1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ නිල් තණ ආදියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කෙරෙත් ...
“නො ගිලන් වූයෙම් නිල් තණ ආදියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ නො කරන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. නො ගිලන්හු විසින් නිල් තණආදියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ නො කළ යුතු යි. යමෙක් අනාදරිය පිණිස නො ගිලන් වැ නිල් තණ ආදියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, නො නිල්තණ ආදියෙහි කරන ලද දැයෙක් නිල් තණ වතුරුවා නම්, ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
චතුර්‍දශ ශික්‍ෂාපද යි.
8. 7. 15.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණෝ දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කෙරෙත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ කාමභෝගී ගිහියන් මෙන් දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කොළෝ” දැ යි.
2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්‍තතිශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණෝ දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කොළෝ” දැ යි. ... සැබෑ ද මහණෙනි, තෙපි දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළගැසීම හෝ නො කරන්නෙමි යි හික්මියැ යුතු” යි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි ගිලන් වූ මහණෝ දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළගැසීම ද කරන්නට කුකුසත්. භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමැතූසේකැ. “මහණෙනි, ගිලන් මහණහු විසින් දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළගැසීම ද කරන්නට අනුදනිමි”. මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“නො ගිලන්වූයෙම් දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ නො කරන්නෙමි යි හික්මියැ යුතු” යි.
4. නො ගිලන්හු විසින් දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ නො කළයුතු යි. යමෙක් අනාදරිය පිණිස නො ගිලන් වැ දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ගොඩබිමැ කරන ලද දැයෙක් ජලය වතුරුවා නම්, ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තකයහට, ක්‍ෂිප්තචිත්තයහට, වේදනාර්‍තයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
පඤ්චදශ ශික්‍ෂාපද යි.
සත්වන පාදුකාවර්‍ග යි.
උද්දානය:
පරිමණ්ඩල යැ සුපටිච්ඡන්න යැ සුසංවුත යැ ඔක්ඛිත්තචක්ඛුසිඛය සමග උක්ඛිත්තකාය යැ උජ්ජග්ඝිකාය යැ අප්පසද්‍ද යැ කායප්පචාලක - බාහුප්පචාලක - සීසප්පචාලක යන තිදෙන ද,
ඛම්භකත යැ ඔගුණ්ඨිත යැ උක්කුටිකාය යැ පල්ලත්‍ථිකාය සිඛය සමග සක්කච්ච යැ පත්තසඤ්ඤි යැ සමසූපක යැ සමතිත්තිකය ද,
සක්කච්ච යැ පත්තසඤ්ඤ යැ සපදාන යැ සමසූපක යැ ථූපතෝ සිඛය ද පටිච්ඡන්න යැ උජ්ඣානසඤ්ඤිසිඛය සමග විඤ්ඤත්තිය ද.
නාතිමහන්ත යැ පරිමණ්ඩල යැ මුඛද්වාරය යැ සබ්බහත්‍ථ යැ බ්‍යාහරණ යැ පිණ්ඩුකෙඛපක යැ කබලාවච්ඡේදක යැ අවගණ්ඩකාරක යැ හත්‍ථනිද්ධුක යැ සිත්‍ථාවකාරක ය ද,
ජිව්හානිච්ඡාරක යැ චපුචපුකාරක යැ සුරුසුරුකාරකය සමග හත්‍ථනිල්ලෙහක යැ පත්තිනිල්ලෙහක යැ ඔට්ඨනිල්ලෙහක යැ සාමිස යැ සසිත්‍ථකය ද,
තථාගතවරයෝ ඡත්තපාණියහට සදහම් නො දෙසත්, දණ්ඩපාණිහට ද සත්‍ථපාණිහට ද ආයුධපාණිහට ද මෙසෙයින් මැ නො දෙසත්,
පාදුකා - උපාහනාරූඪයහට ද යාන - සයනගතයහට ද පල්ලත්‍ථිකා නිසින්නයහට ද වෙඨිත - ඔගුණ්ඨිතසීසයහට ද නො දෙසත්.
බිමැ හා මිටිඅස්නෙහි හුන්නහු විසින් ද සිටියහු විසින් ද පසු වැ යන්නහු විසින් ද නො මගින් යන්නහු විසින් ද දහම් නො දෙසිය යුතු යැ. නිල්තණ ආදියෙහි හා දියෙහි (මළ මූ ඈ) නො කළ යුතු යි.
ඒ වර්‍ගයන්ගේ උද්දානය:
පරිමණ්ඩල යැ උජ්ජග්ඝික යැ ඛම්භකත යැ සක්කචච්ච යැ කබළ යැ සුරුසුරු යැ සත්වන පාදුකාවර්‍ගයෙන් දැ යි.
අතිදේව වූ ගෞතම යශස්වීන් විසින් ශ්‍රාවකයන් හික්මවනු පිණිස පන්සැත්තෑ සේඛිය ධර්‍මයෝ පනවන ලදහු යි.
ආයුෂ්මත්නි, සේඛියා ධර්‍මයෝ උදෙසන ලදහු. එහි ලා ආයුෂ්මතුන් පුලුවුස්මි, කීම පිරිසුදුවහු ද? දෙවනවට දු පුලුවුස්මි, කීම පිරිසුදුවහු ද? තෙවනවට දු පුලුවුස්මි, කිම පිරිසිදුවහු ද? මෙහි ලා ආයුෂ්මත්හු පිරිසුදුහ. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි.
සේඛියධර්‍මයෝ යි.
ආයුෂ්මත්නි, මේ සප්ත අධිකරණශමථධර්‍මයෝ උදෙසීමට පැමිණෙත්.
1. උපනුපන් (විවාදාදි) අධිකරණයන්ගේ ශමනය පිණිස ව්‍යුපශමය පිණිස සම්මුඛාවිනය දියයුත්තේ යැ, සතිවිනය දියයුත්තේ යැ, අමූළ්හවිනය දියයුත්තේ යැ, ප්‍රතිඥායෙන් කැරැවිය යුතු යැ, යේභුය්‍යසිකා යැ, තස්සපාපිය්‍යසිකා යැ, තිණවත්‍ථාරක යි.
2. ආයුෂ්මත්නි, සප්ත අධිකරණශමථධර්‍මයෝ උදෙසන ලදහ. එහි ලා ආයුෂ්මතුන් පුලුවුස්මි, කිම පිරිසුදුවහු ද? දෙවනවටදු පුලුවුස්මි, කිම පිරිසුදුවහු ද? තෙවනවටදු පුලුවුස්මි, කිම පිරිසුදුවහු ද? මෙහි ලා ආයුෂ්මත්හු පිරිසුදුහ. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි.
අධිකරණශමථයෝ යි.
3. ආයුෂ්මත්නි, නිදානය උදෙසන ලදී. සතර පාරාජිකධර්‍මයෝ උදෙසන ලදහ, තෙළෙස් සඞ්‍ඝාදිසේස ධර්‍මයෝ උදෙසන ලදහ. දෙ අනියත ධර්‍මයෝ උදෙසන ලදහ. තිස් නිස්සග්ගියපාචිත්තිය ධර්‍මයෝ උදෙසන ලදහ. දෙඅනූ පාචිත්තිය ධර්‍මයෝ උදෙසන ලදහ. සතර පාටිදේසනීය ධර්‍මයෝ උදෙසන ලදහ. සේඛිය ධර්‍මයෝ උදෙසන ලදහ. සප්ත අධිකරණසමථ ධර්‍මයෝ උදෙසන ලදහ. ඒ භාග්‍යවතුන්ගේ සූත්‍රසංඛ්‍යාත භික්‍ෂුවිභඞ්ගයෙහි ආවා වූ භික්‍ෂුවිභඞ්ගයට ඇතුළත් වූ මෙතෙක් (සිඛ) අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයි. සමග වූ සතුටු වන විවාද නො කරන හැමදෙනා විසින් මැ එහි ලා හික්මියැ යුතු යි.
භික්ඛුවිභඞ්ය නිමියේ යි.
විනයපිටකයෙහි
පාචිත්තියපාළි
භික්‍ෂුණීවිභඞ්ගය
1. පාරාජිකකාණ්ඩය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා
1. 1.
පළමුවන පරිජිය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරැ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරෙහි වැඩැවසන සේකැ. එසමයෙහි සාළ්හ මිගාරනප්තෘ තෙමේ භික්‍ෂුණීසඞ්ඝයාහට වෙහෙරක් කරනු කැමැත්තේ වෙයි. එකල්හි සාළ්හ මිගාරනප්තෘ තෙමේ මෙහෙණන් වෙත එළැඹැ තෙල කී යැ. “ආර්‍ය්‍යාවෙනි, මම භික්‍ෂුණී සඞ්ඝයාහට වෙහෙරක් කරනු කැමැත්තෙමි, මාහට නවකම් විදහන මෙහෙණක දෙනුමැනැව’ යි. එසමයෙහි වනාහි නන්‍දා යැ නන්‍දවතී යැ සුන්‍දරීනන්‍දා යැ ථුල්ලනන්‍දා යැ යි සතර බුහුන කෙනෙක් මෙහෙණන් කෙරෙහි පැවිදි වූවාහු වෙති. ඔවුනතුරෙන් සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ තුරුණුවියෙහි පැවිදිවූවා වෙයි. විශිෂ්ට රූ ඇත්තී දැකුම්කලු වූවා පැහැදුම් එළවන්නී පණ්ඩිත වූවා ව්‍යක්ත වූවා නුවණැති වූවා දක්‍ෂ වූවා අනලස් වූවා වෙයි. ඒ ඒ කර්‍මවිෂයෙහි උපාය වූ කළයුතු කම්හි විමසුම් නුවණින් යුතු වූවා ඒ ඒ කර්‍ම කරන්නට ද සංවිධාන කරන්නට ද සමර්‍ත්‍ථ වූවා වෙයි. ඉක්බිති භික්‍ෂුණීසඞ්ඝ තෙමේ සුන්‍දරීනන්‍දා භික්‍ෂුණිය සම්මත කොට සාළ්හ මිගාරනප්තෘ හට නවකැමියක කොට දුන්නේ යැ. එසමයෙහි වනාහි සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ සාළ්හ මිගාරනප්තෘහුගේ නිවෙසට නිතර නිතර යයි. ‘වෑයක් දෙව, පොරොවක් දෙව, කෙටේරියක් දෙව, උදැල්ලක් දෙව, නියනක් දෙව’ යි, සාළ්හ මිගාරනප්තෘ තෙමේත් කළදැය නො කළ දැය දැනගන්නට මෙහෙණවරට නිතර නිතර යයි. ඔහු දෙදෙන නිතර නිතර දැක්මෙන් පිළිබඳ සිත් ඇතියෝ වූහු. එකල්හි සාළ්හ මිගාරනප්තෘ තෙමේ සුන්‍දරීනන්‍දා භික්‍ෂුණිය දූෂණය කරන්නට අවසරයක් නො ලබන්නේ තෙල කරුණ මැ සඳහා භික්‍ෂුණීසඞ්ඝයාට බතක් (පිළියෙළ) කෙළේ යැ. එකල්හි සාළ්හ මිගාරනප්තෘ තෙමේ භක්තාග්‍රයෙහි අසුන් පනවන්නේ මෙතෙක් භික්‍ෂුණීහු ආර්‍ය්‍යා සුන්‍දරීනන්‍දාවට වැඩිමහලු හයි එකත්පසෙකැ අසුන් පැනැවීයැ. මෙතෙක් දෙනා නවක තරහයි එකත්පසෙකැ අසුන් පැනැවී යැ. ස්ථවිර භික්‍ෂුණීහු (ඕතොමෝ) නවක භික්‍ෂුණීන්ගේ සමීපයෙහි හිනැයි යම්සේ දන්නාහු නම් නවක භික්‍ෂුණී හුදු (ඕතොමෝ) ස්ථවිර භික්‍ෂුණීන්ගේ සමීපයෙහි හිනැයි යම්සේ දන්නාහු නම් එසේ සුන්‍දරීනන්‍දා මෙහෙණහට පිළිසන් අගුකොන් පෙදෙසෙකැ අසුනක් පැනවී යැ.
2. ඉක්බිති සාළ්හ මිගාරනප්තෘ තෙමේ “ආර්‍ය්‍යාවෙනි, බත (පිළියෙළ කොට) නිමවන ලදී, (එයට) සුදුසු කලැ’යි භික්‍ෂුණී සඞ්ඝයාහ කල් දැන්වීයැ. සුන්‍දරීනන්‍දා භික්‍ෂුණි තොමෝ (නුවණින්) සලකා “සාළ්හ මිගාරනප්තෘ තෙමේ කළ බුහුමන් ඇතියේ භික්‍ෂුණී සඞ්ඝයාහට බත පිළියෙළ නො කෙළේ යැ. හේ මා දූෂණය කරනු කැමැත්තේ වෙයි. ඉදින් මම යන්නෙම් නම් මාගේ විප්‍රකාර ශබ්දය වන්නේ” යි අතැවැසි මෙහෙණකට ඇණවූයැ: යා, මා හට පිණ්ඩපාතය ගෙනැ එව, යමෙකුත් මා ගැන පිළිවිසී නම් ගිලනැයි (ඔහුට) දන්වාලව යි. එසේ යැ ආර්‍ය්‍යාවෙනි යි ඒ මෙහෙණ සුන්‍දරීනන්‍දා මෙහෙණට පිළිවදන් දුන්නා යැ.
3. එසමයෙහි සාළ්හ මිගාරනප්තෘ තෙමේ බිහිදොර කොටුයෙහි සුන්‍දරීනන්‍දා මෙහෙණ පිළිවිසිමින් සිටියේ වෙයි: “ආර්‍ය්‍යාවෙනි, ආර්‍ය්‍යා සුන්‍දරීනන්‍දා කොහි ද? ආර්‍ය්‍යාවෙනි, ආර්‍ය්‍යා සුන්‍දරීනන්‍දා කොහි” දැයි. මෙසේ කී කල්හි සුන්‍දරීනන්‍දා මෙහෙණගේ අතැවැසි මෙහෙණ තොමෝ සාළ්හ මිගාරනප්තෘහට තෙල කිවු යැ: “ඇවැත, ගිලන් යැ පිණ්ඩපාතය ගෙන යන්නෙමි’ යි. එකල්හි සාළ්හ මිගාරනප්තෘ තෙමේ යමක සඳහා මම මෙහෙණසඟනට බත (පිළියෙළ) කෙළෙම් ද (ඒ) සුන්‍දරීනන්‍දා ආර්‍ය්‍යාව සඳහා යී මිනිසුන් අණවා බතින් මෙහෙණසඟන වළඳවවු’ යි කියා මෙහෙණවර වෙතැ එළැඹියේ යැ.
4. එසමයෙහි සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ සාළ්හ මිගාරනප්තෘහු බලාපොරොත්තු වන්නී අරමැ පවුරෙන් පිටතැ සිටියා වෙයි. සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ සාළ්හ මිගාරනප්තෘහු එන්නහු දුර දී මැ දැකැ මෙහෙණවරට පිවිස හිස සහිත වැ පෙරෙවැ ඇඳෙහි හොත්තා යැ. එකල්හි සාළ්හ මිගාරනප්තෘ තෙමේ සුන්‍දරීනන්‍දා මෙහෙණ වෙතැ එළඹියේ යැ. එළැඹ සුන්‍දරීනන්‍දා මෙහෙණට තෙල කී යැ: “ආර්‍ය්‍යාවෙනි, ඔබට අපහසු කිමැ, කුමට හෝ වී” දැයි. ඇවැත්නි, තෙල නො රිසියකු කැමැති වන්නකුට සේ යැයි, ආර්‍ය්‍යාවෙනි, කිම මම තොප නො කැමැතියෙම් ද? වැළිදු මම දූෂණයට අවකාශ නො ලබමි යි කා සසඟරායෙන් තෙත් වූයේ කා සසඟරායෙන් තෙත්වූ සුන්‍දරීනන්‍දා මෙහෙණ හා කායසංසර්‍ගයට පැමිණියේ යි.
5. එසමයෙහි එක්තරා මෙහෙණක් ජරායෙන් දුබලවූවා ගිලන්පා ඇතියා සුන්‍දරීනන්‍දා මෙහෙණට නුදුරුතන්හි උන්නා වෙයි. ඒ මෙහෙණ රාගයෙන් තෙත් වූ සාළ්හ මිගාරනප්තෘහු රාගයෙන් තෙත් වූ සුන්‍දරීනන්‍දා මෙහෙණ හා කායසංසර්‍ගයට සමවදනහු දුටුවා යැ. දැකැ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි “කෙසේ නම් රාගයෙන් තෙත්වූ සුන්‍දරීනන්‍දා ආර්‍ය්‍යා තොමෝ රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ කායසංසර්‍ගය ඉවසූ” දැයි.
6. ඉක්බිති ඒ මෙහෙණ මෙහෙණන්හට තෙල කරුණ දැන්වූ යැ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ සතොස් ගුණැති යෝ ලජ්ජනියෝ හටගත් කුකුස් ඇතියෝ ශික්‍ෂාකාමිනියෝ වෙද්ද ඔහු තුමූ ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවති: “කෙසේ නම් සුන්‍දරීනන්‍දා ආර්‍ය්‍යා තොමෝ රාගයෙන් තෙත්වූවා රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ කායසංසර්‍ගය ඉවසූ”දැයි. එකල්හි ඒ මෙහෙණෝ මහණුන් හට තෙල කරුණ දැන්වූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ සතොස් ගුණැතියෝ ලජ්ජා ඇතියෝ හටගත් කුකුස් ඇත්තෝ ශික්‍ෂාකාමීහු වෙද්ද, ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් “කෙසේ නම් සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ රාගයෙන් තෙත්වූවා රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ කායසංසර්‍ගය ඉවසූ” දැයි. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්හට තෙල කරුණ සැලකළහ.
7. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා භික්‍ෂු සඞ්ඝයා රැස්කරවා භික්‍ෂූන් පිළිවුසූ සේකැ සැබෑද මහණෙනි: සුන්‍දරීනන්‍දා මෙහෙණ රාගයෙන් තෙත් වූවා රාගයෙන් තෙත්වූ පිරිම්නියක්හුගේ කායසංසර්‍ගය ඉවසූ දැයි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ. මහණෙනි, සුන්‍දරීනන්‍දා මෙහෙණ විසින් කරන ලද්ද නො සුදුසු යැ, නො අනුලොම් යැ, නො නිසි යැ, නො මහණකම් යැ, නො කැප යැ, නො කළයුතු යැ. “කෙසේ නම් මහණෙනි රාගයෙන් තෙත් වූ සුන්‍දරීනන්‍දා මෙහෙණ රාගයෙන් තෙත්වූ පිරිම්නියක්හුගේ කායසංසර්‍ගය ඉවසූ” දැයි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ ප්‍රසන්නයන්ගේ අතිරේක ප්‍රසාදය පිණිස හෝ නො වේ මැයි. මහණෙනි හුදෙක් මේ වනාහි අප්‍රසන්නයන්ගේ අප්‍රසාදය පිණිස ද ප්‍රසන්නයන් කෙරෙනුදු ඇතැම් කෙනෙකුන්ගේ වෙනස්බව පිණිස ද (කරුණු) වේ මැයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සුන්‍දරීනන්‍දා මෙහෙණට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව්හි දුපුස්නා බැව්හි මහත් ගිජුබැව්හි නො සතුටුබැව්හි මුළුබැඳගැනුම්හි අලසබැව්හි නුගුණ වදාරා නොයෙක් කරුණෙන් සුබරබැව්හි සුපුස්නා බැව්හි අපිස්බැව්හි සතුටුබැව්හි සලේපැවැතුම්හි කෙලෙස් කැපුම්හි පැහැදුම් එළවීමෙහි නිවනෙහි වැර ඇරඹුම්හි ගුණ වදාරා මහණුන්හට එයට සරිලන එයට අනුලොම්වන දැහැමි කථා කොට මහණුන් ඇමතූසේකැ:
8. එහෙයින් මහණෙනි, මෙහෙණන්හට දසකරුණක් පිණිස සිකපද පනවන්නෙමි. සඟුන්ගේ මනා පිළිගැනුම, සඟුන්ගේ පහසු බව, දුසිල්පුඟුලනට නිගැන්ම, සුසිල් මහණුන්ගේ පහසු විසුම, මෙලෝ ගැහැට වළකාලීම, පරලෝ ගැහැට වැනසීම, නො පැහැදුනවුන්ගේ පැහැදීම, පැහැදුනවුන්ගේ අයිරා පැහැදීම, සසුන් පැවැත්ම, විනයට රුකුල්දීම පිණිස යැ. මහණෙනි, මෙසේත් මේ සිකපදය මෙහෙණෝ උදෙසත්වා:
යම් මෙහෙණක් රාගයෙන් තෙත්වූවා රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ අකුඇටයෙන් යටැ දණමඬලෙන් මතු ආමර්‍ශනය හෝ පරාමර්‍ශනය හෝ ග්‍රහණය හෝ ස්පර්‍ශමාත්‍රය හෝ ප්‍රතිපීඩනය හෝ ඉවසා නම් මෝ තොමෝත් පරිජිවූවා සහවාසයට නො නිසි වූවා වෙයි, උඛ්හජාණුමණ්ඩලිකා යැ.
9. යා පන: යම් යම්බඳු, යම්බඳු යෙදීම් ඇති යම්බඳු ජාති ඇති යම්බඳු නම් ඇති යම්බඳු ගෝත්‍ර ඇති යම්බඳු සැහැවි ඇති යම්බඳු විහරණ ඇති යම්බඳු පැවැතුම් ඇති ස්ථවිර වූවක් හෝ නවක වූවක් හෝ මධ්‍යම වූවක් හෝ වෙයි නම්, මෝ තොමෝ යා පන යැයි කියනු ලැබේ.
භික්ඛුනී: සිඟානුයි භික්ඛුනී යැ, පිඬු සිඟා පැමිණියා නුයි භික්ඛුනී යැ, බුන් පිළි දරානුයි භික්ඛුනී යැ, බැවහරයෙන් භික්ඛුනී යැ, පිළින කිරීමෙන් භික්ඛුනී යැ, එව මෙහෙණැයි භික්ඛුනී යැ, තුන් සරණ ගමනින් උපසපන්වූවා නුයි භික්ඛුනී යැ. (ශීලාදීන්) භද්‍ර වූවා නුයි භික්ඛුනී යැ, (ශීලාදීන්) සාරවූවා නුයි භික්ඛුනී යැ, හික්මෙනුයි භික්ඛුනී යැ. (මත්තෙහි හික්මිය යුත්තක් නැතිවන බැවින්) අශෛක්‍ෂ වූවා නුයි භික්ඛුනී යැ, සමග වූ දෙ සඟුන් විසින් අකෝප්‍ය වූ ශාස්තෘශාසනාර්‍හ වූ ඥප්තිචතුර්‍ත්‍ථ කර්‍මයෙන් උපසපන් කරන ලද නුයි භික්ඛුනී යැ, එහි යම් මේ මෙහෙණක් සමග වූ දෙසඟුන් විසින් අකෝප්‍ය වූ ශාස්තෘශාසනාර්‍හ වූ ඥප්ති චතුර්‍ත්‍ථකර්‍මයෙන් උපසපන් කරන ලද නම් මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස්කරන ලද භික්‍ෂුණි යි.
අවස්සුතා නම්: (කායසංසර්‍ගරාගයෙන්) මොනොවට රත්වූ (පිරිම්නියක් හු කෙරෙහි) අපේක්‍ෂායෙන් යුක්ත වූ පිළිබඳ සිත් ඇත්තී යැ.
අවස්සුත නම්: (කායසංසර්‍ගරාගයෙන්) මොනොවට රත්වූ (මාගමකකෙරෙහි) අපේක්‍ෂායෙන් යුක්ත වූ පිළිබඳ සිත් ඇත්තේ යැ.
පුරිසපුග්ගල නම්: මිනිස් පිරිම්නියෙකි, යකෙක් නො වෙයි, ප්‍රේතයෙක් නො වෙයි, තිරිසන්ගියෙක් නො වෙයි, කායසංසර්‍ගරාගයට පැමිණෙන්නට දැනුමැති ප්‍රතිබලයෙකි.
අධක්ඛකං: අකුඇටයෙන් යටැ.
උබ්හජාණුමණ්ඩලං: දණමඬලෙන් මත්තෙහි.
ආමසන නම්: පිරිමැදීම් පමණ යැ.
පරාමසන නම්: ඔබ මොබ පිරිමැදීම යැ.
ගහණ නම් ගැනීම් පමණ යැ.
ඡුපන නම්: පහැසීම් පමණ යැ.
පතිපීළනං වා සාදිසෙය්‍ය: අවයවයක් ගෙන දැඩිවැ පෙළීම ඉවසයි.
අයම්පි: පළමු පරිජි වූ මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.
පාරාජිකා හොති: යම්සේ හිස සුන් පුරුෂයෙක් ඒ සිරිරිබැම්මෙන් දිවිවටන්නට අභව්‍ය වේද, එසේ මැ රාගයෙන් තෙත් වූ මෙහෙණක් රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ අකුඇටෙන් යටැ දණමඬලෙන් මතු ආමර්‍ශනය හෝ පරාමර්‍ශනය හෝ ග්‍රහණය හෝ ස්පර්‍ශමාත්‍රය හෝ ප්‍රතිපීඩනය හෝ ඉවසන්නී නම් නො මෙහෙණක් වූවා නො සැහැදුවක් වූවා වෙයි. එහෙයින් පාරාජිකා හොති යැයි කියනු ලැබේ.
අසංවාසා: සංවාස නම් එක්වැ විනයකර්‍ම කිරීම යැ, එක්වැ පාමොක් උදෙසීම යැ, සමසික ඇතිබව යි, තෙලෙ සංවාස නම් වේ. ඒ සංවාසය ඇය සමග නැති, එහෙයින් (ඕ) අසංවාසා යැයි කියනු ලැබේ.
(මෙහෙණකගේ හා පිරිම්නියක්හුගේ) දෙදෙනාගේ රාගයෙන් තෙත් වූ බව ඇති කල්හි අකුඇටෙන් යටැ දණමඬලෙන් මතු කයින් කය පිරිමදී නම් පරිජි ඇවැත් වෙයි. කයින් කය පිළිබැඳියක් පිරිමදී නම් තුලැසි ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිරිමදී නම් තුලැසි ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කයපිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් නිසැගියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, අකුඇටෙන් මතු දණමඬලෙන් යටැ කයින් කය පිරිමදී නම් තුලැසි ඇවැත් වෙයි. කයින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් නිසැගියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වේ.
එකක්හුගේ (මෙහෙණකගේ) රාගයෙන් තෙත් වූ බව ඇති කල්හි අකුඇටෙන් යටැ දණමඬලෙන් මතු කයින් කය පිරිමදී නම් තුලැසි ඇවැත් වෙයි, කයින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් නිසැගියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. අකුඇටෙන් මතු දණමඬලෙන් යටැ කයින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කයින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, කය පිළිබැඳියෙකින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් නිසැගියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වේ.
දෙදෙනාගේ රාගයෙන් තෙත් වූ බව ඇති කල්හි යක්‍ෂයකුගේ හෝ ප්‍රේතයකුගේ හෝ පණ්ඩයකුගේ හෝ තිරිසන්ගිය මිනිස් සිරුර දැරුවකුගේ හෝ අකුඇටෙන් යටැ දණමඬලෙන් මතු කයින් කය පිරිමදී නම් තුලැසි ඇවැත් වෙයි. කයින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් නිසැගියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. අකුඇටෙන් මතු දණමඬලෙන් යටැ කයින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, කයින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, කය පිළිබැඳියෙකින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් නිසැගියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වේ.
එකක්හුගේ (මෙහෙණකගේ) රාගයෙන් තෙත් වූ බව ඇති කල්හි අකුඇටෙන් යටැ දණමඬලෙන් මතු කයින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කයින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, කය පිළිබැඳියෙකින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් නිසැගියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. අකුඇටෙන් මතු දණමඬලෙන් යටැ කයින් කය පිරිමදී නම් දුකුළාඇවැත් වෙයි. කයින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් නිසැගියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නියට නො සිහියෙන් කරන්නියට නො දන්නියට නො ඉවසන්නියට උම්මත්තිකාවට ක්‍ෂිප්තචිත්තාවට වේදනාර්තාවට අදිකම්මිකාවට ඇවැත් නැති.
ප්‍රථම පාරාජිකය නිමි.
1. 2.
ද්වීතිය පාරාජිකය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති, එසමයෙහි වනාහි සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ සාළ්හ මිගාරනප්තෘහු කරණ කොටගෙන ගැබිනි වූවා වෙයි. යම්තාක් ගැබ තුරුණු වී ද, ඒ තාක් සැඟවූ යැ. ගැබ මුහුකුරා ගිය කල්හි සිවුරු හැරපියා වැදූ යැ. භික්‍ෂුණීහු ථුල්ලනන්‍දා මෙහෙණට මෙය කීහු. “ආර්‍ය්‍යාවෙනි, සුන්‍දරීනන්‍දා තොමෝ සිවුරු හැරැලූ නොබෝ කල් ඇත්තී වැදූ යැ. කිම ඕ තොමෝ මෙහෙණක වූවා මැ ගැබිනි වූවා නො වේ ද? එසේ යැ ආර්‍ය්‍යාවෙනි, කුමකට වනාහි ආර්‍ය්‍යාවෙනි, තෙපි පරිජි ඇවැතට පැමිණි මෙහෙණක තමා දැනැ දැනැ නොමැ චෝදනා කරහු ද? ගණයාට නො දැන්වූහු” දැයි. මැයට යම් අගුණයෙක් වේ නම් ඒ අගුණය මාහට යැ, මැයට යම් නින්‍දායෙක් වේ නම් ඒ නින්‍දාව මා හට යැ, මැයට යම් පරිවාරවිපත්තියෙක් වේ නම් ඒ පරිවාර විපත්තිය මාහට යැ, මැයට යම් අලාභයෙක් වේ නම් ඒ අලාභය මාහට යැ, කිම ආර්‍ය්‍යාවෙනි, මම තමාගේ අගුණය තමාගේ නින්‍දාව තමාගේ පරිවාරවිපත්තිය තමාගේ අලාභය මෙරමා හට දන්වන්නෙම් දැයි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ පරිජි ඇවැතට පැමිණි මෙහෙණක තමා දැනැ දැනැ නොම චෝදනා කළා ද? ගණයාට නො දැන් වූ දැ” යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා තොමෝ පරිජි ඇවැතට පැමිණි මෙහෙණක තමා දැනැ දැනැ නොමැ චෝදනා කෙරේ ද? ගණයාට නො දන්වා දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු විගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා මෙහෙණ පරිජි ඇවැතට පැමිණි මෙහෙණක තමා දැනැ දැනැ නොම චෝදනා කළා ද? ගණයාට නො දැන් වූ ද? මහණෙනි මෙය අප්‍රසන්නයන් ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි මේ සිකපදය මෙහෙණෝ උදෙසත්වා:
යම් මෙහෙණක් පරිජි ඇවැතට පැමිණි මෙහෙණකට තමා දැනැ දැනැ නො මැ චෝදනා කෙරේ නම් ගණයාට නො ඇරොජා නම්, යම් කලෙකුදු ඕ තොමෝ සිටියා හෝ කලුරිය කළා හෝ නැසුණා හෝ (තීර්‍ත්‍ථායතනයකට) ගියා හෝ වන්නී ද, පසුවැ ඕ තොමෝ “ආර්‍ය්‍යාවෙනි, පෙරැ මැ මම ඒ බුහුන මෙබඳු ද මෙබඳු ද වූය යි තෙල මෙහෙණ දතිමි. වැළිදු තොමෝ නො මැ චෝදනා කෙරෙම් මැ යැ ගණයාට නො ඇරොජම්මැ” යැයි මෙසේ කියා නම් මෝ තොමෝත් පරිජි වූවා සහවාසයට නො නිසි වූවා වෙයි, වජ්ජපටිච්ඡාදිකා යැ.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී: ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස්කරන ලද භික්ඛුනී ය යි.
ජානාති නම් තොමෝ හෝ දනී, අන්හු හෝ ඇයට දන්වත්, ඕ තොමෝ හෝ දන්වයි.
පාරාජිකං ධම්මං අජ්ඣාපන්නං; අටවැදෑරුම් පරිජි අතුරෙන් එක්තරා පාරාජිකයකට අවනක:
නේවත්තනා පටිවෝදෙය්‍ය: තොමෝ චෝදනා නො කරන්නී යැ.
න ගණස්ස ආරෝචෙය්‍ය: අන් මෙහෙණන් හට නො දන්වන්නී යැ.
‘යදා ච සා ඨිතා වා අස්ස චුතාවා’ යනාදි තන්හි ඨිතා නම්: ස්වලිඞ්ගයෙහි (ශ්‍රමණවේශයෙහි) සිටියා කියනු ලැබෙයි. චුතා නම්; කලුරිය කළා කියනු ලැබෙයි. නාසිතා නම්: තොමෝ හෝ සිවුරු හැරැපූවා වෙයි, අනුන් විසින් හෝ සිවුරු හරවන ලද්දී වෙයි, අවසටා නම්, තීර්‍ත්‍ථායතනයකට සංක්‍රාන්ත වූවා කියනු ලැබේ.
සා පච්ඡා එවං වදෙය්‍ය: ආර්‍ය්‍යාවෙනි, පෙරැ මැ මම ඒ බුහුන මෙබඳු ද මෙබඳු ද වූය යි තෙල මෙහෙණ දතිමි.
නො ච ඛො අත්තනා පටිවෝදෙස්සන්ති: (මම) තොමෝ හෝ චෝදනා නො කරන්නෙමි.
න ගණස්ස ආරොචෙස්සං: අන් මෙහෙණන්හට නො දන්වන්නෙමි.
අයම්පි: පළමු පරිජි වූ මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.
පාරාජිකා හොති: යම් සේ තුවටුයෙන් ගිලිහුණු පඬුවන් කොළයක් නිල්වන් බවට නො නිසි වේ ද, එසේ මැ මෙහෙණක් පරිජි ඇවැතකට පැමිණි මෙහෙණක තමා දැනැ දැනැ නොම චෝදනා කරන්නෙමි, ගණයාට නො දන්වන්නෙමැ යි ධුරය බහා තැබූ මතුයෙහි නො මෙහෙණක් වූවා නො සැහැ දුවක් වූවා වෙයි. එහෙයින් පාරාජිකා හොති යි කියනු ලැබේ.
අසංවාසා: සංවාස නම් එක් වැ විනයකර්‍ම කිරීම යැ. එක්වැ පාමොක් උදෙසීම යැ, සමසික ඇතිබව යි, තෙලෙ සංවාස නම් වේ. ඒ සංවාසය ඇය සමග නැති, එහෙයින් අසංවාසා යි කියනු ලැබේ.
සඞ්ඝයාගේ භණ්ඩනයෙක් හෝ කලහයෙක් හෝ විග්‍රහයෙක් හෝ විරුද්ධවාදයෙක් හෝ වන්නේ යැයි නො ඇරොජා නම්, සඞ්ඝභේදය හෝ සඞ්ඝරාජිය හෝ වන්නේ යැයි නො ඇරොජා නම්, මෝ තොමෝ කැකුළු යැ. පරුෂ යැ දිවියට අනතුරු හෝ බඹසරට අනතුරු හෝ කරන්නී යැයි නො ඇරොජා නම්, අන් සුදුසු මෙහෙණක් නො දක්නී නො ඇරොජා නම්, නො වසනු කැමැත්තී නො ඇරොජා නම්, සිය කැමින් පළට වන්නී යැයි නො ඇරොජා නම් උම්මත්තිකාවට ... අදිකම්මිකාවට ඇවැත් නැති.
ද්විතීය පාරාජික නිමි.
1. 3.
තෘතීය පාරාජිකය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති, එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්ඛුනී තොමෝ සමග සඟහු විසින් උඛෙව්නීකම් කළ ගිජුපැටිකුලෙහි උපන් අරිට්ඨ මහණහු අනුව වැටෙයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සමග සඟහු විසින් උඛෙව්නීකම් කළ ගිජුපැටිකුලෙහි උපන් අරිට්ඨ මහණහු අනුව වැටුනි දැයි ... සැබෑද මහණෙනි! ථුල්ලනන්‍දා මෙහෙණ සමග සඟහු විසින් කළ උඛෙව්නීකම් ඇති ගිජුපැටිකුලෙහි උපන් අරිට්ඨ මහණහු අනුව වැටේ දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා මෙහෙණ සමග සඟහු විසින් උඛෙව්නීකම් කළ ගිජුපැටිකුලෙහි උපන් අරිට්ඨ මහණහු අනුව වැටුණී ද? මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි මේ සිකපදය මෙහෙණෝ උදෙසත්වා:
යම් මහණෙක් ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් සමග සඟහු විසින් උඛෙව්නීකම් කළ අනදරබව ඇති පිළියම් රහිත වූ නො කළ සහායබව ඇති එ මහණහු අනුව වැටේ නම් මෙහෙණන් විසින් එ මෙහෙණ තොමෝ මෙසේ කිය යුතු වන්නී යැ. “ආර්‍ය්‍යාවෙනි තෙල මහණ තෙමේ වනාහි ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් සමග සඟහු විසින් උඛෙව්නීකම් කරන ලද්දෙක. අනදරබව ඇතියෙකැ, පිළියම් නැතියෙකැ, නො කළ සහායබව ඇතියෙකි. ආර්‍ය්‍යාවෙනි තෙල මහණහු අනුවැ නහමක් වැටේව” යි. මෙසේත් මෙහෙණන් විසින් කියනු ලබන ඒ මෙහෙණ එසේ මැ දැඩි වැ වෑයම් කරන්නී නම් මෙහෙණන් විසින් එ මෙහෙණ එදිටු දුරැලනු පිණිස තුන් යළ තෙක් සමනුභාෂණකර්‍ම කළ යුත්තී යැ, එදිටු දුරැලනු පිණිස තුන් යළ තෙක් සමනුභාෂණකර්‍ම කරනු ලබන්නී එය දුරැලන්නී නම් තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලන්නී නම් මෝ තොමෝත් පරිජිවූවා සහවාසයට නො නිසි වූවා වෙයි ... උක්ඛිත්තානුවත්තිකා යැ.
2. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි ය යි.
සමග්ග නම්: සමාන සංවාසක සඞ්ඝ තෙමෙ සමාන සීමායෙහි සිටියේ වෙයි.
උක්ඛිත්ත නම්: ඇවැත නො දැක්මෙහි හෝ පිළියම් නො කිරීමෙහි හෝ (ලමුදිට්හ) නො දුරැලීමෙහි හෝ උකෙච්නී කම් කරන ලද්දේ යි.
ධම්මෙන විනයෙන: යම් ධර්‍මයෙකින් යම් විනයෙකින්,