එහි උදානය:
භූතගාම යැ අඤ්ඤවාදකය සමඟ උජ්ඣාපනක යැ බැහැරැ යන්නහු කරණකොට ගෙන පැනවූ ඒ පඨම–දුතිය සේනාසන දෙක යැ (පූර්‍වොපගත) අනුපඛජ්ජ යැ නික්කඩ්ඪන යැ (ආහච්චපාදක) වේහාසකුටි යැ (ද්වාරකෝස) මහල්ලකවිහාර යැ සප්පාණක යි.
භික්ඛුනෝවාද වර්‍ගය
6. 3. 1.
ඕවාද ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට ඔවා දෙන්නාහු චීවර යැ පිණ්ඩපාත යැ ශයනාසනය යැ ග්ලාන ප්‍රත්‍යය භෛෂජ්‍ය යැ යන පරිෂ්කාරයන් ලබන්නාහු වෙති. එකල්හි සවග මහණුන්හට මෙසිත විය: ඇවැත්නි, මෙකල ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට ඔවා දෙන්නාහු චීවර යැ පිණ්ඩපාත යැ ශයනාසනය යැ ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍ය යැ යන පරිෂ්කාරයන් ලබන්නාහු වෙති. එහෙයින් ඇවැත්නි, අපිදු මෙහෙණන්හට ඔවා දෙම්හ යි.
2. එකල්හි සවග මහණහු මෙහෙණන් වෙත එළඹැ මෙය කීහු: නැගණියනි, අප වෙත ද එළඹෙවු. ඇපිදු ඔවා දෙම්හ යි. එකල්හි ඒ මෙහෙණහු සවග මහණුන් වෙත එළැඹියහ. එළැඹැ සවග මහණුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්හු. එකල්හි සවග මහණහු මෙහෙණන් හට මඳ වූ මැ දැහැමි කථා කොට තිරශ්චීන කථායෙන් දවස ගෙවා “යව නැගණියනි” යි නඟා යැවූහු.
3. එකල්හි ඒ භික්‍ෂුණීහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙකැ සිටියාහු යැ. එකත්පසෙකැ සිටියා වූ ඒ භික්‍ෂුණීන්හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක: කිමෙක් ද මෙහෙණනි, අවවාදය සමෘද්ධ වී දැ යි? වහන්ස, කිසෙයින් ඔවා සමෘද්ධ වන්නේ ද සවග වහන්දෑ මඳ වූ මැ දැහැමි කථා කොට තිරශ්චීන කථායෙන් දවස ගෙවා නඟා යැවූහු යයි.
4. එකල්හි භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථායෙන් එ මෙහෙණන්හට මොනොවට කරුණු දැක්වූසේක. මොනොවට කරුණු ගැන්වූ සේක. මොනොවට තෙද ගැන්වූසේක. මොනොවට සතුටු කරවූසේක. එකල්හි ඒ මෙහෙණහු භාග්‍යවතුන් විසින් දැහැමි කථායෙන් මොනොවට කරුණු දක්වන ලද්දාහු මොනොවට කරුණු ගන්වන ලද්දාහු මොනොවට තෙද ගන්වන ලද්දාහු මොනොවට සතුටු කරවන ලද්දාහු භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්මැ ගියහ.
5. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ ප්‍රකරණයෙහි ලා බික්සඟන රැස් කරවා සවග මහණුන් පුළුවුත්සේක: සැබෑ ද මහණෙනි, තෙපි මෙහෙණන්හට මඳ වූ මැ දැහැමි කථා කොට තිරශ්චීන කථායෙන් දවස ගෙවා නඟා යවහු දැ යි.
සැබැව භාග්‍යවතුන් වහන්ස,
භාග්‍යවත් බුදුහු ගැරහූහ …
කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මෙහෙණන්හට මඳ වූ මැ දැහැමි කථා කොට තිරශ්චීන කථායෙන් දවස ගෙවා නඟා යැවූහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. “මහණෙනි, භික්ඛුනෝවාදක සම්මුතිය කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසෙයින් සම්මත කටයුතු: පළමු වැ මහණ අයැදියැ යුතු. අයැදැ ව්‍යක්ත වූ ප්‍රතිබල වූ භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
6. “වහන්ස, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. ඉදින් සඞ්ඝයාහට පැමිණිකල් ඇතියේ නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහු භික්ඛුනෝවාදක කොට සම්මත කරන්නේ යැ තෙල ඥප්ති යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මවදන් අසාවා, සඞ්ඝ තෙමේ මෙනම් මහණහු භික්ඛුනෝවාදක කොට සම්මත කරයි. මෙනම් මහණහට භික්ඛුනෝවාදක සම්මුතිය යම් ආයුෂ්මත් කෙනකුන් රුස්නේ නම් හෙ නිහඬ වන්නේ යැ. යමක්හට නො රුස්නේ නම් හෙ කියන්නේ යැ. දෙවනවට ද තෙල කරුණ කියමි. … තෙවනවට ද තෙල කරුණ කියමි.
වහන්ස, සඞ්ඝ තෙමේ මවදන් අසාවා, සඞ්ඝ තෙමේ මෙනම් මහණහු භික්ඛුනෝවාදක කොට සම්මත කරයි. මෙනම් මහණහට භික්ඛුනෝවාදක සම්මුතිය යම් ආයුෂ්මත් කෙනකුන් රුස්නේ නම් හෙ නිහඬ වන්නේ යැ. යමක්හට නො රුස්නේ නම් හෙ කියන්නේ යි.
සඞ්ඝයා විසින් මෙනම් මහණ භික්ඛුනෝවාදකයෙකැ යි සම්මත කරන ලද්දේ යැ. සඞ්ඝයාහට රුස්නේ යැ. එහෙයින් තුෂ්ණිම්භාවය වේ. මෙසේ මෙය දරමි” යි.
7. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවග මහණුන්හට නොයෙක් කරුණෙන් ගරහා දුභරතායෙහි … තවද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් අසම්මත වූයේ මෙහෙණන්හට ඔවා දෙන්නේ නම් පචිති වේ” යයි.
මෙසේ භාග්‍යවතුන් විසින් මේ සිකපදය භික්‍ෂූන්හට පණවන ලද්දේ වෙයි.
8. එසමයෙහි වනාහි සම්මත වූ ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට ඔවා දෙන්නාහු එපරිද්දෙන් මැ චීවර යැ පිණ්ඩපාත යැ ශයනාසන යැ ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍ය යැ යන පරිෂ්කාරයන් ලබන්නාහු වෙති. එකල්හි සවග මහණුන්හට මෙසිත විය: ඇවැත්නි, මෙකල්හි සම්මත වූ ස්ථවිරභික්‍ෂූහු මෙහෙණන්හට ඔවා දෙන්නාහු එපරිද්දෙන් මැ චීවර යැ පිණ්ඩපාත යැ ශයනාසන යැ ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍ය යැ යන පරිෂ්කාරයන් ලබන්නෝ වෙති. “එහෙයින් ඇවැත්නි, ඇපිදු සීමාවෙන් බැහැරට ගොස් එකිනෙකා මෙහෙණ ඔවා දෙන්නකු සම්මත කොට මෙහෙණන්හට ඔවා දෙම්හ” යි.
9. එකල්හි සවග මහණහු සීමාවෙන් බැහැරට ගොස් එකිනෙකා මෙහෙණ ඔවා දෙන්නකු සම්මත කොට මෙහෙණන් වෙත එළැඹැ මෙය කීහු: නැඟණියනි, ඇපිදු සම්මතයම්හ. අප වෙත ද එළැඹෙවු, අපිදු ඔවා දෙම්හ යි. එකල්හි ඒ මෙහෙණහු සවග මහණුන් වෙත එළැඹියහ. එළැඹැ සවග මහණුන් සකසා වැඳ එකත්පසෙකැ හුන්හු. එකල්හි සවග මහණහු මෙහෙණන්හට මඳ වූ මැ දැහැමි කථා කොට තිරශ්චීනකථායෙන් දවස ගෙවා “යව නැගණියනැ” යි නඟා යැවූහු.
10. එකල්හි ඒ මෙහෙණහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙකැ සිටියාහු ය. එකත්පසෙකැ සිටියා වූ එමෙහෙණන්හට භාග්‍යවතුන් වහන්සේ කිමෙක් ද මෙහෙණනි, අවවාදය සමෘද්ධ වී දැ යි වදාළසේක. ස්වාමීනි, කොයින් අවවාදය සමෘද්ධ වන්නේ ද? සවග හිමිවරු මඳ වූ මැ දැහැමි කථා කියා තිරශ්චීන කථායෙන් දවස ගෙවා නඟා යැවූහු යැ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන්හට දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූසේක … පැදකුණු කොට නික්ම ගියහ.
11. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මේ අවසරයෙහි ලා බික්සඟන රැස්කරවා සවග මහණුන් පුළුවුත් සේක: “සැබෑ ද මහණෙනි, තෙපි මෙහෙණන්හට මඳ වූ මැ දැහැමි කථා කොට තිරශ්චීනකථායෙන් දවස ගෙවා නඟා යවහු දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූහ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මෙහෙණන් හට මඳ වූ මැ දැහැමි කථා කොට තිරශ්චීනකථායෙන් දවස ගෙවා නඟා යැවූහු ද, හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක.
12. මහණෙනි, අටඟින් යුතු මහණක්හු භික්ඛුනෝවාදක කොට සම්මත කරන්නට අනුදනිමි. සිල් ඇතියේ වේ ද, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වැ ආචාරගෝචරසම්පන්න වැ අල්පමාත්‍ර වූ වරදෙහි බියදක්නා සුලු වැ වෙසේ ද, (ඒ ඒ සිකපද) සමාදන් වැ ශික්‍ෂාපදයන්හි හික්මේ ද, පෙළදහම දරන (ළෙහි) පෙළදහම රැස් කොට තබා ගත් බහුශ්‍රැතයෙක් වේ ද මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ යම් ධර්‍ම කෙනෙක් (අර්‍ත්‍ථසම්පත්තියෙන්) සාර්‍ත්‍ථක වූ (බ්‍යඤ්ජන සම්පත්තියෙන්) සව්‍යඤ්ජන වූ සර්‍වපරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය මොනවට පවසත් නම් එබඳු ධර්‍මයෝ ඔහු විසින් බොහෝ කොට අසනලද්දාහු වෙති. දරන ලද්දාහු වෙති. වචනයෙන් පුහුණු කරන ලද්දාහු සිතින් කොටස් විසින් සිතන ලද්දාහු නුවණින් මොනවට පුහුණු කරන ලද්දාහු වෙති. තවද ඔහු විසින් උභයප්‍රාතිමෝක්‍ෂයෝ විස්තර විසින් (උභතෝ විභඞ්ග විසින්) මොනවට බෙදන ලදු වැ මොනවට පුහුණු කරන ලදු වැ (ඛන්‍ධකපරිවාර) සූත්‍ර විසින් අනුව්‍යඤ්ජන විසින් (අටුවා විසින්) මොනවට විනිශ්චය කරන ලදු වැ මැනැවින් දන්නා ලද්දාහු වෙති. කලණබස් ඇතියේ මිහිරි හඬ ඇතියේ වේ ද බෙහෙවින් මෙහෙණන්හට ප්‍රිය වූ මන වඩන්නෙක් වේ ද මෙහෙණන් හට ඔවා දෙන්නට ප්‍රතිබලයෙක් වේ ද, තෙල භාග්‍යවතුන් උදෙසා පැවිදි වූ කහවත් දරන්නියක කෙරෙහි ගරුධර්‍මයකට නො අවන් විරූයෙක් වේ ද විසිවස් ඇතියෙක් හෝ අයිරා විසිවස් ඇතියෙක් හෝ වේ ද මහණෙනි, මේ අටඟින් යුතු මහණහු මෙහෙණ ඔවා දෙන්නකු කොට සම්මත කරන්නට අනුදනිමි යි.
13. යො පන යනු: යම්, යම් බඳු … භික්ඛූ යනු … මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
අසම්මත නම්: ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙන් සම්මත නො වූයේ යි.
භික්ඛුනීහු නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවාහු යි.
ඕවදෙය්‍ය යනු: අෂ්ට ගරුධර්‍මයෙන් අවවාද කෙරේ නම් පචිති ඇවැත් වෙයි. අන්‍ය ධර්‍මයෙකින් අවවාද කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, එක් පසෙකැ (භික්‍ෂුණී සඞ්ඝයා කෙරෙහි) උපසපන් මෙහෙණකට ඔවා දේ නම් දුකුළා ඇවැත් වේ.
14. සම්මත වූ ඒ මහණහු විසින් පිරිවෙන හැමද, පියයුතු වූ ද පිරිබෝ කළයුතු වූ ද දිය එළවා තබා අසුනක් පනවා දෙවැන්නකු ගෙන හිඳිය යුතු. මෙහෙණන් විසින් එහි ගොස් එමහණහු සකසා වැඳ එකත් පසෙකැ හිඳිය යුතු. එ මහණහු විසින් නැඟණියනි, හැම දෙන මැ අවු දැ යි පිළිවිසිය යුත්තාහ. ඉදින් ආර්‍ය්‍යයෙනි, ඇපි හැම දෙනමෝ පැමිණියම්හ යි බෙණෙත් නම් නැඟණියනි, අෂ්ටගරුධර්‍මයෝ පුහුණු වැ පවතිද්දැ යි පිළිවිසියයුත්තාහ. ඉදින් ආර්‍ය්‍යයෙනි, පුහුණු වැ පවතිත් යයි බෙණෙත් නම් නැඟණියනි, තෙලෙ අවවාද යැ යි පවරා දිය යුතු යැ. ආර්‍ය්‍යයෙනි, පුහුණු වැ නො පවතිත් යයි බෙණෙත් නම් පෙළ කියා දියයුතු යැ.
15. උපසපන් සියවස් ඇති මෙහෙණ විසින් එදවසැ උපසපන් මහණහට සකසා වැඳීම දැක හුනස්නෙන් නැගීසිටීම ඇඳිලි බැඳීම සාමීචිකර්‍ම කළයුතු යැ, මේ ධර්‍මය ද සත්කාර ගරුකාර මානන පූජා කොට යව්දිව් නො ඉක්ම වියැ යුත්තේ යි. මෙහෙණ විසින් (මෙහෙණවරින් අඩ යොදුනක් ඇතුළත ඔවා දෙන) මහණුන් නැති වෙහෙරෙහි වස් නො විසියයුතු ය. මේ ධර්‍මය ද සත්කාර ගරුකාර මානන පූජා කොට යව්දිව් නො ඉක්ම වියැයුත්තේ ය. මෙහෙණ විසින් අඩමසක් පාසා භික්‍ෂුසඞ්ඝයා වෙතින් පොහෝ පිළිවිසුම ද අවවාදයට එළඹීම දැ යි යන දෙදහම් කැමැතිවිය යුතු යැ. මේ ධර්‍මය ද … වස් වැස නිම වූ මෙහෙණ විසින් දෙසඟුන් කෙරෙහි දෘෂ්ට විසින් හෝ ශ්‍රැත විසින් හෝ පරිසඞ්කා විසින් හෝ යන තුන් කරුණෙන් පැවරියයුතු යැ. මේ ධර්‍මය ද … ගරුධර්‍මයකට (සඟවෙසෙස් ඇවතකට) පැමිණි මෙහෙණ විසින් දෙසඟුන් කෙරෙහි පක්‍ෂමානත පිරියයුතු යැ. මේ ධර්‍මය ද … දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සික ඇති ශික්‍ෂමානාවක විසින් දෙසඟුන් කෙරෙහි උපසපුව කැමැති විය යුතු යැ. මේ ධර්‍මය ද … මෙහෙණ විසින් මහණහට කිසිදු කරුණෙකින් ආක්‍රෝශ නො කළ යුතු යැ. අවමන් නො කළ යුතු යැ. මේ ධර්‍මය ද … අද පටන් කොට මහණුන් කෙරෙහි (ඔවා අනුසස් විසින්) මෙහෙණන්ගේ වචනපථය වාරිත යැ මෙහෙණන් කෙරෙහි මහණුන්ගේ වචනපථය අවාරිත යැ. මේ ධර්‍මය ද සත්කාර ගරුකාර මානන පූජා කොට යව්දිව් නො ඉක්ම විය යුත්තේ යි.
16. ඉදින් ආර්‍ය්‍යයෙනි, අපි සමගි වූම්හ යි කියන්නියට අන්‍ය ධර්‍මයක් බෙණේ නම් දුකුළා ඇවැත් වෙයි. ඉදින් ආර්‍ය්‍යයෙනි, අපි ව්‍යග්‍ර වූම්හ යි කියන්නියට අෂ්ටගරුධර්‍මයන් බෙණේ නම් දුකුළා ඇවැත් වෙයි. (නැඟණියනි, මේ ඔවා යැ යි) අවවාද නො කියා අන්‍ය ධර්‍මයක් බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
17. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම සංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණී සඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍ම කර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට විමති ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
18. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍ර සංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට විමති ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
19. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට විමති ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
20. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණී සඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍ම කර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට විමති ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
21. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට විමති ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
22. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට විමති ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
23. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් දුකුළා ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට විමති ඇති වැ ඔවා දේ නම් … සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් දුකුළා ඇවැත් වේ.
24. ධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍ර සංඥා ඇති වැ ඔවා දේ නම් … විමති ඇති වැ ඔවා දේ නම් … සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් දුකුළා ඇවැත් වේ.
25. ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍ර සංඥා ඇති වැ ඔවා දේ නම් … විමති ඇති වැ ඔවා දේ නම් … සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් දුකුළා ඇවැත් වේ.
26. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් … විමති ඇති වැ ඔවා දේ නම් … සමග්‍ර සංඥා ඇති වැ ඔවා දේ නම් දුකුළා ඇවැත් වේ.
27. ධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් … විමති ඇති වැ ඔවා දේ නම් … සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් දුකුළා ඇවැත් වේ.
28. ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් දුකුළා ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට විමති ඇති වැ ඔවා දේ නම් දුකුළා ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් ඇවැත් නැති.
29. (අටගුරුදම්පෙළ) උදෙසන්නේ නම් (ගරුදම්පෙළෙහි) අටුවා බණන්නේ නම්, ආර්‍ය්‍යයෙනි, බණන්නැ යි කියනු ලබන්නේ බෙණේ නම්, පිළිවිසී නම්, පැන පුළුවුස්නා ලදුයේ කියා නම්, මෙරමා සඳහා බණ දෙසන්නහුගෙන් මෙහෙණෝ අසත් නම්, සික්මනුවකට හෙරැණියකට නම් ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
පළමුවැනි ඕවාද ශික්‍ෂාපද යි.
6. 3. 2.
අත්‍ථඞ්ගත ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි ස්ථවිර භික්‍ෂූහු පිළිවෙළින් මෙහෙණන්හට ඔවා දෙති. එසමයෙහි මෙහෙණන්හට ඔවා දෙන්නට ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුන්ගේ වාරය වෙයි. භික්‍ෂුණීහු මෙසේ කීහු: “අද නම් අවවාදය සමෘද්ධ නො වන්නේ යැ. ආර්‍ය්‍ය චුල්ලපන්‍ථක තෙරණුවෝ ඒ උදානය මැ දැනුදු පුනපුනා කියන්නාහ” යි.
2. එකල්හි ඒ භික්‍ෂුණීහු ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුන් වෙත එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්හු. එකත්පසෙකැ හුන්නා වූ ඒ මෙහෙණන්හට ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුණුවෝ තෙල කීහ:
නැඟණියනි, (තෙපි) හැම දෙන මැ මෙහි අවු දැ යි.
ආර්‍ය්‍යයන් වහන්ස, හැම දෙනමෝ මෙහි ආම්හ යි.
නැඟණියනි, අෂ්ටගරුධර්‍මයෝ (තොප කෙරෙහි) පවතිත් දැ යි.
ආර්‍ය්‍යයන් වහන්ස, (අප කෙරෙහි) පවතිත් යයි.
නැඟණියනි, “තෙල අවවාද ය” යි පවසා මේ උදානය පුන පුනා කීහ:
‘රාත්පලසිතින් යුතු නො පමා වූ මෝනසංඛ්‍යාතඥානයෙන් හික්මුණු තාදී වූ (රාගාදි ව්‍යපශමයෙන්) උපශාන්ත වූ ස්මෘතිමත් වූ ක්‍ෂීණාශ්‍රව මුනිහට ශෝකයෝ හැම කල්හි නො වන්නාහ” යි.
3. මෙහෙණහු මෙසේ කීහු: “අද නම් අවවාදය සමෘද්ධ නො වන්නේ යැ. දැන් ඒ උදානය මැ ආර්‍ය්‍ය චුල්ලපන්‍ථක තෙරුණුවෝ පුන පුනා බෙණෙතැ යි (ඇපි) නො කීවමෝ ද?” ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුණුවෝ ඒ මෙහෙණන්ගේ මේ කථා සල්ලාපය ඇසූහ. එකල්හි ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුණුවෝ අහසට පැන අන්තරීක්‍ෂාවකාශයෙහි සක්මන් ද කෙරෙති, සිටීම ද කෙරෙති, හිඳීම ද කෙරෙති, ශයනය ද කෙරෙති, දුමාලීම ද කෙරෙති, දිලිහීම ද කෙරෙති, අදර්‍ශනයට ද යෙති. එම උදානයත් සෙසු බොහෝ බුද්ධවචනත් බෙණෙත්.
මෙහෙණහු මෙසේ කීහු: “භවත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍ය ය. භවත්නි, ඒකාන්තයෙන් අද්භූත යි. ආර්‍ය්‍ය චුල්ලපන්‍ථක තෙරුණුවන්ගේ මෙන් මෙබඳු අවවාදයෙක් අපහට මෙයින් පෙරැ නොවී යැ මෙබඳු සමෘද්ධියක් නො වූ විරී යැ යි.
4. එකල්හි ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුණුවෝ ඒ මෙහෙණන් අඳුරු වැටෙන තාක් ඔවා දී ‘යවු නැඟණියනැ’ යි නඟා යැවූහ. එකල්හි ඒ මෙහෙණහු නුවරැ දොර වැසූ කල්හි බිහිනුවරැ වැස උදෑසන මැ නුවරට පිවිසෙති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “මේ මෙහෙණහු අබ්‍රහ්මචාරිණීහ, අරම්හි මහණුන් හා සමඟ වැස දැන් නුවරට පිවිසෙත්” යයි.
5. ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) භික්‍ෂූහු ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආයුෂ්මත් චුල්ලපන්‍ථකයෝ හිරු අත්ගල (බැස) ගියකල්හි මෙහෙණන්හට ඔවා දෙත් දැ යි … සැබෑද චුල්ලපන්‍ථක, තෙපි හිරු බැස ගිය කල්හි මෙහෙණන්හට ඔවා දෙවු දැ යි.
සැබැවැ භාග්‍යවතුන් වහන්ස,
භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් චුල්ලපන්‍ථක, තෙපි හිරු අවරටගිය කල්හි මෙහෙණන්හට ඔවා දෙවු ද? චුල්ලපන්‍ථක, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ මහණෙනි, මේ සික පදය උදෙසවු:
“ඉදින් සම්මත වූ ද මහණ හිරු අස්තයට ගිය කල්හි මෙහෙණන්හට ඔවා දෙන්නේ නම් පචිති වේ” යයි.
6. සම්මත නම්: ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙන් සම්මත යැ.
අත්‍ථඞ්ගතෙ සුරියෙ: හිරු බට කල්හි.
භික්ඛුනී නම්: දෙ සඟුන් කෙරෙහි උපසපන් වූවා.
ඕවදෙය්‍ය: ගරුදම් අටින් හෝ අන් දහමෙකින් හෝ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
හිරු අස්තයට ගිය කල්හි අස්තඞ්ගතසංඥා ඇතියේ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අස්තඞ්ගතයෙහි විමති ඇතියේ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි, අස්තඞ්ගතයෙහි අස්තඞ්ගතසංඥා නැතියේ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
එකත්පසෙකැ (මෙහෙණසඟුන් කෙරෙහි) උපසපන් වූවකට ඔවා දේ නම් දුකුළා ඇවැත් වෙයි. අනස්තඞ්ගතයෙහි අස්තඞ්ගතසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි, අනස්තඞ්ගතයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. අනස්තඞ්ගතයෙහි අනස්තඞ්ගතසංඥා ඇතියේ නම් ඇවැත් නැති.
(අට ගරු දම් පෙළ) උදෙසන්නේ නම්, (ගරුදම්පෙළෙහි) අටුවා බණන්නේ නම්; ආර්‍ය්‍යයෙනි, බණන්නැ’යි කියනු ලබන්නේ කියා නම් පැන පිළිවිසී නම්, පැන පුළුවුස්නා ලදුයේ කියා නම්, මෙරමා සඳහා දෙසන්නහුගෙන් මෙහෙණහු අසත් නම්, හික්මනුවකට, හෙරැණියකට කියා නම් ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
දෙවැනි අත්‍ථඞ්ගත ශික්‍ෂාපද යි.
6. 3. 3.
භික්ඛුනූපස්සය ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් නුවරැ නිග්‍රෝධාරාමයෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු මෙහෙණවරට එළැඹැ සවග මෙහෙණන්හට ඔවා දෙති. භික්‍ෂුණීහු සවග මෙහෙණන්හට තෙල කීහු: ආර්‍ය්‍යාවෙනි, එවු අවවාදයට යම්හ යි.
ආර්‍ය්‍යාවෙනි, යම් තෙනකට ඔවා කරුණෙන් ඇපි යන්නෙමු ද සවග මහණහු මෙහි ම අපට ඔවා දෙති යි කිවු ය.
භික්‍ෂුණීහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මෙහෙණහු අවවාදයට නො යන්නාහු දැ’ යි.
2. එකල්හි ඒ මෙහෙණහු මහණුන්හට තෙල කරුණ දැන්වූහ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු මෙහෙණවරට එළැඹැ මෙහෙණන්හට ඔවා දුන්නු දැ යි …
සැබෑ ද මහණෙනි, තෙපි මෙහෙණවරට එළැඹැ මෙහෙණන්හට ඔවා දෙවු දැ යි.
සැබැවැ භාග්‍යවතුන් වහන්ස.
භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මෙහෙණවරට එළැඹැ මෙහෙණන්හට ඔවා දුන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් මෙහෙණවරට එළැඹැ මෙහෙණන්හට ඔවා දෙන්නේ නම් පචිති වේ” යයි.
භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය මෙසේ පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි වනාහි මහාප්‍රජාපතී ගෞතමී ගිලන් වූවා වෙයි. ස්ථවිරභික්‍ෂූහු මහාප්‍රජාපතී ගෞතමිය වෙත එළැඹියාහු ය. එළැඹැ “කිම ගෞතමිය, කිම තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි” දැ යි තෙල කීහු.
ආර්‍ය්‍යවරුනි, මට ඉවසිය නො හැකි යැ. යැපිය නො හැකි යි, ආර්‍ය්‍යවරු දහම් දෙසන්නාහු නම් මැනැවැ යි කිවු ය.
“නැඟණියනි, මෙහෙණවරට එළැඹැ මෙහෙණන්හට දහම් දෙසන්නට නො කැපැ යි” කුකුස් කරනුවෝ (දහම්) නො දෙසූහු.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරවැ පාසිවුරු ගෙන මහාප්‍රජාපතී ගෞතමිය වෙත එළැඹැ පැනවූ අස්නෙහි වැඩහුන්සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ කිම ගෞතමිය, තොපට ඉවසිය හැකි ද? යැපිය හැකි දැ යි තෙල වදාළසේක.
ස්වාමීනි, පෙරැ ස්ථවිරභික්‍ෂූහු අවුත් මට දහම් දෙසති. එයින් මට පහසු වෙයි. දැන් වූ කලි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂිප්ත යැ යි කුකුස් කරනුවෝ නො දෙසත්. එයින් මට පහසු නො වේ යැ යි කිවු ය.
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමියට දැහැමි කථායෙන් මොනවට කරුණු දක්වා මොනවට කරුණු ගන්වා මොනවට තෙද ගන්වා මොනවට සතුටු කරවා හුනස්නෙන් නැඟිට වැඩිසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. “මහණෙනි, මෙහෙණවරට එළැඹැ ගිලන් මෙහෙණට ඔවා දෙන්නට අනුදනිමි” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් සුදුසු සමය තබා මෙහෙණවරට එළැඹැ මෙහෙණන් හට ඔවා දෙන්නේ නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි. මෙහෙණක් ගිලන් වූවා වේ නම් මේ එහි සුදුසු සමය යි.”
6. යෝපන: යම්, යම් බඳු … භික්ඛු … මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
භික්ඛුනූපස්සය: යම් තෙනෙකැ මෙහෙණහු එක් රැයකුදු වසද්ද එතෙන යි.
උපසඞ්කමිත්‍වා: එහි ගොස්.
භික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.
ඕවදෙය්‍ය: අෂ්ට ගරුධර්‍මයෙන් ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
අඤ්ඤත්‍රසමයා: සුදුසු සමය තබා.
ගිලානා නම්: මෙහෙණක් අවවාදයට හෝ සහවාසයට හෝ යන්නට නො හැකි වූවා යි.
උපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියේ සුදුසු සමය තබා මෙහෙණවරට එළැඹැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි, උපසපනක කෙරෙහි විමති ඇතියේ සුදුසු සමය තබා මෙහෙණවරට එළැඹැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි, උපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියේ සුදුසු සමය තබා මෙහෙණවරට එළැඹැ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
අන්‍යධර්‍මයෙකින් ඔවා දේ නම් දුකුළා ඇවැත් වෙයි, මෙහෙණ සඟුන් කෙරෙහි උපසපන්වූවකට ඔවා දේ නම් දුකුළා ඇවැත් වේ.
අනුපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. අනුපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියේ නම් ඇවැත් නැති.
සුදුසු සමයෙහි (අට ගරු දම්පෙළ) උදෙසන්නේ නම්, (ගරුදම් පෙළෙහි) අටුවා බණන්නේ නම් ආර්‍ය්‍යයෙනි, බණන්නැ’යි කියනු ලබන්නේ බෙණේ නම් පැන පිළිවිසී නම් පැන පුළුවුස්නා ලදුයේ කියා නම් මෙරමා සඳහා දෙසන්නහුගෙන් මෙහෙණහු අසත් නම් ඇවැත් නැති, සික්මනුවකට හෙරැණියකට උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.