Pācittiya

Expiation Rules

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 4249 segments

පෙන්වන කොටස් 4201-4249 න් 4249

නොගිලන්වූවා තමා උදෙසා විනවා නම් පියෝහි දුකුළා යැ. පිළිලැබීමෙන් වළඳන්නෙමියි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
නොගිලන්වූවා නොගිලන්සන් ඇතිවැ ගිතෙල් විනවා වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වෙයි. නොගිලන්වූවා විමති ඇතිවැ ගිතෙල් විනවා වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වෙයි. නොගිලන්වූවා ගිලන්සන් ඇතිවැ ගිතෙල් විනවා නම් පිළිදෙස්නී ඇවැත් වේ.
ගිලන්වූවා නොගිලන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන්වූවා විමතිඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන්වූවා ගිලන්සන් ඇතියා නම් ඇවැත් නැති.
අනාපත්ති: ගිලනහට ගිලනක්වැ විනවා නොගිලනක්වැ වළඳා නම්, ගිලනගේ ශේෂය වළඳා නම්, නෑයන්ගේ, පෑවරියන්ගේ, අනෙකක්හු උදෙසා නම්, තමාගේ ධනයෙන්, උන්මත්තිකාවට, ආදිකම්මිකාවට ඇවැත් නැති.
පළමු පිළිදෙස්නී සිකපදය නිමි.
දෙවන – අටවන පිළිදෙස්නී සිකපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි සවග මෙහෙණෝ තලතෙල් විනවා වළඳත්. ... මී විනවා වළඳත්. ... උක්පැණි විනවා වළඳත්. ... දියමස් විනවා වළඳත්. ... ගොඩමස් විනවා වළඳත්. ... කිරි විනවා වළඳත්. ... දිහි විනවා වළඳත්. මිනිස්සු ලමුකොට සිතති. නුගුණ පවසති. දොස්පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ දිහි විනවා ගෙන වැළඳූහුදැ” යි. කවරකුහට මිහිරිදැය නොමැනැවිද, කවරකුහට රසවත්දැය නොරුස්නේ දැ යි. භික්‍ෂුණීහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. කෙසේ නම් සවග මෙහෙණෝ දිහි විනවා වැළඳූහුදැ යි ... සැබෑද මහණෙනි සවග මෙහෙණෝ දිහි විනවා වළඳත්දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු විගැරහූ ... කෙසේ නම් මහණෙනි සවග මෙහෙණෝ දිහි විනවා වැළඳූහුද. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් දිහි විනවා වළඳා නම් ඒ මෙහෙණ විසින් ආර්‍ය්‍යාවෙනි ගැරහියයුතු වූ නුසුදුසු වූ පිළිදෙස්නට නිසි ඇවැතකට පැමිණියෙමි. එය පිළිදෙසමියි.
මෙසේත් භාග්‍යවතුන් විසින් මෙහෙණන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි මෙහෙණෝ ගිලන්වූවාහු වෙති. ගිලනුන් පුළුවුස්නා මෙහෙණෝ ගිලන් මෙහෙණන්හට තෙල කරුණ කීහු. “කිමෙක්ද ආර්‍ය්‍යාවෙනි ඉවසිය හැකිද කිම යැපියහැකිදැ”යි. “ආර්‍ය්‍යාවෙනි, ඇපි පෙරැ දිහි විනවා වළඳමු. එයින් අපට පහසුවෙයි. දැන් වනාහි භාග්‍යවතුන් විසින් පිළිකෙව් කරනලදැයි කුකුස්කරන්නමෝ නො විනවමු. එයින් අපට පහසු නො වේයැ” යි. තෙල කරුණ භාග්‍යවතුන් හට ඇරොජූහු. ... මහණෙනි, ගිලන් මෙහෙණහට දිහි විනවා බුදින්නට අනුදනිමි. මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් නොගිලන්වූවා දිහි විනවා වළඳා නම් ඒ මෙහෙණ විසින් ‘ආර්‍ය්‍යාවෙනි ගැරහියයුතු වූ නුසුදුසු වූ පිළිදෙස්නට නිසි ඇවැතකට පැමිණියෙමි, එය පිළිදෙසමියි පටිදේසනා කළයුතු යි.
4. යා පන යනු: යම් යම්බඳු ... භික්ඛුනී යනු ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහිලා අදහස් කරන ලද මෙහෙණයි.
අගිලානා නම්: යමකට දිහියෙන් වෙන්වැ පහසු වේ නම් හෝ යැ. ගිලානා නම් යමකට දිහියෙන් වෙන්වැ පහසු නො වේ නම් හෝ යැ. තෙල නම් තලතෙල්, අබතෙල්, මීතෙල්, එරඬුතෙල්, වුරුණුතෙල් යැ. මධු නම් මැසිමීයැ, ඵාණිත නම් උක්පැණි යැ. මච්ඡ නම් දියමසයැයි කියනු ලැබේ. මංස නම් යම්කෙනකුන්ගේ මස් කැප නම් ඔවුන්ගේ මස්යැ. ඛීර නම් ගවකිරි හෝ එළුකිරි හෝ මිහිකිරි හෝ යම්කෙනකුන්ගේ මස් කැපනම් ඔවුන්ගේ කිරි යැ. දධි නම් ඔවුන්ගේමැ දිහියැ.
නොගිලන්වූවා තමා උදෙසා විනවා නම් පියෝහි දුකුළා යැ. පිළිලැබීමෙන් වළඳන්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වේ. පරඟලායෙහි පරඟලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
නොගිලන්වූවා නොගිලන්සන් ඇතිවැ දිහි විනවා වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වෙයි. නොගිලන්වූවා විමති ඇතිවැ දිහි විනවා වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වෙයි. නොගිලන්වූවා ගිලන්සන් ඇතිවැ දිහි විනවා වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වේ.
ගිලන්වූවා නොගිලන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන්වූවා විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන්වූවා ගිලන්සන් ඇතියා නම් ඇවැත් නැති.
අනාපත්ති: ගිලනහට, ගිලනක් වැ විනවා නොගිලනක් වැ වළඳා නම්, ගිලනකගේ ශේෂය වළඳා නම්, නෑයන්ගේ නම්, පැවරියන්ගේ නම්, අනෙකක්හු උදෙසා නම්, තමාගේ ධනයෙන් නම්, උමතුවූවකට, ආදිකම්මිකාවට ඇවැත් නැති.
අටවැනි පිළිදෙස්නී සිකපදයි.
7. ආර්‍ය්‍යාවෙනි අෂ්ට පාටිදේසනීය ධර්‍මයෝ උදෙසන ලදහ. එහිලා ආර්‍ය්‍යාවන් පුළුවුස්මි, කිම පිරිසුදු වවුද? දෙවනවට ද පුළුවුස්මි, කිම පිරිසුදු වවුද? තෙවනවට ද පුළුවුස්මි, කිම පිරිසුදුවවු ද? මෙහිලා ආර්‍ය්‍යාවෝ පරිශුද්ධයහ. එහෙයින් තූෂ්ණීම්භූතයහ. තෙල කරුණ මෙසේ දරමියි.
පාටිදේසනීය ශික්‍ෂා නිමි.
6. සේඛියකාණ්ඩය
ආර්‍ය්‍යාවෙනි මේ සේඛියධර්‍මයෝ උදෙසීමට පැමිණෙත්.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි සවග මෙහෙණෝ ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වමින් හඳිත්. මිනිස්සු ලමුකොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්. කෙසේ නම් මෙහෙණෝ කාමභෝගී ගිහියන් මෙන් ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වමින් හැන්දාහුදැයි.
2. භික්‍ෂුණීහු ලමුකොට සිතන නුගුණපවසන දොස්පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වමින් හැන්දාහුදැයි ... සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ ඉදිරිපසුනුදු පසුපසිනුදු එල්වමින් හඳිත්දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි සවග මෙහෙණෝ ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වමින් හැන්දාහුද? මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නොවෙයි ... මහණෙනි මෙසේ මේ සිකපදය ද මෙහෙණෝ උදෙසත්වා.
පිරිමඬුලු කොට හඳින්නෙමියි හික්මිය යුතු යි.
3. නැබමඬල දණමඬල වසන්නිය විසින් පිරිමඬුලු කොට හැන්ද යුතුයි. යම් මෙහෙණක් අනාදරිය පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් හඳී නම් දුකුළා ඇවැත් වෙයි.
අනාපත්ති: නො සිතා කරන්නියට, නො සිහියෙන් කරන්නියට, නො දන්නියට, ගිලනහට, ආපදායෙහි ... උමතුඇතියාහට, ආදිකම්මිකාවට ඇවැත් නැති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි සවග මෙහෙණෝ කාමභෝගී ගිහියන් මෙන් දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළගැසීම ද කෙරෙත්. මිනිස්සු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළගැසීම ද කොළෝදැ”යි.
භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළගැසීම ද කොළෝ දැයි. එකල්හි මෙහෙණෝ මහණුන්හට තෙල කරුණ ඇරොජූහු. මහණහු තෙල කරුණ භාග්‍යවතුන්හට සැලකළහ.
3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහිලා මේ අවසරයෙහිලා බික්සඟන රැස්කරවා දැහැමි කථා කොට මහණුන් පුළුවුත් සේක. සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළගැසීම ද කෙරෙත්දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... “කෙසේ නම් මහණෙනි සවග මෙහෙණෝ දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළගැසීම ද කොළෝ දැයි. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නොවෙයි. … මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළගැසීම හෝ නොකරන්නෙමි යි හික්මිය යුතු යි.
මෙසේත් වනාහි භාග්‍යවතුන් විසින් මේ සිකපදය මෙහෙණන්හට පනවන ලද්දේ වෙයි.
4. එසමයෙහි ගිලන් වූ මෙහෙණෝ දියෙහි මහදියටනුද සුළුදියටනුද කෙළගැසීම ද කරන්නට කුකුසත්. තෙල කරුණ භාග්‍යවතුන්හට සැලකළහ ... මහණෙනි ගිලන් මෙහෙණහට දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළගැසීම ද කරන්නට අනුදනිමි. මෙසේද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
නො ගිලන්වැ දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළගැසීම හෝ නොකරන්නෙමි යි හික්මිය යුතු යි.
5. නො ගිලන විසින් දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළගැසීම හෝ නොකළ යුතු යි. යම් මෙහෙණක් අනාදරිය පිණිස නොගිලන්වැ දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළගැසීම හෝ කරා නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: නොසිතා කරන්නියට, නො සිහියෙන් කරන්නියට, නො දන්නියට, ගිලනහට, ගොඩබිම කරන ලද්ද දියටබැසයේ නම්, ආපදායෙහි, උමතුඇතියාට, විසුරුණු සිත් ඇතියාට, වේදනායෙන් පෙළුණියට, ආදිකම්මිකාවට ඇවැත් නැති.
පසළොස්වනු සිකපද යි.
ආර්‍ය්‍යාවෙනි සේඛියධර්‍මයෝ උදෙසන ලදහ. එහිලා ආර්‍ය්‍යාවන් පුළුවුස්මි. කිම පිරිසුදු වවුද? දෙවනවට ද පුළුවුස්මි, කිම පිරිසුදු වවුද? තෙවනවට ද පුළුවුස්මි, කිම පිරිසුදුවවු ද? මෙහිලා ආර්‍ය්‍යාවෝ පරිශුද්ධයහ. එහෙයින් තූෂ්ණීම්භූතයහ. තෙල කරුණ මෙසේ දරමි යි.
සේඛිය ශික්‍ෂා නිමි.
7. අධිකරණසමථ
ආර්‍ය්‍යාවෙනි මේ සප්ත අධිකරණසමථධර්‍මයෝ උදෙසීමට පැමිණෙත්.
1. උපනුපන් (විවාදාදී) අධිකරණයන්ගේ ශමනය පිණිස ව්‍යුපශමය පිණිස සම්මුඛාවිනය දියයුත්තේ යැ. සතිවිනය දියයුත්තේ යැ, අමූළ්හවිනය දියයුත්තේ යැ. ප්‍රතිඥායෙන් කරවිය යුතුයැ, යේභුය්‍යසිකායැ, තස්සපාපිය්‍යසිකා යැ, තිණවත්‍ථාරක යි.
2. ආර්‍ය්‍යාවරුනි සප්ත අධිකරණසමථ ධර්‍මයෝ උදෙසන ලදහ. එහිලා ආර්‍ය්‍යාවන් පුළුවුස්මි. කිම පිරිසුදු වවුද? දෙවනවට ද පුළුවුස්මි, කිම පිරිසුදු වවුද? තෙවනවට ද පුළුවුස්මි, කිම පිරිසුදුවවු ද? මෙහිලා ආර්‍ය්‍යාවෝ පරිශුද්ධයහ. එහෙයින් තූෂ්ණීම්භූතයහ. තෙල කරුණ මෙසේ දරමි යි.
අධිකරණසමථයෝ නිමියාහුයි.
3. ආර්‍ය්‍යාවෙනි නිදානය උදෙසන ලදී. අෂ්ට පාරාජික ධර්‍මයෝ උදෙසන ලදහ, සතළොස් සඟවෙසෙස් දහම්හු උදෙසන ලදහ. තිස් නිසැඟි පචිති දහම්හු උදෙසන ලදහ. එකසියසසැටක් පචිති දහම්හු උදෙසන ලදහ. අට පිළිදෙස්නී දහම්හු උදෙසන ලදහ. සේඛිය දහම්හු උදෙසන ලදහ. සත් අධිකරණ සමථ දහම්හු උදෙසන ලදහ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සූත්‍ර සංඛ්‍යාත භික්‍ෂුණී විභඞ්ගයෙහි ආවාවූ භික්‍ෂුණීවිභඞ්ගට ඇතුළත් වූ මෙතෙක් ශික්‍ෂාවෝ අඩමසක් පාසා උදෙසීමට පැමිණෙත්. සමඟ වූ සතුටුවන විවාද නො කරන හැමදෙනා විසින් මැ මෙහිලා හික්මිය යුතු යි.
භික්‍ෂුණී විභඞ්ගය නිමි.
පාචිත්තියපාළි නිමියා යැ.