Pācittiya

Expiation Rules

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 4249 segments

පෙන්වන කොටස් 2601-2700 න් 4249

මෙසේ මේ සිකපදය භාග්‍යවතුන් විසින් මෙහෙණන්හට පනවන ලද්දේ වෙයි.
5. එසමයෙහි වනාහි බොහෝ මෙහෙණෝ කොසොල් දනව්වෙහි සිට සැවැතට යන්නාහු සවස එක්තරා ගමකට එළඹියහ. ඔවුනතුරෙහි එක්තරා මෙහෙණෙක් තොමෝ විශිෂ්ට රූ ඇත්තී දැකුම්කලු වූවා පැහැදුම් දනවන්නී වෙයි, එක්තරා පුරුෂයෙක් එ මෙහෙණ දක්නා හා මැ පිළිබඳ සිත් ඇත්තේ විය. එකල්හි ඒ පුරුෂ තෙමේ ඒ මෙහෙණන්හට සෙනසුන් පනවන්නේ ඒ මෙහෙණහට සෙනසුනක් එකත්පසෙකැ පැනවීයැ. එකල්හි ඒ මෙහෙණ තොමෝ ‘මේ පුරුෂ (රාග) පර්‍ය්‍යුත්‍ථි යැ, ඉදින් රැයෙහි එන්නේ නම් මාහට වියරුහඬෙක් වන්නේ යැයි සලකා මෙහෙණන් නො පිළිවිසැ එක්තරා කුලයකට ගොස් ශයනය කළා යැ. එකල්හි ඒ පුරුෂ තෙමේ රැයෙහි අවුත් එ මෙහෙණ සොයන්නේ මෙහෙණන් ගටාලී යැ. මෙහෙණෝ එ මෙහෙණ නො දක්නාහු මෙසේ කීහු, “නිසැකයෙන් මැ ඒ මෙහෙණ තොමෝ පිරිම්නියක්හු සමග නික්මගතු” යැයි, ඉක්බිති ඒ මෙහෙණ තොමෝ එරැය ඇවෑමෙන් ඒ මෙහෙණන් වෙත එළැඹියා යැ. මෙහෙණෝ ඒ මෙහෙණහට මෙය කීහු, ආර්‍ය්‍යාවෙනි, තෝ කුමකට පිරිම්නියක්හු සමග නික්මගතු දැයි, ආර්‍ය්‍යාවෙනි, මම් පිරිම්නියක්හු සමග නො නික්මගතිමි යි මෙහෙණන්හට තෙල කරුණ සැලකළා යැ.
6. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා රැයෙහි වෙන්වැ වුසූ” දැයි ... සැබෑ ද මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා රැයෙහි වෙන් වැ වුසූ දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා රැයෙහි වෙන්වැ වුසූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි, ... මෙසේ වනාහි මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා අන්ගමකට යා නම් හෝ හුදෙකලා වූවා ගඟෙකින් එතෙරට යා නම් හෝ හුදෙකලා වූවා රැයෙහි වෙන් වැ වසා නම් හෝ මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ යැයි.
මෙසේ මේ සිකපදය භාග්‍යවතුන් විසින් මෙහෙණන්හට පනවන ලද්දේ වෙයි.
7. එසමයෙහි වනාහි බොහෝ මෙහෙණෝ කොසොල් දනව්වෙහි සිට සැවැතටැ (යනු පිණිස) අදන්මඟට පිළිපන්නාහු වෙති. ඔවුනතුරෙහි එක්තරා මෙහෙණක් තොමෝ මහවටනින් පෙළුණී හුදෙකලා වූවා (ගණයා කෙරෙන්) වෙන්වැ පසු වැ ගියා යැ. මිනිස්සු එ මෙහෙණ දැක දූෂණය කළහ. ඉක්බිති ඒ මෙහෙණ තොමෝ ඒ මෙහෙණන් වෙත එළඹියා යැ, මෙහෙණෝ ඒ මෙහෙණහට මෙය කීහු. “ආර්‍ය්‍යාවෙනි, කුමකට තෝ හුදෙකලා වූවා පසුවූවා ද? කීම! නො නසන ලදු” දැයි, ආර්‍ය්‍යාවෙනි, නසන ලදුයෙම් වෙමැයි (කිවුයැ).
8. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා ගණයා කෙරෙන් වෙන්වූ දැ” යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා ගණයා කෙරෙන් වෙන්වූ දැයි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා ගණයා කෙරෙන් වෙන්වූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි, ... මෙසේ වනාහි මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා අන්ගමකට යා නම් හෝ හුදෙකලා වූවා ගඟකින් එතෙරට යා නම් හෝ හුදෙකලා වූවා රැයෙහි වෙන් වැ වසා නම් හෝ හුදෙකලා වූවා ගණයා කෙරෙන් වෙන් වේ නම් හෝ මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ යැයි.
9. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි ය යි.
ඒකා වා ගාමන්තරං ගච්ඡෙය්‍ය: පරික්‍ෂිප්ත ග්‍රාමයාගේ පරික්‍ෂේපය පළමු පයින් ඉක්මවන්නියට තුලැසි ඇවැත් වෙයි, දෙවන පයින් ඉක්මවන්නියට සඟවෙසෙස් ඇවැත් වෙයි, අපරික්‍ෂිප්තග්‍රාමයාගේ උපචාරය පළමු පයින් ඉක්මවන්නියට තුලැසි ඇවැත් වෙයි, දෙවන පයින් ඉක්මවන්නියට සඟවෙසෙස් ඇවැත් වේ.
ඒකා වා නදීපාරං ගච්ඡෙය්‍ය: නදී නම් තෙමඬුලු වසා යම් කිසි තැනෙකැ එතර වන්නා වූ මෙහෙණකගේ හඳනාසිවුර තෙමෙනු ලැබේ නම් එය යි, පළමු පියෙන් එතර වන්නියට තුලැසි ඇවැත් වෙයි, දෙවන පියෙන් එතර වන්නියට සඟවෙසෙස් ඇවැත් වේ.
ඒකා වා රත්තිං විප්පවසෙය්‍ය: අරුණ නැඟීම සමඟ මැ දෙවැනි මෙහෙණකගේ අත්පස හරින්නියට තුලැසි ඇවැත් වෙයි, හළ කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
ඒකා වා ගණමහා ඔහීයෙය්‍ය: නො ගම් අරන්හි දෙවැනි මෙහෙණකගේ දසුන්උවසර හෝ සවන්උවසර හෝ හරින්නියට තුලැසි ඇවැත් වෙයි, හළ කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
අයම්‍පි: පළමු සඟවෙසෙස් අවන් මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.
පඨමාපත්‍තිකං: වස්තුව්‍යතික්‍රමණය සමග මැ පැමිණෙයි, සමනුභාෂණකර්‍මයෙන් නො වෙයි.
නිස්‍සාරණීයං: සඟහු කෙරෙන් නෙරනු ලබයි.
සඞ්ඝාදිසේසො: එයිනුදු සඞ්ඝාදිසේස යැයි කියනු ලැබේ.
දෙවැනි මෙහෙණ ගියා හෝ ගිහිවූවා හෝ කලුරිය කළා හෝ තොටුපසට ගියා හෝ වේ නම් ඇවැත් නොවේ. ආපදායෙහි, උම්මත්තිකාවට ... අදිකම්මිකාවට ඇවැත් නැති.
තෘතීය සඞ්ඝාදිශේෂ යි.
චතුර්‍ත්‍ථ සඞ්ඝාදිශේෂය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි චණ්ඩකාලි භික්‍ෂුණී තොමෝ ඩබර කරන්නී කලහකරන්නී විරුද්ධවාද කරන්නී බහින්බස් වන්නී සඞ්‍ඝයා කෙරෙහි අධිකරණ කරන්නී වෙයි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඇයට කර්‍ම කරන කල්හි ඔවුනට පටහැණි වැ කරුණු කියයි.
එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ කිසියම් ඇවැසි කටයුත්තක් හේතු කොට ගෙන ගමකට ගියා යැ. එකල්හි භික්‍ෂුණී සඞ්‍ඝ තෙමේ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය බැහැර ගියා යැයි චණ්ඩකාලී මෙහෙණහට ඇවැත් හෙයින් නො දැක්මෙහි උත්ක්‍ෂේපණීය කර්‍මය කෙළේයැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ගමෙහි ඒ ඇවැසි කටයුත්ත තීරණය කොට යළිදු සැවැතට පෙරළා පැමිණියා යැ. චණ්ඩකාලී භික්‍ෂුණී තොමෝ එන ථුල්ලනන්‍දා මෙහෙණහට අසුනක් නො මැ පැනවූ යැ. පා දෝනා දිය පාපුටුව පා උලන පුවරුව නො මැ වෙතැ තැබූ යැ. පෙරැගමන් කොට පා සිවුරු නො පිළිගතු. පැනින් නො පිළිවූසු. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ චණ්ඩකාළී මෙහෙණහට මෙය කිවූ යැ: “ආර්‍ය්‍යාවෙනි, තෝ කුමක් හෙයින් මා පැමිණෙන කල්හි අසුනක් නො මැ පැනවුව, පාදෝනාදිය පාපුටුව පා උලන පුවරුව නො මැ වෙත තැබුව, පෙරැ ගමන් කොට පාසිවුරු නො පිළිගතුව, පැනින් නො පිළිවුසුවැ” යි. “ආර්‍ය්‍යාවෙනි, පිළිසරණ නැතියකට යම්සේ නම් එසේ ම මැයට ද වේ” යැයි. ආර්‍ය්‍යාවෙනි, තෝ කුමක් හෙයින් පිළිසරණ නැතියක් වීහි ද? ආර්‍ය්‍යාවෙනි, මේ භික්‍ෂුණීහු “මැය පිළිසරණ නැත්තියක අප්‍රසිද්ධ යැ, මැය පිළිබඳ කිසියම් පටහැණිවැ කියන්නෙක් නැතැ”යි ඇවැත් හෙයින් නො දැක්මෙහි උකෙච්නීකම් කළහ යි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ “මොව්හු බාල යැ මොව්හු අවියත්හු යැ මොව්හු කර්‍මය හෝ කර්‍මදෝෂය හෝ කර්‍මවිපත්තිය හෝ කර්‍මසම්පත්තිය හෝ නො දනිති, ඇපි වනාහි කර්‍මය ද කර්‍මදෝෂය ද කර්‍මවිපත්තිය ද කර්‍මසම්පත්තිය ද දැනුම්හ, ඇපි වනාහි නො කළ කර්‍මය හෝ කරන්නම්හ, කළ කර්‍මය හෝ කෝපනය කරන්නම්හ” යි යුහු යුහු වැ භික්‍ෂුණී සඞ්‍ඝයා රැස්කරවා ලා චණ්ඩකාලී මෙහෙණ අවසාරණය (යළි ඇතුළත් කිරීම) කැරැවූ යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ සමඟ සඟහු විසින් ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙච්නී කම් කරන ලද මෙහෙණක කාරකසඞ්‍ඝයා නො පිළිවිසැ ගණයාගේ ඡන්‍දය නො දැනැ අවසාරණය කළා” දැයි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සමඟ සඟහු විසින් ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙච්නී කම් කරන ලද මෙහෙණක කාරකසඞ්‍ඝයා නො පිළිවිසැ ගණයාගේ ඡන්‍දය නො දැනැ (සඟමැදට) ඇතුළත් කළා දැයි, සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ. ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සමඟ සඟහු විසින් ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙච්නී කම් කරන ලද මෙහෙණක කාරකසඞ්‍ඝයා නො පිළිවිසැ ගණයාගේ ඡන්‍දය නො දැනැ ඇතුළත් කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... තව ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය මෙසේ උදෙසත්වා.
“යම් මෙහෙණක් තොමෝ සමඟ සඟහු විසින් ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙච්නී කම් කරන ලද මෙහෙණක කාරකසඞ්‍ඝයා නො පිළිවිසැ ගණයාගේ ඡන්‍දය නො දැනැ ඇතුළත් කරන්නී නම් මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ” යයි.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
සමග්‍ග නම්: සමානසංවාසක වූ සමාන සීමායෙහි සිටි සඞ්‍ඝ තෙමේ යි.
උක්ඛිත්තා නම්: ඇවැත් හෙයින් නො දැක්මෙහි හෝ නො පිළියම් කිරීමෙහි හෝ නො බැහැරැ කිරීමෙහි හෝ උකෙච්නී කම් කරන ලද්දී යැ.
ධම්මෙන විනයෙන: යම් ධර්‍මයෙකින් යම් විනයයෙකින්.
සත්‍ථුසාසනෙන: ජිනශාසනයෙන් බුද්ධශාසනයෙන්.
අනපලෝකෙත්‍වා කාරකසඞ්‍ඝං: කර්‍මය කරන සඟහු නො පිළිවිසැ.
අනඤ්ඤාය ගණස්ස ඡන්‍දං: ගණයාගේ ඡන්‍දය නො දැනැ ඇතුළත් කරන්නෙමි යි ගණයා සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, ඥප්තියෙන් දුකුළා යැ, දෙ කම් වදනින් තුලැසි යැ. කම් වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
අයම්පි: පළමු මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.
පඨමාපත්තිකං: වස්තුව්‍යතික්‍රමණය සමඟ මැ පැමිණෙයි, සමනුභාෂණකර්‍මයෙන් නො වෙයි.
නිස්සාරණීයං: සඟහු කෙරෙන් නෙරනු ලැබෙයි.
සඞ්ඝාදිසේසො: ... එයිනුදු සඞ්ඝාදිසේස යැයි කියනු ලැබේ.
ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී ඇතුළත් කෙරේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, ධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී ඇතුළත් කෙරේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, ධර්‍මකර්‍මයෙහි අධර්‍ම කර්‍මසංඥා ඇත්තී ඇතුළත් කෙරේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි, අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි, අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වේ.
කර්‍මය කරන සඞ්‍ඝයා පිළිවිසැ ඇතුළත් කෙරේ නම්, ගණයාගේ ඡන්‍දය දැනැ ඇතුළත් කෙරේ නම් වතෙහි වැටෙන්නිය ඇතුළත් කෙරේ නම් කර්‍මය කරන සඞ්‍ඝයා නැති කල්හි ඇතුළත් කෙරේ නම් උම්මත්තිකාවහට ... අදිකම්මිකාවහට ඇවැත් නැති.
චතුර්‍ත්‍ථ සඞ්ඝාදිශේෂ යි.
පඤ්චම සඞ්ඝාදිශේෂය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති, එසමයෙහි වනාහි සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ විශිෂ්ට රූ ඇත්තී දැකුම්කලු වූවා පැහැදුම් එළවන්නී වෙයි, මිනිස්සු බතගෙහි සුන්‍දරීනන්‍දා මෙහෙණ දැක රාගයෙන් තෙත් වූවාහු රාගයෙන් තෙත්වූ සුන්‍දරීනන්‍දා මෙහෙණහට උතුම් උතුම් බොජුන් දෙති. සුන්‍දරීනන්‍දා මෙහෙණ තොමෝ රිසියෙන තාක් වළඳයි. අන් මෙහෙණෝ සිත්සේ නො ලබත්.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය සුන්‍දරීනන්‍දා තොමෝ රාගයෙන් තෙත් වූවා රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ අතින් කෑයුත්තක් බිදිය යුත්තක් සියතින් පිළිගෙන කෑවා ද වැළඳූ දැ” යි ... සැබෑ ද මහණෙනි, සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ රාගයෙන් තෙත් වූවා රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ අතින් කෑ යුත්තක් බුදිය යුත්තක් සියතින් පිළිගෙන කා ද වළඳා දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ රාගයෙන් තෙත් වූවා රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ අතින් කෑ යුත්තක් බිදිය යුත්තක් සියතින් පිළිගෙන කෑවා ද වැළඳූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
“යම් මෙහෙණක් තොමෝ රාගයෙන් තෙත් වූවා රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ අතින් කෑ යුත්තක් හෝ බිදිය යුත්තක් හෝ සියතින් පිළිගෙනැ කා නම් හෝ වළඳා නම් හෝ මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ” යැයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
අවස්සුතා නම්: රාගයෙන් මොනවට රත් වූ (පිරිම්නියක්හු කෙරෙහි) අපේක්‍ෂායෙන් යුක්ත වූ පිළිබඳසිත් ඇත්තී යැ.
අවස්සුත නම්: රාගයෙන් මොනොවට රත් වූ (මාගමක කෙරෙහි) අපේක්‍ෂායෙන් යුක්ත වූ පිළිබඳසිත් ඇත්තේ යැ.
පුරිසපුග්ගල නම්: මිනිස් පිරිම්නියෙකි, යකෙක් නො වෙයි, ප්‍රේතයෙක් නො වෙයි, තිරිසන් ගියෙක් නො වේ, රාගයෙන් ඇලෙන්නට දැනුමැති ප්‍රතිබලයෙකි.
ඛාදනීය නම්: පස් බොජුන් ද දිය හා දැහැටු ද තබා සෙස්ස ඛාදනීය නම් වේ.
භෝජනීය නම්: බත් යැ කොමු යැ අත්සුණු යැ දියමස් යැ ගොඩමස් යැ යන පස් බොජුනි, කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් තුලැසි ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි සඟවෙසෙස් ඇවැත් වේ.
අයම්පි: පළමු මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.
පඨමාපත්තිකං: වස්තුව්‍යතික්‍රමණය සමඟ මැ පැමිණෙයි, සමනුභාෂණකර්‍මයෙන් නො වෙයි.
නිස්සාරණීයං: සඟහු කෙරෙන් නෙරනු ලබයි.
සඞ්ඝාදිසේසො: ... එයිනුදු සඞ්ඝාදිසේස යැ යි කියනු ලැබෙයි, දිය හා දැහැටු පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
එකක්හු විසින් රාගයෙන් තෙත් වූ කල්හි කන්නෙමි බුදින්නෙමියි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි තුලැසි ඇවැත් වෙයි. පැන් හා දැහැටු පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
දෙදෙනා විසින් රාගයෙන් තෙත් වූ කල්හි යක්‍ෂයකුගේ හෝ ප්‍රේතයකුගේ හෝ පණ‍්‍ඩකයකුගේ හෝ තිර්‍ය්‍යග්ගතමනුෂ්‍ය ශරිරියකුගේ හෝ අතින් කෑ යුත්තක් හෝ බිඳිය යුත්තක් හෝ කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි තුලැසි ඇවැත් වෙයි, පැන් හා දැහැටු පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
එකක්හු විසින් රාගයෙන් තෙත් වූ කල්හි කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි දුකුළා ඇවැත් වෙයි, පැන් හා දැහැටු පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
දෙදෙනා විසින් රාගයෙන් තෙත් නො වූවාහු වෙත් නම්, රාගයෙන් තෙත් නො වූයේ යැ යි දන්නී පිළිගනී නම්, උම්මත්තිකාවට ... අදිකම්මිකාවහට ඇවැත් නැති.
පඤ්චම සඞ්ඝාදිශේෂ යි.
ෂෂ්ඨ සඞ්ඝාදිශේෂය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ විශිෂ්ට රූ ඇත්තී දැකුම්කලු වූවා ප්‍රසාද එළවන්නී වෙයි, මිනිස්සු බතගෙහි සුන්‍දරීනන්‍දා මෙහෙණ දැක රාගයෙන් තෙත් වූවාහු සුන්‍දරීනන්‍දා මෙහෙණට උතුම් උතුම් බොජුන් දෙති. සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ කුකුසන්නී නො පිළිගනී. අනතුරුවැ හුන් මෙහෙණ සුන්‍දරීනන්‍දා මෙහෙණට මෙය කිවු යැ. “ආර්‍ය්‍යාවෙනි, කුමක් හෙයින් තෙපි නො පිළිගනිවු දැ” යි. ආර්‍ය්‍යාවෙනි, රාගයෙන් තෙත් වූයේ යැ, ආර්‍ය්‍යාවෙනි, තෙපි වනාහි රාගයෙන් තෙත් වූවාහු දැ යි. ‘ආර්‍ය්‍යාවෙනි, මම රාගයෙන් තෙත් නො වූයේමැ’යි. ආර්‍ය්‍යාවෙනි, යම් හෙයෙකින් තෙපි රාගයෙන් තෙත් නො වූවහු නම් තෙල මිනිස් පිරිම්නියා රාගයෙන් තෙත් වූයේ හෝ තෙත් නො වූයේ හෝ තොපට කුමක් කරන්නේ ද? එබැවින් ආර්‍ය්‍යාවෙනි, තෙල මිනිස් පිරිම්නියා කෑ යුතු හෝ බිදිය යුතු හෝ යමක් දේ නම් එය තෙපි සියතින් පිළිගෙන කව හෝ වළඳව හෝ යි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් තොමෝ ආර්‍ය්‍යාවෙනි, යම් හෙයෙකින් තෙපි රාගයෙන් තෙත් නො වූවහු නම් තෙල මිනිස් පිරිම්නියා රාගයෙන් තෙත් වූයේ හෝ තෙත් නො වූයේ හෝ තොපට කුමක් කරන්නේ ද, එබැවින් ආර්‍ය්‍යාවෙනි, තෙල මිනිස් පිරිම්නියා කෑ යුතු හෝ බිදිය යුතු හෝ යමක් දේ නම් එය තෙපි සියතින් පිළිගෙන කව හෝ වළඳව හෝ යි මෙසේ කිවුදැ” යි ... සැබෑද මහණෙනි, මෙහෙණක් තොමෝ ආර්‍ය්‍යාවෙනි, යම් හෙයෙකින් තෙපි රාගයෙන් තෙත් නො වූවහු නම් තෙල මිනිස් පිරිම්නියා රාගයෙන් තෙත් වූයේ හෝ තෙත් නො වූයේ හෝ තොපට කුමක් කරන්නේ ද, එබැවින් ආර්‍ය්‍යාවෙනි, තෙල මිනිස් පිරිම්නියා කෑ යුතු හෝ බිදිය යුතු යමක් දේ නම් එය තෙපි සියතින් පිළිගෙන කව හෝ වළඳව හෝ යි මෙසේ කිවු ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, “මෙහෙණක් තොමෝ ආර්‍ය්‍යාවෙනි, යම් හෙයෙකින් තෙපි රාගයෙන් තෙත් නො වූවහු නම් තෙල මිනිස් පිරිම්නියා රාගයෙන් තෙත් වූයේ හෝ තෙත් නො වූයේ හෝ තොපට කුමක් කරන්නේ ද, එබැවින් ආර්‍ය්‍යාවෙනි, තෙල මිනිස් පිරිම්නියා කෑ යුතු හෝ බිදිය යුතු යමක් දේ නම් එය තෙපි සියතින් පිළිගෙන කව හෝ වළඳව හෝ” යි මෙසේ කිවු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණහු මේ සිකපදය උදෙසත්වා.
“යම් මෙහෙණක් “ආර්‍ය්‍යාවෙනි, යම් හෙයෙකින් තෙපි රාගයෙන් තෙත් නො වූවහු නම් තෙල මිනිස් පිරිම්නියා රාගයෙන් තෙත් වූයේ හෝ තෙත් නො වූයේ හෝ තොපට කුමක් කරන්නේ ද, එබැවින් ආර්‍ය්‍යාවෙනි, තෙල මිනිස් පිරිම්නියා කෑ යුතු හෝ බිදිය යුතු යමක් දේ නම් එය තෙපි සියතින් පිළිගෙන කව හෝ වළඳව හෝ” යි මෙසේ කියා නම්, මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ” යයි.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී වෙයි.
එවං වදෙය්‍ය: ආර්‍ය්‍යාවෙනි, යම් හෙයෙකින් තෙපි රාගයෙන් තෙත් නො වූවහු නම් තෙල මිනිස් පිරිම්නියා රාගයෙන් තෙත් වූයේ හෝ තෙත් නො වූයේ හෝ තොපට කුමක් කරන්නේ ද, එබැවින් ආර්‍ය්‍යාවෙනි, තෙල මිනිස් පිරිම්නියා කෑයුතු හෝ බිදිය යුතු හෝ යමක් තොපට දේ නම් එය තෙපි සියතින් පිළිගෙන කව හෝ වළඳව හෝ යි නියෝග කරා නම් දුකුළා ඇවැත් වෙයි, ඇයගේ වචනයෙන් කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි තුලැසි ඇවැත් වෙයි. බොජුන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
අයම්පි: පළමු මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.
පඨමාපත්තිකං: වස්තුව්‍යතික්‍රමණය සමඟ මැ පැමිණෙයි, සමනුභාෂණ කර්‍මයෙන් නො වෙයි.
නිස්සාරණීයං: සඟහු කෙරෙන් නෙරනු ලබයි.
සඞ්ඝාදිසේසො: ... එයිනුදු සඞ්ඝාදිසේස ය යි කියනු ලැබෙයි.
පැන් හා දැහැටු පිළිගනුව යි නියෝග කරා නම් දුකුළා ඇවැත් වෙයි. ඇයගේ වචනයෙන් කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
එකක්හු විසින් රාගයෙන් තෙත් වූ කල්හි යක්‍ෂයකුගේ හෝ ප්‍රේතයකුගේ හෝ පණ‍්‍ඩකයකුගේ හෝ තිර්‍ය්‍යග්‍ගතමනුෂ්‍ය ශරීරයකුගේ හෝ අතින් කෑ යුත්තක් හෝ බිදිය යුත්තක් හෝ කව හෝ වළඳව හෝ යි නියෝග කරා නම් දුකුළා ඇවැත් වෙයි. ඇයගේ වචනයෙන් කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි දුකුළා ඇවැත් වෙයි. බොජුන් අවසන්හි තුලැසි ඇවැත් වෙයි. පැන් හා දැහැටු පිළිගනුව යි නියෝග කරා නම් දුකුළා ඇවැත් වෙයි. ඇයගේ වචනයෙන් කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
රාගයෙන් තෙත් නො වූයේ යැ යි දන්නී නියෝග කෙරේ නම්, කිපියා නො පිළිගනී යයි නියෝග කෙරේ නම්, කුලය කෙරෙහි අනුකම්පායෙන් නො පිළිගනී යයි නියෝග කෙරේ නම්, උම්මත්තිකාවට ... අදිකම්මිකාවහට ඇවැත් නැති.
ෂෂ්ඨ සඞ්ඝාදිශේෂ යි.
සප්තම සඞ්ඝාදිශේෂය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ මෙහෙණන් සමග ඩබර කොට කිපියා නො සියමන් (සතුටු) වූවා මෙසේ කියයි “බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම, මෙ මැ ශාක්‍යදුහිතෘ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ද? ලජ්ජා ඇති කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති. මම ඔවුන්ගේ හමුවෙහි බඹසර වෙසෙමැ” යි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා චණ්ඩකාළී කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම, මේ මැ ශාක්‍යදුහිතෘ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ද? ලජ්ජා ඇති කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති. මම ඔවුන්ගේ හමුවෙහි බඹසර වෙසෙමැ යි මෙසේ කිවුදැ” යි ... සැබෑද මහණෙනි, චණ්ඩකාළී භික්‍ෂුණී කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි ... කිම, මේ ශාක්‍යදුහිතෘ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ද? ලජ්ජා ඇති කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති. මම ඔවුන්ම හමුවෙහි බඹසර වෙසෙමැ යි මෙසේ කියා ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළී භික්‍ෂුණී කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි. කිම මේ ශාක්‍ය දුහිතෘ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ද? ලජ්ජා ඇති කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති. මම ඔවුන් හමුවෙහි බඹසර වෙසෙ මැ යි මෙසේ කිවු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි, ... මෙසේ ද මහණෙනි, මෙහෙණහු මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තොමෝ කිපියා නො සතුටු වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි’ කිම ශාක්‍ය දුහිතෘ වූ මේ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ද? ලජ්ජා ඇති කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති, මම ඔවුන් හමුයෙහි බඹසර වෙසෙමැ යි මෙසේ කියා නම් ඒ මෙහෙණ (අන්) මෙහෙණන් විසින් මෙසේ කිය යුතු වන්නී යැ, “ආර්‍ය්‍යාවෙනි, කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම ශාක්‍යදුහිතෘ වූ ද ?ලජ්ජා ඇති කුකුස් ඇති මේ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ශික්‍ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති. මම ඔවුන් හමුයෙහි බඹසර වෙසෙමැයි නහමක් කියන්නැ. ආර්‍ය්‍යාවෙනි, සිත් අලව, ධර්‍මය ස්වාඛ්‍යාත යැ මැනැවින් දුක් කෙළවර කිරීම පිණිස බඹසර වස”යි. මෙසේත් ඒ මෙහෙණ (අන්) මෙහෙණන් විසින් කියනු ලබන්නී එසේ මැ දැඩි වැ ගනී නම් එ මෙහෙණ (අන්) මෙහෙණන් විසින් ඒ දෘෂ්ටිය දුරැලීම පිණිස තුන් යළ තෙක් සමනුභාෂණ කර්‍ම කළයුත්තී යැ, ඉදින් තුන් යළ තෙක් සමනුභාෂණ කර්‍ම කරනු ලබන්නී එය දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි, ඉදින් නො දුරැලා නම් මේ මෙහෙණ ද තුන් යළ අවසන්හි පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ” ය යි.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
කුපිතා අනත්තමනා: නො ඇලුණී හැපුණු සිත් ඇත්තී හටගත් (පිළිඝු) හුල් ඇත්තී;
එවං වදෙය්‍ය: බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම ශාක්‍යදුහිතෘ වූ මේ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ද? ලජ්ජා ඇති කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති. මම ඔවුන් හමුයෙහි බඹසර වෙසෙමැ යි.
සා භික්ඛුනී: යමක් මෙසේ කියනු සුළු නම් ඒ මෙහෙණ යැ.
භික්‍ඛුනීහි: අන් මෙහෙණන් විසින් යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් “ආර්‍ය්‍යාවෙනි, කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම ශාක්‍යදුහිතෘ වූ යම් මෙහෙණ කෙනෙක් වෙත් නම් මෙහෙණ මොවුහු මැ ද? හටගත් ලජ්ජා ඇති හටගත් කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ මෙහෙණහු ද වෙති, මම ඔවුන් හමුයෙහි බඹසර කරන්නෙමැ යි මෙසේ නහමක් කියන්නැ, ආර්‍ය්‍යාවෙනි, සිත් අලව, ධර්‍මය ස්වාඛ්‍යාත යැ. මැනැවින් දුක් කෙළවර කිරීම පිණිස බඹසර කරව” යි කිය යුත්තී ය, දෙවනවටදු කිය යුත්තී යැ තෙවනවට දු කියයුත්තී ය, ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි, ඉදින් නො දුරලා නම් දුකුළා ඇවැත් වෙයි. අසා නො කියත් නම් දුකුළා ඇවැත් වෙයි. එ මෙහෙණ සඟමැදට දු ඇද කියැ යුතු යැ. “ආර්‍ය්‍යාවෙනි, කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම ශාක්‍යදුහිතෘ වූ යම් මෙහෙණ කෙනෙක් වෙත් නම් මෙහෙණ මොවුහු මැ ද? හටගත් ලජ්ජා ඇති හටගත් කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ මෙහෙණහු ද වෙති, මම ඔවුන් හමුයෙහි බඹසර කරන්නෙමැ යි මෙසේ නහමක් කියන්නැ, ආර්‍ය්‍යාවෙනි, සිත් අලව, ධර්‍මය ස්වාඛ්‍යාත යැ, මැනැවින් දුක් කෙළවර කිරීම පිණිස බඹසර කරව” යි. දෙවනවටදු කිය යුතු යැ ... තෙවනවට දු කිය යුත්තී ය, ... ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලා නම් දුකුළා ඇවැත් වෙයි. එ මෙහෙණ සමනුභාෂණකර්‍ම කළ යුත්තී යැ, මෙසේ ද වනාහි මහණෙනි, සමනුභාෂණකර්‍ම කළ යුත්තී යැ, ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්‍ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
5. ආර්‍ය්‍යාවෙනි, සඞ්‍ඝ තෙමේ මවදන් අසාවා, මේ මෙනම් ඇති මෙහෙණ කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම ශාක්‍යදුහිතෘ වූ යම් ශ්‍රමණී කෙනෙක් වෙත් නම් ශ්‍රමණීහු මොවුහු ම ද? හටගත් ලජ්ජා ඇති හටගත් කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති, මම ඔවුන් හමුයෙහි බඹසර කරන්නෙමැ යි මෙසේ කියයි. ඕ තොමෝ ඒ වස්තුව නො දුරැලයි. ඉදින් සඟනට පැමිණිකල් ඇත්තේ නම් ඒ වස්තුව සඞ්‍ඝ තෙමේ දුරැලීම පිණිස මෙ නම් ඇති මෙහෙණහට සමනුභාෂණකර්‍ම කරන්නේ යැ, මේ ඥප්තිය යි.
6. ආර්‍ය්‍යාවෙනි, සඞ්‍ඝ තෙමේ මවදන් අසාවා, මේ මෙනම් ඇති මෙහෙණ කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම ශාක්‍යදුහිතෘ වු යම් ශ්‍රමණී කෙනෙක් වෙත් නම් ශ්‍රමණීහු මොවුහු ම ද? හටගත් ලජ්ජා ඇති හටගත් කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති, මම ඔවුන්ගේ හමුයෙහි බඹසර කරන්නෙමැ යි මෙසේ කියයි. ඕ තොමෝ ඒ වස්තුව නො දුරැලයි, සඞ්‍ඝ තෙමේ ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් ඇති මෙහෙණට සමනුභාෂණ කර්‍ම කරයි, ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් ඇති මෙහෙණට සමනුභාෂණ කර්‍මය යම් ආර්‍ය්‍යාවකට රුස්නේ වි නම් ඕ තොමෝ නිහඬ වන්නී යැ, යමකට නො රුස්නේ නම් ඕ තොමෝ කියන්නී යැ, දෙවනවට දු තෙල කරුණ කියමි ... තෙවනවට දු තෙල කරුණ කියමි ... සඞ්‍ඝයා විසින් ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් ඇති මෙහෙණ තොමෝ සමනුභාෂණ කර්‍ම කරන ලද්දී යැ. සඟනට රුස්නේ යැ, එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි යි.
7. ඥප්තියෙන් දුකුළා යැ, දෙකම් වදනින් තුලැසි යැ, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වෙයි, සඟවෙසෙසටැ පැමිණියාට ඥප්තියෙහි දුකුළා ද, දෙකම් වදනෙහි තුලැසි ද සන්හිඳෙයි.
8. අයම්පි: පළමු මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.
යාවතතියකං: තුන් යළ තෙක් සමනුභාෂණයෙන් පැමිණෙයි. වස්තුව්‍යතික්‍රමණය සමඟ මැ නො වේ.
නිස්සාරණීයං: සඟහු කෙරෙන් නෙරනු ලබයි.
සඞ්ඝාදිසේසො: ... එයිනුදු සඞ්ඝාදිසේස යැ යි කියනු ලැබේ.
ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී නො දුරැලා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, ධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී නො දුරැලා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇත්තී නො දුරැලා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි.
අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි, අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වේ.
සමනුභාෂණකර්‍ම නො කරන්නියට, දුරැලන්නියට, උම්මත්තිකාවට ... අදිකම්මිකාවහට ඇවැත් නැති.
සප්තම සඞ්ඝාදිශේෂ යි.
අෂ්ටම සඞ්ඝාදිශේෂය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා මෙසේ කියයි, “භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ. භික්‍ෂුණීහු ද්වේෂයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු මෝහයෙනුදු අගතියට ගියාහු යැ භික්‍ෂුණීහු භයයෙනුදු අගතියට ගියාහු යැ” යි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා චණ්ඩකාළී තොමෝ කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්‍ෂුණීහු භයයෙනුදු අගතියට ගියාහු යැ මෙසේ කිවු ද? ... සැබෑ ද මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන්වූවා භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ කියා ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ කිවු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු ද්වේෂයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු මෝහයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ කියා නම් ඒ මෙහෙණ (අන්) මෙහෙණන් විසින් මෙසේ කියයුතු වන්නී යැ, ආර්‍ය්‍යාවෙනි, කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු ද්වේෂයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු මෝහයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ නහමක් කියන්නැ. ආර්‍ය්‍යාව වනාහි ඡන්‍දයෙනුදු අගතියට යන්නී යැ, ද්වේෂයෙනුදු අගතියට යන්නී යැ, මෝහයෙනුදු අගතියට යන්නී යැ, භයෙනුදු අගතියට යන්නී යැ යි. මෙසේත් ඒ මෙහෙණ මෙහෙණන් විසින් කියනු ලබන්නී එසේ මැ දැඩි වැ ගත්තී නම් එ මෙහෙණ මෙහෙණන් විසින් ඒ වස්තුව දුරැලීම පිණිස තුන් යළ තෙක් සමනුභාෂණ කර්‍ම කළ යුත්තී යැ, ඉදින් තුන් යළ තෙක් සමනුභාෂණ කර්‍ම කරනු ලබන්නී ඒ වස්තුව දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි, ඉදින් නො දුරැලා නම් මේ මෙහෙණ ද තුන් යළ අවසන්හි පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ, ය යි.