සත්‍ථුසාසනෙන: ජිනසාසනයෙන්, බුද්ධසාසනයෙන්.
අනාදර නම්: සඞ්ඝයා හෝ ගණයා හෝ පුද්ගලයා හෝ කර්‍මය හෝ නො ගනී.
අප්පතිකාර නම්: උඛෙව්නීකම් කරන ලදුයේ සඞ්ඝයාට ඇතුළත් නො කරන ලද්දේ යි.
අකතසහාය නම්: සමාන සංවාසක භික්‍ෂුහු සහායයෝ යැයි කියනු ලැබෙති. හේ ඔවුන් සමග නැති. එහෙයින් අකතසහාය යැයි කියනු ලැබේ.
තමනුවත්තෙය්‍ය: ඒ උඛෙව්නීකම් කළ මහණ තෙමේ යම්බඳු දෘෂ්ටි ඇතියෙක් යම්බඳු ඉවසීම් ඇතියෙක් යම්බඳු රුචි ඇතියෙක් වේ නම් ඒ මෙහෙණ තොමෝත් එබඳු දෘෂ්ටි ඇත්තී එබඳු ඉවසීම් ඇත්තී එබඳු රුචි ඇත්තී වෙයි.
සා භික්ඛුනී: යම් මෙහෙණක් උඛෙව්නීකම් කළ මහණහු අනුවැ වැටේ නම් ඒ මෙහෙණ යි.
භික්ඛුනීහි: අන් මෙහෙණන් විසින්; යම් මෙහෙණ කෙනෙක් දකිත් නම් යම් මෙහෙණ කෙනෙක් අසත් නම් ඔවුන් විසින් “ආර්‍ය්‍යාවෙනි තෙල මහණ තෙමේ වනාහි ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් සමඟ සඟහු විසින් උඛෙව්නීකම් කරන ලද්දෙකැ, අනදරබව ඇතියෙකැ, පිළියම් නැතියෙකැ. නො කළ සහාය බව ඇතියෙකි. ආර්‍ය්‍යාවෙනි තෙල මහණහු අනුවැ නහමක් වැටේව” යි. කිය යුත්තී ය. දෙවනවටදු කිය යුත්තී යැ ... තෙවනවටදු කියයුත්තී යැ ... ඉදින් (එය) දුරැලන්නී නම් තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලන්නී නම් දුකුළා ඇවැත් වෙයි. අසා නො කියත් නම් දුකුළා ඇවැත් වෙයි. එ මෙහෙණ සඟ මැදට ඇදපියා කිය යුත්තී යැ. “ආර්‍ය්‍යාවෙනි තෙල මහණ තෙමේ වනාහි ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් සමඟ සඟහු විසින් උඛෙව්නීකම් කරන ලද්දෙකැ, අනදර බව ඇතියෙකැ, පිළියම් නැතියෙකැ, නො කළ සහාය බව ඇතියෙකි. ආර්‍ය්‍යාවෙනි තෙල මහණහු අනුවැ නහමක් වැටේව” යි. දෙවනවටදු කිය යුත්තී යැ – තෙවනවටදු කිය යුත්තී යැ – ඉදින් දුරැලන්නී නම් තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලන්නී නම් දුකුළා ඇවැත් වෙයි. එ මෙහෙණ සමනුභාෂණකර්‍ම කළ යුත්තී යැ.
මෙසේ ද වනාහි මහණෙනි සමනුභාෂණකර්‍ම කළ යුත්තී යැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
ආර්‍ය්‍යාවෙනි සඞ්ඝ තෙමේ මාවදන් අසාවා. මේ මෙනම් ඇති මෙහෙණ ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් සමඟ සඟහු විසින් උඛෙව්නීකම් කළ අනදරබව ඇති පිළියම් රහිත වූ නො කළ සහාය බව ඇති මහණක්හු අනුවැ වැටෙයි, ඕ තොමෝ ඒ වස්තුව නො දුරැලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙනම් ඇති මෙහෙණහට ඒ වස්තුව දුරැලීම පිණිස සමනුභාෂණකර්‍ම කරන්නේ යැ. මේ ඥප්තිය යි.
ආර්‍ය්‍යාවෙනි සඞ්ඝ තෙමේ මා වදන් අසාවා. මේ මෙනම් ඇති මෙහෙණ තොමෝ ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් සමඟ සඟහු විසින් උඛෙව්නීකම් කළ අනදරබව ඇති පිළියම් රහිත වූ නො කළ සහායබව ඇති මහණක්හු අනුවැ වැටෙයි. ඕ තොමෝ වස්තුව නො දුරැලැයි. සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මෙහෙණහට ඒ වස්තුව දුරැලීම පිණිස සමනුභාෂණකර්‍ම කරයි. ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් ඇති මෙහෙණහට සමනුභාෂණකර්‍ම කිරීම යම් ආර්‍ය්‍යාවකහට රුස්නේ නම් ඕ තොමෝ නිහඬ වේවා. යමක හට නො රුස්නේ නම් ඕ තොමෝ කියාවා. දෙවනවටදු තෙල කරුණ කියමි ... තෙවනවටදු තෙල කරුණ කියමි ... සඞ්ඝයා විසින් මෙනම් ඇති මෙහෙණ ඒ වස්තුව දුරැලීම පිණිස සමනුභාෂණකර්‍ම කරන ලද්දී යැ. සඞ්ඝයාහට රුස්නේ යැ, එහෙයින් නිහඬ වෙයි. මෙසේ මෙය දරමි යි.
ඥප්තියෙන් දුකුළා යැ. දෙ කම්වදනින් තුලැසි යැ. කම්වදන් පිරියතැ පරිජි ඇවැත් වේ.
අයම්පි: පළමු පරිජි වූ මෙහෙණන් ගෙන කියනු ලැබෙයි.
පාරාජිකා හොති: යම්සේ දෙකට බිඳුණු මහත් ගලෙක් යළි නො ගැළපිය හැකි වේ ද, එසේ මැ මෙහෙණ තොමෝ තුන්යළ තෙක් සමනුභාෂණකර්‍ම කිරීමෙන් නො දුරැලන්නී නම් නො මෙහෙණක් වූවා සැහැදුවක් වූවා වෙයි. එහෙයින් “පාරාජිකා හොති” යි කියනු ලැබේ.
අසංවාසා; සංවාස නම් එක්වැ විනයකර්‍ම කිරීම යැ, එක් වැ පාමොක් උදෙසීම යැ, සමසික ඇති බව යි, තෙලෙ සංවාස නම් වේ. ඒ සංවාසය තෙමේ ඇය සමග නැති, එහෙයින් අසංවාසා යි කියනු ලැබේ.
දැහැමිකම්හි දැහැමිකම් සන් ඇතියා නො දුරැලා නම් පරිජි ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇතියා නො දුරැලා නම් පරිජි ඇවැත් වෙයි. දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇතියා නො දුරැලා නම් පරිජි ඇවැත් වෙයි. නො දැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි.
සමනුභාෂණකර්‍ම නො කරන්නියට දුරැලන්නියට උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
තෘතීය පාරාජිකය නිමි.
1. 4.
චතුර්‍ත්‍ථ පාරාජිකය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එකල්හි වනාහි සවග මෙහෙණෝ රාගයෙන් තෙත්වූවාහු රාගයෙන් තෙත් වූ පිරිමි පුඟුලක්හුගේ අත් ගැන්ම ද ඉවසති. සඟළකොන් ගැන්ම ද ඉවසති, වැළතට පැමිණ ද සිටිති. සල්ලාප ද කෙරෙති, සලකුණු කළ තැනට ද යෙති, තමන් වෙතට පිරිම්නියක්හුගේ පැමිණීම ද ඉවසති, පිළිසන් තැනට ද පිවිසෙති, තෙල මෙවුන්දම් සෙවුනා පිණිස ඔහු සඳහා (තමන්ගේ) ශරීරය ද එළවත්.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ රාගයෙන් තෙත්වූවාහු රාගයෙන් තෙත් වූ පිරිමි පුඟුලක්හුගේ අත් ගැන්මත් ඉවසූහු ද? සඟළ කොන් ගැන්මත් ඉවසූහු ද? වැළතට පැමිණ සිටීමත් කොළෝ ද? සල්ලාපත් කොළෝ ද? සලකුණු කළ තැනටත් ගියෝ ද? තමන් වෙතට පිරිම්නියක්හුගේ පැමිණීමත් ඉවසූ ද? පිළිසන් තැනටත් පිවිසියෝ ද? තෙල මෙවුන්දම් සෙවුනා පිණිස ඔහු සඳහා ශරීරයත් එළවූහු දැයි. ... සැබෑ ද මහණෙනි සවග මෙහෙණෝ රාගයෙන් තෙත් වූවාහු රාගයෙන් තෙත් වූ පිරිමි පුඟුලක්හුගේ අත් ගැන්මත් ඉවසත් ද? සඟළකොන් ගැන්මත් ඉවසත් ද? වැළතට පැමිණ සිටීමත් කෙරෙත් ද? සල්ලාපත් කෙරෙත් ද? සලකුණු කළ තැනටත් යෙත් ද? තමන් වෙතට පිරිම්නියක්හුගේ පැමිණීමත් ඉවසත් ද? පිළිසන් තැනටත් පිවිසෙත් ද? තෙල මෙවුන්දම් සෙවුනා පිණිස ඔහු සඳහා ශරීරයත් එළවත් දැයි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ...
කෙසේ නම් සවග මෙහෙණෝ රාගයෙන් තෙත් වූවාහු රාගයෙන් තෙත් වූ පිරිමි පුඟුලක්හුගේ අත් ගැන්මත් ඉවසූහු ද? සඟළකොන් ගැන්මත් ඉවසූහු ද? වැළතට පැමිණ සිටීමත් කොළෝ ද? සල්ලාපත් කොළෝ ද? සලකුණු කළ තැනටත් ගියෝ ද? තමන් වෙතට පිරිම්නියක්හුගේ පැමිණීමත් ඉවසූහු ද? පිළිසන් තැනටත් පිවිසියෝ ද? තෙල මෙවුන්දම් සෙවුනා පිණිස ඔහු සඳහා ශරීරයත් එළවූහු ද? මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
යම් මෙහෙණක් රාගයෙන් තෙත්වූවාහු රාගයෙන් තෙත් වූ පිරිමි පුඟුලක්හුගේ අත් ගැන්ම හෝ ඉවසන්නී නම් සඟළකොන් ගැන්ම හෝ ඉවසන්නී නම් වැළැතට පැමිණ සිටින්නී නම් හෝ සල්ලාප හෝ කරන්නී නම් සලකුණු කළ තැනට හෝ යන්නී නම් තමා වෙතට පිරිම්නියක්හුගේ පැමිණීම හෝ ඉවසන්නී නම් පිළිසන් තැනට හෝ පිවිසෙන්නී නම් තෙල මෙවුන්දම් සෙවුනා පිණිස ඔහු සඳහා ශරීරය හෝ එළවන්නී නම් මෝ තොමෝ පරිජි වූවා සහවාසයට නො නිසි වූවා වෙයි – අට්ඨවත්‍ථුකා යැ.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
අවස්සුතා නම්: (කායසංසර්‍ගරාගයෙන්) මොනොවට රත් වූ (පිරිම්නියක්හු කෙරෙහි) අපේක්‍ෂායෙන් යුක්ත වූ පිළිබඳ සිත් ඇත්තී යැ.
අවස්සුත නම්: (කායසංසර්‍ගරාගයෙන්) මොනොවට රත් වූ (මාගමක කෙරෙහි) අපේක්‍ෂායෙන් යුක්ත වූ පිළිබඳ සිත් ඇත්තේ යැ.
පුරිසපූග්ගල නම්: මිනිස් පිරිම්නියෙකි. යක්‍ෂයෙක් නො වෙයි. ප්‍රේතයෙක් නො වෙයි. තිරිසන්ගියෙක් නො වේ. කායසංසර්‍ගයට සමවදින්නට දැනුමැති ප්‍රතිබලයෙකි.
හත්‍ථගහණං වා සාදියෙය්‍ය: හත්‍ථ නම් වැළමිට පටන් නිය අග තෙක් යැ. තෙල මෙවුන්දම් සෙවුනා පිණිස අකුඇටෙන් මතු දණමඬලෙන් යටැ ගැන්ම ඉවසා නම් තුලැසි ඇවැත් වේ.
සඞ්ඝාටිකණ්ණගහණං වා සාදිසෙය්‍ය: තෙල මෙවුන්දම් සෙවුනා පිණිස හැඳිවත හෝ පොරෝනාව හෝ ගැන්ම ඉවසා නම් තුලැසි ඇවැත් වේ.
සන්තිටෙඨය්‍ය වා: තෙල මෙවුන්දම් සෙවුනා පිණිස පිරිම්නියක් හුගේ වැළතෙහි සිටී නම් තුලැසි ඇවැත් වේ.
සල්ලපෙය්‍ය වා: තෙල මෙවුන්දම් සෙවුනා පිණිස පිරිම්නියක්හුගේ වැළතෙහි සිටියා කතාබහ කෙරේ නම් තුලැසි ඇවැත් වේ.
සංකෙතං වා ගච්ඡෙය්‍ය: තෙල මෙවුන්දම් සෙවුනා පිණිස පිරිම්නියක්හු විසින් ‘මෙ නම් ඇති පෙදෙසට එව’යි කියන ලද්දී යා නම් පියෙහි පියෙහි දුකුළා ඇවැත් වෙයි. පිරිම්නියාගේ අත්පසට පැමිණි කෙණෙහි තුලැසි ඇවැත් වේ.
පුරිසස්ස වා අබ්භාගමනං සාදියෙය්‍ය: තෙල මෙවුන්දම් සෙවුනා පිණිස තමා වෙතට පිරිම්නියක්හුගේ පැමිණීම ඉවසා නම් දුකුළා ඇවැත් වෙයි. අත්පසට පැමිණි කෙණෙහි තුලැසි ඇවැත් වේ.
ඡන්නං වා අනුපවිසෙය්‍ය: තෙල මෙවුන්දම් සෙවුනා පිණිස යම් කිසිවකිනුදු පිළිසන් පියෙසකට පිවිසි කෙණෙහි තුලැසි ඇවැත් වේ.
කායං වා තදත්‍ථාය උපසංහරෙය්‍ය: තෙල මෙවුන්දම් සෙවුනා පිණිස පිරිම්නියක්හුගේ වැළැතෙහි සිටියා ශරීරය එළවා නම් තුලැසි ඇවැත් වේ.
අයම්පි: පළමු පරිජි වූ මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.
පාරාජිකා හොති: යම් සේ මුදුන්සුන් තල්රුකෙක් යළි වැඩුමට නො නිසි වේද, එසේ මැ මෙහෙණ අටවැනි වස්තුව පුරවන්නී නො මෙහෙණක් වූවා නො සැහැ දුවක් වූවා වෙයි. එහෙයින් පාරාජිකා හොති යැයි කියනු ලැබේ.
අසංවාසා: සංවාස නම් එක් වැ විනයකර්‍ම කිරීම යැ. එක් වැ පාමොක් උදෙසීම යැ, සමසික ඇති බව යි, තෙලෙ සංවාස නම් වේ. ඒ සංවාස ඇය සමග නැති, එහෙයින් අසංවාසා යැයි කියනු ලැබේ.
නො සිතා කරන්නියට නො සිහියෙන් කරන්නියට නො දන්නියට නො ඉවසන්නියට උම්මත්තිකාවට ක්‍ෂිප්තචිත්තාවට වේදනාර්තාවට අදිකම්මිකාවට ඇවැත් නැති.
චතුර්‍ත්‍ථ පාරාජිකය නිමි.
4. ආර්‍ය්‍යාවෙනි අට පරිජි ඇවැත්හු උදෙසන ලදහු මැ යි. මෙහෙණක් තොමෝ යම් පරිජි කෙනකුන් අතුරෙන් එක්තරා එක්තරා ඇවැතකට පැමිණ මෙහෙණන් සමඟ සංවාසය නො ලබා ද, පෙරැ යම් සේ නම් පසු වැ එසේ සංවාසය නැත්තී පරිජි වූවා වෙයි. එහි ලා ආර්‍ය්‍යාවන් පිළිවිසිමි. කිම පිරිසුදුවහු ද? දෙවනවටදු පිළිවිසිමි, කිම පිරිසුදුවහු ද? තෙවනවටදු පිළිවිසිමි, කිම පිරිසුදුවහු ද? මෙහි ලා ආර්‍ය්‍යාවෝ පිරිසුදු හ. එහෙයින් නිහඬ වෙති. මෙසේ මෙය දරමි යි.
පාරාජික කාණ්ඩය නිමියේ යි.
2. සඞ්ඝාදිසේසකාණ්ඩය
2. 1.
ප්‍රථම සඞ්ඝාදිශේෂය
ආර්‍ය්‍යාවෙනි, මේ සතළොස් සඞ්ඝාදිසෙසධර්‍මයෝ උදෙසීමට පැමිණෙත්.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එකල්හි එක්තරා උපාසකයෙක් මෙහෙණසඟනට බඩුහලක් දී කලුරිය කෙළේ වෙයි. ඔහුට දෙපුත් කෙනෙක් වෙති. එකෙක් (බුදුසසුන්හි) සැදැහැ නැතියේ නො පහන් යැ. එකෙක් සැදැහැ ඇතියේ පහන් යැ. ඔහු පිය සතු ධනය බෙදූහු. එකල්හි ඒ සැදැහැ නැති නො පහන් පුත් ඒ සැදැහැ ඇති පහන් පුත්හට මෙය කීයැ: “අපගේ බඩුහලෙක් වෙයි. එය බෙදමු” යැයි. මෙසේ කී කල්හි ඒ සැදැහැ ඇති පහන්වූයේ ඒ සැදැහැ නැති නො පහන්වූවහුට මෙය කීයැ: “ආර්‍ය්‍ය තෙමේ මෙසේ නහමක් කියාවා: අපගේ පියහු විසින් මෙහෙණ සඟනට දෙන ලද්දේ” යැයි. දෙවනවටදු ඒ සැදැහැ නැති නො පහන්වූයේ ඒ සැදැහැ ඇති පහන්වූවහුට මෙය කීයැ; “අපගේ බඩුහලෙක් වෙයි. එය බෙදමු” යැයි. දෙවනවටදු ඒ සැදැහැ ඇති පහන්වූයේ ඒ සැදැහැ නැති නො පහන්වූවහුට මෙය කීයැ: “ආර්‍ය්‍ය තෙමේ මෙසේ නහමක් කියාවා: අපගේ පියහු විසින් මෙහෙණ සඟනට දෙන ලද්දේ” යැයි. තෙවනවටදු ඒ සැදැහැ නැති නොපහන්වූයේ ඒ සැදැහැ ඇති පහන්වූවහුට මෙය කීයැ: “අපගේ බඩුහලෙක් වෙයි. එය බෙදමු” යැයි. එකල්හි ඒ සැදැහැ ඇති පහන්වූයේ “ඉදින් මාහට වන්නේ නම් මමද මෙහෙණ සඟනට දෙන්නෙමැ” යි ඒ සැදැහැ නැති නොපහන්වූවහුට ‘බෙදම්හ’ යි කීයැ.
2. ඉක්බිති ඔවුන් විසින් බෙදනු ලබන ඒ බඩුහල ඒ සැදැහැ නැති නොපහන්වූවහුට පැමිණියේයැ, එකල්හි ඒ සැදැහැ නැති නොපහන්වූයේ මෙහෙණන් වෙත එළැඹැ තෙල කීයැ: “ආර්‍ය්‍යාවෙනි නික්මෙවු, බඩුහල අපගේ යැ” යි. මෙසේ කී කල්හි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඒ පුරුෂයාහට තෙල කිවූ යැ: ආර්‍ය්‍ය තෙමේ මෙසේ නහමක් කියාවා, තොපගේ පියහු විසින් මෙහෙණ සඟනට දෙන ලද්දේ” යැයි. දෙන ලද ද නො දෙන ලද ද දැයි අධිකරණ මහාමාත්‍රයන් පිළිවිසියහ. මහාමාත්‍රයෝ මෙසේ කීහු: “ආර්‍ය්‍යාවෙනි මෙහෙණ සඟනට දෙන ලදැයි කවරෙක් දනී” දැයි. මෙසේ කී කල්හි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඒ මහාමාත්‍රයන්හට මෙය කිවු යැ: “ආර්‍ය්‍යයෙනි තොප විසින් සාක්‍ෂ්‍ය තබාගෙන දෙනු ලබන දානයෙක් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේ” දැයි. එකල්හි ඒ මහාමාත්‍රයෝ ‘ආර්‍ය්‍යාව සැබැවක් කියා’යැයි ඒ බඩුහල මෙහෙණ සඟන සතු කළහ.
3. ඉක්බිති ඒ පුරුෂ තෙම පැරැදුණේ ලමු කොට සිතයි. නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් මේ මුඩු වඳ නො මෙහෙණෝ අපගේ බඩුහල අසිඳගත්හුදැ”යි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ මහාමාත්‍රයනට තෙල කරුණ දැන්වූ යැ. මහාමාත්‍රයෝ ඒ පුරුෂයහට දඩ ගැස්සූහ. එකල්හි ඒ පුරුෂ තෙමේ දඩ ගසන ලදුයේ මෙහෙණවරට නුදුරු තන්හි ආජීවක සෙනස්නක් කරවා ‘තෙල මෙහෙණන්හට ආක්‍රෝශ කරවු’ යැයි ආජීවිකයන් නඟා යැවී යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ තෙල කරුණ මහාමාත්‍රයන්හට දැන්වූ යැ. මහාමාත්‍රයෝ ඒ පුරුෂයා දඟගෙහි ලැවූහ. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “මෙහෙණහු පළමු කොට බඩුහල අසිඳගත්හ, දෙවනුවැ දඩගැස්සූහ, තෙවනුවැ දඟගෙහි ලැවූහ. දැන් මරවන්නාහ” යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන එ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.
4. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ අධිකරණ කරන්නී වුසූ” දැයි ... සැබෑ ද මහණෙනි ථුල්ලනන්‍දා තොමෝ භික්‍ෂුණී තොමෝ අධිකරණ කරන්නී වෙසේ දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ අධිකරණ කරන්නී වුසූ ද, මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නොවෙයි ... මෙසේ මහණෙනි මෙහෙණහු මේ සිකපදය උදෙසත්වා:
යම් මෙහෙණක් ගැහැවියකු හෝ ගැහැවිපුතකු හෝ දසකු හෝ කම්කරුවකු හෝ යටත්පිරිසෙයින් මහණ පිරිවැජියකුදු සමග අධිකරණ කරන්නී වෙසේ නම් මේ මෙහෙණ පළමු (විකුම්කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතුවූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ යැයි.
5. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණීයයි.
උස්සයවාදිකා නම්: අට්ටකාරිකා කියනු ලැබෙයි.
ගහපති නම්: යම් කිසිවෙක් ගිහිගෙයි වෙසේ ද (හේ යැ.)
ගහපතිපුත්ත නම්: යම්කිසි දරුවන් හා බෑයන් ඇත්තෙකි.
දාස නම්: අන්තොජාත යැ ධනක්කීත යැ කරමරානීත යි.
කම්මකර නම්: හතක යැ ආහතක යි.
සමණපරිබ්බාජක නම්: මහණ ද මෙහෙණ ද සික්මනුව ද හෙරණ ද හෙරැණිය ද තබා යම් කිසි පිරිවැජිබවට පැමිණියෙකි.
අධිකරණයක් කරන්නෙ මැ යි දෙවැන්නකු සොයා නම් හෝ යේ නම් හෝ දුකුළා ඇවැත් වෙයි. එකක්හට ඇරොජා නම් දුකුළා ඇවැත් වෙයි. දෙවැන්නකුට ඇරොජා නම් ථුලැසි ඇවැත් වෙයි. අධිකරණය අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
පඨමාපත්තිකං: වස්තුව්‍යතික්‍රමණය සමඟ මැ පැමිණෙයි, සමනුභාෂණකර්‍මයෙන් නො වේ.
නිස්සාරණීයං: සඟහු කෙරෙන් නෙරනු ලබයි.
සඞ්ඝාදිසේසො: සඞ්ඝ තෙමේ මැ ඒ ඇවැතට මානත දෙයි, මූලාය පටිකස්සන කර්‍ම කෙරෙයි, අබ්භාන කර්‍ම කෙරෙයි, කැඳවයි, සම්බහුලයෝ නො වෙති. එක් මෙහෙණක් ද නො වෙයි. එහෙයින් සඞ්ඝාදිසේස යැයි කියනු ලැබෙයි. ඒ ආපත්ති සමූහයට මැ නාමකර්‍ම යැ අධිවචන යි. එයිනුදු සඞ්ඝාදිසේස යැයි කියනු ලැබේ.
මිනිසුන් විසින් අදනා ලබන්නී යා නම්, රැකවරණය යදී නම් නො උදෙසා කියා නම් ඇවැත් නො වේ, උම්මත්තිකාවහට ... අදිකම්මිකාවහට ඇවැත් නැති.
ප්‍රථම සඞ්ඝාදිශේෂ යි.
2. 2.
ද්‍විතීය සඞ්ඝාදිශේෂය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි විසල්පුරැ එක්තරා ලිච්ඡවියකුගේ භාර්‍ය්‍යා තොමෝ ඉක්මවා හැසිරෙන්නී වෙයි, එකල්හි ඒ ලිච්ඡවි තෙමේ ඒ ස්ත්‍රියට මෙය කීයැ: “මැනැවි විරමණය වව, තාහට නපුරක් කරන්නෙමැ” යි, මෙසේත් කියනු ලබන්නී නො පිළිගතු. එසමයෙහි වනාහි විසල්පුරැ ලිච්ඡවි ගණයා කිසියම් කටයුත්තක් හේතු කොට ගෙන රැස්වූයේ වෙයි. එකල්හි ඒ ලිච්ඡවි තෙමේ ඒ ලිච්ඡවීනට මෙය කීයැ: “ආර්‍ය්‍යයෙනි, එක් ස්ත්‍රියක මාහට අනුදනුව” යි. හෝ නම් කවර යැ? මාගේ භාර්‍ය්‍යාව ඉක්මවා හැසිරෙයි. ඇය නසා ලන්නෙමැයි, දනුව යි (කීයැ.)
2. ඒ ස්ත්‍රී තොමෝ ‘සැමියා මා නසාලනු කැමැත්තේ ලැ’යි ඇසූයැ, වරබඩු රැගෙන සැවැතට ගොස් තොටුවන් වෙත එළඹ පැවිද්ද යැදූ යැ, තොටුවෝ පැවිදි කරවන්නට නො කැමැති වූහු. මෙහෙණන් වෙත එළඹ පැවිද්ද යැදූ යැ. මෙහෙණෝත් පැවිදි කරවන්නට නො කැමැති වූහු, ථුල්ලනන්‍දා භික්‍ෂුණිය වෙත එළඹ බඩුපොදිය දක්වා පැවිද්ද යැදූ යැ, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ බඩුපොදිය ගෙන පැවිදි කරවූ යැ.
3. ඉක්බිති ඒ ලිච්ඡවි තෙමේ ඒ ස්ත්‍රිය සොයන්නේ සැවැතට ගොස් මෙහෙණන් කෙරෙහි පැවිදිවූවහු දැක පසේනදි කොසොල් රජු වෙත එළඹියේ යැ, එළඹ පසේනදි කොසොල් රජුහට මෙය කීයැ: “දේවයෙනි, භාර්‍ය්‍යාව වරබඩු රැගෙන සැවැතට පැමිණියා යැ, දේවතෙමේ ඇය අනුදනීව” යි, එසේ නම් කොළෙනි, සොයා කියවයි. දේවයෙනි, මෙහෙණන් කෙරෙහි පැවිදිවූවා දක්නා ලද්දී යැ. ඉදින් කොළෙනි, මෙහෙණන් කෙරෙහි පැවිදි වූ නම් ඕතොමෝ කිසිවක් කරන්නට නො ලබන්නී යැ, ධර්‍මය ස්වාඛ්‍යාත යැ, මැනැවින් දුක් කෙළවර කිරීම පිණිස බඹසර කෙරේව යි.
4. එකල්හි ඒ ලිච්ඡවි තෙමේ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් මෙහෙණෝ සෙරක පැවිදි කරවූහු දැ” යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ ලිච්ඡවිහුගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.
5. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ සෙරක පැවිදි කරවූ” දැයි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණිය සෙරක පැවිදි කරවූදැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණිය සෙරක පැවිදි කරවු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන් ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය මෙසේ උදෙසත්වා:
යම් මෙහෙණක් තොමෝ දැනැ දැනැ වධයට සුදුසු වූ (එසේ) දන්නා ලද්දා වූ සෙරක රජහු හෝ සඟහු හෝ ගණයා හෝ මුළුව හෝ ශ්‍රේණිය හෝ නො පිළිවිසැ පෙර පැවිදි වූවක තබා උපසපන් කරවා නම් මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ යැයි.
6. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
ජානාති නම්: තොමෝ හෝ දනී, අන්හු හෝ ඇයට ඇරොජත්, ඕතොමෝ හෝ ඇරොජයි.
චෝරී නම්: යමක් පස්මස්සක් හෝ අයිරා පස්මස්සක් හෝ අගනා නුදුන් දැයක් සොරසිතින් ගනී නම් මෝ තොමෝ සෙර නමු.
වජ්ඣා නම්: යම් කර්‍මයක් කොට වධයට සුදුසු වූවා වෙයි.
විදිතා නම්: සෙසු මිනිසුන් විසින් ‘මෝ තොමෝ වධයට සුදුසු වූවා’ යැයි දන්නා ලද්දී වෙයි.
අනපලෝකෙත්‍වා: නො පිළිවිසැ,
රාජ නම්: යම් තැනෙක රජෙක් අනුශාසනය කෙරේ නම් රජතෙමේ පිළිවිසිය යුත්තේ යැ.
සඞ්ඝ නම්: භික්‍ෂුණීසඞ්ඝයා කියනු ලැබෙයි. භික්‍ෂුණීසඞ්ඝ තෙමේ පිළිවිසිය යුත්තේ යැ.
ගණ නම්: යම් තැනෙක (මල්ලගණාදි) ගණයෙක් අනුශාසනය කෙරේ නම් ගණයා පිළිවිසිය යුත්තේ යැ.
පූග නම්: යම් තැනෙක පුඤ්‍ඤ කාරකාදි මුළුවෙක් අනුශාසනය කෙරේ නම් මුළුව පිළිවිසිය යුත්තේ යැ.
සෙණී නම්: යම් තැනෙක ගන්‍ධිකාදි ශ්‍රේණියෙක් අනුශාසනය කෙරේ නම් ශ්‍රේණිය පිළිවිසිය යුත්තේ යි.
අඤ‍්‍ඤත්‍ර කප්‍පා: කැප බවට ගියක තබා කප්ප නම්: දෙ කැපයෙකි තොටුවන් කෙරෙහි හෝ පැවිදිවූවා වෙයි, අන් මෙහෙණන් කෙරෙහි හෝ පැවිදිවූවා වෙයි, කැපබවට ගියක තබා උපසපන් කරවන්නෙ මැයි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාවක් හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, ඥප්තියෙන් දුකුළා යැ දෙකම් වදනින් තුලැසි යැ, කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණහට සඟවෙසෙස් ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරහට දුකුළා ඇවැත් වේ.
අයම්පි: පළමු සඟවෙසෙස් අවනක ගෙන කියනු ලැබෙයි.
පඨමාපත්‍තිකං: වස්තුව්‍යතික්‍රමණය සමග මැ පැමිණෙයි, සමනුභාෂණ කර්‍මයෙන් නො වෙයි.
නිස්‍සාරණීයං: සඟහු කෙරෙන් නෙරනු ලබයි.
සඞ්ඝාදිසේසො: සඞ්ඝ තෙමේ මැ ඒ ඇවැතට මානත දෙයි, මූලාය පටිකස්සනය කෙරෙයි, අබ්භාන කර්‍ම කෙරෙයි. සම්බහුලයෝ නො වෙති, එක් මෙහෙණක් ද නො වෙයි, එහෙයින් සඞ්ඝාදිසේස යැයි කියනු ලැබෙයි, ඒ ආපත්ති සමූහයට මැ නාමකර්‍ම යැ අධිවචන යි. එයිනුදු සඞ්ඝාදිසේස යැයි කියනු ලැබේ.
සෙරක කෙරෙහි සෙරකැයි සන් ඇතියා කැපබවට ගියක තබා උපසපන් කරවා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, සෙරක කෙරෙහි විමති ඇතියා කැපබවට ගියක තබා උපසපන් කරවා නම් දුකුළා ඇවැත් වෙයි, සෙරක කෙරෙහි නො සෙර සන් ඇතියා කැපබවට ගියක තබා උපසපන් කරවා නම් ඇවැත් නැති, නො සෙර කෙරෙහි සෙරකැයි සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි, නො සෙර කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි, නො සෙර කෙරෙහි නො සෙර සන් ඇතියා නම් ඇවැත් නැති.
නො දන්නී උපසපන් කරවා නම්, පිළිවිසැ උපසපන් කරවා නම්, කැපබවට ගියක උපසපන් කරවා නම්, ඇවැත් නො වේ, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
ද්විතීය සඞ්ඝාදිශේෂ යි.
2. 3.
තෘතීය සංඝාදිශේෂය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති, එසමයෙහි වනාහි භද්‍රා කාපිලානියගේ අතැවැසි මෙහෙණක් මෙහෙණන් සමග ඩබර කොට ගම්බද නෑකුලයකට ගියා යැ. භද්‍රා කාපිලානී තොමෝ එ මෙහෙණ නො දක්නී මෙහෙණන් පිළිවුසූ යැ. “මෙනම් ඇත්තී කොහිදැයි නො දක්නා ලැබේ” යැයි. ආර්‍ය්‍යාවෙනි, මෙහෙණන් සමග ඩබර කොට නො දක්නා ලැබේ යැයි. මෑණිවරුනි, අසුවල් ගමෙහි මැයගේ නෑ කුලයෙක් වෙයි. එහි ගොස් සොයා බලව යි කිවු යැ. මෙහෙණෝ එහි ගොස් එ මෙහෙණ දැක මෙය කීහු. “ආර්‍ය්‍යාවෙනි, තෝ කුමකට හුදෙකලා වැ අවු ද? කිම නො නසනලදු දැයි, ආර්‍ය්‍යාවෙනි, නො නසන ලදුයෙම් වෙමැයි (කිවුයැ.)
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා අන්ගමකට ගියා” දැයි ... ... සැබෑ ද මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා අන්ගමකට යා දැයි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ “කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා අන්ගමකට ගියා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි, ... මෙසේ ද වනාහි මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා අන් ගමකට යා නම් මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ යැයි.
මෙසේ මේ සිකපදය භාග්‍යවතුන් විසින් මෙහෙණන්හට පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි මෙහෙණෝ දෙදෙනෙක් සාකේතයෙන් සැවැතට (යනු පිණිස) අදන්මඟට පිළිපන්නාහු වෙති, අතරැමඟෙහි නදියක් තරණය කළ යුතු වෙයි, එකල්හි ඒ මෙහෙණෝ නැවියන් වෙත එළැඹ මෙය කීහු, “ඇවැත්නි, අප එතර කරවන්නහු නම් මැනැවැ” යි, ආර්‍ය්‍යාවෙනි, දෙදෙන එක්වැ වරකට එතර කරවන්නට නො හැක්කැයි. එකෙක් එකක එතර කැරැවීයැ. එතර වූයේ එතර වූවහු දූෂණය කෙළේ යැ, එතර නො වූයේ එතර නො වූවහු දූෂණය කෙළේ යි, ඔහු පසුවැ එකතු වැ පිළිවුසූහු. කිම, ආර්‍ය්‍යාවෙනි, නො නසන ලද දැයි, ආර්‍ය්‍යාවෙනි, නසන ලදුයෙම් වෙමි, ආර්‍ය්‍යාවෙනි, තෙපි නො නසන ලද්දවු දැයි, ආර්‍ය්‍යාවෙනි, නසන ලදුයෙම් වෙමි යි කිවු යැ.
4. ඉක්බිති ඒ මෙහෙණෝ සැවැතට ගොස් මෙහෙණන්හට තෙල කරුණ සැලකළහ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා (ගඟෙකින් එතෙරට) ගියා” දැයි ... සැබෑ ද මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා ගඟෙකින් එතෙරට යා දැයි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... “කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා ගඟෙකින් එතෙරට ගියා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි, ... මෙසේ මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා අන්ගමකට යා නම් හෝ හුදෙකලා වූවා ගඟෙකින් එතෙරට යා නම් මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ යැයි.