Pācittiya

Expiation Rules

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 4249 segments

පෙන්වන කොටස් 2901-3000 න් 4249

අනෙකෙක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි. අනෙකක් සඳහා දෙන ලද්දෙහි විමති ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි, අනෙකක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා නො දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වේ, නිසැජු දැය පිළිලැබ දෙන ලද පරිදි එළවිය යුතු යි.
අනෙකෙක් සඳහා නො දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනෙකක් සඳහා නො දෙන ලද්දෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනෙකෙක් සඳහා නො දෙන ලද්දෙහි අනෙකක් සඳහා නො දෙන ලද සන් ඇතියා නම් ඇවැත් නැති.
ඉතිරි වූවක් එළවා නම්, හිමියන් පිළිවිසැ එළවා නම් ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දසවන සිකපද යි.
එකොළොස්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී බොහෝ ඇසූපිරූ තැන් ඇත්තී පිරිවැහු බණදහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍රවූවා වෙයි, එකල්හි ප්‍රසේනජිත් කෝශල රජතෙමේ ශිතකාලයෙහි මහඇඟි පලසක් පොරවා ථුල්ලනන්‍දා භික්‍ෂුණිය වෙත එළැඹියේ යැ. එළැඹ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය සකසා වැඳ එකත්පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන්නාවූ මැ ප්‍රසේනජිත් කෝශල රජහට ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූ යැ. මොනවට කරුණු ගැන්වූ යැ. මොනවට තෙද ගැන්වූ යැ, මොනවට සතුටු කරවූ යැ, එකල්හි ප්‍රසේනජිත් කෝශල රජ තෙමේ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය විසින් දැහැමි කථායෙන් මොනවට කරුණු දක්වන ලදුයේ මොනවට කරුණු ගන්වන ලදුයේ මොනවට තෙදගන්වන ලදුයේ මොනවට සතුටු කරවන ලදුයේ ථුල්ලනන්‍දා භික්‍ෂුණියට “ආර්‍ය්‍යාවෙනි, යමෙකින් ප්‍රයෝජනයෙක් වේ නම් කියන්නැ” යි මෙය කීයැ. ඉදින් මහරජ, දෙනුකැමැත්තෙහි නම් මේ පලස මට දෙන්නැ යි කිවූ යැ. එකල්හි ප්‍රසේනජිත් කෝශල රජතෙමේ ථුල්ලනන්‍දා භික්‍ෂුණියට පලස දී හුනස්නෙන් නැගිට ථුල්ලනන්‍දා භික්‍ෂුණිය සකසා වැඳ පැදකුණු කොට ගියේ යි.
2. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “මේ භික්‍ෂුණීහු මහත් ගිජුකම් ඇතියාහු යැ, ලදදැයින් නො සතුටුවන්නාහු යැ, කෙසේ නම් රජහුගෙන් පලසක් විනවූහුදැ” යි, භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්ද) ඇසූහු මැ යි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා රජුගෙන් පලසක් විනවූ දැ” යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී රජහුගෙන් පලසක් විනවූ දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී රජහුගෙන් පලසක් විනවූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
ගරු පොරෝනයක් විනවන මෙහෙණක විසින් සොළොස්කහවණුවක් පරම කොට ඇතියක් විනවිය යුතුයි. ඉදින් ඉන් මත්තෙහි විනවා නම් නිසඟි පචිති වේ යැයි.
3. ගරුපාපුරණ නම්: ශිතකාලයෙහි යම් කිසි පොරෝනයක්;
චේතාපෙන්තියා: විනවන්නිය විසින්;
චතුක්කංසපරමං චේතාපේතබ්බං: සොළොස් කහවණුවක් අගය ඇතියක් විනවිය යුතු යි.
තතො චෙ උත්තරිං චේතාපෙය්‍ය: ඉන් මත්තෙහි විනවා නම් පියෝහි දුකුළා වෙයි. ප්‍රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාහට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතු යි. මෙසේ ද මහණෙනි, නිසැජිය යුතු යි ... ආර්‍ය්‍යාවෙනි, අයිරා සොළොස් කහවණුවක් පරම කොට ඇති මේ ගරු පොරෝනය මා විසින් විනවන ලදු වැ නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි” යි ... දෙන්නේ යැ ... දෙන්නාහුයැ ... ආර්‍ය්‍යාවට දෙමි යි.
අයිරා සොළොස් කහවණුයෙහි අයිරාසන් ඇතියා විනවා නම් නිසඟි පචිති වෙයි. අයිරා සොළොස් කහවණුයෙහි විමති ඇතියා විනවා නම් නිසඟි පචිති වෙයි, අයිරා සොළොස් කහවණුයෙහි උනුසන් ඇතියා විනවා නම් නිසඟි පචිති වෙයි.
උනු සොළොස් කහවණුයෙහි අයිරාසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. උනුසොළොස් කහවණුයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. උනුසොළොස් කහවණුයෙහි උනුසන් ඇතියා නම් ඇවැත් නැති.
සොළොස් කහවණු පරම කොට ඇතියක් විනවා නම්, උනුසොළොස් කහවණු පරම කොට ඇතියක් විනවා නම්, නෑයන් ගෙන්, පැවරූවන්ගෙන්, අනෙකක්හු සඳහා නම්, තමාගේ ධනයෙන්, මහඇඟියක් විනවනු කැමැතියහුගෙන් මඳ අගය ඇතියක් විනවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
එකොළොස්වන සිකපද යි.
දොළොස්වන සිකපදය
1. එසමයෙහි බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති, එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහු බණදහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍රවූවා වෙයි. එකල්හි ප්‍රසේනජිත් කෝශල රජ තෙමේ උෂ්ණකාලයෙහි මහඇඟි කොමු පිළියක් පෙරෙවගෙන ථුල්ලනන්‍දා භික්‍ෂුණිය වෙත එළැඹියේ යැ. එළැඹැ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය සකසා වැඳ එකත් පසෙකැ හුන්නා වූ ප්‍රසේනජිත් කෝශල රජහට ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූ යැ. මොනවට කරුණු ගැන්වූ යැ. මොනවට තෙද ගැන්වූ යැ, මොනවට සතුටු කරවූ යැ, එකල්හි ප්‍රසේනජිත් කෝශල රජ තෙමේ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය විසින් දැහැමි කථායෙන් මොනවට කරුණු දක්වන ලදුයේ මොනවට කරුණු ගන්වන ලදුයේ මොනවට තෙදගන්වන ලදුයේ මොනවට සතුටු කරවන ලදුයේ ථුල්ලනන්‍දා භික්‍ෂුණියට “ආර්‍ය්‍යාවෙනි, යමෙකින් ප්‍රයෝජනක් වේ නම් කියන්නැ” යි මෙය කීයැ, ඉදින් මහරජ දෙනු කැමැත්තෙහි නම් මේ කොමු පිළිය මට දෙන්නැ යි කිවූ යැ. එකල්හි ප්‍රසේනජිත් කෝශල රජු ථුල්ලනන්‍දා භික්‍ෂුණියට කොමු පිළිය දී හුනස්නෙන් නැගිට ථුල්ලනන්‍දා භික්‍ෂුණිය සකසා වැඳ පැදකුණු කොට ගියේ යි.
2. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “මේ භික්‍ෂුණීහු මහත් ගිජුකම් ඇතියාහු යැ. ලද දෙයින් නො සතුටු වූවාහු යැ. කෙසේ නම් රජහුගෙන් කොමු පිළියක් විනවූහු” දැ යි, භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු මැ යි, යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා රජහුගෙන් කොමු පිළියක් විනවූ” දැ යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී රජහුගෙන් කොමු පිළියක් විනවූ දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස,
භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණීහු රජහුගෙන් කොමු පිළියක් විනවූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“ලුහු පොරෝනයක් විනවන මෙහෙණක විසින් දසකහවණුවක් පරම කොට ඇතියක් විනවිය යුතුයි. ඉදින් ඉන් මත්තෙහි විනවා නම් නිසඟි පචිති වේ” යයි.
3. ලහුපාපුරණ නම්: උෂ්ණකාලයෙහි යම් කිසි පොරෝනයක්.
චේතෝපෙන්තියා: විනවන්නිය විසින්.
අඩ්ඪතෙය්‍යකංසපරමං චේතෝපේතබ්බං: දසකහවණු අගය ඇතියක් විනවිය යුතු යි.
තතො චෙ උත්තරිං චේතාපෙය්‍ය: ඉන් මත්තෙහි විනවා නම් පියෝහි දුකුළා වෙයි. ප්‍රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාහට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතු යි. මෙසේ ද මහණෙනි, නිසැජිය යුතු යි ... ආර්‍ය්‍යාවෙනි, අයිරා දස කහවණුවක් පරම කොට ඇති මේ ලුහු පොරෝනය මා විසින් විනවන ලදු වැ නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි” යි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවට දෙමි යි.
අයිරා දසකහවණුයෙහි අයිරාසන් ඇතියා විනවා නම් නිසඟි පචිති වෙයි. අයිරා දසකහවණුයෙහි විමති ඇතියා විනවා නම් නිසඟි පචිති වෙයි. අයිරා දසකහවණුයෙහි උනුසන් ඇතියා විනවා නම් නිසඟි පචිති වෙයි.
උනු දසකහවණුයෙහි අයිරාසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. උනු දසකහවණුයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. උනු දසකහවණුයෙහි උනුසන් ඇතියා නම් ඇවැත් නැති.
දසකහවණු පරම කොට ඇතියක් විනවා නම්, උනු දස කහවණු පරම කොට ඇතියක් විනවා නම්, නෑයන්ගෙන්, පැවරූවන්ගෙන්, අනෙකක්හු සඳහා නම්; තමාගේ ධනයෙන්, මහඇඟියක විනවනු කැමැතියහුගෙන් මඳ අගය ඇතියක් විනවා නම්; ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දොළොස්වන සිකපද යි.
ඔවුන්ගේ උද්දානය:
පත්ත යැ අකාල කාල යැ පරිවත්ත යැ විඤ්‍ඤාපන යැ චේතාපන යැ අඤ්‍ඤදත්‍ථික යැ සඞ්ඝික යැ මහාජනික යැ සඤ්‍ඤාවික යැ පුග්‍ගලිකැ යැ චතුක්‍කංස (පරම) යැ අඩ්ඪතෙය්‍ය (කංසපරම) යැ යි.
ආර්‍ය්‍යාවෙනි, තිස් නිසඟි පචිති ධම්හු උදෙසන ලදහු මැ යි, එහිලා ආර්‍ය්‍යාවන් පිළිවිසිමි. කිම පිරිසුදුවහු ද? දෙවනවට දු පිළිවිසිමි. කිම පිරිසුදුවහු ද? තෙවනවට දු පිළිවිසිමි, කිම පිරිසුදුවහු ද? ආර්‍ය්‍යාවෝ මෙහි ලා පිරිසුදුහ, එහෙයින් නිහඬයහ, මෙසේ මෙය දරමි යි.
නිසැඟීහු නිමියහ.
4. පාචිත්තිය කාණ්ඩය
1. ලසුනවර්‍ගය
පළමු සිකපදය
ආර්‍ය්‍යාවෙනි, මේ එක්සිය සසැටක් පචිති ධර්‍මයෝ උදෙසීමට පැමිණෙත්.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි එක්තරා උවසුවකු විසින් භික්‍ෂුණී සඞ්ඝ තෙමේ ලුහුනෙන් පවරන ලද්දේ වෙයි. යම් ආර්‍ය්‍යා කෙනෙකුන්ට ලුහුනෙන් ප්‍රයෝජන වේ නම් මම ලුහුනෙන් (පවරමි) යි. ඉදින් මෙහෙණෝ පැමිණෙත් නම් එක් එක් මෙහෙණකට දෙතුන් ලුහුනු පොකුරක් දෙවයි කෙත්පල් තෙමේත් අණවන ලද්දේ වෙයි. එසමයෙහි වනාහි සැවැතෙහි උත්සවයෙක් වෙයි. ගෙනවුත් තුබූ ලුහුනු නිමාවට ගියේ යැ. මෙහෙණෝ ඒ උවසු වෙත එළැඹැ ඇවැත, ලුහුනෙන් ප්‍රයෝජන වේ යයි, තෙල කරුණ කීහු. නැත ආර්‍ය්‍යාවෙනි, ගෙනවුත් තුබූ ලුහුනු අවසන් විය. කෙතට යනු මැනැවැ යි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී කෙතට ගොස් පමණ නොදැන බොහෝ ලුහුනු ගෙන්වා ගතු යැ. කෙත්පල් තෙමේ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් මෙහෙණෝ පමණ නොදැන බොහෝ ලුහුනු ගෙන්වා ගත්තු දැ”යි.
2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන. ඒ කෙත්පල්හුගේ (අකීර්ති ශබ්දය) ඇසූහු යි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා පමණ නො දැන බොහෝ ලුහුනු ගෙන්වා ගතු දැ යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී පමණ නො දැන බොහෝ ලුහුනු ගෙන්වා ගතු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී පමණ නො දැන බොහෝ ලුහුනු ගෙන්වා ගතු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... දැහැමි කථා කොට මහණුන් ඇමතූහ.
3. මහණෙනි, පෙරැවූවක් කියමි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී එක්තරා බමුණක්හුගේ අඹු වූ යැ. නන්‍දා යැ නන්‍දවතී යැ සුන්‍දරීනන්‍දා යැයි දියණියෝ තිදෙනෙක් ද වූහ. එකල්හි මහණෙනි, ඒ බමුණු තෙමේ කලුරිය කොට එක්තරා හංසයෝනියෙකැ උපන්නේ යැ. ඔහුගේ පියාපත් සියල්ල රන්මුවා විය. හෙතෙමේ ඔවුනට එක් එක් පියාපතක් දෙයි.
එකල්හි මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ මේ හංස තෙමේ අපට එක් එක් පියාපතක් දේ යයි ඒ හංසරාජයා අල්වාගෙන පියාපත් නැතියක්හු කළා යැ. ඔහුගේ යළි හටගන්නා පියාපත්හු සුදු වැ හටගත්හ. එදා ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ අතිලෝභයෙන් රනින් පිරිහිණ. දැන් ලුහුනෙන් පිරිහේ යයි.
“යමක් ලද නම් එයින් තුටුවිය යුතු යි. අතිලෝභය වනාහි ලාමක යැ. හස්රජහු අල්වාගෙන රනින් පිරිහිණැ” යි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ථුල්ලනන්‍දා භික්‍ෂුණියට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් ලුහුනු කා නම් පචිති වේ” යයි.
4. යා පන: යම්, යම්බඳු ... භික්ඛුණී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
ලසුන නම්: මගදරට උපනැ යි කියනු ලැබෙයි. කන්නෙමැයි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
ලුහුනෙහි ලුහුනු සන් ඇතියා කා නම් පචිති ඇවැත් වෙයි. ලුහුනෙහි විමති ඇතියා කා නම් පචිති ඇවැත් වෙයි, ලුහුනෙහි නො ලුහුනු සන් ඇතියා කා නම් පචිති ඇවැත් වේ.
නො ලුහුනෙහි ලුහුනු සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි, නො ලුහුනෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො ලුහුනෙහි නො ලුහුනු සන් ඇතියා නම් ඇවැත් නැති.
හෙළ ලුහුනෙහි, සෑ ලුහුනෙහි, පලාවන් ලුහුනෙහි, මිදුළු නැති ලුහුනෙහි, සූපසම්පාකයෙහි, මංසසම්පාකයෙහි, තෙල සම්පාකයෙහි, ගිවුළු සාලවයෙහි, අවුළුපත්හි, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
පළමු සිකපද යි.
දෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මෙහෙණෝ පිළිසන් පියෙසෙහි ලොම් හරවා අචිරවතී නදියෙහි වෙසඟනන් සමග නග්න වැ එක් තොටෙහි ස්නානය කෙරෙත්. වෙසඟනෝ ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගෘහී කාමභෝගීන් මෙන් පිළිසන් පියෙසෙහි ලොම් හැරැවූහු”දැ යි.
2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ වෙසඟනන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මෙහෙණෝ පිළිසන් පියෙසෙහි ලොම් හැරැවූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණෝ පිළිසන් පියෙසෙහි ලොම් හරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ පිළිසන් පියෙසෙහි ලොම් හැරැවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් පිළිසන් පියෙසෙහි ලොම් හරවා නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
සම්බාධ නම්: දෙ කිසිල්ල යැ මූත්‍රකරණ යි.
සංහරාපෙය්‍ය: එක්ලොමකුදු හරවා නම් පචිති ඇවැත් වෙයි. බොහෝ වූ ද ලොම් හරවා නම් පචිති ඇවැත් වේ.
ආබාධප්‍රත්‍යයෙන්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දෙවන සිකපද යි.
තෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි දෙ මෙහෙණ කෙනෙක් අනභිරතියෙන් පීඩිත වූවාහු ගබට පිවිස තලඝාතකය කෙරෙති. භික්‍ෂුණීහු ඒ ශබ්දයෙන් දිවැ අවුත් ඒ මෙහෙණන්ට “ආර්‍ය්‍යාවෙනි, තෙපි කුමකට පුරුෂයන් සමග දූෂ්‍යවහුදැ”යි කීහු. ආර්‍ය්‍යාවෙනි, අපි පුරුෂයන් සමග නො ම දූෂ්‍යවම්හ යි. මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූහු.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ තලඝාතකය කොළෝදැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ තලඝාතකය කෙරෙද්දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ තලඝාතකය කළෝ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“තලඝාතකයෙහි පචිති වේ” යයි.
3. තලඝාතක නම්: පහස ඉවසන්නී යටත් පිරිසෙයින් උපුල් පතිනුදු මූත්‍ර කරණයෙහි පහර දේ නම් පචිති ඇවැත් වෙයි.
ආබාධප්‍රත්‍යයෙන්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
තෙවන සිකපද යි.
සතරවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි පෙරැ ගිහි බැව්හි රජහුගේ ඇතොවුරෙහි වූ එක්තරා ස්ත්‍රියක් මෙහෙණන් කෙරෙහි පැවිදි වූවා වෙයි. එක්තරා මෙහෙණක් අනභිරතියෙන් පෙළුණී ඒ මෙහෙණ වෙත එළැඹියා යැ. එළැඹැ ඒ මෙහෙණහට “ආර්‍ය්‍යාවෙනි, රජ තෙමේ වනාහි කලින් කල තොප වෙතට පැමිණෙයි. තෙපි කෙසේ ඉවසා දරව් දැ යි” තෙල කරුණ කිවු යැ. ආර්‍ය්‍යාවෙනි, ජතුමට්ටකයෙනි. ආර්‍ය්‍යාවෙනි, තෙල ජතුමට්ටකය කිමෙක් දැ යි. එකල්හි ඒ මෙහෙණ ඒ මෙහෙණහට ජතුමට්ටකය පැහැදිලි කොට කිවු යැ. එකල්හි ඒ මෙහෙණ ජතුමට්ටකය (ප්‍රයෝජනයට) ගෙන දොවන්නට නො සිහි කොට එකත්පසෙක දැමූ යැ. මෙහෙණෝ මැස්සන්ගෙන් හාත්පසින් ගැවසි ගන්නා ලද්ද දැක “මේ කාගේ කාර්‍ය්‍යයක්දැ”යි කීහු. ඕ තොමෝ මෙය මාගේ කාර්‍ය්‍යයෙකැ යි කිවු යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් ජතුමට්ටකය (ප්‍රයෝජනයට) ගතුදැ”යි ... “සැබෑද මහණෙනි, මෙහෙණක් ජතුමට්ටකය (ප්‍රයෝජනයට) ගතුදැ” යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... “කෙසේ නම් මහණෙනි මෙහෙණක් ජතුමට්ටකය ගතු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා”
“ජතුමට්ටකයෙහි පචිති වේ” යැ යි.
3. ජතුමට්ටක නම්: ලහමුවා යැ, දැවමුවා යි පිටි මුවා යැ මැටිමුවා යැ.
ආදියෙය්‍ය: පහස ඉවසන්නී යටත් පිරිසෙයින් උපුල් පතකුදු මූත්‍ර කරණයට පිවිස්වා නම් පචිති ඇවැත් වේ.
ආබාධප්‍රත්‍යයෙන්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සතරවන සිකපද යි.
පස්වන සිකපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් පුරැ නුගඅරම්හි වැඩැවෙසෙති. එකල්හි මහාප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වෙත එළැඹියා යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ “භාග්‍යවතුන් වහන්ස, මාගම දුගඳයැ”යි යටි සුළඟෙහි සිටියා යැ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “භික්‍ෂුණීහු උදකශුද්ධිකය ගනිත්ව”යි. මහාප්‍රජාපතී ගෞතමියට දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූ සේක. මොනවට කරුණු ගැන්වූ සේක. මොනවට තෙද ගැන්වූ සේක. මොනවට සතුටු කරවූ සේක. එකල්හි මහාප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් විසින් දැහැමි කථාවෙන් මොනවට කරුණු දක්වන ලද්දී මොනවට කරුණු ගන්වන ලද්දී මොනවට තෙද ගන්වන ලද්දී මොනවට සතුටු කරවන ලද්දී භාග්‍යවතුන් සකසා වැඳ පැදකුණු කොට ගියා යැ.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. “මහණෙනි, මෙහෙණන්හට උදකශුද්ධිකය අනුදනිමි”යි. එසමයෙහි එක්තරා මෙහෙණෙක් භාග්‍යවතුන් විසින් උදකශුද්ධිකය අනුදැන වදාරන ලදැ යි ඉතා ගැඹුරට උදකශුද්ධිකය ගන්නී මූත්‍ර කරණයෙහි වණයක් කළා යැ. එකල්හි ඒ මෙහෙණ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.
3. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් ඉතා ගැඹුරට උදක ශුද්ධිකය ගතු” දැ යි ... සැබෑද මහණෙනි, මෙහෙණක් ඉතා ගැඹුරට උදක ශුද්ධිකය ගතු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් ඉතා ගැඹුරට උදක ශුද්ධිකය ගතු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“උදක ශුද්ධිකය ගනු බලන මෙහෙණ විසින් දෙ ඇඟිලි දෙපුරුකක් පරම කොට ගත යුතු යි. එය ඉක්මවන්නියට පචිති වේ” යැයි.
4. උදකශුද්ධික නම්: මූත්‍රකරණය පිළිබඳ දෙවීම කියනු ලැබේ.
ආදියමානාය: දෙවන්නිය විසින්:
ද්වඞ්ගුලපබ්බපරමං ආදාතබ්බං: දෙ ඇඟිල්ලෙහි දෙ පුරුකක් පරම කොට ගත යුතු යි.
තං අතික්කාමෙන්තියා: පහස ඉවසන්නී යටත් පිරිසෙයින් කෙසගක් පමණකුදු ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
අයිරා දෙඇඟිලි දෙපුරුකෙහි අයිරා සන් ඇතියා ගනී නම් පචිති ඇවැත් වෙයි. අයිරා දෙඇඟිලි දෙපුරුකෙහි විමති ඇතියා ගනී නම් පචිති ඇවැත් වෙයි. දෙඇඟිලි දෙපුරුකෙහි උනුසන් ඇතියා ගනී නම් පචිති ඇවැත් වේ.
උනු දෙඇඟිලි දෙපුරුකෙහි අයිරා සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. උනු දෙඇඟිලි දෙපුරුකෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. උනු දෙඇඟිලි දෙපුරුකෙහි උනු සන් ඇතියා නම් ඇවැත් නැති.
දෙඇඟිලි දෙපුරුකක් පරම කොට ගනී නම්, උනු දෙඇඟිලි දෙපුරුකක් පරම කොට ගනී නම්, ආබාධප්‍රත්‍යයයෙන්, අවැත් නොවේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
පස්වන සිකපද යි.
සවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ආරෝහන්ත නම් මහාමාත්‍රයෙක් මහණුන් කෙරෙහි පැවිදි වූයේ වෙයි. ඔහුගේ පැරැණි අඹු මෙහෙණන් කෙරෙහි පැවිදි වූවා වෙයි. එසමයෙහි වනාහි ඒ මහණ තෙමේ එ මෙහෙණ වැළතෙහි බත්කිස කෙරෙයි. එකල්හි ඒ මෙහෙණ වළඳන ඒ මහණහට පැනින් ද තල්වැටින් පවන් සැළීමෙන් ද (උවටැන් කරමින්) වෙතැ සිට (පැවිදි සිරිත) ඉක්මවා (පස්කම් සැපමුසු) වදන් බෙණෙයි. එකල්හි ඒ මහණ තෙමේ එ මෙහෙණහට “බුහුන, මෙබන්දක් නහමක් කරව, මෙය නො කැපයැ”යි අප්‍රසාදය පළ කළේ යැ. පෙරැ තෝ මට මෙසේත් මෙසේත් කෙරෙහි, දැන් මෙවිචරකුත් නො ඉවසහි යැ යි පැන්තලිය හිසමතැ වත් කොට තල්වැටින් පහර දුන්නා යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් මහණක්හට පහර දුන්නාදැ”යි ... සැබෑද මහණෙනි, මෙහෙණක් මහණක්හට පහර දුන්නා දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි මෙහෙණක් මහණක්හට පහරදුන්නාද මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් වළඳන මහණක්හට පැනින් හෝ තල්වැටින් හෝ යුතු වැ වෙතැ එළැඹැ සිටී නම් පචිති වේ”යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.