උපෝසථාදි පුච්ඡාවිස්සජ්ජනය
පුච්ඡා
1. උපෝසථ කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙයැ, අවසානය කවරෙ යැ, පවාරණ කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, තජ්ජනීය කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, නියස්ස කර්‍මයෙහි ... පබ්බාජනීය කර්‍මයෙහි ... පටිසාරණීය කර්‍මයෙහි ... උක්ඛේපනීය කර්‍මයෙහි ... පරිවාසදානයෙහි ... මූලායපටිකස්සන කර්‍මයෙහි ... මානත්ත දානයෙහි ... අබ්භාන කර්‍මයෙහි ... උපසම්පදා කර්‍මයෙහි ආදිය කවරෙ යැ. මධ්‍යය කවරෙ යැ, අවසානය කවරේ යැ යත්:
2. තජ්ජනීය කර්‍මයාගේ සන්හිඳුම්හි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, නියස්ස කර්‍මයාගේ සන්හිඳුම්හි ... පබ්බාජනීය කර්‍මයාගේ සන්හිඳුම්හි ... පටිසාරණීය කර්‍මයාගේ සන්හිඳුම්හි ... උක්ඛේපනීය කර්‍මයාගේ සන්හිඳුම්හි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ යත්:
3. සතිවිනයයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ. අවසානය කවරෙ යැ, අමූළ්හවිනයෙහි ... තස්සපාපිය්‍යසිකායෙහි .... තිණවත්‍ථාරකයෙහි ... භික්ඛුනෝවාදකසම්මුතියෙහි ... තිචීවරඅවිප්පවාස සම්මුතියෙහි ... සන්‍ථතසම්මුතියෙහි ... රුපියඡඩ්ඩකසම්මුතියෙහි ... සාටියගාහාපකසම්මුතියෙහි ... පත්තගාහාපකසම්මුතියෙහි ... දණ්ඩසම්මුතියෙහි ... සික්කාසම්මුතියෙහි ... දණ්ඩසික්කාසම්මුතියෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ යත්:
පුච්ඡා නිමි.
විස්සජ්ජනය
1. උපෝසථ කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, යත්: සාමග්ගිය උපෝසථ කර්‍මයෙහි ආදිය වෙයි, (පාමොක් දෙසීම්) ක්‍රියාව මධ්‍යය වෙයි, (පාමොක්) නිමාව අවසානය වේ.
2. පවාරණ කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යත්: සාමග්ගිය පවාරණ කර්‍මයෙහි ආදිය වෙයි, (පවාරණ ඤත්ති පවාරණ කථා සංඛ්‍යායාත) ක්‍රියාව මධ්‍යය වෙයි, (සඞ්ඝ නවකයා ගේ “පස්සන්තෝ පටිකරිස්සාමි” යන වචන සංඛ්‍යායාත) නිමාව අවසානය වේ.
3. තජ්ජනීය කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, යත්: වස්තුව ද පුද්ගලයා ද තජ්ජනීය කර්‍මයෙහි ආදිය වෙයි, ඤත්තිය මධ්‍යය වෙයි, කර්‍මවාක්‍යය අවසානය වේ.
4. නියස්ස කර්‍මයෙහි ... පබ්බාජනීය කර්‍මයෙහි ... පටිසාරණීය කර්‍මයෙහි ... උක්ඛේපනීය කර්‍මයෙහි ... පරිවාසදානයෙහි ... මූලායපටිකස්සනයෙහි ... මානත්තදානයෙහි ... අබ්භාන කර්‍මයෙහි ...
5. උපසම්පදා කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, යත්: පුද්ගලයා උපසම්පදා කර්‍මයෙහි ආදිය වෙයි, ඤත්තිය මධ්‍යය වෙයි, කර්‍මවාක්‍යය අවසානය වේ.
6. තජ්ජනීය කර්‍මයාගේ සන්හිඳීමෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ යත්: මනා පැවැත්ම තජ්ජනීය කර්‍මයාගේ සන්හිඳීමෙහි ආදිය වෙයි, ඤත්තිය මධ්‍යය වෙයි, කර්‍ම වාක්‍යය අවසානය වේ.
7. නියස්ස කර්‍මයාගේ ... පබ්බාජනීය කර්‍මයාගේ ... පටිසාරණීය කර්‍මයාගේ ... උක්ඛේපනීය කර්‍මයාගේ සන්හිඳීමෙහි ආදිය කවරෙ යැ මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ යත්: මනා පැවැත්ම උක්ඛේපනීය කර්‍මයාගේ සන්හිඳීමෙහි ආදිය වෙයි, ඤත්තිය මධ්‍යය වෙයි, කර්‍ම වාක්‍යය අවසානය වේ.
8. සතිවිනයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ යත්: වස්තුව ද පුද්ගලයා ද සතිවිනයෙහි ආදිය වෙයි, ඤත්තිය මධ්‍යය වෙයි, කර්‍ම වාක්‍යය අවසානය වේ.
9. අමූළ්හවිනයෙහි ... තස්සපාපියාපසිකාවෙහි ... තිණවත්‍ථාරකයෙහි ... භික්ඛුනෝවාදකසම්මුතියෙහි ... තිචීවරඅවිප්පවාසසම්මුතියෙහි ... සන්‍ථත සම්මුතියෙහි ... රූපියඡඩ්ඩකසම්මුතියෙහි ... සාටියගාහාපකසම්මුතියෙහි ... පත්තගාහාපකසම්මුතියෙහි ... දණ්ඩසම්මුතියෙහි ... සික්කාසම්මුතියෙහි ... දණ්ඩසික්කාසම්මුතියෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ යත්: වස්තුව ද පුද්ගලයා ද දණ්ඩසික්කාසම්මුතියෙහි ආදිය වෙයි. ඤත්තිය මධ්‍යය වෙයි, කර්‍මවාක්‍යය අවසානය වේ.
විස්සජ්ජනය නිමි.
උපෝසථාදිපුච්ඡාවිස්සජ්ජනා නිමි.
අත්‍ථවසප්පකරණය
1. කරුණු දසයක් පිණිස තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයනට ශික්‍ෂාපද පණවන ලදි: සඞ්ඝයාගේ මනාබව පිණිස යැ, සඞ්ඝයාගේ පහසු බව පිණිස යැ, දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස යැ, ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස යැ, දිටුදැමියෙහි විඳිය යුතු දුක්ගැහැට වැළක්ම පිණිස යැ, පරලෙව්හි විඳිය යුතු දුක්ගැහැට නැසීම පිණිස යැ, නො පහන්වූවන් හෝ පහදනා පිණිස යැ, පහන්වූවන් හෝ වැඩියක් පහදනා පිණිස යැ, තුන් සසුනේ පැවැත්ම පිණිස යැ, විනයට රුකුල් පිණිස යි.
2. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය සඞ්ඝයාගේ පහසුව පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය දුසිල් පුඟුලන්ගේ නිගැන්ම පිණිස වෙයි. යමක් දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස වේ ද, එය ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස වෙයි. යමක් ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස වේ ද, එය දිටු දැමියෙහි වින්ද යුතු දුක් ගැහැට වැළක්ම පිණිස වෙයි. යමක් දිටු දැමියෙහි වින්ද යුතු දුක් ගැහැට වැළක්ම පිණිස වේ ද, එය පරලෙව්හි වින්ද යුතු දුක් ගැහැට නැසීම පිණිස වෙයි. යමක් පරලෙව්හි වින්ද යුතු දුක් ගැහැට නැසීම පිණිස වේ ද, එය නො පහන්වූවන් පහදනා පිණිස වෙයි. යමක් නො පහන්වූවන් පහදනා පිණිස වේ ද, එය පහන්වූවන් වැඩියක් පහදනා පිණිස වෙයි. යමක් පහන්වූවන් වැඩියක් පහදනා පිණිස වේ ද, එය තුන් සසුන් පැවැත්ම පිණිස වෙයි. යමක් තුන් සසුන් පැවැත්ම පිණිස වේ ද, එය විනයට රුකුල් පිණිස වේ.
3. යමක් සඞ්ඝයාගේ මනාබව වේ ද, එය සඞ්ඝයාගේ පහසුව පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය දිටු දැමියෙහි වින්ද යුතු දුක් ගැහැට වැළක්ම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය පරලෙව්හි වින්ද යුතු දුක් ගැහැට නැසීම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය නො පහන්වූවන් පහදනා පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය පහන්වූවන් වැඩියක් පහදනා පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනා බව පිණිස වේ ද, එය තුන් සසුන් පැවැත්ම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය විනයට රුකුල් පිණිස වේ.
4. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසුව පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය දිටු දැමියෙහි වින්ද යුතු දුක් ගැහැට වැළක්ම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේද, එය පරලෙව්හි වින්ද යුතු දුක් ගැහැට නැසීම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය නො පහන්වූවන් පහදනා පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය පහන් වූවන් වැඩියක් පහදනා පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය තුන් සසුන් පැවැත්ම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව වේ ද, එය විනයට රුකුල් පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය සඞ්ඝයාගේ මනා බව පිණිස වේ.
5. යමක් දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස වේ ද ... යමක් ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස වේ ද ... යමක් දිටු දැමියෙහි වින්ද යුතු දුක් ගැහැට වැළැක්ම පිණිස වේ ද ... යමක් පරලොව්හි වින්ද යුතු දුක් ගැහැට නැසීම පිණිස වේ ද ... යමක් නො පහන්වූවන් පැහැදීම පිණිස වේ ද ... යමක් පහන්වූවන් වැඩියක් පහදනා පිණිස වේ ද ... යමක් තුන් සසුන් පැවැත්ම පිණිස වේ ද ...
6. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය සඞ්ඝයාගේ මනාබව පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය සඞ්ඝයාගේ පහසුව පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය දිටු දැමියෙහි වින්ද යුතු දුක්ගැහැට වැළක්ම පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය පරලෙව්හි වින්ද යුතු දුක්ගැහැට නැසීම පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය නො පහන්වූවන් පහදනා පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය පහන් වූවන් වැඩියක් පහදනා පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය තුන් සසුන් පැවැත්ම පිණිස වේ.
අර්‍ත්‍ථවශප්‍රකරණයෙහි (සඞ්ඝසුට්ඨු යනාදි දශයෙහි දසවර බැගින්) අර්‍ත්‍ථශතයෙක් ද, ධර්‍මශතයෙක් ද නිරුක්තීන්ගේ වශයෙන් ද්විශතයෙක් දැයි සතර ඥාන ශතයෙක් වේ.
අත්‍ථවස ප්‍රකරණය නිමි.
මහාවර්‍ගය නිමියේ යි.
එහි නාමාවලිය:
1. භික්‍ෂු විභඞ්ගයෙහි පළමු වැ පුච්ජාවාර අට යැ නැවත පච්චයවාර අට යැයි භික්‍ෂූන් පිළිබඳ සොළොස ද භික්‍ෂුණීවිභඞ්ගයෙහි සොළොස දැයි මොහු වෙත්.
2. අන්තරපෙය්‍යාල යැ (සමථ) භේද යැ ඒකුත්තරික නය යැ පවාරණ යැ අත්‍ථවස යැයි මහාවර්‍ගයාගේ සඞ්ග්‍රහය වේ.
ගාථාසඞ්ගණිකය
1. සිවුර එකස් කොට පෙරැ වැ ඇඳිලි බැඳ ගෙණ කිසිවක් පතන්නකු සේ තෙපි කුමට මෙහි අවු ද?
2. (භික්‍ෂු-භික්‍ෂුණී) උභය විනයයෙහි පණවන ලද යම් සිකපද කෙනෙක් පෙහෙවස් දිනයන්හි උදෙසීමට එත් ද, ඒ සිකපදයෝ කෙතෙක-කෙතෙක් නගරයන්හි පණවන ලදහු වෙත් ද?
3. තොපගේ උන්මාර්‍ගය (ප්‍රඥාව) අවිද්‍යාන්‍ධකාරයෙන් ඉල්පී සිටි බැවින් සුන්‍දර යැ. නුවණින් විචාරහු, එහෙයින් මම තොපට දක්‍ෂයකු සෙයින් පවසන්නෙමි.
4. යම් සිකපද කෙනෙක් උභය විනයයෙහි පණවන ලද්දාහු පෙහෙවස් දිනයන්හි උදෙසීමට පැමිණෙත් ද, ඔහු තුන් සිය පනසෙක් වෙති. නගර සතෙකැ පණවන ලද්දාහ.
5. කවර නගර සතෙක දී පණවන ලදහු දැයි ඔබ මට විසඳා පවසනු මැනවි, ඒ වදන් මග අසා පිළිපදිමු. එය අපට හිත පිණිස වන්නේ යැ.
6. විසල් පුරයෙහි දී ද රජගහ නුවර දී ද සැවැත් නුවර දී ද අළව් පුරයෙහි දී ද කොසඹෑ නුවර දී ද ශාක්‍ය දනවුහි ද භගු දනවුහි ද පණවන ලදහු.
7. විසල් පුරයෙහි දී කෙතෙක් සිකපදයෝ පණවන ලදහු ද? රජගහ නුවරදී කෙතෙක් පණවන ලදහු ද? සැවැත් නුවර දී පණවන ලද ශික්‍ෂාවෝ කෙතෙක් වෙද්ද, අළව් පුරයෙහි දී කෙතෙක් පණවන ලදහු ද?
8. කොසඹෑ නුවර දී කෙතෙක් පණවන ලදහු ද? ශාක්‍ය දනවුහි කෙතෙකැ යි කියනු ලැබෙත් ද? භගු දනවුහි කෙතෙක් පණවන ලදහු ද? මා විසින් විචාරණ ලද ඔබ එය මට වදාළ මැනැව.
9. විසල් පුරයෙහිදී සිකපද දසයෙක් පණවන ලදි. රජගහ නුවර දී එක්විස්සෙක් පණවන ලදි. සයකින් අඩු තුන්සියක් හැම ශික්‍ෂාවෝ සැවැත් නුවර දී පණවන ලදහ.
10. අළව් පුරයෙහි දී සයෙක් පණවන ලදි. කොසඹෑ නුවර දී අටෙක් පණවන ලදි. ශාක්‍ය දනවුහි අටෙකැ යි කියනු ලැබෙයි, භගු දනවුහි තුනෙක් පණවන ලදි.
11. විසල් පුරයෙහි දී යම් සිකපද කෙනෙක් පණවන ලදහු ද, ඔවුන් මෙසේ අසව: මෛථුන යැ මනුෂ්‍යවිග්‍රහ යැ උත්තරිමනුෂ්‍යධර්‍ම යැ අතිරේකපාත්‍ර යැ ශුද්ධකාළක යැ.
12. භූතාරෝචන යැ පරම්පරභෝජන යැ දන්තපොන ය සමග අචේලක යැ භික්‍ෂුණීන් කෙරෙහි ආක්‍රොශය දැයි යන මේ දස සිඛය විසල්පුර දී පණවන ලදි.
13. රජගහ නුවර දී යම් සිකපද කෙනෙක් පණවන ලදහු ද, ඔවුන් අසව, කෙසේ යැ යත්: රජගහ නුවර දී අදින්නාදාන යැ අනුද්ධංසනා දෙක යැ.
14. සඞ්ඝභේදකභේදානුවත්තක දෙක යැ අන්තරවාසක යැ රුපියසංවෝහාර යැ (සාමං) සුත්ත යැ උජ්ඣාපනකය සමග (භික්ඛුණි) පරිපාචිත පිණ්ඩ යැ ගණභෝජන යැ විකාලභොජන යැ ගාමචාරිත්ත යැ නහාන යැ ඌනවිසතිවස්ස යැ.
15. චීවර දත්වා යැ චොසාසනක යැ එහි ම ගිරග්ග යැ චාරිකා යැ අපක්කමන යැ ඡන්‍දදානය සමඟ එක් විස්සක් වූ මේ සිකපදයෝ රජගහ නුවර දී පණවන ලදහ.
16. යම් සිකපද කෙනෙක් සැවැත් නුවර දී පණවන ලදහු ද, ඔවුන් අසව. කෙසේ යැ යත්: මෙහෙණන් පිළිබඳ වූ සිවු පරිජි ද සොළොස් සඟවෙසෙස්හු ද වෙති.
17. අනියත දෙක ද නිසගි සූතිසෙක් ද වෙයි, එක් සිය සපණස් පචිතීහු ද කියනු ලැබෙත්.
18. දස ගාරයහ (පාටිදේසනීය) සිඛ ද, දෙ සැත්තෑ සේඛියා දැයි සැවැතෙහි දී පණවන ලද සියලු සිකපද සයෙකින් අඩු තුන්සියයෙකි.
19. යම් සිකපද කෙනෙක් අළව්පුර දී පණවන ලදහු ද, ඔවුන් අසව. කෙසේ යැ යත්: සඤ්ඤාචිතකුටි යැ, කෝසිය යැ සහසෙය්‍ය යැ, පඨවඛණන යැ, භූතගාම යැ, සප්පාණකසිඤ්චන යැයි තෙල ස සිඛයෝ අළව් පුර දී පණවන ලදහ.
20. යම් සිකපද කෙනෙක් කොසඹෑ නුවර දී පණවන ලදහු ද, ඔවුන් අසව. කෙසේ යැ යත්: මහල්ලකවිහාර යැ, දෝවචස්ස යැ, අඤ්ඤවාදක යැ, යාවද්වාරකෝස යැ, සුරාපාන යැ, අනාදරිය යැ, සහධම්මික යැ, සුරුසුරුකාරකයෙන් අටවැනි වූ සිකපද යි.
21. යම් සිකපද කෙනෙක් ශාක්‍ය ජනපදයෙහි දී පණවන ලදහු ද, ඔවුන් අසව. කෙසේ යැ යත්: එළකලෝම ධෝවන යැ, ඌනපංචබන්‍ධන යැ, භික්ඛුනෝවාද යැ, භේසජ්ජ විඤ්ඤපන යැ.
22. සුචිඝර යැ, ආරඤ්ඤක යැ, මෙහෙණන් කෙරෙහි වූ උදකශුද්ධිකය සමඟ ඕවාද යැ යි යන තෙල අට සිඛය කිඹුල්වත් නුවර දී පණවන ලදැයි කියනු ලැබේ.
23. යම් සිකපද කෙනෙක් භගුදනවුහි දී පණවන ලදහු ද, ඔවුන් අසව. කෙසේ යැ යත්: ජෝතිසමාදහන යැ. සාමිසය සමග සසිත්‍ථකසිඛ යැයි (යන තුන් සිඛය භගුදනවුහි දී පනවන ලදී.)
24. පරිජි සතරෙක් ද සඟවෙසෙස් සතෙක් ද නිසඟි අටෙක් ද පචිති දෙතිසෙක් ද
25. ගාරය්හ දෙකෙක් ද සේඛිය තුණෙක් දැයි සපණස් සිකපද කෙනෙක් සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුන් විසින් නගර සයෙක දී පණවන ලදහ.
26. කාරුණික වූ යශස්වී වූ ගෞතම ගෝත්‍ර ඇති බුදුරජුන් විසින් සයකින් අඩු සෙසු සියලු තෙසිය සිකපදයෝ සැවැතෙහි දී පණවන ලදහු යි.
චතු විපත්තීහු
1. යම් ඒ (ශික්‍ෂාපද භේදයක්) විචාළෙමු ද, ඒ භේදය අපට වදාළ සේක. ඒ ඒ සිඛ නො වෙනස් ව පවසන ලදී. ඔබගෙන් අනෙකක් පුළුවුස්මි. එබැවින් එය වදාළ මැනැවැ.
2. ගරුලහු ඇවැත් ද සාවසේස අනවසේස ඇවැත් ද තුළුල් නොතුළුල් ඇවැත් ද යාවතතියක ඇවැත් ද,
3. සාධාරණ අසාධාරණ ඇවැත් ද විපත්ති භේදය ද ශමථ භේදය ද මේ සියල්ල වදාළ මැනැවි. දැන් ඔබගේ වචනය අසමු.
4. (මහණ මෙහෙණන් පිළිබඳ පැණ වූ) යම් ගරු ඇවැත් එක්තිසෙක් වේ ද ඔවුනතුරෙහි අටදෙනෙක් සාවසේස වෙති, යම් ඇවැත් කෙනෙක් ගරුක වෙත් ද ඔහු දුට්ඨුල්ල නම් වෙති, යම් ඇවැත් කෙනෙක් දුට්ඨුල්ල වෙත් ද ඒ සීලවිපත්ති නමු.
5. පරිජි සඟවෙසෙස් සීලවිපත්ති යයි කියනු ලැබේ. ථුලැසි යැ පචිති යැ එසේ ම පිළිදෙස්නි යැ.
6. දුකුළා යැ කෙළි සිනා අදහස් ඇති වැ යම් මේ පුද්ගලයෙක් ගටයා බෙණේ ද මේ දුබැසිය දැයි යන මේ ඇවැත් ආචාරවිපත්ති යි සම්මත යි.
7. අසද්ධර්‍මයන් විසින් පෙරටු කරණ ලද නුවණ නැත්තා වූ මෝහයෙන් වැසී සිටියෝ මිසදිටුව ගණිත් ද, බුදුරජුන්ට නැතිදොස් පහළ කෙරෙත් ද, මේ දිට්ඨිවිපත්ති යි සම්මත යි.
8. ආජීව හේතුයෙන් ආජීව කාරණයෙන් ලාමක අදහස් ඇත්තේ ලාමක අදහසින් මඩනා ලදුයේ තමා කෙරෙහි නැති තමා කෙරෙහි නොවූ උතුරුමිනිස්ධර්‍ම පවසා ද, ආජීව හේතුයෙන් ආජීව කාරණයෙන් සඤ්චරිත්තයට පැමිණේ ද, ආජීව හේතුයෙන් ආජීව කාරණයෙන් “තොපගේ වෙහෙරැ යමෙක් වෙසේ ද ඒ මහණ රහත්”යි කියා ද, ආජීව හේතුයෙන් ආජීවකාරණයෙන් මහණ තමා පිණිස පිණිබොජුන් විනවා ගෙණ වළඳා ද, ආජීව හේතුයෙන් - ආජීව කාරණයෙන් මහණෙක් සූප හෝ ඕදන හෝ නොගිලන් වැ තමා පිණිස විනවා ගෙණ වළඳා ද, මේ ආජීවවිපත්ති යි සම්මත යි.
9. යාවතතියක සිඛ එකොළොසෙකැ, ඒ කිසේ යැයි අසව: උක්ඛිත්තානුවත්ත යැ. යාවතතියක අට යැ, අරිට්ඨ යැ, චණ්ඩකාළියැ යන මොහු යාවතතියක සිඛයෝ යි.
ඡේදනකාදීහු
1. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් පණවන ලද ඡේදනක සිඛ කෙතෙක් ද, භේදනක සිඛ කෙතෙක් ද, උද්දාලනක සිඛ කෙතෙක් ද, අනේඤපචිතිසිඛ කෙතෙක් ද,
2. භික්‍ෂු සම්මුතිසිඛ කෙතෙක් ද, සාමීචිසිඛ කෙතෙක් ද, පරමසිඛ කෙතෙක් ද, ජානන්තිසිඛ කෙතෙක් ද යත්:
3. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් පණවනලද ඡේදනකසිඛ සදෙනෙකැ, එක් භේදනක සිඛයෙකැ, එක් උද්දාලනක සිඛයෙකැ, අනඤ්ඤපචිතිසිඛ සතරෙකැ.
4. භික්‍ෂුසම්මුතිසිඛ සතරෙකැ, සාමීචිසිඛ සතෙකැ, පරමසිඛ තුදුසෙකැ, ජානන්තිසිඛ සොළසෙකි.
අසාධාරණකාදිහු
1. මහණුන් පිළිබඳ දෙසිය විස්සෙක් සිකපදයෝ පෙහෙවස්හි උදෙසීමට පැමිණෙති.
2. මෙහෙණන් පිළිබඳ තුන්සිය සතරෙක් සිකපදයෝ පෙහෙවස්හි උදෙසීමට පැමිණෙත්.
3. මහණුන් පිළිබඳ සසාළිස් සිකපද කෙනෙක් මෙහෙණන් හා අසාධාරණ වෙති. මෙහෙණන් පිළිබඳ එක්සියතිස් සිකපද කෙනෙක් මහණුන් හා අසාධාරණ වෙත්.
4. එක්සිය සසැත්තෑ සිකපද කෙනෙක් දෙපසට අසාධාරණ වෙති. එක්සිය සූසැත්තෑ සිකපද කෙනෙක් දෙපසට සම සිඛයෝ වෙත්.
5. මහණුන් පිළිබඳ දෙසිය විස්සෙක් සිකපදයෝ පෙහෙවස්හි උදෙසීමට පැමිණෙත්. ඔවුන් අසව, කිසේ යැ යත්:
6. සිවු පරිජි ද තෙළෙස් සඟවෙසෙස් ද දෙ අනියත ද තිස් නිසඟි ද, දෙ අනූ පචිති ද, සිවු පිළිදෙස්නීහු ද පන්සැත්තෑ සිඛ කරණීහු ද වෙත්.
7. මහණුන් පිළිබඳ මේ දෙසිය විස්සක් වූ සිකපදයෝ පෙහෙවස්හි උදෙසීමට පැමිණෙත්.
8. මෙහෙණන් පිළිබඳ තුන්සිය සතරක් සිකපදයෝ පෙහෙවස්හි උදෙසීමට පැමිණෙත්. ඔවුන් අසව, කිසේ යැ යත්:
9. අට පරිජි ද සතළොස් සඟවෙසෙස්හු ද වෙති. නිසඟි තිසෙක් මැ යි. පචිතිහු එක්සිය සසැටෙකැයි කියනු ලැබෙත්,
10. අට පිළිදෙස්නීහු ද පන්සැත්තෑ සිඛකරණීහු දැයි මෙහෙණන් පිළිබඳ මේ තුන්සිය සතරක් වූ සිකපදයෝ වෙති. ඔහු පෙහෙවස්හි උදෙසීමට පැමිණෙත්.
11. මහණුන් පිළිබඳ සසාළිස් සිකපද කෙනෙක් මෙහෙණන් හා අසාධාරණ වෙති. ඔවුන් අසව, කිසේ යැ යත්:
12. සඟවෙසෙස් සදෙන දෙ අනියතය සමග අටෙකි. නිසඟි දොළොස යැ, ඔහු යථෝක්තයන් හා විස්සක් වෙති.
13. පචිති දෙවිස්සෙකි. පිළිදෙස්නී සතරෙකි. මහණුන් පිළිබඳ මේ සසාළිස් සිඛයෝ මෙහෙණන් හා අසාධාරණ වෙත්.
14. මෙහෙණන් පිළිබඳ එක්සියතිසක් සිකපදයෝ මහණුන් හා අසාධාරණ වෙති. ඔවුන් අසව කිසේ යැ යත්:
15. සතර පරිජි ද සඞ්ඝයා කෙරෙන් බැහැර කටයුතු නිස්සාරණීය නම් වූ දස සඟවෙසෙස් ද දොළොස් නිසඟීහු ද සයානූ සුද්ධ පචිති ද අට පිළිදෙස්නීහු දැයි මෙහෙණන් පිළිබඳ මහණුන් හා අසාධාරණ වූ මොහු එක්සියතිස් සිඛයෝ වෙත්.
16. මහණ මෙහෙණ දෙපසට අසාධාරණ වූ සිඛ එක්සිය සසැත්තෑවෙක් මැ යි ඔවුන් අසව, කිසේ යැ යත්:
17. පරිජි සතරෙක් ද සඟවෙසෙස් සොළසෙක් ද වෙයි. දෙ අනියත ද සූවිසි නිසඟි ද වෙයි.
18. එක්සිය අටළොස් පචිතිහු ද දොළොස් පිළිදෙස්නීහු ද කියනු ලැබෙත්. (මහණ-මෙහෙණ) දෙපසට අසාධාරණ වූ මේ එක්සිය සසැත්තෑ ශික්‍ෂාවෝ වෙති.
19. මහණ-මෙහෙණ උභය සාධාරණ ශික්‍ෂාවෝ එක්සියසිවුසැත්තෑ කෙනෙකි. ඔවුන් මෙසේ අසව: කිසේ යැ යත්:
20. සතර පරිජි ද සත් සඟවෙසෙස් ද අටළොස් නිසඟිපචිති ද සම සැත්තෑ සුද්ධ පචිති ද පන්සැත්තෑ සිඛකරණීහු ද යන මේ එක්සිය සිවු සැත්තෑ ශික්‍ෂාවෝ. මහණ මෙහෙණ දෙපසට සම වෙත්.
21. (සප්‍රතිභය හෙයින්) දුරාසද වූ (මූලෝච්ඡින්න) තාලවාස්තුවක් වැනි වූ පාරාජිකාපත්තීහු අට දෙනෙක් මැ වෙති. පරිජි අවන් පුඟුල් තෙම පඬුවන්පතක් සේ බිඳුණු ගලක් සේ හිස්සුන් එකක්හු සේ මුදුන් සුන් තලක් සේ වටාලා පියවිබවට නො එයි. එසෙයින් මැ ඒ පාරාජිකාපත්තීහු වටාලා ප්‍රකෘති භාවයට නො එත්.
22-23. තෙවිසි සඟවෙසෙස් ද අනියත දෙක ද දෙසාළිස් නිසඟි ද, එක්සිය අසූඅටක් පචිති ද දොළොස් පිළිදෙස්නීහු ද, පන්සැත්තෑ සිඛකරණීහු ද යන මොහු සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
24. ජිනරාජයන් වහන්සේ විසින් දෙසන ලද (භික්‍ෂු-භික්‍ෂුණි) උපෝසථ දෙක ද පවුරුණු දෙක ද (අධර්‍මවර්‍ගාදී) කර්‍ම සතර ද පාමොක් උදෙසීම් පස ද (භික්‍ෂුණීන්ගේ වශයෙන්) සතර ද ඇවත් කඳු සතදැයි මොහු අන් පරිද්දකින් නො වෙත්.
25. සතර අධිකරණයෝ සප්ත ශමථයෙන් සන්හිඳෙත්. දෙශමථයෙන් ද සිවු ශමථයෙන් ද තුන් ශමථයෙන් ද සන්හිඳෙත්. කිච්චාධිකරණය එක් ශමථයකින් සන් හිඳෙයි.
පාරාජීකාදී ආපත්ති
1. පාරාජික යැ යි යමක් කියන ලද ද, එය අසව. කිසේ යැ යත්: ශාසනයෙන් ච්‍යුත වී ද පැරැදුනේ ද, ගිලිහුණේ ද, දුරුකරණ ලද්දේ ද, ඔහු කෙරෙහි (උපෝසථ පවාරණාදී විසින්) සමග විසීමෙක් ද නැති. එහෙයින් මෙය පරිජි යැ යි කියනු ලැබේ.