Pācittiya

Expiation Rules

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 4249 segments

පෙන්වන කොටස් 3301-3400 න් 4249

සවන සිකපද යි.
සත්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි මෙහෙණ සඟනට නො කල් සිවුරෙක් උපන්නේ වෙයි. එකල්හි මෙහෙණසඟහු එ සිවුර බෙදනු කැමැති වැ රැස්වූහ. එසමයෙහි ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ අතැවැසි මෙහෙණෝ බැහැර ගියාහු වෙති. ථුල්ලනන්‍දා භික්‍ෂුණී ඒ මෙහෙණන්ට මෙය කිවු යැ. “ආර්‍ය්‍යාවෙනි මෙහෙණෝ බැහැර ගියාහු යැ. (එන) තෙක් සිවුර නො බෙදන්නේ යැයි දැහැමි සිවුරු බෙදීම වැළැක්වූ යැ. මෙහෙණෝ එතෙක් සිවුරු නො බෙදන්නේ යැ යි බැහැර ගියාහු යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී අතැවැසි මෙහෙණන් පැමිණි කල්හි ඒ සිවුර බෙදවූ යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ දැහැමි සිවුරු බෙදීම වැළැක්වූ දැ”යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී දැහැමි සිවුරු බෙදීම වැළැක්වූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී දැහැමි සිවුරු බෙදීම වැළැක් වූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් දැහැමි සිවුරු බෙදීම වළක්වා නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරනලද භික්‍ෂුණියි.
ධම්මිකචීවර විභංග නම්: සමග වූ මෙහෙණසඟහු රැස්වී බෙදති.
පටිබාහෙය්‍ය: කෙසේ මේ සිවුර බෙදා දැයි වළක්වා නම් පචිති ඇවැත් වේ.
දැහැමියෙහි දැහැමිසන් ඇතියා වළක්වා නම් පචිති ඇවැත් වෙයි. දැහැමියෙහි විමති ඇතියා වළක්වා නම් දුකුළා ඇවැත් වෙයි. දැහැමියෙහි නොදැහැමිසන් ඇතියා වළක්වා නම් ඇවැත් නැති.
නො දැහැමියෙහි දැහැමිසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමියෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමියෙහි නො දැහැමිසන් ඇතියා නම් ඇවැත් නැති.
අනුසස් දක්වා වළක්වා නම්, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සත්වන සිකපද යි.
අටවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ “මාගේ ගුණ පිරිස්හි කියවයි නටවන්නන්ට ද නටන්නන්ට ද පනින්නන්ට ද ඉඳුරුදැලියන්ට ද කළකිඩියරුන්ට ද මහණ සිවුරු දෙයි. නටවන්නෝ ද නටන්නෝ ද පනින්නෝ ද ඉඳුරුදැලියෝ ද කළකිඩියරු ද ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ ගුණ පිරිස්හි කියති: “ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ බොහෝ ඇසූ පිරූතැන් ඇත්තී පිරිවැහූ බණදහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කරන්නට අග්‍රවූවා වෙයි. ආර්‍ය්‍යාවට දෙවු. ආර්‍ය්‍යාවහට (සත්කාර) කරවයි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ ගිහියකුට මහණසිවුරු දුනු දැ”යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ගිහියකුට මහණ සිවුරු දේ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ගිහියකුට මහණසිවුරු දුනු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත් වා:
“යම් මෙහෙණක් ගිහියකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජිනියකට හෝ මහණසිවුරු දේ නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණියි.
අගාරික නම්: ගෙහි වෙසෙන යම් කිසිවෙක්.
පරිබ්බාජක නම්: මහණ ද හෙරණ ද තබා පිරිවැජිබවට පැමිණි යම් කිසිවෙකි.
පරිබ්බාජිකා නම්: මෙහෙණ ද හික්මනුව ද හෙරැණිය ද තබා පිරිවැජි බවට පැමිණි යම් කිසිවක.
සමණචීවර නම්: කප්බින්‍දු ඔබනලද සිවුර කියනු ලැබේ. දේ නම් පචිති ඇවැත් වේ.
මවුපියන්ට දේ නම්, තව්කැලි කොට දේ නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
අටවන සිකපද යි.
නවවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ උපස්ථායක කුලය ථුල්ලනන්‍දා භික්‍ෂුණියට මෙය කී යැ: “ආර්‍ය්‍යාවෙනි, ඉදින් අපි හැකියමෝ නම් මෙහෙණ සඟනට සිවුරක් දෙම් හ” යි. එ සමයෙහි වස්වැස නිමවූ මෙහෙණෝ සිවුරු බෙදනු කැමැත්තාහු රැස්වූහ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී ඒ මෙහෙණන්ට මෙය කිවු යැ: “ආර්‍ය්‍යාවෙනි පොරොත්තු වවු; මෙහෙණසඟනට චීවරප්‍රත්‍යාශාව ඇතැ” යි. මෙහෙණෝ ථුල්ලනන්‍දා භික්‍ෂුණියට මෙය කීහු: ආර්‍ය්‍යාවෙනි, “යව ඒ සිවුර දනුව” යි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී ඒ කුලය වෙත එළඹියා ය. එළැඹැ ඒ මිනිසුන්ට මෙය කිවු යැ: ඇවැත්නි, “මෙහෙණ සඟනට සිවුරක් දෙව” යි. “ආර්‍ය්‍යාවෙනි, අපි මෙහෙණ සඟනට සිවුරක් දෙන්නට නො හැකියම්හ” යි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී මෙහෙණන්හට තෙල කරුණ ඇරොජූ යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ සිවුරක් ලබන දුබල රිසියෙන් චීවරකාලසමය ඉක්මවූ දැ”යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී සිවුරක් ලබන දුබල රිසියෙන් චීවරකාලසමය ඉක්මවූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී සිවුරක් ලබන දුබල රිසියෙන් චීවරකාල සමය ඉක්ම වූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත් වා:
“යම් මෙහෙණක් තොමෝ සිවුරක් ලබන දුබල රිසියෙන් චීවර කාලසමය ඉක්මවා නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී: ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
දුබ්බලචීවරපච්චාසා නම්: ඉදින් අපි හැකියමෝ නම් දෙන්නමු කරන්නමු යි වාග් භේද කළා වෙයි.
චීවරකාලසමය නම්: කෙළින් නො අතුළ කල්හි වස්සානය පිළිබඳ පැසුළුමස යැ. කෙළින් අතුළ කල්හි පස්මස යි.
චීවරකාලසමයං අතික්කාමෙය්‍ය: කෙළින් නො අතුළ කල්හි වස්සානය පිළිබඳ පැසුළු දවස ඉක්මවා නම් පචිති ඇවැත් වෙයි. කෙළින් අතුළ කල්හි කෙළින් උදුරන දවස ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
දුබල සිවුරෙහි දුබල සිවුරුසන් ඇතියා චීවරකාලසමය ඉක්මවා නම් පචිති ඇවැත් වෙයි. දුබල සිවුරෙහි විමති ඇතියා චීවරකාලසමය ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි. දුබල සිවුරෙහි නො දුබල සිවුරුසන් ඇතියා චීවරකාලසමය ඉක්මවා නම් ඇවැත් නැති.
නො දුබල සිවුරෙහි දුබල සිවුරු සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දුබල සිවුරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දුබල සිවුරෙහි නො දුබල සිවුරුසන් ඇතියා නම් ඇවැත් නැති.
අනුසස් දක්වා වළක්වා නම්, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
නවවන සිකපද යි.
දසවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා උවසුවකු විසින් සඞ්ඝයා උදෙසා විහාරයෙක් කරවන ලද්දේ වෙයි. හෙ තෙමේ ඒ විහාර පූජෝත්සවයෙහි දෙ සඟුන්හට අයල් සිවුරක් දෙනු කැමැතියේ වෙයි. එසමයෙහි වනාහි දෙ සඟුන් විසින් කඨිනය අතුරන ලද්දේ වෙයි. එකල්හි ඒ උවසු මේ සඞ්ඝයා වෙතැ එළැඹැ කඨින ඉදිරීම යැදී යැ. භාග්‍යවතුන්හට තෙල කරුණ ඇරොජූහු. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූ සේක. ‘මහණෙනි, කඨිනය උදුරන්නට අනුදනිමි’ මෙසේ ද මහණෙනි, ඉදිරිය යුතුයි. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝයා දැන්විය යුත්තේ යි.
2. ස්වාමීනි, සඞ්ඝයා මවදන් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝයා කඨිනය උදුරන්නේ යැ. මේ ඥප්ති යි.
ස්වාමීනි සඞ්ඝයා ම වදන් අසාවා. සඞ්ඝයා කඨිනය උදුරයි. යම් ආයුෂ්මත් කෙනකු කඨිනය ඉදිරීම රුස්නේ නම් හෙ නිහඬ වන්නේ යැ. යමක්හට නො රුස්නේ නම් හෙ කියන්නේ යැ. සඞ්ඝයා විසින් කඨින උදුරන ලදී. සඞ්ඝයාට රුස්නේ යැ. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි යි.
3. ඉක්බිති ඒ උවසු මෙහෙණසඟුන් වෙතැ එළැඹැ කඨින ඉදිරීම යැදී යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී සිවුර අපට වන්නේ යයි කඨින ඉදිරීම වැළැක්වූ යැ. එකල්හි ඒ උවසු ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් මෙහෙණෝ අපට කඨින ඉදිරීම නො දුන්නු දැ” යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ උවසුවාගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.
4. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ දැහැමි වූ කඨින ඉදිරීම වැළැක්වූ” දැ යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී දැහැමි වූ කඨින ඉදිරීම වැළැක් වූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී දැහැමි වූ කඨින ඉදිරීම වැළැක්වූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් දැහැමි වූ කඨින ඉදිරීම වළක්වා නම් පචිති වේ” යයි.
5. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී: ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
ධම්මිකකඨිනුද්ධාර නම්: සමඟ වූ මෙහෙණ සඟහු රැස්වී උදුරති.
පටිබාහෙය්‍ය: කෙසේ මේ කඨින උදුරන්නේ දැ යි වළක්වා නම් පචිති ඇවැත් වේ.
දැහැමියෙහි දැහැමි සන් ඇතියා වළක්වා නම් පචිති ඇවැත් වෙයි. දැහැමියෙහි විමති ඇතියා වළක්වා නම් දුකුළා ඇවැත් වෙයි. දැහැමියෙහි නො දැහැමිසන් ඇතියා වළක්වා නම් ඇවැත් නැති.
නො දැහැමියෙහි දැහැමිසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමියෙහි විමති ඇතියා නම් දුකුළා ඇවත් වෙයි. නො දැහැමියෙහි නො දැහැමිසන් ඇතියා නම් ඇවැත් නැති.
අනුසස් දක්වා වළක්වා නම්, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දසවන සිකපද යි.
තෘතීය නග්න වර්‍ග යි.
එහි උද්දානය:
නග්ග යැ උදක (සාටිකා) යැ විසිබ්බන යැ පඤ්චාහික යැ (චීවර) සඞ්කමනීය යැ ගණ යැ (චීවර) විභඞ්ග යැ සමණ (චීවර) යැ දුබ්බල යැ කඨිනයෙන් දැ යි.
4. තුවට්ටවර්‍ගය
පළමු සිකපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි මෙහෙණෝ දෙදෙනෙක් එක් ඇඳෙහි එක් වැ හොවිත්. මිනිස්සු විහාරචාරිකායෙහි ඇවිදින්නාහු දැක ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දෙදෙනෙක් ගෘහී කාමභෝගිනියන් මෙන් එක් ඇඳෙහි එක් වැ හොත්හු දැ”යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දෙදෙනෙක් එක් ඇඳෙහි එක් වැ හොත්හු දැ”යි. … සැබෑද මහණෙනි, මෙහෙණෝ දෙදෙනෙක් එක් ඇඳෙහි එක් වැ හොවිත් දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ දෙදෙනෙක් එක් ඇඳෙහි එක් වැ හොත්හු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසෙත්වා:
“යම් මෙහෙණෝ දෙදෙනෙක් එක් ඇඳෙහි එක් වැ හොවිත් නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනියො: උපසපන් වූවෝ කියනු ලැබෙත්.
ද්වෙ ඒකමඤ්චෙ තුවට්ටෙය්‍යුං: එකක හොත් කල්හි අනෙකක් හොවී නම් පචිති ඇවැත් වෙයි. දෙදෙන මැ හොවිත් නම් පචිති ඇවැත් වෙයි, නැඟිට පුන පුනා හොවිත් නම් පචිති ඇවැත් වේ.
එකෙකු හොත් කල්හි අනෙකක් හිඳී නම්, දෙදෙන මැ හිඳිත් නම්, උම්මත්තිකාවනට … ආදිකම්මිකාවනට ඇවැත් නැති.
පළමු සිකපදයි.
දෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ දෙදෙනෙක් එක් මැ ඇතිරි පොරෝනා ඇති වැ හොවිත්. මිනිස්සු විහාරචාරිකායෙහි ඇවිදින්නාහු දැක ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ දෙදෙනෙක් එක් මැ ඇතිරි පොරෝනා ඇති වැ ගෘහීකාමභෝගිනියන් මෙන් හොත්හු” දැයි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ දෙදෙනෙක් එක් මැ ඇතිරි පොරෝනා ඇති වැ හොත්හු දැ” යි. … සැබෑ ද මහණෙනි, මෙහෙණෝ දෙදෙනෙක් එක් මැ ඇතිරි පොරෝනා ඇති වැ හොවිත් දැ යි, සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ දෙදෙනෙක් එක් මැ ඇතිරි පොරෝනා ඇති වැ හොත්හු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසෙත්වා:
“යම් මෙහෙණෝ දෙදෙනෙක් එකක් මැ ඇතිරි පොරෝනා ඇති වැ හොවිත් නම් පචිති වේ” ය යි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනියො: උපසපන්වූවෝ කියනු ලැබෙත්.
ද්වෙ ඒකත්‍ථරණපාපුරණා තුවට්ටෙය්‍යුං: එය මැ අතුරා එය මැ පොරවත් නම් පචිති ඇවැත් වේ.
ඒකාස්තරණප්‍රාවරණයෙහි ඒකාස්තරණප්‍රාවරණසංඥා ඇතියාහු එක් වැ හොවිත් නම් පචිති ඇවැත් වෙයි. ඒකාස්තරණප්‍රාවරණයෙහි විමති ඇතියාහු එක් වැ හොවිත් නම් පචිති ඇවැත් වෙයි. ඒකාස්තරණ ප්‍රාවරණයෙහි නානාස්තරණප්‍රාවරණසංඥා ඇතියාහු එක් වැ හොවිත් නම් පචිති ඇවැත් වේ.
ඒකාස්තරණයෙහි නානාප්‍රාවරණසංඥා ඇතියාහු නම් දුකුළා ඇවැත් වෙයි. නානාස්තරණයෙහි ඒකප්‍රාවරණසංඥා ඇතියාහු නම් දුකුළා ඇවැත් වෙයි. නානාස්තරණප්‍රාවරණයෙහි එකාස්තරණප්‍රාවරණ සංඥා ඇතියාහු නම් දුකුළා ඇවැත් වෙයි. නානාස්තරණප්‍රාවරණයෙහි විමති ඇතියාහු නම් දුකුළා ඇවැත් වෙයි. නානාස්තරණප්‍රාවරණයෙහි නානාස්තරණප්‍රාවරණසංඥා ඇතියාහු නම් ඇවැත් නැති.
අතරක් දක්වා හොවිත් නම් ඇවැත් නොවේ. උම්මත්තිකාවනට … ආදිකම්මිකාවනට ඇවැත් නැති.
දෙවන සිකපද යි.
තෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණදහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කරන්නට අග්‍රවූවා වෙයි. භද්‍රා කාපිලානී තොමෝත් බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණදහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කරන්නට අග්‍රවූවා උදාර පුද්ගලයන් විසින් සම්භාවිත වූවා වෙයි. මිනිස්සු ආර්‍ය්‍යා භද්‍රා කාපිලානී තොමෝ බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණ දහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍රවූවා උදාර පුද්ගලයන් විසින් සම්භාවිත වූවා යැයි භද්‍රා කාපිලානිය පළමු කොට පර්‍ය්‍යුපාසනය කොට පසුවැ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය පර්‍ය්‍යුපාසනය කෙරෙත්. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඊර්‍ෂ්‍යාවෙන් මඩනා ලද්දී “මොහු වනාහි අපිස්වූවාහු සන්තුෂ්ට වූවාහු ප්‍රවිවික්ත වූවාහු අමිශ්‍ර වූවාහුය. යම්බඳු මොහු හැඟවීම් බහුල කොට ඇතියාහු විනවීම් බහුල කොට ඇතියාහු වෙසෙද්දැයි භද්‍රා කාපිලානියගේ ඉදිරියෙහි සක්මන් ද කෙරෙයි, සිටීමද කෙරෙයි, හිඳීම ද කෙරෙයි, ශයනය ද කෙරෙයි, උදෙසීම ද කෙරෙයි, උදෙසවා ගැනීම ද කෙරෙයි, හැදෑරීම ද කෙරෙයි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ ආර්‍ය්‍යා භද්‍රා කාපිලානියහට දැනැදැනැ අපහසු බව කළා දැයි … සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා මෙහෙණ භද්‍රා කාපිලානියහට දැන දැන අපහසු බව කෙරේදැයි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ භද්‍රා කාපිලානියහට දැනැදැනැ අපහසුබව කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසෙත්වා:
“යම් මෙහෙණක් මෙහෙණකට දැනැ දැනැ අපහසුබව කෙරේ නම් පචිති ඇවැත් වේ” ය යි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
භික්ඛුනියා: අන් මෙහෙණකට.
සඤ්චිච්ච: දන්නී මොනවට දන්නී සිතා නිසැක සිත මෙහෙයවා ව්‍යතික්‍රමයැ.
අඵාසුං කරෙය්‍ය: මෙයින් මැයහට අපහසුවෙක් වන්නේ යැයි නො පිළිවිසැ ඉදිරියෙහි සක්මන් කෙරේ නම් හෝ සිටී නම් හෝ හිඳී නම් හෝ ශයනය කෙරේ නම් හෝ උදෙසා නම් හෝ උදෙසවා නම් හෝ හැදෑරීම කෙරේ නම් හෝ පචිති ඇවැත් වේ.
උපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා දැනැදැනැ අපහසු බව කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා දැනදැන අපහසුබව කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා දැනැදැනැ අපහසු බව කෙරේ නම් පචිති ඇවැත් වේ.
අනුපසපනකහට දැනැදැනැ අපහසුබව කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
අපහසුබව නො කරනු කැමැත්තී නම්, පිළිවිසැ ඉදිරියෙහි සක්මන් කෙරේ නම් හෝ සිටී නම් හෝ හිඳී නම් හෝ ශයනය කෙරේ නම් හෝ උදෙසා නම් හෝ උදෙස්වා නම් හෝ හැදෑරීම කෙරේ නම් ඇවැත් නැත. උම්මත්තිකාවට … ආදිකම්මිකාවට … ඇවැත් නැති.
තෙවන සිකපද යි.
සතරවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ දුකටපත් සහජීවනියහට නොමැ උවැටන් කෙරෙයි. උවැටන් කැරැවීමට උත්සාහ නො කෙරෙයි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ දුකටපත් සහජීවිනියහට නොමැ උවැටන් කළා ද? උවැටන් කැරැවීමට උත්සාහ නො කළා” දැයි … සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ දුකටපත් සහජීවනියහට නො මැ උවැටන් කෙරේද? උවැටන් කැරැවීමට උත්සාහ නො කෙරේදැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ දුකටපත් සහජීවනියහට නොමැ උවැටන් කළා ද? උවැටන් කැරැවීමට උත්සාහ නො කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තොමෝ දුකටපත් සහජීවනියට නො මැ උවැටන් කෙරේ නම් උවැටන් කැරැවීමට උත්සාහ නො කෙරේ නම් පචිති වේ” ය යි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී: … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
දුක්ඛිතා නම්: ගිලනැයි කියනු ලැබෙයි.
සහජීවනී නම්: සද්ධිවිහාරිනී කියනු ලැබෙයි.
නේව උපට්ඨෙය්‍ය: තොමෝ උවැටන් නො කෙරෙයි.
න උපට්ඨාපනාය උස්සුක්කං කරෙය්‍ය: මෙරමාහට නො අණවයි. නොමැ උවැටන් කරන්නෙමි උවැටන් කැරැවීමට උත්සාහ නො කරන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වෙයි. අතැවැසිනියකට හෝ අනුපසපනකහට හෝ නොමැ උවැටන් කෙරේ නම් උවැටන් කැරැවීමට උත්සාහ නො කෙරේ නම් දුකුළා ඇවැත් වේ.