දූපධාරිතෙන: අන් පරිද්දෙකින් දරන ලදුයෙන්.
පරං: උපසපනක ලමුකොට සිතවා නම් පචිති ඇවැත් වෙයි.
උපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා ලමු කොට සිතවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා ලමු කොට සිතවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා ලමු කොට සිතවා නම් පචිති ඇවැත් වේ.
අනුපසපනක ලමු කොට සිතවා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
අටවන සිකපද යි.
4. 2. 9.
නවවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ තමාගේ බඩු නො දක්නාහු චණ්ඩකාලී මෙහෙණට “ආර්‍ය්‍යාවෙනි, අපගේ බඩු දක්නෙහි”දැ යි මෙය කීහු. චණ්ඩකාළී මෙහෙණ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: යම් ආර්‍ය්‍යා කෙනෙක් තමාගේ බඩු නො දක්නාහු ද, ඔහු මට “ආර්‍ය්‍යාවෙනි, අපගේ බඩු දක්නෙහි” දැ යි මෙසේ කීහු යැ. මම් මැ ඒකාන්තයෙන් සෙරකිම් වෙම් ද, මම් මැ ඒකාන්තයෙන් ලජ්ජා නැතියකිම් වෙම් ද, ඉදින් ආර්‍ය්‍යාවෙනි, තොපගේ බඩු ගනිම් නම් නො මෙහෙණකිම් වෙමි. බඹසරින් ගිලිහෙමි, නිරයෙහි උපදිමි. යමක් වනාහි අභූතයෙන් මා හට මෙසේ කිවු ද, ඕ තොමෝත් නො මෙහෙණක් වේවා, බඹසරින් ගිලිහේවා, නිරයෙහි උපදීවා යි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය චණ්ඩකාළී තොමෝ තමාට ද මෙරමාට ද නිරයෙනුදු බඹසරිනුදු හැවූ”දැ යි ... සැබෑද මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ තමාට ද මෙරමාට ද නිරයෙනුදු බඹසරිනුදු හවා දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ තමාට ද මෙරමාට ද නිරයෙනුදු බඹසරිනුදු හැවූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය මෙසේ උදෙසත්වා:
“යම් මෙහෙණක් තමාහට හෝ මෙරමා හට හෝ නිරයයෙන් හෝ බඹසරින් හෝ හවා නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
අත්තානං: තමා කෙරෙහි.
පරං: උපසපනකට නිරයයෙන් හෝ බඹසරින් හෝ හවා නම් පචිති ඇවැත් වේ.
උපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා නිරයයෙන් හෝ බඹසරින් හෝ හවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා නිරයයෙන් හෝ බඹසරින් හෝ හවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා නිරයයෙන් හෝ බඹසරින් හෝ හවා නම් පචිති ඇවැත් වේ.
තිරශ්චීන යෝනියෙන් හෝ ප්‍රේතවිෂයයෙන් හෝ මනුෂ්‍ය දෞර්‍භාග්‍යයෙන් හෝ හවා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනකට හවා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
අර්‍ත්‍ථය පෙරටු කොට කියන්නියට, ධර්‍මය පෙරටු කොට කියන්නියට, අනුශාසනය පෙරටු කොට කියන්නියට, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
නවවන සිකපද යි.
4. 2. 10.
දසවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි චණ්ඩකාළී මෙහෙණ මෙහෙණන් සමග කලහ කොට තමාට පැහැරැ පැහැරැ හඬයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආර්‍ය්‍ය චණ්ඩකාළී තමාට පැහැරැ පැහැරැ හැඬූ”දැ යි. ... සැබෑද මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ තමාට පැහැරැ පැහැර හැඬූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ තමාට පැහැරැ පැහැරැ හැඬූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තමාට පැහැරැ පැහැරැ හඬා නම් පචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
අත්තානං: තමා කෙරෙහි.
පහරා නම් හඬා නම් පචිති ඇවැත් වෙයි. පහරා නො හඬා නම් දුකුළා ඇවැත් වෙයි. හඬා නම් නො පහරා නම් දුකුළා ඇවැත් වෙයි.
ඥාතිව්‍යසනයෙන් හෝ භෝගව්‍යසනයෙන් හෝ රොගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දී හඬා නම් නො පහරා නම්, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දසවන සිකපද යි.
ද්විතීය අන්‍ධකාර වර්‍ග යි.
එහි උද්දානය:
රත්තන්‍ධකාර යැ පටිච්ඡන්න යැ අජ්ඣොකාස යැ සිඞ්ඝාටක යැ අනාපුච්ඡා දෙක යැ විකාල යැ දුග්ගහිත යැ නිරය යැ වධ යැ යි.
3. නග්නවර්‍ගය
4. 3. 1.
පළමු සිකපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි බොහෝ මෙහෙණෝ අචිරවතී නදියෙහි වෙසඟනන් සමඟ නග්න වැ එක් තොටැ ස්නානය කෙරෙති. වෙසඟනෝ ඒ මෙහෙණන්හට කෙළිකවට කම් කළහ: “ආර්‍ය්‍යාවෙනි, ඉතා තරුණ වූ තොපට බඹසර පුරුදු කිරීමෙන් කිනම් ප්‍රයෝජනයක් ද? කාමයෝ පරිභෝග කළ යුත්තෝ නො වෙත් ද? යම් කලෙකැ මහලුවූවෝ වන්නාහු නම් එකල්හි බඹසර හැසිරෙවු. මෙසේ වනාහි තොප විසින් දෙ කරුණ මැ අයත් කොට ගන්නා ලද්දේ වන්නේ” යැ යි. වෙසඟනන් විසින් කෙළි කවට කම් කරනු ලබන මෙහෙණෝ මකුවූහු. එකල්හි ඒ මෙහෙණෝ මෙහෙණවරට ගොස් මෙහෙණන්ට තෙල කරුණු ඇරොජූහ. මෙහෙණෝ මහණුන්ට තෙල කරුණ ඇරොජූහ. මහණෝ භාග්‍යවතුන්ට තෙල කරුණු ඇරොජූහු. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසර යෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක: එසේ නම් මහණෙනි, මෙහෙණන්ට දස කරුණක් පිණිස සිකපද පනවන්නෙමි. සඞ්ඝයාගේ මනා පිළිගැන්ම පිණිස යැ ... විනයට රුකුල් පිණිස යැ මෙසේ මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් නග්න වැ ස්නාන කෙරේ නම් පචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
නග්ගා නහායෙය්‍ය: නො හඳනා ලද්දී හෝ නො පොරවන ලද්දී හෝ ස්නාන කෙරේ නම් පියෝහි දුකුළා ඇවැත් වෙයි. සැනැහුම් පරියතැ පචිති ඇවැත් වේ.
අසිඳැගත් සිවුරු ඇතියාට නට සිවුරු ඇතියාට ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
පළමු සිකපද යි.
4. 3. 2.
දෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහෙණන්ට දියසළුව අනුදන්නා ලද්දේ වෙයි. සවග මෙහෙණෝ භාග්‍යවතුන් වහන්සේ විසින් දියසළුව අනුදන්නා ලදැ යි පමණ ඉක්ම වූ දියසළු දරත්, ඉදිරිපසිනුදු පසුපසිනුදු අදිමින් ඇවිදිත්.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ පමණ ඉක්ම වූ දියසළු දැරූහු”දැ යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණෝ පමණ ඉක්ම වූ දියසළු දරත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ පමණ ඉක්ම වූ දියසළු දැරූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“දියසළුවක් කරවනු ලබන මෙහෙණක විසින් පමණ ඇති වැ කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ: දිගින් සුගත් වියතින් සිවු වියතෙක. සරසින් දෙවියතෙකි, එ පමණ ඉක්මවන්නියට සිඳැලීමෙන් පසු දෙසිය යුතු ඇවැත් වේ”යයි.
3. උදකසාටිකා නම්: යමෙකින් හඳනා ලද්දී සනහා නම් හෝ යැ.
කාරයමානාය: කරන්නිය විසින් හෝ කරවන්නිය විසින් හෝ පමණ ඇති වැ කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ: දිගින් සුගත් වියතින් සිවු වියතෙක. සරසින් දෙවියතෙකි. එපමණ ඉක්ම වා කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වෙයි. පිළිලැබීමෙන් සිඳැ පචිති දෙසිය යුතු.
තමා විසින් නිමාම් නො කරන ලද්ද තොමෝ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තොමෝ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
මෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් පිළිලැබ පිරිබෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
පමණ ඇති කොට කෙරේ නම්, උනු කොට කෙරේ නම්, මෙරමා විසින් කරන ලද පමණ ඉක්මවූවක් පිළිලැබ සිඳපියා පිරිබෝ කෙරේ නම්, වියනක් හෝ බුමුතුරුණක් හෝ කඩතුරාවක් හෝ බිස්සක් හෝ මාවුලාවක් හෝ කෙරේ නම්, ඇවැත් නො වෙයි. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දෙවන සිකපදයි.
4. 3. 3.
තෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා මෙහෙණකගේ මාඇඟි සිවුරු පිළියෙන් සිවුරෙක් නො මනා කොට කරන ලද්දේ නො මනා කොට ගෙත්තම් කරන ලද්දේ වෙයි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී එ මෙහෙණට මෙය කිවුයැ. “ආර්‍ය්‍යාවෙනි, තොපගේ මේ සිවුරු පිළිය සොඳුරු එහෙත් සිවුර නො මනා කොට කරන ලද්දේ නො මනා කොට ගෙත්තම් කරන ලද්දේ මැ”යි. ආර්‍ය්‍යාවෙනි, ගෙත්තම් හරනෙමි. ගෙත්තම් කෙරෙහි දැ යි. එසේ යැ ආර්‍ය්‍යාවෙනි, ගෙත්තම් කරන්නෙමි යි. එකල්හි ඒ මෙහෙණ ඒ සිවුර ගෙත්තම් හැරැ ථුල්ලනන්‍දා භික්‍ෂුණියට දුනු යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී “ගෙත්තම් කරන්නෙමි ගෙත්තම් කරන්නෙමි” යි නොම ගෙත්තම් කරයි. ගෙත්තම් කරැවීම පිණිස වෑයම් නො කරයි. එකල්හි ඒ මෙහෙණ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හරවා නො මැ ගෙත්තම් කළා ද? ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කළා”දැ යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හරවා නොමැ ගෙත්තම් කෙරේ ද? ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හරවා නොමැ ගෙත්තම් කළා ද? ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හැරැ හෝ ගෙත්තම් හරවා හෝ පසුවැ අනතුරක් නැත්තී සිවුදිනක් පස්දිනක් තබා නො මැ ගෙත්තම් කෙරේ නම් ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති වේ”යැ යි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
භික්ඛුනියා: අන් මෙහෙණකගේ.
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා සිවුරෙකි.
විසිබ්බෙත්‍වා: තොමෝ ගෙත්තම් හැරැ.
විසිබ්බාපෙත්‍වා: මෙරමා ලවා ගෙත්තම් හරවා.
සා පච්ඡා අනන්තරායිකිනී: අනතුරක් නැති කල්හි.
නේව සිබ්බෙය්‍ය: තොමෝ ගෙත්තම් නො කරන්නේ යැ.
න සිබ්බාපනාය උස්සුක්කං කරෙය්‍ය: මෙරමාහට නො අණවන්නේ යැ.
අඤ්ඤත්‍ර චතූහපඤ්චාහං: සිවු දිනක් පස් දිනක් තබා නො මැ ගෙත්තම් කරන්නෙමි. ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කරන්නෙ මි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
උපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා සිවුරක් ගෙත්තම් හැරැ හෝ ගෙත්තම් හරවා හෝ ඕ තොමෝ පසුවැ අනතුරක් නැත්තී සිවු දිනක් පස් දිනක් තබා නොමැ ගෙත්තම් කෙරේ නම් ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා සිවුරක් ගෙත්තම් හැරැ හෝ ගෙත්තම් හරවා හෝ ඕ තොමෝ පසු වැ අනතුරක් නැත්තී සිවුදිනක් පස්දිනක් තබා නො මැ ගෙත්තම් කෙරේ නම් ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා සිවුරක් ගෙත්තම් හැරැ හෝ ගෙත්තම් හරවා හෝ ඕ තොමෝ පසු වැ අනතුරක් නැත්තී සිවුදිනක් පස්දිනක් තබා නො මැ ගෙත්තම් කෙරේ නම් ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති ඇවැත් වේ.
අන් පිරිකරක් ගෙත්තම් හැරැ හෝ ගෙත්තම් හරවා හෝ ඕ තොමෝ පසු වැ අනතුරක් නැත්තී සිවුදිනක් පස්දිනක් තබා නො මැ ගෙත්තම් කෙරේ නම් ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනකගේ සිවුරක් හෝ අන්පිරිකරක් හෝ ගෙත්තම් හැරැ හෝ ගෙත්තම් හරවා හෝ ඕ තොමෝ පසු වැ අනතුරක් නැත්තී සිවු දිනක් පස් දිනක් තබා නො මැ ගෙත්තම් කෙරේ නම් ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවත් වේ.
අනතුරක් ඇති කල්හි, සොයා නො ලබා නම්, කරන්නී සිවු දිනක් පස් දිනක් ඉක්මවා නම්, ඇවැත් නැත. ගිලන්වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
තෙවන සිකපද යි.
4. 3. 4.
සතරවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ මෙහෙණන් අතැ සිවුරු තබා හඳනය සහිත උතුරුසඟ සිවුරෙන් යුතු වැ දනවුසැරි සැරීමට යෙති. ඒ සිවුරු බොහෝ කල් බහා තබන ලද්දාහු හටගත් පුස් ඇතියාහු වෙති. ඒ සිවුරු මෙහෙණෝ වියළවත්. මෙහෙණෝ ඒ මෙහෙණන්ට “ආර්‍ය්‍යාවෙනි, හටගත් පුස් ඇති මේ සිවුරු කවරක්හුගේදැ”යි තෙල කරුණු කීහු. එකල්හි ඒ මෙහෙණෝ මහණුන්ට තෙල කරුණ ඇරොජූහු.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. කෙසේ නම් මෙහෙණෝ මෙහෙණන් අතැ සිවුරු තබා හඳනය සහිත උතුරු සඟ සිවුරෙන් යුතු වැ දනවු සැරිසැරීමට ගියාහු දැ”යි. සැබෑද මහණෙනි, මෙහෙණෝ මෙහෙණන් අතැ සිවුරු තබා හඳනය සහිත උතුරු සඟ සිවුරෙන් යුතු වැ දනවු සැරිසැරීමට යෙද්දැ” යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ මෙහෙණන් අතැ සිවුරු තබා හඳනය සහිත උතුරු සඟ සිවුරෙන් යුතු වැ දනවු සැරිසැරීමට ගියාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් පස්දිනක් සිවුරු පිරිවැටුම ඉක්මවා නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මො තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
පඤ්චාහිකං සඞ්ඝාටිචාරං අතික්කාමෙය්‍ය: පස්වන දිනයෙහි සිවුරුපස නොම හඳී නම් නො මැ පොරවා නම් නො මැ වියළා නම් පස්වන දිනය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
පස්දිනය ඉක්මගිය කල්හි ඉක්මගිය සන් ඇතියා නම් පචිති ඇවැත් වෙයි. පස්දිනය ඉක්මගිය කල්හි විමති ඇතියා නම් පචිති ඇවැත් වෙයි. පස්දිනය ඉක්මගිය කල්හි නො ඉක්මගිය සන් ඇතියා නම් පචිති ඇවැත් වේ.
පස් දිනය නො ඉක්මගිය කල්හි ඉක්මගිය සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පස්දිනය නො ඉක්මගිය කල්හි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පස්දිනය නො ඉක්මගිය කල්හි නො ඉක්මගිය සන් ඇතියා නම් ඇවැත් නැති.
පස්වන දිනයෙහි සිවුරු පස හඳී නම් හෝ පොරවා නම් හෝ වියළා නම් හෝ, ඇවැත් නැත. ගිලන් වූවාට ආපදායෙහි උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සතරවන සිකපද යි.
4. 3. 5.
පස්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි එක්තරා මෙහෙණක් පිඬුපිණිස හැසිරැ තෙත් සිවුර විදහා වෙහෙරට පිවිසියා යැ. එක්තරා මෙහෙණක් ඒ සිවුර පෙරෙව ගමට පිඬුපිණිස පිවිසියා යැ. ඕ තොමෝ (වෙහෙරින්) නික්ම “ආර්‍ය්‍යාවෙනි මාගේ සිවුර දුටුවහු දැ” යි මෙහෙණන් පිළිවුසූ යැ. මෙහෙණෝ ඒ මෙහෙණට තෙල කරුණ ඇරොජූහු. ඉක්බිති ඒ මෙහෙණ ලමුකොට සිතයි; නුගුණ පවසයි, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් මාගේ සිවුර නො පිළිවිසැ පෙරවූ දැ” යි. එකල්හි ඒ මෙහෙණ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමුකොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් මෙහෙණකගේ සිවුරක් නො පිළිවිසැ පෙරවූ දැ”යි ... සැබෑද මහණෙනි, මෙහෙණක් මෙහෙණකගේ සිවුරක් නොපිළිවිසැ පෙරවූදැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් මෙහෙණක ගේ සිවුරක් නො පිළිවිසැ පෙරවූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් යළි දියයුතු සිවුරක් ධරා නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
චීවරසංකමනීය නම්: උපසපනකගේ සිවුරුපස අතුරෙන් එක්තරා සිවුරෙකි. ඇය විසින් නො දුන් හෝ ඇය නො පිළිවිසැ හෝ හඳී නම් හෝ පොරවා නම් හෝ පචිති ඇවැත් වේ.
උපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා යළි දියයුතු සිවුරක් ධරා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා යළි දිය යුතු සිවුරක් ධරා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා යළි දියයුතු සිවුරක් ධරා නම් පචිති ඇවැත් වේ.
අනුපසපනකගේ යළි දියයුතු සිවුරක් ධරා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
ඕ මැ දේ නම් හෝ ඇය පිළිවිසැ හෝ හඳී නම් පොරවා නම්, අසිඳගත් සිවුරු ඇතියාට (ඇවැත් නොවෙයි), නට සිවුරු ඇතියාට, ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
පස්වන සිකපද යි.
4. 3. 6.
සවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්ඛුනිය ගේ උපස්ථායක කුලය ථුල්ලනන්‍දා භික්‍ෂුණියට මෙය කීයැ. “ආර්‍ය්‍යාවෙනි, මෙහෙණ සඟනට සිවුරක් දෙන්නෙමු” යි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ තෙපි බොහෝ කිස ඇතියහ. බොහෝ ඇවැසි කටයුතු ඇතියහ යි අනතුරු කළා යැ. එ සමයෙහි වනාහි ඒ කුලයාගේ ගෙය දැවෙයි. ඔහු ලමුකොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ අපගේ පිදියයුතු වස්තුවට අනතුරු කළා ද? අපි භෝගයෙන් ද පිනෙන් දැ යි දෙපසින් පිරිහුණම්හ”යි.
2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ ගණයාගේ චීවරලාභයට අනතුරු කළා දැ”යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ගණයාගේ චීවරලාභයට අනතුරු කළා දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ගණයාගේ චීවරලාභයට අනතුරු කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් ගණයාගේ චීවරලාභයට අනතුරු කෙරේ නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මො තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණියයි.
ගණ නම්: භික්‍ෂුණී සංඝයා කියනු ලැබේ.
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකැපීමට සුදුසු පැසුළු සිවුර යි.
අන්තරායං කරෙය්‍ය: කෙසේ මොහු සිවුරක් දෙන්නාහු දැ යි අනතුරු කෙරේ නම් පචිති ඇවැත් වෙයි. අන් පිරිකරකට අනතුරු කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. බොහෝ මෙහෙණන්ගේ හෝ එක් මෙහෙණකගේ හෝ අනුපසපනකගේ හෝ චීවරලාභයට හෝ අන්‍යපරිෂ්කාරලාභයට හෝ අනතුරු කෙර් නම් දුකුළා ඇවැත් වේ.
අනුසස් දක්වා වළකා නම්, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.