Pācittiya

Expiation Rules

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 4249 segments

පෙන්වන කොටස් 2101-2200 න් 4249

3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, රසරසයෙහි නම්, නෑයන්ගෙන් නම්, පැවැරියන්ගෙන් නම්, අනෙකක්හු සඳහා නම්, තමසතු ධනයෙන් නම්, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
නවම ශික්‍ෂාපද යි.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු තුඹක් මෙන් කොට පිඬුවා පිළිගනිත් ...
“සමසේ පිරීගිය පිඬුවා පිළිගන්නෙමි යි හික්මියැ යුතු” යි.
පයෙහි ඇතුළු මෝවිට සමසේ පිරීගිය පිඬුවා පිළිගත යුතු යි. යමෙක් අනාදරිය පිණිස තුඹක් මෙන් කොට පිඬුවා පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ආපදායෙහි, උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
දශම ශික්‍ෂාපද යි.
තෙවන ඛම්භකත වර්‍ග යි.
සක්කච්ච වර්‍ගය
එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි සවග මහණහු නො වළඳනු කැමැත්තවුන් මෙන් නො සකස් කොට වළඳත් ...
“සකසා පිඬුවා වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
සිහි එළවා පිඬුවා වැළඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස නො සකසා පිඬුවා වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
ප්‍රථම ශික්‍ෂාපද යි.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු තැනැ තැනැ බලමින් පිඬුවා වළඳත්. (පිඬුවා) දෙන කල්හි දු (පිඬුවා දී) ඉක්ම යන කල්හි දු නො දනිත් ...
“පාත්‍රගත සංඥී වැ පිඬුවා වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
පාත්‍රසංඥීහු විසින් පිඬුවා වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස තැනැ තැනැ බලමින් පිඬුවා වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
ද්විතීය ශික්‍ෂාපද යි.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු තැනැ තැනැ පහසා පිඬුවා වළඳත් ...
“තමා දෙස පටන් පිළිවෙළින් පිඬුවා වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
අනුපිළිවෙළින් පිඬුවා වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස තැනැ තැනැ පහසා පිඬුවා වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නොදන්නහුට, ගිලනහුට, අනෙකක්හට දෙනුයේ පහසා නම්, අන්බඳුනෙක්හි ලන්නේ පහසා නම්, අවුළුපත් ගැනීමෙහි නම්, ඇවැත් නැත. ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
තෘතීය ශික්‍ෂාපද යි.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු පිඬුවා වළඳන්නාහු සූප මැ බොහෝ කොට වළඳත් ...
“සමසූපක පිඬුවා වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
සූප නම්; අතින් ගෙන යා හැකි මුද්ගසූප යැ මාසසූපයැ යි සූප දෙකෙකි. සමසූපක පිඬුවා වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස සූප මැ බොහෝ කොට වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, රසරසයෙහි නම්, නෑයන්ගෙන් නම්, පැවරූවන්ගෙන් නම්, තම සතු ධනයෙන් නම් ඇවැත් නැත. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු බත මැදතුරෙන් හනා පිඬුවා වළඳත් ...
“බත මැදතුරෙන් හනා පිඬුවා නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
මැදතුරෙන් හනා පිඬුවා නො වැළඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස මැදතුරෙන් හනා පිඬුවා වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ඉතිරි මඳ දැයෙහි නම්, එකට ඇද හනා වළඳා නම්, ඇවැත් නැත. උම්මත්තකයහට, ආදිකම්මිකයහට, ඇවැත් නැති.
පඤ්චම ශික්‍ෂාපද යි.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු වැඩියෙන් ලබනු කැමැත්ත නිසා සූප ද බ්‍යඤ්‍ජන ද බතින් පිළිසන් කෙරෙත් ...
“වැඩියක් ලබනු කැමැත්ත නිසා සූප හෝ බ්‍යඤ්‍ජන හෝ බතින් පිළිසන් නොකරන්නෙමි යි හික්මියැ යුතු” යි.
වැඩියක් ලබනු කැමැත්ත නිසා සූප හෝ බ්‍යඤ්‍ජන හෝ බතින් පිළිසන් නො කළ යුතු යි. යමෙක් අනාදරිය පිණිස වැඩියක් ලබනු කැමැත්ත නිසා සූප හෝ බ්‍යඤ්‍ජන හෝ බතින් පිළිසන් කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නොසිහියෙන් කරන්නහුට, නො දන්නහුට, හිමියෝ පිළිසන් කොට දෙත් නම්, වැඩියක් ලබනු කැමැත්ත නැති කල්හි නම්, ඇවැත් නැත. ආපදාවෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
ෂෂ්ඨ ශික්‍ෂාපද යි.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු සූප ද බත් ද තමා පිණිස විනවා ගෙනැ වළඳත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ සූප ද බත් ද තමා පිණිස විනවාගෙනැ වැළඳූහු ද? කවරක්හට මිහිරි නො මැනැවි ද? කවරක්හට රසය නො රුස්නේ දැ” යි.
2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ [අකිර්‍තතිශබ්දය] ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු සූප ද බත් ද තමා පිණිස විනවාගෙනැ වැළඳූහු දැ” යි ... සැබෑ ද මහණෙනි, තෙපි සූප ද බත් ද තමා පිණිස විනවාගෙනැ වළඳවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... හිස් පුරුෂයෙනි, කෙසේ නම් තෙපි සූප ද බත් ද තමා පිණිස විනවාගෙනැ වැළඳූහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“සූප හෝ බත් හෝ තමා පිණිස විනවාගෙනැ නො වළඳන්නෙමැ යි හික්මියැ යුතු” යි.
මෙසේ භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි භික්‍ෂූහු ගිලන්වූවෝ වෙති. ගිලනුන් පුළුවුස්නා මහණහු ගිලනුන්ට මෙය කීහු. ඇවැත්නි, කිම ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? ඇවැත්නි, ඇපි පෙරැ සූප ද බත් ද තමා පිණිස විනවාගෙනැ වළඳම්හ. එහෙයින් අපට පහසු වෙයි. දැන් වූකලි භාග්‍යවතුන් විසින් පිළිකෙව් කරන ලදැ යි කුකුසන්නමෝ නො විනවම්හ. එහෙයින් අපට පහසු නො වෙයි. භික්‍ෂූහු භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමැතූසේකැ. “මහණෙනි, ගිලන් මහණහු විසින් සූප ද බත් ද තමා පිණිස විනවා ගෙනැ වළඳන්නට අනුදනිමි.” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“නො ගිලන් වැ සූප හෝ බත් හෝ තමා පිණිස විනවා ගෙනැ නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
නො ගිලන් වැ සූප හෝ බත් හෝ තමා පිණිස විනවා ගෙනැ නො වැළඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස සූප හෝ බත් හෝ නො ගිලන් වැ තමා පිණිස විනවාගෙනැ වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, නෑයන්ගෙන් නම්, පැවැරියන්ගෙන් නම්, අනෙකක්හු සඳහා නම්, තමසතු ධනයෙන් නම්, ඇවැත්, නැත. ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
සප්තම ශික්‍ෂාපද යි.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු ලමු කොට සිතන සන් ඇති වැ අනුන්ගේ පාත්‍රය බලත් ...
“කිපිසිත් ඇති වැ අනුන් වළඳන පාත්‍රය නො බලන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. කිපිසිත් ඇති වැ අනුන් වළඳන පාත්‍රය නො බැලිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස ලමු කොට සිතන සන් ඇතියේ අනුන්ගේ පාත්‍රය බලා නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, දෙන්නෙමි යි හෝ දෙවන්නෙමි යි හෝ බලා නම්, ලමු කොට සිතන සන් නැත්තහුට, ආපදාවෙහි ඇවැත් නැත, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
අෂ්ටම ශික්‍ෂාපද යි.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු මහත් කොට බත්පිඬු කෙරෙත් ...
“ඉමහත් කොට බත් පිඬු නො කරන්නෙමි යි හික්මියැ යුතු” යි.
ඉමහත් කොට බත්පිඬු නො කළ යුතු යි. යමෙක් අනාදරිය පිණිස මහත් කොට බත්පිඬු කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, කැවිලියෙහි, පලවැළයෙහි, අවුළුපත්හි, ආපදාවෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
නවම ශික්‍ෂාපද යි.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු දිගැටි කොට බත්පිඬු කෙරෙත් ...
“පිරිමඬුලු කොට බත්පිඬු කරන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. පිරිමඬුලු කොට බත්පිඬු කළයුතු යි. යමෙක් අනාදරිය පිණිස දිගැටි කොට බත්පිඬු කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, කැවිලියෙහි, පලවැළයෙහි, අවුළුපත්හි, ආපදාවෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
දශම ශික්‍ෂාපද යි.
සතරවන සක්කච්ච වර්‍ග යි.
කබළ වර්‍ගය
එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි සවග මහණහු ආලෝපය නො එළවූ කල්හි මුවදොර විවෘත කෙරෙත් ...
“ආලෝපය නො එළවූ කල්හි මුවදොර විවෘත නො කරන්නෙමි යි හික්මියැ යුතු” යි.
ආලෝපය නො එළවූ කල්හි මුවදොර විවෘත නො කළ යුතු යි. යමෙක් අනාදරිය පිණිස ආලෝපය නො එළවූ කල්හි මුවදොර විවෘත කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
ප්‍රථම ශික්‍ෂාපද යි.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ වළඳමින් මුළු අත මුවෙහි බහාලත් ...
“වළඳමින් මුළු අත මුවෙහි නො බහාලන්නෙමි යි හික්මියැ යුතු” යි.
වළඳන්නහු විසින් මුළු අත මුවෙහි නො බහා ලිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස වළඳමින් මුළු අත මුවෙහි බහා ලා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
ද්විතීය ශික්‍ෂාපද යි.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු ආලෝපය සහිත මුවින් බෙණෙත්. ...
“ආලෝපය සහිත මුවින් නො බණන්නෙමි යි හික්මියැ යුතු” යි.
ආලෝපය සහිත මුවින් නො බිණිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස ආලෝපය සහිත මුවින් බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
තෘතීය ශික්‍ෂාපද යි.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු (මුවතුළට) පිඬු දමා ගසමින් වළඳත් ...
“පිඬු මියෙහි දමා ගසමින් නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
පිඬු දමා ගසමින් නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස පිඬු දමා ගසමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, කැවිලියෙහි, පලවැළෙහි, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.