Pācittiya

Expiation Rules

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 4249 segments

පෙන්වන කොටස් 1901-2000 න් 4249

යො පන යනු: යමෙක් යම් බඳුයෙක් ... භික්ඛු යනු: ... මේ තෙම මේ අර්‍ත්‍ථයෙහි ‘භික්ඛු’ යයි අදහස් කරන ලද්දේ යි.
තථාරූපෙසු සේනාසනේසු යනු: මෙබඳු සෙනසුන්හි.
අප්පටිසංවිදිත නම්: පස් සහදැමින් අතුරෙන් කිසිවකු යවා දන්වන ලද්දේ යැ. තෙල අප්පටිසංවිදිත නම. ආරාමය ආරාමොපචාරය තබා (හැරපියා) (අතරමග දුටු හෝ ගමට පැමිණි මහණහට) දන්වන ලද්දේ යැ. තෙල දැන්වීම ද අප්පටිසංවිදිත නම.
පටිසංවිදිත නම්: යම්කිසි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ආරාමයට ආරාමොපචාරයට අවුත් වහන්ස, මෙනම් කුලයෙන් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ගෙන එන්නේ යයි ආරොචන කෙරේ ද ඉදින් (ආරාමය) සැක සහිත වේ නම් ‘සැක සහිත යැ’ කිවයුතු යැ. ඉදින් ප්‍රතිභය සහිත වේ නම් ‘ප්‍රතිභය සහිත යැ’ යි කිව යුතු යැ. ඉදින් වහන්ස වේවා, ‘ගෙනෙන්නෙ’ යැයි කියා ද ‘මිනිස්සු මෙහි අසල හැසිරෙති ‘පහව යව’ යි සොරුනට කිවයුතු යැ. කැඳින් ආරොචන කළ කල්හි එහි පරිවාර (කැවුම් බත් ආදිය) ගෙන එනු ලැබෙ ද, තෙල පටිසංවිදිත නම. ඛාද්‍යයෙන් ආරොචන කළ කල්හි එහි පිරිවර ගෙන එනු ලැබේද, තෙල පටිසංවිදිත නම. කුලයක් විසින් ආරොචන කළ කල්හි එකුලයෙහි යම් මනුෂ්‍යයෙක් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ගෙන ඒ ද, තෙල පටිසංවිදිත නම. ගමෙකින් පටිසංවේදන කළ කල්හි එගම යම් මිනිසෙක් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ගෙන ඒ ද, තෙල පටිසංවිදිත නම. සමාගමෙකින් ප්‍රතිසංවිදිත කල්හි එ සමාගමයෙහි යම් මිනිසෙක් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ගෙන ඒ ද තෙල පටිසංවිදිත නම් වේ.
7. ඛාදනීය නම්: පඤ්චභෝජනයෝ යි. යාවකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය තබා (හැර) සෙස්ස ඛාදනීය නම.
භෝජනීය නම්: පඤ්චභෝජනයෝ යි. බත් යැ කොමු යැ අත්සුණු යැ දියමස් යැ ගොඩමසි.
අජ්ඣාරාම නම්: පිරිකෙව් කරන ලද ආරාමයෙහි ඇතුළු අරමි. පිරිකෙව් නො කරනලද්දෙහි උපචාරය යි.
අගිලාන නම්: පිඬුසිඟා යන්නට හැකි වූයේ ය.
ගිලාන නම්: පිඬුසිඟායන්නට නො හැකියේ ය.
නො ගිලන් වැ අප්පටිසංවිදිතය කමී බුදිමී පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පාටිදේසනීය ඇවැත් වේ.
අප්පටිසංවිදිතයෙහි අප්පටිසංවිදිතසංඥා ඇති වැ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ආරාමය තුළ දී සියතින් පිළිගෙන නො ගිලන් වැ කා නම් හෝ බුදී නම් හෝ පාටිදේසනීය ඇවැත් වෙයි. අප්පටිසංවිදිතයෙහි විමති ඇති වැ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ආරාමය තුළ දී සියතින් පිළිගෙන නො ගිලන් වැ කා නම් හෝ බුදී නම් හෝ පාටිදේසනීය ඇවැත් වෙයි. අප්පටිසංවිදිතයෙහි පටිසංවිදිතසංඥා ඇති වැ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ආරාමය තුළ දී සියතින් පිළිගෙන නො ගිලන් වැ කා නම් හෝ බුදී නම් හෝ පාටිදේසනීය ඇවැත් වෙයි.
යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය ආහාර පිණිස පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වේ.
පටිසංවිදිතයෙහි අප්පටිසංවිදිතසංඥා ඇත්තේ දුකුළා ඇවැත් වෙයි. පටිසංවිදිතයෙහි විමති ඇතියේ දුකුළා ඇවැත් වෙයි. පටිසංවිදිතයෙහි පටිසංවිදිතසංඥා ඇතියේ ඇවැත් නැති.
අනාපත්ති: පටිසංවිදිතයෙහි, ගිලනාට පටිසංවිදිතයෙහි හෝ ගිලනාගේ හෝ අවශේෂය වළඳා නම් අරමින් පිටත්හි පිළිගෙන ඇතුළු අරම්හි දී වළඳා නම්, ඒ අරම්හි උපන් මුල් හෝ පොතු හෝ පත් හෝ මල් හෝ පල හෝ වළඳා නම්, ප්‍රත්‍යය ඇති කල්හි යාමකාලිකය, සත්තාහකාලිකය යාවජීවිකය වළඳා නම් (ඔවුනට) උම්මතකයාට, ආදිකාර්මිකහට ඇවැත් නැති.
සතරවැනි පාටිදේසනීය යි.
එහි උද්දානය:
නො නෑ මෙහෙණක අතින් ඇතුළුගම දී සියතින් බොජුන් පිළිගැනීමෙන් වූ ඇවැත යැ. ඇතුළුගම මෙහෙණක මෙහෙයවද්දී වැළදීමෙන් වූ ඇවැත යැ. සෙඛසම්මතකුලයෙහි සියතින් බොජුන් පිළිගෙන වැළදීමෙන් වූ ඇවැත යැ. සාසඞ්ක සෙනසුන්හි සියතින් බොජුන් පිළිගෙන වැළදීමෙන් වූ ඇවැත යැ යන මේ සතර පාටිදේසනීය ශික්‍ෂාවෝ සම්බුදුරදුන් විසින් වදාරන ලදහ.
ඇවැත්නි, සතර පාටිදේසනීයධර්‍මයෝ උදෙසන ලදහ. එහි ලා ආයුෂ්මතුන් පුළුවුස්මි, කිම පිරිසුදු වවුද? දෙවනවට ද පුළුවුස්මි කිම පිරිසුදු වවුද? තෙවන වට ද පුළුවුස්මි කිම පිරිසුදු වවුද? මෙහි ලා ආයුෂ්මත්හු පරිශුද්ධයහ. එහෙයින් තූෂ්ණීම්භූත වවු, තෙල කරුණ මෙසේ ධරමි’යි.
පාටිදේසනීය ශික්‍ෂා නිමි.
සේඛිය කාණ්ඩය
ආයුෂ්මත්නි, මේ සේඛිය ධර්‍මයෝ උදෙසීමට පැමිණෙත්.
පරිමණ්ඩල වර්‍ගය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වමින් හඳිත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ කාමභෝගී ගිහියන් මෙන් ඉදිරිපසිනුදු පසුපසිනිදු එල්වමින් හැන්දාහු” දැ යි.
2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්තිශබ්දය) ඇසූහු, යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වනුවන් වැ හඳනාහු” දැ යි. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙඅවසරයෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂු සඞ්ඝයා රැස් කරවා සවග මහණුන් පිළිවිසූසේකැ” සැබෑ ද මහණෙනි, තෙපි ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වනුවන් වැ හඳිවු දැ” යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... හිස් පුරුෂයෙනි, කෙසේ නම් තෙපි ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වනුවන් වැ හැන්දහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“පිරිමඬුලු කොට හඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
3. නැබමඬල දණමඬල වසන්නහු විසින් පිරිමඬුලු කොට හැන්ද යුතු යි, යමෙක් අනාදරිය පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් හඳී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
ප්‍රථම ශික්‍ෂාපද යි.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ අනේපිඬුසිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වමින් පොරවත් ...
“පිරිමඬුලු කොට පොරවන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. පොරවන්නහු විසින් දෙකොන සම කොට පිරිමඬුලු කොට පෙරැවිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් පොරවා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
ද්විතීය ශික්‍ෂාපද යි.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති, එසමයෙහි සවග මහණහු කය විවර කොට ඇතුළුගමෙහි යෙත් ...
“සුපිළිසන් වැ ඇතුළුගමෙහි යන්නෙමි යි හික්මියැයුතු” යි.
2. සුපිළිසන් වූවහු විසින් ඇතුළුගමෙහි යායුතු යි. යමෙක් අනාදරිය පිණිස කය විවර කොට ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දත්තහුට, ගිලනහුට, ආපදායෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
තෘතීය ශික්‍ෂාපද යි.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති, එසමයෙහි සවග මහණහු කය විවර කොට ඇතුළුගමෙහි හිඳිත් ...
“සුපිළිසන් වැ ඇතුළුගමෙහි හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
2. සුපිළිසන් වූවහු විසින් ඇතුළුගමෙහි හිඳි යැ යුතු. යමෙක් අනදර නිසා කය විවර කොට ගෙන අතුරුගෙයෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතයහට, ආපදාවෙහි, උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු අත ද පා ද කෙළවමින් ඇතුළුගමෙහි යෙත් ...
“මොනවට සංවර වැ ඇතුළුගමෙහි යන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. මොනවට සංවර වූවහු විසින් ඇතුළුගමෙහි යායුතු යි. යමෙක් අනාදරිය පිණිස අත හෝ පා හෝ කෙළවමින් ඇතුළු ගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
පඤ්චම ශික්‍ෂාපද යි.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු අත ද පා ද කෙළවමින් ඇතුළුගම්හි හිඳිත් ...
“මොනවට සංවර වැ ඇතුළුගමෙහි හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
2. මොනවට සංවර වූවහු විසින් ඇතුළුගමෙහි හිඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස අත හෝ පා හෝ කෙළවමින් ඇතුළු ගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
ෂෂ්ඨ ශික්‍ෂාපද යි.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු තැනැ තැනැ බලමින් ඇතුළුගමෙහි යෙත් ...
“යටැ හෙළු ඇස් ඇති වැ ඇතුළුගමෙහි යන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. වියදඬු පමණ බලන්නහු විසින් යටැ හෙලූ ඇස් ඇති වැ ඇතුළුගමෙහි යා යුතු යි. යමෙක් අනාදරිය පිණිස තැනැ තැනැ බලමින් ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
සප්තම ශික්‍ෂාපද යි.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි සවග මහණහු තැනැ තැනැ බලමින් ඇතුළුගමෙහි හිඳිත් ...
“යටැ හෙළු ඇස් ඇති වැ ඇතුළුගමෙහි හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
2. වියදඬු පමණ බලන්නහු විසින් යටැ හෙළු ඇස් ඇති වැ ඇතුළුගමෙහි හිඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස තැනැ තැනැ බලමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
අෂ්ටම ශික්‍ෂාපද යි.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි සවග මහණහු ඔසවන ලද සිවුරින් යුතු වැ ඇතුළුගමෙහි යෙත් ...
“ඔසවන ලද සිවුරෙන් යුතු වැ ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මිය යුතු” යි.
2. ඔසවනලද සිවුරෙන් යුතු වැ ඇතුළුගමෙහි නො යා යුතු යි. යමෙක් අනාදරිය පිණිස එක්පසින් හෝ දෙපසින් හෝ (සිවුර) ඔසවා ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
නවම ශික්‍ෂාපද යි.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු ඔසවන ලද සිවුරින් යුතු වැ ඇතුළුගමෙහි හිඳිත් ...
“ඔසවන ලද සිවුරෙන් යුතු වැ ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියයුතු” යි.
2. ඔසවනලද සිවුරෙන් යුතු වැ ඇතුළුගමෙහි නො හිඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස එක්පසින් හෝ දෙපසින් හෝ (සිවුර) ඔසවා ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතයහට, ආපදාවෙහි, ඇවැත් නැත. උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
දශම ශික්‍ෂාපද යි.
පළමුවන පරිමණ්ඩල වර්‍ග යි.
උජ්ජග්ඝික වර්‍ගය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු මහසිනා සෙමින් ඇතුළුගමෙහි යෙත් ...
“මහසිනායෙන් යුතු වැ ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. මහසිනායෙන් යුතු වැ ඇතුළුගමෙහි නො යායුතු යි. යමෙක් අනාදරිය පිණිස මහසිනා සෙමින් ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, සිනාසිය යුතු වස්තුවෙහි මඳසිනා පමණක් කරන්නහුට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
ප්‍රථම ශික්‍ෂාපද යි.
1. ශ්‍රාවස්තිනිදාන යි - එසමයෙහි සවග මහණහු මහසිනා සෙමින් ඇතුළුගමෙහි හිඳිත් ...
“මහසිනායෙන් යුතු වැ ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු යැ” යි.
2. මහසිනායෙන් යුතු වැ ඇතුළුගමෙහි නො හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස මහසිනා සෙමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, සිනාසිය යුතු වස්තුවෙහි මඳසිනා පමණක් කරන්නහුට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
ද්විතීය ශික්‍ෂාපද යි.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු උස්හඬ මහහඬ කෙරෙමින් ඇතුළුගමෙහි යෙත් ...