ඇවැතෙක් ඇත ගමෙහි අවදියි, අරණ්‍යයෙහි නො අවදී. ඇවැතෙක් ඇත අරණ්‍යයෙහි අවදියි, ගමෙහි නො අවදී. ඇවැතෙක් ඇත ගමෙහි ද අරණ්‍යයෙහි ද අවදී. ඇවැතෙක් ඇත ගමෙහි නො ම අවදියි, අරණ්‍යයෙහි නො අවදී.
11. චෝදනා සතරෙකි: වත්‍ථුසංදස්සනා යැ ආපත්තිසංදස්සනා යැ සංවාසපටික්ඛේප යැ සාමීචිපටික්ඛෙප යැයි.
පූර්‍වකෘත්‍යයෝ සිවු දෙනෙකි. පත්තකාල කර්‍මයෝ සිවු දෙනෙකි. අනඤ්ඤපාචිත්තිය ශික්‍ෂාපදයෝ සිවුදෙනෙකි. භික්‍ෂුසම්මුතීහු සිවු දෙනෙකි.
අගතිගමනයෝ සිවු දෙනෙකි: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි.
නාගතිගමනයෝ සිවු දෙනෙකි. ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි. භයෙන් අගතියට නො යෙයි.
12. සිවු අඟින් යුක්ත වූ අලජ්ජි භික්‍ෂු තෙමේ සඞ්ඝභේදය කෙරෙයි: ඡන්‍දයෙන් අගතියට යන්නේ ද්වේෂයෙන් අගතියට යන්නේ මෝහයෙන් අගතියට යන්නේ භයෙන් අගතියට යන්නේ යි.
සිවු අඟින් යුක්ත වූ ප්‍රියශීලි භික්‍ෂු තෙමේ සඞ්ඝයා සමගි කෙරෙයි. ඡන්‍දයෙන් අගතියට නො යන්නේ ද්වේෂයෙන් අගතියට නො යන්නේ මෝහයෙන් අගතියට නො යන්නේ භයෙන් අගතියට නො යන්නේ යි.
සිවු අඟින් යුක්තවූ මහණහු පිළිබඳ විනය නො විචාළ යුතුයි: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි.
සිවු අඟින් යුත් මහණහු විසින් විනය නො විචාළ යුතුය: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි.
සිවු අඟින් යුත් මහණහු පිළිබඳ විනය නො විසඳිය යුතුයි: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි.
සිවු අඟින් යුත් මහණහු විසින් විනය නො විසඳිය යුතුයි: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි.
සිවු අඟින් යුත් මහණහට අනුයෝගය නොදිය යුතුයි: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි.
සිවු අඟින් යුත් මහණහු සමඟ විනය සාකච්ඡා නො කටයුතුයි: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි.
13. ඇවැතෙක් ඇත ගිලනා අවදියි, නො ගිලනා නො අවදී. ඇවතෙක් ඇත නො ගිලනා අවදියි, ගිලනා නො අවදී. ඇවතෙක් ඇත ගිලනාත් අවදියි, නො ගිලනාත් අවදී. ඇවතෙක් ඇත ගිලනාත් නො ගිලනාත් නො ම අවදී.
14. නො දැහැමි පාමොක් තැබීම් සතරෙකැ, දැහැමි පාමොක් තැබීම් සතරෙකි.
චතුෂ්කය නිමි.
එහි නාමාවලිය:
1. සකවාවා යැ කාය යැ පසුත්ත යැ අචිත්තක යැ එසේ ම ආපජ්ජන්ත යැ කම්ම යැ වෝහාර සතර යැ,
2. භික්‍ෂු භික්‍ෂුණි සාධාරණ අසාධාරණ පරිජි යැ පරික්ඛාර යැ සම්මුඛයා යැ අජාන යැ කාය යැ මජ්ඣයැ එසේ ම දෙවැදෑරුම් වුට්ඨාති යැ.
3. පටිලාභය සමඟ චෝදනා යැ පරිවාස යැයි චතුෂ්ක කියනු ලැබේ. මානත්තචාරිකා යැ සාමුක්කංසා යැ පටිග්ගාහ යැ.
4. මහාවිකට යැ කම්ම යැ යළි කම්මවිපත්ති යැ අධිකරණ යැ දුස්සීල යැ ආගන්තුක චතුෂ්කය සමඟ සෝභනා යැ.
5. ගමික යැ වත්‍ථුනානත්ත යැ උපජ්ඣාය චතුෂ්කය සමඟ සභාග යැ ආචරිය යැ පච්චය යැ දුච්චරිත යැ සුචරිත යැ.
6. ආදියන්ත යැ පුග්ගල යැ ආසනාරහ සමඟ අභිවාදනාරහ යැ කාල යැ කප්පති යැ පච්චන්තිම යැ කප්පති යැ.
7. අන්තො යැ අන්තො සීමා යැ චෝදනා චතුෂ්කය සමඟ ගාම යැ පුබ්බකිච්ච යැ පත්තකල්ල යැ අනඤ්ඤ යැ සම්මුති යැ.
8. අගති යැ නාගති යැ පෙසල චතුෂ්කය සමඟ අලජ්ජි යැ පුච්ජිතබ්බ දෙක යැ එසේම විස්සජ්ජෙය්‍ය දෙක යැ අනුයෝග යැ සාකච්ඡා යැ ඨපනා දෙක සමඟ ගිලාන යැයි මෙහි චතුෂ්ක නාමාවලි යයි.
පඤ්චකය
1. ආපත්ති පසෙකැ. ආපත්තිස්කන්‍ධ පසෙකැ. විනීතවස්තු පසෙකැ. ආනන්තරික කර්‍ම පසෙකැ. නියත පුද්ගලයෝ පස් දෙනෙකැ. ඡේදනක ආපත්ති පසෙකැ. පස් අයුරෙකින් ඇවැතට පැමිණෙයි, මුසාබිණීම හේතු කොට ගෙණ ඇවැත් පසෙකි.
2. පස් අයුරෙකින් විනය කර්‍මයට නො පැමිණේ: තෙමේ හෝ විනය කර්‍මය නො කෙරෙයි. මෙරමා හෝ ආරාධනය නො කෙරෙයි. ඡන්‍දය හෝ පාරිසුද්ධිය හෝ නො දෙයි. කර්‍මය කරණු ලබන කල්හි පිළිකෙව් කෙරෙයි. යළි කර්‍මය කළ කල්හි අධර්‍මදෘෂ්ටි ඇත්තේ හෝ වෙයි.
පස් අයුරෙකින් විනය කර්‍මයට පැමිණේ. තෙමේ හෝ විනය කර්‍මය කෙරෙයි. මෙරමා හෝ ආරාධනය කෙරෙයි. ඡන්‍දය හෝ පාරිසුද්ධිය හෝ දෙයි. කර්‍මය කරණු ලබන කල්හි පිළිකෙව් නො කෙරෙයි. යළි කර්‍මය කළ කල්හි ධර්‍මදෘෂ්ටි ඇත්තේ හෝ වෙයි.
3. පිණ්ඩපාතික මහණහට කැප දෑ පසෙක: අනාමන්තචාර යැ ගණභෝජන යැ පරම්පරභෝජන යැ අනධිෂ්ඨාන යැ අවිකල්පන යි.
4. පසඟින් යුත් මහණ පවිටු වුව ද ක්‍ෂීණාස්‍රව වුව ද සැක කරණ ලද්දෙක් නැවැත නැවැත සැක කරණ ලද්දෙක් වෙයි: වෙසඟනන් ඇසුරුකරන්නේ හෝ යැ. වැන්දඹුවන් ඇසුරු කරන්නේ හෝ යැ. යොවුන් බවට පත් අවිවාහක ස්ත්‍රීන් ඇසුරු කරන්නේ හෝ යැ. පණ්ඩකයන් ඇසුරු කරන්නේ හෝ යැ. භික්‍ෂුණීන් ඇසුරු කරන්නේ හෝ යි.
5. තෙල් පසෙක: තල තෙලැ අබ තෙලැ මී තෙලැ එරඬු තෙලැ වුරුණු තෙලි.
වුරුණු තෙල් පසෙක: වලස් තෙලැ මස් තෙලැ කිඹුල් තෙලැ හූරු තෙලැ කොටළු තෙලි.
6. ව්‍යසන පසෙක: ඥාතිව්‍යසන යැ භොග ව්‍යසන යැ රෝග ව්‍යසන යැ ශීල ව්‍යසන යැ දාෂ්ටි ව්‍යසන යි.
සම්පත්ති පසෙක: ඥාතිසම්පත්ති යැ භෝගසම්පත්ති යැ ආරෝග්‍යසම්පත්ති යැ සීලසම්පත්ති යැ දිට්ඨිසම්පත්ති යි.
7. උපාධ්‍යායයා කෙරෙන් නිස මිදීම් පසෙක: උපාධ්‍යාය තෙමේ බැහැර ගියේ හෝ වෙයි, උපැවිදි වූයේ හෝ වෙයි, කලුරිය කෙළේ හෝ වෙයි, අන්තොටුබවට ගියේ හෝ වෙයි, ඇණවීම මැ පස් වැනි වේ.
පුද්ගලයෝ පස් දෙනෙක් උපසපන් නො කටයුතු වෙති: උනු විසි වයස් ඇත්තේ යැ. විකල වූ අවයව ඇත්තේ යැ. වස්තු විපන්න යැ, ථෙය්‍යසංවාසාදි දුෂ්කෘත කර්‍ම ඇත්තේ යැ පිරිපුන් පා සිවුරු නැත්තේ යි.
8. පාංශුකූල පසෙක: සොහොන් පිළි යැ අවන් පිළි යැ මීයන් කෑ පිළි යැ වේයන් කෑ පිළි යැ ගින්නෙන් දැවුණු පිළි යි.
අනෙකුදු පාංශුකූල පසෙක: ගෙරින් කෑ පිළි යැ එළුවන් කෑ පිළි යැ තුඹස් සිසාළ පිළි යැ බිසෙවුමඩු පිළි යැ මිනී ඔතා ගෙණ පිළි යි.
9. අවහාර පසෙක: සොරසිතින් ගැන්ම යැ සැහැසිකමින් ගැන්ම යැ පිරිකපා ගැන්ම යැ පිළිසන් කොට ගැන්ම යැ කුසපත් පෙරැළි කොට ගැන්ම යි.
10. මහ සොරු පස් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙති.
නො විසඳිය යුතු භාණ්ඩ පසෙකි.
නො බෙදිය යුතු භාණ්ඩ පසෙකි.
පස් ඇවැතෙක් කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී.
පස් ඇවැතෙක් කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී.
පස් ඇවැතෙක් දේශනාගාමීනි යැ.
සඞ්ඝ වර්‍ග පසෙකි.
පාමොක් උදෙසීම් පසෙකි.
සියලු පසල් දනවුහි විනයධරයකු පස්වැනි කොට ඇති ගණයා විසින් උපසම්පදා කර්‍ම කළ යුතු යි.
කඨිනය ඇතිරීමෙහි අනුසස් පසෙකි.
විනය කර්‍ම පසෙකි.
තුන් යළ තෙක් කීමෙහි ඇවැත් පසෙකි.
පස් අයුරෙකින් නොදුන් දෙය පැහැර ගන්නහුට පරිජි ඇවැත් වේ.
පස් අයුරෙකින් නොදුන් දෙය පැහැර ගන්නහුට ථුලැසි ඇවැත් වේ.
පස් අයුරෙකින් නොදුන දෙය පැහැර ගන්නහුට දුකුළා ඇවැත් වේ.
11. නොවැළඳිය යුතු අකැප බොජුන් පසෙක: නොදෙන ලද්දේත් වෙයි, (පිළිගණිමියි) නො දන්නා ලද්දේත් වෙයි, අකැපත් වෙයි, නො පිළිගන්නා ලද්දේත් වෙයි, පවරා අයිරිත් නො කරණ ලදුයේ ද වේ.
වැළඳිය යුතු කැප බොජුන් පසෙක: දෙන ලද්දේත් වෙයි, (පිළිගණිමියි) දන්නා ලද්දේත් වෙයි, කැපත් වෙයි, පිළිගන්නා ලද්දේත් වෙයි, පවරා අයිරිත් කරණ ලදුයේ ද වේ.
ලෝකයා විසින් පිණැයි සම්මත නො පින් වූ දන් පසෙක: මද්‍යදාන යැ නෘත්‍යදාන යැ ස්ත්‍රීදාන යැ වෘෂභදාන යැ (අසභ්‍ය) චිත්‍රකර්‍මදාන යි.
දුරැලීමට දුෂ්කර වූ උපන් කරුණු පසෙක: උපන් රාගය දුරැලීමට දුෂ්කර යැ, උපන් ද්වේෂය දුරැලීමට දුෂ්කර යැ, උපන් මෝහය දුරැලීමට දුෂ්කර යැ, උපන් ප්‍රතිභානය දුරැලීමට දුෂ්කර යැ, උපන් ගමිකචිත්තය දුරැලීමට දුෂ්කර යි.
හැමදීම පිළිබඳ අනුසස් පසෙක: සිය සිත පහදියි, මෙරමා සිත පහදියි, දෙවියෝ සතුටු සිත් ඇත්තාහු වෙති, ප්‍රසාදය පිණිස පවත්නා කර්‍මයක් රැස් කෙරෙයි, කාබුන් මරණින් මතු ශෝභනගති ඇති දෙව්ලොවට පැමිණේ.
හැමදීම පිළිබඳ අනෙකුදු අනුසස් පසෙක: සිය සිත පහදිසි, මෙරමා සිත පහදියි, දෙවියෝ සතුටු සිත් ඇති වෙති. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය කරණ ලද්දේ වෙයි. පශ්චිම ජනතාව දිට්ඨානුගතියට පැමිණේ.
12. පසඟෙකින් යුත් විනයධර බාලයෙකැයි මැ ගිණීමට යෙයි: සිය වදන් පිරියත නො ම උගණියි, මෙරමා වදන් පිරියත නො ම උගණියි, සිය වදන් පිරියත නො ඉගෙණ මෙරමා වදන් පිරියත නො ඉගෙණ අධර්‍මයෙන් අප්‍රතිඥායෙන් කරවයි.
පසඟෙකින් යුත් විනයධර පණ්ඩිතයෙකැයි මැ ගිණීමට යෙයි: සිය වදන් පිරියත උගණියි, මෙරමා වදන් පිරියත උගණියි, සියවදන් පිරියත ඉගෙණ මෙරමා වදන් පිරියත ඉගෙණ ධර්‍මයෙන් ප්‍රතිඥායෙන් කරවයි.
අනෙකුදු පසඟෙකින් යුත් විනයධර බාලයෙකැයි මැ ගිණීමට යෙයි: ආපත්තිය නො දනියි, ආපත්තිමූලය නො දනියි, ආපත්තිසමුදය නො දනියි, ආපත්තිනිරෝධය නො දනියි, ආපත්තිනිරෝධ ගාමිනී ප්‍රතිපත් නො දනී.
පසඟෙකින් යුත් විනයධර පණ්ඩිතයෙකැ යි මැ ගිණීමට යෙයි: ආපත්තිය දනියි ආපත්තිමූලය දනියි, ආපත්තිසමුදය දනියි, ආපත්තිනිරෝධය දනියි, ආපත්තිනිරොධගාමිනී ප්‍රතිපත් දනී.
අනෙකුදු පසඟෙකින් යුත් විනයධර බාලයෙකැ යි මැ ගිණීමට යෙයි: අධිකරණය නො දනියි, අධිකරණමුලය නො දනියි, අධිකරණ සමුදය නො දනියි, අධිකරණනිරෝධය නො දනියි, අධිකරණ නිරොධගාමිනී ප්‍රතිපත් නො දනී.
පසඟෙකින් යුත් විනයධර පණ්ඩිතයෙකැ යි මැ ගිණීමට යෙයි: අධිකරණය දනියි, අධිකරණමූලය දනියි, අධිකරණසමුදය දනියි, අධිකරණනිරෝධය දනියි, අධිකරණනිරෝධගාමිනී ප්‍රතිපත් දනී.
අනෙකුදු පසඟෙකින් යුත් විනයධර බාලයෙකැ යි මැ ගිණීමට යෙයි: වස්තුව නො දනියි, නිදානය නො දනියි, ප්‍රඥප්තිය නො දනියි, අනුප්‍රඥප්තිය නො දනියි, අනුසන්‍ධිකථාමාර්‍ගය නො දනී.
පසඟෙකින් යුත් විනයධර පණ්ඩිතයෙකැ යි මැ ගිණීමට යෙයි: වස්තුව දනියි, නිදානය දනියි, ප්‍රඥප්තිය දනියි, අනුප්‍රඥප්තිය දනියි, අනුසන්‍ධිකථාමාර්‍ගය දනී.
අනෙකුදු පසඟෙකින් යුත් විනයධර බාලයෙකැ යි මැ ගිණීමට යෙයි: ඤත්තිය නො දනියි, ඤත්තිකරණය නො දනියි, පළමු කියයුත්තෙහි දක්‍ෂ නො වෙයි, පසුව කියයුත්තෙහි දක්‍ෂ නො වෙයි, කල් නො දන්නේත් වේ.
පසඟෙකින් යුත් විනයධර පණ්ඩිතයෙකැ යි මැ ගිණීමට යෙයි: ඤත්තිය දනියි, ඤත්තිකරණය දනියි, පළමු කියයුත්තෙහි දක්‍ෂ වෙයි, පසුව කියයුත්තෙහි දක්‍ෂ වෙයි කල් දන්නේත් වේ.
අනෙකුදු පසඟෙකින් යුත් විනයධර බාලයෙකැ යි මැ ගිණීමට යෙයි: ආපත්තිය ද අනාපත්තිය ද නො දනියි, ලහුකාපත්තිය ද ගරුකාපත්තිය ද නො දනියි, සාවසේසා පත්තිය ද අනවසේසාපත්තිය ද නො දනියි, දුට්ඨුල්ලාපත්තිය ද අදුට්ඨුල්ලාපත්තිය ද නො දනියි, ඔහු විසින් ආචාර්‍ය්‍ය පරම්පරාව මැනැවින් නො උගන්නා ලද වෙයි මැනැවින් මෙනෙහි නො කරණ ලද වෙයි මැනැවින් නො දරාගන්නා ලද වේ.
පසඟෙකින් යුත් විනයධර පණ්ඩිතයෙකැ යි මැ ගිණීමට යෙයි: ආපත්තිය ද අනාපත්තිය ද දනියි ලහුකාපත්තිය ද ගරුකාපත්තිය ද දනියි සාවසේසාපත්තිය ද අනවසේසාපත්තිය ද දනියි දුට්ඨුල්ලාපත්තිය ද අදුට්ඨුල්ලාපත්තිය ද දනියි ඔහු විසින් ආචාර්‍ය්‍ය පරම්පරාව මැනැවින් උගන්නා ලද වෙයි මැනැවින් මෙනෙහි කරණ ලද වෙයි මැනැවින් දරාගන්නා ලද වේ.
අනෙකුදු පසඟෙකින් යුත් විනයධර බාලයෙකැ යි මැ ගිණීමට යෙයි: ආපත්ති අනාපත්ති නො දනියි, ලහුකාපත්ති ගරුකාපත්ති නො දනියි, සාවසේසාපත්ති අනවසේසාපත්ති නො දනියි, දුට්ඨුල්ලාපත්ති අදුට්ඨුල්ලාපත්ති නො දනියි, ඔහු විසින් උභය ප්‍රාතිමෝක්‍ෂය විස්තර වශයෙන් මැනැවින් ප්‍රගුණ නො කරණ ලද වෙයි. මැනවින් නො බෙදනලද වෙයි, මැනැවින් (දැරීම්වශයෙන්) නො පවත්වන ලද වෙයි, පෙළ වශයෙන් ද අර්‍ත්‍ථකථා වශයෙන් ද මැනැවින් විනිශ්චය නො කරණ ලද වේ.
පසඟෙකින් යුත් විනයධර පණ්ඩිතයෙකැ යි මැ ගිණීමට යෙයි: ආපත්ති අනාපත්ති දනියි, ලහුකාපත්ති ගරුකාපත්ති දනියි, සාවසේසාපත්ති අනවසේසාපත්ති දනියි, දුට්ඨුල්ලාපත්ති අදුට්ඨුල්ලාපත්ති දනී, ඔහු විසින් උභය ප්‍රාතිමෝක්‍ෂය විස්තර වශයෙන් මැනැවින් ප්‍රගුණ කරණලද වෙයි මැනැවින් බෙදන ලද වෙයි මැනැවින් (දැරීම් වශයෙන්) පවත්වන ලද වෙයි පෙළ වශයෙන් ද අර්‍ත්‍ථකථා වශයෙන් ද මැනැවින් විනිශ්චය කරණ ලද වේ.
අනෙකුදු පසඟෙකින් යුත් විනයධර බාලයෙකැ යි මැ ගිණීමට යෙයි; ආපත්ති අනාපත්ති නො දනියි, ලහුකාපත්ති ගරුකාපත්ති නො දනියි, සාවසේසාපත්ති අනවසේසාපත්ති නො දනියි, දුට්ඨුල්ලාපත්ති අදුට්ඨුල්ලාපත්ති නො දනියි, අධිකරණයෙහි විනිශ්චය කුශල වූයේ ද නො වේ.
පසඟෙකින් යුත් විනයධර පණ්ඩිතයෙකැ යි මැ ගිණීමට යෙයි, ආපත්ති අනාපත්ති දනියි, ලහුකාපත්ති ගරුකාපත්ති දනියි, සාවසේසාපත්ති අනවසේසාපත්ති දනියි, දුට්ඨුල්ලාපත්ති අදුට්ඨුල්ලාපත්ති දනියි, අධිකරණයෙහි විනිශ්චය කුශල වූයේ ද වේ.
13. ආරණ්‍යකයෝ පස් දෙනෙක: නුවණ මඳ බැවින් මුළා බැවින් ආරණ්‍යයක වෙයි, ලාමක අදහස් ඇතියේ ලාමක අදහසින් මඬනා ලදුයේ ආරණ්‍යයක වෙයි, උමතුවෙන් චිත්ත වික්‍ෂේපයෙන් ආරණ්‍යක වෙයි, බුදුවරුන් විසින් බුදුසව්වන් විසින් වර්ණිත යැයි ආරණ්‍යක වෙයි. තව ද අපිස් බව මැ නිසා සතොස් බව මැ නිසා කෙලෙස් ලියනු මැ නිසා විවේකය මැ නිසා මෙයින් අර්‍ත්‍ථයක් ඇති බව මැ නිසා ආරණ්‍යයක වේ.
පිණඩපාතිකයෝ පස් දෙනෙක ... පංසුකුලිකයෝ පස් දෙනෙක ... රුක්ඛමූලිකයෝ පස් දෙනෙක ... සෝසානිකයෝ පස් දෙනෙක ... අබ්භෝකාසිකයෝ පස් දෙනෙක ... තෙචීවරිකයෝ පස් දෙනෙක ... සපදානචාරිකයෝ පස් දෙනෙක නෙසජ්ජිකයෝ පස් දෙනෙක ... යථාසන්‍ථතිකයෝ පස් දෙනෙක ... ඒකාසනිකයෝ පස් දෙනෙක ... බලුපච්ඡයාභත්තිකයෝ පස් දෙනෙක ... පත්තපිණ්ඩිකයෝ පස් දෙනෙක: නුවණ මඳ බැවින් මුළා බැවින් පත්තපිණ්ඩික වෙයි, ලාමක අදහස් ඇතියේ ලාමක අදහසින් මඬනාලදුයේ පත්තපිණ්ඩික වෙයි, උමතුවෙන් චිත්ත වික්‍ෂේපයෙන් පත්තපිණ්ඩික වෙයි, බුදුවරුන් විසින් බුදුසව්වන් විසින් වර්ණිත යැයි පත්තපිණ්ඩික වෙයි. තව ද අපිස්බව මැ නිසා සතොස්බව මැ නිසා කෙලෙස් ලියනු මැ නිසා විවේකය මැ නිසා මෙයින් අර්‍ත්‍ථයක් ඇති බව මැ නිසා පත්තපිණ්ඩික වේ.
14. පසඟෙකින් යුත් මහණ අනිශ්ශ්‍රිත වැ නො විසිය යුතු ය: පොහොය නො දනියි, පොහෝකම් නො දනියි, පාමොක් නො දනියි, පාමොක් උදෙසුම් නො දනියි, උනුපස්වස් ඇත්තේ වේ.
පසඟෙකින් යුත් මහණ අනිශ්ශ්‍රිත වැ විසිය යුතු ය: පොහොය දනියි, පොහෝකම් දනියි, පාමොක් දනියි, පාමොක් උදෙසුම් දනියි, පස්වස් ඇත්තේ හෝ අයිරා පස්වස් ඇති හෝ වේ.
අනෙකුදු පසඟෙකින් යුත් මහණ අනිශ්ශ්‍රිත වැ නො විසිය යුතු ය: පවාරණය නො දනියි, පවාරණ කර්‍මය නො දනියි. පාමොක් නො දනියි, පාමොක් උදෙසුම් නො දනියි, උනුපස්වස් ඇති වේ.
පසඟෙකින් යුත් මහණ අනිශ්ශ්‍රිත වැ විසිය යුතු ය: පවාරණය දනියි, පවාරණකර්‍මය දනියි, පාමොක් දනියි, පාමොක් උදෙසුම් දනියි, පස්වස් ඇත්තේ හෝ අයිරාපස්වස් ඇත්තේ හෝ වේ.
අනෙකුදු පසඟෙකින් යුත් මහණ අනිශ්ශ්‍රිත වැ නො විසිය යුතු ය: ඇවැත් නො ඇවැත් නො දනියි, ලුහු ගුරු ඇවැත් නො දනියි, සාවසේස අනවසේස ඇවැත් නො දනියි, තුළුල් නො තුළුල් ඇවැත් නො දනියි, උනුපස්වස් ඇති වේ.
පසඟෙකින් යුත් මහණහු අනිශ්ශ්‍රිත වැ විසිය යුතු ය: ඇවැත් නො ඇවැත් දනියි, ලුහු ගුරු ඇවැත් දනියි, සාවසේස අනවසේස ඇවැත් දනියි, තුළුල් නො තුළුල් ඇවැත් දනියි, පස්වස් ඇත්තේ හෝ අයිරා පස්වස් ඇත්තේ හෝ වේ.
15. පසඟෙකින් යුත් මෙහෙණ අනිශ්ශ්‍රිත වැ නො විසිය යුතු ය: පොහොය නො දනියි, පොහෝකම් නො දනියි, පාමොක් නො දනියි, පාමොක් උදෙසුම් නො දනියි, උනුපස් වස් ඇති වේ.
පසඟෙකින් යුත් මෙහෙණ අනිශ්ශ්‍රිත වැ විසිය යුතුය: පොහොය දනියි, පොහෝකම් දනියි, පාමොක් දනියි, පාමොක් උදෙසුම් දනියි, පස්වස් ඇත්තී හෝ අයිරා පස්වස් ඇත්තී හෝ වේ.
අනෙකුදු පසඟෙකින් යුත් මෙහෙණ අනිශ්ශ්‍රිත වැ නො විසිය යුතු ය: පවාරණය නො දනියි, පවාරණකර්‍මය නො දනියි, පාමොක් නො දනියි, පාමොක් උදෙසුම් නො දනියි, උනුපස්වස් ඇත්තී වේ.
පසඟෙකින් යුත් මෙහෙණ අනිශ්ශ්‍රිත වැ විසිය යුතු ය. පවාරණය දනියි, පවාරණ කර්‍මය දනියි, පාමොක් දනියි, පාමොක් උදෙසුම් දනියි, පස්වස් ඇත්තී හෝ අයිරා පස්වස් ඇත්තී හෝ වේ.
අනෙකුදු පසඟෙකින් යුත් මෙහෙණ අනිශ්ශ්‍රිත වැ නො විසිය යුතු ය: ඇවැත් නො ඇවැත් නො දනියි, ලුහු ගුරු ඇවැත් නො දනියි, සාවසේස අනවසේස ඇවැත් නො දනියි, තුළුල් නො තුළුල් ඇවැත් නො දනියි, උනුපස්වස් ඇත්තී වේ.
පසඟෙකින් යුත් මෙහෙණ අනිශ්ශ්‍රිත වැ විසිය යුතු ය: ඇවැත් නො ඇවැත් දනියි, ලුහු ගුරු ඇවැත් දනියි, සාවසේස අනවසේස ඇවැත් දනියි, තුළුල් නො තුළුල් ඇවැත් දනියි, පස්වස් ඇත්තී හෝ අයිරා පස්වස් ඇත්තී හෝ වේ.
16. අකුශල කර්‍ම ඇත්තහු කෙරෙහි ආදීනව පසෙක: තෙමේත් තමහට දෝෂාරෝපණය කෙරෙයි, නුවණැත්තෝ (කරුණු) විමසා දැන ගරහති, ලාමක වූ කීර්ති ඝෝෂය උස් වැ පැන නඟියි, මුළා වැ කලුරිය කෙරෙයි, කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස වැ පතිත වන නිරයට පැමිණේ.
කුශලකර්‍ම ඇත්තහු කෙරෙහි අනුසස් පසෙක: තෙමේත් තමහට දෝෂාරෝපණය නො කෙරෙයි, නුවණැත්තෝ කරුණු විමසා දැන පසසති, යහපත් වූ කීර්තිඝෝෂය උස් වැ පැන නඟියි, නො මුළා වැ කලුරිය කෙරෙයි, කාබුන් මරණින් මතු යහපත් ගති ඇති දෙව්ලොවට පැමිණේ.
අකුශල කර්‍ම ඇත්තහු කෙරෙහි අනෙකුදු ආදීනව පසෙක: නො පහන් වූවෝ නො පහදිති, පහන් වූ ඇතැමුන්ගේ වෙනස් බව වෙයි, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව නො කරණ ලද වෙයි, පශ්චිම ජනතාව දිට්ඨානුගතියට නො පැමිණෙයි, ඔහුගේ සිත නො පහදී.
කුශලකර්‍ම ඇත්තහු කෙරෙහි අනුසස් පසෙක: නො පහන් වූවෝ පහදිති, පහන් වූවන්ගේ බොහෝ බව පිණිස වෙයි, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය කරණ ලද වෙයි, පශ්චිම ජනතාව දිට්ඨානුගතියට පැමිණෙයි, ඔහුගේ සිත පහදී.
17. කුලුපග මහණ කෙරෙහි ආදීනව පසෙක: අනාමන්තවාරය ඇතියේ ඇවැතට පැමිණෙයි, රහොනිසජ්ජායෙන් ඇවැතට පැමිණෙයි, පිළිසන් අස්නෙකැ හිඳීමෙන් වන ඇවැතට පැමිණෙයි, මාගමකට සපස් වදනින් මත්තෙහි දහම් දෙසනුයේ ඇවැතට පැමිණෙයි, කාමවිතර්‍ක බහුල වැ ද වාස කෙරේ.
වේලා ඉක්මවා කුලයෙහි ගිහියන් හා හැනී වසන කුලුපග මහණ පිළිබඳ ආදීනව පසෙක; මාගම නිතර දැක්ම යැ, දැක්ම ඇති කල්හි එක්වීම යැ, එක්වීම ඇති කල්හි විශ්වාස යැ, විශ්වාසය ඇති කල්හි රාගයට බැසීම යැ, රාගයට බැසගත් සිත් ඇති මහණහු විසින් තෙල කැමැති විය යුතුය: සසුන්හි ඇලුම් නැති වැ හෝ බඹසර කරයි, එක්තරා සකිලිටි ඇවැතකට හෝ පැමිණෙයි, ශික්‍ෂා හැරපියා ගිහිබවට හෝ පෙරළේ.
18. බීජ පසෙක: මූල බීජ යැ ස්කන්‍ධ බීජ යැ පර්‍ව බීජ යැ අග්‍ර බීජ යැ පස්වැනි වූ බීජ බීජ යි.
පඤ්ච ශ්‍රමණ ව්‍යවහාරයෙන් කැප කළ ඵලය පරිභෝග කටයුතු ය: ගින්නෙන් කැප කරණලද යැ ආවුධයෙන් කැප කරණලද යැ නියෙන් කැප කරණලද යැ මුහුකළ බිජුවට නැතියෙ යැ පස්වැනි වූ බැහැර කළ බිජුවට ඇතියෙ යි.
19. විශුද්ධි පසෙක: නිදානය උදෙසා සෙස්ස ශ්‍රැතයෙන් ඇස්විය යුතු යි, මේ පළමුවන විශුද්ධි යැ. නිදානය උදෙසා සිවුපරීජි උදෙසා සෙස්ස ශ්‍රැතයෙන් ඇස්විය යුතු යි, මේ දෙවන විශුද්ධි යැ, නිදානය උදෙසා සිවුපරිජි උදෙසා තෙළෙස් සඟවෙසෙස් උදෙසා සෙස්ස ශ්‍රැතයෙන් ඇස්විය යුතු යි. මේ තුන්වන විශුද්ධි යැ. නිදානය උදෙසා සිවු පරිජි උදෙසා තෙළෙස් සඟවෙසෙස් උදෙසා දෙ අනියතය උදෙසා සෙස්ස ශ්‍රැතයෙන් ඇස්විය යුතු යි. මේ සිවුවන විශුද්ධි යැ. චිත්‍ථාරුද්දේසයෙන් මැ පස්වැනි විශුද්ධි යි.