Pācittiya

Expiation Rules

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 4249 segments

පෙන්වන කොටස් 2301-2400 න් 4249

නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
නවම ශික්‍ෂාපද යි.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ අවිගත් අත් ඇති නො ගිලන්හට දහම් දෙසත් ...
“අවිගත් අත් ඇති නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. ආයුධ නම්: දුනු යැ දුනුවෙසෙස් යැ.
අවිගත් අත් ඇති නො ගිලන්හට දහම් නො දෙසියයුතු යි. යමෙක් අනාදරිය පිණිස අවිගත් අත් ඇති නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
දශම ශික්‍ෂාපද යි.
සවන සුරුසුරු වර්‍ග යි.
පාදුකා වර්‍ගය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණෝ පයැ ලූ මිරිවැඩි ඇත්තාහට දහම් දෙසති ...
“පයැ ලූ මිරිවැඩි ඇති නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. පයැ ලූ මිරිවැඩි ඇති නො ගිලන්හට දහම් නො දෙසි ය යුතු යි. යමෙක් අනාදරිය පිණිස ඇක්මවූ හෝ ලාසිටි හෝ අඩක් ලාසිටි හෝ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
ප්‍රථම ශික්‍ෂාපදයි.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ පයැ ලූ වහන් ඇත්තාහට දහම් දෙසත් ...
“පයැ ලූ වහන් ඇති නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. පයැ ලූ වහන් ඇති නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස ඇක්මවූ හෝ ලාසිටි හෝ අඩක් ලාසිටි හෝ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
ද්විතීය ශික්‍ෂාපද යි.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ යානයෙහි හුන්නාහට දහම් දෙසති ...
“යානයෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. යාන නම්: වයහ යැ රථ යැ ශකට යැ ස්‍යන්‍දමානිකා යැ සිවිකා යැ පාටඞ්කීය යී.
යානයෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස යානයෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
තෘතීය ශික්‍ෂාපද යි.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ යහන්හි හොත්තාහට දහම් දෙසත් ...
“යහන්හි හොත්තා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. යහනෙහි හොත්තා වූ නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස යටත් පිරිසෙයින් බිමෙහි දු හොත්තා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ අකවටු අවුළුවා හුන්නාහට දහම් දෙසත් ...
“අකවටු අවුළුවා හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. අකවටු අවුළුවා හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස අත්අකවටුවෙන් හෝ වත්අකවටුවෙන් හෝ හුන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
පඤ්චම ශික්‍ෂාපද යි.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ හිස මතු වෙළා සිටියහුට දහම් දෙසත් ...
“හිස වෙළා සිටි නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. වෙඨිතසීස නම්: කෙස්කොන් නො දක්වාවෙළන ලදුයේ වෙයි.
හිස වෙළා සිටි නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස වෙළා සිටි නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට නො සිහියෙන් කරන්නහුට නො දන්නහුට ගිලනහුට කෙස්කොන් විවරවා දෙසා නම් ඇවැත් නැති. ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
ෂෂ්ඨ ශික්‍ෂාපද යි.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ හිස වසා පෙරෙවියහට දහම් දෙසත් ...
“හිස වසා පෙරෙවි නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
ඔගුණ්ඨිතසීස නම්: හිස සහිත පෙරෙවියේ කියනු ලැබෙයි.
2. හිස වසා පෙරෙවි නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස වසා පෙරෙවි නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට නො සිහියෙන් කරන්නහුට නො දන්නහුට ගිලනහුට හිස විවර කරවා දෙසා නම්, ඇවැත් නැති. ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
සප්තම ශික්‍ෂාපද යි.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ බිමෙහි හිඳ අස්නෙහි හුන්නහුට දහම් දෙසත් ...
“බිමැ හිඳ අස්නෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. බිමැ හිඳ අස්නෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස බිමැ හිඳ අස්නෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
අෂ්ටම ශික්‍ෂාපද යි.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසත්, යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණෝ මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසූහු” දැ යි. ... සැබෑ ද මහණෙනි, තෙපි මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසවු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූහු.
2. මහණෙනි, පෙරැ වූවක් කියමි: බරණැස් නුවරැ එක්තරා සැඩොලක්හුගේ අඹුව ගැබිනි වූ යැ. එකල්හි මහණෙනි, ඒ සැඩොලී තොමෝ ඒ සැඩොල්හට මෙය කිවු යැ. ‘හිමිපුත, ගැබිනියක් වෙමි, අඹ කන්නට කැමැත්තෙමු’ යි, අඹ නැති. අඹ පිළිබඳ කාලය නො වෙයි, ඉදින් මම නො ලබම් නම් මැරෙමි යි. එසමයෙහි වනාහි රජුගේ අඹරුක නිතිපල ඇතියේ වෙයි. එකල්හි මහණෙනි, ඒ සැඩොල් තෙමේ ඒ අඹරුක වෙතැ එළඹියේ යැ. එළැඹැ ඒ අඹරුකට නැග සැඟවී හුන්නේ යි.
3. ඉක්බිති මහණෙනි, රජ තෙමේ පෙරෙවි බමුණා සමග ඒ අඹරුක වෙතැ එළැඹියේ යැ. එළැඹැ උස් අස්නෙහි හිඳ මන්ත්‍ර පිරිවහයි. එකල්හි මහණෙනි, ඒ සැඩොල්හට මෙ සිත විය. යමෙක් උස් අස්නෙහි හිඳ මන්ත්‍ර පිරිවහා නම් මේ රජ තෙමේ කැලැ මැ නො දැහැමි යැ. යමෙක් මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නාහට මන්ත්‍ර හදාරවා නම් මේ බමුණු තෙමේත් නො දැහැමි යැ. යම්බඳු මම අඹුවගේ කරුණෙන් රජහුගේ අඹ සොරකම් කරම් නම් ඒ මමත් නො දැහැමි වෙමි, මේ මුළු ලොව මැ නො දැහැමිකමින් අවුල් වී යැ යි එහි මැ වැටුණේ යි.
යමෙකුත් මොහුට මන්ත්‍ර හදාරවා ද, යමෙකුත් අධර්‍මයෙන් හදාරා ද මේ දෙදෙන මැ අර්‍ත්‍ථය නො දනිති, ධර්‍මය නො බලත්.
(මා විසින් රජහුගේ) පිරිසුදු රසමසවුළෙන් යුතු හැල්බත වළඳන ලදී. එහෙයින් (බඩවියත තකා) ධර්‍මයෙහි නො පවතිමි. මේ ධර්‍මය ආර්‍ය්‍යන් විසින් පසස්නා ලදැ යි (දනිමි).
බමුණ, (මෙසේ නො දැහැමින් ලත්) තාගේ යශෝලාභයට ද ධනලාභයට ද (මතු) අවාහි හෙන සේ අධර්‍මචරණයෙන් (දැන්) පැවැති දිවෙලට ද නින්‍දා වේවා.
මහබමුණ, (මෙදෙසින්) නැගී යා, සෙසු සත්තු ද පිසති, (කති). හැසිරෙන ලද මේ අධර්‍මය තෙමේ තා ගලින් කළයක් මෙන් නහමක් බිඳීවා.
4. එදා දු මහණෙනි, මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට මන්ත්‍ර හදාරවනු මට මනාප නො වෙයි. මෙකල්හි වනාහි මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසනු මනාප නො වනු කියනුම කිම? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නා වූ නො ගිලන් හට දහම් නො දෙසන්නෙමියි හික්මියැ යුතු” යි.
5. මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසි ය යුතු යි. යමෙක් අනාදරිය පිණිස මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
නවම ශික්‍ෂාපද යි.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ සිටියාහු හුන්නහුට දහම් දෙසත් ...
“සිටියෙම් හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. සිටියහු විසින් හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසි ය යුතු යි. යමෙක් අනාදරිය පිණිස සිටියේ හුන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
දශම ශික්‍ෂාපද යි.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ පසු වැ යන්නාහු පෙරටු වැ යන්නහුට දහම් දෙසත් ...
“පසු වැ යන්නෙම් පෙරටු වැ යන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. පසු වැ යන්නහු විසින් පෙරටු වැ යන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසි ය යුතු යි. යමෙක් අනාදරිය පිණිස පසු වැ යන්නේ පෙරටු වැ යන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
ඒකාදශ ශික්‍ෂාපද යි.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ නො මගින් යන්නාහු මගින් යන්නහුට දහම් දෙසත් ...
“නො මගින් යන්නෙම් මගින් යන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. නො මගින් යන්නහු විසින් මගින් යන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසි ය යුතු යි. යමෙක් අනාදරිය පිණිස නො මගින් යන්නේ මගින් යන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
ද්වාදශ ශික්‍ෂාපද යි.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ සිටියාහු මහවටන ද සුළුවටන ද කෙරෙත් ...
“සිටියෙම් නො ගිලන් වැ මහවටන් හෝ සුළුවටන් හෝ නො කරන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. සිටියා වූ නො ගිලන්හු විසින් මහවටන් හෝ සුළුවටන් හෝ නො කළ යුතු යි. යමෙක් අනාදරිය පිණිස සිටියේ නො ගිලන් වැ මහවටන් හෝ සුළුවටන් හෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
ත්‍රයොදශ ශික්‍ෂාපද යි.