අනෙකුදු විශුද්ධි පසෙක: සුත්තුද්දේසඋපෝසථ යැ පාරිසුද්ධිඋපෝසථ යැ අධිට්ඨානුපොසථ යැ පවාරණ යැ සාමග්ගිඋපෝසථය මැ පස්වැනි යි.
20. විනයධරයා කෙරෙහි වූ අනුසස් පසෙක: තමාගේ ශීලස්කන්‍ධය මොනොවට ගෝපනය කරණ ලද්දේ මොනොවට රක්නා ලද්දේ වෙයි, කුකුස් බැවින් මඩනා ලද්දවුනට පිළිසරණ වෙයි, සඟමැද විශාරද වැ කථා කෙරෙයි, කරුණු සහිත ව මොනවට නිගැන්මෙන් පසමිතුරනට නිග්‍රහ කෙරෙයි, ශාසනයාගේ චිරස්ථිතිය පිණිස පිළිපන්නේ වේ.
21. නො දැහැමි පාමොක් තැබීම් පසෙකි.
දැහැමි පාමොක් තැබීම් පසෙකි.
පඤ්චකය නිමි.
එහි නාමාවලිය:
1. ආපත්ති යැ, ආපත්තිස්කන්‍ධ යැ, ආනන්තර්‍ය්‍යකර්‍ම සමග විනීතවස්තු යැ, පුද්ගල යැ, ඡේදන යැ, ආපජ්ජති යැ, ප්‍රත්‍යය යැ,
2. න උපේති යැ, උපේති යැ, කප්පන්ති යැ, උස්සඞ්කිත යැ, තෙල යැ, වසා යැ, ව්‍යසන යැ, සම්පදා ව සමග පස්සද්ධි යැ,
3. සෝසානික යැ, ගොඛායිත යැ, ථෙය්‍යවහාර යැ, මහාචෝර යැ යි පඤ්චක කියනු ලැබේ. අවිස්සජ්ජනීය යැ අවෙභඞ්ගිය යැ කායතෝ යැ කායවාචතො යැ,
4. දේසනාගාමිනී යැ, සඞ්ඝ යැ, පාතිමොක්ඛුද්දෙස යැ, කඨිනත්‍ථාරය සමග සබ්බපච්චන්තිම යැ, කම්ම යැ, යාවත්තියක යැ, පාරාජික යැ ථුල්ලච්චය යැ, දුක්කට යැ,
5. අකප්පිය යැ, කප්පිය යැ, අපුඤ්ඤ යැ, දුප්පටිවිනෝද යැ, සමමජ්ජනී යැ, අන්‍ය වූ සම්මජ්ජනී යැ, භාසපරියන්ත යැ, ආපත්ති යැ,
6. අධිකරණ යැ, වස්තු යැ, ඤත්ති යැ, ආපත්තානාපත්ති දෙක යැ, ලහුකය අට වැනි කොට ඇති මොහු කෘෂ්ණ ශුක්ලයහ යි දනිවු.
7. ආරඤ්ඤක යැ, පිණ්ඩපාතික යැ, පංසුකූලික ය, රුක්ඛමූලික යැ, සෝසානික යැ, අබ්භෝකාසික යැ, තෙචීවරික යැ, සපදානචාරික යැ, නෙසජ්ජික යැ,
8. යථාසන්‍ථතික යැ, ඛලුපච්ඡාභත්තික යැ, පත්තපිණ්ඩික යැ, උපෝසථ යැ, පවාරණ යැ, ආපත්තානාපත්ති යැ, මොහු කෘෂ්ණ ශුක්ලපදයෝ වෙති. ඔහු භික්‍ෂුණීන් පිළිබඳ ව ද එසේ යි.
9. අපාසාදික යැ පාසාදික යැ එසේම අපර දෙක යැ, කුලුපග යැ, අතිවේල යැ බීජ යැ, සමණකප්ප යැ,
10. විසුද්ධි යැ, අපරවිසුද්ධි යැ, විනයධර යැ, අධම්මික යැ, සමග ධම්මික යැ යි එසේම කියනලදහ. (මෙසේ) ශුද්ධි පඤ්චකයෝ නිමියහ.
ෂට්කය
1. අගාරව සයෙකැ, ගාරව සයෙකැ, විනීතවස්තු සයෙකැ, සාමීචිධර්‍ම සයෙකැ, ආපත්තිසමුට්ඨාන සයෙකැ, ඡේදනක ආපත්ති සයෙකැ, ෂඩාකාරයෙකින් ඇවැතට පැමිණෙයි, විනයධරයා කෙරෙහි අනුසස් සයෙකැ, පරම සයෙකැ, තුන් සිවුරෙන් වෙන් වැ විසිය යුතු ස රැයෙකැ, සිවුරු සයෙකැ, රජන සයෙකැ, ඇවැත්හු සදෙනෙක් කයින් ද සිතින් ද නගිති වචනයෙන් නො නගිත්, ඇවැත්නු සදෙනෙක් වචනයෙන් ද සිතින් ද නගිති කයින් නො නගිත්, ඇවැත්හු සදෙනෙක් කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්, කර්‍ම සයෙකැ, විවාදමූල සයෙකැ, අනුවාදමූල සයෙකැ, සාරාණීය ධර්‍ම සයෙකැ, දිගින් සුගත්වියතින් සවියතෙකැ පුළුලින් සවියතෙකැ, ආචාරීන් කෙරෙන් නිසමිදීම් සයෙකැ. නැහැමෙහි අනුප්‍රඳප්ති සයෙකැ. විප්පකතචීවරය ආදානය කොට නික්මෙයි යන ෂට්කයෙකැ. විප්පකතචීවරය සමාදානය කොට නික්මෙයි යන ෂට්කයෙකි.
2. අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්‍ම කළයුතු යැ, නිස දිය යුතු යැ. හෙරණකු ලවා උවටැන් කරවිය යුතුයි: අශෛක්‍ෂ ශීලස්කන්‍ධයෙන් යුක්ත වෙයි, අශෛක්‍ෂසමාධිස්කන්‍ධයෙන් යුක්ත වෙයි, අශෛක්‍ෂප්‍රඥාස්කන්‍ධයෙන් යුක්ත වෙයි, අශෛක්‍ෂවිමුක්තිස්කන්‍ධයෙන් යුක්ත වෙයි, අශෛක්‍ෂවිමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙත් යුක්ත වෙයි, දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
අනෙකුදු අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්‍ම කළ යුතු ය. නිස දියයුතු ය. හෙරණකු ලවා උවැටන් කරවිය යුතු ය: තෙමේ අශෛක්‍ෂශීලස්කන්‍ධයෙන් යුක්ත වූයේ මෙරමා අශෛක්‍ෂශීලස්කන්‍ධයෙහි සමාදන් කරවනුයේ වෙයි. තෙමේ අශෛක්‍ෂසමාධිස්කන්‍ධයෙන් යුක්ත වූයේ මෙරමා අශෛක්‍ෂසමාධිස්කන්‍ධයෙහි සමාදන් කරවනුයේ වෙයි. තෙමේ අශෛක්‍ෂප්‍රඥාස්කන්‍ධයෙන් යුක්ත වූයේ මෙරමා අශෛක්‍ෂප්‍රඥාස්කන්‍ධයෙහි සමාදන් කරවනුයේ වෙයි. තෙමේ අශෛක්‍ෂවිමුක්තිස්කන්‍ධයෙන් යුක්ත වූයේ මෙරමා අශෛක්‍ෂවිමුක්තිස්කන්‍ධයෙහි සමාදන් කරවනුයේ වෙයි. තෙමේ අශෛක්‍ෂවිමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් යුක්ත වූයේ මෙරමා අශෛක්‍ෂවිමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙහි සමාදන් කරවනුයේ වෙයි. දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
අනෙකුදු අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්‍මකළ යුතු යැ. නිස දිය යුතු යැ, හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි: සැදැහැ ඇතියේ වෙයි, පාපයෙහි ලජ්ජා ඇතියේ වෙයි. පාපයෙහි බිය ඇතියේ වෙයි. රුකුළු වැර ඇතියේ වෙයි. එළඹ සිටි සිහි ඇතියේ වෙයි. දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
අනෙකුදු අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්‍ම කළ යුතු යැ නිස දිය යුතු යැ හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි: අධිශීලයෙහි ශීලවිපන්න නො වෙයි. අද්ධ්‍යචාරයෙහි ආචාරවිපන්න නො වෙයි. සම්‍යක් දෘෂ්ටියෙහි දෘෂ්ටිවිපන්න නො වෙයි. බහුශ්‍රුත වෙයි. ප්‍රඥා ඇතියේ වෙයි. දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
අනෙකුදු අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්‍ම කළයුතු යැ නිස දියයුතු යැ හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි: ගිලන් වූ අතැවැසියකුට සද්ධිවිහාරිකයකුට උවැටන් කරන්නට හෝ උවැටන් කරවන්නට හෝ ප්‍රතිබල වෙයි, උකටලී වූවකු එයින් මුදවාලන්නට හෝ මුදවාලවන්නට හෝ ප්‍රතිබල වෙයි. උපන් කුකුස් දැහැමින් දුරලන්නට හෝ ප්‍රතිබල වෙයි. ඇවැත දනියි, ඇවැතින් නැගීම දනියි, දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
අනෙකුදු අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්‍ම කළ යුතු යැ නිස දිය යුතු යැ හෙරණකු ලවා උවැටන් කරවිය යුතුයි: අතැවැසියකු හෝ සද්ධිවිහාරිකයකු හෝ ආභිසමාචාරික ශික්‍ෂායෙහි හික්මවන්නට ප්‍රතිබල වෙයි, ආදිබ්‍රහ්මචරියක ශික්‍ෂායෙහි විනයන කරන්න ප්‍රතිබල වෙයි, අභිධර්‍මයෙහි විනයන කරන්නට ප්‍රතිබල වෙයි, අභිවිනයෙහි විනයන කරන්නට ප්‍රතිබල වෙයි, උපන් මිථ්‍යා දෘෂ්ටිය දැහැමින් බැහැර කරන්නට ප්‍රතිබල වෙයි, දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
අනෙකුදු අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්‍ම කළ යුතු යැ නිස දිය යුතු යැ හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි: ඇවැත් දනියි, නො ඇවැත් දනියි, ලුහු ඇවැත් දනියි. ගරු ඇවැත් දනියි, සූත්‍ර වශයෙනුදු අනුව්‍යඤ්ජන වශයෙනුදු උභය ප්‍රාතිමෝක්‍ෂ විස්තර වශයෙන් මොනොවට පුහුණු කරණ ලදුයේ මොනොවට විභාග කොට ගන්නා ලදුයේ මොනොවට දැරීම් විසින් පවත්වා ගන්නා ලදුයේ මොනොවට විනිශ්චය කොට දැන ගන්නා ලදුයේ වෙයි. දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
3. නො දැහැමි පාමොක් තැබීම් සයෙකි.
දැහැමි පාමොක් තැබීම් සයෙකි.
ෂට්කය නිමි.
එහි නාමාවලිය:
1. අගාරව යැ, ගාරව යැ, විනීතවස්තු යැ, සාමීචි යැ, සමුට්ඨාන යැ, ජෙදන යැ, ආනිසංසය සමග ආකාර යැ.
2. පරම සය යැ, ඡාරත්ත යැ, චීවර යැ, රජන යැ, කායතෝ චිත්තතො යැ, වාචතො චිත්තතෝ යැ.
3. කායවාචාචිත්තතෝ යැ, කම්ම යැ, විවාදමූල යැ, අනුවාදමූල යැ, දීඝසො යැ, නිස්සය පටිප්පස්සද්ධි සමග තිරියං යැ.
4. නහානෙ අනුපඤ්ඤත්ති යැ, එසේම ආදාය සමාදාය දෙක යැ, අසෙක්ඛ යැ, සමාදපේතු යැ, අධිශීලය සමග සද්ධ යැ, ගිලාන යැ, ආභිසමාචාරික යැ, ආපත්ති යැ, අධම්මික යැ, ධම්මික යැ යි ෂට්කයෝ වෙත්.
සප්තකය
1. ආපත්ති සතෙකැ, ආපත්තිස්කන්‍ධ සතෙකැ, විනීතවස්තු සතෙකැ, සාමීචි සතෙකැ, නො දැහැමි පටිඤ්ඤාතකරණ සතෙකැ, දැහැමි පටිඤ්ඤාතකරණ සතෙකැ, සත් දෙනකුන් සඳහා සත්තාහකරණීයයෙන් යාමෙහි ඇවැත් නො වෙයි, විනයධරයා කෙරෙහි අනුසස් සතෙකැ, පරම සතෙකැ සත්වන අරුණ නැගීමෙහි නිසගි වෙයි. සමථ සතෙකැ, කර්‍ම සතෙකැ, අමුධාන්‍ය සතෙකැ, සරස ඇතුළත සත් වියතෙකැ, ගණභෝජනයෙහි අනුප්‍රඥප්ති සතෙකැ, බෙහෙත් පිළිගෙන සත් දිනක් පරම කොට තබා වැළඳිය යුතුය, කළ සිවුර ගෙණ නික්මෙයි යන සතෙකැ, කළ සිවුර මොනවට ගෙණ නික්මෙයි යන සතෙකැ, මහණහට දැක්කයුතු ඇවැතෙක් නො වෙයි යන සතෙකැ, මහණහට දැක්කයුතු ඇවැතෙක් වෙයි යන සතෙකැ, මහණහට පිළියම් කළයුතු ඇවැතෙක් වෙයි යන සතෙකැ, නො දැහැමි පාමොක් තැබීම් සතෙකැ, දැහැමි පාමොක් තැබීම් සතෙකි.
2. අඞ්ග සතෙකින් යුක්ත මහණ විනයධර වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, සිල්වත් වූයේ ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වැ ආචාරගෝචර සම්පන්න වූයේ අණුමාත්‍ර වද්‍යයෙහි භය දක්නා සුලු වැ වාස කෙරෙයි, ශික්‍ෂාපදයන් සමාදන් වැ ගෙන වාස කෙරෙයි, අභිචිත්තයෙහි උපන් ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සතර ධාන්‍යයන් කැමැතිසේ රිසිසේ නිදුකින් ලබන සුලු වෙයි, ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත් ඵලසමාධිය ද අර්‍හත්ඵලප්‍රඥාවද ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වාස කෙරේ යයි.
3. අනෙකුදු අඞ්ග සතෙකින් යුක්ත මහණ විනයධර වෙයි: ඇවැත් දනියි, නො ඇවැත් දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, බොහෝ ඇසූ තැන් ඇතියේ ඇසූ දේ දරනුයේ ඇසූ දේ රැස්කරන්නේ වෙයි, යම් ධර්‍ම කෙනෙක් ආදිකල්‍යාණ මජ්ඣෙකල්‍යාණ පරියොසානකල්‍යාණ වෙත් ද සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන කේවල පරිපූර්‍ණ වූවාහු වෙත් ද පරිශුද්ධ වූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත් ද, එබඳු ඒ ධර්‍මයෝ ඔහු විසින් බෙහෙවින් අසන ලද්දාහු දරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් සලකා බලන ලද්දාහු දෘෂ්ටියෙන් මොනොවට පිළිවිදින ලද්දාහු වෙත්. උතුම් සිත ඇසුරු කළ ඉහාත්මයෙහි සැපවිහරණ ඇති සතර ධ්‍යානයන් කැමැති සේ ලැබීම් ඇත්තේ සුවසේ ලැබීම් ඇත්තේ මහත්සේ ලැබීම් ඇත්තේ වෙයි. ආස්‍රවයන්ගේ ද ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ අර්‍හත්ඵල සමාධිය ද අර්‍හත්ඵල ප්‍රඥාව ද ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වෙසේ.
4. අනෙකුදු අඞ්ග සතෙකින් යුක්ත මහණ විනයධර වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනී. සූත්‍ර වශයෙන් ද අනුව්‍යඤ්ජන වශයෙන් ද විස්තර වශයෙන් ඔහු විසින් උභය ප්‍රාතිමෝක්‍ෂය මොනොවට පුහුණු කරන ලද, මොනොවට බෙදන ලද, මොනොවට පවත්වන ලද, මොනොවට විනිශ්චය කරන ලද වෙයි. උතුම් සිත ඇසුරු කළ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සතර ධ්‍යානයන් කැමැති සේ රිසි සේ නිදුකින් ලබන සුලු වෙයි, ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත්ඵල සමාධිය ද අර්‍හත්ඵල ප්‍රඥාව ද ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වාස කෙරේ යයි.
5. අනෙකුදු අඞ්ග සතෙකින් යුක්ත වූ මහණ විනයධර වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, නන් වැදැරුම් වූ පෙරැ විසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි: ඒ මෙසේ යැ: එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුණක් ද ජාති සතරක් ද ජාති පසක් ද ජාති දශයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතලිසක් ද ජාති පණසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති ලක්‍ෂයක් ද නොයෙක් නැසෙන කල්පයන් ද නොයෙක් වැඩෙන කල්පයන් ද නොයෙක් නැසෙන වැඩෙන කල්පයන් ද සිහි කෙරෙයි, “අසෝ තැන මෙබඳු නම් ඇත්තෙම් වීමි, මෙබඳු ගොත් ඇත්තෙම් වීමි, මෙබඳු පැහැ ඇත්තෙම් වීමි, මෙබඳු අහර ඇත්තෙම් වීමි, මෙබඳු සුවදුක් විඳියෙම් වීමි, මෙබඳු ආයු කෙළවර කොට ඇතියෙම් වීමි, ඒ මම එයින් චුත වූයෙම් මෙහි උපන්නෙම් වෙමි.” යි. මෙසේ ආකාර සහිත වූ විස්තර සහිත වූ නන් වැදැරුම් පෙරැවුසූ කඳපිළිවෙළ සිහි කෙරේ.
පිරිසිදුවූ මිනිසැස ඉක්ම වූ දිවැසින්, චුත වන්නා වූ ද උපදනා වූ ද ලාමක වූ ද උතුම් වූ ද මනා පැහැ ඇත්තා වූ ද නොමනා පැහැ ඇත්තා වූ ද සුගතියට පැමිණියා වූ ද දුගතියට පැමිණියා වූ ද සත්ත්‍වයන් දකියි, කම් වූ පරිද්දෙන් මියගියා වූ සත්ත්‍වයන් දනියි: “ඒකාන්තයෙන් මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද කළාහු මිසදිටු ඇත්තාහු මිසදිටුකම් සමාදන් වූවාහු කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරුගති ඇති විවස වැ පතිත වන නරකයට පැමිණියාහු යැයි ද” මේ භවත් සත්ත්‍වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද නො කළාහු සම්දිටු ඇත්තාහු සම්දිටුකම් සමාදන් වූවාහු කාබුන් මරණින් මතු යහපත් ගති ඇති සගලොවට පැමිණියාහු යැයි ද මෙසේ පිරිසිදු වූ මිනිසැස ඉක්ම වූ දිවැසින්, චුතවන්නා වූ ද උපදින්නා වූ ද ලාමක වූ ද උතුම් වූ ද මනා පැහැ ඇත්තා වූ ද නො මනා පැහැ ඇත්තා වූ ද සුගතියට පැමිණියා වූ ද දුගතියට පැමිණියා වූ ද සත්ත්‍වයන් දකී, කම්වූ පරිද්දෙන් මියගියා වූ ද සත්ත්‍වයන් දනී.
ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත්ඵලසමාධිය ද අර්‍හත්ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වාස කෙරේ යයි.
6. අඞ්ග සතෙකින් යුක්ත වූ විනයධර තෙමේ හොබනේ වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, සිල්වත් වූයේ ... වාස කෙරෙයි. ශික්‍ෂාපදයන්හි සමාදන් වැ හික්මෙයි. උතුම් සිත ඇසුරු කළා වූ ඉහාත්මයෙහි සැප විහරණ ඇත්තා වූ සතර ධාන්‍යයන් කැමැති සේ ලැබීම් ඇත්තේ සුවසේ ලැබීම් ඇත්තේ මහත්සේ ලැබීම් ඇත්තේ වෙයි. ආස්‍රවයන්ගේ ද ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ අර්‍හත් ඵලසමාධිය ද අර්‍හත්ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වාස කෙරේ.
7. අනෙකුදු අඞ්ග සතෙකින් යුක්ත වූ විනයධර තෙමේ හොබනේ වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, බොහෝ ඇසූ තැන් ඇත්තේ වෙයි ... දෘෂ්ටියෙන් මොනොවට අවබෝධ කරණ ලද්දාහු වෙත්. උතුම් සිත ඇසුරු කළ ඉහාත්මයෙහි සැපවිහරණ ඇති සතර ධාන්‍යයන් කැමැති සේ ලැබීම් ඇතියේ සුවසේ ලැබීම් ඇතියේ මහත්සේ ලැබීම් ඇතියේ වෙයි. ආස්‍රවයන්ගේ ද ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ අර්‍හත්ඵලසමාධිය ද අර්‍හත්ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වාස කෙරේ.
8. අනෙකුදු අඞ්ග සතෙකින් යුක්ත වූ විනයධර තෙමේ හොබනේ වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, පෙළ විසින් ද අනුව්‍යඤ්ජන විසින් ද ඔහු විසින් උභය ප්‍රාතිමෝක්‍ෂය විස්තර වශයෙන් මොනවට පුහුණු කරණ ලද්දේ මොනවට බෙදන ලද්දේ මොනවට පවත්වන ලද්දේ මොනවට විනිශ්චය කරණ ලද්දේ වෙයි, උතුම් සිත ඇසුරු කළ ඉහාත්මයෙහි සැපවිහරණ ඇත්තා වූ සතරධ්‍යානයන් කැමැති සේ ලැබීම් ඇත්තේ සුවසේ ලැබීම් ඇත්තේ මහත් සේ ලැබීම් ඇත්තේ වෙයි. ආස්‍රවයන්ගේ ද ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ අර්‍හත්ඵලසමාධිය ද අර්‍හත්ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි ම තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වාස කෙරේ.
9. අනෙකුදු අඞ්ග සතෙකින් යුක්ත වූ විනයධර තෙමේ හොබනේ වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, නන්වැදෑරුම් වූ පෙරවිසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි, ඒ මෙසේ යැ: එක් ජාතියක් ද ජාති දෙකක් ද ... මෙසේ ආකාර සහිත වූ විස්තර සහිත වූ නන්වැදෑරුම් වූ පෙරවිසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. චුතවන උපදනා ලාමක උතුම් මනා පැහැ ඇති නොමනා පැහැ ඇති සුගතිගත වූ දුගතිගත වූ සත්ත්‍වයන් පිරිසිදු මිනිසැස ඉක්මැ සිටි දිවැසින් දකියි, කම් වූ පරිදි මියගියා වූ සත්ත්‍වයන් දනියි, ආස්‍රවයන්ගේ ද ක්‍ෂය වීමෙන් ආස්‍රවරහිත වූ අර්‍හත්ඵලසමාධිය ද අර්‍හත් ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි ම තෙමේ නුවණින් දැන පසක් කොට එයට පැමිණ වාස කෙරේ.
10. අසද්ධර්‍ම සතෙකි: සැදැහැ නැත්තේ වෙයි, (පවට) ලජ්ජා නැත්තේ වෙයි. (පවට) බිය නැත්තේ වෙයි, අල්පශ්‍රැත වෙයි, කුසීත වෙයි, මුළා සිහි ඇත්තේ වෙයි, ප්‍රඥා නැත්තේ වේ.
11. සද්ධර්‍ම සතෙකි: සැදැහැ ඇත්තේ වෙයි, (පවට) ලජ්ජා ඇත්තේ වෙයි. (පවට) බිය ඇත්තේ වෙයි, බහුශ්‍රුත වෙයි, රුකුළු වැර ඇත්තේ වෙයි, එළඹ සිටි සිහි ඇත්තේ වෙයි, පැණැත්තේ වේ.
සප්තකය නිමි.
එහි නාමාවලිය:
1. ආපත්ති යැ ආපත්තිස්කන්‍ධ යැ විනීතවස්තු යැ සාමීචි යැ අධම්මික යැ ධම්මික යැ අනාපත්ති යැ සත්තාහකරණීය යැ.
2. ආනිසංස යැ පරමයැ සමථ ය සමග අරුණුග්ගමන යැ කම්ම යැ ආමකධඤ්ඤ යැ තිරියං සත්තන්තර යැ, ගණභෝජනයෙහි සත්ත අනුපඤ්ඤත්ති යැ,
3. සත්තාභ පරම සන්නිධි යැ කතචීවර ආදාය යැ කතචීවර සමාදාය යැ එසේ ම නහොති - හොති - හොති යැ අධම්මික පාතිමොක්ඛඨපන යැ ධම්මික පාතිමොක්ඛඨපන යැ.
4. සතර විනයධරයෝ යැ භික්බුසෝභන සතර යැ සත්ත අසද්ධම්ම යැ සත්ත සද්ධම්ම යැයි යන මොහු දෙසන ලදහු යි.
අෂ්ටකය
1. අනුසස් අටක් මැනැවින් දක්නහු විසින් ඒ මහණ ඇවැත් නො දැක්මෙහි උඛෙවුනීකම් නො කටයුතු යැ. අනුසස් අටක් දක්නහු විසින් මෙරමා පිළිබඳ සැදැහැයෙනුදු ඒ ඇවැත දෙසිය යුතු යැ, යාවතතියක ආපත්ති අටෙ කැ. අට අයුරෙකින් කුලදූෂණය කෙරෙයි, සිවුරු ඉපදවීම පිණිස මාතිකා අටෙකැ, කඨිනය ඉදිරීම පිණිස මාතිකා අටෙකැ, පානීය වර්‍ග අටෙකැ, නො දැහැමි කරුණු අටෙකින් මඬනා ලද හාත්පසින් මඩනාලද සිත් ඇති දෙව්දත් අපායෙහි උපදනෙ වෙයි, නිරීසත් වෙයි, කල්පස්ථායී වෙයි, පිළියම් නො කළ හැකියේ ද වේ, ලෝකධර්‍ම අටෙකැ, ගරුධර්‍ම අටෙකැ, පිළිදෙස්නී ඇවැත් අටෙකැ, මුසාවාදය අඞ්ග අටෙකින් සමන්‍වාගත යැ, උපෝසථාඞ්ග අටෙකැ, දූතෙය්‍යඞ්ග අටෙකැ, තීර්‍ත්‍ථකවත් අටෙකැ, මහමුහුදෙහි ආශ්චර්‍ය්‍ය වී අද්භූතධර්‍ම අටෙකැ, මේ සස්නෙහි ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍ම අටෙකැ, නො අයිරිත් අටෙකැ. අයිරිත් අටෙකැ, අටවැනි අරුණ නැඟීමෙහිලා නිසඟි වෙයි, පරිජි අටෙකැ. අටවැනි කරුණ සපුරණ මෙහෙණ (ලිඞ්ගනාසනායෙන්) නැසිය යුත්තී යැ. අටවැනි කරුණ සපුරණ මෙහෙණ විසින් (ඇවැත්) දෙසන ලද නමුදු නො දෙසන ලද වෙයි, (මෙහෙණන්ගේ) උපසපුව අට්ඨවාචිකා නමු, (බොජුන්හලැ මෙහෙණන්) අටදෙනකුන් පිළිබඳ වැ හුනස්නෙන් නැඟී සිටිය යුතුයි, අටදෙනෙකුන්හට අසුන් දිය යුතුයි, (විසාඛා) උවැසි වර අටක් යදියි, අටඟින් යුත් මහණ භික්බුනෝවාදක යැයි සම්මත කටයුතුයි, විනයධරයා කෙරෙහි අනුසස් අටෙකැ. පරම අටෙකැ. තස්සපාපිය්‍යසිකා කර්‍මය කරණ ලද මහණහු විසින් දහම් අටෙක්හි මැනැවින් පැවැතිය යුතුය, නො දැහැමි පාමොක් තැබීම් අටෙකැ, දැහැමි පාමොක් තැබීම් අටෙකි.
අෂ්ටකය නිමි.
එහි නාමාවලිය:
1. “න සො භික්ඛු” යනාදියෙහි දැක්වෙන අනුසස් යැ “පරෙසම්පි” යනාදියෙහි දැක්වෙන අනුසස් යැ යාවතතියක යැ කුලදූෂණ යැ (වීවරොත්පාදනයෙහි), මාතිකා යැ කඨිනෝද්ධාරයෙහි මාතිකා යැ පානීය යැ “අභිභූත” පදය ඇතුළත් කරුණු යැ,
2. ලෝකධර්‍ම යැ ගරුධර්‍ම යැ පිළිදෙස්නී යැ මුසාවාදාඞ්ගයැ උපෝසථාඞ්ග යැ දූතාඞ්ග යැ තීර්‍ත්‍ථකවත් යැ සස්නෙහි අද්භූතධර්‍ම අට යැ මුහුදෙහිදු අද්භූත ධර්‍ම අට යැ.
3. අතිරිත්ත යැ අනතිරිත්ත යැ නිසඟි යැ පරිජි යැ අටවැනි වස්තු යැ අදෙසිතාපත්ති යැ අට්ඨවාචිකා උපසම්පදා යැ,
4. පව්වුට්ඨාන යැ අස්න යැ භික්ඛුනෝවාදකය සමග වර යැ (විනයධර) අනුසස් යැ පරම යැ අට කරුණෙහි සම්මාවත්තනා යැ නො දැහැමි පාමොක් තැබීම් යැ දැහැමි පාමොක් තැබීම් යැයි අෂ්ටකයෝ මැනැවින් වදාරණ ලදහු යි.
නවකය
1. ආඝාතවස්තු නවයෙකැ, ආඝාතපටිවිනය නවයෙකැ, විනීතවස්තු නවයෙකැ, පඨමාපත්තිකාපත්ති නවයෙකැ, නවදෙනකුන් කරණ කොට සඞ්ඝයා බිඳෙයි, ප්‍රණීත භෝජන නවයෙකැ, නවවිධ මාංසයන් කරණ කොට ගෙණ දුකුළා වෙයි, පාමොක් උදෙසීම් නවයෙකැ, පරම නවයෙකැ, තෘෂ්ණාමූලක ධර්‍ම නවයෙකැ, මානයෝ නවවැදැරුම් වෙති, ඉටියයුතු චීවර නවයෙකැ, නො විකපිය යුතු සිවුරු නවයෙකැ, සුගත් වියතින් දිගින් නව වියතෙකැ, නො දැහැමි දන් නවයෙකැ, නො දැහැමි පිළිගැණුම් නවයෙකැ, නො දැහැමි පරිභෝග නවයෙකැ, දැහැමි දන් තුණෙකැ, දැහැමි පිළිගැණුම් තුණෙකැ, දැහැමි පරිභෝග තුණෙකැ, නො දැහැමි හැඟවීම් නවයෙකැ, දැහැමි හැඟවීම් නවයෙකැ, නො දැහැමි කම්හි නවක දෙකෙකැ, දැහැමි කම්හි නවක දෙකෙකැ, නො දැහැමි පාමොක් තැබීම් නවයෙකැ, දැහැමි පාමොක් තැබීම් නවයෙකි.
නවකය නිමි.
එහි නාමාවලිය:
1. ආඝාත වස්තු යැ ආඝාත පටිවිනය යැ විනීතවස්තු යැ පඨමාපත්තිකය සමග සඞ්ඝභේද යැ පණීතභෝජන යැ මංස යැ පාතිමොක්ඛුදෙදස යැ පරම යැ.
2. තාෂ්ණාමූලකධර්‍ම යැ මාන යැ චීවර අධිට්ඨාන යැ විකල්පන යැ නව වියත යැ දාන යැ පටිග්ගහ යැ පරිභෝග යැ ත්‍රිවිධදාන යැ.
3. අධම්මසඤ්ඤත්ති යැ ධම්මසක්ඤ්ඤත්ති යැ අධර්‍මකර්‍ම යැ ධර්‍මකර්‍ම යැ නො දැහැමි පාමොක් තැබීම් යැ දැහැමි පාමොක් තැබීම් යැයි නවකයෝ වෙත්.
දශකය
1. ආඝාතවස්තු දශයෙකැ, ආඝාත ප්‍රතිවිනය දශයෙකැ, විනීත වස්තු දශයෙකැ, දශවස්තුක මිථ්‍යාදාෂ්ටීහු යැ, දශවස්තුක සම්‍යග්දෘෂ්ටීහු යැ, දශ අන්තග්‍රගාහික දෘෂ්ටීහු යැ, මිච්ඡත්ත දශයෙකැ, සම්මත්ත දශයෙකැ, අකුශලකර්‍මපථ දශයෙකැ, කුශල කර්‍මපථ දශයෙකැ, නො දැහැමි ලහගැන්වීම් දශයෙකැ, දැහැමි ලහගැන්වීම් දශයෙකැ. හෙරණුන් පිළිබඳ සිකපද දශයෙකැ, අඞ්ග දසයෙකින් යුත් හෙරණ නැසිය යුතු වේ.
2. අඞ්ග දශයෙකින් යුක්තවූ විනයධර තෙමේ බාලයෙකැයි මැ ගණනට යෙයි: තමා පිළිබඳ කථාවසානය නො උගණියි, පරා පිළිබඳ කථාවසානය නො උගණියි, තමාගේ කථාවසානයෙහි ගතයුතු තෙපුල නො ඉගෙණ, පරාගේ කථාවසානයෙහි ගතයුතු තෙපුල නො ඉගෙණ, නො දැහැමින් විනිශ්චය කරවයි, ප්‍රතිඥා නො කිරීමෙන් විනිශ්චය කරවයි, ඇවැත නො දනියි, ආපත්තිමූලය නො දනියි, ආපත්තිසමුදය නො දනියි, ආපත්ති නිරෝධය නො දනියි, ආපත්තිනිරොධගාමිනී පටිපදාව නො දනී.
අඞ්ග දශයෙකින් යුක්ත වූ විනයධර තෙමේ පණ්ඩිතයෙකැයි මැ ගණනට යෙයි: තමා පිළිබඳ කථාවසානය උගණියි, පරා පිළිබඳ කථාවසානය උගණියි, තමාගේ කථාවසානය ඉගෙණ පරාගේ කථාවසානය ඉගෙණ දැහැමින් විනිශ්චය කරවයි, ප්‍රතිඥා වෙන් යුතුව විනිශ්චය කරවයි, ඇවැත දනියි, ආපත්තිමූලය දනියි, ආපත්තිසමුදය දනියි, ආපත්තිනිරෝධය දනියි, ආපත්තිනිරෝධගාමිනීපටිපදාව දනී.
3. අනෙකුදු අඞ්ග දශයෙකින් යුක්ත වූ විනයධර තෙමේ බාලයෙකැයි මැ ගණනට යෙයි: අධිකරණය නොදනියි, අධිකරණ මූලය නො දනියි, අධිකරණ සමුදය නො දනියි, අධිකරණ නිරෝධය නො දනියි, අධිකරණ නිරෝධගාමිනීපටිපදාව නො දනියි, වස්තුව නො දනියි, නිදානය නො දනියි, ප්‍රඥප්තිය නො දනියි, අනුප්‍රඥප්තිය නො දනියි, කථාමාර්‍ගය නො දනී.
අඞ්ග දශයෙකින් යුක්ත වූ විනයධර තෙමේ පණ්ඩිතයෙකැයි මැ ගණනට යෙයි: අධිකරණය දනියි, අධිකරණ මූලය දනියි, අධිකරණ සමුදය දනියි, අධිකරණ නිරෝධය දනියි, අධිකරණ නිරෝධ ගාමිනී පටිපදාව දනියි, වස්තුව දනියි, නිදානය දනියි, ප්‍රඥප්තිය දනියි, අනුප්‍රඥප්තිය දනියි, කථාමාර්‍ගය දනී.
4. අනෙකුදු අඞ්ග දශයෙකින් යුක්ත වූ විනයධර තෙමේ බාලයෙකැයි මැ ගණනට යෙයි: ඤත්තිය නො දනියි, ඤත්තිකරණය නො දනියි, පළමු වැ කියයුත්තෙහි දක්‍ෂ නො වෙයි, පසු වැ කියයුත්තෙහි දක්‍ෂ නො වෙයි, සුදුසු කල් නො දන්නේත් වෙයි, ඇවැත් නො ඇවැත් නො දනියි, ලුහු ගුරු ඇවැත් නො දනියි, සාවසේස අනවසේස ඇවැත් නො දනියි, තුළුල් නො තුළුල් ඇවැත් නො දනියි, ඔහු විසින් ආචාර්‍ය්‍ය පරම්පරාව මොනවට නො ඉගෙණගන්නා ලද මොනවට නො මෙනෙහි කරණලද මොනවට නො විමසන ලද වේ.
අඞ්ග දශයෙකින් යුක්තවූ විනයධරතෙමේ පණ්ඩිතයෙකැයි මැ ගණනට යෙයි: ඤත්තිය දනියි, ඤත්තිකරණය දනියි, පළමු වැ කිය යුත්තෙහි දක්‍ෂ වෙයි, පසු වැ කිය යුත්තෙහි දක්‍ෂ වෙයි, සුදුසු කල් දන්නේත් වෙයි, ඇවැත් නො ඇවැත් දනියි, ලුහුගුරු ඇවැත් දනියි. සාවසේස අනවසේස ඇවැත් දනියි, තුළුල් නොතුළුල් ඇවැත් දනියි, ඔහු විසින් ආචාර්‍ය්‍ය පරම්පරාව මොනවට ඉගෙණගන්නාලද මොනවට මෙනෙහි කරණලද මොනවට විමසනලද වේ.
5. අනෙකුදු අඞ්ග දශයෙකින් යුක්ත වූ විනයධරතෙමේ බාලයෙකැයි මැ ගණනට යෙයි: ඇවැත් නො ඇවැත් නො දනියි, ලුහුගුරු ඇවැත් නො දනියි, සාවසේස අනවසේස ඇවැත් නො දනියි, තුළුල් නොතුළුල් ඇවැත් නො දනියි, පෙළ විසිනුදු අනුව්‍යඤ්ජන විසිනුදු ඔහු විසින් විස්තර වශයෙන් උභය ප්‍රාතිමෝක්‍ෂය මොනවට පුහුණු නො කරණලද මොනවට නො බෙදන ලද මොනවට නො පවත්වන ලද මොනවට විනිශ්චය නො කරණ ලද වෙයි, ඇවැත් නො ඇවැත් නො දනියි, ලුහුගුරු ඇවැත් නො දනියි, සාවසේස අනවසේස ඇවැත් නො දනියි, තුළුල් නොතුළුල් ඇවැත් නො දනියි, අධිරකණයෙහිදු විනිශ්චය කුශල වූයේ නො වේ.
අඞ්ග දශයෙකින් යුක්තවූ විනයධර තෙමේ පණ්ඩිතයෙකැයි මැ ගණනට යෙයි: ඇවැත් නො ඇවැත් දනියි, ලුහුගුරු ඇවැත් දනියි, සාවසේස අනවසේස ඇවැත් දනියි, තුළුල් නො තුළුල් ඇවැත් දනියි, පෙළ විසිනුදු අනුව්‍යඤ්ජන විසිනුදු ඔහු විසින් විස්තර වශයෙන් උභය ප්‍රාතිමෝක්‍ෂය
මොනවට පුහුණුකරණ ලද මොනවට බෙදනලද මොනවට පවත්වන ලද මොනවට විනිශ්චය කරණලද වෙයි, ඇවැත් නො ඇවැත් දනියි, ලුහුගුරු ඇවැත් දනියි, සාවසේස අනවසේස ඇවැත් දනියි, තුළුල් නො තුළුල් ඇවැත් දනියි, අධිකරණයෙහිදු විනිශ්චය කුශලවූයේ වේ.
6. අඞ්ග දශයෙකින් යුත් මහණතෙමේ උබ්බාහිකාවට සම්මත කළ යුත්තේ යි, කරුණු දශයක් පිණිස භාග්‍යවතුන් විසින් සව්වනට සිකපද පණවන ලදි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි ආදීනව දශයෙකැ, දානවස්තු දශයෙකැ, රත්න දශයෙකැ, දශවර්ගික භික්‍ෂුසඞ්ඝයා යැ, දශවර්ගික ගණයා විසින් උපසපන් කළයුතුයැ, පාංශුකූල දශයෙකැ, සිවුරු ධැරීම් දශයෙකැ, අතිරේක චීවරයක් දසදිනක් පරම කොට ඇති කාලයක් දැරිය යුතුයි, සුකුරු දශයෙකැ, ස්ත්‍රීහු දශදෙනෙකැ, භාර්‍ය්‍යාවෝ දශ දෙනෙකැ, විසල් පුරයෙහි දශවස්තුවක් දක්වත්.
නො වැන්දයුතු පුද්ගලයෝ දශදෙනෙකි, ආක්‍රෝශ වස්තු දශයකි. දශ ආකාරයකින් පෙහෙසුන් එළවයි, සෙනසුන් දශයෙකැ, වරදශයක් ඉල්ලූහ, නො දැහැමි පාමොක් තැබීම් දශයෙකැ, දැහැමි පාමොක් තැබීම් දශයෙකැ, හුළුකැන් පිළිබඳ අනුසස් දශයෙකැ අකැපමස් දශයෙකැ, පරම දශයෙකැ, ව්‍යක්ත වූ ප්‍රතිබල වූ දසවස් ඇති මහණහු විසින් පැවිදි කළ යුතුයැ, උපසපන් කළ යුතුයැ, නිස දියයුතුයැ, හෙරණකු ලවා උවටැන් කරවිය යුතුය. ව්‍යක්තවූ ප්‍රතිබල වූ දසවස් ඇති මෙහෙණ විසින් පැවිදි කළ යුතුය, උපසපන් කළ යුතුයැ, නිසදියයුතුයැ, හෙරණියක ලවා උවැටන් කරවිය යුතුයි. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ දසවස් ඇති මෙහෙණ විසින් උපසපන් කිරීමේ සම්මුතිය ඉවසිය යුතුයැ, පිරිමින් අතරට ගියාවූ දසවස් ඇත්තියට සික්ඛා සමුම්තිය දියයුතුයි.
දශකය නිමි.
එහි නාමාවලිය:
1. ආඝාතයැ ආඝාතපටිවිනය යැ විනීතවස්තු යැ මිච්ඡාදිට්ඨි යැ සම්මාදිට්ඨි යැ අන්තග්ගාහික දිට්ඨි යැ මිච්ඡත්ත යැ සම්මත්ත යැ අකුසල යැ කුසල යැ,
2. අධම්මිකසලාකගාභ යැ ධම්මිකසලාකගාහ යැ හෙරණසික යැ නාසනා යැ භාසපරියන්ත යැ අධිකරණ යැ ඤත්ති යැ ලහුක යැ,
3. ලහුගරු ඇවැත් යන මොවුන් ද අකුසලය ද කුසලය ද දනිවු. උබ්බාහිකා යැ සික්ඛාපද පඤ්ඤත්ති යැ රාජන්තෙපුර යැ ආදීනව යැ දානවස්තුහු යැ,
4. රත්න යැ දසවග්ග යැ එසේම උපසම්පදා යැ පංසුකූල යැ චීවරධාරණ යැ දසාහපරම යැ සුක්ක යැ ස්ත්‍රීහු යැ,
5. භරියා යැ දශවස්තු යැ අවන්‍දිය හා ආක්‍රෝශ යැ පෙහෙසුන් එළවීම යැ සේනාසන යැ වර යැ නො දැහැමි පාමොක් තැබීම් යැ,
6. දැහැමි පාමොක් තැබීම් යැ යාගු යැ අකැප මාංස යැ පරම යැ දසවස් ඇති භික්‍ෂු යැ භික්‍ෂුණී යැ වුට්ඨාපන යැ ගි ගීගත යැ යන මේ දශකයෝ ද මැනැවින් පවසන ලදහ.
එකාදශකය
1. අනුපසපන් වූ එකොළොස් පුද්ගලයෝ උපසපන් නො කටයුත්තාහ, උපසපන් වූවාහු (ලිඞ්ගනාසනායෙන්) නැසිය යුත්තාහ, අකැප පාදුකා එකොළොසෙකැ, අකැප පාත්‍ර එකොළොසෙකැ, අකැප සිවුරු එකොළොසෙකැ, භික්‍ෂුණීන් පිළිබඳ යාවතතියක එකොළොසෙකැ, විචාළ යුතු අන්තරායකරධර්‍ම එකොළොසෙකැ, ඉටිය යුතු සිවුරු එකොළොසෙකැ, විකපුන් නො කටයුතු සිවුරු එකොළොසෙකැ, එකොළොස්වන අරුණු නැගීමෙහි නිසගි වෙයි, කප්පිය ගණඨීහු එකොළොසෙකැ, කැප වීඨ එකොළොසෙකැ. අකැප පොළෝ එකොළොසෙකැ, කැප පොළෝ එකොළොසෙකැ, නිස සන්හිඳුවීම් එකොළොසෙකැ, නො වැන්දයුතු පුද්ගලයෝ එකොළොස් දෙනෙකැ, පරම එකොළොසෙකැ, වර එකොළොසක් ඉල්වූහ. සීමාදෝෂ එකොළොසෙකැ, ආක්‍රෝශ පරිභව කරණ පුද්ගලයා කෙරෙහි එකොළොස් ආදීනව කෙනෙක් කැමැති විය යුත්තාහ.
2. සෙවුනා ලද වඩනා ලද බහුල වශයෙන් කරණ ලද යානයක් මෙන් කරණ ලද පිහිටක් මෙන් කරණ ලද නැවැත නැවැතත් උපදවන ලද හැම ලෙසින් පුහුණු කරණ ලද මොනවට පටන් ගන්නා ලද මෛත්‍රීචේතෝවිමුක්තිය පිළිබඳ අනුසස් එකොළොසෙක් කැමැති විය යුතු යැ: සුවසේ නිදයි සුවසේ පුබුදියි, නපුරු සිහින නොදකියි, මනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි, දෙවියෝ රකිති, ඔහුගේ සිරුරට ගිනි හෝ විෂ හෝ සැත් හෝ නොවදියි, සිත වහා එකඟ වෙයි, මුවපැහැය වෙසෙසින් පහන් වෙයි, නුමුළා වැ කලුරිය කෙරෙයි, මත්තෙහි රහත්වන්නට නොහැකි වූ යේ බඹලොව උපදියි, සෙවුනා ලද වඩනාලද බහුල වශයෙන් කරණ ලද යානයක් මෙන් කරණ ලද පිහිටක් මෙන් කරණ ලද නැවැත නැවැත උපදවන ලද හැම ලෙසින් පුහුණු කරණ ලද මොනවට පටන් ගන්නා ලද ත්‍රෛතිචේතෝවිමුක්තිය පිළිබඳ මේ අනුසස් එකොළොස කැමැති විය යුතුයි.
එකාදශකය නිමි.
එහි නාමාවලිය:
1. නාසෙතබ්බ යැ පාදුකා යැ පාත්‍ර යැ, චීවර යැ යාවතතියක යැ පුච්ජිතබ්බ යැ අධිට්ඨාන යැ විකප්පන යැ.
2. අරුණුග්ගමන යැ ගණ්ඨීකා යැ වීය යැ අකප්පිය කප්පිය පඨවී යැ නිස්සය ය අවන්‍දිය යැ පරම යැ වර යැ සීමාදෝස යැ අක්කෝසක යැ. මෙත්තාචේතෝවිමුක්ති එකාදසානිසංස යැ යි (මොහු) නම් කරණ ලදහ.
ඒකුත්තරිකය නිමි.
එහි නාමාවලිය:
1. එකක යැ දුක යැ තික යැ චතුක්ක යැ පඤ්චක යැ ඡක්ක යැ සත්තක යැ අට්ඨක යැ නවක යැ දසක යැ ඒකාදසක යැයි,
2. අවබෝධ කළ දහම් ඇති තාදී ගුණයෙන් යුත් මහාවීර සර්‍වඥයන් වහන්සේ විසින් හැම සත්නට හිත පිණිස නිර්‍මල ඒකුත්තරිකය දෙසන ලදි.