8. 5. 5.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු ආලෝපය සිඳ සිඳ වළඳත් ...
“ආලෝපය කඩ කඩා නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
ආලෝපය සිඳ සිඳ නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස ආලෝපය සිඳ සිඳ වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට නො සිහියෙන් කරන්නහුට නො දන්නහුට ගිලනහුට කැවිලියෙහි, පලවැළෙහි, අවුළුපත්හි, ආපදායෙහි, ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
පඤ්චම ශික්‍ෂාපද යි.
8. 5. 6.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු හකුපුරා ගෙනැ වළඳත් ...
“පිඬු කොපුලැ රැස්කොට නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
හකු පුරා ගෙනැ නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස එක්පසින් හෝ දෙපසින් හෝ හකු පුරා ගෙනැ වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, කැවිලියෙහි, පලවැළෙහි, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
ෂෂ්ඨ ශික්‍ෂාපද යි.
8. 5. 7.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු අත් සල සලා වළඳත් ...
“අත් සලසලා නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
අත් සලසලා නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස අත් සලසලා වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, කසළ ඉවත ලමින් අත ගසාදමා නම්, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
සප්තම ශික්‍ෂාපද යි.
8. 5. 8.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු බත්හුළු විසුරුවමින් වළඳත්.
“බත්හුළු ඉසැ ඉසැ නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
බත්හුළු විසුරුවමින් නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස බත්හුළු විසුරුවමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, කසළ ඉවතලමින් බත්හුළු ඉවත ලනු ලැබේ නම්, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
අෂ්ටම ශික්‍ෂාපද යි.
8. 5. 9.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු දිව නෙරනෙරා වළඳත් ...
“දිව නෙරනෙරා නො වළඳන්නෙමියි හික්මියැ යුතු” යි.
දිව නෙර නෙරා නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස දිව නෙර නෙරා වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
නවම ශික්‍ෂාපද යි.
8. 5. 10.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු චපුචපු හඬ කෙරෙමින් වළඳති.
“චපුචපු හඬ කෙරෙමින් නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. චපුචපු හඬ කෙරෙමින් නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස චපු චපු හඬ කෙරෙමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
දශම ශික්‍ෂාපද යි.
පස්වන කබළ වර්‍ග යි.
සුරුසුරු වර්‍ගය
8. 6. 1.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු කොසඹෑ නුවරැ ඝෝෂිතාරාමයෙහි වැඩැ වෙසෙති. එසමයෙහි එක්තරා බමුණක්හු විසින් සඟනට කිරිපැනෙක් පිළියෙළ කරන ලද්දේ වෙයි. භික්‍ෂූහු සුරුසුරු හඬ කෙරෙමින් කිරි බොත්. එක්තරා නළුවිරූ මහණෙක් මෙසේ කී යැ: මේ සියලු සඞ්ඝ තෙමේ ශීතයෙන් වෙවුළන ලද්දේ යැ යි හඟිමි යි. යම් ඒ භික්‍ෂූ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් “කෙසේ නම් මහණ තෙමේ සඟහු ඇරැබැ කෙළිකවට කම් කෙළේ” දැ යි ... සැබෑ ද මහණ තෝ සඟහු ඇරැබැ කෙළිකවට කම් කෙළේ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය තෝ සඟහු ඇරැබැ කෙළිකවටකම් කෙළෙහි ද? හිස් පුරුෂය මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමැතුහු. “මහණෙනි, බුදුන් හෝ ධර්‍මය හෝ සඞ්ඝයා හෝ ඇරැබැ කෙළිකවටකම් නො කළයුතු යි. යමෙක් කරන්නේ නම් දුකුළා ඇවැත් වේ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එමහණහට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව් පිණිස ... මෙසේ ද වනාහි මහණෙනි මේ සිකපදය උදෙසවු:
“සුරුසුරු හඬ කෙරෙමින් නො වළඳන්නෙමියි හික්මියැ යුතු” යි.
2. සුරුසුරු හඬ කෙරෙමින් නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස සුරුසුරු හඬ කෙරෙමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
ප්‍රථම ශික්‍ෂාපදයි.
8. 6. 2.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ අත ලොවමින් වළඳත් ...
“අත ලොවමින් නො වළඳන්නෙමි යි හික්මියයුතු යැ” යි.
2. අත ලොවමින් නො වැළැඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස අත ලොවමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
ද්විතීය ශික්‍ෂාපද යි.
8. 6. 3.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ පාත්‍රය ලොවමින් වළඳත් ...
“පාත්‍රය ලොවමින් නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. පාත්‍රය ලොවමින් නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස පාත්‍රය ලොවමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, මඳ දැයෙහි, ඉතිරියෙහි එක් කොට ඇද ලෙවැ වළඳා නම්, අවැත් නැති. ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
තෘතීය ශික්‍ෂාපද යි.
8. 6. 4.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ තොල් ලොවමින් වළඳත් ...
“තොල් ලොවමින් නො වළඳන්නෙමියි හික්මියැ යුතු” යි.
2. තොල් ලොවමින් නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස තොල් ලොවමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.
8. 6. 5.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු භගු ජනපදයෙහි සුංසුමාර ගිරියෙහි භෙසකලාවන නම් මුව වෙනෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භික්‍ෂූහු කොකනද පහයෙහි ඉඳුල් සහිත අතින් පැන්මලාව පිළිගනිත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස්පතුරුවත්: කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ කාමභෝගී ගිහියන් මෙන් ඉඳුල් සහිත අතින් පැන්මලාව පිළිගත්තු දැ යි.
2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්තිශබ්දය) ඇසූහු මැ යි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් භික්‍ෂූහු ඉඳුල් සහිත අතින් පැන්මලාව පිළිත්තු” දැ යි ... සැබෑද මහණෙනි, භික්‍ෂූහු ඉඳුල් සහිත අතින් පැන්මලාව පිළිගනිද්දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ඒ හිස් පුරුෂයෝ ඉඳුල් සහිත අතින් පැන්මලාව පිළිගත්තු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“ඉඳුල් සහිත අතින් පැන්මලාව නො පිළිගන්නෙමි යි හික්මියැ යුතු” යි.
3. ඉඳුල් සහිත අතින් පැන්මලාව නො පිළිගත යුතු යි. යමෙක් අනාදරිය පිණිස ඉඳුල් සහිත අතින් පැන්මලාව පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, දොවන්නෙමි යි හෝ දොවවන්නෙමි යි හෝ පිළිගනී නම් ඇවැත් නැති. ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
පඤ්චම ශික්‍ෂාපද යි.
8. 6. 6.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු භගු ජනපදයෙහි සුංසුමාරගිරියෙහි භෙසකලාවන නම් මුවවෙනෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භික්‍ෂූහු කොකනද පහයෙහි බත්හුළු සහිත පාදෙවූ දිය ඇතුළුගෙහි දමත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ කාමභෝගී ගිහියන් මෙන් බත්හුළු සහිත පාදෙවූ දිය ඇතුළුගෙහි දැමූහු” දැ යි.
2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්තිශබ්දය) ඇසූහු මැ යි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවති, “කෙසේ නම් භික්‍ෂූහු බත්හුළු සහිත පා දෙවූ දිය අතුරුගෙහි දැමූහු දැ යි ... සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු බත්හුළු සහිත පා දෙවූ දිය ඇතුළුගෙහි දමද්දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි ඒ හිස් පුරුෂයෝ බත්හුළු සහිත පා දෙවූ දිය ඇතුළුගෙහි දැමූහු ද? මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“බත්හුළු සහිත පා දෙවූ දිය ඇතුළුගෙහි නො දමන්නෙමි යි හික්මියැ යුතු” යි.
3. බත්හුළු සහිත පා දෙවූ දිය ඇතුළුගෙහි නො දැමිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස බත්හුළු සහිත පා දෙවූ දිය ඇතුළුගෙහි දමාපියා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, උදුරා හෝ බිඳ හෝ පඩික්කමෙහි හෝ බැහැරැ කොට හෝ දමාපියා නම් ඇවැත් නැති. ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
ෂෂ්ඨ ශික්‍ෂාපද යි.
8. 6. 7.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ සත්ගත් අත් ඇත්තාහට දහම් දෙසත්. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණෝ සත්ගත් අත් ඇත්තාහට දහම් දෙසූහු” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි සත්ගත් අත් ඇත්තාහට දහම් දෙසවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි සත්ගත් අත් ඇත්තාහට දහම් දෙසුවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“සත්ගත් අත් ඇත්තාහට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
2. එසමයෙහි වනාහි භික්‍ෂූහු සත්ගත් අත් ඇති ගිලන්හට දහම් දෙසන්නට කුකුසනුවෝ නො දෙසත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ සත්ගත් අත් ඇති ගිලන්හට දහම් නො දෙසූහු” දැ යි. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්තිශබ්දය) ඇසූහු මැයි. එකල්හි ඒ භික්‍ෂූහු තෙල කරුණ භාග්‍යවතුන්හට දැන්වූහු. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූසේකැ. “මහණෙනි, සත්ගත් අත් ඇති ගිලන්හට දහම් දෙසන්නට අනුදනිමි.” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“සත්ගත් අත් ඇති නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
3. ඡත්ත නම්: මඬුලුබැඳි ලහබැඳි සේසත යැ කළාල්සත යැ පත්සතැ යි සත් තුනෙකි.
ධම්ම නම්: බුද්ධභාෂිත යැ ශ්‍රාවකභාෂිත යැ ඍෂිභාෂිත යැ දේවභාෂිත යැ අර්‍ත්‍ථොපසංහිත යැ ධර්මොපසංහිත යි.
දේසෙය්‍ය: පදයෙන් දෙසා නම් පෙදෙහි පෙදෙහි දුකුළා ඇවැත් වෙයි, අක්‍ෂරයෙන් දෙසා නම් අකුරෙහි අකුරෙහි දුකුළා ඇවැත් වේ.
සත්ගත් අත් ඇති නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස සත්ගත් අත් ඇති නො ගිලන් හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ඇවැත් නැති. ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මික හට ඇවැත් නැති.
සප්තම ශික්‍ෂාපද යි.
8. 6. 8.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ දඬුගත් අත් ඇත්තාහට දහම් දෙසත් ...
“දඬුගත් අත් ඇති නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. දණ්ඩ නම්: බලමැදුම් පිරිම්නියක්හුගේ සිවුරියන් පමණ ඇති දඬු යි. ඉන් උකැටි වූයේ නො දඬ යි. ඔමු වූයේ නො දඬ යි.
දඬුගත් අත්ඇති නො ගිලන්හට දහම් නො දෙසි ය යුතු යි. යමෙක් අනාදරිය පිණිස දඬුගත් අත් ඇති නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
අෂ්ටම ශික්‍ෂාපද යි.
8. 6. 9.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ කඩු කාල්ගත් අත් ඇත්තාහට දහම් දෙසත් ...
“කඩුකාල් ආදි ශස්ත්‍ර ගත් අත් ඇති නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. සත්‍ථ නම්: එක් පසින් මුවාත ඇති දෙපසින් මුවාත ඇති අවි යැ.
කඩුකාල් ආදි ශස්ත්‍ර ගත් අත් ඇති නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස කඩුකාල් ආදි ශස්ත්‍ර ගත් අත් ඇති නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.