“අල්පශබ්ද ඇතියෙම් ඇතුළුගමෙහි යන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. අල්පශබ්දයෙන් යුතු වැ ඇතුළුගමෙහි යායුතු යි. යමෙක් අනාදරිය පිණිස උස්හඬ මහහඬ කෙරෙමින් ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
තෘතීය ශික්‍ෂාපද යි.
8. 2. 4.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු උස්හඬ මහහඬ කෙරෙමින් ඇතුළුගමෙහි හිඳිත් ...
“අල්පශබ්ද ඇතියෙම් ඇතුළුගමෙහි හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
අල්පශබ්දයෙන් යුතු වැ ඇතුළුගමෙහි හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස උස්හඬ මහහඬ කෙරෙමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.
8. 2. 5.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු කය එල්වමින් කය සල සලා ඇතුළුගමෙහි යෙත් ...
“කය සලමින් ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
කය සලමින් ඇතුළුගමෙහි නො යා යුතු යි. කය නිසල කොට ඍජු වැ තබා යායුතු යි. යමෙක් අනාදරිය පිණිස කය එල්වමින් කය සල සලා ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
පඤ්චම ශික්‍ෂාපද යි.
8. 2. 6.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු කය එල්වමින් කය සල සලා ඇතුළුගමෙහි හිඳිත් ...
“කය සල සලා ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
කය සලමින් ඇතුළුගමෙහි නො හිඳියයුතු යි. කය නිසල කොට ඍජු වැ තබා හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස කය එල්වමින් කය සොලවමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතයහට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
ෂෂ්ඨ ශික්‍ෂාපද යි.
8. 2. 7.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු බාහුව එල්වමින් බාහුව සල සලා ඇතුළුගමෙහි යෙත් ...
“අත් සල සලා ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
බාහුව සලමින් ඇතුළුගමෙහි නො යායුතු යි. බාහුව නිසල කොට තබා යා යුතු යි. යමෙක් අනාදරිය පිණිස බාහුව එල්වමින් බාහුව සලමින් ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
සප්තම ශික්‍ෂාපද යි.
8. 2. 8.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණහු අත් එල්වමින් ඇතුළුගමෙහි හිඳිත් ...
“අත් සල සලා ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
බාහුව සල සලා ඇතුළුගමෙහි නො හිඳියයුතු යි. බාහුව නිසල කොට තබා හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස බාහුව එල්වමින් බාහුව සලමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතහට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
අෂ්ටම ශික්‍ෂාපද යි.
8. 2. 9.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණහු හිස එල්වමින් හිස සල සලා ඇතුළුගමෙහි යෙත් ...
“හිස සල සලා ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු”.
2. හිස සලමින් ඇතුළුගමෙහි නො යායුතු යි. හිස නිසල කොට ඍජු වැ තබා යායුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස එල්වමින් හිස සලමින් ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
නවම ශික්‍ෂාපද යි.
8. 2. 10.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු හිස එල්වමින් හිස සල සලා ඇතුළුගමෙහි හිඳිත් ...
“හිස සල සලා ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
හිස සල සලා ඇතුළුගමෙහි නො හිඳියයුතු යි. හිස නිසල කොට ඍජු වැ තබා හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස එල්වමින් හිස සලමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතහට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
දශම ශික්‍ෂාපද යි.
දෙවන උජ්ජග්ඝික වර්‍ග යි.
ඛම්භකත වර්‍ගය
8. 3. 1.
එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් වූ, අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි සවග මහණහු උකුළෙහි තැබූ අත් ඇති වැ ඇතුළුගමෙහි යෙත් ...
“උකුළෙහි තැබූ අත් ඇතියෙම් ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
උකුළෙහි තැබූ අතින් යුතු වැ ඇතුළුගමෙහි නො යායුතු යි. යමෙක් අනාදරිය පිණිස එක් පසින් හෝ දෙපසින් හෝ උකුළෙහි අත් තබා ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
ප්‍රථම ශික්‍ෂාපද යි.
8. 3. 2.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු උකුළෙහි තැබූ අත් ඇති වැ ඇතුළුගමෙහි හිඳිත් ...
“උකුළෙහි තැබූ අත් ඇතියෙම් ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
උකුළෙහි තැබූ අත් ඇති වැ ඇතුළුගමෙහි නො හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස එක් පසින් හෝ දෙ පසින් හෝ උකුළෙහි අත් තබා ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතහට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
ද්විතීය ශික්‍ෂාපද යි.
8. 3. 3.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු හිස සහිත වැ පෙරෙවැ ඇතුළුගමෙහි යෙත් ...
“හිස වසා පෙරෙවැ ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
හිස වසා පෙරෙවැ ඇතුළුගමෙහි නො යායුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස වසා පෙරෙවැ ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
නොසිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
තෘතීය ශික්‍ෂාපද යි.
8. 3. 4.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු හිස සහිත වැ පෙරෙ වැ ඇතුළුගමෙහි හිඳිත් ...
“හිස වසා පෙරෙවැ ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
හිස වසා පෙරවැ ඇතුළුගමෙහි නො හිඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස වසා පෙරවැ ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතහට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.
8. 3. 5.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු උළුලුයෙන් ඇතුළුගමෙහි යෙත් ...
“ඇතුළුගමෙහි උළුලුයෙන් නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
උළුලුයෙන් ඇතුළුගමෙහි නො යායුතු යි. යමෙක් අනාදරිය පිණිස ඇතුළුගමෙහි උළුලුයෙන් යේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
පඤ්චම ශික්‍ෂාපද යි.
8. 3. 6.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු අකවටු ඇවිළීමෙන් ඇතුළුගමෙහි ...
“අකවටු ඇවිළීමෙන් ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
අකවටු ඇවිළීමෙන් ඇතුළුගමෙහි නො හිඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස අතින් අකවටු ඇවිළීමෙන් හෝ පිළියෙන් අකවටු ඇවිළීමෙන් හෝ ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතහට, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
ෂෂ්ඨ ශික්‍ෂාපද යි.
8. 3. 7.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු බැහැරැ දමනු කැමැතියන් මෙන් නො සකසා (සිහි නො එළවා) පිඬුවා පිළිගනිත් ...
“සිහි එළවා පිඬුවා පිළිගන්නෙමි යි හික්මියැ යුතු” යි.
සකසා පිඬුවා පිළිගතයුතු යි. යමෙක් අනාදරිය පිණිස බැහැරැ දමනු කැමැතියකු මෙන් නො සකසා පිඬුවා පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
නොසිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
සප්තම ශික්‍ෂාපද යි.
8. 3. 8.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු තැනැ තැනැ බලමින් පිඬුවා පිළිගනිත්. (පිඬුවා) දෙන කල්හි දු පිඬුවා දී ඉක්ම යන කල්හි දු නො දනිත් ...
“පාත්‍රගත සංඥී වැ පිඬුවා පිළිගන්නෙමි යි හික්මියැ යුතු” යි.
පාත්‍රගත සංඥා ඇතියහු විසින් පිඬුවා පිළිගත යුතු යි. යමෙක් අනාදරිය පිණිස තැනැ තැනැ බලමින් පිඬුවා පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකකම්මිකහට ඇවැත් නැති.
අෂ්ටම ශික්‍ෂාපද යි.
8. 3. 9.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු පිඬුවා පිළිගන්නෝ සූප මැ බොහෝ කොට පිළිගනිත් ...
“බත සතරවන කොටසින් නො වැඩි සූප ඇති වැ පිණ්ඩපාතය පිළින්නෙමි යි හික්මියැ යුතු” යි.
සූප නම්: අතින් ගෙන යා හැකි මුද්ගසූප යැ මාසසූප යැ යි සූප දෙකෙකි. සමසූපක පිණ්ඩපාතය පිළිගත යුතු යි. යමෙක් අනාදරිය පිණිස සූප මැ බොහෝ කොට පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.