Pācittiya

Expiation Rules

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 4249 segments

පෙන්වන කොටස් 3701-3800 න් 4249

2. අනවද්ධමාසං: පොහොයක් පාසා.
උපෝසථ නම්: තුදුස්වක යැ, පසළොස්වක දැ යි දෙ පොහොයකි.
ඕවාද නම්: අෂ්ටගරුධර්‍මයෝ යැ. පොහොයත් නොපිළිවිසින්නෙමි. අවවාදයත් නො යදින්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
අනතුරක් ඇති කල්හි, සොයා දෙවන මෙහෙණක නො ලබා නම්, ගිලන් වූවාට, ආපදායෙහි උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
නවවන සිකපද යි.
දසවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා මෙහෙණක් (සිරුරැ) යට පෙදෙසැ හටගත් ගඩක් හුදෙකලා වූ පිරිමිනියකු ලවා හුදෙකලා වූවා බිඳවූ යැ. එකල්හි ඒ පුරුෂ තෙමේ ඒ මෙහෙණ දූෂණය කරන්නට වෑයම් කෙළේ යැ. ඕ තොමෝ වියරුහඬක් කළා යැ. මෙහෙණෝ වෙතැ දුවැ අවුත් ඒ මෙහෙණට මෙය කීහු: ආර්‍ය්‍යාවෙනි, කුමක් හෙයින් තෝ වියරුහඬක් කෙළෙහි දැ යි. එකල්හි ඒ මෙහෙණ තොමෝ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.
යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් (සිරුරැ) යට පෙදෙසැ හටගත් ගඬක් හුදෙකලා වූ පිරිමිනියකු ලවා හුදෙකලා වූවා බිඳවූ දැ” යි. … සැබෑද මහණෙනි, මෙහෙණක් (සිරුරැ) යට පෙදෙසැ හටගත් ගඬක් හුදකලා වූ පිරිමිනියකු ලවා හුදෙකලා වූවා බිඳ වූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ (සිරුරැ) යට පෙදෙසැ හටගත් ගඬක් හුදෙකලා වූ පිරිමිනියකු ලවා හුදෙකලා වූවා බිඳවූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් (සිරුරැ) යට පෙදෙසැ හටගත් ගඬක් හෝ වණයක් හෝ සඞ්ඝයා හෝ ගණයා හෝ නො පිළිවිසැ හුදෙකලා වූ පිරිමිනියකු ලවා හුදෙකලා වූවා බිඳවා නම් හෝ පළවා නම් හෝ දොවවා නම් හෝ අලෙව් දෙවා නම් හෝ බඳවා නම් හෝ මුදවා නම් හෝ පචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
පසාඛ නම්: නැබෙන් යට දණමඬලෙන් මතු.
ජාතං: එහි හටගත්.
ගණ්ඩ නම්: යම්කිසි ගඬෙකි.
රුහිත නම්: යම්කිසි වණයෙකි.
අනපලෝකෙත්‍වා: නො පිළිවිසැ.
සඞ්ඝ නම්: භික්‍ෂුණී සඞ්ඝ තෙමේ කියනු ලැබේ.
ගණ නම්: බොහෝ මෙහෙණෝ කියනු ලැබෙත්.
පුරිස නම්: මිනිස් පිරිම්නියෙකි. යකෙක් නො වෙයි. ප්‍රේතයෙක් නො වෙයි. තිරිසනෙක් නො වෙයි. දූෂණය කරන්නට දැනුමැති ප්‍රතිබලයෙකි.
සද්ධිං: එක් වැ.
එකෙනෙකා: පිරිම්නියෙක් ද වෙයි. මෙහෙණක් ද වේ.
‘බිඳුවයි’ අණ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. බුන් කල්හි පචිති ඇවැත් වෙයි. ‘පළව’යි යි අණ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. පැළුණු කල්හි පචිති ඇවැත් වෙයි. ‘දොවව’යි යි අණ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. දෙවූ කල්හි පචිති ඇවැත් වෙයි. ‘ආලේපනය කරව’යි. අණ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ආලේපනය කළ කල්හි පචිති ඇවැත් වෙයි. ‘බඳුව’ යි අණ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. බැඳි කල්හි පචිති ඇවැත් වෙයි. ‘මුදව’ යි අණ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. මිදුණු කල්හි පචිති ඇවැත් වේ.
පිළිවිසැ බිඳුවා නම්, හෝ පළවා නම් හෝ දොවවා නම් හෝ ආලේප කරවා නම් හෝ බඳවා නම් හෝ මුදවා නම් හෝ යම්කිසි නුවණැති දෙවැන්නක් වේ නම් ඇවැත් නැත. උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
දසවන සිකපද යි.
ෂෂ්ඨ ආරාම වර්‍ග යි.
එහි උද්දානය:
ආරාම යැ අක්කෝස යැ චණ්ඩිකත යැ භුඤ්ජන යැ කුලමච්ඡරී යැ වස්ස යැ පවාරණ යැ ඕවාද යැ ද්වෙ ධම්ම යැ පාසාඛයෙන් දැ යි වර්‍ගය වේ.
7. ගබ්භිනීවර්‍ගය
පළමු සිකපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එ සමයෙහි වනාහි මෙහෙණෝ ගැබිනිය උපසපන් කරවත්. ඕතොමෝ පිඬු පිණිස හැසිරෙයි. මිනිස්සු මෙසේ කීහු: ආර්‍ය්‍යාවට පිඬු දෙවු, ආර්‍ය්‍යා තොමෝ ගැබ්බර ඇත්තී යැ. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගැබිනියක උපසපන් කරවූහු දැ”යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගැබිනියක උපසපන් කරවූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ ගැබිනියක උපසපන් කරවත් දැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ ගැබිනියක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් ගැබිනියක උපසපන් කරවා නම් පචිති වේ”යයි.
2. යා පන: යම්, යම් බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
ගබ්භිනී නම්: පිළිසිඳගත් දරු ඇත්තී කියනු ලැබේ.
වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවන්නේ යැ.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරියක හෝ පාත්‍රය හෝ සිවුරක් හෝ සොයා නම්, සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියෙතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජර මෙහෙණට ද දුකුළා ඇවැත් වේ.
ගැබිනිය කෙරෙහි ගැබිනිසන් ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ගැබිනිය කෙරෙහි විමති ඇතියා උපසපන් කරවා නම් දුකුළා ඇවැත් වෙයි. ගැබිනිය කෙරෙහි නො ගැබිනි සන් ඇතියා උපසපන් කරවා නම් ඇවැත් නැති.
නො ගැබිනිය කෙරෙහි ගැබිනිසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො ගැබිනිය කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො ගැබිනිය කෙරෙහි නො ගැබිනිසන් ඇතියා නම් ඇවැත් නැති.
6. ගැබිනිය නො ගැබිනි සන් ඇතියා උපසපන් කරවා නම්, නො ගැබිනිය නො ගැබිනි සන් ඇතියා උපසපන් කරවා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
පළමු සිකපද යි.
දෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ කිරිපොවන්නිය උපසපන් කරවති. ඕතොමෝ පිඬු පිණිස හැසිරෙයි. මිනිස්සු මෙසේ කීහු: ‘ආර්‍ය්‍යාවට පිඬු දෙවු, ආර්‍ය්‍යා තොමෝ දෙවැන්නකු ඇත්තී’යැ යි. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ කිරිපොවන්නියක උපසපන් කරවූහු දැ”යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ කිරිපොවන්නිය උපසපන් කරවූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ කිරිපොවන්නිය උපසපන් කරවත් දැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ කිරිපොවන්නිය උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් කිරි පොවන්නිය උපසපන් කරවා නම් පචිති වේ”යයි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
පායන්තී නම්: මව හෝ වෙයි, කිරිමව හෝ වෙයි.
වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම්, සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජර මෙහෙණට ද දුකුළා ඇවැත් වේ.
කිරිපොවන්නිය කෙරෙහි කිරිපොවන්නී සන් ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. කිරිපොවන්නිය කෙරෙහි විමති ඇතියා උපසපන් කරවා නම් දුකුළා ඇවැත් වෙයි. කිරිපොවන්නිය කෙරෙහි කිරිනොපොවන්නීසන් ඇතියා උපසපන් කරවා නම් ඇවැත් නැති.
කිරිපොවන්නිය කෙරෙහි කිරිපොවන්නී සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. කිරි නො පොවන්නිය කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. කිරි නො පොවන්නිය කෙරෙහි කිරි නො පොවන්නී සන් ඇතියා නම් ඇවැත් නැති.
කිරිපොවන්නිය කිරි නො පොවන්නී සන් ඇතියා උපසපන් කරවා නම්, කිරි නො පොවන්නිය කිරි නො පොවන්නී සන් ඇතියා උපසපන් කරවා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දෙවන සිකපද යි.
තෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති හික්මනුව උපසපන් කරවති. ඔහු නො දැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති හික්මනුව උපසපන් කරවූහු දැ”යි. ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති හික්මනුව උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති හික්මනුව උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමැතූ සේක. ‘මහණෙනි, හික්මනුවට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන්නට අනුදනිමි’. මෙසේ ද වනාහි මහණෙනි, දියයුතු යැ. ඒ හික්මනුව විසින් සඞ්ඝයා වෙත එළැඹැ උතුරු සඟ සිවුර එකස් කොට මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු වන්නේ යැ: ආර්‍ය්‍යාවෙනි, මෙනම් ඇති ආර්‍ය්‍යාවගේ හික්මනු වූ මෙනම් ඇති මම දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය සඞ්ඝයාගෙන් යදිමි යි. දෙවනවට දු යැදිය යුතු යැ. තෙවන වට දු යැදිය යුතු යි. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
2. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාවගේ හික්මනු වූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙනම් ඇති හික්මනුවට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන්නේ යැ. මේ ඤත්ති යි.
ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාවගේ හික්මනු වූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය යදියි. සඞ්ඝ තෙමේ මෙනම් ඇති හික්මනුවට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙයි. මෙනම් ඇති හික්මනුවට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දීම යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬ වන්නී යැ. යමකට නො රුස්නේ නම් ඕතොමෝ කියන්නී යැ. සඞ්ඝයා විසින් මෙනම් ඇති හික්මනුවට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන ලද්දී යැ. සඞ්ඝයාහට රුස්නේ යැ. එහෙයින් නිහඬයහ. මෙය මෙසේ දරමි”යි.
ඒ හික්මනු තොමෝ මෙසේ කියව යි කිය යුත්තී යැ. පණිවායෙන් වැළකීම දෙවසක් නො ඉක්ම විය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි. අයිනාදනින් වැළකීම දෙවසක් නො ඉක්ම විය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි. අබ්‍රම්සරින් වැළකීම දෙවසක් නො ඉක්ම විය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි. මුසවායෙන් වැළකීම දෙවසක් නො ඉක්ම විය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි. මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙරින් වැළකීම දෙවසක් නො ඉක්ම විය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි. විකල් බොජුනෙන් වැළකීම දෙවසක් නො ඉක්ම විය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන්ට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති හික්මනුව උපසපන් කරවා නම් පචිති වේ”යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
ද්වෙ වස්සානි: දෑවුරුද්දක්;
අසික්ඛිතසික්ඛා නම්: සික හෝ නො දෙන ලද්දී වෙයි. දෙන ලද සික කිපියා හෝ වෙයි.
වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම්, සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් දුකුළා වෙති. කම් වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාට ද ඇජර මෙහෙණට ද දුකුළා ඇවැත් වේ.
ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍ම සංඥා ඇත්තී උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම සංඥා ඇත්තී උපසපන් කරවා නම් පචිති ඇවැත් වේ.
අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වේ.
දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සික්මනුවක උපසපන් කරවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
තෙවන සිකපද යි.
සතරවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරන ලද හික්මනුවක උපසපන් කරවත්. මෙහෙණෝ මෙසේ කීහු: “එවු හික්මනුවෙනි, මෙය දනිවු, මෙය දෙවු, මෙය ගෙන එවු, මෙයින් ප්‍රයෝජන යැ, මෙය කැප කරවු” යයි. ඔහු මෙසේ කීහු: “ආර්‍ය්‍යාවෙනි, අපි හික්මනුවෝ නො වම්හ. අපි මෙහෙණෝ වම්හ”යි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරන ලද හික්මනුවක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරන ලද හික්මනුවක උපසපන් කරවද්දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරන ලද හික්මනුවක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමැතූ සේක. මහණෙනි, දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති හික්මනුවට වුට්ඨානසම්මුතිය දෙන්නට අනුදනිමි. මෙසේ ද වනාහි මහණෙනි, දිය යුතු යැ. දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති ඒ හික්මනුව විසින් සඞ්ඝයා වෙත එළැඹැ උතුරු සඟසිවුර එකස් කොට මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු වන්නේ යැ: ආර්‍ය්‍යාවෙනි, මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති හික්මනු වූ මෙ නම් ඇති මම සඞ්ඝයාගෙන් වුට්ඨානසම්මුතිය යදිමි යි. දෙවනවට දු යැදිය යුතුයැ. තෙවනවට දු යැදිය යුතු යැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
2. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙ නම් ඇති මේ හික්මනු තොමෝ සඞ්ඝයාගෙන් වුට්ඨානසම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙනම් ඇති හික්මනුවට වුට්ඨානසම්මුතිය දෙන්නේ යැ. මේ ඤත්තී යැ.
ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙ නම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙ නම් ඇති මේ හික්මනු තොමෝ සඞ්ඝයාගෙන් වුට්ඨානසම්මුතිය යදියි. සඞ්ඝ තෙමේ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙ නම් ඇති හික්මනුවට වුට්ඨානසම්මුතිය දෙයි. දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙ නම් ඇති හික්මනුවට වුට්ඨානසම්මුතිය දීම යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬ වන්නී යැ. යමකට නො රුස්නේ නම් ඕ තොමෝ කියන්නී යැ. දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙනම් ඇති හික්මනුවට සඞ්ඝයා විසින් වුට්ඨානසම්මුතිය දෙන ලද්දී යැ. සඞ්ඝයාහට රුස්නේ යැ. එහෙයින් නිහඬයහ. මෙය මෙසේ දරමියි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන්ට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරන ලද හික්මනුවක උපසපන් කරවා නම් පචිති වේ”යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
ද්වෙ වස්සානි: දෑවුරුද්දක්.
සික්ඛිතසික්ඛා නම්: සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇත්තී යැ.
අසම්මතා නම්: ඥප්ති ද්විතීය කර්‍මයෙන් වුට්ඨානසම්මුතිය නො දෙන ලදුවා වෙයි.
වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම්, සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජර මෙහෙණට ද දුකුළා ඇවැත් වේ.
ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇත්තී උපසපන් කරවා නම් පචිති ඇවැත් වේ.
අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි, අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම සංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වේ.
දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත කරන ලද හික්මනුවක උපසපන් කරවා නම් ඇවැත් නැති. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සතරවන සිකපද යි.
පස්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ උනු දොළොස්වස් ඇති, පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවති. ඔහු සිහිලස උණුසුම සාගිනි පවස නො සිහිය හැකියෝ වෙති. ඩැහැමැසි මදුරු වා හිරුරැස් දිග්දෑපහස ද දුබැසි දුවදනා වදන්මග ද සිරිරි පිළිබැඳි උපන් නො සිහිය හැකි බහල තියුණු රළු නො මිහිරි නො මනවඩන දිවිහරන වෙයිනුදු නො ඉවසන සුල්ලෝ වෙත්.
යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ උනු දොළොස්වස් ඇති, පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ උනුදොළොස් වස් ඇති, පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ උනුදොළොස් වස් ඇති, පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවූහු ද? මහණෙනි, උනුදොළොස් වස් ඇති, පිරිම්නියක්හු අතරට ගියා සිහිලස උණුසුම සාගිනි පවස නො සිහිය හැකියා මැ වෙයි. ඩැහැමැසි මදුරු වා හිරුරැස් දිග්දෑ පහස ද දුබැසි දුවදනා වදන්මග ද සිරිරි පිළිබැඳි උපන් නො සිහිය හැකි බහල තියුණු රළු නො මිහිරි නො මනවඩන දිවිහරන වෙයිනුදු නො ඉවසන සුලුවූවා වෙයි. මහණෙනි, දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා සිහිලස උණුසුම සාගිනි පවස සිහිය හැකියා ද වෙයි. ඩැහැමැසි මදුරු වා හිරුරැස් දිග්දෑ පහස ද දුබැසි දුවදනා වදන්මග ද සිරිරි පිළිබැඳි උපන් නො සිහිය හැකි බහල තියුණු රළු නො මිහිරි නො මනවඩන දිවිහරන වෙයිනුදු ඉවසන සුලු වූවා ද වෙයි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් උනුදොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවා නම් පචිති වේ”යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
ඌනද්වාදසවස්සා නම්: නො පත් දොළොස්වස් ඇතියා.
ගිහීගතා නම්: පිරිම්නියක්හු අතරට ගියා කියනු ලැබෙයි.
වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරට ද දුකුළා ඇවැත් වේ.
උනුදොළොස්වස් ඇතියා කෙරෙහි උනුදොළොස්වස් සන් ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. උනුදොළොස් වස් ඇතියා කෙරෙහි විමති ඇතියා උපසපන් කරවා නම් දුකුළා ඇවැත් වෙයි. උනුදොළොස්වස් ඇතියා කෙරෙහි පිරිපුන් සන් ඇතියා උපසපන් කරවා නම් ඇවැත් නැති.
පිරිපුන් දොළොස්වස් ඇතියා කෙරෙහි උනුදොළොස්වස් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිරිපුන් දොළොස්වස් ඇතියා කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිරිපුන් දොළොස්වස් ඇතියා කෙරෙහි පිරිපුන් සන් ඇතියා නම් ඇවැත් නැති.
උනුදොළොස්වස් ඇතියක පිරිපුන් සන් ඇතියා උපසපන් කරවා නම්, පිරිපුන් දොළොස්වස් ඇතියක පිරිපුන් සන් ඇතියා උපසපන් කරවා නම්, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
පස්වන සිකපද යි.