Pācittiya

Expiation Rules

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 4249 segments

පෙන්වන කොටස් 3501-3600 න් 4249

“යම් මෙහෙණක් දික්හඟළා පුටු හෝ පලඟ හෝ පරිබෝ කෙරේ නම් පචිති වේ” ය යි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
ආසන්‍දි නම්: ඉක්ම වූ පමණ ඇතියා කියනු ලැබේ.
පල්ලඞ්ක නම්: ඇරැහිඳුවා කළ වග රුවින් කරන ලද්දේ වෙයි.
පරිභුඤ්ජෙය්‍ය: එහි වැදහිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වේ.
දික්හඟළා පුටුවෙහි පා සිඳපියා පරිබෝ කෙරේ නම්, පලඟෙහි වගරූ බිඳපියා පරිබෝ කෙරේ නම්, ඇවැත් නොවේ. උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
දෙවන සිකපද යි.
තෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මෙහෙණෝ හූ කටිති. මිනිස්සු විහාරචාරිකාවෙහි ඇවිදින්නාහු දැක ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගෘහී කාමභෝගිනියන් මෙන් හූ කැටුහු දැ” යි.
2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ හූ කැටූහු දැ” යි. සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ හූ කටිත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ හූ කැටූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසෙත්වා:
“යම් මෙහෙණක් හූ කටී නම් පචිති වේ” ය යි.
3. යා පන: යම්, යම් බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
සුත්ත නම්: හූ සයෙකි. කොමුහූ යැ, කපුහූ යැ, නියදහූ යැ, පලස්හූ යැ, හණ හූ යැ, මුසුහූ යැ.
කන්තෙය්‍ය: තොමෝ කටී නම් පියෝහි දුකුළා වෙයි. කැට නග නගා හිද්දෙහි ඔත්කල්හි පචිති ඇවැත් වේ.
කටින ලද හුයක් කටී නම් ඇවැත් නොවේ. උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
තෙවන සිකපද යි.
සිවුවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ ගිහියන් පිළිබඳ වතාවත් කෙරෙති. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගිහියන් පිළිබඳ වතාවත් කළාහු දැ” යි. … සැබෑද මහණෙනි, මෙහෙණෝ ගිහියන් පිළිබඳ වතාවත් කෙරෙත් දැ යි … සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි මෙහෙණෝ ගිහියන් පිළිබඳ වතාවත් කළාහුද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසෙත්වා:
“යම් මෙහෙණක් ගිහියන් පිළිබඳ වතාවත් කෙරේ නම් පචිති වේ” ය යී.
2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරනලද භික්‍ෂුණි යි.
ගිහීචෙය්‍යාවච්ච නම්: ගිහියකුහට කැඳක් හෝ බතක් හෝ කෑ යුත්තක් හෝ පිසා නම්, සළුවක් හෝ වෙළුමක් හෝ දොවා නම් පචිති ඇවැත් වේ.
හඹු පීමෙහි සඟබත්හි සෑපිදුමෙහි තමාගේ වතාවත්කරුට කැඳක් හෝ බතක් හෝ කෑ යුත්තක් හෝ පිසා නම්, සළුවක් හෝ වෙළුමක් හෝ දොවා නම් ඇවැත් නො වේ. උම්මත්තිකාවට ආදිකම්මිකාවට ඇවැත් නැති.
සිවුවන සිකපද යි.
පස්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා මෙහෙණක් තොමෝ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය වෙත එළඹැ ‘ආර්‍ය්‍යාවෙනි එව මේ අධිකරණය සන්සිඳව” යි කිවු යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ “මැනවැ” යි ගිවිස නො මැ සන්සිඳුවයි. සන්සිඳුවාලීම පිණිස වෑයම් නො කෙරෙයි. එකල්හි ඒ මෙහෙණ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.
2. යම් මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා මෙහෙණක විසින් ‘ආර්‍ය්‍යාවෙනි එව මේ අධිකරණය සන්සිඳව’ යි කියනු ලබන්නී ‘මැනවැ’ යි ගිවිස නො මැ සන්සිඳවූ ද? සන්සිඳවාලීම පිණිස වෑයම් නො කළා දැයි … සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී මෙහෙණක විසින් ‘ආර්‍ය්‍යාවෙනි එව මේ අධිකරණය සන්සිඳවයි කියනු ලබන්නී මැනැවැ යි ගිවිසැ නො මැ සන්සිඳවා ද සන්සිඳවාලීම පිණිස වෑයම් නො කෙරේ දැ’ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … “කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී මෙහෙණක විසින් ‘ආර්‍ය්‍යාවෙනි එව මේ අධිකරණය සන්සිඳව’ යි කියනු ලබන්නී මැනැවැ යි ගිවිසැ නො ම සන්සිඳවු ද සන්සිඳවාලීම පිණිස වෑයම් නො කළා දැ යි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසෙත්වා:
“යම් මෙහෙණක් මෙහෙණක විසින් ‘ආර්‍ය්‍යාවෙනි එව මේ අධිකරණය සන්සිඳව’ යි කියනු ලබන්නී මැනැවැයි ගිවිසැ පසුවැ අනතුරක් නැත්තී නො මැ සන්සිඳවා නම් සංසිඳවීමට වෑයම් නො කෙරේ නම් පචිති වේ” ය යි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
භික්ඛුනියා: අන් මෙහෙණක විසින්.
අධිකරණ නම්: විවාදාධිකරණ යැ අනුවාදාධිකරණ යැ ආපත්තාධිකරණ යැ කිච්චාධිකරණ යැ යි සතර අධිකරණයෙකි.
එහය්‍යෙ ඉමං අධිකරණං වූපසමෙහි: ආර්‍ය්‍යාවෙනි එව මේ අධිකරණය විනිශ්චය කරව.
සා පච්ඡා අන්නතරායිකිනී: අනතුරක් නැති කල්හි.
නේව වූපසමෙය්‍ය: තොමෝ නො සන්සිඳුව යි.
න වූපසමාය උස්සුක්කං කරෙය්‍ය: මෙරමාහට නො අණවයි. නො මැ සන්සිඳවන්නෙමි, සන්සිඳවාලීම පිණිස වෑයම් නො කරන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
උපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා අධිකරණය නො මැ සන්සිඳවා නම් සන්සිඳවාලීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා අධිකරණය නොමැ සන්ඳුසිවා නම් සන්සිඳවාලීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා නො මැ සන්සිඳවා නම් සන්සිඳවාලීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති ඇවැත් වේ.
අනුපසපනක පිළිබඳ අධිකරණය නො මැ සන්සිඳවා නම් සන්සිඳවාලීම පිණිස වෑයම් නො කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
අනතුරක් ඇති කල්හි, සොයා නො ලබා නම්, ඇවැත් නො වේ. ගිලන් වූවාට ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
පස්වන සිකපද යි.
සවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ නටවන්නන්ට ද නටන්නන්ට ද පනින්නන්ට ද ඉඳුරුදැලියන්ට ද කළකිඩියරුන්ට ද පිරිස්හි මාගේ ගුණ කියව යි සියතින් කෑ යුත්තක් හෝ බිදිය යුත්තක් හෝ දෙයි. නටවන්නෝ ද නටන්නෝ ද පනින්නෝ ද ඉඳුරුදැලියෝ ද කළකිඩියරු ද පිරිස්හි ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ ගුණ කියති. ආර්‍ය්‍ය වූ ථුල්ලනන්‍දා තොමෝ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තී පිරිවැහූ බණ දහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍ර වූවා වෙයි. ආර්‍ය්‍යාවට දෙවු ආර්‍ය්‍යාවට (සත්කාර) කරව යි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා ගිහියකු හට සියතින් කෑ යුත්තක් බිදිය යුත්තක් දුනු දැ” යි. … සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ගිහියකුහට සියතින් කෑ යුත්තක් බිදිය යුත්තක් දේ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ගිහියකුහට සියතින් කෑ යුත්තක් බිදිය යුත්තක් දුනු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසෙත්වා:
“යම් මෙහෙණක් ගිහියකු හට හෝ පිරිවැජියකුහට හෝ පිරිවැජිනියකට හෝ සියතින් කෑ යුත්තක් හෝ බිදිය යුත්තක් හෝ දේ නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී: … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
අගාරික නම්: යම් කිසිවෙක් ගෙහි වෙසෙයි ද (හේ යැ)
පරිබ්බාජක නම්: මහණ ද හෙරණ ද තබා පිරිවැජි බවට පැමිණි යම් කිසිවෙකි.
පරිබ්බාජිකා නම්: මෙහෙණ ද හික්මනුව ද හෙරැණිය ද තබා පිරිවැජි බවට පැමිණි යම් කිසිවක.
ඛාදනීය නම්: පස් බොජුන දිය දැහැටි තබා සෙස්ස ඛාදනීය නම් වේ.
භෝජනීය නම්: පස් බොජුනැ, බත් යැ, කොමු යැ, අත්සුණු යැ, දියමස් යැ, ගොඩමස් යැ.
දදෙය්‍ය: කයින් හෝ කයපිළිබැඳියකින් හෝ නිසැගියෙන් හෝ දේ නම් පචිති ඇවැත් වේ. දිය දැහැටි දේ නම් දුකුළා ඇවැත් වේ.
දෙවානම්, නො දේ නම්, වෙතැ තබා දේ නම්, බැහැරි පිඬක් දේ නම් උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති. ඇවැත් නො වේ.
සවන සිකපද යි.
සත්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී ආවස්ථ චීවරය නො නිසැජැ පිරිබෝ කෙරෙයි. අනෙක් ඔසප්වූ මෙහෙණෝ නො ලබත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ ආවස්ථචීවරය නොනිසැජැ පිරිබෝ කළා දැ” යි. … සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ආවස්ථචීවරය නො නිසැජැ පරිබෝ කෙරේ දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ආවස්ථචීවරය නොනිසැජැ පරිබෝ කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා;
“යම් මෙහෙණක් ආවස්ථචීවරය නොනිසැජැ පරිබෝ කෙරේ නම් පචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
ආවස්ථචීවර නම්: ඔසප් වූ මෙහෙණෝ පරිබෝ කෙරෙත්ව යි දෙන ලද්දේ වෙයි.
අනිස්සජිත්‍වා පරිභුඤ්ජෙය්‍ය: දෙතුන් රැයක් පිරිබෝ කොට සිවුවන දිනයෙහි දොවා මෙහෙණකට හෝ හික්මනුවකට හෝ හෙරැණියකට හෝ නොනිසැජැ පරිබෝ කෙරේ නම් පචිති ඇවැත් වේ.
නොනිසැජූ සිවුරෙහි නොනිසැජූසන් ඇතියා පිරිබෝ කෙරේ නම් පචිති ඇවැත් වෙයි. නොනිසැජූ සිවුරෙහි විමති ඇතියා පිරිබෝ කෙරේ නම් පචිති ඇවැත් වෙයි. නොනිසැජූ සිවුරෙහි නිසැජූසන් ඇතියා පිරිබෝ කෙරේ නම් පචිති ඇවැත් වේ.
නිසැජූ සිවුරෙහි නොනිසැජූ සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නිසැජූ සිවුරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වේ. නිසැජූ සිවුරෙහි නිසැජූ සන් ඇතියා නම් ඇවැත් නැති.
නිසැජැ පිරිබෝ කෙරේ නම්, නැවත පිළිවෙළින් පිරිබෝ කෙරේ නම්, අන් මෙහෙණෝ ඔසප් නොවූවෝ වෙත් නම්, ඇසිඳගත් සිවුරු ඇතියාට, නට සිවුරු ඇතියාට, ඇවැත් නො වේ. ආපදායෙහි, උම්මත්තිකාවට ආදිකම්මිකාවට ඇවැත් නැති.
සත්වන සිකපද යි.
අටවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ආවාසය නොනිසැජැ චාරිකාවට ගියා යැ. එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ ආවාසය දැවේ. භික්‍ෂුණීහු මෙසේ කීහු: “ආර්‍ය්‍යාවෙනි එසේ නම් බඩු බැහැර කරම්හ” යි. ඇතැම් මෙහෙණ කෙනෙක් “ආර්‍ය්‍යාවෙනි, අපි බැහැර නො කරම්හ. යමක් නැසුණේ නම් (ඒ) සියල්ල අපගෙන් විචාරා” යැ යි මෙසේ කීහු. ථුල්ලනන්‍දා භික්‍ෂුණී නැවත ඒ ආවාසයට පෙරළා අවුත් මෙහෙණන් පිළිවිසූ ය. ආර්‍ය්‍යාවෙනි, බඩු බැහැර කළහු දැ යි. ආර්‍ය්‍යාවෙනි, අපි නො බැහැර කළම්හ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් මෙහෙණෝ ආවාසය දැවෙන කල්හි බඩු බැහැර නො කළාහු දැ” යි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ ආවාසය නො නිසැජැ චාරිකාවට ගියා දැ” යි. … සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ආවාසය නො නිසැජැ චාරිකාවට ගියා දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ආවාසය නො නිසැජැ චාරිකාවට ගියා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසෙත්වා:
“යම් මෙහෙණක් ආවාසය නො නිසැජැ චාරිකාවට යේ නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
ආවසථ නම්: කවුළු බැඳියේ කියනු ලැබේ.
අනිස්සජ්ජිත්‍වා චාරිකං පක්කමෙය්‍ය: මෙහෙණකට හෝ හික්මනුවකට හෝ හෙරැණියකට හෝ නොනිසැජැ පිරිකෙව් කළ ආවාසයෙහි පරික්‍ෂේපය ඉක්මවන්නියට පචිති ඇවැත් වෙයි. නො පිරිකෙව් කළ ආවාසයෙහි උවසර ඉක්මවන්නියට පචිති ඇවැත් වේ.
නොනිසැජියෙහි නොනිසැජූ සන් ඇතියා බැහැරැ යේ නම් පචිති ඇවැත් වෙයි. නොනිසැජියෙහි විමති ඇතියා බැහැරැ යේ නම් පචිති ඇවැත් වෙයි. නො නිසැජියෙහි නිසැජූසන් ඇතියා බැහැරැ යේ නම් පචිති ඇවැත් වේ.
කවුළු නො බැඳියක් නොනිසැජැ බැහැරැ යේ නම් දුකුළා ඇවැත් වෙයි. නිසැජියෙහි නොනිසැජූසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නිසැජියෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වේ. නිසැජියෙහි නිසැජු සන් ඇතියා නම් ඇවැත් නැති.
නිසැජැ බැහැරැ යේ නම්, අනතුරක් ඇති කල්හි, සොයා නො ලබා නම්, ඇවැත් නො වේ. ගිලන්වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ආදිකම්මිකාවට ඇවැත් නැති.
අටවන සිකපද යි.
නවවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මෙහෙණෝ තිරශ්චීනවිද්‍යා පුහුණු කෙරෙත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේනම් මෙහෙණෝ ගිහීකාමභෝගිනියන් මෙන් තිරශ්චීනවිද්‍යා පුහුණු කළාහු දැ” යි.
2. භික්‍ෂුණීහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේනම් සවග මෙහෙණෝ තිරශ්චීනවිද්‍යා පුහුණු කළාහු දැ” යි. … සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ තිරශ්චීනවිද්‍යා පුහුණු කෙරෙත් දැ” යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ තිරශ්චීනවිද්‍යා පුහුණු කළාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තිරශ්චීනවිද්‍යා පුහුණු කෙරේ නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
තිරච්ඡානවිජ්ජා නම්: අවැඩින් යුත් බැහැරි යම් කිසිවකි.
පරියාපුණෙය්‍ය: පෙදෙන් පුහුණු කෙරේ නම් පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වෙයි. අකුරින් පුහුණු කෙරේ නම් අකුරෙහි අකුරෙහි පචිති ඇවැත් වේ.
ලිවීම පුහුණු කෙරේ නම්, දැරීම පුහුණු කෙරේ නම්, ආරක්‍ෂාව පිණිස මන්ත්‍ර පුහුණු කෙරේ නම් ඇවැත් නොවේ. උම්මත්තිකාවට ආදිකම්මිකාවට ඇවැත් නැති.
නවවන සිකපද යි.
දසවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මෙහෙණෝ තිරශ්චීන විද්‍යා හදාරවත්. මිනිස්සු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේනම් මෙහෙණෝ ගිහීකාමභෝගිනියන් මෙන් තිරශ්චීනවිද්‍යා හැදෑරැවූහු දැ යි.
2. භික්‍ෂුණීහු ලමු කොට සිතන, නුගුණ පවසන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ තිරශ්චීන විද්‍යා හැදෑරැවූහු දැ” යි. … ‘සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ තිරශ්චීන විද්‍යා හදාරවත් දැ’යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ තිරශ්චීන විද්‍යා හැදෑරැවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තිරශ්චීන විද්‍යා හදාරවා නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම් බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
තිරච්ඡානවිජ්ජා නම්: අවැඩින් යුත් බැහැරි යම්කිසි විද්‍යාවකි.
වාචෙය්‍ය: පදයෙන් හදාරවා නම් පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වෙයි. අකුරින් හදාරවා නම් අකුරෙහි අකුරෙහි පචිති ඇවැත් වේ.
ලිවීම හදාරවා නම්, දැරීම හදාරවා නම්, ආරක්‍ෂාව පිණිස මන්ත්‍ර හදාරවා නම් ඇවැත් නො වේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දසවන සිකපද යි.
පඤ්චම චිත්තාගාර වර්‍ග යි.
එහි උද්දානය: