3. මිනිස්මාගමකට (වසමඟ පසමඟ පිළිබඳ) තුළුල් තෙපුල් කියන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලදයැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබැ (පණවන ලද) යැ යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.
කිනම් වස්තුවෙක්හි ද යත්: ආයුෂ්මත් උදායි මහණ මාගමකට තුළුල් තෙපුල් කීය. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසි විටෙක කයින් ද සිතින් ද නඟියි වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
4. මිනිස් මාගමක සමීපයෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීමේ අනුසස් කියන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලදයැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබැ යැ යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබයැ.
කිනම් වස්තුවෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ මාගමක සමීපයෙහි තමහට මෙවුන්දමින් මෙහෙකිරීමේ අනුසස් කීයැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි තුන් සමුට්ඨානයකින් නඟියි: කිසි විටෙක කයින් ද සිතින් ද නඟියි වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි. කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
5. (ස්ත්‍රී පුරුෂයන්ගේ කෙලෙස් පිළිබඳ හසුන් ගෙන යනු එනු කරණ) සසුරුතු සඟ වෙසෙස කොතැන්හි පණවනලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ යැ යත්: ආයුෂ්මත් උදායී තෙරුන් ඇරැබ යැ.
කිනම් වස්තුවෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ ස්ත්‍රීපුරුෂයන්ගේ කෙලෙස් පිළිබඳ හසුන් ගෙන යනුඑනුවට පැමිණියේ යැ. ඒ වස්තුවෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයින් නඟියි: කිසිවිටෙක කයින් නඟියි වචනයෙන් නො නඟියි සිතින් නො නඟී. කිසිවිටෙක වචනයෙන් නඟියි කයින් නො නඟියි සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි. වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වවන යෙන් ද සිතින් ද නඟී. ...
6. තමා ඉල්වාගත් උපකරණයෙන් කිළියක් කරවන්නහු පිළිබඳ සඟ වෙසෙස කොතන්හි පණවන ලද යැ යත්: අළව්පුරයෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබැ යැ යත්: අළව්පුරවැසි භික්‍ෂූන් ඇරැබැ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: අළව්පුරවැසි භික්‍ෂූහු තමන් ඉල්වාගත් උපකරණයෙන් කුටි කරවූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන සයින් නඟියි. ...
7. කරවා දෙන හිමියකු ඇති මහත් විහාරයක් කරවන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලද යැ යත්: කොසඹෑ නුවර දී පණවන ලදී.
කවරක්හු ඇරැබයැ යත්: ආයුෂ්මත් ඡන්න තෙරුන් ඇරබැ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න මහණ ගෙබිම හෙළි කරනුයේ එක්තරා සෑරුකක් සිඳ විය, ඒ වස්තුයෙහි ය.
පඤ්ඤත්ති එකෙකැ.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයින් නඟියි. ...
8. අමූලක වූ පරිජිඇවතින් මහණක්හට චෝදනා කරන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලද යැ යත්: රජගහ නුවර දී පණවන ලදි.
කවරක්හු ඇරැබැයැ යත්: මෙත්තිය භූම්මජක භික්‍ෂූන් ඇරැබැ යැ.
කිනම් වස්තුවෙක්හි ද යත්: මෙත්තිය භූම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්ල පුතුහට අමූලක පරිජි ඇවතින් චෝදනා කළහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟී. ...
9. අන්‍යභාගීය (අන් කොටස් ඇති) අධිකරණයක්හුගේ කිසියම් (ජාත්‍යයාදී) දේශ ලේශ මාත්‍රයක් ගෙන මහණක්හට පරිජිඇවතින් චෝදනා කරන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලද යැ යත්: රජගහනුවරැ දී පණවන ලදී.
කවරක්හු ඇරැබැ යැ යත්: මෙත්තිය භූම්මජක භික්‍ෂූන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: මෙත්තිය භුම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍රහට අඤ්ඤභාගීය අධිකරණයක්හුගේ කිසියම් දේශලේශ මාත්‍රයක් ගෙන පරිජි ඇවතින් චෝදනා කළහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
10. තුන්යළ තාක් සමනුභාසනකම් කරණකල්හි (දෘෂ්ටිය) නොහරින සඞ්ඝභේදක මහණ පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලදයැ යත්: රජගහනුවරැදී පණවන ලදී.
කවරක්හු ඇරැබැයැ යත්: දෙව්දත් මහණහු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: දේවදත්ත මහණ සමගි සඞ්ඝයා බිඳුවීම පිණිස උත්සාහ කෙළේ ය, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
11. තුන්යළ තාක් සමනුභාසනකම් කරණ කල්හි (දෘෂ්ටිය) නොහරින භේදානුවත්තක භික්‍ෂූන් පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලදයැ යත්: රජගහනුවර දී පණවන ලදි.
කවරක්හු ඇරැබැ යැ යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබැ යැ.
කිනම් වස්තුවෙක්හි ද යත්: ව්‍යග්‍රවාදී බොහෝ භික්‍ෂූහු සඞ්ඝභේදය කිරීමට වෑයම් කරන දෙව්දත් මහණහට අනුවර්‍තකයෝ වූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
12. තුන්යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි (දෘෂ්ටිය) නො හරින දුර්වච මහණහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලද යැ යත්: කොසඹෑනුවරැ දි පණවන ලදී.
කවරක්හු අරැබැ යැ යත්: ආයුෂ්මත් ඡන්න තෙරුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න තෙරහු භික්‍ෂූන් විසින් සකාරණයෙන් කියනු ලබන්නාහු තමා නො කියයුත්තනු කළහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. …
13. තුන්යළ තාක් සමනුභාසනකම් කරණකල්හි (දෘෂ්ටිය) නොහරින කුලදූෂක මහණහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලදයැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබයැ යත්: අස්සජි පුනබ්බසුක භික්‍ෂූන් ඇරැබැ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: අස්සජි පුනබ්බසුක භික්‍ෂූහු සඞ්ඝයා විසින් සඟරමින් නෙරණකම් කරණ ලද්දාහු කාරක භික්‍ෂූන් ඡන්‍දගාමීත්‍වයෙන් ද්වේෂගාමීත්‍වයෙන් මෝහගාමිත්‍වයෙන් භයගාමිත්‍වයෙන් යුක්ත කළහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
තෙළෙස් සඟවෙසෙස් නිමි.
එහි උද්දානය:
සුකුරුමිදීම ද කායසංසර්‍ගය ද දුට්ඨුල්ලය ද අත්තකාමපාරිචරිය ද සඤ්චරිත්තය ද කුටිකාරාපනය ද මහල්ලක විහාරය ද අමූලකය ද
කිඤ්චිදේසය ද සඞ්ඝභේදය ද සඞ්ඝභෙදානුවත්තකය ද දුබ්බචය ද කුලසූසනය ද යන සඟවෙසෙස් තෙළෙස යි.
1. 3.
අනියත කාණ්ඩය
සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් පළමුවන අනියත සිකපදය කොතැන්හි පණවන ලද ද, ... කවරක්හු විසින් ගෙන එන ලද ද යත්:
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් පළමුවන අනියත සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරබැ යැ යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ හුදෙකලා වූයේ රහසිගත වූයේ හුදෙකලා වූ මාගමක හා මෛථූනසේවනයට යෝග්‍ය වූ පිළිසන් අස්නෙකැ හින, ඒ වස්තුයෙහි යැ.
එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති.
සබ්බත්‍ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්‍ථපඤ්ඤත්ති යැ.
සාධාරණ පඤ්ඤත්ති අසාධාරණ පඤ්ඤත්ති ද යත්: අසාධාරණ පඤ්ඤත්ති යි.
ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද යත්: ඒකතෝපඤ්ඤත්ති යි.
පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ ද, කොහි ඇතුළද් ද යත්: නිදානයෙහි පිහිටියේ යැ. නිදානයෙහි ඇතුළති.
කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද යත්: සතරවන උද්දේසයෙන් උදෙසීමට පැමිණේ.
සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙක් ද යත්: කිසිවිටෙක සීල විපත්ති යැ. කිසිවිටෙක ආචාරවිපත්ති යි.
සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙක් ද යත්: කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධ යැ, කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධ යැ, කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධ යි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි. වචනයෙන් නො නඟී.
සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙක් ද යත්: ආපත්තාධි කරණ යැ.
සත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: තුන් ශමථයෙන් සන්හිඳෙයි: කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද සන්හිඳේ.
එහි විනය කවරේ ද, එහි අභිවිනය කවරේ ද යත්: පඤ්ඤත්තිය විනය යැ, පදභාජනය අභිවිනය යි.
එහි ප්‍රාතිමෝක්‍ෂය කිම, එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිමයැ යත්: පඤ්ඤත්තිය ප්‍රාති මෝක්‍ෂයැ. පදභාජනය අධිප්‍රාතිමෝක්‍ෂ යි.
විපත්ති කවර යත්: අසංවරය විපත්ති යි.
සම්පත්ති කවර යත්: සංවරය සම්පත්ති යි.
ප්‍රතිපත්ති කවර යත්: “දිවිහිම් කොට මෙබන්දක් නො කරන්නෙමි” යි දිවි පමණින් සමාදන් වැ සිකපදයන්හි හික්මෙයි.
කෙතෙක් කරුණු පිණිස භගවත්හු විසින් පළමු වන අනියතසිකපදය පණවන ලදයැ යත්: දස කරුණක් පිණිස භගවත්හු විසින් පළමුවන අනියත සිකපදය පණවන ලදි. සඞ්ඝයාගේ මනා බව පිණිස යැ, සඞ්ඝයාගේ පහසුව පිණිස යැ, දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස යැ, ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස යැ, දිටුදැමියෙහි වින්ද යුතු දුක්ගැහැට වැළැක්ම පිණිස යැ, පරලෙව්හි වින්ද යුතු දුක්ගැහැට නැසීම පිණිස යැ, නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස යැ, පහන්වූවන් ගේ වැඩියක් පැහැදීම පිණිස යැ, තුන්සසුන්හි පැවැත්ම පිණිස යැ, විනයට අනුග්‍රහ පිණිස යි.
කවුරු හික්මෙද් ද යත්: ශෛක්‍ෂයෝ ද කලායාණපෘථග්ජනයෝ ද හික්මෙත්.
කවුරු හික්මුණු සිඛ ඇතියෝ ද යත්: රහත්හු හික්මුණු සිඛ ඇතියෝ යි.
කවුරුන් කෙරෙහි පිහිටියේ ද යත්: ශික්‍ෂාකාමීන් කෙරෙහි පිහිටියේ යි.
කවුරු දරද්ද යත්: යම් කෙනකුන්ට විනය පෙළ අටුවා වනපොත් ද, ඔහු දරත්. කවුරුන්ගේ වචනයෙක් ද යත්: භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ වචන යි.
කවුරුන් විසින් ගෙන එන ලද ද යත්: පරපුරෙන් ගෙන එන ලදි.
උපාලිස්ථවිරය, දාසකස්ථවිරය, ... තාම්‍රපර්ණී නම් වූ හෙළදිවැ පැවසූහ.
2. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දෙවැනි අනියත සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබැ යැ යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබැ යැ.
කිනම් වස්තුයෙක්හි යැ යත්: ආයුෂ්මත් උදායී මහණ එකලා වූයේ රහසිගත වූයේ එකලා වූ මාගමක හා හින, ඒ වස්තුයෙහි යැ.
එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකෙකැ. අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති.
සබ්බත්‍ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්‍ථපඤ්ඤත්ති යැ.
සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද යත්: අසාධාරණපඤ්ඤත්ති යි.
ඒකතෝ පඤ්ඤත්ති උභතෝ පඤ්ඤත්ති ද යත්: ඒකතෝ පඤ්ඤත්ති යි.
පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ ද, කොහි ඇතුළත් ද යත්: නිදානයෙහි පිහිටියේ යැ. නිදානයෙහි ඇතුළති.
කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද යත්: සතරවන උද්දේසයෙන් උදෙසීමට පැමිණෙයි.
සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙකැ යත්: කිසිවිටෙක සීල විපත්ති යැ. කිසිවිටෙක ආචාරවිපත්ති යි.
සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙක් ද යත්: කිසිවිටෙක සඞ්ඝාදිශේෂාපත්තිස්කන්‍ධ යැ, කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධ යි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟී, වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින්ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.