රාජාගාර යැ ආසන්‍දි යැ සුත්ත යැ ගිහි (වෙය්‍යාවච්ච) යැ වූපසමය යැ (ආහාර) දාන යැ චීවර යැ ආවස්ථ යැ පරියාපුණ්න යැ වාචන යැ යි.
6. ආරාමවර්‍ගය
4. 6. 1.
පළමු සිකපදය
1. එ සමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩැවෙසෙති. එ සමයෙහි වනාහි බොහෝ භික්‍ෂූහු ගම්බද අවසෙක්හි එක් සිවුරක් ඇතියාහු සිවුරුකම් කෙරෙත්. මෙහෙණෝ නො පිළිවිසැ අරමට පිවිස ඒ භික්‍ෂූන් වෙත එළඹියහ. භික්‍ෂූහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ නො පිළිවිසැ අරමට පිවිසියාහු දැ” යි … සැබෑද මහණෙනි, මෙහෙණෝ නො පිළිවිසැ අරමට පිවිසෙත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ නො පිළිවිසැ අරමට පිවිසියාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසත්වා:
“යම් මෙහෙණක් නො පිළිවිසැ අරමට පිවිසේ නම් පචිති වේ” යයි.
මෙසේත් භාග්‍යවතුන් විසින් මෙහෙණන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
2. එ සමයෙහි වනාහි ඒ භික්‍ෂූහු ඒ අවසින් බැහැරැ ගියහ. මෙහෙණෝ ආර්‍ය්‍යයෝ බැහැරැ ගියාහ යි අරමට නො පැමිණියහ. එකල්හි ඒ භික්‍ෂූහු යළිත් ඒ අවසට පෙරළා ආහ. මෙහෙණෝ ආර්‍ය්‍යයෝ ආවාහ යි පිළිවිසැ අරමට පිවිස ඒ භික්‍ෂූන් වෙත එළඹියහ. එළැඹැ ඒ භික්‍ෂූන් වැඳ එකත් පසෙකැ සිටියහ. එකත් පසෙකැ සිටියාවූ ඒ මෙහෙණන්ට ඒ භික්‍ෂූහු මෙය කීහු: ‘බුහුනෙනි, තෙපි කුමක් හෙයින් අරම නො මැ හැමදූහු ද? පැන් හා පිරිබෝදිය නො මැ එළවා තැබූහු දැ’යි. ආර්‍ය්‍යයෙනි, භාග්‍යවතුන් විසින් ‘නො පිළිවිසැ අරමට නො පිවිසියයුතු’ යැ යි සිකපදයෙක් පනවන ලදී. එහෙයින් අපි නො පැමිණියම්හ යි. භාග්‍යවතුන්ට තෙල කරුණ ඇරොජූහු … ‘මහණෙනි, ඇති මහණක්හු පිළිවිසැ අරමට පිවිසෙන්නට අනුදනිමි’යි. මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසත්වා:
“යම් මෙහෙණක් ඇති මහණක්හු නො පිළිවිසැ අරමට පිවිසේ නම් පචිති වේ” යයි.
මෙසේත් භාග්‍යවතුන් විසින් මෙහෙණන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි වනාහි ඒ භික්‍ෂූහු ඒ අවසින් බැහැරැ ගොස් නැවතත් ඒ මැ අවසට පෙරළා ආහ. මෙහෙණෝ ආර්‍ය්‍යයෝ බැහැරැ ගියාහු යයි නො පිළිවිසැ අරමට පිවිසියහ. ඒ මෙහෙණන්ට කුකුසෙක් විය, භාග්‍යවතුන් විසින් ‘ඇති මහණක්හු නො පිළිවිසැ අරමට නො පිවිසියයුතු ය’යි සිකපදයෙක් පනවන ලදී. අපි ඇති මහණක්හු නො පිළිවිසැ අරමට පිවිසියෙමු. කිම? අපි පචිති ඇවැතට පැමිණියමෝ දැ යි. භාග්‍යවතුන්ට තෙල කරුණ ඇරොජූහු. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මේ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසත්වා:
“යම් මෙහෙණක් දැන දැන මහණුන් සහිත අරමකට නො පිළිවිසැ පිවිසේ නම් පචිති වේ” යයි.
4. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
ජානාති නම්: තොමෝ හෝ දනියි. අන්හු හෝ ඇයට ඇරොජති. ඔහු හෝ ඇරොජත්.
සභික්ඛුක ආරාම නම්: යම් තැනෙක රුක්මුලෙක්හු දු මහණෝ වෙසෙත් ද ඒ අරම.
අනාපුච්ඡා ආරාමං පවිසෙය්‍ය: මහණක්හු හෝ හෙරණක්හු හෝ ආරාමිකයක්හු හෝ නො පිළිවිසැ පිරිකෙව් කළ අරම්හි පරික්‍ෂේපය ඉක්මවන්නියට පචිති ඇවැත් වෙයි. නො පිරිකෙව් කළ අරම්හි උවසරට බසින්නියට පචිති ඇවැත් වේ.
භික්‍ෂුසහිතයෙහි භික්‍ෂුසහිත සංඥා ඇතියා ඇති මහණක්හු නො පිළිවිසැ අරමට පිවිසේ නම් පචිති ඇවැත් වෙයි. භික්‍ෂුසහිතයෙහි විමති ඇතියා ඇති මහණක්හු නො පිළිවිසැ අරමට පිවිසේ නම් දුකුළා ඇවැත් වෙයි. භික්‍ෂුසහිතයෙහි භික්‍ෂුරහිතසංඥා ඇතියා ඇති මහණක්හු නො පිළිවිසැ අරමට පිවිසේ නම් ඇවැත් නැති.
භික්‍ෂුරහිතයෙහි භික්‍ෂුසහිතසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. භික්‍ෂුසහිතයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වේ. භික්‍ෂු රහිතයෙහි භික්‍ෂුරහිතසංඥා ඇතියා නම් ඇවැත් නැති.
ඇති මහණක්හු පිළිවිසැ පිවිසේ නම්, නැති මහණක්හු නො පිළිවිසැ පිවිසේ නම්, හිස අනුව බලමින් යේ නම්, යම් තැනෙකැ මෙහෙණෝ රැස්වූවාහු වෙත් ද එහි යේ නම්. අරම්හි මඟ වේ නම්, ගිලන්වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
පළමු සිකපද යි.
4. 6. 2.
දෙවන සිකපදය
1. එ සමයෙහි භාග්‍යවත් බුදුහු විසල්පුරැ මහවෙනෙහි කුළාරහල්හි වැඩැවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උපාලි තෙරුන්ගේ උපාද්ධ්‍යාය වූ ආයුෂ්මත් කප්පිතක තෙරණුවෝ සොහොනෙහි වෙසෙති. එසමයෙහි වනාහි සවග මෙහෙණන් අතුරෙහි මහතෙර වූ මෙහෙණ තොමෝ කලුරිය කළා වෙයි. සවග මෙහෙණෝ ඒ මෙහෙණ ගෙන ගොස් ආයුෂ්මත් කප්පිතක තෙරුන්ගේ විහාරයට නුදුරෙහි දවා තුඹක් කොට ගොස් ඒ තුඹ ළඟැ හඬත්. එකල්හි ආයුෂ්මත් කප්පිතක තෙරණුවෝ ඒ ශබ්දයෙන් පීඩිත වූවාහු ඒ තුඹ බිඳ විසුරුවාලූහ. සවග මෙහෙණෝ “මේ කප්පිතකයා විසින් අපගේ ආර්‍ය්‍යාවගේ තුඹ බිඳින ලදී. එබැවින් ඔහු නසාලම්හ” යි මන්ත්‍රණය කළාහු යැ. එක්තරා මෙහෙණක් ආයුෂ්මත් උපාලි තෙරුන්ට තෙල කරුණ ඇරොජූහ. ආයුෂ්මත් උපාලි තෙරණුවෝ ආයුෂ්මත් කප්පිතක තෙරුන්ට තෙල කරුණ ඇරොජූහ. එකල්හි ආයුෂ්මත් කප්පිතක තෙරණුවෝ වෙහෙරින් නික්ම සැඟවී හුන්හ. එකල්හි සවග මෙහෙණෝ ආයුෂ්මත් කප්පිතක තෙරුන්ගේ විහාරයට එළඹියහ. එළැඹැ ආයුෂ්මත් කප්පිතක තෙරුන්ගේ විහාරය පහණින් ද කැටින් ද වතුරුවා කප්පිතක මෙළේ යැ යි බැහැරැ ගියහ.
2. ඉක්බිති ආයුෂ්මත් කප්පිතක තෙරණුවෝ ඒ රැය ඇවෑමෙන් පෙරවරුහි හැඳ පෙරවැ පා සිවුරු ගෙන විසල්පුරට පිඬු පිණිස පිවිසියහ. සවග මෙහෙණෝ පිඬු පිණිස හැසිරෙන ආයුෂ්මත් කප්පිතක තෙරුන් දැක මෙසේ කීහු. “මේ කප්පිතක තෙමේ ජීවත් වෙයි, කවරෙක් අපගේ මන්ත්‍රණය ගෙන ගියේ දැ”යි. සවග මෙහෙණෝ “ආර්‍ය්‍ය උපාලි තෙරුන් විසින් අපගේ මන්ත්‍රණය ගෙන යන ලදැ” යි ඇසූහු. ඔහු ආයුෂ්මත් උපාලි තෙරුන්ට ආක්‍රෝශ කළහ: කෙසේ නම් මේ කසාවට (කහවත් හැඳ) නැහැවිකම් කළ මලහරන නිහීනජාති ඇතියේ අපගේ මන්ත්‍රණය ගෙන ගියේ දැ” යි.
3. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ උපාලි ආර්‍ය්‍යන්ට ආක්‍රෝශ කොළෝ” දැ යි. … සැබෑ ද මහණෙනි, සවග මෙහෙණෝ උපාලිහට ආක්‍රෝශ කෙරෙත් දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ උපාලිහට ආක්‍රෝශ කළෝ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි, … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් මහණක්හට ආක්‍රෝශ කෙරේ නම් හෝ බිය එළවා නම් හෝ පචිති වේ” යයි.
4. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
භික්ඛුං: උපසපනක්හු.
අක්කෝසෙය්‍යවා: දශආක්‍රොශවස්තුවෙන් හෝ ඔවුනතුරෙන් එක්තරයකින් හෝ ආක්‍රෝශ කෙරේ නම් පචිති ඇවැත් වෙයි.
පරිභාසෙය්‍ය වා: බිය දක්වා නම් පචිති ඇවැත් වේ.
උපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියා ආක්‍රෝශ කෙරේ නම් හෝ බය දක්වා නම් හෝ පචිති ඇවැත් වෙයි, උපසපනක්හු කෙරෙහි විමති ඇතියා ආක්‍රෝශ කෙරේ නම් හෝ බිය දක්වා නම් හෝ පචිති ඇවැත් වෙයි, උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියා ආක්‍රෝශ කෙරේ නම් හෝ බිය දක්වා නම් හෝ පචිති ඇවැත් වේ.
අනුපසපනක්හට ආක්‍රෝශ කෙරේ නම් හෝ බිය දක්වා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
අර්‍ත්‍ථය පෙරටු කොට කියන්නියට, ධර්‍මය පෙරටු කොට කියන්නියට, අනුශාසනය පෙරටු කොට කියන්නියට, උම්මත්තිකාවට … ආදි කම්මිකාවට ඇවැත් නැති.
දෙවන සිකපද යි.
4. 6. 3.
තෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදානයි – එසමයෙහි වනාහි චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ ඩබරකරන්නී කලහකරන්නී විවාදකරන්නී දොඩමළුකම් කරන්නී සඞ්ඝයා කෙරෙහි අධිකරණ කරන්නී වෙයි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඇයට කර්‍ම කරනු ලබන කල්හි පටහැණි වැ කරුණු කියයි, එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ කිසියම් ඇවැසි කටයුත්තකින් ගමකට ගියා යැ. එකල්හි භික්‍ෂුණීසඞ්ඝ තෙමේ ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ බැහැරැ ගියා යැ යි චණ්ඩකාළී භික්‍ෂුණියට ඇවැත් නො දැක්මෙහි උකෙව්නීකම් කෙළේ යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ගමෙහි ඒ ඇවැසි කටයුත්ත තීරණය කොට නැවැතත් සැවැතට පෙරළා අවු යැ. චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ එන්නා වූ ථුල්ලනන්‍දා භික්‍ෂුණියට අසුන් නො මැ පැනවූ යැ. පාදෝනාදිය දෙවූ පා තබන පුටුව නො දෙවූ පාතබන පුටුව නො මැ එළවා තැබූ යැ. පෙර ගමන් කොට පා සිවුරු නො පිළිගතු යැ. පැනින් නො පිළිවුසූ යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ චණ්ඩකාළී භික්‍ෂුණියට මෙය කිවු යැ:
ආර්‍ය්‍යාවෙනි, තෝ කුමක් හෙයින් මා එන කල්හි අසුන් නොමැ පැනවූ, පා දෝනාදිය දෙවූ පා තබන පුටුව නො දෙවූ පා තබන පුටුව නො මැ එළවා තැබුව, පෙර ගමන් කොට පා සිවුරු නො පිළිගතුව, පැනින් නො පිළිවුසුව යි. ආර්‍ය්‍යාවෙනි, මෙය මෙසේ මැ යි. පිළිසරණ නැතියකට මෙනි. ආර්‍ය්‍යාවෙනි, තෝ කුමක් හෙයින් පිළිසරණ නැතියෙහි ද? ආර්‍ය්‍යාවෙනි, මේ භික්‍ෂුණීහු “මෝ තොමෝ පිළිසරණ නැතියකැ අප්‍රසිද්ධ යැ, මැය පිළිබඳ වැ කිසියම් පටහැණි ව කියන්නියක් නැතැ” යි ඇවැත් නො දැක්මෙහි උකෙව්නීකම් කළහ යි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ මෙව්හු බාලයෝ යැ, මෙව්හු අවියත්හු යැ, මෙව්හු කර්‍මය හෝ කර්‍මදෝෂය හෝ කර්‍මවිපත්තිය හෝ කර්‍මසම්පත්තිය හෝ නො දනිති යි කළසැඬබව ඇත්තී ගණයා තැති ගැන්වූ යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ කළ සැඬබව ඇත්තී ගණයා තැතිගැන්වූ” දැ යි … සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා මෙහෙණ කළ සැඬබව ඇත්තී ගණයා තැතිගැන්වූ දැ යි, සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා මෙහෙණ කළ සැඬබව ඇත්තී ගණයා තැතිගැන්වූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් කළ සැඬබව ඇත්තී ගණයා තැති ගන්වා නම් පචිති වේ” යි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
චණ්ඩිකතා නම්: කෝධනාව කියනු ලැබෙයි.
ගණ නම්: මෙහෙණසඟ කියනු ලැබෙයි.
පරිභාසෙය්‍ය: මෙව්හු බාලයෝ යැ මෙව්හු අවියත්හු යැ මෙව්හු කර්‍මය හෝ කර්‍මදෝෂය හෝ කර්‍ම විපත්තිය හෝ කර්‍ම සම්පත්තිය හෝ නො දනිති යි තැතිගන්වා නම් පචිති ඇවැත් වෙයි. බොහෝ මෙහෙණන්ට හෝ එක් මෙහෙණකට හෝ අනුපසපනකට හෝ තැති ගන්වා නම් දුකුළා ඇවැත් වේ.
අර්‍ත්‍ථය පෙරටු කොට කියන්නියට, ධර්‍මය පෙරටු කොට කියන්නියට, අනුශාසනය පෙරටු කොට කියන්නියට, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
තෙවන සිකපදයි.
4. 6. 4.
සිවුවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා බමුණෙක් මෙහෙණන් පවරා වැළඳවී යැ. වළඳා අවසන් කළ පැවරූ මෙහෙණෝ නෑ කුලයනට ගොස් ඇතැම් කෙනෙක් වැළඳූහ. ඇතැම් කෙනෙක් පිණ්ඩපාතය ගෙන ගියහ. එකල්හි ඒ බමුණු අසල්වැසියනට මෙය කී යැ. ආර්‍ය්‍යයෙනි, මා විසින් මෙහෙණෝ සතප්පනලදහ. තෙපිදු එවු සතප්පවන්නෙමි. ඔහු මෙසේ කීහු: ආර්‍ය්‍යය, කිම තෝ අප සතප්පවන්නෙයි ද? තා විසින් යම් මෙහෙණ කෙනෙක් පවරන ලදහු ද, ඔහු දු අපගේ ගෙවලට අවුත් ඇතැම් කෙනෙක් වැළඳූහ. ඇතැම් කෙනෙක් පිණ්ඩපාතය ගෙන ගියහ යි.
2. එකල්හි ඒ බමුණු ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් මෙහෙණෝ අපගේ ගෙහි වළඳා අන් තැනෙකැ වැළඳූහු ද? මම සෑහෙන පමණ දෙන්නට ප්‍රතිබල නො වෙම්” දැයි. භික්‍ෂුණීහු, ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ බමුණගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් වළඳා අවසන් කළ පැවරූ මෙහෙණෝ අන් තැනෙකැ වැළඳූහු දැ” යි. සැබෑද මහණෙනි, වළඳා අවසන් කළ පැවරූ මෙහෙණෝ අන්තැනෙකැ වළඳත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් වළඳා අවසන් කළ පැවරූ මෙහෙණෝ අන් තැනෙකැ වැළඳූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේද මහණෙනි මෙහෙණෝ මේ සික පදය උදෙසත්වා:
“යම් මෙහෙණක් නිමතනලද්දී හෝ පවරන ලද්දී හෝ කෑ යුත්තක් හෝ බිදියයුත්තක් හෝ කා නම් බුදී නම් හෝ පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරනලද භික්‍ෂුණි යි.
නිමන්තිතා නම්: පස් බොජුන් අතුරෙන් එක්තරා බොජුනෙකින් නිමතන ලද්දී යැ.
පවාරිතා නම්: අඩාළ කළ බොජුන පැනෙයි, පැවරීමට නො පොහෝනා බොජුන පැනෙයි, අත්පස සිටියා වෙයි, කයින් එළවයි, ප්‍රතික්‍ෂේපය පැනේ.
ඛාදනීය නම්: පස්බොජුන, හඹු යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවකය තබා සෙස්ස ඛාදනීය නම් වේ.
භෝජනීය නම්: පස් බොජුනැ: බත් යැ කොමු යැ අත්සුණු යැ දියමස් යැ ගොඩමස් යැ.
කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
යාමකාලිකය, සත්තාහකාලිකය, යාවජීවකය අහර පිණිස පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වේ.
නිමතන ලද්දී නො පවරන ලද්දී හඹු බෝ නම්, හිමියන් පිළිවිසැ වළඳා නම්, යාමකාලිකය, සත්තාහකාලිකය, යාවජීවකය කරුණක් ඇති කල්හි වළඳා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
සිවුවන සිකපද යි.
4. 6. 5.
පස්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා මෙහෙණක් සැවැතැ එක්තරා වීථියෙකැ පිඬු පිණිස හැසිරෙන්නී එක්තරා කුලයක් වෙත එළඹියා යැ. එළැඹැ පැන වූ අසුනෙහි හුනු යැ. එකල්හි ඒ මිනිස්සු ඒ මෙහෙණ වළඳවා මෙය කීහු: “ආර්‍ය්‍යාවෙනි, අන් මෙහෙණෝ ද එත්වා” යි. එකල්හි ඒ මෙහෙණ කෙසේ නම් මෙහෙණෝ නො එන්නාහු දැ යි මෙහෙණන් වෙත එළැඹැ මෙය කිවූ යැ. “ආර්‍ය්‍යාවෙනි, අසුවල් පෙදෙසෙහි ව්‍යාලශුනකයෝ යැ, සැඩ ගොන් යැ, මඬපියෙස් යැ. එහි නහමක් යව යි. එක්තරා මෙහෙණක් තොමෝත් ඒ වීථියෙහි පිඬු පිණිස හැසිරෙන්නී ඒ කුලය වෙත එළඹියා යැ. එළැඹැ පැනවූ අසුනෙහි හුනු යැ. එකල්හි ඒ මිනිස්සු ඒ මෙහෙණ වළඳවා මෙය කීහු: “ආර්‍ය්‍යාවෙනි, කුමක් හෙයින් මෙහෙණෝ නො එත් දැ” යි.
2. එකල්හි ඒ මෙහෙණ ඒ මිනිසුන්හට තෙල කරුණ ඇරොජූ යැ. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණ, කුලය කෙරෙහි මසුරුකම් කළා දැ” යි … සැබෑද මහණෙනි, මෙහෙණ, කුලය කෙරෙහි මසුරුකම් කෙරේ දැයි, සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණ, කුලය කෙරෙහි මසුරුකම් කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් වනාහි කුල මසුරුකම් කරනසුලු වූවා වේ නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
කුල නම්: ක්‍ෂත්‍රියකුල යැ, බ්‍රාහ්මණකුල යැ වෛශ්‍යකුල යැ ශුද්‍රකුල යැ යි කුල සතරෙකි.
මච්ඡරිනී අස්ස: කෙසේ මෙහෙණෝ නො එන්නාහු දැ යි මෙහෙණන් වෙත කුලය පිළිබඳ නුගුණ කියා නම් පචිති ඇවැත් වෙයි. කුලය වෙත හෝ මෙහෙණන් පිළිබඳ නුගුණ කියා නම් පචිති ඇවැත් වේ.
කුලයට මසුරුකම් නො කරන්නී ඇති මැ දොසක් කියා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
පස්වන සිකපද යි.
4. 6. 6.
සවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි බොහෝ මෙහෙණෝ ගම්බද අවසෙක්හි වස් වැස නිමියාහු සැවැතට ගියාහු යැ. මෙහෙණෝ ඒ මෙහෙණන්ට මෙය කීහු: ආර්‍ය්‍යාවෝ නො තැන්හි වස් වැස සිටියාහු ද? කිම, අවවාද සමෘද්ධ වී දැ යි. ආර්‍ය්‍යාවෙනි, එහි භික්‍ෂූහු නැත. කොතැනින් අවවාද සමෘද්ධ වන්නේ ද? යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ භික්‍ෂූන් රහිත ආවාසයෙහි වස්වුසූහු දැ”යි. … සැබෑද මහණෙනි, මෙහෙණෝ භික්‍ෂූන් රහිත ආවාසයෙහි වස් වසත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ භික්‍ෂූන් රහිත ආවාසයෙහි වස් වුසූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද වනාහි මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් භික්‍ෂූන් රහිත ආවාසයෙහි වස් වසා නම් පචිති වේ” ය යි.
2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
අභික්ඛුක ආවාස නම්: සදහම් ඇසීම පිණිස හෝ පොහෝ පවුරුණු පිළිවිසීම පිණිස හෝ යන්නට නො හැක්කේ වෙයි.
වස් වසන්නෙමි යි සෙනසුන් පනවා නම් පැන් පිරිබෝදිය එළවා තබා නම් පිරිවෙන හමදී නම් දුකුළා ඇවැත් වෙයි. අරුණ නැගීම සමග පචිති ඇවැත් වේ.
වස් එළැඹුණු භික්‍ෂූහු බැහැරැ ගියාහු හෝ උපැවිදිවූවාහු හෝ කලුරිය කළාහු හෝ තීර්‍ත්‍ථ්‍යායතනයකට ගියාහු හෝ වෙත් නම්, ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
සවන සිකපද යි.
4. 6. 7.
සත්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි බොහෝ මෙහෙණෝ ගම්බද අවසෙක්හි වස් වැස සිටියාහු සැවැතට ගියාහු ය. මෙහෙණෝ ඒ මෙහෙණන්ට මෙය කීහු: ආර්‍ය්‍යාවෝ කොතැන්හි වස් වැස නිමියාහු ද, කොතැන්හි භික්‍ෂුසඞ්ඝ තෙමේ පවරනලද්දේ දැ යි. ආර්‍ය්‍යාවෙනි, අපි භික්‍ෂුසඞ්ඝයා නො පවරමු, යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පවරත්: “කෙසේ නම් මෙහෙණෝ වස් වැස නිමියාහු භික්‍ෂුසඞ්ඝයා නො පැවැරූහු දැ” යි. … සැබෑද මහණෙනි, මෙහෙණෝ වස් වැස නිමියාහු භික්‍ෂුසඞ්ඝයා නො පවරත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ වස් වැස නිමියාහු භික්‍ෂුසඞ්ඝයා නො පැවැරූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් වස් වැස නිමියාහු දෙසඟුන් කෙරෙහි දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකයෙන් හෝ (යන) තුන් කරුණෙන් නො පවරා නම් පචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
වස්සං වුත්‍ථා නම්: පළමු තෙමස හෝ පැසුළු තෙමස හෝ වැස නිමියාහු දෙසඟුන් කෙරෙහි දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකයෙන් හෝ යන තුන් කරුණෙන් නො පවරන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
අනාපත්ති: අනතුරක් ඇති කල්හි, සොයා නො ලබා නම්, ගිලන් වූවාට ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
සත්වන සිකපද යි.
4. 6. 8.
අටවන සිකපදය
1. එ සමයෙහි භාග්‍යවත් බුදුහු ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වතැ නුගඅරම්හි වැඩවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණෝ මෙහෙණ වරට එළැඹැ සවග මෙහෙණන්ට අවවාද කෙරෙති. මෙහෙණෝ සවග මෙහෙණන්ට මෙය කීහු: ආර්‍ය්‍යාවෙනි, එවු, අවවාදයට යම්හයි. ආර්‍ය්‍යාවෙනි, අපි යම් තැනකටදු අවවාද හේතුවෙන් යන්නමෝ නම් සවග ආර්‍ය්‍යයෝ මෙහි මැ අපට අවවාද කෙරෙති යි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ අවවාදයට නො ගියාහු දැ” යි … සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ අවවාදයට නො යෙත් දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ අවවාදයට නො ගියාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් ගරුදහම් ඇසීම පිණිස හෝ පොහෝපවුරුණු පිළිවිසීම පිණිස හෝ නො යේ නම් පචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරනලද භික්‍ෂුණි යි.
ඕවාද නම්: අෂ්ට ගරුධර්‍මයෝ යැ.
සංවාස නම්: ඒකකර්‍ම යැ, ඒකෝද්දේශ යැ, සමශික්‍ෂතා යැ, ගරුදහම් ඇසීම පිණිස හෝ පොහෝ පවුරුණු පිළිවිසීම පිණිස හෝ නො යන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
අනතුරක් ඇති කල්හි, සොයා දෙවැනි මෙහෙණක නො ලබා නම්, ගිලන්වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
අටවන සිකපද යි.
4. 6. 9.
නවවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ පොහොය ද නො පිළිවිසිති. අවවාදය ද නො යදිත්. භික්‍ෂුහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ පොහොයත් නො පිළිවුසූහු ද? අවවාදයත් නො යැදූහු දැ යි … සැබෑද මහණෙනි, මෙහෙණෝ පොහොයත් නො පිළිවිසිත් ද අවවාදත් නො යදිත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ පොහොයත් නො පිළිවුසූහු ද? අවවාදයත් නො යැදූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“අඩමසක් පාසා මෙහෙණක විසින් භික්‍ෂුසඞ්ඝයා වෙතින් පොහොය පිළිවිසීම ද අවවාදය පිණිස එළඹීම දැ යි දෙදහම්හු බලාපොරොත්තු විය යුත්තාහ. එය ඉක්මවන්නියට පචිති වේ” යයි.