5. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවැතට ගොස් මෙ කරුණ භික්‍ෂූන්හට දැන්වූහ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පැතුරුවත්.”කෙසේ නම් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයෝ මාගමක හා සමඟ ශයනය කළෝ ද”යි. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු.
... සැබෑ ද අනුරුද්ධයෙනි, තෙපි මාගමක හා සමඟ ශයනය කළවු ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... “කෙසේ නම් අනුරුද්ධයෙනි, තෙපි මාගමක හා සමග ශයනය කළවු ද? අනුරුද්ධයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු.
යම් මහණෙක් මාගමක හා සමග සයනය කරන්නේ නම් පචිති වේ යයි.
6. යෝපන: යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙම මේ අරුතෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. මාතුගාම නම්: මිනිස් ඉතිරියකැ, යකින්නක් නොවෙයි. ප්‍රේතියක් නො වෙයි, තිරිසන්ගිය මාගමක් නොවෙයි. යටත් පිරිසෙයින් එදවස උපන්නා වූ ද දැරිය කැ. මහත් වූවක කියනුම කවරේද. සහ: එක් වැ සෙය්‍යා නම්: හැම පිරිසන් හැමපසින් පිරිසන් බෙහෙවින් පිරිසන් බෙහෙවින් හැම පසින් පිරිසන් වූ ශයනය යි.
සෙය්‍යං කප්පෙය්‍ය: හිරු අවරට යත් මාගම හොත් කල්හි මහණ තෙමේ නිදා නම් පචිති ඇවැත් වෙයි. මහණහු හොත් කල්හි මාගම නිදා නම් පචිති ඇවැත් වෙයි. දෙදෙනාම හෝ හොවිත් නම් පචිති ඇවැත් වෙයි. නැඟිට පුන පුනා හොවිත් නම් පචිති ඇවැත් වේ.
මාගම කෙරෙහි මාගමකැයි සන් ඇතියේ සමඟ ශයනය කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි විමති ඇතියේ සමඟ ශයනය කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි නොමාගම්සන් ඇතියේ ශයනය කෙරේ නම් පචිති ඇවැත් වේ.
අඩක් පිරිසන් වූ අඩක් අවටින් පිරිසන් වූ ශයනයෙහි දුකුළා ඇවැත් වෙයි. යකින්නක හෝ ප්‍රේතියක හෝ පණ්ඩකයකු හෝ තිරිසන්ගිය මාගමක හෝ සමග ශයනය කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. නො මාගම කෙරෙහි මාගම්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො මාගම කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නොමාගම කෙරෙහි නො මාගම්සන් ඇතියේ නම් ඇවැත් නැති.
හැම නොපිරිසන් වූයෙහි, හැමපසින් නො පිරිසන් වූයෙහි, බෙහෙවින් නොපිරිසන් වූයෙහි, බෙහෙවින් හැමපසින් නොපිරිසන් වූයෙහි, මාගම හොත් කල්හි මහණ තෙමේ හිඳී නම්, මහණ හොත් කල්හි මාගම හිඳී නම් දෙදෙනාම හෝ හිඳිත් නම්, උම්මත්තකය හට, ආදිකම්මිකය හට ඇවැත් නැති.
සවැනි දුතියසහසෙය්‍යශික්‍ෂාපද යි
6. 1. 7.
ධම්මදේසනා ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්හි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උදායි තෙරණුවෝ සැවැතෙහි කුලයන් කරා එළැඹෙනු වෙති. බොහෝ කුලවලට එළැඹෙති. එකල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ පෙරවරුයෙහි හැඳැ පෙරැවැ පා සිවුරු ගෙන එක්තරා කුලයකට එළැඹියහ. එසමයෙහි ගෙඅඹුව ගෙහි මහදොරැ හුන්නී වෙයි. ගෙහි ලෙහෙළිය ගබඩා දොරැ හුන්නී වෙයි. එකල්හි ආයුෂ්මත් උදායි තෙරණුවෝ ගෙඅඹුව වෙත එළැඹියහ. එළැඹැ ගෙඅඹුවගේ කන්මුලැ දහම් දෙසති. එකල්හි ගෙහි ලෙහෙළියට මෙසිත විය. කිමෙක් ද තෙල මහණ නැඳියගේ සොරසැමියෙක් ද නැතහොත් නොමනා බසක් බෙණේ දැ යි.
2. ඉක්බිති ආයුෂ්මත් උදායි තෙරණුවෝ ගෙඅඹුවගේ කන්මුලැ දහම් දෙසා ගෙහි ලෙහෙළිය වෙත එළැඹියහ. එළැඹ ගෙහි ලෙහෙළියගේ කන්මුලැ දම් දෙසති. එකල්හි ගෙඅඹුවට මෙසිත විය. කිමෙක් ද තෙල මහණ ගෙහි ලෙහෙළියගේ සොරසැමියෙක් ද නැතහොත් නො මනා බසක් බෙණේ දැ යි.
3. එකල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ ගෙහි ලෙහෙළියගේ කන්මුලැ දම් දෙසා නික්මගියහ. එකල්හි ගෙඅඹුව ගෙහි ලෙහෙළියට මෙය කිවු යැ. එම්බල කෙල්ල, තෙල මහණ තිට කුමක් කීයේ දැ යි. ආර්‍ය්‍යාවෙනි, මට දහම් දෙසී ය. ආර්‍ය්‍යාවට වැළිත් කුමක් කීයේ ද? මට ද දහම් දෙසී ය. එව්හු ලමු කොට සිතති, නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය උදායී තෙරණුවෝ කන්මුලැ දහම් දෙසූ දැයි මොනවට නික්මුණු හඬින් විවෘත හඬින් යුතු වැ දහම් දෙසියයුතු නො වේ දැ” යි.
4. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ ස්ත්‍රීන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආයුෂ්මත් උදායී මාගමකට දහම් දෙසා”දැ යි. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ: ...
සැබෑ ද උදායි, තෝ මාගමකට දහම් දෙසහි දැ යි?
සැබැවැ භාග්‍යවතුන් වහන්ස,
භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෝ මාගමකට දහම් දෙසහි ද? හිස් පුරුෂය, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් මාගමකට දහම් දෙසන්නේ නම් පචිති ඇවැත් වේ” යි.
මෙසේ භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
5. එසමයෙහි උවැසියෝ භික්‍ෂූන් දැක වහන්ස, දහම් දෙසන්නහු නම් මැනැවැයි කීහු. නැඟණියෙනි, මාගමට දහම් දෙසන්නට නො වටී. එසේ නම් වහන්ස, සපෙදෙකින් පස්පෙදෙකින් දහම් දෙසන්නහු නම් එතෙකිනුදු අවබෝධ කරන්නට හැක්ක, නැඟණියනි, මාගමට දහම් දෙසන්නට නො කැප යැ යි කුකුස් කරනුවෝ (දහම්) නො දෙසූහු. උවැසියෝ ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යයන් වහන්සේ අප විසින් යදිනු ලබන්නාහු දහම් නො දෙසත් දැ”යි. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ උවැසියන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. එකල්හි ඒ භික්‍ෂූහු තෙල කරුණ භාග්‍යවතුන්හට දැන්වූහු. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි බණ වදාරා මහණුන් ඇමැතූ සේකැ: “මහණෙනි, මාගමට සපෙදෙකින් පස් පෙදෙකින් දහම් දෙසන්නට අනුදනිමි. තවද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් මාගමකට සපෙදෙකින් පස්පෙදෙකින් මත්තෙහි දෙසන්නේ නම් පචිති වේ” යයි.
මෙසෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
6. එසමයෙහි සවග මහණහු මාගමට සපෙදෙකින් පස් පෙදෙකින් ධම් දෙසන්නට භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලදැ යි දැනුම් නැති පිරිම්නියක්හු වෙතැ හිඳුවාගෙනැ මාගමට සපෙදෙකින් පස් පෙදෙකින් මත්තෙහි ධම් දෙසත්. යම් භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු දැනුම් නැති පිරිම්නියක්හු වෙතැ හිඳුවාගෙනැ මාගමට සපෙදෙකින් පස් පෙදෙකින් මත්තෙහි ධම් දෙසූහු දැ”යි.
7. ඉක්බිති ඒ භික්‍ෂූහු තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකළහ ... සැබෑ ද මහණෙනි, තෙපි දැනුම් නැති පිරිම්නියක්හු වෙතැ හිඳුවාගෙන මාගමට සපෙදෙකින් පස්පෙදෙකින් මත්තෙහි ධම් දෙසවු දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ සේක ... කෙසේ නම් සිස් පුරුෂයෙනි, තෙපි දැනුම් නැති පිරිම්නියක්හු වෙතැ හිඳුවාගෙනැ මාගමට සපෙදෙකින් පස්පෙදෙකින් මත්තෙහි ධම් දෙසුවහු ද? මෝඝපුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් මාගමට සපෙදෙකින් පස්පෙදෙකින් මත්තෙහි දැනුමැති පිරිම්නියක්හු නැති වැ දම් දෙසන්නේ නම් පචිති වේ” යයි.
8. යෝපන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙම මෙ අරුතෙහි ලා අදහස් කළ භික්‍ෂු යි. මාතුගාම නම් මිනිස් ඉතිරි යැ. යකිනි නො වෙයි, ප්‍රේතිය නො වෙයි, තිරිසන්ගිය මාගම නො වේ. සුබැසි දුබැසි දුළුල් නොදුළුල් තෙපුල් දන්නට සමත් නුවණැති මාගම යි. උත්තරිං ඡප්පඤ්චවාචාහි: අයිරා සපෙදෙකින් පස්පෙදෙකින්. ධම්ම නම් බුද්ධභාෂිත යැ ශ්‍රාවකභාෂිතයැ ඍෂිභාෂිත යැ දේවභාෂිත යැ අර්‍ත්‍ථොපසංහිත යැ ධර්මොපසංහිත යි. දේසෙය්‍ය: පදයෙන් දෙසා නම් පෙදෙහි පෙදෙහි පචිති අවැත් වෙයි. අක්‍ෂරයෙන් දෙසා නම් අකුරෙහි අකුරෙහි පචිති ඇවැත් වේ. අඤ්ඤත්‍ර විඤ්ඤනා පුරිසවිග්ගහෙන: දැනුමැති මිනිස් පිරිම්නියක්හු හැරැපියා. සුබැසි දුබැසි දුළුල් නොදුළුල් තෙපුල් දැනගන්නට ප්‍රතිබලයා දැනුමැති පිරිම්නි නම් වේ.
මාගම කෙරෙහි මාගම් සන් ඇතියේ දැනුමැති මිනිස් පිරිම්නියක්හු නැති වැ සපෙදෙකින් පස්පෙදෙකින් වැඩියක් ධම් දෙසා නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි විමති ඇතියේ දැනුමැති මිනිස් පිරිම්නියක්හු නැති වැ සපෙදෙකින් පස්පෙදෙකින් වැඩියක් ධම් දෙසා නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි නොමාගම් සන් ඇතියේ දැනුමැති මිනිස් පිරිම්නියක්හු නැති වැ සපෙදෙකින් පස්පෙදෙකින් මත්තෙහි ධම් දෙසා නම් පචිති ඇවැත් වේ.
දැනුමැති මිනිස් පිරිම්නියක්හු නැති වැ යකින්නකට හෝ ප්‍රේතියකට හෝ පණ්ඩකයකුට හෝ තිරිසන්ගිය මිනිස් සිරිරි ඇති ඉතිරියකට හෝ සපෙදෙකින් පස් පෙදෙකින් මතුයෙහි ධම් දෙසා නම් දුකුළා ඇවැත් වෙයි. නොමාගම් කෙරෙහි මාගම්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නොමාගම් කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නොමාගම් කෙරෙහි නොමාගම්සන් ඇතියේ ඇවැත් නැති.
දැනුමැති මිනිස් පිරිම්නියක්හු ඇති වැ සපෙදෙකින් පස්පෙදෙකින් ධම් දෙසා නම්, උනු සපෙදෙකින් පස්පෙදෙකින් ධම් දෙසා නම් නැඟිට යළි හිඳ දෙසා නම්, මාගම නැඟිට යළි හිඳී ද, ඇයට දෙසා නම් අන් මාගමකට දෙසා නම්, පැන විචාරා නම්, පැන විචාරන ලද්දේ කියා නම් අනෙකක්හු සඳහා කියන්නහුගෙන් මාගම අසා නම් ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සත්වැනි ධම්මදේසනාශික්‍ෂාපද යි
6. 1. 8.
භූතාරෝචන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු විසල්පුරැ මහවෙනේ කුළාරහල්හි වැඩැවෙසෙති. එකල්හි වනාහි දුටුපමණින් මිතුරු වූ දැඩි වැ මිතුරු වූ බොහෝ භික්‍ෂූහු වග්ගුමුදා නදීතීරය සමීපයෙහි වස් එළැඹියහ. එසමයෙහි වැදෑරට දුර්භික්‍ෂ ඇතියේ වෙයි. දෙපරිද්දෙකින් පැවැත්විය යුතු ඉරියව් ඇතියේ නොහොත් දුකසේ පැවැත්විය යුතු දිවෙල් ඇතියේ වෙයි. (තන්හි තන්හි විසිරීගිය) සුදුවන් ඇට ඇත්තේ නොහොත් සේතට්ඨිකා නම් ගොයම්ලෙඩින් නැසුණු ශස්‍ය ශීර්‍ෂ ඇත්තේ වෙයි. වපුළ ගොයම්හි ලභ පමණක් ඉතිරිවූයේ නොහොත් කුසපතින් පැවැත්විය යුතු දිවෙල් ඇත්තේ වෙයි. පාත්‍රයෙන් සිඟායෑමෙන් යැපෙන්නට පහසු නො වෙයි.
2. එකල්හි ඒ මහණුන්හට මෙසිත විය. මෙකල්හි වනාහි වැදෑරට හටගත් දුබික් ඇතියේ වෙයි. දෙපරිද්දෙකින් පැවැත්විය යුතු ඉරියව් ඇතියේ නොහොත් දුකසේ පැවැත්විය යුතු දිවෙල් ඇතියේ වෙයි. සුදුවන් ඇට ඇතියේ නොහොත් සේතට්ඨිකා නම් ගොයම්ලෙඩින් නැසුණු ශස්‍ය ශීර්‍ෂ ඇතියේ වෙයි. වපුළ ගොයම්හි ලහ පමණක් ඉතිරි වූයේ නොහොත් කුසපතින් පැවැත්විය යුතු දිවෙල් ඇතියේ වෙයි. පාත්‍රයෙන් සිඟායෑමෙන් යැපෙන්නට පහසු වූයේ නො වෙයි. ඇපි කවර නම් උපායෙකින් සමගි සතුටු වැ විවාද නොකරන්නමෝ පහසුවෙන් වස් වසන්නමු ද, අහරින් නො ද මිරිකෙන්නමු දැ යි?
3. ඇතැම් කෙනෙක් මෙසේ කීහු: දැන් ඇපි ඇවැත්නි, ගිහියන්ගේ කර්‍මාන්තයෙහි යෙදී සිටින්නමු නම් මැනැවි, එසේ ඇති කල්හි ඔහු අපට දෙන්නට සිතන්නාහ. මෙසේ ඇපි සමගි සතුටු වැ විවාද නැති වැ පහසුවෙන් වස් වසන්නමු, අහරින් නො ද මිරිකෙන්නෙමු යි.
4. ඇතැම් කෙනෙක් මෙසේ කීහු: ඇවැත්නි, කම් නැත. ගිහියන්ගේ කර්‍මාන්තයෙහි යෙදී සිටීමෙන් කවර වැඩෙක් ද? එසේ නම් ඇවැත්නි, ඇපි ගිහියන්ගේ පණිවුඩ ගෙනැ යමු. මෙසේ ඔහු අපට දෙනු කොට සිතන්නාහ. මෙසේ ඇපි සමගි සතුටු වැ විවාද නැති වැ පහසුවෙන් වස් වසන්නම්හ, අහරින් නො ද මිරිකෙන්නම්හ.
5. ඇතැම් කෙනෙක් මෙසේ කීහු: ඇවැත්නි, ගිහියන්ගේ කර්‍මාන්තයෙහි යෙදී සිටීමෙන් කවර වැඩෙක් ද? ගිහියන්ගේ පණිවුඩ ගෙන යෑමෙන් කවර වැඩෙක් ද? එසේ නම් ඇවැත්නි, අපි ගිහියනට උනුන්ගේ උතුරු මිනිස් දම්හි ගුණ කියම්හ. අසෝ මහණ පළමු දැහැන ලැබුවෙකි. අසෝ මහණ දෙවන දැහැන ලැබුවෙකි. අසෝ මහණ තෙවන දැහැන ලැබුවෙකි. අසෝ මහණ සතරවන දැහැන ලැබුවෙකි.
අසෝ මහණ සෝවන් වෙයි. අසෝ මහණ සෙදගැමි යැ. අසෝ මහණ අනගැමි යැ. අසෝ මහණ රහත් යැ. අසෝ මහණ ත්‍රිවිද්‍යා ඇතියෙකැ. අසෝ මහණ ෂඩභිඥා ඇතියෙකැ යි. එසේ ඇති කල්හි ඔහු අපට දෙනු කොට සිතන්නාහු ය. මෙසේ ඇපි සමගි සතුටු වැ විවාද නැති වැ පහසු වෙන් වස් වසන්නම්හ. අහරින් නො ද මිරිකෙන්නම්හ.
6. ඇවැත්නි, ගිහියනට අප විසින් උනුන්ගේ උතුරුමිනිස්ධම්හි යම් ගුණ කීමෙක් වේ නම් මෙයැ මැ ශ්‍රේෂ්ඨ යැ. එකල්හි ඒ භික්‍ෂූහු අසෝ මහණ පළමු දැහැන ලැබුවෙකැ ... අසෝ මහණ ෂඩභිඥා ඇතියෙකැ යි ගිහියනට අනන්මන උතුරුමිනිස්ධම්හි ගුණ කීහු.
7. එකල්හි ඒ මිනිස්සු “අපට ඒකාන්තයෙන් ලාභයෙකි. අපට ඒකාන්තයෙන් මනා ලැබීමෙකි. යම්බඳු අපට මෙබඳු භික්‍ෂූහු වස් එළඹියාහු ද මෙයින් පෙරැ අපට කලණසැහැවී ඇති සිල්වත් මේ මහණුන් වැනි භික්‍ෂූහු වස් නො එළඹියාහු යැ”යි කීහු. එව්හු යම්බඳු බොජුන් භික්‍ෂූනට දෙත් ද එබඳු බොජුන් තුමූ නො වළඳති, මාපියනට නො දෙති, අඹුදරුවනට නො දෙති, දස් කම්කරු පුරිස්නට නො දෙති, මිත්‍රාමාත්‍යයනට නො දෙති, නෑසහලේ නෑයනට නො දෙත්. යම්බඳු දෑ භික්‍ෂූනට දෙත් ද එබඳු කෑ යුතු දෑ රස විඳිය යුතු දෑ පිය යුතු දෑ තුමූ නො බොති. මාපියනට නොදෙති, අඹුදරුවනට නො දෙති, දස්කම්කරු පුරිස්නට නො දෙති, මිත්‍රාමාත්‍යයනට නො දෙති, නෑ සහලේ නෑයනට නොදෙත්.
8. එකල්හි ඒ භික්‍ෂූහු සිරිරිපැහැ ඇතියෝ පිරුණු ඉඳුරන් ඇතියෝ පසන් මුවපැහැ ඇතියෝ වෙසෙසින් පහන් සිවිපැහැ ඇතියෝ වූහු. වස් වැස නිම වූ භික්‍ෂූන් භාග්‍යවතුන් දක්නට යෑම යැ යන තෙල සිරිත පුරුද්දෙක් මැ යි. එකල්හි ඒ භික්‍ෂූහු වස් වැස නිමවූවාහු වස් තෙමස ඇවෑමෙන් සෙනසුන් තැන්පත් කොට පා සිවුරු ගෙන විසල්පුර යම් තැනෙක ද එහි ගියහ. පිළිවෙළින් විසල්පුර මහවන කූළාරහල බුදුහු යම් තැනෙක ද එහි එළැඹියහ. එළැඹ බුදුන් වැඳ එකත් පසෙකැ හුන්හ.
9. එසමයෙහි වනාහි දිශාවන්හි වස් වුසූ භික්‍ෂූහු කෘශ වූවාහු රළු සිරිරි ඇතියාහු දුර්වර්‍ණ වූවාහු හටගත් පඬුවන් පැහැ ඇතියාහු ඉල්පීගිය නහරින් යුතු සිරිරි ඇතියාහු වෙති. වග්ගුමුදාතිරීය භික්‍ෂූහු වනාහි පැහැපත් සිරිරි ඇතියාහු පිරුණු ඉඳුරන් ඇතියාහු පසන් මුවපැහැ ඇතියාහු වෙසෙසින් පහන් සිවිපැහැඇතියාහු වෙති. ආගන්තුක භික්‍ෂූන් සමඟ පිළිසඳර කිරීම යැ යන තෙල සිරිත භාග්‍යවත් බුදුවරුන්ගේ පුරුද්දෙක් මැ යි.
10. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වග්ගුමුදාතීරීය භික්‍ෂූන්ට මෙය වදාළ සේක. කිමෙක් ද මහණෙනි, ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම සමගි වැ සතුටු සිතැති වැ විවාද නැති වැ පහසුවෙන් වස් වුසූවහු ද? පිණ්ඩයෙන් නො ද ක්ලාන්ත වූවහු දැ යි. ඉවසිය හැකි ය භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි යැ භාග්‍යවතුන් වහන්ස. වහන්ස, ඇපි වනාහි සමගි වැ සතුටු සිතැති වැ විවාද නැති වැ පාසුවෙන් වස් වුසූම්හ. පිණ්ඩයෙන් නො ද මිරිකුණම්හ. තථාගතයෝ දනිමිනුත් විචාරති. දනිමිනුත් නො විචාරති, කල් දැන විචාරති, කල් දැන නො විචාරති. තථාගතයෝ අර්‍ත්‍ථසහිතයක් විචාරති, අනර්‍ත්‍ථසහිතය නො විචාරත්. අනර්‍ත්‍ථ සහිතයෙහි තථාගතයන්ගේ සේතුඝාතය වෙයි. භාග්‍යවත් බුදුවරු ‘ධර්‍මය හෝ දෙසම්හ, ශ්‍රාවකයනට සිකපද හෝ පනවම්හ”යි දෙ අයුරෙකින් මහණුන් විචාරත්.
11. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වග්ගුමුදාතිරීය භික්‍ෂූන්ට මෙය වදාළ සේක. කෙසේ නම් මහණෙනි, තෙපි සමගි වැ සතුටු සිතැති වැ විවාද නැති වැ පහසුවෙන් වස් වුසූවහු ද? අහරින් නො ද ක්ලාන්ත වූවහු දැ යි. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්ට මෙකරුණ සැලකළහ. කිමෙක් ද මහණෙනි, (එය) තොප පිළිබැඳි වූවෙක් ද? භාග්‍යවතුන් වහන්ස, වූවෙකි. භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් ... මහණෙනි, තෙපි උදරය කරණ කොට ගෙන ගිහියනට උනුන්ගේ උතුරුමිනිස්දහම්හි ගුණ කීවහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් අනුපසපනක්හට උතුරුමිනිස්දම් ඇරොජන්නේ නම් විද්‍යමානයෙහි පචිති වේ” යයි.
12. යෝපන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙම මේ අරුතෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. අනුපසම්පන්න නම්: මහණ ද මෙහෙණ ද තබා අවශේෂ වූයේ අනුපසම්පන්න නම් වේ.
13. උත්තරිමනුස්සධම්ම නම්: ධ්‍යාන යැ විමෝක්‍ෂ යැ සමාධි යැ සමාපත්ති යැ ඥානදර්‍ශන යැ මාර්‍ගභාවනා යැ ඵලප්‍රත්‍යක්‍ෂකරණ යැ ක්ලේශප්‍රහාණ යැ චිත්තයාගේ විනීවරණතා යැ ශුන්‍යාගාරයෙහි අභිරති යි. ධ්‍යාන යනු: ප්‍රථමධ්‍යාන යැ ද්විතීයධ්‍යාන යැ තෘතීයධ්‍යාන යැ චතුර්‍ත්‍ථ ධ්‍යානය යි. විමෝක්‍ෂ යනු: ශුන්‍යතවිමෝක්‍ෂ යැ අනිමිත්තවිමෝක්‍ෂ යැ අප්‍රණිහිත විමෝක්‍ෂ යි. සමාධි යනු: ශුන්‍යත සමාධි යැ අනිමිත්ත සමාධි යැ අප්‍රණිහිත සමාධි යි. සමාපත්ති යනු: ශුන්‍යතසමාපත්ති යැ අනිමිත්ත සමාපත්ති යැ අප්‍රණිහිතසමාපත්ති යි.
ඥානදර්‍ශන යනු: ත්‍රිවිද්‍යා යි. මාර්‍ගභාවනා යනු: සතරසතිපට්ඨාන යැ සතර සම්‍යක්ප්‍රධාන යැ සතර ඍද්ධිපාද යැ පඤ්චේන්‍ද්‍රිය යැ පඤ්චබල යැ සප්තබෝධ්‍යඞ්ග යැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ග යි. ඵලප්‍රත්‍යක්‍ෂකරණ යනු: ස්‍රෝතාපත්තිඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීම යැ සකෘදාගාමීඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීම යැ අනාගාමීඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීම යැ අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීම යි. ක්ලේශප්‍රහාණ යනු: රාගයාගේ ප්‍රහාණ යැ ද්වේෂයාගේ ප්‍රහාණ යැ මෝහයාගේ ප්‍රහාණ යි. චිත්තයාගේ විනීවරණතා යනු: රාගයෙන් සිත වෙසෙසින් වැළකුණු බව යැ ද්වේෂයෙන් සිත වෙසෙසින් වැළකුණු බව යැ මෝහයෙන් සිත වෙසෙසින් වැළකුණු බව යි. ශුන්‍යාගාරයෙහි අභිරති යනු: පළමුවන ධ්‍යානයෙන් ශුන්‍යාගාරයෙහි ඇලීම යැ දෙවන ධ්‍යානයෙන් ශුන්‍යාගාරයෙහි ඇලීම යැ තෙවන ධ්‍යානයෙන් ශුන්‍යාගාරයෙහි ඇලීම යැ සතරවන ධ්‍යානයෙන් ශුන්‍යාගාරයෙහි ඇලීම යි.
14. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට සමවැදීමි යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට සමවදිමි යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට සමවදින්නෙම් වෙමැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානය ලැබුවෙම් වෙමැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානය වශීකෘතයෙම් වෙමැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ. ආරෝචෙය්‍ය යනු: මා විසින් ප්‍රථමධ්‍යානය පසක් කරන ලදැයි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
15. ආරෝචෙය්‍ය යනු: ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... චතුර්‍ත්‍ථධ්‍යානය ලැබුවෙම් වෙමි ... වශීකෘතයෙම් වෙමි ... මා විසින් චතුර්‍ත්‍ථධ්‍යානය පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
16. ආරෝචෙය්‍ය යනු: ශුන්‍යතවිමෝක්‍ෂයට ... අනිමිත්තවිමෝක්‍ෂයට ... අප්‍රණිහිතවිමොක්‍ෂයට ... ශුන්‍යතසමාධියට ... අනිමිත්තසමාධියට ... අප්‍රණිහිතසමාධියට සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... අප්‍රණිහිතසමාධිය ලැබුවෙම් වෙමි ... වශීකෘතයෙම් වෙමි ... මා විසින් අප්‍රණිහිතසමාධිය ප්‍රත්‍යක්‍ෂ කරන ලදැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ.
17. ආරෝචෙය්‍ය යනු: ශුන්‍යතසමාපත්තියට ... අනිමිත්තසමාපත්තියට ... අප්‍රණිහිතසමාපත්තියට සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... අප්‍රණිහිතසමාපත්තිය ලැබුවෙම් වෙමි ... වශීකෘතයෙම් වෙමි ... මා විසින් අප්‍රණිහිතසමාපත්තිය පසක් කරන ලදැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ.
18. ආරෝචෙය්‍ය යනු: ත්‍රිවිද්‍යාවනට සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ත්‍රිවිද්‍යාවන් ලැබුවෙම් වෙමි ... වශීකෘතයෙම් වෙමි ... මා විසින් ත්‍රිවිද්‍යාවෝ පසක් කරන ලදහ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ.
19. ආරෝචෙය්‍ය යනු: සතර සතිපට්ඨානයට ... සතර සම්‍යක් ප්‍රධානයනට ... සතර ඍද්ධිපාදයනට සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... සතර ඍද්ධිපාදයන් ලැබුවෙම් වෙමි ... වශීකෘතයෙම් වෙමි ... මා විසින් සතර ඍද්ධිපාදයෝ පසක් කරන ලදහ’යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ.
20. ආරෝචෙය්‍ය යනු: පඤ්චේන්‍ද්‍රියනට ... පඤ්චබලයනට සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... පඤ්චබලයන් ලැබුවෙම් වෙමි ... වශීකෘතයෙම් වෙමි ... මා විසින් පඤ්චබලයෝ ප්‍රත්‍යක්‍ෂ කරන ලදහයි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
21. ආරෝචෙය්‍ය යනු: සප්තබෝධ්‍යඞ්ගයනට සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... සප්තබෝධ්‍යඞ්ගයන් ලැබුවෙම් වෙමි ... වශීකෘතයෙම් වෙමි ... මා විසින් සප්තබෝධ්‍යඞ්ගයෝ ප්‍රත්‍යක්‍ෂ කරන ලදහ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
22. ආරෝචෙය්‍ය යනු: ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගයට සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය ලැබුවෙම් වෙමි ... වශීකෘතයෙම් වෙමි ... මා විසින් ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පසක් කරන ලද්දේ යැ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
23. ආරෝචෙය්‍ය යනු: සෝවත්පලයට ... සෙදගැමිපලයට ... අනගැමිපලයට ... රාත්පලයට සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... රාත්පල ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මා විසින් රාත්පල පසක් කරන ලදැ’යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
24. ආරෝචෙය්‍ය යනු: මා විසින් රාගය ත්‍යක්ත යැ ... මා විසින් ද්වේෂය ත්‍යක්ත යැ ... මා විසින් මෝහය ත්‍යක්ත යැ වාන්ත යැ මුක්ත යැ ප්‍රහීණ යැ බැහැර කරන ලද්දේ යැ තැති ගන්වා පලවා හරින ලද්දේ යැ මොනොවට තැති ගන්වා පලවා හරින ලද්දේ යැ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
25. ආරෝචෙය්‍ය යනු: මාගේ සිත රාගයෙන් වෙසෙසින් වැළැකිණ ... මාගේ සිත ද්වේෂයෙන් වෙසෙසින් වැළැකිණ ... මාගේ සිත මෝහයෙන් වෙසෙසින් වැළැකිණ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
26. ආරෝචෙය්‍ය යනු: ශුන්‍යාගාරයෙහි ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානය ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... ශුන්‍යාගාරයෙහි මා විසින් චතුර්‍ත්‍ථධ්‍යානය පසක් කරන ලද්දේ යැ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
27. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද ද්විතීයධ්‍යානයට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ප්‍රථමධ්‍යානය ද ද්විතීය ධ්‍යානය ද ලැබුවෙම් වෙමි ... වශීකෘතයෙම් වෙමි ... මා විසින් ප්‍රථමධ්‍යානය ද ද්විතීයධ්‍යානය ද පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
28. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද තෘතීයධ්‍යානයට ද ... ප්‍රථමධ්‍යානයට ද චතුර්‍ත්‍ථධ්‍යානයට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ප්‍රථමධ්‍යානය ද චතුර්‍ත්‍ථධ්‍යානය ද ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මා විසින් ප්‍රථමධ්‍යානය ද චතුර්‍ත්‍ථධ්‍යානය ද පසක් කරන ලදැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ.
29. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද ශුන්‍යතවිමෝක්‍ෂයට ද ... අනිමිත්තවිමෝක්‍ෂයට ද ... අප්‍රණිහිතවිමොක්‍ෂයට ද ... ශුන්‍යත සමාධියට ද ... අනිමිත්තසමාධියට ද ... අප්‍රණිහිතසමාධියට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ප්‍රථම ධ්‍යානය ද ... අප්‍රණිහිතසමාධිය ද ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මා විසින් ප්‍රථමධ්‍යානය ද ... අප්‍රණිහිතසමාධිය ද පසක් කරන ලද්දේ යැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ.
30. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද ශුන්‍යතසමාපත්තියට ද ... අනිමිත්තසමාපත්තියට ද ... අප්‍රණිහිතසමාපත්තියට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ප්‍රථමධ්‍යානය ද ... අප්‍රණිහිත සමාපත්තිය ද ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මා විසින් ප්‍රථමධ්‍යානය ද ... අප්‍රණිහිතසමාපත්තිය ද පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
31. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද ත්‍රිවිද්‍යාවනට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ප්‍රථමධ්‍යානය ද ත්‍රිවිද්‍යාවන් ද ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මා විසින් ප්‍රථම ධ්‍යානය ද ත්‍රිවිද්‍යාවෝ ද පසක් කරන ලදහ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ.
32. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද සතර සතිපට්ඨානයනට ද ... සතර සම්‍යක් ප්‍රධානයනට ද ... සතර ඍද්ධිපාදයනට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ප්‍රථමධ්‍යානය ද ... සතර ඍද්ධිපාදයන් ද ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මා විසින් ප්‍රථමධ්‍යානය ... සතර ඍද්ධිපාදයෝ ද පසක් කරන ලදහ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ.
33. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද පඤ්චේන්‍ද්‍රියනට ද ... පඤ්චබලයනට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ප්‍රථම ධ්‍යානය ද ... පඤ්චබලයන් ද ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මා විසින් ප්‍රථමධ්‍යානය ද පඤ්චබලයෝ ද පසක් කරන ලදහ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ.
34. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද සප්තබෝධ්‍යඞ්ගයනට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ප්‍රථමධ්‍යානය ද සප්ත බෝධ්‍යඞ්ගයන් ද ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මා විසින් ප්‍රථමධ්‍යානය ද සප්තබෝධ්‍යඞ්ගයෝ ද පසක් කරන ලදහ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
35. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගයට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ප්‍රථමධ්‍යානය ද ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය ද ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මා විසින් ප්‍රථමධ්‍යානය ද ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය ද පසක් කරන ලද්දේ යැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ.
36. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද සෝතාපත්තිඵලයට ද ... සකෘදාගාමිඵලයට ද ... අනාගාමිඵලයට ද ... අර්‍හත්ත්‍වයට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ප්‍රථම ධ්‍යානය ද ... අර්‍හත්ත්‍වය ද ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මා විසින් ප්‍රථම ධ්‍යානය ද ... අර්‍හත්ත්‍වය ද පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
37. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... මා විසින් රාගය ද ත්‍යක්ත යැ ... මා විසින් ද්වේෂ ය ද ත්‍යක්ත යැ ... මා විසින් මෝහය ද ත්‍යක්ත යැ වාන්ත යැ මුක්ත යැ ප්‍රහීණ යැ බැහැර කරන ලද්දේ යැ තැති ගන්වා පලවා හරින ලද්දේ යැ මොනවට තැති ගන්වා පලවා හරින ලද්දේ යැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ.
38. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... රාගයෙනුදු මාගේ සිත වෙසෙසින් වැළැකිණ ... ද්වේෂයෙනුදු මාගේ සිත වෙසෙසින් වැළැකිණ ... මෝහයෙනුදු මාගේ සිත වෙසෙසින් වැළැකිණැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ.
39. ආරෝචෙය්‍ය යනු: ද්විතීයධ්‍යානයට ද තෘතීයධ්‍යානයට ද ... ද්විතීයධ්‍යානයට ද චතුර්‍ත්‍ථධ්‍යානයට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ද්විතීයධ්‍යානය ද චතුර්‍ත්‍ථධ්‍යානය ද ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මා විසින් ද්විතීයධ්‍යානය ද චතුර්‍ත්‍ථධ්‍යානය ද පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
40. ආරෝචෙය්‍ය යනු: ද්විතීයධ්‍යානයට ද ... මෝහයෙනුදු මාගේ සිත වෙසෙසින් වැළැකිණැ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ ...
41. ආරෝචෙය්‍ය යනු: ද්විතීයධ්‍යානයට ද ප්‍රථම ධ්‍යානයට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ද්විතීයධ්‍යානය ද ප්‍රථමධ්‍යානය ද ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මා විසින් ද්විතීයධ්‍යානය ද ප්‍රථමධ්‍යානය ද පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
(මූලය සංක්‍ෂිප්ත යි)
42. ආරෝචෙය්‍ය යනු: මෝහයෙනුදු මසිත වෙසෙසින් වැළැකිණ, ප්‍රථමධ්‍යානයට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... මෝහයෙනුදු මසිත වෙසෙසින් වැළැකිණ, ප්‍රථමධ්‍යානය ද ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මෝහයෙනුදු මසිත වෙසෙසින් වැළැකිණ, ප්‍රථමධ්‍යානය ද මා විසින් පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
43. ආරෝචෙය්‍ය යනු: මෝහයෙනුදු මසිත වෙසෙසින් වැළැකිණ, ද්වේෂයෙනුදු මසිත වෙසෙසින් වැළැකිණැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ ...
44. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද ද්විතීයධ්‍යානයට ද තෘතීයධ්‍යානයට ද චතුර්‍ත්‍ථධ්‍යානයට ද ශුන්‍යත විමෝක්‍ෂයට ද අනිමිත්ත විමෝක්‍ෂයට ද අප්‍රණිහිතවිමොක්‍ෂයට ද ශුන්‍යතසමාධියට ද අනිමිත්ත සමාධියට ද අප්‍රණිහිත සමාධියට ද ශුන්‍යත සමාපත්තියට ද අනිමිත්ත සමාපත්තියට ද අප්‍රණිහිතසමාපත්තියට ද ත්‍රිවිද්‍යාවනට ද සතර සතිපට්ඨානයනට ද සතර සම්‍යක්ප්‍රධානයනට ද සතර ඍද්ධිපාදයනට ද පඤ්චේන්‍ද්‍රියනට ද පඤ්චබලයනට ද සප්ත බෝධ්‍යඞ්ගයනට ද ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගයට ද සෝතාපත්තිඵලයට ද සකදාගාමිඵලයට ද අනාගාමි ඵලයට ද අරහත්ඵලයට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... රාගය ද මා විසින් ත්‍යක්ත යැ ... ද්වේෂය ද මා විසින් ත්‍යක්ත යැ ......... මෝහය ද මා විසින් ත්‍යක්ත යැ වාන්ත යැ මුක්ත යැ ප්‍රහීණ යැ බැහැර කරන ලද්දේ යැ තැති ගන්වා පලවා හරින ලද්දේ යැ මොනවට තැති ගන්වා පලවා හරින ලද්දේ යැ රාගයෙනුදු මසිත වෙසෙසින් වැළැකිණ, ද්වේෂයෙනුදු මසිත වෙසෙසින් වැළැකිණ, මෝහයෙනුදු මසිත වෙසෙසින් වැළැකිණැ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
45. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට සමවැදීමි යි කියනු කැමැත්තේ ද්විතීයධ්‍යානයට සමවැදීමි යි කී කෙණෙහි මැ දන්නා වූ අනුපස්නක්හට බණන්නහුට පචිති ඇවැත් වේ. කී කෙණෙහි මැ නො දත දුකුළා ඇවැත් වේ.
46. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට සමවැදීමි යි කියනු කැමැත්තේ තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ශුන්‍යත විමෝක්‍ෂයට ... අනිමිත්තවිමෝක්‍ෂයට ... අප්‍රණිහිතවිමොක්‍ෂයට ... ශුන්‍යතසමාධියට ... අනිමිත්තසමාධියට ... අප්‍රණිහිතසමාධියට ... ශුන්‍යතසමාපත්තියට ... අනිමිත්තසමාපත්තියට ... අප්‍රණිහිතසමාපත්තියට ... ත්‍රිවිද්‍යාවනට ... සතර සතිපට්ඨානයනට ...
සතර සම්‍යක්ප්‍රධානයනට ... සතර ඍද්ධිපාදයනට ... පඤ්චේන්‍ද්‍රියනට ... පඤ්චබලයනට ... සප්ත බෝධ්‍යඞ්ගයනට ... ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගයට ... සෝතාපත්තිඵලයට ... සකදාගාමිඵලයට ... අනාගාමි ඵලයට ... අරහත්තඵලයට සමවැදීමි ... රාගය ද මා විසින් ත්‍යක්ත යැ ... ද්වේෂය ද මා විසින් ත්‍යක්ත යැ ... මෝහය ද මා විසින් ත්‍යක්ත යැ වාන්ත යැ මුක්ත යැ ප්‍රහීණ යැ බැහැර කරන ලද්දේ යැ තැති ගන්වා පලවා හරින ලද්දේ යැ මොනවට තැති ගන්වා පලවා හරින ලද්දේ යැ, රාගයෙන් මසිත වෙසෙසින් වැළැකිණ ... ද්වේෂයෙන් මසිත වෙසෙසින් වැළැකිණ ... මෝහයෙන් මසිත වෙසෙසින් වැළැකිණැ යි කී කෙණෙහි මැ දන්නා වූ අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ. කී කෙණෙහි මැ නො දත දුකුළා ඇවැත් වේ.
47. ආරෝචෙය්‍ය යනු: ද්විතීයධ්‍යානයට සමවැදීමි යි කියනු කැමැත්තේ ... මෝහයෙන් මසිත වෙසෙසින් වැළැකිණැ යි කී කෙණෙහි මැ දන්නා වූ අනුසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ. කී කෙණෙහි මැ නො දත දුකුළා ඇවැත් වේ.
48. ආරෝචෙය්‍ය යනු: ද්විතීයධ්‍යානයට සමවැදීමි යි කියනු කැමැත්තේ ප්‍රථමධ්‍යානයට සමවැදීමි යි කී කෙණෙහි මැ දන්නා වූ අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ. කී කෙණෙහි මැ නො දත දුකුළා ඇවැත් වේ.
(මූලය සංක්‍ෂිප්ත යි)
49. ආරෝචෙය්‍ය යනු: මෝහයෙන් මසිත වෙසෙසින් වැළැකිණැයි කියනු කැමැත්තේ ප්‍රථමධ්‍යානයට සමවැදීමි යි කී කෙණෙහි මැ දන්නා වූ අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ. කී කෙණෙහි මැ නො දත දුකුළා ඇවැත් වේ ...
50. ආරෝචෙය්‍ය යනු: මෝහයෙන් මසිත වෙසෙසින් වැළැකිණැ යි කියනු කැමැත්තේ ද්වේෂයෙන් මසිත වෙසෙසින් වැළැකිණැ යි කී කෙණෙහි මැ දන්නා වූ අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ. කී කෙණෙහි මැ නො දත දුකුළා ඇවැත් වේ.
51. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද ද්විතීයධ්‍යානයට ද තෘතීයධ්‍යානයට ද චතුර්‍ත්‍ථධ්‍යානයට ද ... ද්වේෂයෙනුදු මසිත වෙසෙසින් වැළැකිණැයි කියනු කැමැත්තේ මෝහයෙන් මසිත වෙසෙසින් වැළැකිණැ යි කී කෙණෙහි මැ දන්නා වූ අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ. කී කෙණෙහි මැ නො දත දුකුළා ඇවැත් වේ.
52. ආරෝචෙය්‍ය යනු: ද්විතීයධ්‍යානයට ද තෘතීයධ්‍යානයට ද චතුර්‍ත්‍ථධ්‍යානයට ද ... මෝහයෙනුදු මසිත වෙසෙසින් වැළැකිණැයි කියනු කැමැත්තේ ප්‍රථමධ්‍යානයට සමවැදීමි යි කී කෙණෙහි මැ දන්නා වූ අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ. කී කෙණෙහි මැ නො දත දුකුළා ඇවැත් වේ.
53. ආරෝචෙය්‍ය යනු: යමෙක් තොපගේ වෙහෙරෙහි විසී ද ඒ මහණ ප්‍රථමධ්‍යානයට සමවැදී යැ ... සමවදියි ... සමවදින්නේ යැ ... ඒ මහණ ප්‍රථමධ්‍යානය ලැබුවේ වෙයි ... වසඟ කෙළේ වෙයි, ඒ මහණහු විසින් ප්‍රථමධ්‍යානය පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට දුකුළා ඇවැත් වේ.
54. ආරෝචෙය්‍ය යනු: යමෙක් තොපගේ වෙහෙරෙහි විසී ද ඒ මහණ ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැදී යැ ... සමවදියි ... සමවදින්නේ වෙයි ... ඒ මහණ චතුර්‍ත්‍ථධ්‍යානය ලැබුවේ වෙයි ... වසඟ කෙළේ වෙයි, ඒ මහණහු විසින් චතුර්‍ත්‍ථධ්‍යානය පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට දුකුළා ඇවැත් වේ.
55. ආරෝචෙය්‍ය යනු: යමෙක් තොපගේ වෙහෙරෙහි විසී ද ඒ මහණ ශුන්‍යතවිමෝක්‍ෂයට ... අනිමිත්තවිමෝක්‍ෂයට ... අප්‍රණිහිත විමෝක්‍ෂයට ... ශුන්‍යත සමාධියට ... අනිමිත්තසමාධියට ... අප්‍රණිහිත සමාධියට සමවැදී යැ ... සමවදියි ... සමවදින්නේ වෙයි ... ඒ මහණ අප්‍රණිහිතසමාධිය ලැබුවේ වෙයි ... වසඟ කෙළේ වෙයි, ඒ මහණහු විසින් අප්‍රණිහිතසමාධිය පසක් කරන ලද්දේ යැ යි අනුපසපනක්හට බණන්නහුට දුකුළා වේ.
56. ආරෝචෙය්‍ය යනු: යමෙක් තොපගේ වෙහෙරෙහි විසී ද ඒ මහණ ශුන්‍යතසමාපත්තියට ... අනිමිත්තසමාපත්තියට ... අප්‍රණිහිත සමාපත්තියට සමවැදී යැ ... සමවදියි ... සමවදින්නේ වෙයි. ඒ මහණ අප්‍රණිහිතසමාපත්තිය ලැබුවේ වෙයි ... වසඟ කෙළේ වෙයි, ඒ මහණහු විසින් අප්‍රණිහිතසමාපත්තිය පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට දුකුළා ඇවැත් වේ.
57. ආරෝචෙය්‍ය යනු: යමෙක් තොපගේ වෙහෙරෙහි විසී ද ඒ මහණ ත්‍රිවිද්‍යාවනට සතර සතිපට්ඨානයනට සතර සම්‍යක්ප්‍රධානයනට සතර ඍද්ධිපාදයනට පඤ්චේන්‍ද්‍රියනට පඤ්චබලයනට සප්තබෝධ්‍යඞ්ගයනට ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගයට සෝතාපත්තිඵලයට සකදාගාමිඵලයට අනාගාමිඵලයට අරහත්තඵලයට සමවැදී යැ ... සමවදියි ... සමවදින්නේ වෙයි. ඒ මහණහු විසින් රාගය ත්‍යක්ත යැ ... ද්වේෂය ත්‍යක්ත යැ ... මෝහය ත්‍යක්ත යැ වාන්ත යැ මුක්ත යැ ප්‍රහීණ යැ බැහැර කරන ලද්දේ යැ තැති ගන්වා පළවා හරින ලද්දේ යැ මොනවට තැති ගන්වා පළවා හරින ලද්දේ යැ ඒ මහණහුගේ සිත රාගයෙන් වෙසෙසින් වැළැකිණ, ද්වේෂයෙන් සිත වෙසෙසින් වැළැකිණ, මෝහයෙන් සිත වෙසෙසින් වැළැකිණැ යි අනුපසපනක්හට බණන්නහුට දුකුළා ඇවැත් වේ.
58. ආරෝචෙය්‍ය යනු: යමෙක් තොපගේ වෙහෙරෙහි විසී ද ඒ මහණ ශුන්‍යාගාරයෙහි ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැදීයැ ... සමවදියි ... සමවදින්නේ වෙයි. ඒ මහණ ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානය ලැබුවේ වෙයි ... වසඟ කෙළේ වෙයි. ඒ මහණහු විසින් ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානය පසක් කරන ලදැ යි අනුපසපනක් හට කියන්නහුට දුකුළා ඇවැත් වේ.
59. ආරෝචෙය්‍ය යනු: යමෙක් තොපගේ වෙහෙර පරිභෝග කෙළේ ද ... යමෙක් තොපගේ සිවුරු පරිභෝග කෙළේ ද ... යමෙක් තොපගේ පිණ්ඩපාතය වැළඳී ද ... යමෙක් තොපගේ සෙනසුන පරිභෝග කෙළේ ද ... යමෙක් තොපගේ ගිලන්පස බෙහෙත් පිරිකර වැළඳී ද ඒ මහණ ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානයට සම වැදී යැ ... සමවදියි ... සමවදින්නේ වෙයි. ඒ මහණ ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානය ලැබුවේ වෙයි ... වසඟ කෙළේ වෙයි. ඒ මහණහු විසින් ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානය පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට දුකුළා ඇවැත් වේ.
60. ආරෝචෙය්‍ය යනු: යමකු විසින් තොපගේ විහාරය පරිභෝග කරන ලද්දේ වේ ද ... යමකු විසින් තොපගේ සිවුර පරිභෝග කරන ලද්දේ වේ ද ... යමකු විසින් තොපගේ පිණ්ඩපාතය වළඳන ලද්දේ වේ ද ... යමකු විසින් තොපගේ සෙනසුන පරිභෝග කරන ලද්දේ වේ ද ... යමකු විසින් තොපගේ ගිලන්පස බෙහෙත් පිරිකර වළඳන ලද ද ඒ මහණ ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැදී යැ ... සමවදියි ... සමවදින්නේ වෙයි. ඒ මහණ ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානය ලැබුවේ වෙයි ... වසඟ කෙළේ වෙයි. ඒ මහණහු විසින් ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානය පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට දුකුළා ඇවැත් වේ.
61. ආරෝචෙය්‍ය යනු: තෙපි යමකු කරා පැමිණ විහාරයක් දුන්නහු ද ... සිවුරක් දුන්නහු ද ... පිණ්ඩපාතයක් දුන්නහු ද ... සෙනසුනක් දුන්නහු ද ... ගිලන්පස බෙහෙත් පිරිකර දුන්නහු ද ... ඒ මහණ ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැදී යැ ... සමවදියි ... සමවදින්නේ වෙයි. ඒ මහණ ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානය ලැබුවේ වෙයි. ... වසඟ කෙළේ වෙයි. ඒ මහණහු විසින් ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානය පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට දුකුළා ඇවැත් වේ.