Parivāra

Appendix

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 4019 segments

පෙන්වන කොටස් 2501-2600 න් 4019

භික්‍ෂුහු ද, භික්‍ෂුණීහු දැයි දෙපුඟුල්හු ඇවැත් අවදනට නිස්සහ.
ආර්‍ය්‍ය පුද්ගල වූ භික්‍ෂූහු ද භික්‍ෂුණීහු දැයි දෙපුඟුල්හු දැන දැන ඇවැත් අවදනට නො නිස්සහ.
පුහුදුන් වූ භික්‍ෂූහු ද, භික්‍ෂුණීහු දැයි දෙපුඟුල්හු දැන දැන ඇවැත් අවදනට නිස්සහ.
ආර්‍ය්‍ය පුද්ගල වූ භික්‍ෂුහු ද, භික්‍ෂුණීහු දැයි දෙපුඟුල්හු දැන දැන සදොස් කරුණක් කරන්නට නො නිස්සහ.
පුහුදුන් වූ භික්‍ෂූහු ද, භික්‍ෂුණීහු දැයි දෙ පුඟුල්හු දැන දැන සදොස් කරුණක් කරන්නට නිස්සහ.
කයින් හෝ ප්‍රතික්‍රෝෂණය කෙරෙයි, වචනයෙන් හෝ ප්‍රතික්‍රෝෂණය කෙරේ යැයි ප්‍රතික්‍රෝෂණය දෙකෙකි.
නිස්සාරණයට අප්‍රාප්ත පුද්ගලයෙක් ඇත. ඉදින් සඟහු ඔහු නිස්සාරණය (බැහැර කිරීම) කෙරෙත් නම් එකෙක් සුනිස්සාරිත යැ, එකෙක් දුන්නිස්සාරිත යැයි නිස්සාරණ දෙකෙකි.
ඔසාරණ කර්‍මයට අප්‍රාප්ත පුද්ගලයෙක් ඇත. ඉදින් සඟහු ඔහු ඔසාරණය (ඇතුළත් කරගැන්ම) කෙරෙත් නම් එකෙක් සොසාරිත යැ, එකෙක් දෝසාරිත යැයි ඔසාරණ දෙකෙකි.
කයින් හෝ ප්‍රතිඥා කෙරෙයි, වචනයෙන් හෝ ප්‍රතිඥා කෙරේ යැයි ප්‍රතිඥා දෙකෙකි.
කයින් හෝ පිළිගණියි, කයපිළිබැඳියකින් හෝ පිළිගණී යැයි පිළිගැණීම් දෙකෙකි.
කයින් හෝ පිළිකෙවු කෙරෙයි, වචනයෙන් හෝ පිළිකෙවු කෙරේ යැයි පිළිකෙවු කිරීම් දෙකෙකි.
ශික්‍ෂොපඝතික යැ භෝගොපඝාතික යැයි උපඝාතිකයෝ දෙදෙනෙකි.
කයින් හෝ චෝදනා කෙරෙයි, වචනයෙන් හෝ චෝදනා කෙරේ යැයි චෝදනා දෙකෙකි.
4. ආවාසපළිබෝධ යැ, චීවරපළිබොධ යැ යි කඨිනය පිළිබඳ පළිබෝධ දෙකෙකි.
ආවාසපළිබෝධාභාවයැ, චීවරපළිබොධාභාව යැයි කඨිනය පිළිබඳ පළිබෝධාභාව දෙකෙකි.
ගෘහපතික යැ, පාංශුකූලික යැයි සිවුරු දෙකෙකි.
අයඃපාතූ යැ, මෘත්පාත්‍ර යැයි පාත්‍ර දෙකෙකි.
ඊයම්මුවා යැ, කලුතුඹමුවා යැ යි පාමඬුලු (පාත්‍ර අඩි) දෙකෙකි.
කයින් හෝ ඉටයි, වචනයෙන් හෝ ඉටා යැයි පාත්‍රය පිළිබඳ ඉටීම් දෙකෙකි.
කයින් හෝ ඉටයි, වචනයෙන් හෝ ඉටා යැ යි සිවුර පිළිබඳ ඉටීම් දෙකෙකි.
හමුවෙහි විකැපීම යැ, නො හමුවෙහි විකැපීම යැ යි විකැපුම් දෙකෙකි.
5. භික්‍ෂූන් පිළිබඳවූ ද, භික්‍ෂුණීන් පිළිබඳවූ ද විනය දෙකෙකි.
ප්‍රඥප්ත යැ, ප්‍රඥප්තානුලෝම යැ යි විනයෙහි සිද්ධ වූ අර්‍ත්‍ථ දෙකෙකි.
අකැපයෙහි හේතු නැසීම යැ, කැපයෙහි පමණ දැන කිරීම යැ යි විනයසල්ලෙඛ දෙකෙකි.
කයින් හෝ පැමිණෙයි, වචනයෙන් හෝ පැමිණේ යැයි දෙ අයුරින් ඇවැතට පැමිණේ.
කයින් හෝ නැඟී සිටියි, වචනයෙන් හෝ නැඟී සිටී යැයි දෙ අයුරින් ඇවැතින් නැඟී සිටී.
ප්‍රතිච්ඡන්නපරිවාස යැ, අප්‍රතිච්ඡන්නපරිවාස යැයි පිරිවෙස් දෙකෙකැ. සුද්ධන්තපරිවාස යැ, සමෝධානපරිවාස යැයි අනෙකුදු පිරිවෙස් දෙකෙකි.
ප්‍රතිච්ඡන්නමානත්ත යැ අප්‍රතිච්ඡන්නමානත්ත යැයි මානත් දෙකෙකැ. පක්ඛමානත්ත යැ, සමෝධානමානත්ත යැයි අනෙකුදු මානත් දෙකෙකි.
පිරිවෙස් පුරන්නාගේ ද, මානතැ හැසිරෙන්නාගේ දැයි දෙ පුඟුලන්ගේ රාත්‍රිච්ඡේදය වෙයි.
පුඟුලා කෙරෙහි අනදරබව ද දහම්හි අනදරබව දැයි අනදර බැව් දෙකෙකි.
6. ස්වයංජාත යැ, කෘත්‍රිම යැයි ලුණු දෙකෙකැ. මුහුදු ලුණු යැ, බළල්ලුණු යැයි අනෙකුදු ලුණු දෙකෙකැ. සිඳු ලුණු යැ, වැලිගැරූ ලුණු යැයි අනෙකුදු ලුණු දෙකෙකැ. රෝම ලුණු යැ, යවකාර ලුණු යැයි අනෙකුදු ලුණු දෙකෙකි.
අභ්‍යන්තර පරිභෝග යැ, බාහිර පරිභෝග යැයි පරිභෝග දෙකෙකි.
හීනාක්‍රෝශ යැ, උත්කෘෂ්ටාකොශ යැයි ආක්‍රෝශ දෙකෙකි.
ප්‍රිය බව කරණු කැමැතියාහට හෝ බිඳවීම් අදහස් ඇතියාහට හෝ යන දෙ අයුරින් කේලාම් කීම වෙයි.
නිමන්ත්‍රණයෙන් හෝ විඥප්තියෙන් හෝ යන දෙ අයුරින් ගණභෝජනය දනවයි.
7. පෙරවස් එළැඹීම යැ, පසුවස් එළැඹීම යැයි වස් එළැඹීම් දෙකෙකි.
නො දැහැමි පාමොක් තැබීම් දෙකෙකැ.
දැහැමි පාමොක් තැබීම් දෙකෙකි,
8. යමෙකුත් නො පැමිණි බර උසුලයි ද යමෙකුත් පැමිණි බර නො උසුලයි දැයි (මේ) පුද්ගලයෝ දෙදෙන බාලයෝ යි. යමෙකුත් නො පැමිණි බර නො උසුලයි ද යමෙකුත් පැමිණි බර උසුලයි ද (මේ) පුද්ගලයෝ දෙදෙන පණ්ඩිතයෝ යි.
යමෙකුත් නො කැපයෙහි කැපැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් කැපයෙහි අකැපැයි හැඟීම් ඇත්තේ ද යන අන්‍ය වූ ද පුද්ගලයෝ දෙදෙනෙක් බාලයෝයි. යමෙකුත් නො කැපයෙහි අකැපැ යි හැඟීම් ඇත්තේ ද යමෙකුත් කැපයෙහි කැපැයි හැඟීම් ඇත්තේ ද යන පුද්ගලයෝ දෙදෙන පණ්ඩිතයෝ යි.
යමෙකුත් නො ඇවැතෙහි ඇවැතැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් ඇවැතෙහි නො ඇවැතැයි හැඟීම් ඇත්තේ ද යන අන්‍ය වූ ද පුද්ගලයෝ දෙදෙනෙක් බාලයෝ යි. යමෙකුත් ඇවැතෙහි ඇවැතැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් නො ඇවැතෙහි නො ඇවැතැයි හැඟීම් ඇත්තේ ද යන (මේ) පුද්ගලයෝ දෙදෙන පණ්ඩිතයෝ යි.
යමෙකුත් අධර්‍මයෙහි ධර්‍මයැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් ධර්‍මයෙහි අධර්‍මයැයි හැඟීම් ඇත්තේ ද යන අන්‍ය වූ ද පුද්ගලයෝ දෙදෙනෙක් බාලයෝ යි. යමෙකුත් අධර්‍මයෙහි අධර්‍ම යැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් ධර්‍මයෙහි ධර්‍ම යැයි හැඟීම් ඇත්තේ ද යන පුද්ගලයෝ දෙදෙන පණ්ඩිතයෝ යි.
යමෙකුත් අවිනයයෙහි විනයැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් විනයයෙහි අවිනයැයි හැඟීම් ඇත්තේ ද යන අන්‍ය වූ ද පුද්ගලයෝ දෙදෙනෙක් බාලයෝ යි. යමෙකුත් අවිනයයෙහි අවිනයැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් විනයයෙහි විනයැයි හැඟීම් ඇත්තේ ද (මේ) පුද්ගලයෝ දෙදෙන පණ්ඩිතයෝ යි.
9. යමෙකුත් කුකුස් නො කටයුත්තෙහි කුකුස් කෙරේ ද, යමෙකුත් කුකුස් කටයුත්තෙහි කුකුස් නො කෙරේ ද, මේ පුද්ගලයන් දෙදෙනාගේ ආස්‍රවයෝ වැඩෙති. යමෙකුත් කුකුස් නො කටයුත්තෙහි කුකුස් නො කෙරේ ද, යමෙකුත් කුකුස්කටයුත්තෙහි කුකුස් කෙරේ ද, මේ පුද්ගලයන් දෙදෙනාගේ ආස්‍රවයෝ නො වැඩෙති.
යමෙකුත් නො කැපයෙහි කැපැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් කැපයෙහි නො කැපැයි හැඟීම් ඇත්තේ ද මේ අනෙක් පුද්ගලයන් දෙදෙනකුන්ගේ ද ආස්‍රවයෝ වැඩෙති. යමෙකුත් නො කැපයෙහි නො කැපැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් කැපයෙහි කැපැයි හැඟීම් ඇත්තේ ද මේ පුද්ගලයන් දෙදෙනාගේ ආස්‍රවයෝ නො වැඩෙති.
යමෙකුත් නො ඇවැතෙහි ඇවැතැයි හැඟීම් ඇත්තේ ද, යමෙකුත් ඇවැතෙහි නො ඇවැතැයි හැඟීම් ඇත්තේ ද මේ අනෙක් පුද්ගලයන් දෙදෙනකුන්ගේ ද ආස්‍රවයෝ වැඩෙති. යමෙකුත් නො ඇවැතෙහි නො ඇවැතැ යි හැඟීම් ඇත්තේ ද යමෙකුත් ඇවැතෙහි ඇවැතැයි හැඟීම් ඇත්තේ ද මේ පුද්ගලයන් දෙදෙනාගේ ආස්‍රවයෝ නො වැඩෙති.
යමෙකුත් අධර්‍මයෙහි ධර්‍ම යැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් ධර්‍මයෙහි අධර්‍ම යැයි හැඟීම් ඇත්තේ ද මේ අනෙක් පුද්ගලයන් දෙදෙනකුන්ගේ ද ආස්‍රවයෝ වැඩෙති. යමෙකුත් අධර්‍මයෙහි අධර්‍ම යැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් ධර්‍මයෙහි ධර්‍ම යැයි හැඟීම් ඇත්තේ ද මේ පුද්ගලයන් දෙදෙනාගේ ආස්‍රවයෝ නො වැඩෙති.
යමෙකුත් අවිනයයෙහි විනයැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් විනයයෙහි අවිනයැයි හැඟීම් ඇත්තේ ද මේ අනෙක් පුද්ගලයන් දෙදෙනකුන්ගේ ද ආස්‍රවයෝ වැඩෙති. යමෙකුත් අවිනයයෙහි අවිනයැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් විනයයෙහි විනයැයි හැඟීම් ඇත්තේ ද මේ පුද්ගලයන් දෙදෙනාගේ ආස්‍රවයෝ නො වැඩෙත්.
දුකයෝ නිමියහ.
එහි නාමාවලිය:
1. සඤ්ඤාවිමෝක්ඛ දුක යැ ලද්ධසමාපත්ති දුක යැ සද්ධම්මපටිසඤ්ඤුත්ත දුක යැ පරික්ඛාර දුක යැ පුග්ගල දුක යැ සච්චං භණන්ත දුක යැ මුසාභණ්න්ත දුක යැ භූමිගත දුක යැ නික්ඛමන්ත දුක යැ ආදියන්ත දුක යැ සමාදියන්ත දුක යැ,
2. කරොන්ත දුක යැ දෙන්ත දුක යැ දේසෙන්ත දුක යැ ගණ්භන්ත දුක යැ පරිභෝග දුක ය සමග රත්ති - දිවා දුක යැ අරුණුග්ග දුක යැ ඡින්‍දන්ත දුක යැ ඡාදෙන්ත දුක යැ ධාරෙන්ත දුක යැ උපෝසථ දුක යැ,
3. පවාරණ දුක යැ කම්ම දුක යැ හා අපර කම්ම දුක යැ වත්‍ථු - අපර වත්‍ථුදෝස දුක යැ සම්පත්ති හා අපර සම්පත්ති දුක යැ නානාසංවාස හා සමාන සංවාස දුක යැ,
4. පාරාජික - සඞ්ඝාදිසේස - ථුල්ලච්චය - පාචිත්තිය - පාටිදේසනීය - දුක්කට - දුඛභාසිත යන සත යැ සත්තාපත්තික්ඛන්‍ධ යැ.
5. සඞ්ඝභේද හා න උපසම්පාදෙතබ්බ දුක යැ එසේ ම අන්‍ය වූ න උපසම්පාදෙතබ්බ දුක දෙක යැ අපරිපූර - පරිපූර දුක යැ න වත්‍ථබ්බ - න දාතබ්බ දුක දෙක යැ අභබ්බ - භබ්බ දුක යැ,
6. සඤ්චිච්ච දුක යැ සාතිසාර දුක යැ පටික්කෝස - නිස්සාරණ - ඔසාරණ - පටිඤ්ඤා - පටිග්ගහ - පටික්ඛේප යන දුකයෝ යැ,
7. උපඝාති දුක යැ චෝදනා දුක යැ එසේම කඨින දුක දෙක යැ එසේම චීවර - පත්තමණ්ඩල - අධිට්ඨාන යන දුකයෝ යැ.
8. විකප්පන දුක යැ විනය දුක යැ වෙනයික - සල්ලේඛ දුක යැ ආපජ්ජති දුක යැ වුට්ඨාති දුක යැ අනෙකුදු පරිවාස දුක දෙක යැ,
9. අනෙකුදු මානත්ත දුක යැ රත්තිචෙඡද - අනාදර දුක යැ ලෝණ දුක යැ අන්‍ය වූ ලෝණ දුක තුණ යැ පරිභෝග - අක්කෝසන දුකයෝ යැ,
10. පෙසුඤ්ඤ - ගණභෝජන - වස්සුපනායික දුක යැ පාතිමොක්ඛඨපන - ආගතානාගතභාර - කප්පියා කප්පිය දුක යැ ආපත්ති - අනාපත්ති - ධම්මාධම්ම දුක යැ එසේ ම විනය සඤ්ඤි - ආසවවඩ්ඪන දුකයෝ යැයි මොහු වෙත්.
තිකය
1. බුදුරදුන් පිරිනිවී කල්හි නො වැ දිවමනු කල්හි පැමිණෙන ඇවැතෙක් ඇත, බුදුරදුන් දිවමනු කල්හි නො වැ පිරිනිවි කල්හි පැමිණෙන ඇවැතෙක් ඇත, බුදුරදුන් දිවමනු කල්හි ද පිරිනිවි කල්හි ද පැමිණෙන ඇවැතෙක් ඇති.
විකාලයෙහි නො වැ කාලයෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, කාලයෙහි නො වැ විකාලයෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, කාලයෙහි ද විකාලයෙහි ද පැමිණෙන ඇවැතෙක් ඇති.
දහවල් නො වැ රාත්‍රියෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, රාත්‍රියෙහි නො වැ දහවල් පැමිණෙන ඇවැතෙක් ඇත, රාත්‍රියෙහි ද දහවල්හි ද පැමිණෙන ඇවැතෙක් ඇති.
දසවස් ඇති වැ පැමිණෙන උනු දසවස් ඇති වැ නො පැමිණෙන ඇවැතෙක් ඇත, උනු දසවස් ඇති වැ පැමිණෙන දසවස් ඇති වැ නො පැමිණෙන ඇවැතෙක් ඇත, දසවස් ඇති වැ ද උනු දසවස් ඇති වැ ද පැමිණෙන ඇවැතෙක් ඇති.
පස්වස් ඇති වැ පැමිණෙන උනු පස්වස් ඇති වැ නො පැමිණෙන ඇවැතෙක් ඇත, උනු පස්වස් ඇති වැ පැමිණෙන පස්වස් ඇති වැ නොපැමිණෙන ඇවැතෙක් ඇත, පස්වස් ඇති වැ ද උනු පස්වස් ඇති වැ ද පැමිණෙන ඇවැතෙක් ඇති.
කුසල් සිත් ඇති වැ පැමිණෙන ඇවැතෙක් ඇත, අකුසල් සිත් ඇති වැ පැමිණෙන ඇවැතෙක් ඇත, අව්‍යාකෘත සිත් ඇති වැ පැමිණෙන ඇවැතෙක් ඇති.
සුඛ වේදනායෙන් යුක්ත වැ පැමිණෙන ඇවැතෙක් ඇත, දුක් වේදනායෙන් යුක්ත වැ පැමිණෙන ඇවැතෙක් ඇත, නො දුක් නො සුව වේදනායෙන් යුක්ත වැ පැමිණෙන ඇවැතෙක් ඇති.
2. චෝදනා වස්තු තුනෙකි: දැකීමෙන් ඇසීමෙන් සැකයෙනි.
ලහගැණීම් තුනෙකි: ගූළහක යැ විවටක යැ සකණ්ණජප්පක යැයි.
ප්‍රතික්‍ෂේප තුනෙකි: මහිච්ඡතා යැ අසන්තුට්ඨිතා යැ අසල්ලේඛතා යැයි.
අනුදැනීම් තුනෙකි: අප්පිච්ඡතා යැ සන්තුට්ඨිතා යැ සල්ලෙඛතා යැයි.
අනෙකුදු ප්‍රතික්‍ෂේප තුනෙකි: මහිච්ඡතා යැ අසන්තුට්ඨිතා යැ අමත්තඤ්ඤුතා යැයි.
අනුදැනීම් තුනෙකි: අප්පිච්ඡතා යැ සන්තුට්ඨිතා යැ මත්තඤ්ඤුතා යැයි.
ප්‍රඥප්ති තුනෙකි: පඤ්ඤත්ති යැ අනුපඤ්ඤත්ති යැ අනුප්පන්නපඤ්ඤත්ති ය, අනෙකුදු ප්‍රඥප්ති තුනෙකි: සබ්බත්‍ථපඤ්ඤත්ති යැ පදෙසපඤ්ඤත්ති යැ සාධාරණපඤ්ඤත්ති යැ, අනෙකුදු ප්‍රඥප්ති තුනෙකි: අසාධාරණ පඤ්ඤත්ති යැ ඒකතෝ පඤ්ඤත්ති යැ උභතෝ පඤ්ඤත්ති යැ යි.
3. පණ්ඩිතයා නො වැ බාලයා පැමිණෙන ඇවැතෙක් ඇත, බාලයා නො වැ පණ්ඩිතයා පැමිණෙන ඇවැතෙක් ඇත, බාලයාත් පණ්ඩිතයාත් පැමිණෙන ඇවැතෙක් ඇති.
ශුක්ල පක්‍ෂයෙහි නො වැ කෘෂ්ණ පක්‍ෂයෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, කෘෂ්ණ පක්‍ෂයෙහි නො වැ ශුක්ල පක්‍ෂයෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, කෘෂ්ණ පක්‍ෂයෙහි නො වැ ශුක්ල පක්‍ෂයෙහි ද පැමිණෙන ඇවැතෙක් ඇති.
ශුක්ල පක්‍ෂයෙහි නො වැ කෘෂ්ණ පක්‍ෂයෙහි කැපයෙක් ඇත, කෘෂ්ණ පක්‍ෂයෙහි නො වැ ශුක්ල පක්‍ෂයෙහි කැපයෙක් ඇත, කෘෂ්ණ පක්‍ෂයෙහිත් ශුක්ල පක්‍ෂයෙහිත් කැපයෙක් ඇති.
ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නො වැ හේමන්තයෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, හේමන්තයෙහි ද වස්සානයෙහි ද නො වැ ගිම්හානයෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, ගිම්හානයෙහි ද හේමන්තයෙහි ද නො වැ වස්සානයෙහි පැමිණෙන ඇවැතෙක් ඇති.
ගණයා ද පුද්ගලයා ද නො වැ සඞ්ඝයා පැමිණෙන ඇවැතෙක් ඇත, සඞ්ඝයා ද පුද්ගලයා ද නො වැ ගණයා පැමිණෙන ඇවැතෙක් ඇත, සඞ්ඝයා ද ගණයා ද නොවැ පුද්ගලයා පැමිණෙන ඇවැතෙක් ඇති.
ගණයාට ද පුද්ගලයාට ද නො වැ සඞ්ඝයාට කැපයෙක් ඇත, සඞ්ඝයාට ද පුද්ගලයාට ද නො වැ ගණයාට කැපයෙක් ඇත, සඞ්ඝයාට ද ගණයාට ද නො වැ පුද්ගලයාට කැපයෙක් ඇති.
ඡාදනා තුනෙකි: ආපත්තිය නො වැ වස්තුව වසයි, වස්තුව නො වැ ආපත්තිය වසයි, වස්තුව ද ආපත්තිය ද වසයි.
ප්‍රතිච්ඡාදීහු තිදෙනෙකි: ජන්තාඝර ප්‍රතිච්ඡාදි යැ උදක ප්‍රතිච්ඡාදි යැ වස්තූ ප්‍රතිච්ඡාදි යැයි.
විවෘත නො වැ ගරුත්‍වයට පැමිණෙන ප්‍රතිච්ඡන්න වස්තු තුනෙකි: මාගම විවෘත නො වැ ප්‍රතිච්ඡන්න වූවා ගරුත්‍වයට පැමිණෙයි, බ්‍රාහ්මණ මන්ත්‍රයෝ විවෘත නො වැ ප්‍රතිච්ඡන්න වූවාහු ගරුත්‍වයට පැමිණෙති, මිථ්‍යාදෘෂ්ටිය විවෘත නො වැ ප්‍රතිච්ඡන්න වූවා ගරුත්‍වයට පැමිණේ.
විවෘත වැ ප්‍රතිච්ඡන්න නො වැ බබළන වස්තු තුනෙකි: සඳ මඬල විවෘත වැ ප්‍රතිච්ඡන්න නො වූයේ බබළයි, හිරුමඬල විවෘත වැ ප්‍රතිච්ඡන්න නො වූයේ බබළයි, තථාගත ප්‍රවිදිත ධර්‍මවිනය විවෘත වැ ප්‍රතිච්ඡන්න නො වූයේ බබළයි.
සෙනසුන් ගැන්වීම් තුනෙකි: පුරිමක යැ පච්චිමක යැ අන්තරාමුක්තක යැ යි.
ගිලන් වැ පැමිණෙන නො ගිලන් වැ නො පැමිණෙන ඇවැතෙක් ඇත, නො ගිලන් වැ පැමිණෙන ගිලන් වැ නො පැමිණෙන ඇවැතෙක් ඇත, ගිලන් වැ ද නොගිලන් වැ ද පැමිණෙන ඇවැතෙක් ඇති.
4. නො දැහැමි පාමොක් තැබීම් තුනෙකි. දැහැමි පාමොක් තැබීම් තුනෙකි.
පටිච්ඡන්න පරිවාස යැ අපටිච්ඡන්න පරිවාස යැ සුද්ධන්ත පරිවාස යැ යි පරිවෙස් තුනෙකි.
පටිච්ඡන්න මානත්ත යැ අපටිච්ඡන්න මානත්ත යැ පක්ඛමානත්ත යැයි මානත් තුනෙකි.
සහවාස යැ විප්පවාස යැ අනාරොචනා යැයි පිරිවෙස් පුරණ භික්‍ෂුහට රාත්‍රිච්ජෙදයෝ තිදෙනෙකි.
සෙනස්නෙන් පිටත නො වැ ඇතුළතැ පැමිණෙන ඇවැතෙක් ඇත, ඇතුළතැ නො වැ පිටතැ පැමිණෙන ඇවැතෙක් ඇත, ඇතුළත්හි ද පිටත්හි ද පැමිණෙන ඇවැතෙක් ඇති.
සීමාවෙන් පිටතැ නො වැ සීමාව තුළැ පැමිණෙන ඇවැතෙක් ඇත, සීමාව තුළැ නො වැ සීමාවෙන් පිටතැ පැමිණෙන ඇවැතෙක් ඇත, සීමාව තුළැ ද සීමාවෙන් පිටතැ ද පැමිණෙන ඇවැතෙක් ඇති.
තුන් අයුරකින් ඇවැතට අවදියි: කයින් අවදියි, වචනයෙන් අවදියි, කයින් හා වචනයෙන් අවදී. අනෙකුදු තුන් අයුරකින් ඇවැතට අවදියි: සඟ මැදහි ගණ මැදහි පුඟුලක්හු අබියෙස්හි යැ.
තුන් අයුරකින් ඇවැතින් නැඟී සිටියි: කයින් නැඟී සිටියි, වචනයෙන් නැඟී සිටියි, කයින් හා වචනයෙන් නැඟී සිටී. අනෙකුදු තුන් අයුරෙකින් ඇවැතින් නැඟී සිටී: සඟ මැදහි ගණ මැදහි පුඟුලක්හු අබියෙස්හි යැ.
නො දැහැමි අමූළ්හවිනයදාන තුනෙකැ. දැහැමි අමූළ්හවිනයදාන තුනෙකි.
5. කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට සඟහු රිසිවෙත් නම් තජ්ජනීය කර්‍මය කරන්නාහු යැ: ඩබර කරන්නේ කලහ කරන්නේ විවාද කරන්නේ දොඩමලුකම් කරන්නේ සඞ්ඝයා ඉදිරියෙහි අධිකරණ කරන්නේ වෙයි, බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇතියේ ඇවැත් පිරිසිඳ දැකීම් නැතියේ වෙයි, අනුලොම් නො වූ ගිහි සසඟින් ගිහියන් හා හැනී වෙසේ.
කරුණු තුනෙකින් යුක්තවූ මහණහට සඟහු රිසි වෙත් නම් නියස්සකර්‍මය කරන්නාහු යැ: ඩබර කරන්නේ ... සඞ්ඝයා ඉදිරියෙහි අධිකරණ කරන්නේ වෙයි, බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇතියේ ඇවැත් පිරිසිඳීම් නැතියේ වෙයි, අනුලොම් නොවූ ගිහි සසඟින් ගිහියන් හා හැනී වෙසේ.
කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට සඟහු රිසි වෙත් නම් පබ්බාජනීය කර්‍මය කරන්නාහු යැ: ඩබර කරන්නේ ... සඞ්ඝයා ඉදිරියෙහි අධිකරණ කරන්නේ වෙයි. බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇතියේ ඇවැත් පිරිසිඳීම් නැතියේ වෙයි. ලාමක හැසිරීම් ඇතියේ කුලදූෂණය කරන්නෙක් වෙයි, ලාමක හැසිරීම් දක්නට ද ලැබෙයි, අසනු ද ලැබේ.
කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට සඟහු රිසි වෙත් නම් පටිසාරණීය කර්‍මය කරන්නාහු යැ: ඩබර කරන්නේ ... සඞ්ඝයා ඉදිරියෙහි අධිකරණ කරන්නේ වෙයි. බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇතියේ ඇවැත් පිරිසිඳීම් නැතියේ වෙයි. ගිහීන්ට ආක්‍රෝශ කෙරෙයි, පරිභව කෙරේ.