Pācittiya

Expiation Rules

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 4249 segments

පෙන්වන කොටස් 801-900 න් 4249

10. ගණභෝජන නම්: යම් තැනෙකැ භික්‍ෂූහු සතර දෙනෙක් පස් බොජුන් අතුරෙන් එක්තරා බොජුනෙකින් නිමැතුම් ලදුවෝ වළඳත්. මේ ගණ භෝජන නම් වේ. අඤඤත්‍රසමයා: සුදුසුසමය තබා.
ගිලානසමය නම්: යටත් පිරිසෙයින් පාදයෝ පැළුණහු වෙත් නම් ගිලන්සමය යැයි වැළඳිය යුතු යි. චීවරදානසමය නම්: කෙළින් සිවුරු නො අතුළ කල්හි වැසිකල් පිළිබැඳි පැසුළුමස ද, කෙළින් සිවුරු අතුළ කල්හි පස්මස ද සිවුරු දෙන සමය යැයි වැළඳිය යුතු යි. චීවරකාරසමය නම්: සිවුරක් කරනු ලබන කල්හි සිවුරු කරන සමය යැයි වැළඳිය යුතු යි. අද්ධානගමනසමය නම්: අඩ යොදුනක් යන්නෙමි යි වැළඳිය යුතු, යන්නහු විසින් වැළඳිය යුතු, ගියහු විසින් වැළඳිය යුතු යි.
නාවාභිරූහනසමය නම්: නැවට නඟින්නෙමියි වැළඳිය යුතු, නැවට නැඟුණහු විසින් වැළඳිය යුතු, නැවෙන් බටහු විසින් වැළඳිය යුතු යි.
මහාසමය නම්: යම් තැනෙකැ දෙතුන් භික්‍ෂු කෙනෙක් පිඬු පිණිස හැසිරැ යැපෙද්ද, සතර වැන්නකු ආ කල්හි නො යැපෙද්ද, මහාසමය යැයි වැළඳිය යුතු යි. සමණභත්තසමය නම්: පැවිදිබවට පැමිණි යම් කිසිවෙක් බතක් කරා නම් මහණබත්සමය යැයි වැළඳිය යුතු යි.
සුදුසුසමය තබා වළඳන්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වෙයි. ගණබොජුනෙහි ගණබොජුන්සන් ඇතියේ සුදුසු සමය තබා වළඳා නම් පචිති ඇවැති වෙයි. ගණබොජුනෙහි විමති ඇතියේ සුදුසු සමය තබා වළඳා නම් පචිති ඇවැත් වෙයි. ගණබොජුනෙහි නො ගණ බොජුන්සන් ඇතියේ සුදුසු සමය තබා වළඳා නම් පචිති ඇවැත් වෙයි. නො ගණ බොජුනෙහි ගණබොජුන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො ගණ බොජුනෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො ගණ බොජුනෙහි නො ගණ බොජුන් සන් ඇතියේ නම් ඇවැත් නැති.
සුදුසු සමයෙහි දෙතුන් දෙනෙක් එක් වැ වළඳත් නම්, පිඬු පිණිස හැසිරැ එක් රැස් වැ වළඳත් නම්, නිතිබත්හි, ලභබත්හි, අඩමස්බත්හි, පොහෝබත්හි, පෑළවියබත්හි, පස් බොජුන් තබා (හඹු කැවිලි ඈ) හැම වැළඳීමෙහි ඇවැත් නැති, උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
ගණභෝජන ශික්‍ෂාපද යි.
6. 4. 3.
පරම්පරභෝජන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු විසල්පුරැ මහවෙනෙහි කුළාරහල්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි විසල්පුරැ පිණිබත්වලින් බත්පිළිවෙළෙක් තබන ලද්දේ වෙයි. එකල්හි එක්තරා දිළිඳු කම්කරුවකුහට මෙ සිත විය: “යම් සේ මේ මිනිස්සු සකසා බත් තැබීම කෙරෙද්ද, මේ නම් ලමුවැඩෙක් නො වේ මැ යි, යම් හෙයෙකින් මම ද බතක් කරන්නෙම් නම් ඉතා යෙහෙකැ” යි. එකල්හි ඒ දිළිඳු කම්කරුවා කිරපතිකයා වෙත එළැඹියේ යැ. එළැඹැ ඒ කිරපතිකයා හට මෙය කී යැ:
“හිමි පුත, මම් බුදුපාමොක් බික්සඟනට බතක් කරන්නට කැමැත්තෙමි, මාගේ වැටුප් දෙනුමැනැවැ” යි. ඒ කිරපතිකයා ද සැදැහැතියේ පහන් වූයේ වෙයි. එකල්හි ඒ කිරපතිකයා ඒ දිළිඳු කම්කරුවාහට අතිරේක දීමනා සහිත වැටුප දින. ඉක්බිති ඒ දිළිඳු කම්කරුවා භාග්‍යවතුන් වෙතැ එළැඹි යේ යැ. එළැඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන්නා වූ ඒ දිළිඳු කම්කරුවා භාග්‍යවතුන් හට මෙය කී යැ: “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මාගේ බත සෙට දවසට බික්සඟන සමඟ ඉවසනසේක්ව” යි. ඇවැත, බික්සඟන බොහෝ යැ, (පමණ) දනුව යි. ස්වාමීනි, භික්‍ෂුසඞ්ඝයා බොහෝ වේවා, මා විසින් බොහෝ ඩෙබර පිළියෙළ කරන ලදහ. ඩෙබරමුසු අහරින් පින්වත් හිමිවරු පිනා යෙත්ව යි. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසා වදාළසේකැ. එකල්හි ඒ දිළිඳු කම්කරුවා භාග්‍යවතුන්ගේ ඉවසීම දැනැ අස්නෙන් නැඟිට භාග්‍යවතුන් සකසා වැඳ පැදකුණු කොට නික්මැ ගියේ යි.
2. ඒ දිළිඳු කම්කරුවා විසින් ඩෙබරමුසු අහරින් වත් ආර්‍ය්‍යයෝ පිනායෙත්වා’යි හෙට දවසට බුදුපාමොක් බික්සඟන නිමතන ලදැ යි භික්‍ෂූහු ඇසූහු. ඔවුහු කල්තබා මැ පිඬු පිණිස හැසිරැ වැළඳූහ. මිනිස්සු දිළිඳු කම්කරුවා විසින් බුදුපාමොක් බික්සඟන නිමතන ලදැ යි ඇසූහු යි. ඔවුහු බොහෝ කෑ යුතු බිඳිය යුතු දැය ඒ දිළිඳු කම්කරුවා වෙතැ එළවූහ.
3. එකල්හි ඒ දිළිඳු කම්කරුවා ඒ රැය ඇවෑමෙන් පිණි කැවිලි බොජුන් පිළියෙල කොට භාග්‍යවතුන්හට කල් දන්වා යැවී ය. ස්වාමීනි, මේ කාලය යි, බත් නිමියේ යි. එකල්හි භාග්‍යවත්හු පෙරවරුයෙහි හැඳ පෙරවැ පා සිවුරු ගෙන ඒ දුළිඳු කම්කරුවාගේ නිවසට එළඹියහ. එළැඹැ පනවන ලද අසුනෙහි භික්‍ෂුසංඝයා සමඟ වැඩ හුන්හු. එකල්හි ඒ දිළිඳු කම්කරුවා භක්තාග්‍රයෙහි භික්‍ෂූන් වළඳවයි. භික්‍ෂූහු මෙසේ කීහ. ඇවැත, මඳක් දෙව, ඇවැත මඳක් දෙව. ස්වාමීනි, මුඹවහන්සේලා මේ දිළිඳු කම්කරුවෙකැයි මඳ මඳ කොට නො පිළිගනු මැනැවි. මා විසින් බොහෝ කැවිලි බොජුන් අහර පිළියෙළ කරන ලදී. ස්වාමීනි, කැමැතිතාක් පිළිගනු මැනැවි. ඇවැත, ඇපි මෙකරුණින් මඳ මඳ කොට නො පිළිගනුම්හ. තවද ඇපි කල්තබා මැ පිඬු පිණිස හැසිරැ වැළැඳුම්හ. එහෙයින් අපි මඳ මඳ පිළිගනුම්හ. එකල්හි ඒ දිළිඳු කම්කරුවා ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි. කෙසේ නම් වහන්දෑ මා විසින් නිමතන ලද්දාහු අන් තැනෙක වැළැඳුහු ද? මම් ද කැමැතිතාක් දීමට සමර්‍ත්‍ථ නො වෙම් ද? භික්‍ෂූහු ලමු කොට සිතන, නුගුණ පවසන, දොස් පතුරුවන ඒ දිළිඳු කම්කරුවා ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු යි.
4. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් භික්‍ෂූහු අන්තැනෙකැ නිමතන ලද්දාහු අන් තැනෙකැ වැළැඳූහු ද? ... සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු අන්තැනෙකැ නිමතන ලද්දාහු අන් තැනෙකැ වළඳද්ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ඒ හිස් පුරුෂයෝ අන් තැනෙකැ නිමතන ලද්දාහු අන් තැනෙකැ වැළඳූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන් ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“පරම්පර භෝජනයෙහි පචිති වේ” ය යි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
5. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් ගිලන්වූයේ වෙයි. එක්තරා මහණෙක් පිණ්ඩපාතය ගෙනැ ඒ භික්‍ෂු යම් තැනෙක ද එතැනට එළැඹියේ යි, එළැඹැ ඒ මහණහට මෙය කීය: ඇවැත වළඳන්න, කම් නැත ඇවැත, මා විසින් ඉවසූ බතෙක් ඇත. ඒ භික්‍ෂුහුගේ පිණ්ඩපාතය ඉතා දවාලෙහි ගෙනෙනු ලැබීයැ. ඒ භික්‍ෂු තෙමේ සිත්සේ නො වැළැඳී යැ. භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවත්හු මෙකරුණෙහි ලා මෙඅවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූහ: “මහණෙනි, ගිලන්මහණහු විසින් පරම්පරභෝජනය වළඳන්නට අනුදනිමි” මහණෙනි, තවද මෙසේ මේ සිකපදය උදෙසවු:
“සුදුසු සමය තබා පරම්පර භෝජනයෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යි: ගිලන්සමය යැ එහි මේ සුදුසු සමය යි.”
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
6. එසමයෙහි මිනිස්සු සිවුරු දෙන සමයෙහි සිවුරුබතක් පිළියෙළ කොට වළඳවා සිවුරු දෙම්හ යි භික්‍ෂූන්හට නිමතත්. භික්‍ෂූහු භාග්‍යවතුන් විසින් පරම්පරභෝජනය ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුස් කරනුවෝ නො ඉවසත්. මඳ සිවුරෙක් උපදී. භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ ... “මහණෙනි, සිවුරු දෙනසමයෙහි පරම්පරභෝජනය වළඳන්නට අනුදනිමි.” මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“සුදුසු සමය තබා පරම්පර භෝජනයෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යි: ගිලන් සමය යැ, සිවුරු දෙනසමය යැ, මෙහි ඒ සුදුසු සමය යි.”
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
7. එසමයෙහි වනාහි මිනිස්සු සිවුරු කරන මහණුන්ට බතින් නිමතත්. භික්‍ෂූහු භාග්‍යවතුන් විසින් පරම්පරභෝජනය ප්‍රතික්‍ෂේප කරන ලදැයි කුකුස් කරනුවෝ නො ඉවසත්. භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ ... “මහණෙනි, සිවුරු කරන සමයෙහි පරම්පරභෝජනය වළඳන්නට අනුදනිමි.” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“සුදුසු සමය තබා පරම්පරභෝජනයෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යි ගිලන් සමය යැ සිවුරු දෙනසමය යැ සිවුරු කරනසමය යැ, මේ එහි සුදුසු සමය යි.”
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
8. එකල්හි භාග්‍යවත්හු පෙරවරුයෙහි හැඳ පෙර වැ පා සිවුරු ගෙන ආයුෂ්මත් ආනන්‍දයන් පසුමහණුන් කොට එක්තරා කුලයකට එළැඹියහ. එළැඹැ පනවන ලද අසුනෙහි වැඩැහුන්හු. එකල්හි ඒ මිනිස්සු භාග්‍යවතුන්හට ද ආයුෂ්මත් ආනන්‍දයන්හට ද භෝජනය දුන්හ. ආයුෂ්මත් ආනන්‍දයෝ කුකුස් කරනුවෝ නො ඉවසති. පිළිගනු ව ආනන්‍ද, කම් නැති භාග්‍යවතුනි, මා විසින් ඉවසූ බතෙක් ඇත. එසේ නම් ආනන්‍ද විකපා පිළිගනුව. එකල්හි භාග්‍යවත්හු මෙකරුණෙහි ලා මෙඅවසරයෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූහ. “මහණෙනි, විකල්පනය කොට පරම්පරභෝජනය වළඳන්නට අනුදනිමි,” මහණෙනි, ‘මා ඉවසූ බත මෙනම්හුට දෙමි’යි මෙසේ විකල්පනය කළයුතු යි.
9. පරම්පරභෝජනය නම්: පස්බොජුන් අතුරෙන් එක්තරා බොජුනකින් නිමතන ලද්දේ එය තබා පස් බොජුන් අතුරෙන් එක්තරා අන් බොජුනක් වළඳයි. මේ පරම්පරභෝජන නම් වේ.
අඤ්ඤත්‍රසමයා: සුදුසු සමය තබා.
ගිලානසමය නම්: එක් අසුනෙහි හුන්නේ කැමැති තාක් වළඳන්නට නො හැකිවේ ද, ගිලන්සමය යැ යි වැළඳියයුතු.
චීවරදානසමය නම්: කෙළින් සිවුරු නො අතුළ කල්හි වැසිකල් පිළිබැඳි පැසුළුමස ද කෙළින් සිවුරු අතුළ කල්හි පස්මස ද, සිවුරු දෙන සමය යැ යි වැළඳියයුතු.
චීවරකාරසමය නම්: සිවුරක් කරනු ලබන කල්හි සිවුරු කරන සමය යැ යි වැළඳියයුතු.
සුදුසු සමය තබා වළඳන්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වේ.
පරම්පරභෝජනයෙහි පරම්පරබොජුන්සන් ඇතියේ සුදුසු සමය තබා වළඳා නම් පචිති ඇවැත් වෙයි. පරම්පරභෝජනයෙහි විමති ඇතියේ සුදුසු සමය තබා වළඳා නම් පචිති ඇවැත් වෙයි. පරම්පරබොජුනෙහි පරම්පරබොජුනැ යි සන් නැතියේ සුදුසු සමය තබා වළඳා නම් පචිති ඇවැත් වේ.
නො පරම්පරබොජුනෙහි පරම්පරබොජුන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො පරම්පරබොජුනෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො පරම්පරබොජුනෙහි නො පරම්පරබොජුන්සන් ඇතියේ නම් ඇවැත් නැති.
සුදුසු සමයෙහි විකල්පනය කොට වළඳා නම්, දෙතුන් නිමැතුම්හි එකට වළඳා නම්, නිමතන ලද පිළිවෙළින් වළඳා නම්, සියලු ගම විසින් නිමතන ලද්දේ එගම්හි කිසියම් තැනෙකැ වළඳා නම්, සියලු මුළුවක් විසින් නිමතන ලද්දේ එමුළුවෙහි කිසියම් තැනෙකැ වළඳා නම්, නිමතනු ලබන්නේ භික්‍ෂාව ගන්නෙමි යි බෙණේ නම්, නිතිබත්හි නම්, ලහබත්හි නම්, පැකිබත්හි නම්, පොහෝබත්හි නම්, පෑළවිය බත්හි නම්, පස් බොජුන් තබා (හඹුකැවිලි ඈ) හැම වැළඳීමෙහි නම් ඇවැත් නැති. උම්මත්තකහට ද ආදිකම්මිකහට ද ඇවැත් නැති.
පරම්පරභෝජන ශික්‍ෂාපද යි.
6. 4. 4.
කාණමාතු ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි කාණමාතා උපාසිකාව සැදැහැත්තී පහන්වූවා වෙයි. කාණාව ගමෙකැ එක්තරා පුරුෂයකුට පාවා දුන්නී ය. එකල්හි කාණාව කිසියම් කරුණක් සඳහා මවගේ ගෙට ගියාය. එකල්හි කාණාවගේ සැමියා කාණාවගේ සමීපයට දූතයකු එවී යැ. කාණාව පැමිණේ වා, කාණාවගේ පැමිණීම කැමැත්තෙමි. එකල්හි කාණමාතා උපාසිකාව හිස් අතින් යන්නේ කෙසේ දැ යි කැවුම් පිසුවා යැ. කැවුම් පිසූ කල්හි එක්තරා පිඬු සැරි මහණෙක් කාණමාතා උපාසිකාවගේ නිවසට පැමිණියේ යැ.
එකල්හි කාණාමාතා උපාසිකාව ඒ මහණහට කැවුම් දෙවූ යැ. හේ නික්ම ගොස් අනෙකකුට කී ය. ඔහුට ද කැවුම් දෙවූ යැ. හෙතෙමේ ද නික්ම ගොස් අනෙකකුට කී යැ. ඔහුට ද කැවුම් දෙවූ යැ. පිළියෙළ කළ තාක් කැවුම් අවසන් බවට ගියේ යි. දෙවනු ද වනාහි කාණාවගේ සැමියා කාණාවගේ සමීපයට දූතයකු එවී යැ. කාණාව පැමිණේවා. කාණාවගේ පැමිණීම කැමැත්තෙමි. දෙවනු ද කාණමාතා උපාසිකාව හිස් අතින් යන්නේ කෙසේ දැ යි කැවුම් පිසුවා යැ. කැවුම් පිසූ කල්හි එක්තරා පිඬුසැරි මහණෙක් කාණමාතා උපාසිකාව ගේ නිවසට පැමිණියේ යැ. එකල්හි කාණමාතා උපාසිකාව ඒ මහණහට කැවුම් දෙවූ යැ. හේ නික්ම ගොස් අනෙකකුට කී යැ. ඔහුට ද කැවුම් දෙවූ යැ. හෙතෙමේ ද නික්ම ගොස් අනෙකකුට කී යැ. ඔහුට ද කැවුම් දෙවූ යැ. පිළියෙළ කළ තාක් කැවුම් අවසනට ගියේ යි. තෙවනු ද වනාහි කාණාවගේ සැමියා කාණාවගේ සමීපයට දූතයකු එවී යැ. “කාණාව පැමිණේවා, කාණාවගේ පැමිණීම කැමැත්තෙමි. ඉදින් කාණාව නො පැමිණෙන්නී නම් මම් අන් අඹුවක ගෙනෙන්නෙමි” තෙවනුද කාණාමාතා උපාසිකාව හිස් අතින් යන්නේ කෙසේ දැයි කැවුම් පිසුවා යැ. කැවුම් පිසූ කල්හි එක්තරා පිඬුසැරි මහණෙක් කාණාමාතා උපාසිකාවගේ නිවසට පැමිණියේ යැ. එකල්හි කාණාමාතා උපාසිකාව ඒ මහණහට කැවුම් දෙවූ යැ. හේ නික්ම ගොස් අනෙකකුට කී යැ. ඔහුට ද කැවුම් දෙවූ යැ. හෙ තෙමේ ද නික්ම ගොස් අනිකෙකුට කී යැ. ඔහුට ද කැවුම් දෙවූ යැ. පිළියෙළ කළ තාක් කැවුම් අවසනට ගියේයි. එකල්හි කාණාව ගේ සැමියා අන් අඹුවක ගෙනාවේ යැ. කාණාව ඒ පුරුෂයා විසින් අන් අඹුවක් ගෙනෙන ලදැ යි ඇසූ. ඕතොමෝ හඬමින් සිටියා යැ.
2. එකල්හි භාග්‍යවත්හු පෙරවරුයෙහි හැඳ පෙරවැ පාසිවුරු ගෙන කාණමාතා උපාසිකාවගේ නිවසට එළැඹියහ. එළඹැ පනවන ලද අස්නෙහි වැඩැ හුන්හු. එකල්හි කාණමාතා උපාසිකාව භාග්‍යවතුන් වෙතැ එළඹියා යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙකැ හුන්නා යැ. එකත්පසෙකැ හුන්නා වූ කාණමාතා උපාසිකාවට භාග්‍යවත්හු මෙය වදාළහ: මේ කාණාව කුමකට හඬන්නීදැ යි. එකල්හි කාණමාතා උපාසිකාව භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූවා යැ. එකල්හි භාග්‍යවත්හු කාණමාතා උපාසිකාවට දැහැමි කථායෙන් (දෙලෝවැඩ) මොනොවට දක්වා (කුසල් දහම්හි) සමාදන් කරවා මොනොවට තෙද ගන්වා සතුටු කරවා අසුනෙන් නැගිට වැඩිය හ.
3. එසමයෙහි වනාහි එක්තරා ගැල්සාත්තුවක් රජගහ නුවරින් පැසුළු දිගට යනු කැමැත්තේ වෙයි. එක්තරා පිඬුසැරි මහණෙක් ඒ ගැල්සාත්තුව වෙතැ පිඬු පිණිස පැමිණියේ යැ. එක්තරා උවසුවෙක් ඒ මහණහට අත්සුණු දෙවී යැ. හේ නික්ම ගොස් අනෙකකුට කී යැ. ඔහුට ද අත්සුණු දෙවී යැ. හෙතෙමේ ද නික්ම ගොස් අනෙකකුට කී යැ. ඔහුට ද අත්සුණු දෙවී යැ. පිළියෙළ කළ තාක් මාර්ගෝපකරණ අවසනට ගියේ යි. එකල්හි ඒ උවසු ඒ මිනිසුන්හට මෙය කී යැ: “ආර්‍ය්‍යයෙනි අද දවස පමණක් පොරොත්තු වනු මැනැවි. පිළියෙළ කළ තාක් මාර්ගෝපකරණ ආර්‍ය්‍යයන්හට දෙන ලදී. මාර්ගෝපකරණ පිළියෙළ කරන්නෙමි. ආර්‍ය්‍යය පොරොත්තු වන්නට නො හැකි යැ. තවලම ගියේ යැයි (ඔහුද) ගියහ. එකල්හි මාර්ගෝපකරණ පිළියෙළ කොට ගෙන පසුවැ යන්නා වූ ඒ උවසුවාට අනදර කොට සොරු අසිඳගත්හ. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ පමණ දැන නො පිළිගත්තාහු ද? මෙතෙම මොවුන්ට දී පසු වැ යන්නේ සොරුන් විසින් අසිඳ ගන්නා ලද්දේ වේ යැ යි.
4. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවත්හු මෙකරුණෙහි ලා මෙඅවසරයෙහි ලා දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූහ: එහෙයින් මහණෙනි, කරුණු දසයක් පිණිස භික්‍ෂූන්ට සිකපද පනවන්නෙමි. සඟුන්ගේ මනා පිළිගැනුම, සඟුන් ගේ පහසුබව ... විනයට රුකුල්දීම පිණිස යැ. තව ද මහණෙනි මෙසේ මේ සිකපදය උදෙසවු:
“කුලයකට පැමිණි මහණක්හට වනාහි කැවුමෙන් හෝ අත් සුන්නෙන් හෝ වෙතැ එළවා පවරන්නේ නම් කැමැති වන්නා වූ මහණුන් විසින් පිරූ දෙතුන් පාත්‍රයෙක් පමණ පිළිගතයුතු යැ. ඉදින් ඉන්මත්තෙහි පිළි ගන්නේ නම් පචිති වේ. පිරූ දෙතුන් පාත්‍රයක් පිළිගෙන එයින් බැහැරැ ගෙන ගොස් භික්‍ෂූන් සමඟ බෙදා ගතයුතු යි මේ එහි අනුදහම්බව යි.
5. භික්ඛුං පනෙව කුලං උපගතං: කුලය නම් ක්‍ෂත්‍රිය කුල ය බ්‍රාහ්මණ කුල යැ, වෛශ්‍ය කුල යැ, ශුද්‍ර කුල යැ යි කුල සතරෙකි.
උපගතං: එහි පැමිණියහු.
පූවං නාම: ගෙන යන පඬුරු පිණිස පිළියෙළ කරන ලද යම් කිසි දැයෙකි.
මන්‍ථං නාම: මාර්ගෝපකරණ සඳහා පිළියෙළ කරන ලද යම් කිසි දැයෙකි.
අභිහට්ඨුං පවාරෙය්‍ය: යම්තාක් කැමැති වේ නම් ඒතාක් ගනු මැනැවැයි පැවරීම යි.
ආකඞ්ඛමානෙන: කැමැති වන්නහු විසින්,
ද්වත්තිපත්තපූරා පටිග්ගහෙතබ්බා: පාත්‍ර දෙකක් පුරා හෝ තුනක් පුරා හෝ පිළිගතයුතු යි.
තතො චෙ උත්තරිං පටිගණ්හෙය්‍ය: එයින් මත්තෙහි පිළිගනී නම් පචිති ඇවැත් වේ. දෙ තුන් පයක් පිළිගෙන එයින් නික්මෙන්නහු විසින් මහණකු දැක මෙහි මා විසින් පුරා දෙතුන් පාත්‍රයෙක් පිළිගන්නා ලදී. එහි නහමක් පිළිගන්නැයි කිවයුතු යි. ඉදින් දැක නො කියා නම් දුකුළා ඇවැත් වේ. ඉදින් කියන ලද කල්හි පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
තතො නීහරිත්‍වා භික්ඛුහි සද්ධිං සංවිහජිතබ්බා: බැහැරට ගෙන ගොස් බෙදා දියයුතු යි.
අයං තත්‍ථ සාමීචිති: මේ එහි අනුධර්‍මතා යි.
පිරුණු දෙතුන් පයකට වැඩියෙක්හි අතිරේකසංඥා ඇතියේ පිළිගනී නම් පචිති ඇවැත් වෙයි. පිරුණු දෙ තුන් පයකට වැඩියෙක්හි විමති ඇතියේ පිළිගනී නම් පචිති ඇවැත් වෙයි. පිරුණු දෙතුන් පයකට වැඩියෙක්හි උනුසන් ඇතියේ පිළිගනී නම් පචිති ඇවැත් වේ.
පිරුණු දෙතුන් පයකට අඩුවෙක්හි අතිරේකසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පිරුණු දෙතුන් පයකට අඩුවෙක්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පිරුණු දෙතුන් පයකට අඩුවෙක්හි උනුසන් ඇතියේ නම් ඇවැත් නැති.
පිරුණු දෙතුන් පයක් පිළිගනී නම්, පිරුණු දෙතුන් පයකට අඩුව පිළිගනී නම්, පඬුරු පිණිස යැවීමට හෝ මාර්ගෝපකරණ පිණිස හෝ පිළියෙළ නො කරන ලද්දක් දෙත් නම්, පඬුරු පිණිස හෝ මාර්ගෝපකරණ පිණිස හෝ පිළියෙළ කළ දැයෙකින් ඉතුරු වූවක් දෙත් නම්, ගමන වැළකුණු කල්හි දෙත් නම්, නෑයන්ගෙන් නම් පවාරිතයන්ගෙන් නම් අනෙකක්හු සඳහා නම්, ස්වකීය ධනයෙන් නම් ඇවැත් නැති. උම්මත්තකහට ද ආදිකම්මිකහට ද ඇවැත් නැති.
සිවුවැනි කාණමාතු ශික්‍ෂාපදයි.
6. 4. 5.
පඨමපවාරණ ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වෙසෙති. එකල්හි එක්තරා බමුණෙක් භික්‍ෂූන්ට ආරාධනා කොට වැළඳවූයේ යැ. වළඳා නිමි භික්‍ෂූහු පවාරණය කරන ලද්දාහු නෑකුලයන් කරා ගොස් සමහරු වැළඳූහ. සමහරු පිඬු රැගෙන ගියහ. එකල්හි ඒ බමුණා අසල් වැසියනට මෙය කී යැ: පින්වත්නි, මා විසින් ආර්‍ය්‍ය භික්‍ෂූහු සන්තර්‍පණය කරන ලදහ. එවු තොප ද සන්තර්‍පණය කරවන්නෙමි. ඔවුහු මෙසේ කීහු: කිම ආර්‍ය්‍ය වූ යුෂ්මත් තෙමේ අප සතප්වන්නෙහි ද? ඔබ විසින් යම් කෙනෙක් නිමතන ලද්දාහු ද, ඔවුහු අපගේ ගෙවලට අවුත් සමහරු වැළඳූහ. සමහරු පිඬු රැගෙන ගියහ. එකල්හි ඒ බමුණා ලමු කොට සිතයි. නුගුණ පවසයි. දොස් පතුරුවයි: “කෙසේ නම් හිමිවරු අපගේ ගෙහි වළඳා අන්තැනෙකැ වැළඳූහු ද? මම ඇතිතාක් දීමට ප්‍රතිබලයෙකිම් නො වෙම් දැ” යි.
2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ බමුණා ගේ (අකීර්ත්තිශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත් “කෙසේ නම් භික්‍ෂූහු වළඳා ප්‍රතික්‍ෂේප කරන ලද්දාහු අන්තැනෙකැ වැළඳූහු දැ” යි ... සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු වළඳා ප්‍රතික්‍ෂේප කරන ලද්දාහු අන්තැනෙකැ වළඳද් ද?
සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, හිස්පුරුෂ වූ ඒ භික්‍ෂුහු වළඳා නිමියාහු ප්‍රතික්‍ෂේප කරන ලද්දාහු අන්තැනෙකැ වැළඳූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... තව ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු.
යම් මහණෙක් කළ බත් කිස ඇතියේ, කළ පැවැරුණු ඇතියේ කෑයුතු දැයක් හෝ බුදිය යුතු දැයක් හෝ කන්නේ නම් හෝ බුදී නම් හෝ පචිති වේ යැයි.
මෙසේ භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි භික්‍ෂූහු ගිලන් මහණුන්ට ප්‍රණීත පිණ්ඩපාතය ගෙන යති. ගිලන්හු සිත් සේ නො වළඳති. ඒවා භික්‍ෂූහු ඉවත දමති. බුදුහු මුළුදුන් කවුඩන්ගේ උස්හඬ මහාහඬ ඇසූහු. අසා ආයුෂ්මත් ආනන්‍දයන් ඇමතූහ: ආනන්‍ද, මුළුදුන් කවුඩන් ගේ තෙල උස් හඬ, මහාහඬ කුමක් හෙයින් ද? එකල්හි ආයුෂ්මත් ආනන්‍දයෝ භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහ. ආනන්‍ද, භික්‍ෂූහු වනාහි ගිලනුන් වළඳා ඉතිරි දැය වළඳන්නාහු ද? භාග්‍යවතුන් වහන්ස, නො වළඳන්නාහ. එකල්හි බුදුහු මෙකරුණෙහිලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූහ: “මහණෙනි, ගිලනාට ද නො ගිලනාට ද ඉතිරිදැය වළඳන්නට අනුදනිමි.” මෙසේ මහණෙනි, අතිරිත්තය කළයුතු යි. ‘මෙහැම පමණයැ’. තව ද මහණෙනි මේ සිකපදය මෙසේ උදෙසවු.
යම් මහණෙක් කළ බත් කිස ඇතියේ, කළ පැවැරුණු ඇතියේ අයිරිත් නො වු කෑයුතු දැයක් හෝ බුදිය යුතු දැයක් හෝ කන්නේ නම් හෝ වළඳන්නේ නම් හෝ පචිති වේ යැයි.
4. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහිලා අදහස් කරන ලද භික්‍ෂු යි.
භුත්තාවි නම්: පස් බොජුන් අතුරෙන් එක්තරා බොජුනක් යටත් පිරිසෙයින් කුසතණ අගකිනුදු අනුභව කළේ වෙයි.
පවාරිත නම්: වළඳනු පැනෙයි. (පවරනුවට පොහෝනා) බොජුන පැනෙයි. අත්පසැ සිටියේ වෙයි. එළවයි. ප්‍රතික්‍ෂේපය පැනෙයි.
අනතිරිත්ත නම්: නො කැපකළ දැයෙකි. නො පිළිගත් දැයෙකි. නො ඔසවනලද දැයෙකි. අත්පසින් බැහැර සිටියහු විසින් කළදැයෙකි. වළඳා නො නිමියහු විසින් කළදැයෙකි. වළඳා පැවැරුණහු අසුනෙන් නැඟිට කළදැයෙකි. මේ හැම පමණ යැ නො කියන ලද දැයෙකි. ගිලනකු විසින් ඉතිරි නොකළ දැයෙකි. මෙයැ අනතිරිත්ත නමි.
අතිරිත්ත නම්: කැප කළ දැයෙකි, පිළිගත් දැයෙකි, ඔසවන ලද දැයෙකි, අත්පසැ සිටියහු විසින් කළ දැයෙකි, වළඳා නිමියහු විසින් කළ දැයෙකි, වළඳා පැවැරුණාහු අසුනෙන් නො නැඟිට කළ දැයෙකි, මේ හැම පමණැ යි කියන ලද දැයෙකි, ගිලනක්හු විසින් ඉතිරි කළ දැයෙකි, මේ යැ අතිරිත්ත නම්.
ඛාදනීය නම්: පස් බොජුන් ද යාමකාලිකය ද සත්තාහකාලිකය ද යාවජීවකය ද තබා සෙසු දැය ඛාදනීය නම් වේ.
භෝජනීය නම්: බත් යැ කොමු යැ අත්සුණු යැ දියමස් යැ ගොඩමස් යැ යන පස් බොජුනි. කන්නෙමි බුදින්නෙමියි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වේ.
අයිරිත් නො වූයෙහි අයිරිත් නොවූ සන් ඇතියේ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වෙයි. අයිරිත් නො වූයෙහි විමති ඇතියේ කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වෙයි. අයිරිත් නො වූයෙහි අයිරිත්සන් ඇතියේ කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වේ.
යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය අහර පිණිස පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වේ.
අයිරිත්හි නො අයිරිත්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අයිරිත්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අයිරිත්හි අයිරිත්සන් ඇතියේ නම් ඇවැත් නැති.
අයිරිත් කරවා වළඳා නම් අයිරිත් කරවා වළඳන්නෙමියි පිළිගනී නම් අනෙකක්හු සඳහා ගෙනැ යේ නම්, ගිලන්හු ගේ ඉතිරි දැය වළඳා නම් යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය කරුණක් ඇති කල්හි වළඳා නම් උම්මත්තකයාහට ආදිකම්මිකයාහට ඇවැත් නැති.
පස්වැනි පඨමපවාරණ ශික්‍ෂාපදයි.
6. 4. 6.
දුතියපවාරණ ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි දෙ මහණ කෙනෙක් කොසොල් දනව්වෙහි සිටැ සැවැතට යන අදන්මගට පිළිපන්නාහු වෙති. එක් මහණෙක් පනත් විකුම් කෙරෙයි. දෙවන මහණ තෙමේ එමහණට ඇවැත, මෙබන්දක් නහමක් කරව, ‘මෙය නො කැප’ යැයි මෙ බස කී යැ. හේ ඔහු කෙරෙහි වෙර බැන්දේ යි. එකල්හි ඒ භික්‍ෂූහු සැවැතට ගියහ. එසමයෙහි සැවැතෙහි එක්තරා මුළුවෙක්හි සඟබතෙක් වෙයි. දෙවන මහණ වළඳා නිමියේ පවාරිත වෙයි. වෙර බැඳි මහණ නෑකුලයට ගොස් පිණ්ඩපාතය ගෙනවුත් එමහණ වෙතැ එළැඹියේ යැ. එළැඹැ එමහණහට මෙය කී යැ; ඇවැත, වළඳන්නැයි. පමණි ඇවැත, පිරිපුන් වෙමි. ඇවැත, පිණ්ඩපාතය යහපත් යැ, වළඳන්නැයි. එකල්හි ඒ මහණ තෙමේ එමහණහු විසින් පෙළනු ලබන්නේ ඒ පිණ්ඩපාතය වැළඳී යැ, වෙර බැඳි මහණ තෙමේ එ මහණහට මෙය කී යැ: ඇවැත, යම් හෙයෙකින් තෙපි වළඳා නිමියහු කළ පැවැරුණු ඇතියහු අයිරිත් නො කළ බොජුන් වළඳවු නම් (එබඳු) තෙපි මා කියයුතු කොට හඟනහු දැයි. ඇවැත, කිය යුතු නො වේ ද? ඇවැත, පිළිවිසිය යුතු නො වේ දැයි.
2. එකල්හි ඒ මහණ තෙම භික්‍ෂූන්හට මෙකරුණ සැල කෙළේ යැ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් මහණෙක් වළඳා නිමි කළ පැවැරුණු ඇති මහණක්හු වෙතැ එළවා අයිරිත් නො කළ බොජුනෙන් පැවැරී දැ යි ... සැබෑද මහණ, තෙපි වළඳා නිමි කළ පැවැරුණු ඇති මහණක්හු වෙතැ එළවා අයිරිත් නො කළ බොජුනෙන් පැවැරුවහු ද? සැබැව, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි වළඳා නිම කළ පැවැරුණු ඇති මහණක්හු වෙතැ එළවා අයිරිත් නො කළ බොජුනෙන් පැවැරුහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි! මේ සිකපදය මෙසේ උදෙසවු.
යම් මහණෙක් වළඳා නිමි කළ පැවැරුණු ඇති මහණක්හු වෙතැ එළවා අයිරිත් නො කළ කෑයුතු දැයෙකින් හෝ බුදිය යුතු දැයෙකින් හෝ හිඳ මහණ කන්නේයැ හෝ බුදින්නේයැ හෝ යි ගටනු කැමැත්තේ දැනැ දැනැ පවරන්නේ නම් වැළඳුව පචිති වේ යැයි.
3. යො පන; යමෙක් යම් බඳුයෙක් ... භික්ඛු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
භික්ඛුං: අන් මහණක්හු;
භුත්තාවි නම්: පස් බොජුන් අතුරෙන් එක්තරා බොජුනෙක් යටත් පිරිසෙයින් කුසතණ අගිනුදු අනුභව කෙළේ වෙයි.
පවාරිත නම්: නො නිමි කෑම පැනෙයි. (පවරනුවට පොහෝනා) බොජුන පැනෙයි. අත්පස සිටියේ වෙයි, එළවයි, ප්‍රතික්‍ෂේපය පැනෙයි.
අනතිරිත්ත නම්: නො කැපකළ දැයෙකි. නො පිළිගත් දැයෙකි. නො ඔසවන ලද දැයෙකි. අත්පසින් බැහැරැ සිටියහු විසින් කළ දැයෙකි. වළඳා නො නිමියහු විසින් කළ දැයෙකි. වළඳා පැවැරුණහු අසුනෙන් නැගිට කළ දැයෙකි. මේ හැම පමණැයි නො කියනලද දැයෙකි. ගිලනකු විසින් ඉතිරි නො කළ දැයෙකි. මේ යැ අනතිරික්ත නම්.
ඛාදනීය නම්: පස් බොජුන් ද යාමකාලිකය ද සත්තාහකාලිකය ද යාවජීවිකය ද තබා සෙසු දෑ ඛාදනීය නම් වේ.
භෝජනීය නම්: බත් යැ කොමු යැ අත්සුණු යැ දියමස් යැ ගොඩ මස් යැ යන පස් බොජුනි.
අභිහට්ඨුංපවාරය්‍ය; යම්තාක් කැමැත්තෙහි ද ඒතාක් ගනුවයි.
ජානාති නම්: තෙමේ ම හෝ දනී. අන්හු හෝ ඔහුට කියත්, හෙතෙමේ හෝ දන්වයි.
ආසාදනාපෙක්ඛො; මෙයින් මොහුට චෝදනා කරන්නෙමි, සිහි කරවන්නෙමි, නැවැතැ චෝදනා කරන්නෙමි, නැවැතැ සිහි කරවන්නෙමි, මකු කරන්නෙමැයි අත්පසට එළවා නම් දුකුළා ඇවැත් වෙයි. ඔහුගේ වචනයෙන් කන්නෙමි, බුදින්නෙමැයි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වෙයි. බොජුන් අවසනැ පචිති ඇවැත් වේ.
පවාරිතයෙහි පවාරිතසංඥා ඇතියේ අයිරිත් නො වූ කෑ යුතු දැයෙකින් හෝ බිදිය යුතු දැයෙකින් හෝ අත්පසට එළවා පවරා නම් පචිති ඇවැත් වෙයි. පවාරිතයෙහි විමති ඇතියේ අයිරිත් නො වූ කෑයුතු දැයෙකින් හෝ බිදිය යුතු දැයෙකින් හෝ වෙතැ එළවා පවරා නම් දුකුළා ඇවැත් වෙයි. පවාරිතයෙහි අපවාරිතසංඥා ඇතියේ අයිරිත් නො වූ කෑ යුතු දැයෙකින් හෝ බිදියයුතු දැයෙකින් හෝ වෙතැ එළවා පවරා නම් ඇවැත් නැති.
යාවකාලිකය සත්තාහකාලිකය යාවජීවකය අහර පිණිස වෙතැ එළවා නම් දුකුළා ඇවැත් වෙයි. ඔහුගේ වචනයෙන් කන්නෙමි, බුදින්නෙමැ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වේ.
නො පැවැරුණුයෙහි පැවැරුණුසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො පැවැරුණුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො පැවැරුණුයෙහි නො පැවැරුණුසන් ඇතියේ නම් ඇවැත් නැති.
අයිරිත් කරවා දේ නම්, අයිරිත් කරවා වළඳන්නැයි දේ නම්, අනෙකක්හු සඳහා ගෙනැයන්නැයි දේ නම්, ගිලනා ගේ ඉතිරිදැය දේ නම්, යාමකාලිකය සප්තාහකාලික ය යාවජීවක ය කරුණක් ඇති කල්හි වළඳන්නැයි දේ නම්, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සවැනි දුතිය පවාරණ ශික්‍ෂාපදයි.
6. 4. 7.