1. (නො ඉටු නො විකැපු) අතිරේක චීවරයක් දස දිනක් ඉක්මවන මහණ එක් නිසගි පචිති ඇවතකට පැමිණේ.
2. එක් රැයක් තුන් සිවුරෙන් වෙන් වැ වසන මහණ එක් නිසඟි පචිති ඇවැතකට පැමිණේ.
3. අයල් සිවුරක් පිළිගෙණ මසක් ඉක්මවන මහණ එක් නිසඟිපචිති ඇවැතකට පැමිණේ.
4. නො නෑ මෙහෙණක ලවා පැරැණි සිවුරක් ධෝවන කර වන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ධෝවන කරවා නම් පියෝහි දුකුළා වෙයි, ධෝවන කරවා නිමි කල්හි නිසඟි පචිති වේ.
5. නො නෑ මෙහෙණක අතින් සිවුරක් පිළිගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණී නම් පියෝහි දුකුළා වෙයි, ගත් කල්හි නිසඟි පචිති වේ.
6. නො නෑ ගැහැවියකුගෙන් හෝ ගැහැවිනියකගෙන් හෝ සිවුරක් ඉල්ලා ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවා ගත්කල්හි නිසඟි පචිති වේ.
7. නො නෑ ගැහැවියකුගෙන් හෝ ගැහැවිනියකගෙන් හෝ ඉන් වැඩි සිවුරක් විනවා ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවා ගත් කල්හි නිසඟි පචිති වේ.
8. පෙරැ නො පවරණ ලද මහණ නො නෑ ගැහැවියකු වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණෙන්නේ දෙ ඇවතකට පැමිණෙයි: අධික විධානයට පැමිණේ නම් පියෝහි දුකුළා වෙයි, අධික විධානයට පැමිණි කල්හි නිසඟි පචිති වේ.
9. පෙරැ නො පවරණ ලද මහණ නො නෑ ගැහැවියන් වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණෙන්නේ දෙ ඇවැතකට පැමිණෙයි: අධික විධානයට පැමිණේ නම් පියෝහි දුකුළා වෙයි, අධික විධානයට පැමිණි කල්හි නිසඟි පචිති වේ.
10. තෙවරකින් වැඩි චෝදනාවෙන් ද සවරකින් වැඩි උදෙසා සිටීමෙන් ද සිවුරක් නිපදවා ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: නිපදවා නම් පියෝහි දුකුළා වෙයි, නිපදවා ගත් කල්හි නිසඟි පචිති වේ.
පළමුවන කඨින වර්‍ග යි.
3. 2.
1. තිහිරි හූ මුසු ඇතිරියක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි නිසඟිපචිති වේ.
2. සුදු කළු එළුලොමින් ඇතිරියක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි නිසඟි පචිති වේ.
3. හෙල එළුලොම් කොටසක් ද කිඹුල්වත් එළුලොම් කොටසක් ද නො ගෙණ අලුත් ඇතිරියක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි නිසඟි පචිති වේ.
4. වසක් පාසා ඇතිරියක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි නිසඟි පචිති වේ.
5. පැරැණි ඇතිරියක අවටින් සුගත් වියතක් පමණ තැන් නොගෙණ අලුත් නිසදුන් ඇතිරියක් කරවන මහණ දෙඇවැතකට පැමිණෙයි: කරවානම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි නිසඟි පචිති වේ.
6. එළුලොම් පිළිගෙණ තුන් යොදුනක් ඉක්මවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පිය තුන්යොදුන ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පිය ඉක්මවා නම් නිසඟි පචිති වේ.
7. නො නෑ මෙහෙණක ලවා එළුලොම් ධෝවන කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ධෝවන කරවා නම් පියෝහි දුකුළා වෙයි. දෙවූ කල්හි නිසඟිපචිති වේ.
8. රන් රිදී මසු කහවණු පිළිගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණි නම් පියෝහි දුකුළා වෙයි, ගත් කල්හි නිසඟිපචිති වේ.
9. නන් වැදෑරුම් කැපවතින් මිළ මුදල් පෙරැළි කොට ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පෙරැළි කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, පෙරැළි කළ කල්හි නිසඟි පචිති වේ.
10. නන් වදෑරුම් ගණු දෙනු කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණු දෙනු කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. ගණු දෙනු කළ කල්හි නිසඟි පචිති වේ.
දෙවන කෝසිය වර්‍ග යි.
3. 3.
1. (නො ඉටූ නො විකැපු) අතිරේක පාත්‍රයක් දසදිනක් ඉක්මවන මහණ එක් නිසඟි පචිති ඇවැතකට පැමිණේ.
2. උනුපස්බාන් පාත්‍රයකින් යුත් මහණ අනික් අළුත් පාත්‍රයක් විනවා ගන්නේ නම් දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවා ගත් කල්හි නිසඟි පචිති වේ.
3. බෙහෙත් පිළිගෙණ සත් දිනක් ඉක්මවන මහණ එක් නිසඟි පචිති ඇවැතකට පැමිණේ.
4. අතිරේක මාසයක් ශේෂ ව සිටි ගිම්හානයෙහි වැසිසළු සිවුර සොයන මහණ දෙඇවැතකට පැමිණෙයි: සොයා නම් පියෝහි දුකුළා වෙයි, සොයා නිමි කල්හි නිසඟි පචිති වේ.
5. මහණක්හට තෙමේ ම සිවුරක් දී කිපියේ නො සතුටුසිත් ඇත්තේ අසිඳ ගන්නා මහණ දෙ ඇවතකට පැමිණෙයි: අසිඳ ගණී නම් පියෝහි දුකුළා වෙයි, අසිඳ ගත් කල්හි නිසඟි පචිති වේ.
6. තෙමේ හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: වියවා නම් පියෝහි දුකුළා වෙයි, වියවූ කල්හි නිසඟි පචිති වේ.
7. පෙහෙරුන් වෙත එළඹ නො නැ ගැහැවියකුගේ සිවුරෙහි අධික විධානයට පැමිණෙන පෙරැ නො පවරණ ලද මහණ දෙ ඇවැතකට පැමිණෙයි: අධික විධානයට පැමිණේ නම් පියෝහි දුකුළා වෙයි, අධික විධානයට පැමිණි කල්හි නිසඟි පචිති වේ.
8. ඉක්මන් සිවුරක් පිළිගෙණ විචරකාලසමය ඉක්මවන මහණ එක් නිසඟි පචිති ඇවැතකට පැමිණේ.
9. තුන් සිවුරු අතුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගමැ තබා අයිරා සරැයක් ඉන් වෙන් වැ වසන මහණ එක් නිසඟි පචිති ඇවැතකට පැමිණේ.
10. සඟනට පිරිණමන ලද සඟසතු චීවරාදී ලාභයක් දැන දැන තමහට නතුකර ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පිරිණමවා නම් පියෝහි දුකුළා වෙයි, පිරිණැමවූ කල්හි නිසඟි පචිති වේ.
තෙ වන පත්තවර්‍ග යි.
තිස් නිසඟි පචිති නිමි.
2. 4.
පාචිත්තිය කාණ්ඩය
4. 1.
1. දැන දැන මුසවා කියන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: දැන දැන මුසවා කියන මහණ පස් ඇවැතකට පැමිණෙයි: ලාමක අදහස් ඇති වැ එයින් මඩනා ලදු වැ තමා කෙරෙහි අවිද්‍යාමාන වූ, නොවූ උතුරු මිනිස්දම් තමා වෙත ඇතැයි ප්‍රකාශ කෙරේ නම් පරිජි ඇවැත් වෙයි, මුල් නැති පරිජි ඇවැතකින් මහණක්හට චෝදනා කෙරේ නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි, “යම් මහණෙක් තොපගේ විහාරයෙහි වෙසේ ද, ඒ මහණ රහත්ය” යි දැනුමැතියක්හට කියා නම් ථුලැසි ඇවැත් වෙයි, නො දැනුමැතියක්හට කියා නම් දුකුළා ඇවැත් වෙයි. දැන දැන මුසවා කීමෙහි පචිති ඇවැත් වේ. දැන දැන මුසවා කියන මහණ මේ පස් ඇවැතට පැමිණේ.
2. (ජාත්‍යාදියෙන්) ගටා බණින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපනක්හට ගටා බෙණේ නම් පචිති ඇවැත් වෙයි, අනුපසපනක්හට ගටා බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
3. පෙහෙසුන් බස් එළවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපනක් හට පෙහෙසුන් බස් එළවා නම් පචිති ඇවැත් වෙයි, අනුපසපනක්හට පෙහෙසුන්බස් එළවා නම් දුකුළා ඇවැත් වේ.
4. අනුපසපනක්හට පදසෝධම් කියන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කියවා නම් පියෝහි දුකුළා වෙයි, පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වේ.
5. අනුපසපනක්හු හා දෙතුන් රැයකින් මත්තෙහි එක් සෙනස්නෙහි හොවින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හොවී නම් පියෝහි දුකුළා වෙයි, හොත්කල්හි පචිති ඇවැත් වේ.
6. මාගමක හා එක් සෙනස්නෙහි හොවින මහණ දෙ ඇවැතකට පැමිණෙයි. හොවී නම් පියෝහි දුකුළා වෙයි. හොත් කල්හි පචිති ඇවැත් වේ.
7. මාගමක්හට සපස් පෙදෙකින් මත්තෙහි දහම් දෙසන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: දෙසා නම් පියෝහි දුකුළා වෙයි, පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වේ.
8. අනුපසපනක්හට තමා තුළ ඇති උතුරු මිනිස්දම් ආරොචන කරණ මහණ තෙමේ දෙ ඇවැතකට පැමිණෙයි: ආරොචන කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, ආරොචන කළ කල්හි පචිති ඇවැත් වේ.
9. මහණහුගේ තුළුල් ඇවැතක් අනුපසපනක්හට ආරොචන කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ආරොචන කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. ආරොචන කළ කල්හි පචිති ඇවැත් වේ.
10. පොළොව කණින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කණි නම් පියෝහි දුකුළා වෙයි, පහරෙහි පහරෙහි පචිති ඇවැත් වේ.
පළමුවන මුසාවාද වර්‍ග යි.
4. 2.
1. රුක්ලිය කලකුරුවන මහණ දෙඇවැතකට පැමිණෙයි: කලකුරුවා නම් පියෝහි දුකුළා වෙයි, පහරෙහි පහරෙහි පචිති ඇවැත් වේ.
2. ආන්‍යවචනයකින් අන්‍යවචනයක් වසන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: අන්‍යවාදක කර්‍මය ආරෝපණය නො කළ කල්හි අනෙකකින් අනෙකක් වසා නම් දුකුළා වෙයි, අන්‍යවාදක කර්‍මය ආරෝපණය කළ කල්හි අනෙකකින් අනෙකක් වසා නම් පචිත් ඇවැත් වේ.
3. මහණක්හු හෙළා දක්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හෙළා දක්නේ නම් පියෝහි දුකුළා වෙයි, හෙළා දුටු කල්හි පචිති ඇවැත් වේ.
4. සඟසතු ඇඳක් හෝ පුටුවක් හෝ බිස්සක් හෝ බදවෙළුමක් හෝ එළිමහනෙහි අතුට නඟා නො තබා නො පිළිවිස බැහැර යන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පිය කැටක් හෙළන තැන ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
5. සඟසතු වෙහෙරෙහි අස්නක් අතුට නඟා නො තබා නො පිළිවිස බැහැර යන මහණ දෙඇවැතකට පැමිණෙයි: පළමු පිය පිරිකෙව් ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
6. සඟසතු වෙහෙරෙහි දැන දැන පළමු එළඹි මහණක්හු වෙතට එළඹ ශයනය කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හොවී නම් පියෝහි දුකුළා වෙයි, හොත් කල්හි පචිති ඇවැත් වේ.
7. කිපියේ නොසියමන් වැ සඟසතු වෙහෙරින් මහණක්හු නෙරපන සිත් ඇති මහණ දෙ ඇවැතකට පැමිණෙයි: නෙරපා නම් පියෝහි දුකුළා වෙයි, නෙරපූ කල්හි පචිති ඇවැත් වේ.
8. සඟසතු වෙහෙරෙහි අහස් කිළියෙහි වියල් විද සිළු ගන්වා කළ පා ඇති ඇඳක හෝ පුටුවක හෝ හිඳින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳීනම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.
9. පිරිකෙව් සෙවෙනි දෙකක් තුණක් විධාන කොට ඉන් වැඩියක් විධාන කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: විධාන කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, විධාන කළ කල්හි පචිති ඇවැත් වේ.
10. දැන දැන පණුවන් සහිත දිය තණට හෝ මැටියට හෝ ඉසින මහණ දෙ ඇවැත කට පැමිණෙයි: ඉසී නම් පියෝහි දුකුළා වෙයි, ඉසි කල්හි පචිති ඇවැත් වේ.
දෙවන භූතගාම වර්‍ග යි.
4. 3.
1. මෙහෙණන්හට ඔවා දෙන සම්මතය නො ලද මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ඔවා දේ නම් දුකුළා වෙයි, ඔවා දුන් කල්හි පචිති ඇවැත් වේ.
2. හිර අවරට ගියකල්හි මෙහෙණන්හට ඔවාදෙන මහණ දෙ ඇවතකට පැමිණෙයි: ඔවා දේ නම් පියෝහි දුකුළා වෙයි, ඔවා දුන් කල්හි පචිති ඇවැත් වේ.
3. මෙහෙණවරට එළඹ මෙහෙණන්හට ඔවා දෙන මහණ දෙ ඇවතකට පැමිණෙයි: ඔවා දේ නම් පියෝහි දුකුළා වෙයි, ඔවා දුන් කල්හි පචිති ඇවැත් වේ.
4. “භික්‍ෂූහු ආමිෂ හේතු කොට මෙහෙණන්හට ඔවා දෙති” යි කියන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කියා නම් පියෝහි දුකුළා වෙයි, කී කල්හි පචිති ඇවැත් වේ.
5. නො නෑ මෙහෙණකට සිවුරක් දෙන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: දේ නම් පියෝහි දුකුළා වෙයි, දුන් කල්හි පචිති ඇවැත් වේ.
6. නො නෑ මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ගෙත්තම් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, හිදියෙහි හිදියෙහි පචිති ඇවැත් වේ.
7. මෙහෙණක හා ගිවිස ගෙණ එක් අදන් මඟකට පිළිපන් මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පිළිපදී නම් පියෝහි දුකුළා වෙයි, පිළිපන් කල්හි පචිති ඇවැත් වේ.
8. මෙහෙණක හා ගිවිස ගෙණ එක් නැවකට නඟින මහණ දෙ ඇවතකට පැමිණෙයි: නඟී නම් පියෝහි දුකුළා වෙයි, නැඟි කල්හි පචිති ඇවැත් වේ.
9. මෙහෙණක නිපද වූ අහරක් දැන දැන වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
10. එකලා මෙහෙණක හා රහස්හි හිඳීම කරණ එකලා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳී නම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.
තෙවන ඕවාද වර්‍ග යි.
4. 4.
1. එයට (දිනකට) වඩා මඟී ආදීන් සඳහා සකස් කළ ආවස්ථ පිණ්ඩය වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
2. ගණ බොජුන් වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
3. පරම්පරභෝජනය වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
4. දෙතුන් පයක් පුරා පූ පිළිගෙණ ඊට වඩා පිළිගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පිළිගණී නම් පියෝහි දුකුළා වෙයි, පිළිගත් කල්හි පචිති ඇවැත් වේ.
5. වළඳා නිමවූ පැවරූ මහණ අයිරිත් නො කළ කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ වළඳන්නේ නම් දෙ ඇවැතකට පැමිණෙයි: “කන්නෙමි” යි “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
6. වළඳා නිමවූ පැවරූ මහණක්හු අයිරිත් නො කළ කෑයුතු දැයින් හෝ බිදිය යුතු දැයින් හෝ එළවා පවරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ඔහුගේ වචනයෙන් “කන්නෙමි, බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, බොජුන් පිරියතැ පචිති ඇවැත් වේ.
7. විකාලයෙහි කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ වළඳන මහණ දෙ ඇවැත කට පැමිණෙයි: “කන්නෙමි” “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
8. පිළිගෙණ එකරැයකුදු තබන ලද කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “කන්නෙමි, බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
9. පිණි බොජුන් තමා පිණිස විනවා වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි. “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
10. නුදුන් අහරක් මුවදොරට එළවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
සිවුවැනි භෝජන වර්‍ග යි.
4. 5.
1. නග්න තවුසකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජියකට හෝ කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ සියතින් දෙන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: දේ නම් පියෝහි දුකුළා වෙයි, දුන් කල්හි පචිති ඇවැත් වේ.
2. මහණක්හට “ඇවත, එනු මැනව, ගමකට හෝ නියම්ගමකට හෝ පිඬු පිණිස පිවිසෙන්නෙමු” කියා ඒ මහණහට (යම් කිසි අහරක්) දෙවා හෝ නො දෙවා හෝ නඟා යවන මහණ දෙඇවතකට පැමිණෙයි: නඟා යවා නම් පියෝහි දුකුළා වෙයි, නඟා යැවූ කල්හි පචිති ඇවැත් වේ.
3. මෙවුන්දම්රායෙන් යුත් පුමිතිරි දෙදෙනෙකුන් ඇති යහන් ගෙයි වැදහිඳින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳී නම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.
4. මාගමක හා රහස්හි පිළිසන් අස්නෙකැ හිඳින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳී නම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.
5. එකලා වූයේ එකලා වූ මාගමක හා රහස්හි හිඳින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳී නම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.
6. නිමන්ත්‍රණ ලද බත් ඇති වැ පෙරවරු හෝ පස්වරු හෝ අරම්වැසි මහණක්හු නො පිළිවිසැ කුලයන්හි හැසිරීමට පැමිණෙන මහණ දෙ ඇවතකට පැමිණෙයි: පළමු පිය උපචාර ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
7. එයට (පවරණ ලද පමණට) වඩා බෙහෙත් විනවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවූ කල්හි පචිති ඇවැත් වේ.
8. සටනට නිකුත් (සිවුරඟ) සෙනඟ දැක්මට යන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: යේ නම් දුකුළා ඇවැත් වෙයි, යම් තැනෙක සිටියේ දකී නම් පචිති ඇවැත් වේ.
9. අයිරා තෙරැයක් සේනාවෙහි වසන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: වෙසේ නම් පියෝහි දුකුළා වෙයි, විසූ කල්හි පචිති ඇවැත් වේ.
10. යුදබිමට යන මහණ දෙ ඇවතකට පැමිණෙයි: යේ නම් දුකුළා ඇවැත් වෙයි, යම් තැනෙක සිටියේ දකී නම් පචිති ඇවැත් වේ.
පස්වැනි අචේලක වර්‍ග යි.
4. 6.
1. රහමෙර බොන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බොන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.