තෙවැනි භික්ඛුනූපස්සය ශික්‍ෂාපදය යි.
6. 3. 4.
ආමිස ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරැ වැඩැවෙසෙති. එකල්හි ස්ථවිරභික්‍ෂූහු මෙහෙණන්හට ඔවා දෙන්නාහු සිවුරු – පිඬුවා – සෙනසුන් – ගිලන්පසබෙහෙත් පිරිකර ලබන්නාහු වෙති. සවග මහණහු මෙසේ කියති: ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන් හට කළ දහම් බුහුමන් ඇති වැ ඔවා නො දෙති. ආමිසහේතුයෙන් ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට ඔවා දෙති යි.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට කළ දහම් බුහුමන් ඇති වැ ඔවා නො දෙති යි, ආමිසහේතුයෙන් ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට ඔවා දෙති යි මෙසේ කියත් දැ යි …
සැබෑ ද මහණෙනි, තෙපි ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට කළ දහම් බුහුමන් ඇති වැ ඔවා නො දෙති, ආමිසහේතුයෙන් ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට ඔවා දෙති යි මෙසේ කියවු ද?
සැබැවැ භාග්‍යවතුන් වහන්ස,
භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට කළ දහම් බුහුමන් ඇති වැ ඔවා නො දෙති, ආමිසහේතුයෙන් ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට ඔවා දෙති යි මෙසේ කියන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … තවද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් ආමිසයක් හේතු කොට ගෙන භික්‍ෂූහු මෙහෙණන් හට ඔවා දෙති යි මෙසේ කියන්නේ නම් පචිති වේ” යයි.
3. යො පන: යම්, යම් බඳු … භික්ඛු … මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
ආමිසහේතු: චීවර හේතුයෙන් පිණ්ඩපාත හේතුයෙන් ශයනාසනය හේතුයෙන් ග්ලානප්‍රත්‍යයභෙෂජ්‍යපරිෂ්කාර හේතුයෙන් සත්කාර හේතුයෙන් ගරුකාරහේතුයෙන් මානනහේතුයෙන් වන්‍දන හේතුයෙන් පූජනහේතුයෙන්.
ඒවං වදෙය්‍ය: යනු සඞ්ඝයා විසින් සම්මත වූ මෙහෙණ ඔවා දෙන උපසපනක්හුහට ගරහනු කැමැත්තේ අයස දනවනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ මෙසේ කියයි: චීවරහේතුයෙන් පිණ්ඩපාතහේතුයෙන් ශයනාසනහේතුයෙන් ග්ලානප්‍රත්‍යය භේෂජ්‍යපරිෂ්කාරහේතුයෙන් සත්කාරහේතුයෙන් ගරුකාරහේතුයෙන් මානනහේතුයෙන් වන්‍දන හේතුයෙන් පූජනහේතුයෙන් ඔවා දේ යැ යි බෙණේ නම් පචිති ඇවැත් වේ.
ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ මෙසේ කියා නම් පචිති ඇවැත් වෙයි, ධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ මෙසේ කියා නම් පචිති ඇවැත් වෙයි, ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ මෙසේ කියා නම් පචිති ඇවැත් වේ.
සඞ්ඝයා විසින් අසම්මත වූ භික්ඛුනෝවාදක උපසපනක්හට ගරහනු කැමැත්තේ අයස දනවනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ මෙසේ කියයි. චීවරහේතුයෙන් … පූජනහේතුයෙන් ඔවා දේ යයි බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
සඞ්ඝයා විසින් සම්මත වූ හෝ අසම්මත වූ හෝ භික්ඛුනෝවාදක අනුපසපනක්හට ගරහනු කැමැත්තේ අයස දනවනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ මෙසේ කියයි: චීවරහේතුයෙන් පිණ්ඩපාතහේතුයෙන් ශයනාසනයහේතුයෙන් ග්ලානප්‍රත්‍යයභෙෂජ්‍යපරිෂ්කාරහේතුයෙන් සත්කාරහේතුයෙන් ගරුකාරහේතුයෙන් මානනහේතුයෙන් වන්‍දනහේතුයෙන් පූජනහේතුයෙන් ඔවා දේ ය යි බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ නම් ඇවැත් නැති.
චීවරහේතුයෙන් පිණ්ඩපාතහේතුයෙන් ශයනාසනයහේතුයෙන් ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරහේතුයෙන් සත්කාරහේතුයෙන් ගරුකාරහේතුයෙන් මානනහේතුයෙන් වන්‍දනහේතුයෙන් පූජනහේතුයෙන් ප්‍රකෘති විසින් ඔවා දෙන්නක් හට බෙණේ නම්, ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සිවුවැනි ආමිසශික්‍ෂාපදය යි.
6. 3. 5.
චීවරදාන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි එක්තරා මහණෙක් සැවැතෙහි එක්තරා වීථියෙකැ පිඬු පිණිස හැසිරෙයි. එක්තරා මෙහෙණක් ද ඒ වීථියෙහි පිඬු පිණිස හැසිරෙයි. එකල්හි ඒ මහණ එමෙහෙණහට තෙල කීය: “යා නැඟණිය, අසුවල් තෙනැ භික්‍ෂාව දෙනු ලැබේ” යයි. ඕ ද මෙසේ කිවු: “යා ආර්‍ය්‍යයෙනි, අසුවල් තෙනැ භික්‍ෂාව දෙනු ලැබේ” යයි. ඔහු නිරතුරු දැක්මෙන් දුටුමිතුරු වූහ.
2. එසමයෙහි වනාහි සඞ්ඝයාගේ සිවුරු බෙදනු ලැබෙයි. එකල්හි එමෙහෙණ අවවාදයට ගොස් එමහණ වෙත එළැඹියා ය. එළැඹැ සකසා වැඳ එකත්පසෙකැ සිටියා ය. එකත්පසෙකැ සිටි එමෙහෙණහට එමහණ තෙල කීය: ‘නැඟණිය, මේ මගේ සිවුරු කොටස යැ. (එය) ඉවසන්නෙහි දැ යි. එසේ යැ ආර්‍ය්‍යයෙනි, දුබල සිවුරු ඇත්තියකිම් වෙමි යි. එකල්හි එමහණ එමෙහෙණහට සිවුර දුන්නේ ය. එමහණ තෙමේත් දුබල සිවුරු ඇතියේ වෙයි. භික්‍ෂූහු එමහණහට තෙල කීහු: “ඇවැත්නි, තොපගේ සිවුර දැන් කරව” යි. එකල්හි ඒ මහණ තෙල කරුණ භික්‍ෂූන්හට දැන්වී ය.
3. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් මහණෙක් මෙහෙණකට සිවුරක් දෙන්නේ දැ යි …
සැබෑ ද මහණ තෝ මෙහෙණකට සිවුරක් දුන්නෙහි දැ? යි.
සැබැවැ භාග්‍යවතුන් වහන්ස,
මහණ (ඒ මෙහෙණ) තාගේ නෑ වූවා ද? නො නෑ වූවා දැ? යි.
භාග්‍යවතුන් වහන්ස, නො නෑ වූවා යැ.
හිස් පුරුෂය, නො නෑයෙක් නො නෑයක ගේ සුදුසු දැය හෝ නුසුදුසු දැය හෝ ඇති දැය හෝ නැති දැය හෝ නො දනී. කෙසේ නම් හිස්පුරුෂය, තෝ නොනෑ මෙහෙණකට සිවුරක් දුන්නෙහි ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … තව ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් නොනෑ මෙහෙණකට සිවුරක් දෙන්නේ නම් පචිති වේ” යයි.
භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය මෙසේ පනවන ලද්දේ වෙයි.
4. එසමයෙහි වනාහි භික්‍ෂූහු කුකුස්කරන්නාහු මෙහෙණන්හට පිරුළු කොට සිවුරු නො දෙති. මෙහෙණහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආර්‍ය්‍යයෝ අපට පිරුළු කොට සිවුරු නොදෙන්නාහු දැ යි. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මෙහෙණන්ගේ (අකීර්ත්තිශබ්දය) ඇසූහු. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා වදාරා මහණුන් ඇමතූසේක: “මහණෙනි, මහණහට මෙහෙණහට හික්මනුවහට හෙරණකුහට හෙරණකහට යන පස් දෙනහට පිරුළු කොට දෙන්නට අනුදනිමි. මහණෙනි, මේ පස්දෙනහට පිරුළු කොට දෙන්නට අනුදනිමි” තව ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් නොනෑ මෙහෙණකට පිරුළු හැර සිවුරු දෙන්නේ නම් පචිති වේ” යයි.
5. යො පන: යම්, යම්බඳු … භික්ඛු … මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
අඤ්ඤාතිකා නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත්වන කුලපරවිටිය දක්වා නො සබඳ වූවා.
භික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් විකල්පනයට සුදුසු එක්තරා පැසුළු සිවුරෙකි.
අඤ්ඤත්‍ර පාරිවට්ටකා: පිරුළු හැර දේ නම් පචිති ඇවැත් වේ.
නොනෑ මෙහෙණකට නොනෑ මෙහෙණක යන සන් ඇතියේ පිරුළු හැර සිවුරු දේ නම් පචිති ඇවැත් වේ. නොනෑ මෙහෙණකට විමති ඇතියේ පිරුළු හැර සිවුරු දේ නම් පචිති ඇවැත් වේ. නොනෑ මෙහෙණකට නෑමෙහෙණකැ යි සන් ඇතියේ පිරුළු හැර සිවුරු දේ නම් පචිති ඇවැත් වේ.
මෙහෙණ සඟුන් කෙරෙහි උපසපන් වූවකට පිරුළු හැර සිවුරු දේ නම් දුකුළා ඇවැත් වේ. නෑමෙහෙණකට නොනෑ සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නෑමෙහෙණකට විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නෑමෙහෙණකට නෑමෙහෙණකැ යි සන් ඇතියේ නම් ඇවැත් නැති.
නෑමෙහෙණකට, මඳ අගය ඇතියෙකින් මහ ඇඟි පිරුළුවක් හෝ මහ ඇඟියෙකින් මඳ අගය ඇති පිරුළුවක් හෝ මෙහෙණක් විස්වස් වැ ගනී නම්, තවුකැලි වැ ගනී නම්, සිවුරු තබා අන් පිරිකරක් දේ නම්, සික්මනුවහට, හෙරණිහට දේ නම් ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
පස් වැනි චීවරදානශික්‍ෂාපදය යි.
6. 3. 6.
චීවරසිබ්බන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරෙහි වැඩැ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උදායි තෙරණුවෝ සිවුරුකම් කිරීමට සමත් වෙති. එක්තරා මෙහෙණක් ආයුෂ්මත් උදායී තෙරුන් වෙත එළඹියා යැ. එළැඹැ ආයුෂ්මත් උදායී තෙරුන්හට තෙල කිවු යැ. වහන්ස, ආර්‍ය්‍යන් වහන්සේ මට සිවුරක් මසන්නාහු මැනැවැ යි. එකල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ එමෙහෙණහට සිවුරක් මසා මොනවට රජන් කොට මොනවට පිරියම් කොට මැද ප්‍රතිභානචිත්‍රයක් නංවා හකුළවා තැබූහ.
2. එකල්හි එමෙහෙණ ආයුෂ්මත් උදායී තෙරුන් වෙත එළැඹියා යැ. එළැඹැ ආයුෂ්මත් උදායී තෙරුන්හට තෙල කිවු ය. වහන්ස, ඒ සිවුරු කරන ලද දැ යි. “නැඟණිය, මේ සිවුර හැකුළූ වන මැ ගෙන ගොස් මෙහෙණසඟ යම් දිනෙකැ අවවාදයට යේ නම් එදින මේ සිවුර පෙරෙව මෙහෙණ සඟහු පිටුපසින් එව” යි.
3. එකල්හි ඒ මෙහෙණ ඒ සිවුර හැකුළූ වන මැ ගෙන ගොස් බහා තබා යම් දිනෙකැ මෙහෙණ සඟ අවවාදයට යේ නම් එදින ඒ සිවුර පෙරෙව මෙහෙණසඟහු පිටුපසින් පිටුපසින් යෙයි. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: මේ මෙහෙණහු සුන්ඔතප් ඇතියහ, ධූර්‍තයහ, විළි නැතියහ. යම්බඳු සිවුරෙක්හි ප්‍රතිභාන චිත්‍රයක් නංවාලූහු දැ යි. මෙහෙණහු මේ කවරක්හුගේ කර්‍මයෙක් දැ යි මෙසේ කීහු. ආර්‍ය්‍ය උදායීහුගේ යි. යම්බඳු කෙනෙක් සුන්ඔතප් ඇතියාහු ධූර්‍ත වූවාහු විළි නැතියාහු වෙද්ද ඔවුනට ද මෙබන්දක් නො හොබනේ යැ. ආර්‍ය්‍ය උදායීතෙරුන්හට කිම හොබනේ දැ යි.
4. එකල්හි ඒ භික්‍ෂුණීහු මහණුන්හට තෙල කරුණ දැන්වූහ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආයුෂ්මත් උදායී මෙහෙණකට සිවුරක් හිවී දැ යි …
සැබෑ ද උදායි, තෝ මෙහෙණකට සිවුරක් හිවියෙහි දැ යි.
සැබැවැ භාග්‍යවතුන් වහන්ස,
උදායි, (ඒ මෙහෙණ) තාගේ නෑ වූවා ද නො නෑ වූවා දැ යි.
භාග්‍යවතුන් වහන්ස, නොනෑ වූවා යැ.
හිස් පුරුෂය, නොනෑයෙක් නොනෑ මෙහෙණකට සුදුසු දැය හෝ නුසුදුසු දැය හෝ මනාපය හෝ අමනාපය හෝ නොදනී. හිස් පුරුෂය, කෙසේ නම් තෝ නොනෑ මෙහෙණකට සිවුරක් මැසූයෙහි දැ යි. හිස් පුරුෂය මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … තව ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් නො නෑ මෙහෙණකට සිවුරක් මසන්නේ නම් හෝ මස්වන්නේ නම් හෝ පචිති වේ” යයි.
5. යො පන යනු: යම්, යම්බඳු … භික්ඛූ … මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
අඤ්ඤාතිකා නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත්වන කුලපරවිටිය දක්වා නො සබඳ වූවා.
භික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා සිවුරෙකි.
සිබ්බෙය්‍ය: තෙමේ මසා නම් හිදි මගක් පාසා පචිති ඇවැත් වේ.
සිබ්බාපෙය්‍ය: අනෙකක්හු අණවා නම් පචිති ඇවැත් වේ. වරක් අණවන ලදුයේ බොහෝවරකුදු මසා නම් පචිති ඇවැත් වේ.
නොනෑ මෙහෙණක කෙරෙහි නොනෑ සන් ඇතියේ සිවුරක් හිවා නම් හෝ හිවවා නම් හෝ පචිති ඇවැත් වෙයි. නොනෑ මෙහෙණක කෙරෙහි විමති ඇතියේ සිවුරක් හිවා නම් හෝ හිවවා නම් හෝ පචිති ඇවැත් වෙයි. නොනෑ මෙහෙණක කෙරෙහි නෑමෙහෙණකැ යි සන් ඇතියේ සිවුරක් හිවා නම් හෝ හිවවා නම් හෝ පචිති ඇවැත් වේ.
මෙහෙණ සඟුන් කෙරෙහි උපසපන් වූවකට සිවුරක් මසා නම් හෝ මස්වා නම් හෝ දුකුළා ඇවැත් වේ. නෑමෙහෙණක කෙරෙහි නොනෑ සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නෑමෙහෙණක කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නෑමෙහෙණක කෙරෙහි නෑමෙහෙණකැ යි සන් ඇතියේ නම් ඇවැත් නැති.
නෑමෙහෙණකට සිවුරක් හැර අන් පිරිකරක් හිවා නම් හෝ හිවවා නම් හෝ, ඇවැත් නැත. සික්මනුවට, හෙරැණියට, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සවැනි චීවරසිබ්බනශික්‍ෂාපදය යි.
6. 3. 7.
සංවිධාන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු මෙහෙණන් සමඟ කථා කොටගෙන එක් වැ අදන්මඟට පිළිපදිත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: යම්සේ ඇපි අඹුන් සහිත වැ ඇවිදිමු නම් එසේ මැ මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ ද මෙහෙණන් සමඟ ඇවිදුනාහ යි.
2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු මෙහෙණන් සමඟ කථා කොටගෙන එක් වැ අදන්මගට පිළිපන්නාහු දැ යි...
සැබෑ ද මහණෙනි, තෙපි මෙහෙණන් සමඟ සංවිධානය කොට ගෙන එක් වැ අදන්මගට පිළිපදිවු දැ යි.
සැබැවැ භාග්‍යවතුන් වහන්ස,
භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මෙහෙණන් සමඟ නියම කොටගෙන එක් වැ අදන්මගට පිළිපන්නු දැ යි. හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … තව ද මහණෙනි, මෙසේත් මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් මෙහෙණක හා සමඟ කථා කොටගෙන යටත් පිරිසෙයින් අන්ගමකටදු (යනුවට) එක් වැ අදන් මඟට පිළිපන්නේ නම් පචිති වේ” යයි.
මෙසේ භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි බොහෝ භික්‍ෂූහු ද භික්‍ෂුණීහු ද සාකේතයෙන් සැවැතට යන අදන්මගට පිළිපන්නාහු වෙති. එකල්හි ඒ භික්‍ෂුණීහු ඒ භික්‍ෂූන්ට මෙය කීහු: “ඇපිදු ආර්‍ය්‍යයන් සමඟ යම්හ” යි. නැඟණියනි, මෙහෙණක හා සමඟ කථාකොට ගෙන එක් වැ අදන් මඟට පිළිපදින්නට නො කැප යැ. තෙපි හෝ පෙරාතු වැ යවු. ඇපි හෝ යම්හ යි. වහන්ස, ආර්‍ය්‍යයෝ අග්‍රපුරුෂයෝ යැ. ආර්‍ය්‍යයෝ මැ පෙරාතු වැ යෙත්වා යි.
4. එකල්හි පසු වැ යන්නා වූ ඒ මෙහෙණන්ට අනදර කොට අතරැ මග සොරු (පා සිවුරු) ඇසිඳගැන්ම ද කළහ. දූෂණ ද කළහ. එකල්හි ඒ මෙහෙණහු සැවැතට ගොස් මෙහෙණන්ට තෙල කරුණ දැන්වූහ, මෙහෙණහු මහණුන්ට තෙල කරුණ දැන්වූහ. මහණහු භාග්‍යවතුන්ට තෙල කරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. “මහණෙනි, සැක සහිත යැ යි දන්නා ලද බිය සහිත වූ සාර්‍ත්‍ථයක් හා සමඟ යා යුතු මඟෙකැ මෙහෙණක හා සමඟ කථා කොට ගෙන එක් වැ අදන්මඟට පිළිපදනට අනුදනිමි.” තව ද මහණෙනි, මෙසේත් මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් මෙහෙණක හා සමඟ කථා කොටගෙන යටත් පිරිසෙයින් අන්ගමකට දු (යනුවට) සුදුසු සමය තබා එක් වැ අදන්මඟට පිළිපදනේ නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි: සාර්‍ත්‍ථයක් හා යා යුතු වූ මාර්‍ගය වෙයි, සැක සහිත යැ යි සම්මත වෙයි, බිය සහිත වේ, මේ එහි සමය යි”.
5. යෝපන යනු: යම්, යම්බඳු … භික්ඛු … මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
භික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.
සද්ධිං යනු: එක් වැ.
සංවිධාය යනු: “යමු බුහුන යමු ආර්‍ය්‍යය, යමු ආර්‍ය්‍යය යමු බුහුන, අද හෝ හෙට හෝ තෙවන දා හෝ යමු” යි සංවිධාන කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
අන්තමසෝ ගාමන්තරම්පි යනු: කුක්කුට සම්පාත (පියස්සෙන් පියස්සට කුකුළකුට ඉගිළැ යා හැකි) ගම්හි ගමක් ගමක් පාසා පචිති ඇවැත් වේ. ගමක් නො වන අරන්හි නම් අඩයොදුනෙහි අඩයොදුනෙහි පචිති ඇවැත් වේ.
අඤ්ඤත්‍ර සමයා යනු: සුදුසු සමය තබා.
සත්‍ථගමනීය නම්: මාර්‍ගය ගැල්සාත්තුවෙන් තොර වැ යන්නට නො හැකි වෙයි.
සාසඞ්ක නම්: ඒ මාර්‍ගයෙහි සොරුන් පිවිසිතැන් පැනෙයි, අහර ගත් තැන් පැනෙයි, සිටිතැන් පැනෙයි, හුන්තැන් පැනෙයි, හොත් තැන් පැනෙයි.
සප්පටිභය නම්: ඒ මාර්‍ගයෙහි සොරුන් විසින් නසන ලද මිනිස්සු පැනෙති. වොලොගන්නා ලදහු පැනෙති. කොළන ලද්දාහු පැනෙත්. ප්‍රතිභය සහිත මඟ ගොස් ප්‍රතිභය රහිත මඟ දැකැ යවු නැඟණියනැ” යි නඟා යැවියයුත්තාහු ය.
සංවිදහිතයෙහි සංවිදහිතසංඥා ඇතියේ යටත් පිරිසෙයින් ග්‍රාමාන්තරයකුදු සුදුසු සමය තබා එක් වැ අදන්මඟට බසී නම් පචිති ඇවැත් වෙයි, සංවිදහිතයෙහි විමති ඇතියේ යටත් පිරිසෙයින් ග්‍රාමාන්තරයකුදු සුදුසු සමය තබා එක් වැ අදන් මඟට බසී නම් පචිති ඇවැත් වෙයි, සංවිදහිතයෙහි අසංවිදහිතසංඥා ඇතියේ යටත් පිරිසෙයින් ග්‍රාමාන්තරයකුදු සුදුසු සමය තබා එක් වැ අදන් මඟට බසී නම් පචිති ඇවැත් වේ.
මහණ සංවිධාන කෙරේ නම් මෙහෙණ සංවිධාන නො කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, අසංවිදහිතයෙහි සංවිදහිතසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අසංවිදහිතයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි, අසංවිදහිතයෙහි අසංවිදහිතසංඥා ඇතියේ නම් ඇවැත් නැති.
සුදුසු සමයෙහි සංවිධාන නො කොට යෙත් නම්, මෙහෙණ සංවිධාන කෙරේ නම් මහණ සංවිධාන නො කෙරේ නම්, කාලවිසඞ්කෙතයෙන් යෙත් නම් ඇවැත් නැති ආපදාවන්හි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සත්වැනි සංවිධානශික්‍ෂාපද යි.
6. 3. 8.
නාවාභිරූහන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු මෙහෙණන් සමඟ කථා කොටගෙන එක් නැවකට නැඟෙති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: යම්සේ මැ ඇපි අඹුන් සහිත වූවමෝ නැවෙහි කෙළිමු ද එසේ මැ මේ සෑසිපුත් මහණහු මෙහෙණන් සමඟ කථා කොටගෙන එක් නැවෙහි කෙළිති යි.
2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ කියන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු මෙහෙණන් සමඟ කථාකොට ගෙන එක් නැවකට නැගී ගියාහු දැ යි ...
සැබෑ ද මහණෙනි, තෙපි මෙහෙණන් සමඟ කථා කොටගෙන එක් නැවකට නැගී ගියාහු දැ යි.
සැබැවැ භාග්‍යවතුන් වහන්ස,
භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මෙහෙණන් සමඟ බැණ ගෙන එක් නැවකට නැගී ගියාහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් මෙහෙණක හා සමඟ බැණ ගෙන උඩුගං බලා යන්නා වූ හෝ යටිගං බලා යන්නා වූ හෝ එක් නැවකට නැඟ යන්නේ නම් පචිති වේ” යයි.
තවද භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මෙසේත් මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි වනාහි බොහෝ භික්‍ෂූහු ද භික්‍ෂුණීහු ද සාකේතයෙන් සැවතට යන අදන් මගට පිළිපන්නාහු වෙති. අතරැ මගැ තරණය කළයුතු ගඟෙක් වෙයි. එකල්හි ඒ භික්‍ෂුණීහු ඒ භික්‍ෂූන්ට මෙය කීහු: “ඇපිදු ආර්‍ය්‍යයන් සමඟ එතරවම්හ” යි. නැඟණියනි, මෙහෙණක හා සමග නියම කොටගෙන එක් නැවක නැඟැ යන්නට නො කැප යැ. තෙපි හෝ පෙරාතු වැ එතර වවු. ඇපි හෝ එතර වම්හ යි. වහන්ස, ආර්‍ය්‍යයෝ අග්‍රපුරුෂයෝ යැ ආර්‍ය්‍යයෝ මැ පෙරාතු වැ එතර වෙත්වා යි.
4. එකල්හි පසුවැ එතරවන්නා වූ ඒ මෙහෙණන්ට අනදර කොට සොරු (පා සිවුරු) ඇසිඳ ගත්හ. දූෂණ ද කළහ. එකල්හි ඒ මෙහෙණහු සැවැතට ගොස් මෙහෙණන්ට තෙල කරුණ දැන්වූහ. මෙහෙණහු මහණුන්හට තෙල කරුණ දැන්වූහ. මහණහු භාග්‍යවතුන්ට තෙල කරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි ලා මේ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. “මහණෙනි, සරසින් එතරවනු පිණිස මෙහෙණක හා සමඟ බැණ ගෙන එක් නැවක නැඟ යන්නට අනුදනිමි” මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් මෙහෙණක හා සමඟ බැණගෙන උඩුගං බලා යන්නා වූ හෝ යටිගං බලා යන්නා වූ හෝ එක් නැවකට සරසින් එතරවීමක් හැර නඟින්නේ නම් පචිති වේ” යයි.