සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙක් ද යත්: ආපත්තාධිකරණ යි.
සත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක්ශමථයෙන් සන්හිඳේයැ යත්: කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද සන්හිඳේ. ...
දෙ අනියත සිකපද නිමි.
එහි උද්දානය:
අලංකම්මනිය ද එසේ ම නො මැ අලංකම්මනිය ද යන දෙ අනියත සිකපදයෝ තාදී ගුණැති බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ විසින් මොනවට පණවන ලදහ.
1. 4.
නිස්සග්ගියකණ්ඩය
4. 1.
1. සිකපද පැණවීමෙහි කල් දන්නාවූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් අතිරේකචීවරය දසදිනක් ඉක්ම වන්නහු පිළිබඳ නිසගිපචිතිය කොතන්හි පණවනලද යැ යත්: විසල්පුරයෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබැයැ යත්: සවගමහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුවෙක්හි ද යත්: සවගමහණහු දසදිනක් ඉක්ම ගිය අතිරේක චීවරයක් දැරූහ, ඒ වස්තුයෙහි ය.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නඟියි: කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
2. එක් රැයක් තුන් සිවුරෙන් වෙන්ව වසන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබැයැ යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබැ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු (සඟළ) සිවුර භික්‍ෂූන් ඇතැ තබා හඳනය හා උතුරුසඟ සිවුරෙන් යුතුව දනවු සැරිසැරීමට ගියාහු ය. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නඟියි: කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
3. අකාලචීවරයක් පිළිගෙන මසක් ඉක්මවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබැ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු අකාල චීවරයක් පිළිගෙන (නො ඉටා නො විකපා) මසක් ඉක්මවූහ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නඟියි: කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
4. නො නෑ මෙහෙණක ලවා පැරැණි සිවුරක් දොවවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කො තන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබැ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ නො නෑ මෙහෙණක ලවා පැරැණි සිවුරක් දොවාපීයැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
5. නො නෑ මෙහෙණක අතින් සිවුරක් පිළිගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: රජගහනුවරැ දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබැ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ නො නෑ මෙහෙණක අතින් සිවුරක් පිළිගත්තේ යැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
6. නො නෑ ගැහැවියකුගෙන් හෝ ගැහැවිනියකගෙන් හෝ සිවුරක් ඉල්වාගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයාත් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර නො නෑ සිටු දරුවකුගෙන් සිවුරක් ඉල්වීයැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
7. නො නෑ ගැහැවියකුගෙන් හෝ ගැහැවිනියකගෙන් හෝ එක් හඳනයකට උතුරුසඟ සිවුරකට වැඩි සිවුරක් ඉල්වාගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු පමණ නො දැන බොහෝ සිවුරු ඉල්වූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
8. පෙරැ නො පැවරූ නො නෑ ගැහැවියකු වෙත එළඹ සිවුරක් කිරීමෙහි අධික විධානයට පැමිණෙන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහිදී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබැ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර පෙරැ නො පවරණ ලදුයේ නො නෑ ගැහැවියකු වෙත එළඹ සිවුරක් කිරීමෙහි අධික විධානයට පැමිණියේ යැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
9. පෙරැ නො පැවරූ නො නෑ ගැහැවියන් වෙත එළඹ සිවුරක් කිරීමෙහි අධික විධානයට පැමිණෙන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතෙන්හි පණවන ලදයැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයා ඇරැබැ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර පෙරැ නො පවරණ ලදුයේ නො නෑ ගැහැවියන් වෙත එළඹ සිවුරක් කිරීමෙහි අධික විධානයට පැමිණියේයැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
10. අයිරා තෙවරක් චෝදනා කිරීමෙන් ද අයිරා සවරක් එළඹ සිටීමෙන් ද සිවුරක් උපදවා ගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබැ යැ:
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර උවසුවකු විසින් “ස්වාමීනි, අද එකදවසක් ඉවසා වදාළ මැනැවැ” යි කියනු ලබන්නේ නො ඉවසී යැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුච්ඨාන සයෙන් නඟී. ...
පළමුවන කඨින වර්‍ග යි.
4. 2.
1. තිහිරිහූ මුසුකළ ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කො තන්හි පණවන ලද යැ යත්: අළව්පුරයෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු තිහිරිවායන් වෙත එළඹ මෙසේ කීහ: “ඇවැත්නි, බොහෝ තිහිරි පණුවන් පිසවු, අපට ද දෙවු, අපිදු තිහිරිහූ මුසුකළ ඇතිරියක් කරන්නට කැමැත්තම්හ” යි, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
2. හුදු කළු එළුලොමින් ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: විසල්පුරයෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
කිනම් වස්තුවෙක්හි ද යත්: සවග මහණහු හුදු කළු එළුලොමින් ඇතිරියක් කරවූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
3. හෙළ එළුලොම් සතරින් කොටසක් ද කිඹුල්වන් එළුලොම් සතරින් කොටසක් ද නො ගෙන අළුත් ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
කිනම් වස්තුයෙක් හි ද යත්: සවග මහණහු මඳක් හෙළ එළුලොම් ද එසේ ම මඳක් හුදු කළු එළුලොම් ද කෙළවරැ ගන්වා එළුලොමින් ඇතිරියක් කරවූහ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
4. හවුරුදු පතා ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු හවුරුදු පතා ඇතිරි කරවූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
5. පැරුණි ඇතිරිය පසෙකින් සුගත්වියතක් පමණ (කඩක්) නො ගෙන අළුත් නිසදුන් ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හිද යත්: බොහෝ භික්‍ෂූහු ඇතිරි හැරැපියා ආරණ්‍යකාඞ්ගය පිණ්ඩපාතිකාඞ්ගය පාංශුකූලිකාඞ්ගය සමාදන් වූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
6. එළුලොම් පිළිගෙන තුන් යොදුනක් ඉක්ම යන්නහු පිළිබඳ නිසගිපචිති සික පදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් එළුලොම් පිළිගෙන තුන් යොදුනක් ඉක්ම ගියේ යැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසිවිටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟි. …
7. නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: ශාක්‍යජනපදයෙහිදි පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු නො නෑ මෙහෙණන් ලවා එළුලොම් දොවවාලූහ, ඒ වස්තුවෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
8. රන් රිදී මසුකහවණු පිළිගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද ද යත්: රජගහනුවරැ දී පණවන ලදි.
කවරක් හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර රන්රිදී මසුකහවණු පිළිගත්තේ යැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...