ මුල් තෙතිස කවර යත්:
විවාදාධිකරණයාගේ මුල් දොළොසෙකැ, අනුවාදාධිකරණයාගේ මුල් තුදුසෙකැ, ආපත්තාධිකරණයාගේ මුල් සයෙකැ, කිච්චාධිකරණයාගේ මුල් එකෙකි, සඞ්ඝ තෙමේ යි. සතර අධිකරණයන්ගේ මේ මුල් තෙතිස යි.
3. සතර අධිකරණයන්ගේ සමුට්ඨාන තෙතිස කවර යත්:
විවාදාධිකරණයට අටළොස් භේදකර වස්තු සමුට්ඨානයෝ යැ, අනුවාදාධිකරණයට සතර විපත්තීහු සමුට්ඨානයෝ යැ, ආපත්තාධිකරණයට සත්තාපත්තිස්කන්‍ධයෝ සමුට්ඨානයෝ යැ, කිච්චාධිකරණයට සතර කර්‍මයෝ සමුට්ඨානයෝ යි. මේ තෙතිස සතර අධිකරණයන්ගේ සමුට්ඨාන යි.
අධිකරණප්‍රත්‍යයාපත්ති
1. විවාදාධිකරණය ආපත්ති ද අනාපත්ති ද යත්: විවාදාධිකරණය ආපත්ති නො වේ.
කිම, විවාදාධිකරණ හේතුයෙන් ඇවැත් අවදනේ ද යත්: එසේ යැ, විවාදාධිකරණ හේතුයෙන් ඇවැත් අවදනේ යි.
විවාදාධිකරණ හේතුයෙන් කෙතෙක් ඇවැත් අවදනේ ද යත්: විවාදාධිකරණ හේතුයෙන් දෙඇවැත් අවදනේ යැ: උපසපනක්හට (ජාත්‍යාදියෙන්) ගටා බෙණේ නම් පචිති ඇවැත් වෙයි, අනුපසපනක්හට (ජාත්‍යාදියෙන්) ගටා බෙණේ නම් දුකුළා ඇවැත් වේ. විවාදාධිකරණ හේතුයෙන් මේ දෙඇවැත් අවදනේ යි.
2. ඒ ඇවැත්හු සතර විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද යත්: සතර අධිකරණ අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධ අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද, සවැදැරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද, කෙතෙක් අධිකරණයෙන් කෙතෙක් තන්හි කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සතර විපත් අතුරෙන් එක් ම ආචාරවිපත්තිය බෙජෙත්. සතර අධිකරණ අතුරෙන් ආපත්තාධිකරණ යි. සත් වැදැරුම් ආපත්ති ස්කන්‍ධ අතුරෙන් කිසි විටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි දෙආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නගිත්. කිච්චාධිකරණය වූ එක් අධිකරණයෙන් සන්හිඳෙත්. සඟ මැද යැ ගණමැද යැ පුඟුලක්හු වෙතැ යි තුන් තන්හි යැ. කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
3. අනුවාදාධිකරණය ආපත්ති ද අනාපත්ති ද යත්: අනුවාදාධිකරණය ආපත්ති නො වේ.
කිම, අනුවාදාධිකරණ හේතුයෙන් ඇවැත් අවදනේ ද යත්: එසේ යැ, අනුවාදාධිකරණ හේතුයෙන් ඇවැත් අවදනේ යැ.
අනුවාදාධිකරණ හේතුයෙන් කෙතෙක් ඇවැත් අවදනේ ද යත්: අනුවාදාධිකරණ හේතුයෙන් තුන් ඇවැත් අවදනේ යි: මහණක්හට අමූලක පාරාජිකාපත්තියෙන් චෝදනා කෙරේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, අමූලකසඞ්ඝාදිසේසාපත්තියෙන් චෝදනා කෙරේ නම් පචිති ඇවැත් වෙයි, අමූලක ආචාරවිපත්තියෙන් චෝදනා කෙරේ නම් දුකුළා ඇවැත් වේ. අනුවාදාධිකරණ හේතුයෙන් මේ තුන් ඇවැත් අවදනේ යි.
4. ඒ ඇවැත්හු සතර විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, සතර අධිකරණ අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධ අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහා ද, සවැදැරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද, කෙතෙක් අධිකරණයෙන් කෙතෙක් තන්හි කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සතර විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාර විපත්තිය දැ යි විපත් දෙකක් බෙජෙත්. සතර අධිකරණ අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධ අතුරෙන් කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැ යි තුන් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහ. සවැදෑරුම් ආපත්ති සමුට්ඨාන අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නගිත්. යම් ඒ ගරු ඇවැත්හු වෙත් ද, ඒ ඇවැත්හු කිච්චාධිකරණ නම් වූ එක් මැ අධිකරණයෙන්
සඟමැද යැ යන එක් තැනෙක්හි සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් දැ යි දෙ ශමථයෙන් සන්හිඳෙති. යම් ඒ ලුහු ඇවැත්හු වෙත් ද, ඒ ඇවැත්හු කිච්චාධිකරණ නම් වූ එක් අධිකරණයෙකින්, සඟමැද යැ ගණමැද යැ පුඟුල්හු වෙතැ යි යන තුන් තන්හි කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි යන තුන් ශමථයෙන් සන්හිඳෙත්.
5. ආපත්තාධිකරණය ආපත්ති ද අනාපත්ති ද යත්: ආපත්තාධිකරණය ආපත්ති වේ.
කිම ආපත්තාධිකරණ හේතුයෙන් ඇවැත් අවදනේ ද යත්: එසේ යැ, ආපත්තාධිකරණ හේතුයෙන් ඇවැත් අවදනේ යි.
ආපත්තාධිකරණ හේතුයෙන් කෙතෙක් ඇවැත් අවදනේ ද යත්: ආපත්තාධිකරණ හේතුයෙන් සතර ඇවැත් අවදනේ යැ: මෙහෙණක් තොමෝ දැන දැන පරිජි ඇවැත සඟවා නම් පරිජි ඇවැත් වෙයි, විමති ඇත්තී සඟවා නම් ථුලැසි ඇවැත් වෙයි, මහණෙක් තෙමේ සඟවෙසෙස් ඇවැත සඟවා නම් පචිති ඇවැත් වෙයි, ආචාරවිපත්තිය සඟවා නම් දුකුළා ඇවැත් වේ. ආපත්තාධිකරණ හේතුයෙන් මේ සතර ඇවැත් අවදනේ යි.
6. ඒ ඇවැත්හු සිවු වැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, සිවු වැදෑරුම් අධිකරණ අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධ අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද, කෙතෙක් අධිකරණයෙන් කෙතෙක් තන්හි කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සතර විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැ යි විපත් දෙකක් බෙජෙත්. සතර අධිකරණ අතුරෙන් ආපත්තාධිකරණ යි. සත් වැදෑරුම් ආපත්තිස්කන්‍ධ අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැ යි සතර ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහකරණ ලදහු යැ. සවැදෑරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙන් කයින් ද වචනයෙන් ද සිතින් දැයි එක් සමුට්ඨානයෙකින් නගිත්. යම් ඒ පරිජි ඇවැතෙක් වේ ද, ඒ ඇවැත කවර අධිකරණයෙනුදු නො සන්හිඳෙයි, කවර තැනෙක්හිදු නො සන්හිඳෙයි කවර ශමථයෙකිනුදු නො සන්හිඳේ. යම් ඒ ලුහු ඇවැත්හු වෙත් ද, ඒ ඇවැත්හු කිච්චාධිකරණ නම් වූ එක් මැ අධිකරණයෙකින් සඟමැද ගණමැද පුඟුලක්හු වෙතැයන තුන් තන්හි කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැ යි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
7. කිච්චාධිකරණය ආපත්ති ද අනාපත්ති ද යත්: කිච්චාධිකරණය ආපත්ති නොවේ.
කිම, කිච්චාධිකරණ හේතුයෙන් ඇවැත් අවදනේ ද යත්: එසේ යැ, කිච්චාධිකරණ හේතුයෙන් ඇවැත් අවදනේ යැ.
කිච්චාධිකරණ හේතුයෙන් කෙතෙක් ඇවැත් අවදනේ ද යත්: කිච්චාධිකරණ හේතුයෙන් පස් ඇවැත් අවදනේ යැ: උඛෙව්නීකම් අනුව වැටෙන මෙහෙණ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි එය නො හරී නම් ඤත්තියෙහි දුකුළා වෙයි, දෙකම්වදනින් ථුලසීහු වෙති, කම්වදන් පිරියතැ පරිජි ඇවැත් වේ. භේදානුවර්‍තක භික්‍ෂූහු තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි එය නො හරිත් නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, ලාමකදෘෂ්ටියෙහි තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි එය නො හරිත් නම් පචිති ඇවැත් වේ. කිච්චාධිකරණ හේතුයෙන් මේ පස් ඇවැත් අවදනේ යි.
8. ඒ ඇවැත් සතර විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, සතර අධිකරණ අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධ අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද, කෙතෙක් අධිකරණයෙන් කෙතෙක් තන්හි කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සතර විපත්ති අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැ යි විපත් දෙකක් බෙජෙත්. සතර අධිකරණ අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධ අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැ යි පස් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදෑරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිත්: කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. යම් ඒ පරිජි ඇවැතෙක් වේ ද, ඒ ඇවැත කවර අධිකරණයෙනුදු නො සන්හිඳෙයි, කවර තැනෙක්හිදු නො සන්හිඳෙයි, කවර ශමථයෙනුදු නො සන්හිඳේ. යම් ඒ ගරු ඇවැතෙක් වේ ද, ඒ ඇවැත කිච්චාධිකරණ නම් වූ එක් මැ අධිකරණයෙන් ද සඟමැද නම් වූ එක් තැනෙක්හි ද සම්මුඛාවිනයෙන් හා පටිඤ්ඤාතකරණයෙන් දැ යි දෙ ශමථයෙන් ද සන්හිඳෙයි. යම් ඒ ලුහු ඇවැත්හු වෙත් ද, ඒ ඇවැත්හු කිච්චාධිකරණ නම් වූ එක් ම අධිකරණයෙන් ද සඟමැද ගණමැද පුඟුලක්හු වෙතැ යන තුන් තන්හි ද කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
අධිකරණාභිප්‍රාය
1. විවාදාධිකරණය අනුවාදාධිකරණය වේ ද, ආපත්තාධිකරණය වේ ද, කිච්චාධිකරණය වේ ද යත්:
විවාදාධිකරණය අනුවාදාධිකරණය නො වෙයි, ආපත්තාධිකරණය නො වෙයි, කිච්චාධිකරණය නො වේ. එහෙත් විවාදාධිකරණ හේතුයෙන් අනුවාදාධිකරණය වෙයි, ආපත්තාධිකරණය වෙයි, කිච්චාධිකරණය වේ. කෙබඳු යැ යත්: මේ ශාසනයෙහි භික්‍ෂූහු ධර්‍මය කියා හෝ අධර්‍මය කියා හෝ ... තුළුල් ඇවැත් කියා හෝ නො තුළුල් ඇවැත් කියා හෝ විවාද කරත් නම් එහි යම් අරගලයෙක් කලහයෙක් විරුද්ධග්‍රහණයෙක් විරුද්ධවාදයෙක් නානාවාදයෙක් අන්‍යථාවාදයෙක් සිතෙහි දුක් ඇති කිරීම පිණිස වූ පරුෂ වචනයෙක් ඩබරයෙක් වේ ද, මෙය විවාදාධිකරණ යයි කියනු ලැබේ. විවාදාධිකරණයෙහි සඞ්ඝ තෙමේ විවාද කෙරේ නම් විවාදාධිකරණය යි.
විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණ යි. චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණය යි. ඒ ඇවැතින් සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ නම් කිච්චාධිකරණ යි. මෙසේ විවාදාධිකරණ හේතුයෙන් අනුවාදාධිකරණය වෙයි, ආපත්තාධිකරණය වෙයි, කිච්චාධිකරණය වේ.
2. අනුවාදාධිකරණය ආපත්තාධිකරණය වේ ද, කිච්චාධිකරණය වේ ද, විවාදාධිකරණය වේ ද යත්:
අනුවාදාධිකරණය ආපත්තාධිකරණය නො වෙයි, කිච්චාධිකරණය නො වෙයි, විවාදාධිකරණය නො වේ. එහෙත් අනුවාදාධිකරණ හේතුයෙන් ආපත්තාධිකරණය වෙයි, කිච්චාධිකරණය වෙයි, විවාදාධිකරණය වේ. කෙබඳු යැ යත්: මේ ශාසනයෙහි භික්‍ෂූහු ශීලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටි විපත්තියෙන් හෝ ආජීව විපත්තියෙන් හෝ මහණක්හට චෝදනා කරත් නම් එහි යම් චෝදනා කිරීමෙක් පුනපුනා කීමෙක් පුනපුනා තෙපලීමෙක් පුනපුනා බිණුමෙක් පුනපුනා තිදෙරින් අවනතවීමෙක් දැඩි නැඟී සිටීමෙක් අනුබල දීමෙක් වේ ද, මෙය අනුවාදාධිකරණය යි කියනු ලැබේ. අනුවාදාධිකරණයෙහි සඞ්ඝ තෙමේ විවාද කෙරේ නම් විවාදාධිකරණයි, විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණ යි, චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණ යි, ඒ ඇවැතින් සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ නම් කිච්චාධිකරණ යි. මෙසේ අනුවාදාධිකරණ හේතුයෙන් ආපත්තාධිකරණය වෙයි, කිච්චාධිකරණය වෙයි, විවාදාධිකරණය වේ.
3. ආපත්තාධිකරණය කිච්චාධිකරණය වේ ද, විවාදාධිකරණය වේ ද, අනුවාදාධිකරණය වේ ද යත්:
ආපත්තාධිකරණය කිච්චාධිකරණය නො වෙයි, විවාදාධිකරණය නො වෙයි, අනුවාදාධිකරණය නො වේ. එහෙත් ආපත්තාධිකරණ හේතුයෙන් කිච්චාධිකරණය වෙයි, විවාදාධිකරණය වෙයි, අනුවාදාධිකරණය වේ. කෙබඳු යැ යත්: ඇවැත්කඳු පස ම ආපත්තාධිකරණ යි, ඇවැත් කඳු සත ම ආපත්තාධිකරණ යි, මෙය ආපත්තාධිකරණ යි කියනු ලැබේ. ආපත්තාධිකරණයෙහි සඞ්ඝ තෙමේ විවාදා කෙරේ නම් විවාදාධිකරණ යි, විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණ යි, චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණ යි, ඒ ඇවැතින් සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ නම් කිච්චාධිකරණ යි. මෙසේ ආපත්තාධිකරණ හේතුයෙන් කිච්චාධිකරණය වෙයි, විවාදාධිකරණය වෙයි, අනුවාදාධිකරණය වේ.
4. කිච්චාධිකරණය විවාදාධිකරණය වේ ද, අනුවාදාධිකරණය වේ ද, ආපත්තාධිකරණය වේ ද යත්:
කිච්චාධිකරණය විවාදාධිකරණය නො වෙයි, අනුවාදාධිකරණය නො වෙයි, ආපත්තාධිකරණය නො වේ. එහෙත් කිච්චාධිකරණ හේතුයෙන් විවාදාධිකරණය වෙයි, අනුවාදාධිකරණය වෙයි, ආපත්තාධිකරණය වේ. කෙබඳු යැ යත්: සඞ්ඝයාගේ අපලෝකන කර්‍ම යැ ඤත්ති කර්‍ම යැ ඤත්තිදුතිය කර්‍ම යැ ඤත්තිචතුත්‍ථ කර්‍ම යැ යි යම් කෘත්‍යභාවයක් කටයුතු බවෙක් වේ ද, මෙය කිච්චාධිකරණ යැ යි කියනු ලැබේ. කිව්වාධිකරණයෙහි සඞ්ඝ තෙමේ විවාද කෙරේ නම් විවාදාධිකරණ යි, විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණ යි, චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණ යි, ඒ ඇවතින් සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ නම් කිච්චාධිකරණ යි. මෙසේ කිච්චාධිකරණ හේතුයෙන් විවාදාධිකරණ වෙයි, අනුවාදාධිකරණ වෙයි, ආපත්තාධිකරණ වේ.
පෘච්ඡා විසර්‍ජනවාරය
1. යම් තැනෙක්හි සතිවිනය වේ නම් එහි සම්මුඛාවිනය වේ ද, යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි සතිවිනය වේ ද, යම් තැනෙක්හි අමූළ්හවිනය වේ නම් එහි සම්මුඛාවිනය වේ ද, යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි අමූළ්හවිනය වේ ද, යම් තැනෙක්හි පටිඤ්ඤාතකරණය වේ නම් එහි සම්මුඛාවිනය වේ ද, යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි පටිඤ්ඤාතකරණය වේ ද, යම් තැනෙක්හි යේභුය්‍යපසිකාව වේ නම් එහි සම්මුඛාවිනය වේ ද යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි යේභුය්‍යපසිකාව වේ ද යම් තැනෙක්හි තස්සපාපිය්‍යසිකාව වේ නම් එහි සම්මුඛාවිනය වේ ද, යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි තස්සපාපිය්‍යසිකාව වේ ද, යම් තැනෙක්හි තිණවත්‍ථාරකය වේ නම් එහි සම්මුඛාවිනය වේ ද, යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි තිණවත්‍ථාරකය වේ ද යත්:
2. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අධිකරණය සන්හිඳේ ද, යම් තැනෙක්හි සතිවිනය වේ නම් එහි සම්මුඛාවිනය වෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි සතිවිනය වෙයි. එහි අමූළ්හවිනය නො වෙයි, එහි පටිඤ්ඤාතකරණය නො වෙයි, එහි යේභුය්‍යපසිකාව නො වෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො වෙයි, එහි තිණවත්‍ථාරකය නො වේ.
3. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද ... සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද ... සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යපසිකාවෙන් ද ... සම්මුඛාවිනයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද ... සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද අධිකරණය සන්හිඳේ ද, යම් තැනෙක්හි තිණවත්‍ථාරකය වේ නම් එහි සම්මුඛාවිනය වෙයි, යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි තිණවත්‍ථාරකය වෙයි, එහි සතිවිනය නො වෙයි, එහි අමූළ්හවිනය නො වෙයි, එහි පටිඤ්ඤාතකරණය නො වෙයි, එහි යේභුය්‍යපසිකාව නො වෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො වේ.
සංසෘෂ්ටවාරය
1. සම්මුඛාවිනයැ යි හෝ සතිවිනයැ යි හෝ මේ ධර්‍මයෝ මිශ්‍රයෝ ද නැතහොත් අමිශ්‍රයෝ ද, මේ ධර්‍මයන් වෙන් වෙන් කොට වෙනස දක්වන්නට ලැබේ ද යත්: සම්මුඛාවිනයැ යි හෝ අමූළ්හවිනයැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ පටිඤ්ඤාතකරණය යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ යේභුය්‍යසිකායැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තස්සපාපිය්‍යාසිකා යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තිණවත්‍ථාරක යැ යි හෝ මේ ධර්‍මයෝ මිශ්‍රයෝ ද නැතහොත් අමිශ්‍රයෝ ද, මේ ධර්‍මයන් වෙන් වෙන් කොට වෙනස දක්වන්නට ලැබේ ද යත්:
2. සම්මුඛාවිනයැ යි හෝ සතිවිනයැ යි හෝ මේ ධර්‍මයෝ මිශ්‍රයහ, අමිශ්‍රයෝ නො වෙත්. මේ ධර්‍මයන් වෙන් වෙන් කොට වෙනස දක්වන්නට නො ලැබිය හැක්කැ. සම්මුඛාවිනයැ යි හෝ අමූළ්හවිනයැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ පටිඤ්ඤාතකරණයැ යි හෝ ... සම්මුඛාවිනයැ හෝ යෙභූය්‍යසිකායැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තස්සපාපිය්‍යසිකායැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තිණවත්‍ථාරකයැ යි හෝ මේ ධර්‍මයෝ මිශ්‍රයහ, අමිශ්‍රයෝ නො වෙත්. මේ ධර්‍මයන් වෙන් වෙන් කොට වෙනස දක්වන්නට නො ලැබිය හැකියි.
සමථනිදානාදිය
1. සම්මුඛාවිනය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්‍රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්: සතිවිනය ... අමූළ්හවිනය ... පටිඤ්ඤාතකරණය ... යේභුය්‍යසිකාව ... තස්සපාපිය්‍යසිකාව ... තිණවත්‍ථාරකය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්‍රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්:
සම්මුඛාවිනය නිදානනිදාන කොට ඇත, නිදානසමුදය කොට ඇත, නිදානජාති කොට ඇත, නිදානප්‍රභව කොට ඇත, නිදානසම්භාර කොට ඇත, නිදානසමුට්ඨාන කොට කොට ඇති. සතිවිනය අමූළ්හවිනය පටිඤ්ඤාතකරණය නිදානනිදාන කොට ඇත, නිදානසමුදය කොට ඇත, නිදාන ජාති කොට ඇත, නිදාන ප්‍රභව කොට ඇත, නිදානසම්භාර කොට ඇත, නිදානසමුට්ඨාන කොට ඇති. යේභුය්‍යසිකාව නිදාන නිදාන කොට ඇත, නිදාන සමුදය කොට ඇත, නිදාන ජාති කොට ඇත, නිදාන ප්‍රභව කොට ඇත. නිදාන සම්භාර කොට ඇත, නිදාන සමුට්ඨාන කොට ඇති. තස්සපාපිය්‍යසිකාව ... තිණවත්‍ථාරකය නිදාන නිදාන කොට ඇත, නිදාන සමුදය කොට ඇත, නිදාන ජාති කොට ඇත, නිදාන ප්‍රභව කොට ඇත, නිදාන සම්භාර කොට ඇත, නිදාන සමුට්ඨාන කොට ඇති.
2. සම්මුඛාවිනය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්‍රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්: සතිවිනය ... අමූළ්හවිනය ... පටිඤ්ඤාතකරණය ... යේභුය්‍යපසිකාව ... තස්සපාපිය්‍යසිකාව ... තිණවත්‍ථාරකය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්‍රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්:
සම්මුඛාවිනය හේතු නිදාන කොට ඇත, හේතු සමුදය කොට ඇත, හේතු ජාති කොට ඇත, හේතු ප්‍රභව කොට ඇත, හේතු සම්භාර කොට ඇත, හේතු සමුට්ඨාන කොට ඇති. සතිවිනය ... අමූළ්හවිනය ... පටිඤ්ඤාතකරණය හේතු නිදාන කොට ඇත, හේතු සමුදය කොට ඇත, හේතු ජාති කොට ඇත, හේතු ප්‍රභව කොට ඇත, හේතු සම්භාරකොට ඇත, හේතු සමුට්ඨාන කොට ඇති. යේභුය්‍යසිකාව හේතු නිදාන කොට ඇත, හේතු සමුදය කොට ඇත, හේතු ජාති කොට ඇත, හේතු ප්‍රභව කොට ඇත, හේතු සම්භාර කොට ඇත, හේතු සමුට්ඨාන කොට ඇති. තස්සපාපිය්‍යසිකාව ... තිණවත්‍ථාරකය හේතු නිදාන කොට ඇත, හේතු සමුදය කොට ඇත, හේතු ජාති කොට ඇත, හේතු ප්‍රභව කොට ඇත, හේතු සම්භාර කොට ඇත, හේතු සමුට්ඨාන කොට ඇති.
3. සම්මුඛාවිනය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්‍රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්: සතිවිනය ... අමූළ්හවිනය ... පටිඤ්ඤාතකරණය ... යේභුය්‍යසිකාව ... තස්සපාපිය්‍යසිකාව ... තිණවත්‍ථාරකය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්‍රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්:
සම්මුඛාවිනය ප්‍රත්‍යය නිදාන කොට ඇත, ප්‍රත්‍යය සමුදය කොට ඇත, ප්‍රත්‍යය ජාති කොට ඇත, ප්‍රත්‍යය ප්‍රභව කොට ඇත, ප්‍රත්‍යය සම්භාර කොට ඇත, ප්‍රත්‍යය සමුට්ඨාන කොට ඇති, සතිවිනය ... අමූළ්හවිනය ... පටිඤ්ඤාතකරණය ප්‍රත්‍යය නිදාන කොට ඇත, ප්‍රත්‍යය සමුදය කොට ඇත, ප්‍රත්‍යය ජාති කොට ඇත, ප්‍රත්‍යය ප්‍රභව කොට ඇත, ප්‍රත්‍යය සම්භාර කොට ඇත, ප්‍රත්‍යය සමුට්ඨාන කොට ඇති. යේභුය්‍යසිකාව ප්‍රත්‍යය නිදාන කොට ඇත, ප්‍රත්‍යය සමුදය කොට ඇත, ප්‍රත්‍යය ජාති කොට ඇත, ප්‍රත්‍යය ප්‍රභව කොට ඇත, ප්‍රත්‍යය සම්භාර කොට ඇත, ප්‍රත්‍යය සමුට්ඨාන කොට ඇති. තස්සපාපිය්‍යසිකාව ... තිණවත්‍ථාරකය ප්‍රත්‍යය නිදාන කොට ඇත, ප්‍රත්‍යය සමුදය කොට ඇති. ප්‍රත්‍යය ජාති කොට ඇත, ප්‍රත්‍යය ප්‍රභව කොට ඇත, ප්‍රත්‍යය සම්භාර කොට ඇත, ප්‍රත්‍යය සමුට්ඨාන කොට ඇති.
4. සප්ත ශමථයන් පිළිබඳ මුල් කෙතෙක් ද, සමුට්ඨාන කෙතෙක් ද යත්: සප්ත ශමථයන් පිළිබඳ මුල් සවිස්සෙකැ. සමුට්ඨාන සතිසෙකි.
සප්ත ශමථයන් පිළිබඳ මුල් සවිස්ස කවරේ ද යත්: සඞ්ඝසම්මුඛතා යැ, ධම්මසම්මුඛතා යැ, විනයසම්මුඛතා යැ, පුග්ගලසම්මුඛතා යි සම්මුඛාවිනය පිළිබඳ මුල් සතරෙකි. සතිවිනය පිළිබඳ මුල් සතරෙකි ... අමූළ්හවිනය පිළිබඳ මුල් සතරෙකි ... යමෙක් තෙමේත් දෙසා ද යමකුහටත් දෙසා ද යන පටිඤ්ඤාතකරණය පිළිබඳ මුල් දෙකෙකි. යේභුය්‍යසිකාව පිළිබඳ මුල් සතරෙකි ... තස්සපාපිය්‍යසිකාව පිළිබඳ මුල් සතරෙකි ... සඞ්ඝසම්මුඛතා යැ, ධම්මසම්මුඛතා යැ, විනයසම්මුඛතා යැ, පුග්ගලසම්මුඛතා යි තිණවත්‍ථාරකය පිළිබඳ මුල් සතරෙකැ යි මේ සප්ත ශමථයන් පිළිබඳ මුල් සවිස්ස යි.
සප්තශමථයන් පිළිබඳ සතිස් සමුට්ඨානයෝ කවරහු ද යත්: සතිවිනය කර්‍මය පිළිබඳ ක්‍රියා යැ, කරණ යැ, උපගමන යැ, අද්ධ්‍යුපගමන යැ, අධිවාසනා යැ, අප්‍රතික්‍රෝශ පිළිබඳ ක්‍රියා යැ, කරණ යැ, උපගමන යැ, අද්ධ්‍යුපගමන යැ, අධිවාසනා යැ, අප්‍රතික්‍රෝශන යයි. අමූළ්හවිනය කර්‍මය පිළිබඳ ... පටිඤ්ඤාතකරණ කර්‍මය පිළිබඳ ... යෙභූය්‍යසිකා කර්‍මය පිළිබඳ ... තස්සපාපිය්‍යසිකා කර්‍මය පිළිබඳ ... තිණවත්‍ථාරක කර්‍මය පිළිබඳ ක්‍රියා යැ, කරණ යැ, උපගමන යැ, අද්ධ්‍යුගමන යැ, අධිවාසනා යැ, අප්‍රතික්‍රෝශන යැ යි මොහු සප්ත ශමථයන් පිළිබඳ සතිස් සමුට්ඨානයෝ වෙත්.
ශමථ නානාර්‍ත්‍ථාදිය
1. සම්මුඛාවිනයැ යි හෝ සතිවිනයැ යි හෝ මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථයෝ ද, නානාඛ්‍යඤ්ජනයෝ ද, නොහොත් ඒකාර්‍ත්‍ථතා ඇත්තෝ ද, ඛ්‍යඤ්ජන මතුයෙක් වෙනස් වූවාහු ද යත්: සම්මුඛාවිනය යි හෝ අමූළ්හවිනයැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ පටිඤ්ඤාතකරණ යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ යෙභූය්‍යපසිකා යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තස්සපාපිය්‍යසිකා යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තිණවත්‍ථාරක යැ යි හෝ මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථයෝ ද, නානාඛ්‍යඤ්ජන යෝ ද, නොහොත් ඒකාර්‍ත්‍ථයෝ ද, ඛ්‍යඤ්ජන මතුයෙක් වෙනස් ද යත්:
සම්මුඛාවිනයැ යි හෝ සතිවිනයැ යි හෝ මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථ ද නානාඛ්‍යඤ්ජන ද වෙති. සම්මුඛාවිනයැ යි හෝ අමූළ්හවිනයැ යි හෝ .... සම්මුඛාවිනයැ යි හෝ පටිඤ්ඤාතකරණ යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ යෙභූය්‍යසිකා යැයි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තස්සපාපිය්‍යසිකා යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තිණවත්‍ථාරක යැ යි හෝ මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථ ද නානාඛ්‍යඤ්ජන ද වෙත්,
2. විවාදය විවාදාධිකරණ වේ ද, විවාදය අධිකරණ නො වේ ද, අධිකරණය විවාද නො වේ ද, අධිකරණ වූයේ ම විවාද වේ ද යත්:
විවාදය විවාදාධිකරණ විය හෙයි, විවාදය අධිකරණ නො විය හෙයි, අධිකරණය විවාද නො විය හෙයි, අධිකරණ ද වූයේ ම විවාදත් විය හෙයි.
එහි කවර විවාදයෙක් විවාදාධිකරණ වේ ද යත්: මෙ සස්නෙහි මහණහු ධර්‍ම යැ යි හෝ අධර්‍ම යැ යි හෝ විවාද කෙරෙත් ද ... තුළුල් ඇවැතැයි හෝ නො තුළුල් ඇවැතැයි හෝ විවාද කෙරෙත් ද, එහි යම් අරගලයෙක් කලහයෙක් විරුද්ධග්‍රහණයෙක් විරුද්ධවාදයෙක් නානාවාදයෙක් අන්‍යථාවාදයෙක් සිතෙහි දුක් ඇති කිරීම පිණිස වූ පරුෂ වචනයෙක් හිංසායෙක් වේ ද, මේ විවාදය විවාදාධිකරණ වේ.