3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
කිස්මිඤ්චිදේව අධිකරණෙ: අධිකරණ නම් විවාදාධිකරණ යැ අනුවාදාධිකරණ යැ ආපත්තාධිකරණ යැ කිච්චාධිකරණයැ යි සතර අධිකරණයෙකි.
පච්චාකතා නම්: පැරැදගියා කියනු ලැබේ.
කුපිතා අනත්තමනා: නො ඇලුණී හැපුණු සිත් ඇත්තී හටගත් (පිළිසූ) හුල්ඇත්තී,
එවං වදෙය්‍ය: භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු ද්වේෂයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු මෝහයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි.
සා භික්ඛුනී: යමක් මෙසේ කියනු සුළු නම් ඒ මෙහෙණ යැ.
භික්‍ඛුනීහි: අන් මෙහෙණන් විසින්; යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් “ආර්‍ය්‍යාවෙනි, කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ නහමක් කියන්නැ, ආර්‍ය්‍යාව වනාහි ඡන්‍දයෙනුදු අගතියට යන්නී යැ, ද්වේෂයෙනුදු අගතියට යන්නී යැ, මෝහයෙනුදු අගතියට යන්නී යැ, භයෙනුදු අගතියට යන්නී යැ” යි කිය යුත්තී යැ. දෙවනවට දු කියයුත්තී යැ ... තෙවනවට දු කියයුත්තී ය ... ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි, ඉදින් නො දුරැලා නම් දුකුළා ඇවැත් වෙයි, අසා නො කියත් නම් දුකුළා ඇවැත් වෙයි. එ මෙහෙණ සඟමැදට දු ඇද කියයුත්තී යැ, “ආර්‍ය්‍යාවෙනි, කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ නහමක් කියන්නැ, ආර්‍ය්‍යාව වනාහි ඡන්‍දයෙනුදු අගතියට යන්නී යැ, ... භයෙනුදු අගතියට යන්නීයැ” යි. දෙවනවට දු කියයුත්තී යැ ... තෙවනවට දු කියයුත්තී යැ ... ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලා නම් දුකුළා ඇවැත් වෙයි. එ මෙහෙණ සමනුභාෂණ කර්‍ම කළයුත්තී යැ, මෙසේ ද මහණෙනි; සමනුභාෂණ කර්‍ම කළයුත්තී යැ, ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්‍ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
“ආර්‍ය්‍යාවෙනි, සඞ්‍ඝ තෙමේ මවදන් අසාවා, මේ මෙනම් ඇති මෙහෙණ කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ කියයි. ඕ තොමෝ ඒ වස්තුව නො දුරැලයි, ඉදින් සඟනට පැමිණි කල් ඇත්තේ නම් සඞ්‍ඝ තෙමේ ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් ඇති මෙහෙණට සමනුභාෂණ කර්‍ම කරන්නේ යැ, මේ ඥප්ති යි.
ආර්‍ය්‍යාවෙනි, සඞ්‍ඝ තෙමේ මවදන් අසාවා, මේ මෙනම් ඇති මෙහෙණ කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා “භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ” යි මෙසේ කියයි, ඕ තොමෝ ඒ වස්තුව නො දුරැලයි, සඞ්‍ඝ තෙමේ ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් ඇති මෙහෙණහට සමනුභාෂණ කර්‍ම කරයි. ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් ඇති මෙහෙණට සමනුභාෂණ කර්‍මය යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬ වන්නී යැ, යමකට නො රුස්නේ නම් ඕ තොමෝ කියන්නී යැ, දෙවනවට දු තෙල කරුණ කියමි ... තෙවනවට දු තෙල කරුණ කියමි ... සඞ්‍ඝයා විසින් ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් ඇති මෙහෙණ සමනුභාෂණ කර්‍ම කරන ලද්දී යැ, සඟනට රුස්නේ යැ, එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි යි.
ඥප්තියෙන් දුකුළා යැ, දෙකම් වදනින් තුලැසි යැ, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වෙයි, සඟවෙසෙස් ඇවදියට ඥප්තියෙහි දුකුළා ද දෙකම්වදනෙහි තුලැසි ද සන්හිඳෙත්.
අයම්පි: පළමු මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.
යාවත්‍තියකං: තුන් යළ තෙක් සමනුභාෂණයෙන් පැමිණෙයි, වස්තුව්‍යතික්‍රමණය සමඟ මැ නො වේ.
නිස්සාරණීයං: ... සඟහු කෙරෙන් නෙරනු ලැබෙයි.
සඞ්ඝාදිසේසො: ... එයිනුදු සඞ්ඝාදිසේස යැ යි කියනු ලැබේ.
ධර්‍ම කර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී නො දුරැලා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී නො දුරැලා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇත්තී නො දුරැලා නම් සඟවෙසෙස් ඇවැත් වේ.
අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි, අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි, අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වේ.
සමනුභාෂණකර්‍ම නො කරන්නියට, දුරැලන්නියට, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
අෂ්ටම සඞ්ඝාදිශේෂ යි.
2. 9.
නවම සඞ්ඝාදිශේෂය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ ඇතැවැසි භික්‍ෂුණීහු (ගෘහකාර්‍ය්‍යාදීන්හි) මුසුවූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණසඟනට වෙහෙසන්නාහු අනන්මනන් වරද වසාලන්නාහු වෙසෙති.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් භික්‍ෂුණීහු මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙසන්නාහු අනන්මනන් වරද වසාලන්නාහු වුසූහුදැ” යි ... සැබෑ ද මහණෙනි, භික්‍ෂුණීහු මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙසන්නාහු අනන්මනන් වරද වසාලන්නාහු වෙසෙද්ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, භික්‍ෂුණීහු මුසුවූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතු ගොස් ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙසන්නාහු අනන්මනන් වරද වසාලන්නාහු වුසූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණහු මේ සිකපදය උදෙසත්වා:
“භික්‍ෂුණීහු (මිථ්‍යාජීව ඇතැයි) අකීර්ති ශබ්ද මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු (නොනිසි, කායවචී කර්‍මයන්) ඇතියාහු මෙහෙණසඟනට වෙහෙසන්නාහු අනන් මනන් වරද වසාලන්නාහු වෙසෙත් නම් ඒ භික්‍ෂුණීන්ට (අන්) මෙහෙණන් විසින් මෙසේ කියයුතු යැ. “බුහුනෝ මැ මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙසන්නාහු වෙසෙති. ආර්‍ය්‍යාවෙනි, (මුසුවීමෙන්) වෙන් වවු. බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ යැ යි. මෙසේත් ඒ භික්‍ෂුණීහු (අන්) මෙහෙණන් විසින් කියනු ලබන්නාහු එසේ මැ දැඩි වැ ගත්තාහු නම් ඒ භික්‍ෂුණීන්ට මෙහෙණන් විසින් එය දුරැලීම පිණිස තුන් යළ තෙක් සමනුභාෂණ කර්‍ම කළයුතු යැ. ඉදින් තුන් යළ තෙක් සමනුභාෂණකර්‍ම කරනු ලබන්නාහු එය දුරැලන්නාහු නම් මෙසේ තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලන්නාහු නම් මේ මෙහෙණන් තුන් යළ අවසන්හි පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියාහු වෙති” යි.
3. භිකඛුනියො පනෙච: උපසපන්හු යැ යි කියනු ලැබෙති,
සංසට්ඨා විහරන්ති: සංසට්ඨා නම්: පැවිදියනට අනුලොම් නො වන කාවිසිබුහුටිකමින් මුසු වූවාහු වෙසෙත්.
පාපාචාරා: ලාමක ආචාරයෙන් සමන්‍වාගත වූවාහු.
පාපසද්දා: ලාමක කිර්තිශබ්දයෙන් උස්වැ පැනනැංගාහු.
පාපසිලෝකා: ලාමක මිථ්‍යාජීවයෙන් දිවි වටති.
භිකඛුනීසඞ්ඝසස්ස විහෙසිකා: අනන්මනන් කර්‍ම කරන කල්හි ප්‍රතික්‍ෂේප කෙරෙති,
අඤ්ඤමඤ්ඤිස්‍සා වජ්ජපටිච්ඡාදිකා: අනන් මනන් වරද වසාලත්,
4. තා භිකඛුනියො: මුසුවූ යම් ඒ මෙහෙණ කෙනෙක්.
භික්‍ඛුනීහි: අන් මෙහෙණන් විසින් යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් කියයුත්තාහු යැ, “බුහුනෝ මැ මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙසන්නාහු අනන් මනන් වරද වසාලන්නාහු වෙසෙති, ආර්‍ය්‍යාවෙනි, (මුසු වීමෙන්) වෙන් වවු, බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ යැ” යි, දෙවන වට දු කියයුත්තාහු යැ ... තෙවනවට දු කියයුත්තාහු යැ ... ඉදින් දුරැලත් නම් මෙසේ තෙල දුරැලීම මැනැවි, ඉදින් නො දුරැලත් නම් දුකුළා ඇවැත් වෙයි, අසා නො කියත් නම් දුකුළා ඇවැත් වෙයි. ඒ භික්‍ෂුණීහු සඟමැදට දු ඇද කියයුත්තාහු යැ. “බුහුනෝ මැ මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙසන්නාහු අනන්මනන් වරද වසාලන්නාහු වෙසෙති, ආර්‍ය්‍යාවෙනි, (මුසු වීමෙන්) වෙන් වවු. බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ යැ” යි, දෙවනවට දු කියයුත්තාහු යැ ... තෙවනවට දු කියයුත්තාහු යැ, ... ඉදින් දුරැලත් නම් මෙසේ තෙල දුරැලීම මැනැවි, ඉදින් නො දුරැලත් නම් දුකුළා ඇවැත් වෙයි. ඒ භික්‍ෂුණීහු සමනුභාෂණකර්‍ම කළයුත්තාහු යැ, මෙසේ ද මහණෙනි, සමනුභාෂණකර්‍ම කළයුත්තාහු යැ, ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්‍ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
5. ආර්‍ය්‍යාවෙනි, සඞ්‍ඝ තෙමේ මවදන් අසාවා. මෙ නම් ඇති ද මෙ නම් ඇති ද භික්‍ෂුණීහු මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණි සඟනට වෙහෙසන්නාහු අනන්මනන් වරද වසාලන්නාහු වෙසෙති. ඔව්හු ඒ වස්තුව නො දුරැලති. ඉදින් සඟනට පැමිණිකල් ඇත්තේ නම් සඞ්‍ඝ තෙමේ ඒ වස්තුව දුරැලීම පිණිස මෙ නම් ඇති ද මෙ නම් ඇති ද මෙහෙණන්ට සමනුභාෂණකර්‍ම කරන්නේ යැ, මේ ඥප්ති යැ.
6. ආර්‍ය්‍යාවෙනි, සඞ්‍ඝ තෙමේ මවදන් අසාවා, මෙ නම් ඇති ද මෙ නම් ඇති ද භික්‍ෂුණීහු මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙසන්නාහු අනන්මනන් වරද වසාලන්නාහු වෙසෙති. එවුහු ඒ වස්තුව නො දුරැලති. සඞ්‍ඝ තෙමේ ඒ වස්තුව දුරැලීම පිණිස මෙ නම් ඇති ද මෙ නම් ඇති ද මෙහෙණන්ට සමනුභාෂණකර්‍ම කෙරෙයි. ඒ වස්තුව දුරැලීම පිණිස මෙ නම් ඇති ද මෙ නම් ඇති ද මෙහෙණන්ට සමනුභාෂණකර්‍මය යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬ වන්නී ය. යමකට නො රුස්නේ නම් ඕ තොමෝ කියන්නී යැ, දෙවනවට දු තෙල කරුණ කියමි ... තෙවනවට දු තෙල කරුණ කියමි ... සඞ්‍ඝයා විසින් ඒ වස්තුව දුරැලීම පිණිස මෙ නම් ඇති ද මෙ නම් ඇති ද භික්‍ෂුණීහු සමනුභාෂණ කර්‍ම කරන ලදහු යැ. සඟනට රුස්නේ යැ. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි යි.
7. ඥප්තියෙන් දුකුළා යැ, දෙකම්වදනින් තුලැසි යැ, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වෙයි. සඟවෙසෙස් අවනියට ඥප්තියෙහි දුකුළා ද දෙකම්වදනෙහි තුලැසි ද සන්සිඳෙයි. දෙතුන් දෙනෙක් එකට සමනුභාෂණකර්‍මකළ යුත්තාහු යැ, ඉන් මත්තෙහි සමනුභාෂණකර්‍ම නො කළ යුත්තාහු යි.
8. ඉමාපි භිකඛුනියො: පළමු මෙහෙණන් ගෙනැ කියනු ලැබෙති.
යාවත්‍තියකං: තුන් යළ තෙක් සමනුභාෂණයෙන් පැමිණෙති. වස්තු ව්‍යතික්‍රමණය සමඟ මැ නො වෙත්.
නිස්සාරණීයං: සඟහු කෙරෙන් නෙරනු ලබයි.
සඞ්ඝාදිසේසො: ... එයිනුදු සඞ්ඝාදිසේස යැ යි කියනු ලැබේ.
ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියාහු නො දුරැලත් නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇතියාහු නො දුරැලත් නම් සඟවෙසෙස් ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියාහු නො දුරැලත් නම් සඟවෙසෙස් ඇවැත් වේ.
අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියාහු නම් දුකුළා ඇවැත් වෙයි, අධර්‍මකර්‍මයෙහි විමති ඇතියාහු නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියාහු නම් දුකුළා ඇවැත් වේ.
සමනුභාෂණකර්‍ම නො කරන්නියට, දුරැලන්නියට, උම්මත්තිකාවට, ක්‍ෂිප්තචින්‍තාවට වේදනාර්‍තාවට අදිකම්මිකාවට ඇවැත් නැති.
නවම සඞ්ඝාදිශේෂ යි.
2. 10.
දශම සඞ්ඝාදිශේෂය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සඞ්‍ඝයා විසින් සමනුභාෂණකර්‍ම කරන ලද මෙහෙණන්හට මෙසේ කියයි. “ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසු වූවාහු මැ වාසය කරවු. තෙපි වෙන් වැ නහමක් වාසය කරවු. මෙබඳු පැවැතුම් ඇති මෙබඳු කිතුගොස් ඇති මෙබඳු දිවෙල් ඇති මෙහෙණසඟනට වෙහෙසන්නා වූ අනන්මනන් වරද වසාලන්නාවූ අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති. සඞ්‍ඝ තෙමේ ඔවුනට කිසිවක් නො කියයි. සඞ්‍ඝ තෙමේ තොපට මැ හෙලා දැකීමෙන් ද අවමන් කිරීමෙන් ද නො ඉවසීමෙන් ද කටමැත දෙඩීමෙන් ද (තොපගේ මැ) දුබල බැවින් ද මෙසේ කියයි. “බුහුනෝ මැ මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණසඟනට වෙහෙසන්නාහු අනන්මනන් වරද වසාලන්නාහු වෙති. ආර්‍ය්‍යාවෙනි, වෙන් වවු. බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ” යැ යි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ සඞ්‍ඝයා විසින් සමනුභාෂණකර්‍ම කරන ලද මෙහෙණන්ට “ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසු වූවාහු මැ වාසය කරවු. තෙපි වෙන් වැ නහමක් වාසය කරවු. මෙබඳු පැවැතුම් ඇති මෙබඳු කිතුගොස් ඇති ... අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති, ආර්‍ය්‍යාවෙනි, වෙන් වවු, බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ යැ යි මෙසේ කිවුදැ”යි. එකල්හි ඒ භික්‍ෂුණීහු මහණුන්ට තෙල කරුණ ඇරොජූහු. භික්‍ෂූහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සඞ්‍ඝයා විසින් සමනුභාෂණකර්‍ම කරන ලද මෙහෙණන්ට ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසු වූවාහු මැ වාසය කරවු. තෙපි වෙන් වැ නහමක් වාසය කරවු, මෙබඳු පැවැතුම් ඇති මෙබඳු කිතුගොස් ඇති ... අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති, ආර්‍ය්‍යාවෙනි, වෙන් වවු, බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ යැ යි මෙසේ කිවු” ද? එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්ට තෙල කරුණ ඇරොජූහු.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා භික්‍ෂුසඞ්‍ඝයා රැස්කරවා භික්‍ෂූන් පිළිවුසූ සේක. සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සඞ්‍ඝයා විසින් සමනුභාෂණකර්‍ම කරන ලද මෙහෙණන්ට “ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසු වූවාහු මැ වාසය කරවු. තෙපි වෙන් වැ නහමක් වාසය කරවු. මෙබඳු පැවැතුම් ඇති මෙබඳු කිතුගොස් ඇති ... අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති, ආර්‍ය්‍යාවෙනි, වෙන් වවු: බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ” යැ යි මෙසේ කියා ද?
සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සඞ්‍ඝයා විසින් සමනුභාෂණකර්‍ම කරන ලද මෙහෙණන්ට “ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසුවූවාහු මැ වාසය කරවු. තෙපි වෙන් වැ නහමක් වාසය කරවු. මෙබඳු පැවැතුම් ඇති මෙබඳු කිතුගොස් ඇති ... අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති. ආර්‍ය්‍යාවෙනි, වෙන් වවු බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ” යැ යි මෙසේ කිවු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
යම් මෙහෙණක් තොමෝ මෙසේ කියා නම් “ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසුවූවාහු මැ වාසය කරවු. තෙපි වෙන් වැ නහමක් වාසය කරවු, මෙබඳු ලමු පැවැතුම් ඇති මෙවැනි ලමු කිතුගොස ඇති මෙබඳු ලමු දිවෙල් ඇති මෙහෙණි සඟනට වෙහෙස කරන්නා වූ අනන්මන වරද වසාලන්නා වූ අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති, සඞ්‍ඝ තෙමේ ඔවුනට කිසිවක් නො කිය යි. සඞ්‍ඝ තෙමේ තොපට මැ හෙළා දැකීමෙන් ද අවමන් කිරීමෙන් ද නො ඉවසීමෙන් ද කටමැත දෙඩීමෙන් (සිය බලය පාමින්) ද (තොපගේ මැ) දුබල බැවින් ද මෙසේ කියයි. “බුහුනෝ මැ මුසුවූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙස කරන්නාහු අනන්මන වරද වසාලන්නාහු වෙසෙත්මැ යි. ආර්‍ය්‍යාවෙනි, වෙන්වවු. බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේයැ යි.
ඒ මෙහෙණ (අන්) මෙහෙණන් විසින් මෙසේ කිවයුතු වන්නීයැ, “ආර්‍ය්‍යාවෙනි, මෙසේ නහමක් කියව, ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසුවූවාහු ම වාසය කරවු. තෙපි වෙන් වැ නහමක් වාසය කරවු. මෙබඳු ලමු පැවැතුම් ඇති මෙබඳු ලමු කිතුගොස් ඇති මෙබඳු ලමු දිවෙල් ඇති මෙහෙණසඟනට වෙහෙස කරන්නාවූ අනන්මන වරද වසාලන්නා වූ අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති. සඞ්‍ඝ තෙමේ ඔවුනට කිසිවක් නො කියයි. සඞ්‍ඝ තෙමේ තොපට මැ හෙළා දැකීමෙන් ද අවමන් කිරීමෙන් ද නො ඉවසීමෙන් ද කටමැත දෙඩීමෙන් ද (තොපගේ මැ) දුබල බැවින් ද මෙසේ කියයි. බුහුනෝ මැ මුසුවූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙස කරන්නාහු අනන්මන වරද වසාලන්නාහු වෙසෙත් මැ යි. ආර්‍ය්‍යාවෙනි, වෙන් වවු. බුහුනන්ගේ මැ විවේකය සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ යැ යි. මෙසේත් (අන්) මෙහෙණන් විසින් කියනු ලබන්නා වූ ඒ මෙහෙණ එසේ මැ දැඩි වැ ගන්නී නම් (අන්) මෙහෙණන් විසින් ඒ මෙහෙණ තුන් යළ තෙක් ඒ වස්තුව දුරැලීම පිණිස සමනුභාෂණකර්‍ම කළයුත්තී යැ. ඉදින් තුන් යළ තෙක් සමනුභාෂණකර්‍ම කරනු ලබන්නී එය දුරැ ලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලා නම් මෙහෙණ තොමෝ තුන් යළ අවසන්හි පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟ වෙසෙස් ඇවැතට පැමිණියා වේ යැයි.
4. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස්කරන ලද භික්‍ෂුණිය යි.
එවං වදෙය්‍ය: ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසුවූවාහු මැ වාසය කරවු. තෙපි නහමක් වෙන් වැ වාසය කරවු, මෙබඳු ලමු පැවැතුම් ඇති මෙබඳු ලමු කිතුගොස් ඇති මෙබඳු ලමු දිවෙල් ඇති මෙහෙණ සඟනට වෙහෙස කරන්නා වූ අනන්මන වරද වසාලන්නා වූ අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති. සඞ්‍ඝ තෙමේ ඔවුනට කිසිවක් නො කියයි. සඞ්‍ඝ තෙමේ තොපට මැ (කියයි).
උඤ්‍ඤාය: අවඥායෙන්; පරිභවෙන: පිරිබැව් බැවින්; අක්‍ඛන්‍තියා: කෝපයෙන්; වෙභස්සා: බලය පවසන කටමැත දෙඩීමෙන්; දුබ්බල්‍යා: අපක්‍ෂතායෙන්; මෙසේ කියයි. බුහුනෝ මැ මුසුවූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙලි ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙස කරන්නාහු අනන්මන වරද වසාලන්නාහු වෙසෙත් මැයි. ආර්‍ය්‍යාවෙනි වෙන්වවු, බුහුනන්ගේ මැ විවේකය සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ යැ යි.
සා භික්ඛුනී; යමක් මෙසේ කියනුසුලු නම් ඒ මෙහෙණ යි.
භික්‍ඛුනීහි: අන් මෙහෙණන් විසින්; යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම්, ඔවුන් විසින් කිය යුත්තී යැ, ආර්‍ය්‍යාවෙනි, මෙසේ නහමක් කියව, ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසුවූවාහු මැ වාසය කරවු, තෙපි වෙන් වැ නහමක් වාසය කරවු, සඞ්‍ඝයා කෙරෙහි අන්‍ය භික්‍ෂුණීහු ද වෙති ... ආර්‍ය්‍යාවෙනි, වෙන් වවු. බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ යැ යි. දෙවනවටදු කිය යුත්තී යැ. තෙවනවට දු කිය යුත්තී යැ. ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලා නම් දුකුළා ඇවැත් වෙයි. අසා නො කියත් නම් දුකුළා ඇවැත් වෙයි. ඒ මෙහෙණ තොමෝ සඟමැදට දු ඇදපියා කිය යුත්තී යැ. ආර්‍ය්‍යාවෙනි, මෙසේ නහමක් කියව, “ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසුවූවාහු මැ වාසය කරවු, තෙපි නාමක් වෙන් වැ වාසය කරවු. සඞ්‍ඝයා කෙරෙහි අන්‍ය භික්‍ෂුණීහු ද වෙති ... ආර්‍ය්‍යාවෙනි, වෙන්වවු, බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ යැ යි, දෙවනවට දු කිය යුත්තීයැ ... තෙවනවට දු කිය යුත්තී යැ, ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි, ඉදින් නො දුරැලා නම් දුකුළා ඇවැත් වෙයි. ඒ මෙහෙණ තොමෝ සමනුභාෂණකර්‍ම කළ යුත්තී යැ. මෙසේ ද වනාහි මහණෙනි ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්‍ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
5. ආර්‍ය්‍යාවෙනි, සඞ්‍ඝ තෙමේ මවදන් අසාවා. මෙ නම් ඇති මෙහෙණ තොමෝ සඞ්‍ඝයා විසින් සමනුභාෂණකර්‍ම කරන ලද්දී මෙහෙණක් හට මෙසේ කියයි. “ආර්‍ය්‍යාවෙනි තෙපි මුසුවූවාහු මැ වාසය කරවු. තෙපි නහමක් වෙන් වැ වාසය කරවු, මෙබඳු ලමු පැවැතුම් ඇති මෙබඳු ලමු කිතුගොස් ඇති මෙබඳු දිවෙලි ඇති මෙහෙණ සඟනට වෙහෙස කරන්නා වූ අනන්මන වරද වසා ලන්නා වූ අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති, සඞ්‍ඝ තෙමේ ඔවුනට කිසිවක් නො කියයි, සඞ්‍ඝ තෙමේ තොපට මැ හෙළා දැකීමෙන් ද අවමන් කිරීමෙන් ද නො ඉවසීමෙන් ද කටමැත දෙඩීමෙන් ද (තොපගේ මැ) දුබල බැවින් ද මෙසේ කියයි. “බුහුනෝ මැ මුසුවූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙලි ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙස කරන්නාහු අනන්මන වරද වසාලන්නාහු වෙසෙත් මැයි. බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ” යැ යි. ඕ තොමෝ ඒ වස්තුව නො දුරැල යි, ඉදින් සඞ්‍ඝයා හට පැමිණිකල් ඇත්තේ නම් සඞ්‍ඝ තෙමේ මෙ නම් ඇති මෙහෙණහට ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සමනුභාෂණකර්‍ම කරන්නේ යැ. මේ ඥප්තිය යි.
6. ආර්‍ය්‍යාවෙනි, සඞ්‍ඝ තෙමේ මවදන් අසාවා, මෙ නම් ඇති මෙහෙණ තොමෝ සඞ්‍ඝයා විසින් සමනුභාෂණකර්‍ම කරන ලද්දී මෙහෙණන් හට මෙසේ කියයි, “ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසුවූවාහු මැ වාසය කරවු. තෙපි නහමක් වෙන් වැ වාසය කරවු. මෙබඳු ලමු පැවැතුම් ඇති මෙබඳු ලමු කිතුගොස් ඇති මෙබඳු දිවෙලි ඇති මෙහෙණ සඟනට වෙහෙස කරන්නා වූ අනන්මන වරද වසාලන්නා වූ අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති, සඞ්‍ඝ තෙමේ ඔවුනට කිසිවක් නො කියයි, සඞ්‍ඝ තෙමේ තොපට මැ හෙළා දැකීමෙන් ද අවමන් කිරීමෙන් ද නො ඉවසීමෙන් ද කටමැත දෙඩීමෙන් ද (තොපගේ මැ) දුබල බැවින් ද මෙසේ කියයි. “බුහුනෝ මැ මුසුවූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙලි ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙස කරන්නාහු අනන්මන වරද වසාලන්නාහු වෙසෙති මැයි. ආර්‍ය්‍යාවෙනි, වෙන් වවු, බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ” යැ යි. ඕ තොමෝ ඒ වස්තුව නො දුරැල යි, සඞ්‍ඝ තෙමේ මෙ නම් ඇති මෙහෙණහට ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සමනුභාෂණකර්‍ම කෙරෙයි, යම් ආර්‍ය්‍යාවකට මෙ නම් ඇති මෙහෙණහට ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සමනුභාෂණය රුස්නේ නම් ඕ තොමෝ නිහඬ වන්නී යැ. යමක් හට නො රුස්නේ නම් ඕ තොමෝ කියන්නී යැ, දෙවනවට දු තෙල කරුණ කියමි ... තෙවනවට දු තෙල කරුණ කියමි ... මෙ නම් ඇති මෙහෙණ තොමෝ ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සඞ්‍ඝයා විසින් සමනුභාෂණකර්‍ම කරන ලද්දී යැ. සඞ්‍ඝයාහට රුස්නේ යැ, එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි යි.
7. ඥප්තියෙන් දුකුළා යැ, දෙකම් වදනින් තුලැසි යැ, කම්වදන් පිරියතැ, සඟවෙසෙස් ඇවැත් වෙයි, සඟවෙසෙස් ඇත්තිය හට ඥප්තියෙහි දුකුළා ද දෙකම්වදනෙහි තුලැසිහු ද සන්සිඳෙත්.
8. අයම්පි: පළමු මෙහෙණන් ගෙන කියනු ලැබෙ යි.
යාවත්‍තියකං: තුන් යළ තෙක් සමනුභාෂණකර්‍මයෙන් ඇවැදී. වස්තුව්‍යතික්‍රමණය සමඟ මැ නො වේ.
නිස්සාරණීයං: සඞ්ඝයා කෙරෙන් නෙරනු ලබයි.
සඞ්ඝාදිසේසො: සඞ‍්ඝ තෙමේ මැ ඒ ඇවැතට මානත දෙයි, මුලට අදියි, අබ්භාන කර්‍ම කෙරෙයි, ගණයා නො වෙ යි, එක් මෙහෙණක් නො වේ. එහෙයින් සඞ්ඝාදිසේස යැයි කියනු ලැබෙ යි, ඒ ආපත්ති සමූහයට මැ නාම කර්‍ම යැ, අධිවචන යි. එයිනුදු සඞ්ඝාදිසේස යැයි කියනු ලැබේ.
ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී නො දුරැලා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී නො දුරැලා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇත්තී නො දුරැලා නම් සඟවෙසෙස් ඇවැත් වේ.
අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වේ.
සමනුභාෂණකර්‍ම නො කරන්නියට, දුරැලන්නියට, උම්මත්තිකාව හට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
දශම සඞ්ඝාදිශේෂ නිමි.
9. ආර්‍ය්‍යාවෙනි, ප්‍රථමාපත්‍තික නව දෙනෙක් ද යාවතතියක අට දෙනෙක් දැයි සතළොස් සඟවෙසෙස් ධම්හු උදෙසන ලදහු මැ යි. යම් සඟවෙසෙසුන් අතුරෙහි මෙහෙණ තොමෝ එක්තරා එක්තරා ඇවතකට හෝ අවදී ද, ඒ මෙහෙණ විසින් දෙ සඟුන් කෙරෙහි පක්‍ෂමානතෙහි හැසිරිය යුතු යි. හසළ මානත ඇති මෙහෙණ තොමෝ යම් තැනෙකැ විංශතිගණයා ඇති භික්‍ෂුණීසඞ්‍ඝ තෙමේ වන්නේ ද ඒ මෙහෙණ තොමෝ අබ්භාන කළ යුත්තීය. එක්නමකගෙනුදු උනු වූ විංශති ගණයා ඇති භික්‍ෂුණීසඞ්‍ඝ තෙමේ ඒ මෙහෙණ අබ්භාන කරන්නේ නම් ඒ මෙහෙණ තොමෝත් අබ්භාන නො කරන ලදුවා මැ වෙයි. ඒ භික්‍ෂුණීහු ද ගැරහිය යුත්තාහු යැ. මේ එහි ලා (පිළිපැදිය යුතු) සාමීචිය යි. එහි ලා ආර්‍ය්‍යාවන් පිළිවිසමි, කිම පිරිසිදුවහු ද? දෙවනවට දු පිළිවිසමි, කිම පිරිසිදුවහු ද? තෙවනවට දු පිළිවිසමි, කිම: පිරිසිදුවහු ද? ආර්‍ය්‍යාවෝ මෙහි ලා පිරිසුදු හ, එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි යි.
ඔවුන්ගේ උද්දානය:
උස්සය (වාදිකා) යැ චෝරී යැ ගාමන්තර යැ ඛාදනය සමග උක්‍ඛිත්‍තා යැ ‘කිං තෙ’ යැ කුපිතා යැ කිස්මිඤචි යැ සංසට්ඨා යැ උඤ්‍ඤා යැ යි ඒ සිකපද දශයෙකි.
ශප්ත දශකය නිමියේ ය.
3. නිසඟිපචිති
3. 1.
පළමු සිකපදය
ආර්‍ය්‍යාවෙනි මේ තිස් නිසඟි පචිති ධර්‍මයෝ උදෙසීමට පැමිණෙත්.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මෙහෙණෝ බොහෝ පාත්‍ර රැස් කෙරෙති. මිනිස්සු විහාරචාරිකාවෙහි හැසිරෙන්නාහු දැක ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් භික්‍ෂුණීහු බොහෝ පාත්‍ර රැස් කොළෝ ද, භික්‍ෂුණීහු පාත්‍ර වෙළඳාමක් හෝ කොළෝ ද, බඳුන්වෙළඳ හලක් හෝ විවෘත කොළෝ” දැ යි.
2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු මැයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් සවග මෙහෙණෝ පාත්‍ර රැස් කොළෝ” දැයි ... “සැබෑ ද මහණෙනි, සවග මෙහෙණෝ පාත්‍ර රැස් කෙරෙද්දැ” යි, සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... “කෙසේ නම් මහණෙනි සවග මෙහෙණෝ පාත්‍ර රැස් කොළෝදැ”යි. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් තොමෝ පාත්‍ර රැස් කෙරේ නම් නිසඟි පචිති වේ යයි.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
පත්ත නම්: යමුවාපය මැටිමුවාපයැයි දෙ පාත්‍රයෙකි. උත්කෘෂ්ට පාත්‍ර යැ මධ්‍යම පාත්‍ර යැ ඔමක පාත්‍ර යැයි පාත්‍රය පිළිබඳ ප්‍රමාණ තුනෙකි. උත්කෘෂ්ට පාත්‍රය නම් මගද නැළියෙන් දෙ නැළියක බත් ද ඉන් සිවු වැනි කොටසක් පමණ වූ මුද්ග සූපය ද එයට සරිලන ව්‍යඤ්ජනය ද ගන්නේ වෙයි. මාධ්‍යම පාත්‍රය නම් නැළියක බත් ද ඉන් සිවුවැනි කොටසක් පමණ වූ මුද්ගසූපය ද එයට සරිලන ව්‍යඤ්ජනය ද ගන්නේ වෙයි. ඔමක පාත්‍රය නම් අඩ නැළියක බත් ද ඉන් සිවුවැනි කොටසක් පමණ වූ මුද්ගසූපය ද එයට සරිලන ව්‍යඤ්ජනය ද ගන්නේ වෙයි. ඒ උත්කෘෂ්ට පාත්‍රයෙන් උත්කෘෂ්ට වූයේ අපාත්‍රය වෙයි. (ඒ ඔමක පාත්‍රයෙන්) ඔමක වූයේ අපාත්‍රය වේ.
සන්නිචයං කරෙය්‍ය: නො ඉටු නො විකැපූ පය යි.
නිස්‍සග්‍ගියො හොති: අරුණ නැඟීම සමඟ නිසැඟි වෙයි. සඞ්ඝයාට හෝ ගණයාට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි, නිසැජිය යුතුයි. ඒ මෙහෙණ විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟසිවුර එකස් කොට වැඩිමහලු මෙහෙණන්ගේ පා වැඳ උත්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ “ආර්‍ය්‍යාවෙනි, මාගේ මේ පාත්‍රය රැයක් ඉක්ම ගියේ නිසැඟි විය. මම මෙය සඞ්ඝයාට නිසජමි” යි මෙසේ කිය යුතු වන්නේ යැ. නිසැජැ ඇවැත් දෙසිය යුතුයි. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් ඇවැත් පිළිගත යුතුයි. නිසැජූ පය දිය යුතුයි.
ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝතෙමේ මවදන් අසාවා. මෙනම් ඇති මෙහෙණගේ මේ පාත්‍රය තෙමේ නිසැඟි වූයේ සඞ්ඝයාට නිසඳන ලද්දේ යැ. ඉදින් සඟනට පැමිණි කල් ඇත්තේ නම් මේ පාත්‍රය සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මෙහෙණහට දෙන්නේ යැයි.
ඒ මෙහෙණ විසින් බොහෝ මෙහෙණන් වෙත එළඹ උතුරුසඟසිවුර එකස් කොට වැඩිමහලු මෙහෙණන්ගේ පා වැඳ උත්කුටුකයෙන් හිඳ, “ආර්‍ය්‍යාවෙනි, මාගේ මේ පාත්‍රය රැයක් ඉක්මගියේ නිසඟි විය. මම මෙය ආර්‍ය්‍යාවනට නිසජමි” යි මෙසේ කියයුතු වන්නාහ. නිසැජැ ඇවැත් දෙසිය යුතුයි. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් ඇවැත් පිළිගත යුතුයි. නිසැජූ පය දිය යුතුයි.
ආර්‍ය්‍යාවෝ, මා වදන් අසත්වා. මෙ නම් ඇති මෙහෙණගේ මේ පාත්‍රය තෙමේ නිසැඟි වූයේ ආර්‍ය්‍යාවනට නිසඳන ලද්දේ යැ. ඉදින් ආර්‍ය්‍යාවනට පැමිණි කල් ඇත්තේ නම් ආර්‍ය්‍යාවෝ මේ පාත්‍රය මෙ නම් ඇති මෙහෙණහට දෙන්නාහු නම් මැනැවැ යි.
ඒ මෙහෙණ විසින් එක් මෙහෙණක වෙත එළඹ උතුරුසඟසිවුර එකස් කොට උත්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ “ආර්‍ය්‍යාවෙනි, මාගේ මේ පාත්‍රය තෙමේ රැයක් ඉක්මගියේ නිසැඟි විය. මම මෙය ආර්‍ය්‍යාවහට නිසජමි” යි මෙසේ කියයුතු වන්නී යැ. නිසැජැ ඇවැත් දෙසිය යුතුයි. ඒ මෙහෙණ විසින් ඇවැත් පිළිගත යුතුයි. මේ පාත්‍රය ආර්‍ය්‍යාවහට දෙමියි නිසැජූ පය දිය යුතුයි.
රැය ඉක්ම ගිය කල්හි ඉක්ම ගිය සන් ඇතියා නම් නිසැඟි පචිති වෙයි. රැය ඉක්ම ගිය කල්හි විමති ඇතියා නම් නිසැඟි පචිති වෙයි. රැය ඉක්ම ගිය කල්හි නො ඉක්ම ගිය සන් ඇතියා නම් නිසැඟි පචිති වෙයි. නො ඉටූ කල්හි ඉටූ සන් ඇතියා නම් නිසැඟි පචිති වෙයි. නො විකැපූ කල්හි විකැපූ සන් ඇතියා නම් නිසැඟි පචිති වෙයි. නො හළ කල්හි හළ සන් ඇතියා නම් නිසැඟි පචිති වෙයි. නො නට කල්හි නට සන් ඇතියා නම් නිසැඟි පචිති වෙයි. නො නැසුණු කල්හි නැසුණු සන් ඇතියා නම් නිසැඟි පචිති වෙයි. නො බුන් කල්හි බුන් සන් ඇතියා නම් නිසැඟි පචිති වෙයි. නො පැහැරැ ගත් කල්හි පැහැරැ ගත් සන් ඇතියා නම් නිසැඟි පචිති වේ.
නිසැඟි පය නො නිසැජැ වළඳා නම් දුකුළා ඇවැත් වෙයි. රැය නො ඉක්ම ගිය කල්හි ඉක්ම ගිය සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. රැය නො ඉක්ම ගිය කල්හි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. රැය නො ඉක්ම ගිය කල්හි නො ඉක්ම ගිය සන් ඇතියා නම් ඇවැත් නැති.
අරුණ තුළ ඉටා නම්, විකපා නම්, හැරැපියා නම්, නැසේ නම්, වැනැසේ නම්, බිඳේ නම්, අසිඳැ ගනිත් නම්, විස්වස් වැ ගනිත් නම්, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
එසමයෙහි වනාහි සවග මෙහෙණෝ නිසැජූ පය නො දෙත්. භාග්‍යවත්හට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, නිසැජූ පය නො දිය යුතු නො වෙයි. යම් මෙහෙණක් නො දේ නම් දුකුළා ඇවැත් වේ” යැ යි.
පළමු සිකපද යි.
3. 2.
දෙවැනි සිකපදය
1. ශ්‍රාවස්තිනිදානයි – එසමයෙහි බොහෝ මෙහෙණෝ ගම්බද අවසෙක්හි වස්වැස නිමියාහු වත් සපන් වූවාහු ඉරියවු සපන් වූවාහු දිරූ සිවුරු ඇත්තාහු රළු සිවුරු ඇත්තාහු සැවැතට ගියහ. උවසුවෝ ඒ මෙහෙණන් දැක මේ භික්‍ෂුණීහු වත්සපන්හ. ඉරියවු සපන්හ. දිරූ සිවුරු ඇතියහ. රළු සිවුරු ඇතියහ, මේ භික්‍ෂුණීහු අසිඳගතුවෝ වන්නාහයි මෙහෙණ සඟනට නො කල් සිවුරු දුන්හ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ අප විසින් කඨිනය අතුරන ලදී. (එබැවින්) කාලචීවරයැ යි ඉටා බෙදූ යැ. උවසුවෝ ඒ මෙහෙණන් දැක “ආර්‍ය්‍යාවන් විසින් සිවුරු ලබන ලදදැ”යි, මෙය කීහු. ඇවැත්නි, අපි සිවුරු නො ලබම්හ. ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ අප විසින් කඨිනය අතුරන ලද යැ. කාලචීවරයැ යි ඉටා බෙදවාලූ යැ යි මෙය කීහු. උවසුවෝ ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ අකාලචීවරය කාලචීවරයැ යි ඉටා බෙදවූදැ” යි.
2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ උවසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු මැයි, යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ අකාලචීවරය කාලචීවරයැ යි ඉටා බෙදවූ” දැ යි ... සැබෑද මහණෙනි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ අකාලචීවරය කාලචීවරයැ යි ඉටා බෙදවූ දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙ, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ අකාලචීවරය කාලචීවරයැ යි ඉටා බෙදවූ දැ යි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් තොමෝ අකාලචීවරය කාලචීවරයැ යි ඉටා බෙදවා නම් නිසඟි පචිති වේ යයි.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
අකාලචීවර නම්: කෙළින් නො අතුළ කල්හි එකොළොස් මස තුළ උපන්නේ ද කෙළින් අතුළ කල්හි සත්මස තුළ උපන්නේ ද වෙයි. කාලයෙහිදු උදෙසා දෙන ලද තෙල සිවුර අකාලචීවර නම් වේ.
අකාලචීවරය කාලචීවරයැ යි ඉටා බෙදවා නම් පියෝහි දුකුළා වෙයි. පිළිලැබීමෙන් නිසැඟි වේ. සඟනට හෝ ගණයාහට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි, නිසැජිය යුතුයි ... ආර්‍ය්‍යාවෙනි, මේ අකාල චීවරය කාලචීවරයැ යි ඉටා මා විසින් බෙදවන ලදී. (එහෙයින්) මෙය නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවට දෙමි යි.
අකාලචීවරයෙහි අකාලචීවරයැ යි සන් ඇතියා කාලචීවරයැ යි ඉටා බෙදවා නම් නිසැඟි පචිති වෙයි. අකාලචීවරයෙහි විමති ඇතියා කාලචීවරයැ යි ඉටා බෙදවා නම් දුකුළා ඇවැත් වෙයි. අකාලචීවරයෙහි කාලචීවරයැ යි සන් ඇතියා කාලචීවරයැ යි ඉටා බෙදවා නම් ඇවැත් නැති. කාලචීවරයෙහි අකාලචීවරයැ යි සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. කාලචීවරයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වේ. කාලචීවරයෙහි කාලචීවරයැ යි සන් ඇතියා නම් ඇවැත් නැති.