භිසි නම්: උණ්ණාභිසි යැ චොලභිසි යැ වාකභිසි යැ තිණභිසි යැ පණ්ණභිසි යැ යි පස් බිස්සෙකි.
කොච්ඡ නම්: වැහැරිමුවා හෝ සුවඳහොටමුවා හෝ මුදු තණමුවා හෝ බබුස්තණමුවා හෝ ඇතුළතැ මොනවට වෙළා බඳනා ලද්දෙක් වෙයි.
සන්‍ථරිත්‍වා: තෙමේ අතුරා. සන්‍ථරාපෙත්‍වා: අනෙකක්හු ලවා අතුරුවා අනුපසපනක්හු ලවා අතුරුවා නම් ඔහුට පළිබෝධ වෙයි. උපසපනක්හු ලවා අතුරුවා නම් අතුරනලද්දහුට පළිබෝධ වෙයි.
තං පක්කමන්තෝ නේව උද්ධරෙය්‍ය: තෙමේ නො මැ ගෝපන කරන්නේ නම්. න උද්ධරාපෙය්‍ය: අනෙකක්හු ලවා නො ද ගෝපන කරවන්නේ නම්. අනාපුච්ඡං වා ගච්ඡෙය්‍ය: මහණක්හු හෝ හෙරණක්හු හෝ ආරාමිකයක්හු හෝ නො විචාරා මැදුම් පිරිම්නියක්හු කැටක් දමා ලන තන් ඉක්මවන්නාහට පචිති ඇවැත් වේ.
4. සඟසතුයෙහි සඟසතුසන් ඇතියේ එළිමහනෙහි අතුරා හෝ අතුරුවා හෝ බැහැරැ යන්නේ එය නො මැ ගෝපන කරන්නේ නම් නො ද ගෝපන කරවන්නේ නම් නො විචාරා හෝ යන්නේ නම් පචිති ඇවැත් වේ. සඟසතුයෙහි විමති ඇතියේ … සඟසතුයෙහි පුඟුල්සන් ඇතියේ එළිමහනෙහි අතුරා හෝ අතුරුවා හෝ බැහැරැ යන්නේ එය නො මැ ගෝපන කරන්නේ නම් නො ද ගෝපන කරවන්නේ නම් නො විචාරා හෝ යන්නේ නම් පචිති ඇවැත් වේ.
චිලිමිකාවක් හෝ උතුරතුරුණක් හෝ බුමුතුරුණක් හෝ තට්ටිකාවක් හෝ සම්කඩක් හෝ පාපිස්නක් හෝ පුවරුපුටුවක් හෝ එළිමහනෙහි අතුරා හෝ අතුරුවා හෝ බැහැර යන්නේ එය නො මැ ගෝපන කරන්නේ නම් නො ද ගෝපන කරවන්නේ නම් නො විචාරා හෝ යන්නේ නම් දුකුළා ඇවැත් වේ.
පුඟුල් සතුයෙහි සඟසතුසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ නම් අනෙකක්හුගේ පුඟුල්සතුයෙහි දුකුළා ඇවැත් වේ. තමාගේ පුඟුල් සතුයෙහි ඇවැත් නැති.
උදුරා යේ නම් උදුරුවා යේ නම් විචාරා යේ නම් වියැළෙන්නට තබමින් යේ නම් කිසිවකිනුදු ගැහැටක් වේ නම් ඔහට ඇවැත් නැත, ආපදාවෙහි ද උම්මත්තකයහට ද ආදිකම්මිකයහට ද ඇවැත් නැති.
සිවුවැනි පඨම සේනාසනශික්‍ෂාපද යි.
6. 2. 5.
දුතිය සේනාසන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි වනාහි සතළොස්වගැ මහණහු යහළුවෝ වෙති. ඔහු වසන්නෝ ද එකට වෙසෙති. බැහැර යන්නෝ ද එකට බැහැරැ යෙත්. ඔහු එක්තරා සඟසතු වෙහෙරෙක්හි සෙනසුන් අතුරා බැහැර යන්නාහු එය නො මැ ගෝපන කළහ. නො ද ගෝපන කැරැවූහ. නොවිචාරා බැහැරැ ගියහ. සෙනසුන වේයන් විසින් කන ලද්දේ වෙයි.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සතෙළෙ ස්වග මහණහු සඟසතු වෙහෙරෙහි සෙනසුන් අතුරා බැහැරැ යන්නාහු එය නො මැ තැන්පත් කළෝ ද, නොද තැන්පත් කරැවූවෝ ද, නො පිළිවිසැ ගියෝ ද, සෙනසුන වේයන් විසින් කන ලද්දේ යැ යි … සැබෑ ද මහණෙනි, සතළොස් වග මහණහු සඟසතු වෙහෙරෙහි සෙනසුන් අතුරා බැහැරැ යන්නාහු එය නො මැ තැන්පත් කළෝ ද, නොද තැන්පත් කරැවූවෝ ද, නො පිළිවිසැ ගියෝ ද, සෙනසුන වේයන් විසින් කන ලද්දේ දැ යි. සැබෑ වැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ඒ හිස්පුරුෂයෝ සඟසතු වෙහෙරෙහි සෙනසුන් අතුරා බැහැරැ යන්නාහු නො මැ තැන්පත් කළෝ ද, නොද තැන්පත් කැරැවූවෝ ද, නො පිළිවිසැ ගියෝ ද, සෙනසුන වේයන් විසින් කන ලද්දේ දැ යි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් සඟසතු වෙහෙරෙක්හි සෙනසුන් අතුරා හෝ අතුරුවා හෝ බැහැර යන්නේ එය නො මැ තැන්පත් කරන්නේ නම් නො තැන්පත් කරවන්නේ නම් නො පිළිවිසැ හෝ යන්නේ නම් පචිති වේ” යයි.
3. යො පන: යම්, යම්බඳු … භික්ඛු: මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
සඞ්ඝික නම්: විහාරය සඟනට දෙන ලද්දෙක් පරිත්‍යක්තයෙක් වෙයි.
සෙය්‍ය නම්: බිසි යැ චිලිමිකා යැ උතුරතුරුණු යැ බුමුතුරුණු යැ තට්ටිකා යැ සම්කඩ යැ නිසීදන යැ පසතුරුණු යැ තණඇතිරි යැ පත් ඇතිරි යි.
සන්‍ථරිත්‍වා: තෙමේ අතුරා. සන්‍ථරාපෙත්‍වා: අනෙකක්හු ලවා අතුරුවා.
තං පක්කමන්තෝ නේව උද්ධරෙය්‍ය: තෙමේ නො මැ තැන්පත් කරන්නේ නම්.
න උද්ධරෙය්‍ය: අනෙකක්හු ලවා නො තැන්පත් කරවන්නේ නම්.
අනාපුච්ඡං වා ගච්ඡෙය්‍ය: මහණක්හු හෝ හෙරණක්හු හෝ ආරාමිකයක්හු හෝ නො පිළිවිසැ පිරිකෙව් කරන ලද අරම්හි පිරිකෙව්ව ඉක්මවන්නාහට පචිති ඇවැත් වේ. නො පිරිකෙව් කරන ලද අරම්හි උවසර ඉක්මවන්නාහට පචිති ඇවැත් වේ.
සඟසතුයෙහි සඟසතුසන් ඇතියේ සෙනසුන් අතුරා හෝ අතුරුවා හෝ බැහැරැ යන්නේ නම් එය නො මැ තැන්පත් කරන්නේ නම් නො තැන්පත් කරවන්නේ නම් නො පිළිවිසැ හෝ යන්නේ නම් පචිති ඇවැත් වේ. සඟසතුයෙහි විමති ඇතියේ සෙනසුන් අතුරා හෝ අතුරුවා හෝ බැහැරැ යන්නේ එය නො මැ තැන්පත් කරන්නේ නම් හෝ නො තැන්පත් කරවන්නේ නම් නො පිළිවිසැ හෝ යන්නේ නම් පචිති ඇවැත් වේ. සඟසතුයෙහි පුඟුල්සන් ඇතියේ සෙනසුන් අතුරා හෝ අතුරුවා හෝ බැහැර යන්නේ එය නො මැ තැන්පත් කරන්නේ නම් නො තැන්පත් කරවන්නේ නම් නො පිළිවිසැ හෝ යන්නේ නම් පචිති ඇවැත් වේ.
වෙහෙරැ උවසරෙහි හෝ උවටැන්හල්හි හෝ මඬුවෙහි හෝ රුක්මුලැ හෝ සෙනසුන් අතුරා හෝ අතුරුවා හෝ බැහැරැ යන්නේ එය නො මැ තැන්පත් කරන්නේ නම් නො තැන්පත් කරවන්නේ නම් නො පිළිවිසැ හෝ යන්නේ නම් දුකුළා ඇවැත් වේ. ඇඳක් හෝ පුටුවක් හෝ වෙහෙරෙහි හෝ වෙහෙරුවසරෙහි හෝ උවටැන්හල්හි හෝ මඬුවෙහි හෝ රුක්මුලැ හෝ අතුරා හෝ අතුරුවා හෝ බැහැර යන්නේ එය නො මැ තැන්පත් කරන්නේ නම් නො තැන්පත් කරවන්නේ නම් නො පිළිවිසැ හෝ යන්නේ නම් දුකුළා ඇවැත් වේ.
පුඟුල් සතුයෙහි සඟසතුසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ අනෙකක්හුගේ පුඟුල්සතුයෙහි නම් දුකුළා ඇවැත් වේ. තමාගේ පුඟුල්සතුයෙහි නම් ඇවැත් නැති.
තැන්පත් කොට යේ නම් තැන්පත් කරවා යේ නම් පිළිවිසැ යේ නම් කිසිවකිනුදු (සෙනසුනට) ගැහැටෙක් වේ නම් අපේක්‍ෂා සහිත වැ ගොස් එහි සිටියේ පිළිවිසී නම් කිසිවකිනුදු ගැහැට ඇතියෙක් වේ නම් ආපදාවෙහි ද, උම්මත්තකයහට ද ආදිකම්මිකයාහට ද ඇවැත් නැති.
පස්වැනි දුතියසේනාසන ශික්‍ෂාපද යි.
6. 2. 6.
අනුපඛජ්ජ ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවගමහණහු පෙරටු වැ ගොස් උතුම් සෙනසුන් වළහා සිටිත්. තෙරහු භික්‍ෂූන් (වසගින්) නැගිටුවාලති. එකල්හි සවගමහණුන්හට “කවර උපායෙකින් ඇපි මෙහි මැ වසන්නෙමු දෝ හෝ යි” මෙ සිත විය. එකල්හි සවගමහණහු ‘යමක්හට ගැහැට වන්නේ නම් හේ බැහැරැ යන්නේ’ යැ යි ස්ථවිර භික්‍ෂූන් අතුරෙහි පිවිස ශයනය කෙරෙත්.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවගමහණහු ස්ථවිර භික්‍ෂූන් අතුරෙහි පිවිස ශයනය කළාහු දැ යි … සැබෑ ද මහණෙනි, තෙපි ස්ථවිර භික්‍ෂූන් අතුරෙහි පිවිස ශයනය කරන්නාහු දැ යි සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස්පුරුෂයෙනි, තෙපි ස්ථවිර භික්‍ෂූන් අතුරෙහි පිවිස ශයනය කළාහු දැ යි. හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් සඟසතු වෙහෙරෙක්හි දැනැ දැනැ පළමු පැමිණි මහණහු අතුරෙහි පිවිස ‘යමක්හට ගැහැට වන්නේ නම් හේ බැහැරැ යන්නේ’ යැ යි අනෙකක් නො වැ මෙය මැ කරුණු කොට ගෙන ශයනය කරන්නේ නම් පචිති වේ” යයි.
3. යො පන: යම්, යම්බඳු … භික්ඛු: … මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
සඞ්ඝික විහාර නම්: සඟනට දෙන ලද්දෙක් පරිත්‍යක්තයෙක් වෙයි.
ජානාති නම්: වැඩිහිටියෙකැයි දනී, ගිලනෙකැයි දනී, සඟහු විසින් දෙන ලද්දෙකැයි දනී.
අනුපඛජ්ජ: අතුරෙහි පිවිස. සෙය්‍යං කප්පෙය්‍ය: ඇඳෙක හෝ පුටුවෙකැ හෝ පිවිසෙන්නහුගේ හෝ නික්මෙන්නහුගේ හෝ උවසර සෙනසුනක් අතුරා නම් හෝ අතුරුවා නම් හෝ දුකුළා ඇවැත් වේ. අතුරෙහි හිඳී නම් හෝ අතුරෙහි නිදා නම් හෝ පචිති ඇවැත් වෙයි.
ඒතදෙව පච්චයං කරිත්‍වා අනඤ්ඤං: අතුරෙහි පිවිස හොවින්නට අන් කිසිදු කරුණෙක් නැති.
සඟසතුයෙහි සඟසතුසන් ඇතියේ අතුරෙහි පිවිස ශයනය කෙරේ නම් පචිති ඇවැත් වේ. සඟසතුයෙහි විමති ඇතියේ අතුරෙහි පිවිස ශයනය කෙරේ නම් පචිති ඇවැත් වේ. සඟසතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ අතුරෙහි පිවිස ශයනය කෙරේ නම් පචිති ඇවැත් වේ.
ඇඳෙක හෝ පුටුවෙකැ හෝ පිවිසෙන්නහුගේ හෝ නික්මෙන්නහුගේ හෝ උවසර තබා සෙනසුනක් අතුරා නම් හෝ අතුරුවා නම් හෝ දුකුළා ඇවැත් වේ. අතුරෙහි හිඳී නම් හෝ අතුරෙහි නිදා නම් හෝ දුකුළා ඇවැත් වේ. වෙහෙරැ උවසරෙහි හෝ උවටැන්හල්හි හෝ මඬුවෙක්හි හෝ රුක්මුලෙකැ හෝ එළිමහනෙකැ හෝ සෙනසුනක් අතුරා නම් හෝ අතුරුවා නම් හෝ දුකුළා ඇවැත් වේ. අතුරෙහි හිඳී නම් හෝ අතුරෙහි නිදා නම් හෝ දුකුළා ඇවත් වේ.
පුඟුල්සතුයෙහි සඟසතුසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ අනෙකක්හුගේ පුඟුල්සතුයෙහි නම් දුකුළා ඇවැත් වේ. තමාගේ පුඟුල්සතුයෙහි නම් ඇවැත් නැති.
ගිලන් වැ පිවිසේ නම්, ශීතයෙන් හෝ උෂ්ණයෙන් හෝ පීඩිත වැ පිවිසේ නම්, ඇවැත් නැත. ආපදාවෙහි ද උම්මත්තකයහට ද ආදිකම්මිකයාහට ද ඇවැත් නැති.
සවැනි අනුපඛජ්ජශික්‍ෂාපදය යි.
6. 2. 7.
නික්කඩ්ඪන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සතළොස්වගැ මහණහු මෙහි ඇපි වස් වසන්නම්හ යි එක්තරා පිටිසර මහවෙහෙරක් පිළිසකර කෙරෙති. සවග මහණහු වෙහෙර පිළිසකර කරන සතළොස් වගැ මහණුන් දුටුහු, දැක මෙසේ කීහු: ඇවැත්නි, මේ සතළොස්වගැ මහණහු වෙහෙරක් පිළිසකර කෙරෙති. එකැතින් ඔවුන් නඟා යවම්හ යි. ඇතැම් කෙනෙක් මෙසේ කීහු: ඇවැත්නි, යම්තාක් පිළිසකර කෙරෙත් නම් ඒතාක් බලාපොරොත්තු වවු. පිළිසකර කළ කල්හි නඟා යවම්හ යි. එකල්හි සවගමහණහු සතළොස්වගැ මහණුන්හට මෙය කීහු: “ඇවැත්නි, නැගිටිවු වෙහෙර අපට පැමිණේ ය” යි ඇවැත්නි, කැල මැ කියයුතු නො වේ ද, එසේ වී නම් අපිදු අනෙකක් පිළිසකර කරන්නම්හ යි. ඇවැත්නි, සඟසතු වෙහෙරක් නො වේ ද? එසේ යැ ඇවැත්නි, සඟසතු වෙහෙරකි. නැගිටිවු ඇවැත්නි, වෙහෙර අපට පැමිණෙයි. ඇවැත්නි, වෙහෙර විශාල ය. තෙපි ද වසවු ඇපිදු වසම්හ. නැගිටිවු ඇවැත්නි, වෙහෙර අපට පැමිණේ යැ යි කිපියෝ නො සියමන් වූවෝ ග්‍රීවයෙන් ගෙන ඇද දමත්. ඔහු අදිනු ලබන්නෝ හඬති. භික්‍ෂූහු මෙසේ කීහු: කුමකට තෙපි ඇවැත්නි, හඬවු දැ යි. ඇවැත්නි, මේ සවග මහණහු කිපියෝ නො සියමන් වූවෝ අප සඟසතු වෙහෙරින් ඇද දමති.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු කිපියෝ නො සියමන් වූවෝ මහණුන් සඟසතු වෙහෙරකින් ඇද දැමූහු දැ යි. … සැබෑ ද මහණෙනි, තෙපි කිපියෝ නො සියමන් වූවෝ මහණුන් සඟසතු වෙහෙරින් ඇද දමවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි කිපියෝ නො සියමන් වූවෝ මහණුන් සඟසතු වෙහෙරකින් ඇද දැමූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් කිපියේ නොසියමන් වූයේ මහණක්හු සඟසතු වෙහෙරකින් ඇද දමන්නේ නම් හෝ ඇද දමවන්නේ නම් හෝ පචිති වේ” යයි.
3. යො පන: යම්, යම්බඳු … භික්ඛු … මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. භික්ඛුං: අන් මහණක්හු. කුපිතෝ අනත්තමනෝ: නො ඇලුණේ හැපුණු සිත් ඇතියේ හටගත් (පිළිඝු) හුල් ඇතියේ.
සඞ්ඝිකවිහාර නම්: සඟනට දෙන ලද්දෙක් පරිත්‍යක්තයෙක් වෙයි.
නික්කඩ්ඪෙය්‍ය: ගර්‍භයෙන් ගෙන අගුදොරට ඇද දමා නම් පචිති ඇවැත් වේ. අගුදොර ගෙන පිටතට ඇද දමා නම් පචිති ඇවැත් වේ. එක් පියොවකින් බොහෝ වූ ද දොරටු ඉක්මවා නම් පචිති ඇවැත් වේ. නික්කඩ්ඪාපෙය්‍ය: මෙරමා අණවා නම් දුකුළා ඇවැත් වේ. වරක් ඇණවුම් ලදුයේ බොහෝ වූ ද දොරටු ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
සඟසතුයෙහි සඟසතුසන් ඇතියේ කුපිත වැ නො සතුටු වැ ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ පචිති ඇවැත් වේ. සඟසතුයෙහි විමති ඇතියේ කුපිත වැ නො සතුටු වැ ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ පචිති ඇවැත් වේ. සඟසතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ කුපිත වැ නො සතුටු වැ ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ පචිති ඇවැත් වේ.
ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ දුකුළා ඇවැත් වේ. වෙහෙරෙහි උවසරින් හෝ උවටැන්හලින් හෝ මඩුවෙකින් හෝ රුක්මුලෙකින් හෝ එළිමහනෙකින් හෝ ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ දුකුළා ඇවැත් වේ. ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් දුකුළා ඇවැත් වේ.
අනුපසපනක්හු වෙහෙරින් හෝ වෙහෙරැ උවසරින් හෝ උවටැන් හලින් හෝ මඩුවෙකින් හෝ රුක්මුලකින් හෝ එළිමහනෙකින් හෝ ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ දුකුළා ඇවැත් වේ. ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ දුකුළා ඇවැත් වේ.
පුඟුල්සතුයෙහි සඟසතුසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ අනෙකක්හුගේ පුඟුල්සතුයෙහි නම් දුකුළා ඇවැත් වේ. තමාගේ පුඟුල්සතුයෙහි නම් ඇවැත් නැති.
අලජ්ජියකු ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ උමතුවක්හු ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇදදමවා නම් හෝ ඩබර කරන්නක්හු … කළහ කරන්නක්හු … විවාද කරන්නක්හු … බහින් බස් වන්නක්හු … සඟහු කෙරෙහි අධිකරණ කරන්නක්හු ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ මැනැවින් නො පවත්නා වූ අතැවැස්සක්හු හෝ සද්ධි විහාරිකයක්හු හෝ ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ (ඇවැත් නැති) උම්මත්තකයහට ද ආදිකම්මිකයහට ද ඇවැත් නැති.
සත්වැනි නික්කඩ්ඪනශික්‍ෂාපදය යි.
6. 2. 8.
වේහාසකුටි ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සඟසතු වෙහෙරෙක්හි මතුමහලින් යුත් කිළියෙකැ දෙමහණ කෙනෙකි. එක් නමෙක් යටැ වෙසෙයි. එක් නමෙක් මතුයෙහි වෙසේ. මතුයෙහි වූ මහණ අටනියෙහි (ඇඳවත) සවිකළ පා ඇති ඇඳෙක යුහුසුලු වැ හුන්නේ යි. ඇඳපා වැටී යටැ හුන් මහණහුගේ මත්තෙහි වැතිරිණි. ඒ මහණ හඬ නැඟීය. භික්‍ෂූහු දිව අවුත් “ඇවැත්නි, තෙපි කුමට හඬ නැඟුවයි එ මහණහට කීහු. එකල්හි ඒ මහණ මහණුන්හට තෙල කරුණු සැලකෙළේ යි.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් මහණ සඟසතු වෙහෙරෙක්හි මතුමහලින් යුත් කිළියෙකැ අටනියෙහි සවිකළ පා ඇති ඇඳෙක යුහුසුලුව වැ හුන්නේ දැ යි … සැබෑ ද මහණ තෝ සඟසතු වෙහෙරෙක්හි මතුමහලින් යුත් කිළියෙකැ අටනියෙහි සවිකළ පා ඇති ඇඳෙකැ යුහුසුලු වැ හිඳිහි දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස්පුරුෂය, තෝ සඟසතු වෙහෙරෙක්හි මතුමහලින් යුත් කිළියෙකැ අටනියෙහි සවිකළ පා ඇති ඇඳෙකැ යුහුසුලු වැ හුන්නෙහි ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් සඟසතු වෙහෙරෙකැ මතුමහල් කිළියෙක්හි අටනියෙහි සවිකළ පා ඇති ඇඳෙකැ හෝ පුටුවෙකැ හෝ හිඳින්නේ නම් හෝ නිදන්නේ නම් හෝ පචිති ඇවැත් වේ” යයි.
3. යො පන: යමෙක්, යම් බඳුයෙක් … භික්ඛු: … මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
සඞ්ඝික විහාර නම්: සඟනට දෙන ලද්දෙක් පරිත්‍යක්තයෙක් වෙයි.
වේහාසකුටි නම්: මැදුම් පිරිම්නියක්හුගේ හිස නො ගැටෙන තැනි.
ආහච්චපාදක නම්: ඇඳ අටනියෙහි විද සවිකොට තබන ලද්දේ වෙයි.
ආහච්චපාදක නම්: පුටුව අටනියෙහි විද සවිකොට තබන ලද්දේ වෙයි.
අභිනිසීදෙය්‍ය: එහි වැද හිඳිනේ නම් පචිති ඇවැත් වේ.
අභිනිපජෙජය්‍ය: එහි වැදහෝනේ නම් පචිති ඇවැත් වේ.
සඟසතුයෙහි සඟසතු සන් ඇතියේ මතුමහල් කිළියෙහි අටනියෙහි සවිකළ පා ඇති ඇඳෙකැ හෝ පුටුවෙකැ හෝ වැදහිඳී නම් හෝ වැදහොවී නම් හෝ පචිති ඇවැත් වේ. සඟසතුයෙහි විමති ඇතියේ … සඟසතුයෙහි පුඟුල්සන් ඇතියේ මතුමහල් කිළියෙහි අටනියෙහි සවිකළ පා ඇති ඇඳෙකැ හෝ පුටුවෙකැ හෝ වැදහිඳී නම් හෝ වැදහොවී නම් හෝ පචිති ඇවැත් වේ.
පුඟුල්සතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ අනෙකක්හුගේ පුඟුල්සතුයෙහි නම් දුකුළා ඇවැත් වේ. තමාගේ පුඟුල්සතුයෙහි නම් ඇවැත් නැති.
මතුමහලක් නැති කිළියෙහි හිසගැටෙන කිළියෙහි යටැ පරිභෝග නො වේ නම් පුවරුවලින් තැනුණෙක් වේ නම් (ඇඳපුටුහි) පාමුදුන ඇණ ලන ලද වේ නම් එහි සිටියේ ගනී නම් හෝ (අනෙකක්) එල්වන්නේ නම් හෝ (ඇවැත් නැති) උම්මත්තකයහට ද ආදිකම්මිකයහට ද ඇවැත් නැති.
අටවැනි වේහාසකුටිශික්‍ෂාපද යි.
6. 2. 9.
මහල්ලක විහාර ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් ඡන්නයන්ගේ උපස්ථායක වූ මහාමාත්‍රයෙක් ආයුෂ්මත් ඡන්නහට වෙහෙරක් කරවයි. එකල්හි ආයුෂ්මත් ඡන්න කළ නිමාම් ඇති වෙහෙර පුන පුනා සෙවෙනි කරැවී. පුන පුනා අලෙව් දෙවී. ඉතා බර වූ වෙහෙර ඇද වැටිණ. එකල්හි ඡන්න තෙමේ තණ ද දර ද ඇද රැස් කරනුයේ එක්තරා බමුණක්හුගේ යව කෙත වැනසී ය. එකල්හි ඒ බමුණු ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: කෙසේ නම් පින්වත්හු අපගේ යව කෙත වැනැසූ දැ යි භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරු වන ඒ බමුණක්හුගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලාමක කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආයුෂ්මත් ඡන්න කළ නිමාම් ඇති වෙහෙර පුනපුනා සෙවෙනි කරැවී ද? පුනපුනා ලෙපනය කරැවී ද? ඉතා බර වූ වෙහෙර ඇද වැටිණැ යි … සැබෑ ද? ඡන්න, තෝ කළ නිමාම් ඇති වෙහෙර පුනපුනා සෙවෙනි කරවූයෙහි ද? පුනපුනා ලෙපනය කරවූයෙහි ද? ඉතා බර වූ වෙහෙර ඇද වැටිණැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස් පුරුෂය, තෝ කළ නිමාම් ඇති වෙහෙරක් පුනපුනා සෙවෙනි කරවූයෙහි ද? පුනපුනා ලෙපනය කරවූයෙහි ද? ඉතා බර වූ වෙහෙර ඇද වැටිණ. හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය ට හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“මහත් වෙහෙරක් කරවන මහණහු විසින් ද්වාරකෝසය දක්වා අගුළු තරවන පිණිස ද, වාකවුළු පිරියම් පිණිස ද (පුනපුනා ලිම්පනය කළ යුතු යි) සෙවින්න පිළිබඳ දෙතුන් පරික්‍ෂේපයක් තෘණ නැති තන්හි සිටියහු විසින් විධාන කළ යුතු යැ. ඉදින් ඒ දෙතුන් පරික්‍ෂේපයකින් මත්තෙහි තෘණ නැති තන්හිදු සිටියේ විධාන කරන්නේ නම් පචිති වේ” යයි.
3. මහල්ලක නම්: (කරවා දෙන) හිමියකු ඇති ‘වෙහෙරැ’යි කියනු ලැබේ. විහාර නම්: ඇතුළතැ අලෙව් දුන්නේ හෝ බැහැරැ අලෙව් දුන්නේ හෝ ඇතුළතැ බැහැරැ අලෙව් දුන්නේ හෝ වෙයි.
කාරයමානෙන: කරන්නේ හෝ කරවන්නේ හෝ යි.
යාවද්වාරකෝසා: දොරබා අවට අත්පස තෙක්
අග්ගලට්ඨපනාය: දොරගුළු තහවුරු වැ පැවැත්ම පිණිස.
ආලෝකසන්‍ධිපරිකම්මාය: වාකවුළුහි පිරියම් පිණිස, ශ්වේතවර්‍ණ යැ කාලවර්‍ණ යැ ගෛරික පරිකර්‍ම යැ මාලාකර්‍ම යැ ලතාකර්‍ම යැ මකරදන්තක යැ පඤ්චපටික යැ (කරන්නට වටී).
ද්වත්තිච්ඡදනස්ස පරියායං අප්පහරිතේ ඨිතෙන අධිට්ඨාතබ්බං: මෙහි හරිත නම්: පූර්‍වාන්න යැ අපරාන්න යි. ඉදින් හරිතයෙහි (තණබිම්හි) සිටියේ විධාන කෙරේ නම් දුකුළා ඇවැත් වේ. ඍජු මාර්‍ගයෙන් සොයන්නහුට (සෙවිලි කරන්නහුට) දෙමගක් විධාන කොට තෙවන මග අණවා බැහැර යා යුතු යි. පරික්‍ෂේපයෙන් සොයන්නහුට දෙ පරියායක් විධාන කොට තෙවන පරියාය අණවා බැහැර යා යුතු යි.
තතො චෙ උත්තරිං අප්පහරිතෙපි ඨිතො අධිට්ඨහෙය්‍ය: උළුයෙන් සොයන්නා (සෙවිලි කරන්නා) හට උළුයෙහි උළුයෙහි පචිති ඇවැත් වේ. ගලින් සොයන්නාහට ගලෙහි ගලෙහි පචිති ඇවැත් වේ. සුන්නෙන් සොයන්නාහට පිඬෙහි පිඬෙහි පචිති ඇවැත් වේ. තෘණයෙන් සොයන්නා හට කැරලියෙහි කැරලියෙහි පචිති ඇවැත් වේ. පර්ණයෙන් සොයන්නා හට පර්ණයෙහි පර්ණයෙහි පචිති ඇවැත් වේ.
අයිරා දෙතුන් පරියාහි අයිරාසන් ඇතියේ විධාන කෙරේ නම් පචිති ඇවැත් වේ. අයිරා දෙතුන් පරියාහි විමති ඇතියේ විධාන කෙරේ නම් පචිති ඇවැත් වේ. අයිරා දෙතුන් පරියාහි උනුසන් ඇතියේ විධාන කෙරේ නම් පචිති ඇවැත් වේ.
උනු දෙතුන් පරියාහි අයිරාසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. උනු දෙතුන් පරියාහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. උනු දෙතුන් පරියාහි උනුසන් ඇතියේ නම් ඇවැත් නැති.
දෙතුන් පරියාහි, උනු දෙතුන් පරියාහි, ලෙනෙහි, ගුහායෙහි, තණකිළියෙහි මෙරමා සඳහා නම්, සිය ධනයෙන් නම් වසන ගෙය තබා හැම තන්හි ඇවැත් නැති. උම්මත්තකයහට ද ආදිකම්මිකයහට ද ඇවැත් නැති.
නවවැනි මහල්ලකවිහාරශික්‍ෂාපදය යි.
6. 2. 10.
සප්පාණක ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු අළවු නුවරැ අග්ගාලව චෛත්‍යයෙහි වැඩවෙසෙති. එසමයෙහි අළවු නුවරැ වැසි භික්‍ෂූහු නවාම් කරනුවෝ දැන දැන පණුවන් සහිත ජලය තණකොළ වලට ද මැටිවලට ද ඉසීම කෙරෙත් ඉස් වීම ද කරවත්.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් අළවු නුවරැ වැසි භික්‍ෂූහු දැන දැන පණුවන් සහිත ජලය තණකොළවලට ද මැටිවලට ද ඉසීම කළාහු ද? ඉසීම කැරැවූහු දැ යි. … සැබෑ ද? මහණෙනි, තෙපි දැන දැන පණුවන් සහිත ජලය තණකොළවලට ද මැටිවලට ද ඉසීම කරවු ද? ඉසීම කරවවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරැහූ … කෙසේ නම් හිස් පුරුෂයෙනි තෙපි දැනැ දැනැ පණුවන් සහිත ජලය තණකොළවලට ද මැටිවලට ද ඉසීම කළහු ද? ඉසීම කැරවූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් දැනැ දැනැ පණුවන් සහිත ජලය තණකොළවලට හෝ මැටිවලට හෝ ඉසින්නේ නම් හෝ ඉස්වන්නේ නම් හෝ පචිති වේ” යයි.
3. යෝපන: යම්, යම් බඳු … භික්ඛු … මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
ජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත්.
සිඤ්චෙය්‍ය: තෙමේ ඉසී නම් පචිති ඇවැත් වේ. සිඤ්චාපෙය්‍ය: අනෙකක්හට අණවා නම් පචිති ඇවැත් වේ. වරක් අණවන ලද්දේ බොහෝ කොට ද ඉසී නම් පචිති ඇවැත් වේ.
පණුවන් ඇති ජලයෙහි පණුවන් ඇති සන් ඇතියේ තණකොළ වලට ද මැටිවලට ද ඉසී නම් හෝ ඉස්වා නම් හෝ පචිති ඇවැත් වේ. පණුවන් ඇතියෙහි විමති ඇතියේ තණකොළවලට ද මැටිවලට ද ඉසී නම් හෝ ඉස්වා නම් හෝ දුකුළා ඇවැත් වේ. පණුවන් ඇතියෙහි පණුවන් නැති සන් ඇතියේ තණකොළවලට ද මැටිවලට ද ඉසී නම් හෝ ඉස්වා නම් හෝ ඇවැත් නැති.
පණුවන් නැතියෙහි පණුවන් ඇති සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පණුවන් නැතියෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පණුවන් නැතියෙහි පණුවන් නැති සන් ඇතියේ නම් ඇවැත් නැති.
නො සිතා කරන්නහුට ද නො සිහියෙන් කරන්නහුට ද නො දන්නහුට ද උම්මත්තකයහට ද ආදිකම්මිකයහට ද ඇවැත් නැති.
දසවැනි සප්පාණක ශික්‍ෂාපද යි.
ද්විතීය භූතගාම වර්‍ග යි.