භික්ඛුස්ස: උපසපනක්හට.
භුඤ්ජන්තස්ස: පස් බොජුනෙන් එක්තරා බොජුනක් වළඳන්නාහට.
පානීය නම්: යම්කිසි පියයුතු දැයක්.
විධූපන නම්: යම්කිසි විජනියක්.
උපතිට්ඨෙය්‍ය: අත්පසැ සිටී නම් පචිත් ඇවැත් වෙයි.
උපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියා පැනින් හෝ විජනියෙන් හෝ යුතු වැ වෙතැ සිටී නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියා පැනින් හෝ විජනියෙන් හෝ යුතු වැ වෙතැ සිටී නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියා පැනින් හෝ විජනියෙන් හෝ යුතු වැ වෙතැ සිටී නම් පචිති ඇවැත් වේ.
අත්පස හැරැපියා වෙතැ සිටී නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු වෙතැ සිටී නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක් කෙරෙහි උපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
දේ නම්, දෙවා නම්, අනුපසපනක්හු අණවා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සවන සිකපද යි.
4. 1. 7.
සත්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ අස්වනු කල්හි අමු ධාන්‍යය විනවා නුවරට ගෙන එති. (නුවරැ) දොරටුතන්හි ආර්‍ය්‍යාවෙනි, කොටසක් දෙවුයැ යි හිරිහැර කොට මුදාලූහ. එකල්හි ඒ මෙහෙණෝ මෙහෙණවරට ගොස් මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූහු.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ අමු ධාන්‍යය විනවූහු” දැයි ... “සැබෑද මහණෙනි, මෙහෙණෝ අමු ධාන්‍යය වින වත්”දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ අමු ධාන්‍යය විනවහුද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තොමෝ අමු ධාන්‍යය විනවා හෝ විනවවා හෝ බැද හෝ බදවා හෝ කොටා හෝ කොටවා හෝ පිසැ හෝ පිසවා හෝ වළඳා නම් පචිති ඇවැත් වේ” යයි.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
ආමකධඤ්ඤ නම්: හැල් යැ වී යැ යව යැ තිරිඟු ය කඞ්ගු යැ වරා යැ අමු යැ.
විඤ්ඤාපෙත්‍වා: තමා විසින් විනවා.
විඤ්ඤපාපෙත්‍වා: මෙරමා ලවා විනවවා.
භජ්ජිත්‍වා: තෙමේ බැද.
භජ්ජාපෙත්‍වා: මෙරමා ලවා බදවා.
කොට්ටෙත්‍වා: තෙමේ කොටා.
කොට්ටාපෙත්‍වා: මෙරමා ලවා කොටවා.
පචිත්‍වා: තෙමේ පිසැ.
පචාපෙත්‍වා: මෙරමා ලවා පිසවා. බුදින්නෙමැ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
ආබාධ ප්‍රත්‍යයෙන්, (මුං උඳු ඈ) අපරණ්ණයක් විනවා නම්, ඇවැත් නො වේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සත්වන සිකපදය.
4. 1. 8.
අටවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා බමුණෙක් බැළයට සේවා කරන රාජභටයෙක් වූයේ ඒ භටමාර්‍ගය මැ ඉල්වන්නෙමැ යි හිස දොවා සනහා මෙහෙණවරට සමීපමාර්‍ගයෙන් රජගෙදරට යෙයි. එක්තරා මෙහෙණක් කබලෙක්හි වස කිස කොට බිතුයෙන් ඔබ්බෙහි දමාපියන්නී ඒ බමුණාගේ හිස මත්තෙහි හෙලූ යැ. එකල්හි ඒ බමුණු ලමු කොට සිතයි. නුගුණ පවසයි. දොස් පතුරුවයි. “මේ මුඬු වඳලියෝ වූ නො මෙහෙණෝ කෙසේ නම් වසුරු බඳුනක් හිසමත්තෙහි හෙලූහු ද? මොවුන්ගේ අසපුව දවන්නෙමැ යි ගිනිහුලක් ගෙනැ අසපුවට පිවිසෙයි. එක්තරා උවසුවෙක් මෙහෙණවරින් නික්මෙන්නේ ගිනිහුලක් ගෙනැ මෙහෙණවරට පිවිසෙන ඒ බමුණා දිටී. දැකැ එ බමුණුහට “පින්වත තෝ කුමකට ගිනිහුලක් ගෙනැ මෙහෙණවරට පිවිසෙහි”දැ යි කී යැ. පින්වත මේ මුඩු වඳගැහැණු වසුරු බඳුනක් මා මත්තෙහි හෙලූහ. මොවුන්ගේ මෙහෙණවර දවාලන්නෙමි යි. පින්වත් බමුණ යා තෙලෙ මඟුල් යැ. දහසක් ද ඒ භටමාර්‍ගය ද ලබනෙහි යැ යි. එකල්හි ඒ බමුණු තෙමේ හිස දොවා නහා රජගෙදරට ගොස් දහසක් ද ඒ භටමාර්‍ගය ද ලැබී.
2. ඉක්බිති ඒ උවසු මෙහෙණවරට පිවිස මෙහෙණන් හට තෙල කරුණ ඇරොජා (යළි මෙබන්දක් නො කරන්නැ යි) බියගැන්වී යැ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෙක් තොමෝ මල භිත්තියෙන් පිටත්හි දමාපූ දැ” යි ... සැබෑ ද මහණෙනි මෙහෙණක් මල භිත්තියෙන් පිටත්හි දමාපියද්දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි මෙහෙණක් මල භිත්තියෙන් පිටත්හි දමාපූද? මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් මල හෝ මූ හෝ කසළ හෝ ඉඳුල් හෝ භිත්තියෙන් පිටතැ හෝ පවුරෙන් පිටතැ හෝ දමාපියා නම් හෝ දමාපියවා නම් හෝ පචිති වේ” යයි.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
උච්චාර නම්: ගුථය කියනු ලැබෙයි.
පස්සාව නම්: මූත්‍ර කියනු ලැබෙයි.
සඞ්කාර නම්: කසළ කියනු ලැබෙයි.
විඝාස නම්: සප හෝ ඇට හෝ ඉඳුල්දිය හෝ යැ.
කුඩ්ඩ නම්: ගඩොළු බිතු යැ සෙල් බිතු යැ දැව බිතු යැයි බිතු තුනෙකි.
පාකාර නම්: ගඩොළු පවුරු යැ සෙල් පවුරු යැ දැව පවුරු යැයි පවුරු තුනෙකි.
තිරොකුඩ්ඩෙ: බිතුයෙන් ඔබ්බෙහි;
තිරො පාකාරෙ: පවුරෙන් ඔබ්බෙහි;
ඡඩ්ඩෙය්‍ය: තෙමේ දමාපියා නම් පචිති ඇවැත් වෙයි.
ඡඩ්ඩාපෙය්‍ය: මෙරමා අණවා නම් දුකුළා ඇවැත් වෙයි. වරක් අණවන ලද්දී බොහෝ වරකුදු දමාපියා නම් පචිති ඇවැත් වේ.
බලා දමාපියා නම්, යනෙන මඟක් නැති තන්හි දමාපියා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති,
අටවන සිකපදය යි.
4. 1. 9.
නවවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා බමුණක්හුගේ යව කෙතෙක් මෙහෙණවරක් ඇසිරි කොට වෙයි. මෙහෙණෝ මල ද මූ ද කසළ ද ඉඳුල් ද නිල්වන් ගොයමෙහි දමාපියති. එකල්හි ඒ බමුණු ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුව යි. “කෙසේ නම් මෙහෙණෝ අපගේ යවකෙත දූෂණය කළාහු”දැ යි.
2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ බමුණාගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු මැයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහුද ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ මල ද මූ ද ඉඳුල් ද නිල්වන් ගොයමෙහි දමාපූහු දැ”යි ... සැබෑද මහණෙනි, මෙහෙණෝ මල ද මූ ද කසළ ද ඉඳුල් ද නිල්වන් ගොයමෙහි දමා දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ මල ද මූ ද කසළ ද ඉඳුල් ද නිල්වන් ගොයමෙහි දමාපූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් මල හෝ මූ හෝ කසළ හෝ ඉඳුල් හෝ නිල්වන් ගොයමෙහි දමාපියා නම් හෝ දමවාපියා නම් හෝ පචිති වේ” යයි.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
උච්චාර නම්: ගූථ ය කියනු ලැබෙයි.
පස්සාව නම්: මූත්‍ර කියනු ලැබෙයි.
සඞ්කාර නම්: කසළ කියනු ලැබෙයි.
විඝාස නම්: සප හෝ ඇට හෝ ඉඳුල්දිය හෝ යැ.
හරිත නම්: යම් දැයෙක් මිනිසුන්ගේ උපභෝග පරිභෝගයට රෝප ය කරන ලදද (ඒ) පූර්‍වාන්න යැ අපරාන්න යැ යි.
ඡඩ්ඩෙය්‍ය: තොමෝ දමාපියා නම් පචිති ඇවැත් වෙයි.
ඡඩ්ඩාපෙය්‍ය: මෙරමාහට අණවා නම් දුකුළා ඇවැත් වෙයි. වරක් අණවන ලද්දී බොහෝ වරකුදු දමාපියා නම් පචිති ඇවැත් වේ.
නිල්වනෙහි නිල්වන් සන් ඇතියා දමාපියා නම් හෝ දමවාපියා නම් හෝ පචිති ඇවැත් වෙයි. නිල්වනෙහි විමති ඇතියා දමාපියා නම් හෝ දමවාපියා නම් හෝ පචිති ඇවැත් වෙයි. නිල්වනෙහි නො නිල්වන් සන් ඇතියා දමාපියා නම් හෝ දමවාපියා නම් හෝ පචිති ඇවැත් වේ.
නො නිල්වනෙහි නිල්වන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො නිල්වනෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො නිල්වනෙහි නො නිල්වන් සන් ඇතියා නම් ඇවැත් නැති.
හැරැ දමන ලද කෙතෙහි දමාපියා නම්, හිමියන් පිළිවිසැ දමාපියා නම් ඇවැත් නොවේ, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
නවවන සිකපද යි.
4. 1. 10.
දසවන සිකපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ වේළුවන නම් කලන්‍දක නිවාපයෙහි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි රජගහ නුවරැ ගිරග නැටුමෙක් වෙයි. සවග මෙහෙණෝ ගිරග නැටුම දකිනු පිණිස ගියහ. මිනිස්සු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ ගෘහී කාමභෝගිනීන් මෙන් නැටුම් ද ගැයුම් ද වැයුම් ද දකිනු පිණිස ආවාහු දැ”යි.
2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු මැයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් සවග මෙහෙණෝ නැටුම් ද ගැයුම් ද වැයුම් ද දකිනු පිණිස ගියාහු දැ”යි. ... සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ නැටුම් ද ගැයුම් ද වැයුම් ද දකිනු පිණිස යෙද්දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ නැටුම් ද ගැයුම් ද වැයුම් ද දකිනු පිණිස ගියාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද, මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
“යම් මෙහෙණක් නටනු හෝ ගයනු හෝ වයනු හෝ දකිනු පිණිස යා නම් පචිති වේ” යයි.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
නච්ච නම්: යම් කිසි නැටීමක්.
ගීත නම්: යම් කිසි ගැයීමක්.
වාදිත නම්: යම් කිසි වැයීමක්.
දකිනු පිණිස යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියා දකී නම් හෝ අසා නම් හෝ පචිති ඇවැත් වෙයි. දසුන් උවසර හැරැපියා පුන පුනා දකී නම් හෝ අසා නම් හෝ පචිති ඇවැත් වෙයි. එකක් එකක් දකිනු පිණිස යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියා දකී නම් හෝ අසා නම් හෝ පචිති ඇවැත් වෙයි. දසුන් උවසර හැරැපියා පුන පුනා දකී නම් හෝ අසා නම් හෝ පචිති ඇවැත් වේ.”
අරමෙහි සිටියා දකී නම් හෝ අසා නම් හෝ, මෙහෙණක්හු සිටි තෙනට හෝ හුන්තෙනට හෝ හොත්තෙනට හෝ අවුත් නටත් නම් හෝ ගයත් නම් හෝ වයත් නම් හෝ, පෙරැමග යන්නී දකී නම් හෝ අසා නම් හෝ, ඇවැසි කරුණක් ඇති කල්හි ගොස් දකී නම් හෝ අසා නම් හෝ ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දසවන සිකපද යි.
ප්‍රථම ලසුන වර්‍ග යි.
එහි උද්දානය:
ලසුන යැ ලෝමසංහරණ යැ තලඝාතක යැ ජතුමට්ටක යැ උදක සුද්ධික යැ ආමකධඤ්ඤ ය සමඟ භුඤ්ජන්ත යැ විඝාස දෙක යැ දස්සන යැ යි.
2. අන්‍ධකාරවර්‍ගය
4. 2. 1.
පළමුවන සිකපදය
1. එ සමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි භද්‍රාකාපිලානියගේ අතැවැසි මෙහෙණකගේ ඥාති පුරුෂයෙක් තෙමේ කිසියම් ඇවැසි කටයුත්තක් පිණිස ගමින් සැවැතට පැමිණියේ යැ. එකල්හි ඒ මෙහෙණ තොමෝ හුදෙකලා වූ ඒ පිරිම්නියා සමග පහනක් නැති රෑ අඳුරෙහි හුදෙකලා වූවා වෙතැ සිටීම ද කෙරෙයි. සල්ලාප ද කෙරෙයි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් මෙහෙණක් තොමෝ පහනක් නැති රෑ අඳුරෙහි හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළා ද? සල්ලාපත් කළා දැ”යි ... සැබෑද මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා පහනක් නැති රෑ අඳුරෙහි හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කෙරේද? සල්ලාපත් කෙරේ දැයි සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා පහනක් නැති රෑ අඳුරෙහි හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළාද? සල්ලාපත් කළාද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් හුදෙකලාවූවා පහනක් නැති රෑ අඳුරෙහි හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
රත්තන්‍ධකාරෙ: හිරු අවරට ගිය කල්හි.
අප්පදීපෙ: එළියක් නැති.
පුරිස නම්: මිනිස් පිරිම්නියෙකි. යකෙක් නොවෙයි. ප්‍රේතයෙක් නොවෙයි. තිරිසන් ගියෙක් නොවෙයි. වෙතැ සිටින්නට සල්ලාප කරන්නට දැනුමැති ප්‍රතිබලයෙකි.
සද්ධිං: එක්වැ.
එකෙනෙකා: පුරුෂයෙක් ද වෙයි. මෙහෙණක් ද වෙයි.
සන්තිට්ඨෙය්‍ය වා: පිරිම්නියක්හුගේ අත්පසැ සිටී නම් පචිති ඇවැත් වේ.
සල්ලපෙය්‍ය වා: පිරිම්නියක්හුගේ අත්පසැ සිටියා සල්ලාප කෙරේ නම් පචිති ඇවැත් වේ.
අත්පස හැරපියා වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වෙයි. යක්‍ෂයකු හෝ ප්‍රේතයකු හෝ පණ්ඩකයකු හෝ තිරිසන් ගිය මිනිස් සිරිරි ඇතියක්හු හෝ සමග වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වේ.
යම් කිසි දැනුමැති දෙවැන්නෙක් වේ නම්, නොරඹුරෙහි රිසි නැතියා, අන්‍යවිහිත වූවා වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ ඇවැත් නොවේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
පළමුවන සිකපද යි.
4. 2. 2.
දෙවන සිකපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි භද්‍රාකාපිලානියගේ අතැවැසි මෙහෙණකගේ ඥාති පුරුෂයෙක් තෙමේ කිසියම් ඇවැසි කටයුත්තක් පිණිස ගමින් සැවැතට පැමිණියේ යැ. එකල්හි ඒ මෙහෙණ තොමෝ හුදෙකලා වූවා පහනක් නැති රෑ අඳුරෙහි හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටින්නට සල්ලාප කරන්නට භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැයි එම පිරිම්නියා සමග පිළිසන් පියෙසෙක්හි හුදෙකලා වූවා වෙතැ සිටීම ද කෙරෙයි. සල්ලාපද කෙරෙයි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් හුදෙකලා වූ මෙහෙණක් තොමෝ පිළිසන් පියෙසෙක්හි හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළාද සල්ලාපත් කළාදැ”යි ... සැබෑ ද මහණෙනි, හුදෙකලා වූ මෙහෙණක් තොමෝ පිළිසන් පියෙසෙක්හි හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළාද සල්ලාපත් කළාදැයි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් පිළිසන් තැනක පිරිමියකු සමග එකලා ව සිටින්නී ද, සල්ලාපත් කරන්නී ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තොමෝ පිළිසන් පියසෙක්හි හුදෙකලා වූ පිරිම්නියක්හු සමග හුදෙකලා වූවා වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ පචිති වේ” යයි.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
පටිච්ඡන්න නම්: බිතුයෙන් හෝ කවුළුයෙන් හෝ කළාලින් හෝ කඩතුරා පවුරෙන් හෝ රුකින් හෝ ටැඹින් කොතැල්ලකින් හෝ යම් කිසිවෙකින් පිළිසන් වූ පියෙසෙක් වෙයි.