Pācittiya

Expiation Rules

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 4249 segments

පෙන්වන කොටස් 2801-2900 න් 4249

අකාලචීවරය කාලචීවරයැ යි සන් ඇතියා බෙදවා නම්, කාලචීවරය කාලචීවරයැ යි සන් ඇතියා බෙදවා නම්, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
දෙවන සිකපද යි.
තෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදානයි – එසමයෙහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ එක්තරා මෙහෙණක හා සමග සිවුරක් පරිවර්‍තනය කොට පිරිබෝ කරයි. එකල්හි ඒ මෙහෙණ තොමෝ ඒ සිවුර හකුළා බහා තැබූ යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඒ මෙහෙණහට මෙය කිවු යැ. “ආර්‍ය්‍යාවෙනි, තා විසින් මා සමග යම් සිවුරෙක් පරිවර්‍තනය කරන ලද ද, ඒ සිවුර කොහිදැ” යි. එකල්හි ඒ මෙහෙණ තොමෝ ඒ සිවුර බැහැරට ගෙන ථුල්ලනන්‍දා භික්‍ෂුණිය හට දැක්වූ යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ එ මෙහෙණහට මෙය කිවුයැ. “ආර්‍ය්‍යාවෙනි, තාගේ සිවුර ගනුව. මාගේ තෙල සිවුර ගෙනෙව. යම් සිවුරක් තාගේ නම් ඒ සිවුර තාහට මැයි. යම් සිවුරෙක් මාගේ නම් ඒ සිවුර මාහට මැයි. මාගේ තෙල සිවුර ගෙනෙව. සිය සිවුර පෙරළා ගනුව” යි අසිඳගත්තු යැ. එකල්හි ඒ මෙහෙණ තොමෝ මෙහෙණන්හට තෙල කරුණ සැලකළාය.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ මෙහෙණක හා සමග සිවුරක් පරිවර්‍තනය කොට අසිඳගත්තුදැ” යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ මෙහෙණක හා සමග සිවුරක් පරිවර්‍තනය කොට අසිඳගත්තුදැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ මෙහෙණක හා සමග සිවුරක් පරිවර්‍තනය කොට අසිඳගත්තුද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් තොමෝ මෙහෙණක හා සමග සිවුරක් පිරිවැටුම් කොට පසු වැ මෙසේ කියන්නී ද “ආර්‍ය්‍යාවෙනි, තාගේ සිවුර ගනුව, මාගේ තෙල සිවුර ගෙනෙව, යම් සිවුරෙක් තාගේ නම් ඒ සිවුර තාහටමැ යි. යම් සිවුරෙක් මාගේ නම් ඒ සිවුර මාහටමැ යි. මාගේ තෙල සිවුර ගෙනෙව සිය සිවුර පෙරළා ගනුව” යි මෙසේ කියා අසිඳ ගනී නම් හෝ අසිඳ ගන්වා නම් හෝ නිසඟි පචිති වේ යැයි.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
4. භික්ඛුනියා සද්ධිං: අන් මෙහෙණක හා සමග,
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙහි යටත් පිරිසෙයින් විකැපුමට සුදුසු වූ එක්තරා සිවුරෙකි.
පරිචත්තෙත්‍වා: කුඩා දැයෙකින් මහත් දැයක් හෝ මහත් දැයෙකින් කුඩා දැයක් හෝ යැ.
අච්ඡින්‍දෙය්‍ය: තොමෝ අසිඳ ගනී නම් නිසැඟි පචිති වේ.
අච්ඡින්‍දාපෙය්‍ය: අනෙකක්හට අණවා නම් දුකුළා ඇවැත් වෙයි. එක් යළක් අණවන ලද්දී බොහෝ දැයකුත් අසිඳ ගනී නම් නිසැඟි පචිති වේ. සඟනට හෝ ගණයාට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි, නිසැජිය යුතුයි ... ආර්‍ය්‍යාවෙනි, මා විසින් මේ සිවුර මෙහෙණක හා සමග පිරිවැටුම් කොට අසිඳ ගන්නා ලද්දේ නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවහට දෙමියි.
උපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා සිවුරක් පිරිවැටුම් කොට අසිඳැ ගනී නම් හෝ අසිඳැ ගන්වා නම් හෝ නිසැඟි පචිති වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා සිවුරක් පිරිවැටුම් කොට අසිඳැ ගනී නම් හෝ අසිඳැ ගන්වා නම් හෝ නිසැඟි පචිති වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා සිවුරක් පිරිවැටුම් කොට අසිඳැ ගනී නම් හෝ අසිඳැ ගන්වා නම් හෝ නිසැඟි පචිති වේ.
අන් පිරිකරක් පිරිවැටුම් කොට අසිඳැ ගනී නම් හෝ අසිඳැ ගන්වා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක සමග සිවුරක් හෝ අන් පිරිකරක් පිරිවැටුම් කොට අසිඳැ ගනී නම් හෝ අසිඳැ ගන්වා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
ඕතොමෝ හෝ දේ නම්, ඇය කෙරෙහි විස්වස් ඇත්තී හෝ ගනී නම්, ඇවැත් නැත. උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
තෙවන සිකපදයි.
සතරවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදානයි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ගිලන් වූවා වෙයි. එකල්හි එක්තරා උවසුවෙක් ථුල්ලනන්‍දා භික්‍ෂුණිය වෙත එළැඹියේ යැ. එළැඹ ථුල්ලනන්‍දා භික්‍ෂුණියහට මෙය කීයැ. “ආර්‍ය්‍යාවෙනි, ඔබට කිනම් අඵාසුවෙක්ද? ඔබට කුමක් ගෙන එනු ලබනු මනාදැයි. ඇවැත, මට ගිතෙලින් ප්‍රයෝජන වෙයි. එකල්හි ඒ උවසු තෙමේ එක්තරා වෙළෙඳක්හුගේ ගෙයින් කහවණුවක ගිතෙල් ගෙනවුත් ථුල්ලනන්‍දා භික්‍ෂුණියහට දුන්නේ යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ “ඇවැත, මට ගිතෙලින් ප්‍රයෝජන නොවේ, මට තල තෙලෙන් ප්‍රයෝජන වේ” යැයි (කිවුයැ.) එකල්හි ඒ උවසු තෙමේ ඒ වෙළෙඳා වෙත එළැඹියේ යැ. එළැඹැ ඒ වෙළෙඳහට මෙය කීයැ. “ආර්‍ය්‍යය, ආර්‍ය්‍යාවහට ගිතෙලෙන් ප්‍රයෝජන නොවේ ල, තලතෙලෙන් ප්‍රයෝජන වේල, ඔබගේ ගිතෙල් ගන්නැ, මට තලතෙල් දෙන්නැ” යි. “ආර්‍ය්‍යය, ඉදින් අපි විකුණන ලද බඩු යළි ගන්නෙමු නම් කෙදිනෙක අපගේ බඩු විකිණෙන්නේ ද? ගිතෙල් මිලයෙන් ගිතෙල් ගෙනයන ලදී. තලතෙල් මිල ගෙනෙව. (එකල්හි) තලතෙල් ගෙන යන්නේ යැ යි. එකල්හි ඒ උවසු තෙමේ ලමු කොට සිතයි. නුගුණ පවසයි, දොස් පතුරුවයි. “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ අනෙකක් විනවා අනෙකක් විනවූදැ”යි ... “සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ අනෙකක් විනවා අනෙකක් විනවූදැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ අනෙකක් විනවා අනෙකක් විනවූදැ” යි. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් අනෙකක් විනවා (ඉන්) අනෙකක් විනවා නම් නිසඟි පචිති වේ යයි.
2. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
අඤ්ඤං විඤ්ඤාපෙත්‍වා: යම් කිසිවක් විනවා,
අඤ්ඤං විඤ්ඤාපෙය්‍ය: එය තබා අනෙකක් විනවා නම් පියෝහි දුකුළා වෙයි. ප්‍රතිලාභයෙන් නිසඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි නිසැජිය යුතු යි ... ආර්‍ය්‍යාවෙනි, මා විසින් අනෙකක් විනවා (ඉන්) අනෙකක් විනවන ලදී. (එහෙයින්) මෙය නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි” යි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවහට දෙමි යි.
අනෙකෙක්හි අන්සන් ඇතියා අනෙකක් විනවා නම් නිසඟි පචිති වෙයි. අනෙකෙක්හි විමති ඇතියා අනෙකක් විනවා නම් නිසඟි පචිති වෙයි. අනෙකෙක්හි නො අන්සන් ඇතියා අනෙකක් විනවා නම් නිසඟි පචිති වෙයි.
නො අනෙකෙක්හි අන්සන් ඇතියා නො අනෙකක් විනවා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකෙක්හි විමති ඇතියා නො අනෙකක් විනවා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකෙක්හි නො අන්සන් ඇතියා ඇවැත් නැති.
එයම විනවා නම්, අනෙකකුත් විනවා නම්, අනුසස් දක්වා විනවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
සතරවන සිකපදයි.
පස්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදානයි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ගිලන් වූවා වෙයි. එකල්හි එක්තරා උවසුවෙක් ථුල්ලනන්‍දා භික්‍ෂුණිය වෙත එළැඹියේ යැ. එළැඹැ ථුල්ලනන්‍දා භික්‍ෂුණියට “කිම ආර්‍ය්‍යාවෙනි, ඉවසිය හැකි ද? කිම යැපියහැකිදැ” යි මෙය කීයැ. “ඇවැත, මට ඉවසිය නො හැකියැ, යැපිය නො හැකියැ” යි. ආර්‍ය්‍යාවෙනි, අසුවල් වෙළෙඳාගේ ගෙහි කහවණුවක් තබන්නෙමි, එයින් යමක් කැමැත්තෙහිනම් එය ගෙන්වාගන්නේ යැයි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ, “යා සික්මනුව, අසුවල් වෙළෙඳාගේ ගෙයින් කහවණුවකට තලතෙල් ගෙනෙව” යි එක්තරා සික්මනුවකට ඇණවූයැ. එකල්හි ඒ සික්මනු තොමෝ ඒ වෙළෙන්දාගේ ගෙයින් කහවණුවකට තලතෙල් ගෙනවුත් ථුල්ලනන්‍දා භික්‍ෂුණියට දුන්නායැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සික්මනුව, “මට තලතෙලෙන් ප්‍රයෝජන නොවෙයි, මට ගිතෙලෙන් ප්‍රයෝජන වේයයි” (කිවුයැ.) එකල්හි ඒ සික්මනු තොමෝ ඒ වෙළෙඳා වෙත එළැඹියා යැ. එළැඹැ ඒ වෙළෙඳහට මෙය කිවු යැ. “ඇවැත, ආර්‍ය්‍යාවහට තල තෙලෙන් ප්‍රයෝජන නොවේල, ගිතෙලෙන් ප්‍රයෝජන වේල, ඔබගේ තලතෙල් ගන්නැ, මට ගිතෙල් දෙන්නැ” යි. “ආර්‍ය්‍යාවෙනි, ඉදින් අපි විකුණන ලද බඩු යළි ගන්නෙමු නම් කෙදිනෙකැ අපගේ බඩු විකිණෙන්නේද? තල තෙල් මිලයෙන් තලතෙල් ගෙන යන ලදී. ගිතෙල් මිල ගෙනෙව. (එකල්හි) ගිතෙල් ගෙන යන්නේයැයි.
2. එකල්හි ඒ සික්මනු තොමෝ හඬමින් සිටියා යැ, මෙහෙණෝ ඒ සික්මනුවහට මෙය කීහු. “සික්මනුව, කුමකට තෝ හඬහිදැ” යි. එකල්හි ඒ සික්මනු තොමෝ මෙහෙණන්හට තෙල කරුණ දැන්වූය. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ අනෙකක් දන්වාලා අනෙකක් දැන්වූදැ” යි. ... සැබෑද මහණෙනි ථුල්ලනන්‍දා භික්‍ෂුණීතොමෝ අනෙකක් දන්වාලා අනෙකක් දැන්වූදැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ අනෙකක් දන්වාලා අනෙකක් දැන්වූදැයි. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් තොමෝ අනෙකක් දන්වාලා (ඉන්) අනෙකක් දන්වා නම් හෝ නිසඟි පචිති වේ යැයි.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
අඤ්ඤං චෙතාපෙත්‍වා: යම් කිසිවක් දන්වාලා;
අඤ්ඤං චේතාපෙය්‍ය: එය තබා අනෙකක් දන්වා නම් පියෝහි දුකුළා වෙයි. ප්‍රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි නිසැජිය යුතුයි ... ආර්‍ය්‍යාවෙනි, මා විසින් අනෙකක් දන්වාලා (ඉන්) අනෙකක් දන්වන ලදී, මෙය නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි යි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවහට දෙමියි.
අනෙකෙක්හි අන්සන් ඇතියා අනෙකක් දන්වා නම් නිසඟි පචිති වෙයි. අනෙකෙක්හි විමති ඇතියා අනෙකක් දන්වා නම් නිසඟි පචිති වෙයි. අනෙකෙක්හි නො අන්සන් ඇතියා අනෙකක් දන්වා නම් නිසඟි පචිති වෙයි.
නො අනෙකෙක්හි අන්සන් ඇතියා නො අනෙකක් දන්වා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකෙක්හි විමති ඇතියා නො අනෙකක් දන්වා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකෙක්හි හි නො අන්සන් ඇතියා නම් ඇවැත් නැති.
එය මැ දන්වා නම්, අනෙකකුත් දන්වා නම්, අනුසස් දක්වා දන්වා නම් ඇවැත් නැත. උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
පස්වන සිකපදය නිමි.
සවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදානයි – එසමයෙහි උවසුවෝ මෙහෙණ සඟනගේ සිවුරු පිණිස මෙරමා සැඳ හා රිසි දනවා ගත් පිරිකරක් එක්තරා පිළීවෙළෙඳක්හුගේ ගෙහි තබා මෙහෙණන් වෙත එළැඹැ මෙයකීහු. “ආර්‍ය්‍යාවෙනි, අසුවල් පිළීවෙළෙඳහුගේ ගෙහි සිවුරු පිණිස පිරිකරෙක් තබනලදී. එයින් සිවුරු ගෙන්වාගෙන බෙදා ගනු මැනැ වැ” යි. මෙහෙණෝ ඒ පිරිකරින් බෙහෙත් මිලදී ගන්වා වැළඳූහ. උවසුවෝ දැන ලමු කොට සිතති, නුගුණ පවසති දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූහු දැ” යි.
2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරු වන ඒ උවසුවන්ගේ (අකීර්තිශබ්දය) ඇසූහු මැ යි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූහු දැ” යි. සැබෑද මහණෙනි මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගන්වත්දැ” යි. ... සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූහු දැ”යි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් තොමෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගන්වා නම් නිසඟි පචිති වේ යයි.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
අඤ්ඤදත්‍ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤද්දිසිකෙන: අනෙකක් සඳහා දුන්;
සඞ්ඝිකෙන: සඟනට යැ ගණයාහට නො වෙයි. එක් මෙහෙණකට නො වේ.
අඤ්ඤං චේතාපෙය්‍ය: යමක් සඳහා දෙන ලදද, එය තබා අනෙකක් මිලදී ගන්වා නම් පියෝහි දුකුළා වෙයි. ප්‍රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි, නිසැජිය යුතු යි ... ආර්‍ය්‍යාවෙනි, අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් සඟසතු පිරිකරින් මා විසින් අනෙකක් මිලදී ගන්වන ලදී. මෙය නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි යි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවහට දෙමියි.
අනෙකක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි, අනෙකක් සඳහා දෙනලද්දෙහි විමති ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි. අනෙකක් සඳහා දෙන ලද්දෙහි නො අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වානම් නිසඟි පචිති වෙයි. නිසැජුදැයක් පිළිලැබ දෙනලද පරිදි එළවිය යුතු යි.
නො අනෙකක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙනලද සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකක් සඳහා දෙන ලද්දෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකක් සඳහා දෙන ලද්දෙහි නො අනෙකක් සඳහා දෙනලද සන් ඇතියා නම් ඇවැත් නැති.
ඉතිරිවූවක් (අනෙකක් සඳහා) එළවා නම්, හිමියන් පිළිවිසැ එළවා නම් ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
සවන සිකපදය නිමි.
සත්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදානයි – එ සමයෙහි වනාහි උවසුවෝ මෙහෙණ සඟනගේ සිවුරු පිණිස මෙරමා සැඳ හා රිසි දනවා ගත් පිරිකරක් එක්තරා පිළීවෙළෙඳක්හුගේ ගෙහි තබා මෙහෙණන් වෙත එළැඹැ මෙය කීහ. “ආර්‍ය්‍යාවෙනි, අසුවල් පිළීවෙළෙඳහුගේ ගෙහි සිවුරු පිණිස පිරිකරෙක් තබන ලදී, එයින් සිවුරු ගෙන්වාගෙන බෙදාගනු මැනැවැ” යි. මෙහෙණෝ ඒ පිරිකරිනුදු තුමූ මැ ඉල්වා ගෙන බෙහෙත් මිලයට ගන්වා වැළඳූහ. උවසුවෝ දැන ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් සඟ සතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූ හු දැ” යි ... සැබෑද මහණෙනි, මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගන්වත් දැ” යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූහු දැ යි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් තොමෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වාගත් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගන්වා නම් නිසඟිපචිති වේ යයි.
2. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
අඤ්ඤදත්‍ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤද්දිසිකෙන: අනෙකක් සඳහා දුන්;
සඞ්ඝිකෙන: සඟනට යැ, ගණයාහට නො වෙයි. එක් මෙහෙණකට නො වේ,
සඤ්ඤාවිකෙන: තමා විසින් ඉල්වාගත්:
අඤ්ඤං චේතාපෙය්‍ය: යමක් සඳහා දෙන ලද ද, එය තබා අනෙකක් මිලදී ගන්වා නම් පියෝහි දුකුළා වෙයි, ප්‍රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාහට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි, නිසැජිය යුතුයි ... ආර්‍ය්‍යාවෙනි, අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් සඟසතු පිරිකරින් මා විසින් අනෙකක් මිල දී ගන්වන ලදී. මෙය නිසැඟිවිය. මම මෙය සඟනට නිසජමියි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවහට දෙමියි.
අනෙකෙක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි, අනෙකක් සඳහා දෙන ලද්දෙහි විමති ඇතියා අනෙකක් මිලදී ගන්වානම් නිසඟි පචිති වෙයි. අනෙකක් සඳහා දෙනලද්දෙහි නො අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි. නිසැජුදැය පිළිලැබ දෙන ලද පරිදි එළවිය යුතුයි.
නො අනෙකක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකක් සඳහා දෙන ලද්දෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකක් සඳහා දෙනලද්දෙහි නො අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා නම් ඇවැත් නැති.
ඉතිරිවූවක් එළවානම්, හිමියන් පිළිවිසැ එළවා නම්, ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
සත්වන සිකපදයි.
අටවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි එක්තරා මුළුවක්හුගේ පිරිවෙන් වැසි මෙහෙණෝ හුළුකැනින් මිරිකෙත්. එකල්හි ඒ මුළුව මෙහෙණන්ගේ හුළුකැන් පිණිස මෙරමා සඳ හා රිසි දනවා ගත් පිරිකරක් එක්තරා වෙළඳක්හුගේ ගෙහි තබා මෙහෙණන් වෙත එළඹැ මෙය කී යැ: ආර්‍ය්‍යාවෙනි, අසුවල් වෙළඳහුගේ ගෙහි හුළුකැන් පිණිස පිරිකරෙක් තබන ලදී. එයින් සහල් ගෙන්වාගෙන හුළුකැන් පිසවා වළඳනු මැනැවැ යි. මෙහෙණෝ ඒ පිරිකරින් බෙහෙත් මිලදී ගන්වා වැළඳූහ. එකල්හි ඒ මුළුව දැන ලමුකොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි. “කෙසේ නම් මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් ගණසතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූහු දැ” යි ... සැබෑද මහණෙනි, මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් ගණසතු පිරිකරින් අනෙකක් මිල දී ගන්වත් දැ” යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් ගණසතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තොමෝ අනෙකක් උදෙසා දුන් ගණසතු පිරිකරින් අනෙකක් මිල දී ගන්වා නම් නිසඟි පචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
අඤ්ඤදත්‍ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤදදිසිකෙන: අනෙකක් සඳහා දුන්
මහාජනිකෙන: ගණහට යැ සඟනට නො වෙයි, එක් මෙහෙණකට නො වේ.
අඤ්ඤං චේතාපෙය්‍ය: යමක් සඳහා දෙනලද ද, එය තබා අනෙකක් මිලදී ගන්වා නම් පියෝහි දුකුළා වෙයි. ප්‍රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතු යි. මෙසේ ද වනාහි මහණෙනි, නිසැජිය යුතු යි ... ආර්‍ය්‍යාවෙනි, අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් ගණසතු පිරිකරින් මා විසින් අනෙකක් මිල දී ගන්වන ලදී, මෙය නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි යි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවට දෙමි යි.
අනෙකක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙනලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි. අනෙකක් සඳහා දෙන ලද්දෙහි විමති ඇතියා අනෙකක් මිල දී ගන්වා නම් නිසඟි පචිති වෙයි. අනෙකක් සඳහා දෙන ලද්දෙහි නො අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිල දී ගන්වා නම් නිසැඟි පචිති වෙයි. නිසැජූ දැය පිළිලැබ දෙන ලද පරිදි එළවිය යුතු යි.
අනෙකක් සඳහා නො දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනෙකක් සඳහා නො දෙන ලද්දෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනෙකක් සඳහා නො දෙන ලද්දෙහි අනෙකක් සඳහා නො දෙන ලද සන් ඇතියා නම් ඇවැත් නැති.
ඉතිරිවූවක් එළවා නම්, හිමියන් පිළිවිසැ එළවා නම්, ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
අටවන සිකපදය.
නවවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි එක්තරා මුළුවක්හුගේ පිරිවෙන් වැසි මෙහෙණෝ හුළුකැනින් මිරිකෙත්. එකල්හි ඒ මුළුව මෙහෙණන්ගේ හුළුකැන් පිණිස මෙරමා සඳ හා රිසි දනවා ගත් පිරිකරක් එක්තරා වෙළෙඳක්හුගේ ගෙහි තබා මෙහෙණන් වෙත එළැඹැ මෙය කී යැ. ආර්‍ය්‍යාවෙනි, අසුවල් වෙළෙඳාගේ ගෙහි හුළු කැන් පිණිස පිරිකරෙක් තබනලදී. එයින් සහල් ගෙන්වා හුළුකැන් පිසවා වළඳනු මැනැවැ” යි. මෙහෙණෝ ඒ පිරිකරිනුදු තුමූ මැ ඉල්වා බෙහෙත් මිල දී ගන්වා වැළඳූහ. ඒ මුළුව දැන ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි. “කෙසේ නම් මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් ගණසතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූහු දැ” යි ... සැබෑද මහණෙනි, මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා ඉල්වාගත් ගණසතු පිරිකරින් අනෙකක් මිල දී ගන්වත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් ගණසතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූහු දැ යි, මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වාගත් ගණසතු පිරිකරින් අනෙකක් මිලදී ගන්වා නම් නිසඟිපචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
අඤ්ඤදත්‍ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤදදිසිකෙන: අනෙකක් සඳහා දුන්.
මහාජනිකෙන: ගණයාහට යැ, සඟනට නො වෙයි, එක් මෙහෙණකට නො වේ.
සඤ්ඤාවිකෙන: තමා විසින් ඉල්වා ගත්.
අඤ්ඤංචේතාපෙය්‍ය: යමක් සඳහා දෙන ලද ද, එය තබා අනෙකක් මිලදී ගන්වා නම් පියෝහි දුකුළා වෙයි. ප්‍රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාහට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතු යි. මෙසේද මහණෙනි, නිසැජිය යුතු යි ... ආර්‍ය්‍යාවෙනි, අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් ගණසතු පිරිකරින් මා විසින් අනෙකක් මිලදී ගන්වන ලදී. මෙය නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි යි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවට දෙමි යි.
අනෙකක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි, අනෙකක් සඳහා දෙනලද්දෙහි විමති ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි, අනෙකක් සඳහා දෙන ලද්දෙහි නො අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වේ. නිසැජු දැය පිළිලැබ දෙන ලද පරිදි එළවිය යුතු යි.
අනෙකක් සඳහා නො දෙනලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනෙකක් සඳහා නොදෙන ලද්දෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනෙකක් සඳහා නො දෙනලද්දෙහි අනෙකක් සඳහා නො දෙන ලද සන් ඇතියා නම් ඇවැත් නැති.
ඉතිරි වූවක් එළවා නම්, හිමියන් පිළිවිසැ එළවා නම් ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
නවවන සිකපද යි.
දසවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ බොහෝ ඇසූපිරූ තැන් ඇත්තී පිරිවැහු බණදහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍රවූවා වෙයි. බොහෝ මිනිස්සු ථුල්ලනන්‍දා භික්‍ෂුණිය ඇසිරි කෙරෙති. එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ පිරිවෙන බිඳ වැටෙයි, මිනිස්සු ථුල්ලනන්‍දා භික්‍ෂුණියට “ආර්‍ය්‍යාවෙනි, ඔබගේ මේ පිරිවෙන කුමක් හෙයින් බිඳවැටේ” දැ යි මෙය කීහු. ඇවැත්නි, දායකයෝ නැතියහ. කාරකයෝ නැතියහයි. එකල්හි ඒ මිනිස්සු ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ පිරිවෙන පිණිස (මෙරමා) සඳ හා රිසි දනවා පිරිකරක් ථුල්ලනන්‍දා භික්‍ෂුණියට දුන්හු. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඒ පිරිකරිනුදු තොමෝ මැ යැද බෙහෙත් මිල දී ගන්වා වැළඳූ යැ. මිනිස්සු දැනැ ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් පුඟුල්සතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූ දැ” යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වාගත් පුඟුල්සතු පිරිකරින් අනෙකක් මිලදී ගන්වා දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වාගත් පුඟුල්සතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසාදුන් තමා විසින් ඉල්වාගත් පුඟුල්සතු පිරිකරින් අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වේ” යයි.
2. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
අඤ්ඤදත්‍ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන: අනෙකක් සඳහා දුන්.
පුග්ගලිකෙන: එක් මෙහෙණකට යැ, සඟනට නො වෙයි, ගණයාහට නො වේ.
සඤ්ඤාවිකෙන: තමා විසින් ඉල්වා ගත්.
අඤ්ඤං චේතාපෙය්‍ය: යමක් සඳහා දෙන ලද ද, එය තබා අනෙකක් මිලදී ගන්වා නම් පියෝහි දුකුළා වෙයි. ප්‍රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාහට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතු යි, මෙසේ ද මහණෙනි, නිසැජිය යුතු යි ... ආර්‍ය්‍යාවෙනි, අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වාගත් පුඟුල් සතු පිරිකරින් මා විසින් අනෙකක් මිලදී ගන්වන ලදී, මෙය නිසැඟි විය. මම මෙය සඟනට දෙමි යි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවට දෙමි යි.