අනතුරක් ඇතිකල්හි, සොයා නො ලබා නම්, ඇවැත් නැත. ගිලනහට ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
සතරවන සිකපද යි.
4. 4. 5.
පස්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි භද්‍රා කාපිලානී තොමෝ සාකේතයෙහි වස් එළැඹියා වෙයි. ඕතොමෝ කිසියම් කරුණෙකින් උවදුරට පැමිණියා ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ සමීපයෙහි දූතයකු යැවූ යැ. “ඉදින් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ මාහට අසපුවක් දෙන්නී නම් මම සැවැතට එන්නෙමි” යි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී ‘පැමිණේවා දෙන්නෙමැ’යි මෙසේ කිවු යැ. ඉක්බිති භද්‍රා කාපිලානී තොමෝ සාකේතයෙන් සැවැතට පැමිණියා යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී භද්‍රා කාපිලානියහට අසපුවක් දුනු යැ. එසමයෙහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණ දහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍ර වූවා වෙයි. භද්‍රා කාපිලානී තොමෝත් බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණ දහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍ර වූවා උදාර සම්භාවිතවූවා වෙයි. මිනිස්සු ආර්‍ය්‍යා භද්‍රා කාපිලානී තොමෝ බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණ දහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍ර වූවා උදාරසම්භාවිතවූවා යයි භද්‍රා කාපිලානිය පළමුව පර්‍ය්‍යුපාසනය කොට පසු වැ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය පර්‍ය්‍යුපාසනය කෙරෙත්. ථුල්ලනන්‍දා භික්‍ෂුණී ඊර්‍ෂ්‍යාවෙන් මඬනා ලද්දී “යම්බඳු මොහු හැඟීවීම් බහුල කොට ඇතියාහු විනවීම් බහුල කොට ඇතියාහු වෙසෙත් ද, මොහු අපිස් ඇතියාහු ල, ලද දෙයින් සතුටු වන්නාහු ල, ප්‍රකර්‍ෂවිවේක ඇතියාහු ල, ගිහියන් හා නොගැටුනාහු ලැ යි, කිපියා නො සියමන් වූවා භද්‍රා කාපිලානිය අසපුවෙන් ඇද දැමූ යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ ආර්‍ය්‍යා භද්‍රා කාපිලානියට අසපුවක් දී කිපියා නොසියමන් වූවා ඇදදැමූ දැ” යි. … සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී භද්‍රා කාපිලානියට අසපුවක් දී කිපියා නො සියමන් වූවා ඇදදැමූ දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී භද්‍රා කාපිලානියට අසපුවක් දී කිපියා නොසියමන් වූවා ඇද දැමූද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් මෙහෙණකට අසපුවක් දී කිපියා නොසියමන් වූවා ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ පචිති වේ” යැ යි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
භික්ඛුනියා: අන් මෙහෙණකට.
උපස්සය නම්: කවුළු බැඳියේ කියනු ලැබේ.
දත්‍වා: තොමෝ දී.
කුපිතා අනත්තමනා: නො ඇලුනී හැනුනු සිතැත්තී හටගත් ක්‍රෝධහුල් ඇත්තී.
නික්කඩ්ඪෙය්‍ය: ගැබෙහි ගෙනැ අග්දෙරියට ඇද දමානම් පචිති ඇවැත් වෙයි. අග්දෙරියෙහි ගෙනැ බැහැරට ඇද දමා නම් පචිති ඇවැත් වෙයි. එක් පියොවෙකින් බොහෝ වූ ද දොර ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
නික්කඩ්ඪාපෙය්‍ය: මෙරමා හට අණ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. වරක් අණවන ලද්දී බොහෝ වූ ද දොර ඉක්මවා නම් පචිති ඇවැත් වේ. උපසපනක කෙරෙහි උපසපන්සන් ඇත්තී අසපුවක් දී කිපියා නො සියමන් වූවා ඇදදමා නම් හෝ ඇදදමවා නම් හෝ පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා අසපුවක් දී කිපියා නො සියමන් වූවා ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇත්තී අසපුවක් දී කිපියා නො සියමන් වූවා ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ පචිති ඇවැත් වේ.
ඇයගේ පිරිකර ඇදදමා නම් හෝ ඇද දමවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. කවුළු නො බැඳියකින් ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. ඇයගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කවුළු බැඳියකින් හෝ කවුළු නො බැඳියකින් හෝ ඇද දමා නම් හෝ ඇදදමවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. ඇයගේ පිරිකර ඇදදමා නම් හෝ ඇදදමවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
අලජ්ජිනියක ඇදදමා නම් හෝ ඇද දමවා නම් හෝ ඇයගේ පිරිකර ඇද දමානම් හෝ ඇද දමවා නම් හෝ උම්මත්තිකාවක ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ ඇයගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ ඩබරකාරියක … කලහකාරියක … විවාදකාරියක … භස්සකාරියක … සඞ්ඝයා කෙරෙහි අධිකරණ කාරියක ඇදදමා නම් හෝ ඇදදමවා නම් හෝ ඇයගේ පිරිකර ඇද දමා නම් හෝ ඇදදමවා නම් හෝ මොනවට නො පවත්නා අතවැසිනියක හෝ සද්ධිවිහාරිනියක හෝ ඇදදමා නම් හෝ ඇදදමවා නම් හෝ ඇයගේ පිරිකර ඇදදමා නම් හෝ ඇදදමවා නම් හෝ, ඇවැත් නැත. උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
පස්වන සිකපද යි.
4. 4. 6.
සවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි චණ්ඩකාළී භික්‍ෂුණී ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී වෙසෙයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් “කෙසේ නම් ආර්‍ය්‍යා චණ්ඩකාළි ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී වුසූ දැ” යි. … සැබෑද මහණෙනි, චණ්ඩකාළි භික්‍ෂුණී ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී වෙසේ දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළි භික්‍ෂුණී ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී වුසූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසත්වා:
“යම් මෙහෙණක් ගැහැවියකු සමග හෝ ගැහැවිපුතකු සමග හෝ හැනුනී වෙසේ නම් ඒ මෙහෙණ තොමෝ මෙහෙණන් විසින් මෙසේ කියයුතු වන්නී යැ.: “ආර්‍ය්‍යාවෙනි, ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී නහමක් වසව. ආර්‍ය්‍යාවෙනි, වෙන්වව, සඞ්ඝයා බුහුනගේ විවේකය මැ වර්‍ණනා කෙරේ යැ” යි. මෙසේ ද ඒ මෙහෙණ තොමෝ මෙහෙණන් විසින් කියනු ලබන්නී එසේ මැ දැඩිවැ ගනී නම් ඒ මෙහෙණ තොමෝ මෙහෙණන් විසින් එය දුරලනු පිණිස තුන්යළ තෙක් සමනුභාෂණ කළ යුත්තී යැ. තුන් යළ තෙක් සමනුභාෂණය කරනු ලබන්නී එය දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනවි. ඉදින් නො දුරැලා නම් පචිති වේ” ය යි.
2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
සංසට්ඨා නම්: අනුලොම් නො වූ කායිකවාචසික ප්‍රයෝගයෙන් හැනුනී යැ.
ගහපති නම්: යම් කිසිවෙක් ගෙයි වෙසේ නම් හේ යැ.
ගහපතිපුත්ත නම්: යම් කිසි දරුබෑ කෙනෙක්.
සා භික්ඛුනී: ගිහියන් හා හැනීසිටි යම් ඒ මෙහෙණක් තොමෝ යැ.
භික්ඛුනීහි: අන් මෙහෙණන් විසිනි.
යම් මෙහෙණ කෙනෙක් දකිත් ද යම් මෙහෙණ කෙනෙක් අසත් ද ඔවුන් විසින් කිය යුතුයැ. ආර්‍ය්‍යාවෙනි, ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී නහමක් වසව. ආර්‍ය්‍යාවෙනි, වෙන්වව, සඞ්ඝයා බුහුනගේ විවේකය මැ වර්‍ණනා කෙරේ යැ යි. දෙවනවට දු කිය යුත්තී යැ ... තෙවනවට දු කිය යුත්තී යැ. ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලා නම් දුකුළා ඇවැත් වෙයි. අසා නො කියත් නම් දුකුළා ඇවැත් වෙයි. ඒ මෙහෙණ සඟමැදට දු ඇද කිය යුත්තී යැ. ආර්‍ය්‍යාවෙනි, ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී නහමක් වසව. ආර්‍ය්‍යාවෙනි, වෙන් වව. සඞ්ඝයා බුහුනගේ විවේකය මැ වර්‍ණනා කෙරේ යැ යි. දෙවනවට දු කිය යුත්තී යැ. … තෙවනවට දු කිය යුත්තීයැ. ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනවි. ඉදින් නො දුරැලා නම් දුකුළා ඇවැත් වේ. ඒ මෙහෙණ සමනුභාෂණය කළ යුත්තී යැ. මෙසේ ද මහණෙනි, සමනුභාෂණය කළ යුත්තී යැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝයා දැන්විය යුත්තේ යි.
ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝයා මවදන් අසාවා, මේ මෙනම් ඇති මෙහෙණ ගැහැවියා ද ගැහැවිපුතු ද සමඟ හැනීගියා වාසය කෙරෙයි. ඕතොමෝ ඒ වස්තුව නො දුරැලයි. ඉදින් සඟනට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙනම් ඇති මෙහෙණහට ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සමනුභාෂණය කරන්නේ යැ. මේ ඥප්ති යි.
ආර්‍ය්‍යාවෙනි සඞ්ඝයා මවදන් අසාවා. මේ මෙනම් ඇති මෙහෙණ ගැහැවියා ද ගැහැවි පුතු ද සමඟ හැනීගියා වාසය කෙරෙයි. ඕතොමෝ ඒ වස්තුව නො දුරැලයි. සඞ්ඝයා මෙනම් ඇති මෙහෙණහට ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සමනුභාෂණය කෙරෙයි. මෙනම් ඇති මෙහෙණහට ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සමනුභාෂණය යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕතොමෝ නිහඬ වන්නී යැ, යමකට නො රුස්නේ නම් ඕතොමෝ කියන්නී යැ. දෙවනුවට දු තෙල කරුණ කියමි. … තෙවනවට දු තෙල කරුණ කියමි. … මෙනම් ඇති මෙහෙණ ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සඞ්ඝයා විසින් සමනුභාෂණය කරන ලද්දී යැ. සඟනට රුස්නේ යැ. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි යි.
ඥප්තියෙන් දුකුළා යැ. දෙකම් වදනින් දෙදුකුළා යැ. කම් වදන් පිරියතැ පචිති ඇවැත් වෙයි.
දැහැමිකම්හි දැහැමිකම් සන් ඇත්තී නො දුරැලා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇත්තී නො දුරැලා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි නො දැහැමිකම් සන් ඇත්තී නො දුරැලා නම් පචිති ඇවැත් වේ.
නො දැහැමිකම්හි දැහැමිකම් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකම් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
සමනුභාෂණය නො කරන්නියට, දුරැලන්නියට, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
සවන සිකපද යි.
4. .4. 7
සත්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ සැක සහිතැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටතුළැ ගැල් සාත්තු නැතියාහු චාරිකායෙහි හැසිරෙත්. ධූර්‍තයෝ දූෂණය කෙරෙත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති දොස් පතුරුවත්, “කෙසේ නම් මෙහෙණෝ සැකසහිතැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටතුළැ ගැල්සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරුණාහු දැ” යි. … හැබෑද මහණෙනි, මෙහෙණෝ සැකසහිතැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටතුළැ ගැල් සාත්තු නැතියාහු හැසිරුණාහු දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ සැකසහිතැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටතුළැ ගැල්සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරුණාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තොමෝ සැක සහිතැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රට තුළැ ගැල් සාත්තු නැතියා චාරිකායෙහි හැසිරේ නම් පචිති වේ” ය යි.
2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
අන්තොරට්ඨෙ: යමක්හුගේ රටෙහි වෙසේ නම් ඔහුගේ රටෙහි යැ.
සාසඞ්ක නම්: එ මඟෙහි සොරුන් වුසූ තැනෙක් පැනෙයි. අහර කිස කළ තැනෙක් පැනෙයි. සිටි තැනෙක් පැනෙයි, හුන් තැනෙක් පැනෙයි. හොත් තැනෙක් පැනේ.
සප්පටිභය නම්: ඒ මඟෙහි සොරුන් විසින් නසන ලද මිනිස්සු පැනෙති. වොලෝ ගන්නා ලද්දාහු පැනෙති. කොළන ලද්දාහු පැනෙති.
අසත්‍ථිකා නම්: ගැල් සාත්තුව හැර.
චාරිකං චරෙය්‍ය: කුකුළු ගමන් ඇති ගමෙහි නම් ගමතුරෙහි ගමතුරෙහි පචිති ඇවැත් වෙයි. නො ගම වු අරන්හි අඩයොත්නෙහි අඩයොත්නෙහි පචිති ඇවැත් වේ.
ගැල් සාත්තුව සමග යේ නම් ක්‍ෂේම වූ ප්‍රතිභය රහිත වූ ගමෙහි යේ නම් ඇවැත් නැත. ආපදායෙහි උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
සත්වන සිකපද යි.
4. 4. 8.
අටවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි මෙහෙණෝ සැක සහිතයැයි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටින් පිටතැ ගැල් සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරෙත්. ධූර්‍තයෝ දූෂණය කෙරෙත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ සැක සහිතයැයි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටින් පිටතැ ගැල් සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරුණාහු දැ”යි, … සැබෑද මහණෙනි, මෙහෙණෝ සැක සහිතයැයි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටින් පිටතැ ගැල් සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරෙත් දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ සැක සහිතයැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටින් පිටතැ ගැල් සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරුණාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසෙත්වා:
“යම් මෙහෙණක් තොමෝ වනාහි සැක සහිතැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටින් පිටතැ ගැල් සාත්තු නැතියා චාරිකාවෙහි හැසිරේ නම් පචිති වේ” ය යි.
2. යා පන: යම් යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
තිරොරට්ඨ නම්: යමක්හුගේ රටෙහි වෙසේ නම් එය තබා අනෙකක්හුගේ රටෙහි යැ.
සාසඞ්ක නම්: ඒ මඟෙහි සොරුන් වුසූ තැනෙක් පැනෙයි. අහර කිස කළ තැනෙක් පැනෙයි. සිටි තැනෙක් පැනෙයි. හුන් තැනෙක් පැනෙයි, හොත් තැනෙක් පැනේ.
සප්පටිභය නම්: ඒ මඟෙහි සොරුන් විසින් නැසූ මිනිස්සු පැනෙති, වොලොගන්නා ලද්දාහු පැනෙති. කොළන ලද්දාහු පැනෙත්.
අසත්‍ථිකා නම්: ගැල් සාත්තුව හැරැ.
චාරිකං චරෙය්‍ය: කුකුළු ගමන් ඇති ගමෙහි නම් ගමතුරෙහි ගමතුරෙහි පචිති ඇවැත් වෙයි. නොගම් වූ අරන්හි අඩයොත්නෙහි අඩයොත්නෙහි පචිති ඇවැත් වේ.
ගැල් සාත්තුව සමග යේ නම්, ක්‍ෂේම වූ ප්‍රතිභය රහිත වූ ගමෙහි යේ නම් ඇවැත් නැත. ආපදායෙහි උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
අටවන සිකපද යි.
4. .4. 9
නවවන සිකපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවරැ වේළුවන නම් කලන්‍දක නිවාපයෙහි වැඩවෙසෙති. එසමයෙහි වනාහි මෙහෙණෝ ඇතුළුවසැ චාරිකායෙහි හැසිරෙත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් “කෙසේ නම් මෙහෙණෝ ඇතුළු වසැ නිල්තණ මඬින්නෝ ඒකෙන්‍ද්‍රිය ජීවය පෙළන්නෝ බොහෝ කුඩා පණුවන් විනාශයට පමුණුවන්නාහු චාරිකායෙහි හැසිරුණාහු දැ” යි.
2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ඇතුළු වසැ චාරිකාවෙහි හැසුරුණාහු දැ” යි … සැබෑද මහණෙනි, මෙහෙණෝ ඇතුළු වසැ චාරිකායෙහි හැසිරෙත් දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ ඇතුළු වසැ චාරිකාවෙහි හැසිරුණාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තොමෝ ඇතුළු වසැ චාරිකායෙහි හැසිරේ නම් පචිති වේ” ය යි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
අන්තොවස්සං: පළමු තෙමස හෝ පැසුළු තෙමස හෝ නො වැස.
චාරිකං චරෙය්‍ය: කුකුළු ගමන් ඇතිගමෙහි නම් ගමතුරෙහි ගමතුරෙහි පචිති ඇවැත් වෙයි. නොගම් වූ අරන්හි අඩයොත්නෙහි අඩයොත්නෙහි පචිති ඇවැත් වේ.
සත්තාහකරණීයයෙන් යේ නම්, කිසිවකු විසින් උවදුරු කරන ලද්දී යේ නම්, ආපදායෙහි උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
නවම සිකපද යි.
4. 4. 10.
දසම සිකපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවරැ වේළුවන නම් කලන්‍දකනිවාපයෙහි වැඩවෙසෙති, එසමයෙහි වනාහි මෙහෙණෝ එහි මැ රජගහනුවරැ වස් වෙසෙති. හිමත් සමය එහි යැ ගිමන් සමය එහි යැ. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “මෙහෙණන්ට දිගුහු හකයහ, අඳුරුයහ, මොවුනට දිසාවෝ නො වැටහෙති” යි.
2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. එකල්හි ඒ මෙහෙණෝ භික්‍ෂූන්ට තෙල කරුණ ඇරොජූහු. භික්‍ෂූහු භාග්‍යවතුන්ට තෙල කරුණ ඇරොජූහු. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මේ අවසරයෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක. එසේ නම් මහණෙනි, මෙහෙණන්හට දස කරුණක් පිණිස සිකපද පනවන්නෙමි. සඞ්ඝයාගේ මනාබව පිණිස යැ … සසුන් තිරකල් පැවැත්ම පිණිස යැ. විනයට රුකුල් පිණිස යැ. මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තොමෝ වැස නිමවූ වස් ඇතියා යටත් පිරිසෙයින් සපස් යොදුනකුදු චාරිකායෙහි නොයේ නම් පචිති වේ” ය යි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
වස්සංවුත්‍ථා නම්: පළමු තෙමස හෝ පැසුළු තෙමස හෝ වැස නිමවූ වස් ඇතියා යටත් පිරිසෙයින් සපස් යොදුනකුදු චාරිකායෙහි නො යන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
අනතුරක් ඇති කල්හි, සොයා දෙවන මෙහෙණක නො ලබා නම් ඇවැත් නැත. ගිලන් වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
දසවන සිකපද යි.
චතුර්‍ත්‍ථ තුවට්ට වර්‍ග යි.
එහි උද්දානය:
සෙය්‍ය යැ ඒකත්‍ථරණ යැ අඵාසුක යැ දුක්ඛිත යැ උපස්සය සමඟ සංසට්ඨ යැ අන්තොරට්ඨ – තිරොරට්ඨ දෙක යැ අන්තෝවස්සය සමඟ චාරිකා යැ යි.
5. චිත්තාගාරවර්‍ගය
4. 5. 1.
පළමු සිකපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි වනාහි ප්‍රසේනජිත් කෝශල රාජයාගේ උයනෙහි වූ චිත්‍රාගාරයෙහි ප්‍රතිභාන චිත්‍රයෙක් කරන ලද්දේ වෙයි. බොහෝ මිනිස්සු චිත්‍රාගාරය දැකීම පිණිස යෙති. සවග මෙහෙණෝ ද චිත්‍රාගාරය දැකීම පිණිස ගියාහු ය. … මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගෘහී කාමභෝගිනියන් මෙන් චිත්‍රාගාරය දැකීම පිණිස ගියාහු දැ” යි.
2. භික්‍ෂුණීහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ චිත්‍රාගාරය දැකීම පිණිස ගියාහු දැ” යි. … සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ චිත්‍රාගාරය දැකීම පිණිස යෙත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ චිත්‍රාගාරය දැකීම පිණිස ගියාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසෙත්වා:
“යම් මෙහෙණක් රාජාගාරයක් හෝ චිත්‍රාගාරයක් හෝ ආරාමයක් හෝ උයනක් හෝ පොකුණක් හෝ දැකීම පිණිස යේ නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
රාජාගාර නම්: යම්කිසි තැනෙකැ රජුට කෙළනට ඇලෙන්නට කරන ලද්දේ වෙයි.
චිත්තාගාර නම්: යම්කිසි තැනෙකැ මිනිසුනට කෙළනට ඇලෙන්නට කරන ලද්දෙක් වෙයි.
ආරාම නම්: යම්කිසි තැනෙකැ මිනිසුනට කෙළනට ඇලෙන්නට කරන ලද්දෙක් වෙයි.
උය්‍යාන නම්: යම්කිසි තැනෙකැ මිනිසුනට කෙළිනට ඇලෙන්නට කරන ලද්දෙක් වෙයි.
පොක්ඛරණී නම්: යම්කිසි තැනෙකැ මිනිසුනට කෙළනට ඇලෙන්නට කරනලද්දී වේ.
දැකීම පිණිස යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියා දකී නම් පචිති ඇවැත් වෙයි. දසුන් උවසර හැරැපියා පුනපුනා දකී නම් පචිති ඇවැත් වෙයි. එකක් එකක් දැකීම පිණිස යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියා දකී නම් පචිති ඇවැත් වෙයි. දසුන් උවසර හැරැපියා පුනපුනා දකී නම් පචිති ඇවැත් වේ.
අරමෙහි සිටියා දකී නම්, යන්නී හෝ එන්නී හෝ දකී නම්, කරණී ඇති කල්හි ගොස් දකී නම්, ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
පළමු සිකපද යි.
4. 5. 2.
දෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ දික්හඟළා පුටු ද පලඟ ද පරිබෝ කරති. මිනිස්සු විහාරචාරිකාවෙහි ඇවිදින්නාහු දැක ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගෘහී කාමභෝගිනියන් මෙන් දික්හඟළා පුටු ද පලඟ ද පරිබෝ කළාහු දැ” යි.
2. භික්‍ෂුණීහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දික්හඟළා පුටු ද පලඟ ද පරිබෝ කළාහු දැ” යි … සැබෑ ද මහණෙනි, මෙහෙණෝ දික්හඟළා පුටු ද පලඟ ද පරිබෝ කරත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ. … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ දික්හඟළා පුටු ද පලඟ ද පිරිබෝ කළාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා: