කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට සඟහු රිසි වෙත් නම් ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නාහු යැ: ඩබර කරන්නේ ... සඞ්ඝයා ඉදිරියෙහි අධිකරණ කරන්නේ වෙයි, බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇතියේ ඇවැත් පිරිසිඳීම් නැතියේ වෙයි, ඇවැතට පැමිණ ඇවැත දැකීමට නො කැමැති වේ.
කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට සඟහු රිසි වෙත් නම් ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නාහු යැ: ඩබර කරන්නේ ... සඞ්ඝයා ඉදිරියෙහි අධිකරණ කරන්නේ වෙයි, බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ ඇවැත් පිරිසිඳීම් නැත්තේ වෙයි, ඇවැතට පැමිණ ඇවැතට පිළියම් කිරීමට නො කැමැති වේ.
කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට සඟහු රිසි වෙත් නම් ලාමක දෘෂ්ටිය නො හැරීමෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නාහු යැ: ඩබර කරන්නේ ... සඞ්ඝයා ඉදිරියෙහි අධිකරණ කරන්නේ වෙයි, බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇතියේ ඇවැත් පිරිසිඳීම් නැත්තේ වෙයි, ලාමකවූ දෘෂ්ටිය හරින්නට කැමැති නො වේ.
කරණු තුනෙකින් යුක්ත වූ මහණහට සඟහු රිසි වෙත් නම් දැඩිබව පිණිස යත්න (උක්ඛේපනීය කර්‍මය) කරන්නාහු යැ: ඩබර කරන්නේ කලහ කරන්නේ විවාද කරන්නේ දොඩමලුකම් කරන්නේ සඞ්ඝයා ඉදිරියෙහි අධිකරණ කරන්නේ වෙයි. බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇතියේ ඇවැත් පිරිසිඳීම් නැතියේ වෙයි, අනුලොම් නො වූ ගිහිසසඟින් ගිහියන් හා හැනී වෙසේ.
6. කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට (තජ්ජනීයාදි) කර්‍ම කටයුතු යි. අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
අනෙකුදු කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි. අධිශීලයෙහි නට සිල් ඇත්තේ වෙයි, උතුම් ආචාරයෙහි නට ආචාර ඇත්තේ වෙයි, සම්‍යග් දෘෂ්ටිය ඉක්මවා විපන්දිටු ඇත්තේ වේ.
අනෙකුදු කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි: (දුකෙළිම් ආදි) කායද්වාරික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි, (කට බෙර ගැසීම් ආදි) වාග්ද්වාරික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි, (නැටුම් ගැයුම් ආදී) කායික-වාචසික අනාචාරයෙන් යුක්ත වූයේ වේ.
අනෙකුදු කරුණු තුනෙකින් යුත් මහණහට කර්‍ම කටයුතුයි: කායද්වාරික සිකපද ඉක්මවන්නේ වෙයි, වාග්ද්වාරික සිකපද ඉක්මවන්නේ වෙයි, කායවාග්ද්වාරික සිකපද ඉක්මවන්නේ වේ.
අනෙකුදු කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතුයි: කායද්වාරයෙහි පැණවූ සිකපදයන්හි නො හික්මීමෙන් යුක්ත වූයේ වෙයි, වාග්ද්වාරයෙහි පැණවූ සිකපදයන්හි නො හික්මීමෙන් යුක්ත වූයේ වෙයි, කායවාග්ද්වාරයෙහි පැණවූ සිකපදයන්හි නො හික්මීමෙන් යුක්ත වූයේ වේ.
අනෙකුදු කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි: කය පිළිබඳ වැරදි ජීවිකායෙන් යුක්ත වූයේ වෙයි, වචනය පිළිබඳ වැරදි ජීවිකායෙන් යුක්ත වූයේ වෙයි, කය වචනය පිළිබඳ වැරදි ජීවිකායෙන් යුක්ත වූයේ වේ.
අනෙකුදු කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි. ඇවැතට පැමිණියේ (තජ්ජනීයාදි) කර්‍ම කරණු ලැබූයේ උපසපන් කෙරෙයි, නිස දෙයි, හෙරණකු ලවා උවැටන් කරවා ගණී.
අනෙකුදු කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි: යම් ඇවැතක් නිමිති කොට සඞ්ඝයා විසින් කර්‍මය කරන ලද්දේ වේ ද, ඒ ඇවැතට නැවත පැමිණෙයි. එබඳු අන් ඇවැතකට හෝ පැමිණෙයි, එයට වඩා ලාමක ඇවැතකට හෝ පැමිණෙයි.
අනෙකුදු කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි: බුදුන් පිළිබඳ අගුණ කියයි, ධර්‍මය පිළිබඳ අගුණ කියයි, සඞ්ඝයා පිළිබඳ අගුණ කියයි.
7. කරුණු තුනෙකින් යුක්ත වූ සඟමැද පොහෝ තබන මහණහට “මහණ, නුසුදුසු යැ, ඩබර නො කර, කලහ නො කර, විරුද්ධ ග්‍රහණ නො කර, විරුද්ධ වාද නො කර” යි මැඩ පවත්වා සඞ්ඝයා විසින් පොහෝ කටයුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
කරුණු තුනෙකින් යුක්ත වූ සඟමැද පවුරුණු තබන මහණහට “මහණ නුසූදුසූ යැ, ඩබර නො කර, කලහ නො කර, විරුද්ධග්‍රහණ නො කර, විරුද්ධ වාද නො කර” යි මැඩ පවත්වා සඞ්ඝයා විසින් පවාරණය කටයුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
8. කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට කිසි සඞ්ඝසම්මුතියෙක් නො දිය යුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
කරුණු තුනෙකින් යුක්ත වූ මහණහු විසින් සඟමැද කිසිවක් නො කිය යුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
කරුණු තුනෙකින් යුක්ත වූ මහණ කිසියම් දෙටු තැනෙක නො තැබිය යුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
කරුණු තුනෙකින් යුක්ත වූ මහණහු ඇසුරු කොට නො විසිය යුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට නිස නො දිය යුතුයි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
කරුණු තුනෙකින් යුක්ත වූ අවසර ඉල්වන මහණහට අවසර දෙන්නට නො වටී: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
කරුණු තුනෙකින් යුක්ත වූ මහණහුගේ වචනය නො පිළිගතයුතු යි (නො ඇසිය යුතුයි): අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
කරුණු තුනෙකින් යුක්ත වූ මහණහු පිළිබඳ විනය නො විචාළ යුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වෙයි.
කරුණු තුනෙකින් යුක්ත වූ මහණහු විසින් විනය නො විචාළ යුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
කරුණු තුනෙකින් යුක්ත වූ මහණහු පිළිබඳ විනය නො විසඳිය යුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
කරුණු තුනෙකින් යුක්ත වූ මහණහු විසින් විනය නො විසඳිය යුතුයි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට විනය පිළිවිසුමට අවසර නො දිය යුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
කරුණු තුනෙකින් යුක්ත වූ මහණහු සමඟ විනය ප්‍රශ්න සාකච්ඡා නො කටයුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි. ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
කරුණු තුනෙකින් යුක්ත වූ මහණහු විසින් උපසපන් නො කරවිය යුතු යි. නිස නො දිය යුතු යි, හෙරණකු ලවා උවටැන් කරවා නො ගතයුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.
9. තුදුස්වක යැ පසළොස්වක යැ සමගි පොහොය යැ යි පොහෝ තුනෙකි, සඟ පොහොයැ ගණපොහො යැ පුඟුල් පොහෝ යැ යි අනෙකුදු පොහෝ තුනෙකි. සුත්තුද්දෙස උපෝසථ යැ පාරිසුද්ධිඋපෝසථ යැ අධිට්ඨානුපෝසථයැ යි අනෙකුදු පොහෝ තුනෙකි.
තුදුස්වක් පවුරුණු යැ පසළොස්වක් පවුරුණු යැ සමගිපවුරුණු යැ යි පවුරුණු තුනෙකි. සඞ්ඝ පවාරණ යැ ගණපවාරණ යැ පුග්ගල පවාරණ යැ යි අනෙකුදු පවුරුණු තුනෙකි. තෙවාචික පවාරණ යැ ද්වේවාචික පවාරණ යැ සමාන වස්සික පවාරණ යැ යි අනෙකුදු පවුරුණු තුනෙකි.
10. යමෙකුත් බඹසර නැත්තේ බඹසර ඇතැයි පිළිණ කරන්නේ වේ ද, යමෙකුත් පිරිසිදු බඹසර හැසිරෙන රහත් මහණක්හට මුල් රහිත නො බඹසරින් චෝදනා කෙරේ ද යම් මේ පුද්ගලයෙකුත් “කාමසේවනයන්හි දොස් නැතැ”යි මෙසේ කියන්නේ මෙබඳු ලබ්ධි ඇත්තේ වේ ද, හෙතෙමේ කාමයන් සෙවුනාබවට පැමිණේ ද යන තිදෙන මේ ලබ්ධිය හෝ වරද නො හැර නිරිසතුන් වැ අපායයෙහි උපදින්නෝ වෙත්.
11. අකුශලමූලයෝ තිදෙනෙකි: ලෝභය අකුශල මූලයෙකැ, ද්වේෂය අකුශල මූලයෙකැ, මෝහය අකුශල මූලයෙකි. කුශලමූලයෝ තිදෙනෙකි: අලෝභය කුශල මූලයෙකැ, අද්වේෂය කුශල මූලයෙකැ, අමෝහය කුශල මූලයෙකි.
දුශ්චරිතයෝ තිදෙනෙකි: කාය දුශ්චරිත යැ වාග්දුශ්චරිත යැ මනෝදුශ්චරිත යැ. සුචරිතයෝ තිදෙනෙකි: කායසුචරිත යැ වාක්සුචරිතයැ මනඃසුචරිත යැයි.
12. දුග්ශීල පුද්ගලයන්ට නිග්‍රහ පිණිස ද ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස ද ලාමක අදහස් ඇත්තෝ පක්‍ෂය නිසා සඞ්ඝයා නො බිඳින්නාහු”යි කුලානුග්‍රහය පිණිස දැයි කරුණු තුනක් සලකා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි තික භෝජනය පනවන ලදී.
අසත්පුරුෂ ධර්‍ම තුනෙකින් මඩනාලද හාත්පසින් අල්වාගත් සිත් ඇති දේවදත්ත නිරිසත් වැ කපක් ආයු ඇතිවැ පිළියම් නො කට හැකියෙක් වැ අපායෙහි උපන්නෙක් වේ. ලාමක අදහස් ඇති බැවින්, පාපමිත්‍රයන් ඇති බැවින්, ස්වල්පමාත්‍ර වූ විශේෂාධි ගමයෙන් අතරමග දී කෙළවරකට පැමිණියේ යි.
13. සම්මුති තුනෙකි: දණ්ඩසම්මුති යැ, සික්කාසම්මුති යැ, දණඩසික්කා සම්මුති යැයි.
ස්ථිර වූ ගෙන යා නො හැක්කා වූ පාදුකා තුනෙකි: වර්චස්පාදුකා යැ, මූත්‍රපාදුකා යැ, ආචමන පාදුකා යැයි.
පියගැටුම් තුනෙකි: ගල්කැට යැ, කැබිලිති යැ, හිරිගල් යැයි.
තිකය නිමි.
එහි නාමාවලිය:
1. තිට්ඨන්ත යැ කාල යැ රත්ති යැ දසවස්ස යැ පඤ්චවස්ස යැ කුසලාදි යැ වේදනා යැ චෝදනාවත්‍ථු යැ සලාකගාහ යැ පටික්ඛේප යැ අනුඤ්ඤාත යැ.
2. පඤ්ඤති යැ අපර දෙක යැ බාල යැ කාළ යැ කප්පති යැ හේමන්ත යැ සඞ්ඝ යැ සඞ්ඝස්ස යැ ඡාදනා යැ පටිච්ඡාදි යැ.
3. පටිච්ඡන්න යැ විවට යැ සේනාසනගහ යැ ගිලාන යැ පාතිමොක්ඛඨපන යැ පරිවාස යැ මානත්ත යැ පාරිවාසික යැ,
4. අන්තො යැ අන්තොසීමා යැ ආපජ්ජති යැ නැවැත අපර යැ වුට්ඨාති යැ අපර දෙක යැ අමූළ්හවිනය දෙක යැ,
5. තජ්ජනීය යැ නියස්ස යැ පබ්බාජනිය යැ පටිසාරණීය යැ අදස්සන යැ අප්පටිකම්ම යැ දිට්ඨි ය පිළිබඳ අනිස්සග්ගී යැ.
6. ආගාළ්හ යැ කම්ම යැ අධිශීල යැ දව යැ අනාචාර යැ උපඝාතික යැ ආජීව යැ ආපන්න යැ තාදිසකා යැ අවණ්ණ යැ උපෝසථ යැ,
7. පවාරණ යැ සම්මුති යැ වෝහාරිතබ්බ යැ පච්චෙකට්ඨාන යැ න වත්‍ථබ්බ යැ න දාතබ්බ යැ එසේ ම ඕකාසකම්ම අකරණ යැ,
8. සවචනීය අකරණ යැ න පුච්ජිතබ්බ දෙක යැ න විස්සජ්ජිතබ්බ දෙක යැ අනුයෝග අදාන යැ,
9. සාකච්ඡා යැ උපසම්පදා යැ නිස්සය යැ සාමණේර යැ උපෝසථත්තික යැ පවාරණත්තික යැ,
10. අපායික යැ අකුශලයැ කුශල යැ දුච්චරිත යැ සුචරිත යැ තිකභෝජන යැ අසද්ධම්ම යැ පාදුකා යැ සම්මුති යැ පාදඝංසනිකා යැ යි තිකයෙහි මේ නාමාවලි යයි.
චතුෂ්කය
1. ඇවැතෙක් ඇත සිය වදනින් අවදියි. පර වදනින් නැඟී සිටී. ඇවැතෙක් ඇත පර වදනින් අවදියි, සිය වදනින් නැඟී සිටී. ඇවැතෙක් ඇත සිය වදනින් අවදියි, සිය වදනින් නැඟී සිටී. ඇවැතෙක් ඇත පර වදනින් අවදියි, පර වදනින් නැඟී සිටී.
ඇවැතෙක් ඇත කායද්වාරයෙන් අවදියි වාග්ද්වාරයෙන් නැඟී සිටී. ඇවැතෙක් ඇත වාග්ද්වාරයෙන් අවදියි කායද්වාරයෙන් නැඟී සිටී. ඇවැතෙක් ඇත කායද්වාරයෙන් අවදියි, කායද්වාරයෙන් නැඟී සිටී. ඇවැතෙක් ඇත වාග් ද්වාරයෙන් අවදියි වාග් ද්වාරයෙන් නැඟී සිටී.
ඇවැතෙක් ඇත නිදිගත්තේ අවදියි පිබිදියේ නැඟී සිටී. ඇවැතෙක් ඇත පිබිදියේ අවදියි නිදිගත්තේ නැඟී සිටී. ඇවැතෙක් ඇත නිදිගත්තේ අවදියි, නිදිගත්තේ නැඟී සිටී. ඇවැතෙක් ඇත පිබිදියේ අවදියි පිබිදියේ නැඟී සිටී.
ඇවැතෙක් ඇත අචිත්තක වූයේ අවදියි සචිත්තක වූයේ නැඟී සිටී. ඇවැතෙක් ඇත සචිත්තක වූයේ අවදියි අචිත්තක වූයේ නැඟී සිටී. ඇවැතෙක් ඇත අචිත්තක වූයේ අවදියි අචිත්තක වූයේ නැඟී සිටී. ඇවැතෙක් ඇත සචිත්තක වූයේ අවදියි සචිත්තක වූයේ නැඟී සිටී.
ඇවැතෙක් ඇත අවදනේ දෙසයි දෙසනුයේ අවදී. ඇවැතෙක් ඇත අවදනේ නැඟී සිටියි, නැඟී සිටිනුයේ අවදී.
ඇවැතෙක් ඇත කර්‍මයෙන් අවදියි අකර්‍මයෙන් නැඟී සිටී. ඇවැතෙක් ඇත අකර්‍මයෙන් අවදියි කර්‍මයෙන් නැඟී සිටී. ඇවැතෙක් ඇත කර්‍මයෙන් අවදියි කර්‍මයෙන් නැඟී සිටී. ඇවැතෙක් ඇත අකර්‍මයෙන් අවදියි අකර්‍මයෙන් නැඟී සිටී.
2. නො දුටුයෙහි දිටැයි කියන සුලු බව, නො ඇසුයෙහි ඇසිණැයි කියනසුලුබව, අමුතයෙහි මුතැයි කියනසුලුබව, නො දතුයෙහි දතැයි කියනසුලුබවැයි අනරිය බැවහර සතරෙකි.
නො දුටුයෙහි නො දිටැයි කියනසුලුබව, නො ඇසුයෙහි නො ඇසිණැයි කියන සුලුබව, අමුතයෙහි අමුතැයි කියනසුලුබව, නො දතුයෙහි නො දතැයි කියනසුලුබවැයි අරිය බැවහර සතරෙකි.
දුටුයෙහි නො දිටැයි කියනසුලුබව, ඇසුයෙහි නො ඇසිණයි කියන සුලුබව, මුතයෙහි අමුතැයි කියනසුලුබව, දතුයෙහි නො දතැයි කියනසුලුබවැයි අනෙකුදු අනරිය බැවහර සතරෙකි.
දුටුයෙහි දිටැයි කියනසුලුබව, ඇසුයෙහි ඇසිණැයි කියනසුලුබව, මුතයෙහි මුතැයි කියනසුලුබව, දතුයෙහි දතැයි කියනසුලුබවැයි අරිය බැවහර සතරෙකි.
3. භික්‍ෂූන්ට භික්‍ෂූණීන් හා සාධාරණවූ පරිජි සතරෙකි. භික්‍ෂුණීන්ට භික්‍ෂූන් හා අසාධාරණවූ පරිජි සතරෙකි.
පිරිකර සතරෙකි: රැකියයුතු වූ ගෝපනය කටයුතු වූ මමායනය කටයුතු වූ පරිභෝග කටයුතු වූ පිරිකරෙක් ඇත, රැකියයුතු වූ ගෝපනය කටයුතු වූ මමායනය කටයුතු වූ පරිභෝග නොකටයුතු වූ පිරිකරෙක් ඇත, රැකියයුතු වූ ගෝපනය කටයුතු වූ මමායනය නො කටයුතු වූ පරිභෝග නො කටයුතු වූ පිරිකරෙක් ඇත, නො රැකියයුතු වූ ගෝපනය නො කටයුතු වූ මමායනය නො කටයුතු වූ පරිභෝග නො කටයුතු වූ පිරිකරෙක් ඇති.
ඇවැතෙක් ඇත හමුවෙහි අවදියි නො හමුවෙහි නැඟී සිටියි. ඇවැතෙක් ඇත නො හමුවෙහි අවදියි හමුවෙහි නැඟී සිටියි. ඇවැතෙක් ඇත හමුවෙහි අවදියි හමුවෙහි නැඟී සිටියි. ඇවැතෙක් ඇත නො හමුවෙහි අවදියි නො හමුවෙහි නැඟී සිටී.
ඇවැතෙක් ඇත නො දන්නේ අවදියි දන්නේ නැඟී සිටීසි, ඇවැතෙක් ඇත දන්නේ අවදියි නො දන්නේ නැඟී සිටියි, ඇවැතෙක් ඇත නො දන්නේ අවදියි නො දන්නේ නැඟී සිටියි, ඇවැතෙක් ඇත දන්නේ අවදියි දන්නේ නැඟී සිටී.
4. සිවු අයුරකින් ඇවැතට අවදියි: කායද්වාරයෙන් අවදියි, වාග්ද්වාරයෙන් අවදියි, කායද්වාරයෙන් හා වාග්ද්වාරයෙන් අවදියි, කර්‍ම වාක්‍යයෙන් අවදී. සඟමැදහි ගණමැදහි පුඟුලක්හු වෙතැ ලිඟුපිරිවැටුමෙනැයි අනෙකුදු සිවු අයුරකින් ඇවැතට අවදී.
කායද්වාරයෙන් නැඟී සිටියි, වාග්ද්වාරයෙන් නැඟී සිටියි, කායද්වාරයෙන් හා වාග්ද්වාරයෙන් නැඟී සිටියි, කර්‍ම වාක්‍යයෙන් නැඟී සිටීයි සිවු අයුරකින් ඇවැතින් නැඟී සිටී.
සඟමැදහි ගණමැදහි පුඟුලක්හු වෙතැ ලිඟු පිරිවැටුමෙනැයි අනෙකුදු සිවු අයුරෙකින් ඇවැතින් නැඟී සිටී. ස්ත්‍රී ලිඞ්ගය පිළිලැබීම සමඟ පළමු පුරුෂ ලිඞ්ගය හරියි, පශ්චිම ස්ත්‍රී ලිඞ්ගයෙහි පිහිටයි. විඥප්තීහු සන්සිඳෙත්, ප්‍රඥප්තීහු නිරුද්ධ වෙත්. පුරුෂ ලිඞ්ගය පිළිලැබීම සමග හීන වූ ස්ත්‍රී ලිඞ්ගය හරී. පළමු පුරුෂ ලිඞ්ගයෙහි පිහිටයි. විඥප්තීහු සන් සිඳෙති, ප්‍රඥප්තීහු නිරුද්ධ වෙත්.
5. චෝදනා සතරෙකි; සීලවිපත්තියෙන් චෝදනා කෙරෙයි, ආචාර විපත්තියෙන් චෝදනා කෙරෙයි, දිට්ඨිවිපත්තියෙන් චෝදනා කෙරෙයි, ආජීවවිපත්තියෙන් චෝදනා කෙරෙයි.
පරිවාස සතරෙකි: පටිච්ඡන්න පරිවාස යැ, අපටිච්ඡන්න පරිවාස යැ, සුද්ධන්ත පරිවාස යැ, සමෝධාන පරිවාස යැයි.
මානත් සතරෙකි: පටිච්ඡන්න මානත්ත යැ, අපටිච්ඡන්න මානත්ත යැ, පක්ඛමානත්ත යැ, සමෝධාන මානත්ත යැයි.
සහවාස යැ, විප්පවාස යැ, අනාරෝචන යැ, ඌන ගණයෙහි හැසිරීම යැයි මානත හැසිරෙන මහණහු පිළිබඳ රාත්‍රිච්ඡේද සතරෙකි.
සාමුක්කංස සතරෙකි.
6. පිළිගත් පිරිබෝ සතරෙකි: යාවකාලික යැ, යාමකාලික යැ, සත්තාහකාලික යැ යාවජීවක යැයි.
මහාවිකට සතරෙකි: ගුථ යැ, මූත්‍ර යැ, අළු යැ, මැටි යැයි.
කර්‍ම සතරෙකි: අපලෝකනකර්‍ම යැ, ඤත්තිකර්‍මය යැ, ඤත්තිදුතියකර්‍ම යැ, ඤත්තිචතුත්‍ථකර්‍ම යැයි.
අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම යැ, අධර්‍මයෙන් සමග්‍රකර්‍ම යැ, ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම යැ ධර්‍මයෙන් සමග්‍ර කර්‍ම යැයි අනෙකුදු කර්‍ම සතරෙකි.
සීලවිපත්ති යැ, ආචාර විපත්ති යැ, දිට්ඨි විපත්ති යැ, ආජීව විපත්ති යැයි විපත් සතරෙකි.
විවාදාධිකරණ යැ, අනුවාදාධිකරණ යැ, ආපත්තාධිකරණ යැ, කිච්චාධිකරණ යැයි අධිකරණ සතරෙකි.
දුශ්ශීල වූ ලාමක ස්වභාව ඇති භික්‍ෂු තෙමේ පරිෂදුෂණ යැ. දුග්ශීල වූ ලාමක ස්වභාවය ඇති භික්‍ෂුණි තොමෝ පරිෂ දූෂණා යැ, දුශ්ශීල වූ ලාමක ස්වභාවය ඇති උපාසක තෙමේ පරිෂදූෂණ යැ, දුශ්ශීල වූ ලාමක ස්වභාවය ඇති උපාසිකා තොමෝ පරිෂ දූෂණා යැයි පරිෂදූෂණයෝ සිවුදෙනෙකි.
සිල්වත් වූ කලණදම් ඇති මහණ තෙමේ පිරිස් හොබවන්නෙක, සිල් ඇත්තා වූ කලණදම් ඇත්තා වූ මෙහෙණ තොමෝ පිරිස් හොබවන්නියක, සිල්වත්වූ කලණදම් ඇත්තා වූ උවසු තෙමේ පිරිස් හොබවන්නෙක, සිල්වත් වූ කලණදම් ඇත්තා වූ උවැසි තොමෝ පිරිස් හොබවන්නිය කැයි පිරිස් හොබවන්නෝ සිවුදෙනෙකි.
7. ඇවැතෙක් ඇත ආගන්තුකයා අවදියි, ආවාසිකයා නො අවදී. ඇවැතෙක් ඇත ආවාසිකයා අවදියි, ආගන්තුකයා නො අවදී. ඇවැතෙක් ඇත ආගන්තුකයාත් අවදියි, ආවාසිකයාත් අවදී. ඇවැතෙක් ඇත ආගන්තුකයාත් නො අවදියි, ආවාසිකයාත් නො අවදී.
ඇවැතෙක් ඇත ගමිකයා අවදියි, ආවාසිකයා නො අවදී, ඇවැතෙක් ඇත ආවාසිකයා අවදියි, ගමිකයා නො අවදී, ඇවැතෙක් ඇත ගමිකයාත් අවදියි, ආවාසිකයාත් අවදී. ඇවැතෙක් ඇත ගමිකයාත් නො අවදියි, ආවාසිකයාත් නො අවදී.
වස්තු නානාත්‍වයෙක් ඇත ආපත්ති නානාත්‍වයෙක් නැත, ආපත්ති නානාත්‍වයෙක් ඇත වස්තු නානාත්‍වයෙක් නැත, වස්තු නානාත්‍වය ද ආපත්ති නානාත්‍වය ද ඇත, වස්තු නානාත්‍වය නැත් ම යැ ආපත්ති නානාත්‍වය නැත් මැ යි.
වස්තු සභාගත්‍වයෙක් ඇත ආපත්ති සභාගත්‍වයෙක් නැත, ආපත්ති සභාගත්‍වයෙක් ඇත වස්තු සභාගත්‍වයෙක් නැත, වස්තු සභාගත්‍වය ද ආපත්ති සභාගත්‍වය ද ඇත, වස්තු සභාගත්‍වය ද ආපත්ති සභාගත්‍වය ද නැත් මැ යි.
ඇවැතෙක් ඇත උපාධ්‍යාය තෙමේ අවදියි සද්ධිවිහාරික තෙමේ නො අවදී, ඇවැතෙක් ඇත සද්ධිවිහාරික තෙමේ අවදියි, උපාද්ධ්‍යාය තෙමේ නො අවදී, ඇවැතෙක් ඇත උපාද්ධ්‍යාය තෙමේත් සද්ධිවිහාරික තෙමේත් අවදී, ඇවැතෙක් ඇත උපාධ්‍යාය තෙමේ නො අවදියි සද්ධිවිහාරික තෙමේ නො අවදී.
ඇවැතෙක් ඇත ආචාර්‍ය්‍ය තෙමේ අවදියි ඇතැවැසි තෙමේ නො අවදී, ඇවැතෙක් ඇත ඇතැවැසි තෙමේ අවදියි ආචාර්‍ය්‍ය තෙමේ නො අවදී, ඇවැතෙක් ඇත ආචාර්‍ය්‍ය තෙමේත් අතැවැසි තෙමේත් අවදී, ඇවැතෙක් ඇත ආචාර්‍ය්‍ය තෙමේ නො ම අවදියි, අතැවැසි තෙමේ නොම අවදී.
8. වස්සච්ඡේදය පිළිබඳ ආනාපත්ති හේතු සතරෙකි: සඞ්ඝයා බිඳුනේ හෝ වෙයි. සඞ්ඝයා බිඳුනු කැමැත්තෝ හෝ වෙති, ජීවිතාන්තරායයෙක් හෝ වෙයි, බ්‍රහ්මචර්‍ය්‍යයට අන්තරායයෙක් හෝ වෙයි.
මුසාවාද යැ පිසුණාවාචා යැ ඵරුසාවාවා යැ සම්ඵප්පලාප යැයි වාග් දුශ්චරිත සතරෙකි.
සච්චවාචා යැ අපිසුණවාචා යැ සණ්හවාචා යැ මන්තාභාස යැයි වාක් සුචරිත සතරෙකි.
ගන්නේ ගරු ඇවැතට මෙහෙයන්නේ ලුහු ඇවැතට ඇවැදීම් ඇත. ගන්නේ ලුහු ඇවැතට මෙහෙයන්නේ ගරු ඇවැතට ඇවදීම් ඇත. ගන්නේ ද මෙහෙයන්නේ ද ගරු ඇවැතට ඇවැදීම් ඇත. ගන්නේ ද මෙහෙයන්නේ ද ලුහු ඇවැතට ඇවැදීම් ඇති.
9. වැඳීමට සුදුසු දැක හුනස්නෙන් නැගිසිටීමට නුසුදුසු පුද්ගලයෙක් ඇත, දැක හුනස්නෙන් නැගිටීමට සුදුසු වැඳීමට නුසුදුසු පුද්ගලයෙක් ඇත, වැඳීමට සුදුසුවූ ද දැක හුනස්නෙන් නැඟී සිටීමට සුදුසුවූ ද පුද්ගලයෙක් ඇත, වැඳීමට නො ම සුදුසු වූ දැක හුනස්නෙන් නැඟී සිටීමට නො ම සුදුසු වූ පුද්ගලයෙක් ඇති.
අසුනක් දීමට සුදුසු වැඳීමට නුසුදුසු පුද්ගලයෙක් ඇත, වැඳීමට සුදුසු අසුනක් දීමට නුසුදුසු පුද්ගලයෙක් ඇත, අසුනක් දීමට සුදුසු වූ ද වැඳීමට සුදුසු වූ ද පුද්ගලයෙක් ඇත, අසුනක් දීමට නො ම සුදුසු වූ වැඳීමට නො ම සුදුසු වූ පුද්ගලයෙක් ඇති.
10. ඇවැතෙක් ඇත කාලයෙහි අවදියි, විකාලයෙහි නො අවදී. ඇවැතෙක් ඇත විකාලයෙහි අවදියි, කාලයෙහි නො අවදී. ඇවැතෙක් ඇත කාලයෙහි ද විකාලයෙහි ද අවදී. ඇවැතෙක් ඇත කාලයෙහි නො ම අවදියි, විකාලයෙහි නො අවදී.
කාලයෙහි කැප විකාලයෙහි නො කැප පිළිගන්නා ලද්දෙක් ඇත. විකාලයෙහි කැප කාලයෙහි නො කැප පිළිගන්නා ලද්දෙක් ඇත. කාලයෙහි ද විකාලයෙහි ද කැප පිළිගන්නා ලද්දෙක් ඇත. කාලයෙහි නො ම කැප වූ විකාලයෙහි නො ම කැප වූ පිළිගන්නා ලද්දෙක් ඇති.
ඇවැතෙක් ඇත පසල් දනවුහි අවදියි, මැදුම් දනවුහි නො අවදී. ඇවැතෙක් ඇත මැදුම් දනවුහි අවදියි, පසල් දනවුහි නො අවදී. ඇවැතෙක් ඇත පසල් දනවුහි ද මැදුම් දනවුහි ද අවදී. ඇවැතෙක් ඇත පසල් දනවුහි නො ම අවදියි, මැදුම් දනවුහි නොම අවදී.
පසල් දනවුහි කැප මැදුම් දනවුහි නො කැපයෙක් ඇත. මැදුම් දනවුහි කැප පසල් දනවුහි නො කැපයෙක් ඇත. පසල් දනවුහි ද මැදුම් දනවුහි ද කැපයෙක් ඇත, පසල් දනවුහි ද මැදුම් දනවුහි ද නො ම කැපයෙක් ඇති.
ඇවැතෙක් ඇත ඇතුළතැ අවදියි, පිටතැ නො අවදී, ඇවැතෙක් ඇත පිටතැ අවදියි, ඇතුළතැ නො අවදී. ඇවැතෙක් ඇත ඇතුළතත් පිටතත් අවදී, ඇවැතෙක් ඇත ඇතුළතැ නොම අවදියි පිටතැ නො ම අවදී.
ඇවැතෙක් ඇත සීමාව තුළැ අවදියි, සීමාවෙන් පිටතැ නො අවදී. ඇවැතෙක් ඇත සීමාවෙන් පිටතැ අවදියි, සීමාව තුළ නො අවදී. ඇවැතෙක් ඇත සීමාව තුළැ ද සීමාවෙන් පිටතැ ද අවදී, ඇවැතෙක් ඇත සීමාව තුළැ නොම අවදියි, සීමාවෙන් පිටතැ නොම අවදී.