Pācittiya

Expiation Rules

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 4249 segments

පෙන්වන කොටස් 701-800 න් 4249

5. යො පන යනු: යම්, යම්බඳු ... භික්ඛු යනු ... මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
භික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.
සද්ධිං යනු: එක් වැ.
සංවිධාය යනු: නැඟෙමු බුහුනැ නැඟෙමු ආර්‍ය්‍යය, නැඟෙමු ආර්‍ය්‍යය නැඟෙමු බුහුනැ, අද හෝ හෙට හෝ තෙවන දා හෝ නැඟෙමු යි සංවිධාන කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. මෙහෙණ නැඟි කල්හි මහණ නඟී නම් පචිති ඇවැත් වෙයි, මහණහු නැඟි කල්හි මෙහෙණ නඟී නම් පචිති ඇවැත් වෙයි, දෙදෙන මැ හෝ නඟිත් නම් පචිති ඇවැත් වේ.
උද්ධගාමිනිං යනු: උඩුගං බලා යන නැවෙකැ.
අධෝගාමිනිං යනු: යටිගං බලා යන නැවෙකැ.
අඤ්ඤත්‍ර තිරියං තරණාය යනු: සරසින් එතරවීම හැර
කුක්කුටසම්පාත ගම්හි ගමක් පාසා පචිති ඇවැත් වෙයි. ගමක් නො වන අරණ්‍යයෙහි නම් අඩයොදුනෙහි අඩයොදුනෙහි පචිති ඇවැත් වෙයි, සංවිදහිතයෙහි සංවිදහිතසංඥා ඇතියේ උඩුගං බලා යන්නා වූ හෝ යටිගං බලා යන්නා වූ හෝ එක් නැවකට සරසින් එතරවීමක් හැර නැඟේ නම් පචිති ඇවැත් වෙයි, සංවිදහිතයෙහි විමති ඇතියේ උඩුගං බලා යන්නා වූ හෝ යටිගං බලා යන්නා වූ හෝ එක් නැවකට සරසින් එතරවීමක් හැර නැඟේ නම් පචිති ඇවැත් වෙයි, සංවිදහිතයෙහි අසංවිද හිතසංඥා ඇතියේ උඩුගං බලා යන්නා වූ හෝ යටිගං බලා යන්නා වූ හෝ එක් නැවකට සරසින් එතරවීමක් හැර නැඟේ නම් පචිති ඇවැත් වේ.
මහණ සංවිධාන කෙරේ නම් මෙහෙණ සංවිධාන නො කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, අසංවිදහිතයෙහි සංවිදහිතසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි, අසංවිදහිතයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි, අසංවිදහිතයෙහි අසංවිදහිතසංඥා ඇතියේ නම් ඇවැත් නැති.
සරසින් එතරවීමෙහි සංවිධාන නො කොට නැඟෙත් නම්, මෙහෙණ සංවිධාන කෙරේ නම්, මහණ සංවිධාන නො කෙරේ නම්, කාලවිසංකෙතයෙන් නැගෙත් නම් ඇවැත් නැත. ආපදාවන්හි උම්මත්තකයහට ආදිකම්මිකය හට ඇවැත් නැති.
අටවැනි නාවාභිරූහනශික්‍ෂාපද යි.
6. 3. 9.
පරිපාචිත ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවරැ වේළුවන නම් කලන්‍දක නිවාපයෙහි වැඩවෙසෙති. එසමයෙහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ එක්තරා කුලයෙකැ නිතිබත් ඇති කුලූපිකාවක් වෙයි. ඒ ගැහැවිහු විසිනුදු ස්ථවිර භික්‍ෂූහු පවරණ ලද්දාහු වෙති. එකල්හි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පෙරවරුයෙහි හැඳ පෙරවැ පාසිවුරු ගෙන ඒ කුලය වෙත එළැඹියා යැ. එළැඹැ ඒ ගැහැවිහට තෙල කරුණ කිවු ය.
“ගැහැවිය, මේ බොහෝ කෑයුතු බුදිය යුතු දැය කුමකට පිළියෙළ කරන ලද දැ යි.
ආර්‍ය්‍යාවනි, මා විසින් ස්ථවිර භික්‍ෂූහු පවරණ ලද්දාහු යැ.
ගැහැවිය, තොපගේ ස්ථවිරභික්‍ෂූහු කවුරු ද?
ආර්‍ය්‍ය ශාරිපුත්‍ර යැ. ආර්‍ය්‍ය මහාමෞද්ගල්‍යායන යැ. ආර්‍ය්‍ය මහාකත්‍යයාන යැ. ආර්‍ය්‍ය මහාකොට්ඨිත යැ, ආර්‍ය්‍ය මහාකප්පින යැ. ආර්‍ය්‍ය මහාචුන්‍ද යැ, ආර්‍ය්‍ය අනුරුද්ධ යැ, ආර්‍ය්‍ය රේවත යැ, ආර්‍ය්‍ය උපාලි යැ, ආර්‍ය්‍ය ආනන්‍ද යැ, ආර්‍ය්‍ය රාහුල යි.
කිමැ ගැහැවිය, තෙපි මහානාගයන් සිටිය දී දාසයන් පැවරුහු දැ යි.
ආර්‍ය්‍යාවෙනි, තොපගේ මහානාගයෝ කවරහු ද?
ආර්‍ය්‍ය දේවදත්ත යැ, ආර්‍ය්‍ය කෝකාලික යැ, ආර්‍ය්‍ය කටමොරකතිස්ස යැ, ආර්‍ය්‍ය ඛණ්ඩදේවිපුත්‍ර යැ, ආර්‍ය්‍ය සමුද්‍රදත්ත යි.
ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ මේ අතුරුකථාව නිමාවට නො යා දී මැ ස්ථවිරභික්‍ෂූහු පැමිණියාහු යැ. සැබැවැ ගැහැවිය, තොප විසින් මහානාගයෝ පවරන ලද්දාහු මැ යි. ආර්‍ය්‍යාව, තෙපි දැන් මැ දාසයන් කළවුන් දැන් මැ මහානාගයන් කළහු යැ යි ගෙයිනුදු ඇද දැමී යැ. නිතිබත ද සිඳ දැමී.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: කෙසේ නම් දේවදත්ත තෙමේ දැන දැන මෙහෙණක විසින් (ගුණකීමෙන්) නිපදවන ලද පිණ්ඩපාතයක් වැළැඳී දැ යි ... සැබෑ ද දේවදත්ත, තෙපි දැනැ දැනැ මෙහෙණක විසින් නිපදවන ලද පිණ්ඩපාතය වළඳවු දැ’යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි දැන දැන මෙහෙණක විසින් නිපදවන ලද පිණ්ඩපාතය වැළඳුවහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... තව ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් දැනැ දැනැ මෙහෙණක විසින් නිපැයුණු පිණ්ඩපාතය වළඳා නම් පචිති වේ” ය යි.
මෙසේ භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි එක්තරා මහණෙක් රජගහනුවරින් (නික්මැ) පැවිදි වූයේ නෑකුලයට ගියේ යැ. මිනිස්සු බොහෝ කලෙකින් ‘හිමියෝ ආහ’ යි සකසා බතක් කළහ. ඒ කුලයෙහි කුලූපික වූ මෙහෙණක් ඒ මිනිසුනට ‘ඇවැත්නි, ආර්‍ය්‍යයහට භික්‍ෂාව දෙව’ යි මෙය කිවු යැ. එකල්හි ඒ මහණ තෙමේ දැනැ දැනැ මෙහෙණක විසින් නිපැයුණු පිණ්ඩපාතය වළඳන්නට භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුස් කරනුයේ නො පිළිගත්තේ යි. පිඬු පිණිස හැසිරෙන්නට නො හැකි විය. සුන්බත් ඇත්තේ විය. එකල්හි ඒ මහණ තෙම අරමට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වී ය. මහණහු භාග්‍යවතුන්ට තෙල කරුණ සැලකළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි ලා මේ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. “මහණෙනි, පෙරැ ගිහියන් විසින් පිළියෙළ කරන ලද්දෙහි දැනැ දැනැ මෙහෙණක විසින් නිපදවන ලද පිණ්ඩපාතය වළඳන්නට අනුදනිමි” තව ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් පෙරැ ගිහියන් විසින් පිළියෙළ කරන ලද්දක් හැර මෙහෙණක විසින් නිපදවන ලද පිණ්ඩපාතය වළඳන්නේ නම් පචිති ඇවැත් වේ” යයි.
4. යො පන යනු: යම්, යම් බඳු ... භික්ඛු යනු ... මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
ජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහට දන්වත්. ඕතොමෝ හෝ දන්වයි.
භික්ඛුනී නම්: දෙ සඟුන් කෙරෙහි උපසපන් වූවා.
පරිපාචේති නම්: පෙරැ නො දෙනු කැමැතියන්හට (සත්කාර) නො කරනු කැමතියන්ට “ආර්‍ය්‍ය තෙමේ භාණක යැ, ආර්‍ය්‍ය තෙමේ බහුශ්‍රුත යැ, ආර්‍ය්‍ය තෙමේ සෞත්‍රාන්තික යැ, ආර්‍ය්‍ය තෙමේ විනයධර යැ, ආර්‍ය්‍ය තෙමේ ධර්‍මකථික යැ, ආර්‍ය්‍යහට දෙවු. ආර්‍ය්‍යහට (සත්කාර) කරවු” යයි. මෝ තොමෝ පරිපාචේති නමු.
පිණ්ඩපාත නම්: පස් බොජුනෙන් එක්තරා බොජුනක්.
අඤ්ඤත්‍ර පුබ්බේ ගිහීසමාරම්භා යනු: ගිහියන් විසින් පිළියෙළ කරන ලද්දක් තබා,
ගිහීසමාරම්භ නම්: නෑයෝ හෝ වෙති. පැවරුවෝ හෝ වෙති. පියවින් පිළියෙල කරන ලද්දක් හෝ වෙයි.
5. පෙරැ ගිහියන් විසින් පිළියෙල කරන ලද්දක් තබා වළඳන්නෙමැ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
6. නිපදවන ලද්දෙහි නිපදවන ලද සන් ඇතියේ පෙරැ ගිහියන් විසින් පිළියෙල කරන ලද්දක් තබා වළඳා නම් පචිති ඇවැත් වෙයි. නිපදවන ලද්දෙහි විමති ඇතියේ පෙරැ ගිහියන් විසින් පිළියෙල කරන ලද්දක් තබා වළඳා නම් දුකුළා ඇවැත් වෙයි, නිපදවන ලද්දෙහි නො නිපදවන ලද සන් ඇතියේ පෙරැ ගිහියන් විසින් පිළියෙල කරන ලද්දක් තබා වළඳා නම් ඇවැත් නැති.
7. මෙහෙණ සඟුන් කෙරෙහි උපසපන් වූවක විසින් නිපදවන ලද්දක් පෙරැ ගිහියන් විසින් පිළියෙළ කරන ලද්දක් තබා වළඳා නම් දුකුළා ඇවැත් වෙයි. නො නිපදවන ලද්දෙහි නිපදවන ලද සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො නිපදවන ලද්දෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො නිපදවන ලද්දෙහි නො නිපදවන ලද සන් ඇතියේ නම් ඇවැත් නැති.
8. ගිහියන් විසින් පිළියෙළ කරන ලද්දෙහි නම්, සික්මනුව නිපදවා නම්, හෙරැණි නිපදවා නම්, පස්බොජුන් තබා හැමතන්හි ඇවැත් නැති. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
නවවැනි පරිපාචිත ශික්‍ෂාපද යි.
6. 3. 10.
රහෝනිසජ්ජ ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උදායී තෙරණුවන් පැරණි අඹුව මෙහෙණන් කෙරෙහි පැවිදිවූවා වෙයි. ඕ නිරතුරු ආයුෂ්මත් උදායී තෙරණුවන් වැළතට යෙයි. ආයුෂ්මත් උදායී තෙරණුවෝ ද ඒ මෙහෙණ වැළතට නිරතුරු යෙති. එකල්හි එකලා වූ ආයුෂ්මත් උදායී තෙරණුවෝ එකලා වූ මැ එමෙහෙණ හා සමඟ නොරඹුරෙහි (පිළිසන් තැනෙකැ) හිඳීම කළහ.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් එකලා වූ ආයුෂ්මත් උදායී එකලා වූ මෙහෙණක හා සමඟ නොරඹුරෙහි හිඳී දැ යි ... සැබෑ ද? උදායී, එකලා වූ තෙපි එකලා වූ මෙහෙණක හා සමඟ නොරඹුරෙහි හිඳිවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, එකලා වූ තෙපි එකලා වූ මෙහෙණක හා සමඟ නොරඹුරෙහි හිඳිවු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් එකලා වූයේ එකලා වූ මෙහෙණක හා සමඟ නොරඹුරෙහි (පිළිසන් තැනෙක) හිඳිම කරන්නේ නම් පචිති වේ” යයි.
3. යො පන යනු: යම්, යම් බඳු ... භික්ඛු නම්: මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
භික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.
සද්ධිං: එක් වැ.
ඒකෝ ඒකාය: මහණෙක් ද වෙයි, මෙහෙණක් ද වෙයි.
රහෝ නම්: ඇසට නො හමු යැ, කනට නො හමු යැ. චක්ඛුස්ස රහෝ නම්: ඇස හෝ කසනු ලබන කල්හි බැම හෝ නඟනු ලබන කල්හි හිස හෝ ඔසවනු ලබන කල්හි බලන්නට නො හැකි වෙයි. සෝතස්ස රහෝ නම්: පියවි බස් අසන්නට නො හැකි වෙයි.
නිසජ්ජං කප්පෙය්‍ය යනු: මෙහෙණ හුන් කල්හි මහණ වෙතැ හුන්නේ නම් හෝ වෙතැ හොත්තේ නම් හෝ පචිති ඇවැත් වෙයි. මහණ හුන් කල්හි මෙහෙණ වෙතැ හුන්නී නම් හෝ වෙතැ හොත්තී නම් හෝ පචිති ඇවැත් වේ. දෙදෙන මැ හෝ හුන්නාහු වෙත් නම් දෙදෙන මැ හෝ හොත්තාහු වෙත් නම් පචිති ඇවැත් වේ.
නොරඹුරෙහි නොරඹුරුසන් ඇතියේ මහණ මෙහෙණක හා සමඟ හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වෙ යි. නොරඹුරෙහි විමති ඇතියේ මහණ මෙහෙණක හා සමඟ හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වෙයි. නොරඹුරෙහි හමුසන් ඇතියේ මහණ මෙහෙණක හා සමඟ හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වේ.
හමුයෙහි නොරඹුරු සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි, හමුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. හමුයෙහි හමුසන් ඇතියේ නම් ඇවැත් නැති.
යම් කිසිදු දැනුමැති දෙවැන්නෙක් වේ නම්, සිටී නම් නොහිඳී නම්, අනෙකක් කරනුයේ හිඳී නම්, නොරඹුරෙහි ලෝකාස්වාද රතියක් නැතියේ නම්, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
දසවැනි රහෝනිසජ්ජ ශික්‍ෂාපද යි.
තුන්වැනි භික්ඛුනෝවාද වර්‍ග යි.
එහි උද්දානය:
(අසම්මත වැ මෙහෙණන්හට ඔවා දීමෙන් පැන වූ) ඕවාද ය, අත්‍ථඞ්ගත යැ, භික්ඛුනී උපස්සය යැ, ආමිස යැ, චීවරදානය සමඟ චීවරසිබ්බන යැ, සංවිධාන යැ, නාවාභිරූහන යැ, පරිපාචිත යැ, රහෝනිසජ්ජ යැ යි සිකපදහු දස දෙනෙකි.
භෝජන වර්‍ගය
6. 4. 1.
ආවසථපිණ්ඩ ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි වනාහි සැවැත් නුවර සමීපයෙහි එක්තරා ශ්‍රේණිකුලයක් විසින් ආවසථපිණ්ඩයක් (ආගන්තුක දනක්) තබන ලද්දේ වෙයි. සවග මහණහු පෙරවරුයෙහි හැඳ පෙර වැ පා සිවුරු ගෙන සැවැත් නුවරැ පිඬු පිණිස පිවිස පිඬු නො ලබන්නෝ දොරදන්හලට ගියහ. මිනිස්සු බොහෝ කලෙකින් වහන්දෑ ආහයි සකසා වැළැඳවූහ. එකල්හි වනාහි සවග මහණහු දෙවන දින ද ... තෙවන දින ද පෙරවරුයෙහි හැඳ පෙරවැ පා සිවුරු ගෙන සැවැත් නුවරැ පිඬු පිණිස පිවිස පිඬු නො ලබන්නාහු ආවසථපිඬු හලට ගොස් වැළඳූහ. එකල්හි සවග මහණුන්හට මෙවැනි සිතෙක් විය. ආරාමයට ගොස් ඇපි කුමක් කරමෝ ද? හෙටත් මෙහි මැ ඉයයුතු යැ යි එහි මැ නිබඳ වැ වසමින් ආවසථපිඬු වළඳත්. තීර්‍ත්‍ථකයෝ පහවැ යෙති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් : “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ එහි නිබඳ වැ වසමින් ආවසථපිඬු වැළඳූහු ද. මොවුනට මැ පමණක් ආවසථ පිඬු තබන ලද්දේ නො වෙයි. සියලු දෙනාට මැ ආවසථ පිඬු තබන ලද්දේ වෙයි.
2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු මැ යි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවාහු ... ඔහු ලාමක කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු නිබඳ වැ වසමින් ආගන්තුක දන් වැළඳූහු ද?... සැබෑද, මහණෙනි, තෙපි නිබඳ වැ වසමින් ආගන්තුක දන් වළඳහු ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, නිබඳ වැ වසමින් ආගන්තුක දන් වැළඳූහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“එක් අවස්පිඬුවෙක් වැළඳියයුතු ඉදින් එයින් මත්තෙහි වළඳන්නේ නම් පචිති වේ” යයි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි වනාහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ කොසොල් දනව්වෙහි සැවැතට යන්නාහු එක්තරා දොරදන්හලකට එළැඹියහ. මිනිස්සු බොහෝ කලෙකින් තෙරුන් ආහයි සකසා වැළඳවූහ. එකල්හි වළඳා නිමවූ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට බලවත් රෝගයක් උපන. ඒ ආගන්තුක දන්හලින් බැහැර යන්නට නො හැකිවූහ. එකල්හි ඒ මිනිස්සු දෙවන දින ද ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මෙය කීහු. ස්වාමීනි, වළඳනු මැනැවි. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ නිබඳ වැ වසමින් ආගන්තුකදන් වැළඳීම භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැයි කුකුස්කරනුවෝ නො පිළිගත්හ. සුන්බත් ඇතියෝ වූහ. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැතට ගොස් භික්‍ෂූන්ට මෙකරුණ දැන්වූහ. භික්‍ෂූහු භාග්‍යවත්හට මෙකරුණ දැන්වූහ.
4. එකල්හි භාග්‍යවත් බුදුහු මෙකරුණෙහි ලා මෙඅවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූහ: මහණෙනි, ගිලන් මහණහු විසින් නිබඳ වැ වසමින් දොරදන් වළඳන්නට අනුදැන වදාරමි. මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“නො ගිලන් මහණහු විසින් එක් අවස් පිඬුවෙක් වැළඳිය යුතු ඉඳින් එයින් මත්තෙහි වළඳන්නේ නම් පචිති වේ” යයි.
5. අගිලාන නම්: ඒ දොරදන්හලින් බැහැර යන්නට හැකි වෙයි. ගිලාන නම්: ඒ දොරදන්හලින් බැහැර යන්නට නො හැකි වෙයි.
ආවස්ථ පිණ්ඩ නම් පස්බොජුන් අතුරෙන් එක්තරා බොජුනක් හලෙකැ හෝ මඩුවෙකැ හෝ රුක්මුලෙකැ හෝ අබවස්හි හෝ නො උදෙසා කැමැතිතාක් තබන ලද්දේ වෙයි.
නො ගිලන් මහණහු විසින් එක්වරක් වැළඳිය යුතු, ඉදින් එයින් මත්තෙහි වළඳන්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වේ. පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
නො ගිලන් වූයේ නො ගිලන්සන් ඇතියේ එයින් මත්තෙහි අවස්පිඬුවක් වළඳා නම් පචිති ඇවැත් වෙයි. නො ගිලන් වූයේ විමති ඇතියේ එයින් මත්තෙහි අවස්පිඬුවක් වළඳා නම් පචිති ඇවැත් වෙයි. නො ගිලන් වූයේ ගිලන්සන් ඇතියේ එයින් මත්තෙහි අවස්පිඬුවක් වළඳා නම් පචිති ඇවැත් වේ.
ගිලන් වූයේ නො ගිලන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූයේ විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූයේ ගිලන්සන් ඇතියේ නම් ඇවැත් නැති.
ගිලන්හට, නො ගිලන් වැ වරක් වළඳා නම්, යමින් හෝ එමින් හෝ වළඳා නම්, හිමියෝ නිමතා වළඳවත් නම්, (මහණුන්) උදෙසා තබන ලද්දේ නම්, කැමැතිතාක් තබන ලද්දේ නො වේ නම්, පස්බොජුන් තබා (හඹුකැවිලි ඈ) හැම වැළඳීමෙහි නම්, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
පළමුවැනි ආවසථපිණ්ඩ ශික්‍ෂාපද යි.
6. 4. 2.
ගණභෝජන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්‍දක නිවාප නම් වූ වේළුවන අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි පිරිහුණු ලාභසත්කාර ඇති දේවදත්ත තෙමේ පිරිස සමඟ කුලයන්හි විනව විනවා වළඳයි. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ කුලයන්හි විනව විනවා වැළඳූහු ද? කවරක්හට මිහිර නො මැනැවි ද? කවරක්හට රසවත් දැය නුරුස්නේ දැ යි.
2. භික්‍ෂූහු ලාමක කොට සිතන, නුගුණ පවසන, දොස් පතුරුවන, ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලාමක කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් දෙව්දත් තෙමේ පිරිස සමඟ කුලයන්හි විනව විනවා වැළඳී ද? ... සැබෑ ද, දේවදත්ත, තෙපි පිරිස සමඟ කුලයන්හි විනව විනවා වළඳවු ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... හිස්පුරුෂය, කෙසේ නම් තෙපි පිරිස සමග කුලයන්හි විනව විනවා වැළඳුවහු ද? හිස් පුරුෂය! මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“ගණබොජුනෙහි පචිති වේ” යයි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි මිනිස්සු ගිලන් මහණුන්ට බතින් පවරත්. භික්‍ෂූහු භාග්‍යවතුන් විසින් ගණ බොජුන ප්‍රතික්‍ෂේප කරන ලදැ යි, කුකුස් කරන්නාහු නො ඉවසත්. භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවත් බුදුහු මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූහ. “මහණෙනි, ගිලන් මහණහු විසින් ගණ බොජුන් වළඳන්නට අනුදනිමි” මෙසේ ද වනාහි මහණෙනි, මේ සික පදය උදෙසවු:
“සුදුසු සමය තබා ගණබොජුනෙහි පචිති වේ. එහි ලා මේ සුදුසු සමය යි, එනම්: ගිලන් සමයැ. එහි මේ සුදුසු සමය” යි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
4. එසමයෙහි වනාහි මිනිස්සු සිවුරු දෙන සමයෙහි සිවුරු බතක් පිළියෙළ කොට වළඳවා සිවුරු දෙම්හ යි භික්‍ෂූන් පවරත්. භික්‍ෂූහු භාග්‍යවතුන් විසින් ගණබොජුන ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුස් කරමින් නො ඉවසත්. මඳ සිවුරෙක් උපදී. භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ ... “මහණෙනි, සිවුරු දෙන සමයෙහි ගණබොජුන් වළඳන්නට අනුදනිමි”. තවද, මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“සුදුසු සමය තබා ගණබොජුනෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යි. ගිලන් සමයැ සිවුරු දෙනසමයැ, මේ එහි සුදුසු සමය” යි.
මෙසේත් මහණෙනි, භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
5. එසමයෙහි මිනිස්සු සිවුරු කරන මහණුන් බතින් පවරත්. භික්‍ෂූහු භාග්‍යවතුන් විසින් ගණබොජුන ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුස් කරමින් නො ඉවසත්. භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ ... “මහණෙනි, සිවුරු කරන සමයෙහි ගණබොජුන් වළඳන්නට අනුදනිමි”. මහණෙනි, මේ සිකපදය තවද මෙසේ උදෙසවු:
“සුදුසු සමය තබා ගණබොජුනෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යි. ගිලන්සමයැ, සිවුරු දෙනසමයැ, සිවුරු කරනසමයැ, මේ එහි සුදුසු සමය” යි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
6. එසමයෙහි වනාහි භික්‍ෂූහු මිනිසුන් සමඟ අදන්මගට (දීර්‍ඝ මාර්‍ගයට) පැමිණෙත්. එකල්හි ඒ භික්‍ෂූහු ඒ මිනිසුන්ට මෙය කීහු. ඇවැත්නි, මොහොතක් පොරොත්තුවවු, පිඬු පිණිස හැසිරෙමු. ඔවුහු මෙසේ කීහ. ස්වාමීනි, මෙහි මැ වළඳනු මැනැවි. භික්‍ෂූහු භාග්‍යවතුන් විසින් ගණබොජුන ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුස් කරන්නාහු නො පිළිගනිත්. භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ ... “මහණෙනි, අදන් මඟට පිළිපන් සමයෙහි ගණබොජුන් වළඳන්නට අනුදනිමි”. තවද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“සුදුසු සමය තබා ගණබොජුනෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යි. ගිලන් සමයැ, සිවුරු දෙන සමයැ, සිවුරු කරන සමයැ, අදන් මඟට පිළිපන් සමයැ. මේ එහි සුදුසු සමය” යි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
7. එසමයෙහි භික්‍ෂූහු මිනිසුන් සමඟ නැවෙන් යෙති. එකල්හි ඒ භික්‍ෂූහු ඒ මිනිසුන්ට මෙය කීහු. “ඇවැත්නි, මොහොතක් නැව තොටට පමුණුවවු.” පිඬු පිණිස හැසිරෙන්නෙමු. ඔවුහු මෙසේ කීහ. ස්වාමීනි, මෙහි මැ වළඳනු මැනැවි. භික්‍ෂූහු භාග්‍යවතුන් විසින් ගණබොජුන ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුස් කරන්නාහු නො පිළිගනිත්. භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ ... “මහණෙනි, නැව් නගින සමයෙහි ගණබොජුන් වළඳන්නට අනුදනිමි.” මහණෙනි, තවද මේ සිකපදය මෙසේ උදෙසවු:
“සුදුසු සමය තබා ගණබොජුනෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යි ගිලන් සමයැ සිවුරු, දෙන සමයැ, සිවුරු කරන සමයැ, අදන්මගට පිළිපන්සමයැ, නැව් නගිනසමයැ, මේ එහි සුදුසු සමය” යි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
8. එසමයෙහි දිශාවන්හි වස් වැස නිමවූ භික්‍ෂූහු භාග්‍යවතුන් දැකීමට රජගහ නුවරට පැමිණෙත්. මිනිස්සු නොයෙක් අන් රටවල මහණුන් දැක බතින් පවරත්. භික්‍ෂූහු භාග්‍යවතුන් විසින් ගණබොජුන ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුස්කරනුවෝ නො ඉවසත්. තෙල කරුණ භාග්‍යවතුන්හට දැන්වූහ ... “මහණෙනි, මහාසමයෙහි ගණබොජුන් වළඳන්නට අනුදනිමි”. මහණෙනි, මේ සිකපදය තවද මෙසේ උදෙසවු.
“සුදුසුසමය තබා ගණබොජුනෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යැ, ගිලන්සමය යැ, සිවුරු දෙන සමය යැ, සිවුරු කරන සමය යැ, අදන් මඟට පිළිපන් සමය යැ නැව් නඟින සමය යැ, මහාසමය යැ, මේ එහි සුදුසු සමය” යි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
9. එසමයෙහි වනාහි මගධේශ්වර ශ්‍රේණිය බිම්බිසාර රජුගේ සහලේ නෑයෙක් ආජීවකයන් කෙරෙහි පැවිදි වූයේ වෙයි. එකල්හි ඒ ආජීවක තෙමේ මගධේශ්වර ශ්‍රේණිය බිම්බිසාර රජු වෙතැ එළැඹියේ යැ. එළැඹැ මගධේශ්වර ශ්‍රේණිය බිම්බිසාර රජුට මෙය කී යැ. මහරජ, සර්‍වපාෂණ්ඩික බතක් කොට දෙන්නට මම කැමැත්තෙමි. ඉදින් වනාහි ස්වාමීනි, ඔබ පළමු වැ බුදු පාමොක් බික්සඟන වළඳවත් නම් එසේ කරනු මැනැවි. එකල්හි ඒ ආජීවක තෙමේ භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යැවී ය. “භික්‍ෂූහු මාගේ බත හෙට දවසට ඉවසත්වා” යි. භික්‍ෂූහු ගණබොජුන භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුස් කරනුවෝ නො ඉවසත්. එකල්හි ඒ ආජීවක තෙමේ භාග්‍යවතුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙකැ සිටියේ යැ. එකත් පසෙකැ සිටි ඒ ආජීවකයා භාග්‍යවතුන්හට මෙය කී යැ. භවත් ගොයුම්හු ද පැවිදි කෙනෙකි. මම් ද පැවිද්දෙක්මි. පැවිද්දෙක් පැවිද්දකු ගේ පිඬු පිළිගන්නට සුදුසු වෙයි. භවත් ගොයුම්හු භික්‍ෂුසඞ්ඝයා සමඟ මාගේ බත හෙට දවසට ඉවසත්වා! භාග්‍යවත්හු තුෂ්ණීම්භාවයෙන් ඉවසූහු. එකල්හි ඒ ආජීවකයා භාග්‍යවතුන්ගේ ඉවසීම දැනැ පිටත් වැ ගියේ යි. ඉක්බිති භාග්‍යවත්හු මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූහු: “මහණෙනි, මහණබත්සමයෙහි ගණබොජුන් වළඳන්නට අනුදනිමි” තවද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“සුදුසු සමය තබා ගණබොජුනෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය වෙයි ගිලන් සමය යැ සිවුරු දෙන සමය යැ සිවුරු කරන සමය යැ අදන්මගට පිළිපන් සමය යැ නැව් නඟින සමය යැ මහාසමය යැ මහණබත් සමය යැ, මේ එහි සුදුසු සමය යි.