චණ්ඩී නම්: කිපෙනසුලු වූවා කියන ලැබෙයි.
සෝකවස්සා නම්: මෙරමාහට දුක් උපදවයි, සෝ පිවිස්වයි.
සික්ඛමානා නම්: දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇතියා යැ.
වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම් වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරට ද දුකුළා ඇවැත් වේ.
නො දන්නී උපසපන් කරවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
නවවන සිකපද යි.
4. 8. 10.
දසවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ දෙමාපියන් විසිනුදු හිමියා විසිනුදු නො අනුදත් සික්මනුවක උපසපන් කරවයි. දෙමාපියෝ ද හිමියා ද ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ අප විසින් නො අනුදත් සික්මනුව උපසපන් කරවූ දැ”යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන දෙමාපියන්ගේ ද හිමියාගේ ද (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ දෙමාපියන් විසිනුදු හිමියා විසිනුදු නො අනුදත් සික්මනුව උපසපන් කරවූ” දැ යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ දෙමාපියන් විසිනුදු හිමියා විසිනුදු නො අනුදත් සික්මනුව උපසපන් කරවා දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ දෙමාපියන් විසිනුදු හිමියා විසිනුදු නො අනුදත් සික්මනුව උපසපන් කරවූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් දෙමාපියන් විසින් හෝ හිමියා විසින් හෝ නො අනුදත් හික්මනුව උපසපන් කරවා නම් පචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
මාතාපිතරො නම්: ජනකයෝ කියනු ලැබෙත්.
සාමික නම්: යමක්හු විසින් පරිගෘහිත වෙයි.
අනනුඤ්ඤාතා: නො පිළිවිසැ.
සික්ඛමානා නම්: දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇතියා යැ.
වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරට ද දුකුළා ඇවැත් වේ.
නො දන්නී උපසපන් කරවා නම්, පිළිවිසැ උපසපන් කරවා නම් ඇවැත් නැත, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දසවන සිකපද යි.
4. 8. 11.
එකොළොස්වන සිකපදය
1. එසමයෙහි වනාහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්‍දකනිවාප නම් වේළුවන වෙහෙරෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ හික්මනුවක උපසපන් කරවන්නෙමි යි ස්ථවිර භික්‍ෂූන් රැස් කරවා බොහෝ කෑ යුතු බිදිය යුතු දෑ බලා “ආර්‍ය්‍යාවෙනි, එතෙක් මම හික්මනුව උපසපන් නො කරවන්නෙමි”යි ස්ථවිර භික්‍ෂූන් නඟා යවා දේවදත්ත යැ කෝකාලිකයැ කටමොරකතිස්ස යැ ඛණ්ඩදෙවි පුත්‍ර යැ සමුද්දදත්ත යැ (යන මොවුන්) රැස් කරවා හික්මනුව උපසපන් කරවූ යැ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ පිරිවෙස් සැඳ දීමෙන් හික්මනුව උපසපන් කරවූ දැ”යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පිරිවෙස් සැඳ දීමෙන් හික්මනුව උපසපන් කරවූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පිරිවෙස් සැඳ දීමෙන් හික්මනුව උපසපන් කරවූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් පිරිවෙස් සැඳ දීමෙන් සික්මනුවක උපසපන් කරවා නම් පචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
3. පාරිවාසිකඡන්‍දදානෙන: පිරිස නැගිටි කල්හි.
සික්ඛමානා නම්: දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇතියා යැ.
වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහටද ඇජරට ද දුකුළා ඇවැත් වේ.
පිරිස නො නැගිටි කල්හි උපසපන් කරවා නම් ඇවැත් නැත, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
එකොළොස්වන සිකපද යි.
4. 8. 12.
දොළොස්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ වසක් පාසා උපසපන් කරවත්. මෙහෙණවර නො පොහෝනේ වෙයි. විහාරචාරිකායෙහි හැසිරෙන මිනිස්සු දැක ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ වසක් පාසා උපසපන් කරවූහු ද, මෙහෙණවර නො පොහෝනේ”යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ වසක් පාසා උපසපන් කරවූහුදැ”යි ... සැබෑද මහණෙනි, මෙහෙණෝ වසක් පාසා උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ වසක් පාසා උපසපන් කරවූහු ද. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් වසක් පාසා උපසපන් කරවා නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
අනුවස්සං: වසක් පාසා.
වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරට ද දුකුළා ඇවැත් වේ.
එක්වසක් අතරැ තබා උපසපන් කරවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දොළොස්වන සිකපද යි.
4. 8. 13.
තෙළෙස්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි මෙහෙණෝ එක්වසැ දෙදෙනකුන් උපසපන් කරවත්. මෙහෙණවර එසේම නො පොහෝනේ වෙයි. විහාරචාරිකායෙහි හැසිරෙන මිනිස්සු දැක එසේ මැ ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් මෙහෙණෝ එක්වසැ දෙදෙනකුන් උපසපන් කරවූහු ද? මෙහෙණවර එසේ මැ නො පොහෝනේ යැ යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ එක්වසැ දෙදෙනකුන් උපසපන් කරවූහුදැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ එක්වසැ දෙදෙනකුන් උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ එක්වසැ දෙදෙනෙකුන් උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් එක්වසැ දෙදෙනකුන් උපසපන් කරවා නම් පචිති වේ” යයි.
යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
ඒකං වස්සං: එක්වසැ.
ද්වෙ වුට්ඨාපෙය්‍ය: දෙදෙනකුන් උපසපන් කරවයි.
දෙදෙනකුන් උපසපන් කරවන්නෙමැ යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරට ද දුකුළා ඇවැත් වේ.
එක්වසැ එකක උපසපන් කරවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
තෙළෙස්වන සිකපද යි.
අට වැනි කුමාරීභූතවර්‍ග යි.
එහි උද්දානය:
කුමාරීභූත දෙසිඛ යැ සඞ්ඝසම්මත යැ ඌනද්වාදසවස්ස යැ අසම්මත යැ අලංතාව යැ චීවර යැ ද්වේවස්ස යැ සංසට්ඨ යැ (වර්‍ගය වේ.) සාමිකය සමග පාරිවාසික යැ අනුවස්ස යැ ද්වේවුට්ඨාපනසිඛයෙන් දැ යි.
9. ඡත්තුපාහනවර්‍ගය
4. 9. 1.
පළමු සිකපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මෙහෙණහු ඡත්‍ර හා වහන් ධරති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් ඡත්‍ර හා වහන් ධැරූහු දැ”යි. මෙහෙණහු ඒ ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පෙච්ඡ වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් ඡත්‍ර හා වහන් ධැරූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණහු ඡත්‍ර හා වහන් ධරත් ලැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ ... මහණෙනි, “කෙසේ නම් සවග මෙහෙණහු ඡත්‍ර හා වහන් ධැරූහු දැ”යි. මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක ඡත්‍ර හා වහන් ධරා නම් පචිති වේ” යයි.
භාග්‍යවතුන් විසින් මෙසේත් මේ සිකපදය මෙහෙණන්ට පනවන ලද්දේ වෙයි.
2. එසමයෙහි එක්තරා මෙහෙණක් ගිලන් වූවා වෙයි. ඇයට ඡත්‍ර හා වහන් නැති වැ පහසු නො වෙයි. භාග්‍යවතුන්ට මෙකරුණ දැන්වූහ ... “මහණෙනි, ගිලන් මෙහෙණට ඡත්‍ර හා වහන් අනුදනිමි”. මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් නො ගිලන්වැ ඡත්‍ර හා වහන් ධරා නම් පචිති වේ” යයි.
3. යාපන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
අගිලානා නම්: යමකට ඡත්‍ර හා වහන් නැති වැ පහසු වේ ද ඕ තොමෝ ය.
ගිලානා නම්: යමකට ඡත්‍ර හා වහන් නැති වැ පහසු නො වේ ද ඕ තොමෝ ය.
ඡත්ත නම්: මඩු බැඳි ලහබැඳි සේසත යැ, කළාල්සත යැ, පත්සතැ යි ඡත්‍ර තුනෙකි.
ධාරෙය්‍ය යනු : වරකුදු ධරා නම් පචිති ඇවැත් වේ.
නො ගිලන් වූවා නො ගිලන් සන් ඇති වැ ඡත්‍ර හා වහන් ධරා නම් පචිති ඇවැත් වෙයි. නො ගිලන් වූවා විමති ඇති වැ ඡත්‍ර හා වහන් ධරා නම් පචිති ඇවැත් වෙයි. නො ගිලන් වූවා ගිලන් සන් ඇති වැ ඡත්‍ර හා වහන් ධරා නම් පචිති ඇවැත් වෙයි.
ඡත්‍ර ධරා නම් වහන් නො ධරා නම් දුකුළා ඇවැත් වෙයි. වහන් ධරා නම් ඡත්‍ර නො ධරා නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූවා නො ගිලන් සන් ඇත්තී දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූවා විමති ඇත්තී දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූවා ගිලන් සන් ඇත්තී ඇවැත් නැති.
අනාපත්ති: ගිලන් වූවාට ද ආරාමයෙහි ආරාමූපචාරයෙහි ධරා නම් ඇයට ද ආපදායෙහි ද උම්මත්තිකාවට ද. ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
පළමු වැනි ශික්‍ෂාපද යි.
4. 9. 2.
දෙවන සිකපදය
1. සැවැත්නිදාන යි – එසමයෙහි සවග මෙහෙණහු යානයෙන් යෙති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් යානයෙන් ගියාහු දැ”යි. මෙහෙණහු ඒ ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණහු යානයෙන් ගියාහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණහු යානයෙන් යෙත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... මහණෙනි, කෙසේ නම් සවග මෙහෙණහු යානයෙන් ගියාහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් යානයෙන් යේ නම් පචිති ඇවැත් වේ”යයි.
භාග්‍යවතුන් විසින් මෙසේත් මේ ශික්‍ෂාපදය මෙහෙණන්ට පනවන ලද වෙයි.
2. එසමයෙහි එක්තරා මෙහෙණක් ගිලන් වූවා වෙයි. පයින් යන්නට නො හැකි වෙයි. භාග්‍යවතුන්ට මෙකරුණ දැන්වූහ ... මහණෙනි, ගිලන් මෙහෙණට යානය අනුදනිමි. මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් නො ගිලන් වැ යානයෙන් යේ නම් පචිති ඇවැත් වේ” යයි.
3. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු: ... මෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අභිප්‍රේත භික්‍ෂුණි යි.
අගිලාන නම්: පයින් යන්නට හැකි වෙයි.
ගිලාන නම්: පයින් යන්නට නොහැකි වෙයි.
යාන නම්: වය්හ යැ රථ යැ ශකට යැ ස්‍යන්‍දමානිකා යැ සිවිකා යැ පාටඞ්ක යි.
යායෙය්‍ය යනු: වරකුදු යානයෙන් යේ නම් පචිති ඇවැත් වේ.
නො ගිලන් වූවා නොගිලන් සන් ඇති වැ යානයෙන් යේ නම් පචිති ඇවැත් වෙයි. නො ගිලන් වූවා විමති ඇති වැ යානයෙන් යේ නම් පචිති ඇවැත් වෙයි. නොගිලන් වූවා ගිලන්සන් ඇති වැ යේ නම් පචිති ඇවැත් වෙයි. ගිලන් වූවා නොගිලන් සන් ඇති වැ යේ නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූවා විමති ඇති වැ යේ නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූවා ගිලන් සන් ඇති වැ යේ නම් ඇවැත් නැති.
අනාපත්ති: ගිලන් වූවාට ද ආපදායෙහි ද උමතු වූවාට ද ... ආදිකම්මික වූවාට ද ඇවැත් නැති.
දෙවැනි ශික්‍ෂාපද යි.
4. 9. 3.
තුන්වන සිකපදය
1. සැවැත්නිදාන යි – එසමයෙහි එක්තරා මෙහෙණක් එක්තරා ස්ත්‍රියකට කුලුපග වෙයි. එසද ඒ ස්ත්‍රී ඒ මෙහෙණට තෙල කරුණ කිව: “ඉඳ ආර්‍ය්‍යාවෙනි, මේ සඞ්ඝාණිය (කටී පලඳනාව) අසුවල් ස්ත්‍රියට දෙව”යි එසඳ ඒ මෙහෙණ ඉදින් මම පාත්‍රයෙන් ගෙන යන්නෙම් නම් මට නො සිහි වන්නේ යයි පැළඳගෙන ගියා යැ. වීථියෙහි දී එහි හුය සිඳුණු කල්හි මිණි විසිරිණ. මිනිස්සු ලමු කොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් සඞ්ඝාණිය ධැරූහු දැ”යි. ඒ මෙහෙණ ඒ මිනිසුන් විසින් කෙළිකවට කරනු ලබන්නී මකු වූයැ. ඉක්බිති ඒ මෙහෙණ මෙහෙණවරට ගොස් මෙහෙණන්ට තෙල කරුණ දැන්වූ යැ. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහු ... ඔහු ලමු කොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් සඞ්ඝාණිය දැරූ දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණක් සඞ්ඝාණිය දැරූ ලැ’යි. සැබෑ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ ... මහණෙනි, කෙසේ නම් මෙහෙණක් සඞ්ඝාණිය දැරූ ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ ... මහණෙනි මෙහෙණහු, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් සඞ්ඝාණිය ධරා නම් පචිති ඇවැත් වේ” යයි.
2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
සඞ්ඝාණි නම්: යම් කිසි කටී පලඳනාවකි.
ධාරෙති යනු: වරකුදු ධරා නම් පචිති ඇවැත් වේ.
අනාපත්ති: ආබාධ හේතුයෙන් කටීසූත්‍ර ධරා නම් ඇවැත් නැත. උමතුවූවාට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
තුන්වැනි ශික්‍ෂාපද යි.
4. 9. 4.
සතරවන සිකපදය
1. සැවැත්නිදාන යි – එසමයෙහි සවග මෙහෙණහු ස්ත්‍රී අලඞ්කාර ධරති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් ස්ත්‍රී අලංකාර දැරූහු දැ”යි. මෙහෙණහු ඒ ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණහු ස්ත්‍රී අලංකාර දැරූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණහු ස්ත්‍රී අලංකාර දරත්ලැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. බුදුහු ගැරැහූ ... මහණෙනි, කෙසේ නම් සවග මෙහෙණහු ස්ත්‍රී අලංකාර දැරූහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් ස්ත්‍රී අලංකාර දරා නම් පචිති ඇවැත් වේ” යි.