සවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ පිරිපුන් දොළොස් වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති, පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවති. ඔහු නො දැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ...
ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. ‘මහණෙනි, පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියකට දෙවසක් සැවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන්නට අනුදනිමි’යි. මෙසේ ද වනාහි මහණෙනි, දියයුතු යැ. ඒ පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියක විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟසිවුර එකස් කොට මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ යැ: ආර්‍ය්‍යාවෙනි, මෙ නම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් දොළොස් වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇති මම සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය යදිමි යි. දෙවන වටදු යැදිය යුතුයැ. තෙවනවට දු යැදිය යුතුයැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
2. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් දොළොස් වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂා සම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇත්තියට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂා සම්මුතිය දෙන්නේ යැ. මේ ඥප්ති යැ.
ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇති මෝතොමෝ සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂා සම්මුතිය යදියි. සඞ්ඝ තෙමේ පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇත්තියට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙයි. පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇත්තියට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂා සම්මුතිය දීම යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕතොමෝ නිහඬවන්නී යැ. යමකට නො රුස්නේ නම් ඕතොමෝ කියන්නී යැ. සඞ්ඝයා විසින් පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇත්තියට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන ලද්දී යැ. සඞ්ඝයාට රුස්නේ යැ. එහෙයින් නිහඬයහ. මෙය මෙසේ දරමියි.
පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ ඕ තොමෝ මෙසේ කියව යි කිය යුත්තී යැ. දෙවසක් පණිවායෙන් වැළකීම නො ඉක්ම වියයුතු සමාදානයක් කොට සමාදන් වෙමි ... දෙවසක් විකල් බොජුනෙන් වැළකීම නො ඉක්මවිය යුතු සමාදානයක් කොට සමාදන් වෙමියි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන්ට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවා නම් පචිති වේ”යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
පරිපුණ්ණද්වාදසවස්සා නම්: පැමිණි දොළොස්වස් ඇතියා යැ.
ගිහීගතා නම්: පිරිම්නියක්හු අතරට ගියා කියනු ලැබෙයි.
ද්වෙ වස්සානි: දෑවුරුද්දක්.
අසික්ඛිතසික්ඛා නම්: ශික්‍ෂාව නො දෙන ලද්දී හෝ වෙයි; දෙන ලද ශික්‍ෂාව කෝප්‍ය වූවා හෝ වේ.
වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ සිවුරක් හෝ සොයා නම්, සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් දෙ දුකුළා වෙයි. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරමෙහෙණට ද දුකුළා ඇවැත් වේ.
ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වේ.
අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සවන සිකපද යි.
4. 7. 7.
සත්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරනලද පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවත්. භික්‍ෂුණීහු මෙසේ කීහු: “එවු හික්මනුවෙනි, මෙය දනිවු. මෙය දෙවු. මෙය ගෙන එවු. මෙයින් ප්‍රයෝජන යැ. මෙය කැපකරවු” යි. ඔහු මෙසේ කීහු: ආර්‍ය්‍යාවෙනි, අපි හික්මනුවෝ නො වම්හ. අපි මෙහෙණෝ වම්හ යි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරනලද පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑද මහණෙනි, මෙහෙණෝ පිරිපුන් දොළොස් වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරනලද පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ පිරිපුන් දොළොස්වස් ඇති, දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරනලද පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. ‘මහණෙනි, පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියකට වුට්ඨාන සම්මුතිය දෙන්නට අනුදනිමි’යි. මෙසේ ද මහණෙනි, දිය යුතු යැ. පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියාවූ ඇය විසින් සඞ්ඝයා වෙත එළැඹැ උතුරුසඟසිවුර එකස් කොට මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ යැ: ආර්‍ය්‍යාවෙනි, මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් දොළොස් වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියාවූ මෙනම් ඇති මම සඞ්ඝයාගෙන් වුට්ඨාන සම්මුතිය යදිමි යි. දෙවනවට දු යැදිය යුතු යැ. තෙවනවට දු යැදිය යුතු යැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය.
3. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා: මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් වුට්ඨාන සම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාහට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියාවූ මෙනම් ඇත්තියට වුට්ඨාන සම්මුතිය දෙන්නේය. මේ ඥප්ති යැ.
ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් වුට්ඨාන සම්මුතිය යදියි. සඞ්ඝ තෙමේ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියාවූ මෙනම් ඇත්තියට වුට්ඨාන සම්මුතිය දෙයි. පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියාවූ මෙනම් ඇත්තියට වුට්ඨාන සම්මුතිය දීම යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬ වන්නී යැ. යමකට නො රුස්නේ නම් ඕතොමෝ කියන්නී යැ. සඞ්ඝයා විසින් පිරිපුන් දොළොස් වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙනම් ඇත්තියට වුට්ඨාන සම්මුතිය දෙන ලද්දී යැ. සඞ්ඝයාට රුස්නේය. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන්ට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරනලද පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවානම් පචිතිවේ” යයි.
4. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහිලා අදහස්කරන ලද භික්‍ෂුණි යි.
පරිපුණ්ණද්වාදසවස්සා නම්: පැමිණි දොළොස්වස් ඇතියා යැ.
ගිහීගතා නම්: පිරිම්නියක්හු අතරට ගියා කියනු ලැබෙයි.
ද්වෙ වස්සානි: දෑවුරුද්දක්.
සික්ඛිතසික්ඛා නම්: සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇතියා යැ.
අසම්මතා නම්: ඤත්තිදුතියකර්‍මයෙන් වුට්ඨානසම්මුතිය නො දෙන ලදුවා වෙයි.
වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම්, සීමාව හෝ සම්මත කරවා නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් දුකුළා දෙකක් වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාට ද ඇජරට ද දුකුළා ඇවැත් වේ.
ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වේ.
අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත කරන ලද පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සත්වන සිකපද යි.
4. 7. 8.
අටවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා දෙවසක් නො මැ අනුග්‍රහ කෙරෙයි. නො මැ අනුග්‍රහ කරවයි. ඔහු නො දැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ සහජීවිනියක උපසපන් කරවා දෙවසක් නො මැ අනුග්‍රහ කළා ද, නො මැ අනුග්‍රහ කරවූ දැ”යි. ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා දෙවසක් නො මැ අනුග්‍රහ කෙරේ ද, නො මැ අනුග්‍රහ කරවා දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා දෙවසක් නො මැ අනුග්‍රහ කළා ද, නො මැ අනුග්‍රහ කරවූ ද, මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් සහජීවිනියක උපසපන් කරවා දෙවසක් නො මැ අනුග්‍රහ කෙරේ නම් නො මැ අනුග්‍රහ කරවා නම් පචිති වේ”යයි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
සහජීවිනී නම්: සද්ධිවිහාරිනිය කියනු ලැබෙයි.
වුට්ඨාපෙත්‍වා: උපසපන් කරවා.
ද්වෙ වස්සානි: දෑවුරුද්දක්.
නේව අනුග්ගණෙහය්‍ය: තොමෝ උද්දේශයෙන් පරිපුච්ඡායෙන්, අවවාදයෙන් අනුසාසනයෙන් නො මැ අනුග්‍රහ කරයි.
න අනුග්ගණහාපෙය්‍ය: මෙරමාහට නො අණවයි. දෙවසක් නො මැ අනුග්‍රහ කරන්නෙමි, අනුග්‍රහ නො කරවන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
අනතුරක් ඇති කල්හි, සොයා නො ලබා නම්, ගිලන්වූවාට, ආපදායෙහි ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
අටවන සිකපද යි.
4. 7. 9.
නවවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ උපසපන් කැරැවූ උවදෑ මෙහෙණ දෙවසක් උවටැන් නො කෙරෙති. ඔහු නො දැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නොකැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ උපසපන් කැරැවූ උවදෑ මෙහෙණ දෙවසක් උවැටන් නො කරවූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ උපසපන් කැරැවූ උවදෑ මෙහෙණ දෙවසක් උවැටන් නො කෙරෙත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ උපසපන් කැරැවූ උවදෑ මෙහෙණ දෙවසක් උවටැන් නො කළහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් උපසපන් කැරැවූ උවදෑ මෙහෙණ දෙවසක් උවටැන් නො කෙරේ නම් පචිති වේ”යයි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
3. වුට්ඨාපිතං: උපසපන් කරවන ලද.
පවත්තිනී නම්: උවදෑ මෙහෙණ කියනු ලැබෙයි.
ද්වෙ වස්සානි: දෑවුරුද්දක්.
නානුඛන්‍ධෙය්‍ය: උවටැන් නො කරයි. දෙවසක් උවටැන් නො කරන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
උවැදෑ මෙහෙණ නො දැනුමැතියක හෝ ලජ්ජා නැතියක හෝ වේ නම්, ගිලන්වූවාට, ආපදායෙහි ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
නවවන සිකපද යි.
4. 7. 10.
දසවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා නො මැ ගෙනැ ගියා යැ. (ගෙනැ යන්නට) මෙරමාහට නො ඇණවූ යැ. සැමියා අල්වා ගත්තේ යැ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ සහජීවිනියක උපසපන් කරවා නො මැ ගෙනැ ගියා ද, මෙරමාහට නො ඇණවූ ද, සැමියා අල්වා ගත්තේ ද. ඉදින් මේ මෙහෙණ තොමෝ බැහැරට ගියා නම් සැමියා නො අල්වා ගන්නේ යැ”යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා නො මැ ගෙනැ ගියා ද, මෙරමාහට නො ඇණවූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා නො මැ ගෙනැ ගියා ද, මෙරමාහට නො ඇණවූ ද. සැමියා අල්වා ගත්තේ ද. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් සහජීවිනියක උපසපන් කරවා යටත් පිරිසෙයින් සපස් යොත්නකුදු නො මැ ගෙනැ යා නම් මෙරමාහට නො අණවා නම් පචිති වේ”ය යි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
සහජීවිනී නම්; සද්ධිවිහාරිනී කියනු ලැබෙයි.
වුට්ඨාපෙත්‍වා: උපසපන් කරවා,
නේව වූපකාසෙය්‍ය: තොමෝ නො මැ ගෙනැ යයි.
න වූපකාසාපෙය්‍ය: මෙරමාහට නො අණවයි.
යටත්පිරිසෙයින් සපස් යොත්නකුදු නො මැ ගෙනැ යන්නෙමි, මෙරමාහට නො අණවන්නෙමි යි ධුර නික්‍ෂෙපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
අනතුරක් ඇති කල්හි සොයා දෙවන මෙහෙණක නො ලබා නම් ඇවැත් නැත. ගිලන් වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දසවන සිකපද යි.
සත්වැනි ගබ්භිනී වර්‍ග යි.
එහි උද්දානය:
ගබ්භිනී යැ, පායන්තී යැ ඡධම්ම යැ අසම්මත යැ ඌනද්වාදස යැ පරිපුණ්ණ (ද්වාදස) යැ සඞ්ඝ යැ සහජීවිනී යැ වුට්ඨාපිත යැ ඡපඤ්ච යෝජන යැ යි.
8. කුමාරිභූතවර්‍ගය
4. 8. 1.
පළමු සිකපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි මෙහෙණෝ උනුවිසිවස් ඇති හෙරැණිය උපසපන් කරවති. ඔහු සිහිලස උණුසුම සාගිනි පවස නො සිහිය හැකියෝ වෙති. ඩැහැමැසි මදුරු වා හිරු රැස් දිග්දෑ පහස ද දුබැසි දුවදනා වදන්මග ද සිරිරි පිළිබැඳි වැ උපන් නො සිහිය හැකි බහල තියුණු රළු නො මිහිරි නො මනවඩන දිවිහරන වෙයිනුදු නො ඉවසන සුල්ලෝ වෙත්.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ උනුවිසිවස් ඇති හෙරැණියක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ උනුවිසිවස් ඇති, හෙරැණියක උපසපන් කරවත් දැ යි ... සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ උනුවිසිවස් ඇති, හෙරැණියක උපසපන් කරවූහු ද? මහණෙනි, උනුවිසිවස් ඇති හෙරැණිය සිහිලස උණුසුම ... දිවිහරන (වෙයිනුදු) නො ඉවසනසුලු වූවා වෙයි. මහණෙනි, විසිවස් ඇති හෙරැණිය සිහිලස උණුසුම ... දිවිහරන (වෙයිනුදු) ඉවසන සුලු වූවා ද වෙයි. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් උනුවිසිවස් ඇති හෙරැණියක උපසපන් කරවා නම් පචිති වේ”යයි.
3. යා පන: යම්, යම් බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
ඌනවීසතිවස්සා නම්: නො පත් විසිවස් ඇතියා යැ.
කුමාරිභූතා නම්: හෙරැණිය කියනු ලැබේ.
වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම් වදන් පිරියතැ උවදෑ මෙහෙණහට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරහටද දුකුළා ඇවැත් වේ.
උනු විසිවස් ඇතියා කෙරෙහි උනු විසිවස් සන් ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. උනු විසිවස් ඇතියා කෙරෙහි විමති ඇතියා උපසපන් කරවා නම් දුකුළා ඇවැත් වෙයි. උනු විසිවස් ඇතියා කෙරෙහි පිරිපුන් සන්ඇතියා උපසපන් කරවා නම් ඇවැත් නැති.
පිරිපුන් විසිවස් ඇතියා කෙරෙහි උනු විසිවස් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිරිපුන් විසිවස් ඇතියා කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිරිපුන් විසිවස් ඇතියා කෙරෙහි පිරිපුන් සන් ඇතියා නම් ඇවැත් නැති.
උනු විසිවස් ඇතියක පිරිපුන් සන් ඇතියා උපසපන් කරවා නම්, පිරිපුන් විසිවස් ඇතියක පිරිපුන් සන් ඇතියා උපසපන් කරවා නම්, ඇවැත් නොවේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
පළමු සිකපද යි.
4. 8. 2.
දෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නොහික්මුණු සිඛ ඇති හෙරැණියක උපසපන් කරවති. ඔහු නොදැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නොකැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති; දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති සවැදෑරුම් දහම්හි නොහික්මුණු සිඛ ඇති හෙරැණියක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑද මහණෙනි, මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නොහික්මුණු සිඛ ඇති හෙරැණියක උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නොහික්මුණු සිඛ ඇති හෙරැණියක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. “මහණෙනි, අටළොස් වස් ඇති හෙරැණියකට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන්නට අනුදනිමි’. මෙසේ ද වනාහි මහණෙනි, දිය යුතු යැ. ඒ අටළොස් වස් ඇති හෙරැණිය විසින් සඞ්ඝයා වෙත එළැඹැ උතුරුසඟ සිවුර එකස් කොට මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු වන්නේ යැ: ආර්‍ය්‍යාවෙනි, මෙ නම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ අටළොස් වස් ඇති හෙරණි වූ මෙනම් ඇති මම සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය යදිමියි. දෙවනවට දු යැදිය යුතු යැ. තෙවනවට දු යැදිය යුතු යැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
2. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝතෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහිවූ අටළොස් වස් ඇති හෙරැණිවූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාහට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝතෙමේ අටළොස් වස් ඇති මෙනම් ඇති හෙරැණියට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන්නේ යැ. මේ ඥප්ති යි.
3. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ අටළොස් වස් ඇති හෙරැණි වූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය යදියි. සඞ්ඝ තෙමේ අටළොස් වස් ඇති මෙනම් ඇති හෙරැණියහට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙයි. අටළොස් වස් ඇති මෙනම් ඇති හෙරැණියට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දීම යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬවන්නී යැ, යමකට නොරුස්නේ නම් ඕ තොමෝ කියන්නී යැ. සඞ්ඝයා විසින් අටළොස් වස් ඇති මෙනම් ඇති හෙරණියට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන ලද්දී යැ. සඞ්ඝයාට රුස්නේයැ. එහෙයින් නිහඬය හ. මෙසේ මෙය දරමි යි.
4. අටළොස් වස් ඇති ඒ හෙරැණිය මෙසේ කියවයි කියයුත්තී යැ. දෙවසක් පණිවායෙන් වැළකීම නො ඉක්මවිය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි ... දෙවසක් විකල් බොජුනෙන් වැළකීම නො ඉක්මවිය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන්ට නොයෙක් අයුරින් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නොහික්මුණු සිඛ ඇති හෙරැණියක උපසපන් කරවා නම් පචිති වේ”යයි.
5. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරනලද භික්‍ෂුණි යි.
පරිපුණ්ණවීසතිවස්සා නම්: පැමිණි විසිවස් ඇතියා යැ.