Pācittiya

Expiation Rules

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 4249 segments

පෙන්වන කොටස් 101-200 න් 4249

58. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ (මෙසේ) කියයි: “මෙහි ඇතැම් කෙනෙක් සැඩොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරහු පුප්සඬුවෝ වෙති’ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
59. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ (මෙසේ) කියයි: “මෙහි ඇතැම් කෙනෙක් ක්‍ෂත්‍රියයෝ බ්‍රාහ්මණයෝ වෙති” යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
60. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ (මෙසේ) කියයි: “මෙහි ඇතැම් කෙනෙක් අවකණ්ණ ජවකණ්ණ දනිටු සවිටු කුලවඩු වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් බුදුරැකි දම්රැකි සඟරැකි වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් කෝසිය භාරද්වාජ වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් ගෞතම මෞද්ගල්‍යාන කාත්‍යායන වාශිට්ඨ වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් තක්‍ෂක පුප්සඩු වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් ගොවියෝ වෙළෙඳෝ ගෙරිරක්නෝ වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් කුළුපොතු කුඹල් පෙහෙර සොම්මරු නැහැවි වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් මුද්‍රික ගණක ලේඛක වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් කුෂ්ට ගණ්ඩ කිලාස ශ්වාස අපස්මාර ඇත්තෝ වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් මධුමෙහික වෙති”යි බෙණේ නම් ...
“මෙහි ඇතැම් කෙනෙක් ඉතා උස් ඉතා මිටි ඉතා කළු ඉතා සුදු වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් ඉතා නො උස් ඉතා නො මිටි ඉතා නො කළු ඉතා නො සුදු වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් රාගයෙන් මැඩුණෝ ද්වේෂයෙන් මැඩුණෝ මෝහයෙන් මැඩුණෝ වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් වීතරාගී වීතද්වේෂී වීතමෝහී වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් පරිජි අවන්හු ... දුබැසි අවන්හු වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් සෝවන් වූවෝ වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් ඔටු බැටළු ගොන් ගදුබු තිරිසන් නිරිසත් වෙති. ඔවුනට සුගති නැති ඔවුනට දුගති මැ කැමැති විය යුතු”යැයි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
61. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ (මෙසේ) කියයි: “මෙහි ඇතැම් කෙනෙක් පණ්ඩිත ව්‍යක්ත නැණැති බහුශ්‍රුත ධර්‍මකථික වෙති, ඔවුනට දුගති නැති ඔවුනට සුගති මැ කැමැති විය යුතු” යැයි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
62. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ (මෙසේ) කියයි: “යම් කෙනෙක් එකැතින් සැඩොල් කුළුපොතු වැදි සොම්මර පුප්සඩු වෙති” යි බෙණේ නම් දුකුළා ඇවැත් වෙයි.
63. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ (මෙසේ) කියයි: “යම් කෙනෙක් එකැතින් පණ්ඩිත ව්‍යක්ත නැණැති බහුශ්‍රුත ධර්‍මකථික වෙති” යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
64. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ මෙසේ කියයි: “ඇපි සැඩොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරහු පුප්සඩුවෝ නො වම්හ”යි බෙණේ නම් ... “ඇපි පණ්ඩිතයෝ ව්‍යක්තයෝ නැණැතියෝ බහුශ්‍රැතයෝ ධර්‍මකථිකයෝ නො වම්හ. අපට දුගති නැති අපට සුගති මැ කැමැති විය යුතු” යැයි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
65. උපසපනෙක් අනුපසනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීනභාවයෙන් හීනයකුහට කියයි ... හීනභාවයෙන් උත්කෘෂ්ටයකුහට කියයි ... උත්කෘෂ්ටභාවයෙන් හීනයකුහට කියයි ... උත්කෘෂ්ටභාවයෙන් උත්කෘෂ්ටයකුහට (මෙසේ) කියයි: පණ්ඩිතයකුට ව්‍යක්තයකුට නැණැතියකුට බහුශ්‍රැතයකුට ධර්‍මකථිකයකුට “පණ්ඩිතයෙහි ව්‍යක්තයෙහි නැණැතියෙහි බහුශ්‍රැතයෙහි ධර්‍මකථිකයෙහි, තට දුගති නැති, තට සුගති මැ කැමැති විය යුතු”යැ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
66. උපසපනෙක් අනුපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ මෙසේ කියයි: “මෙහි ඇතැම් කෙනෙක් සැඩොල් කුළුපොතු වැදි සොම්මර පුප්සඬු වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් පණ්ඩිත ව්‍යක්ත නැණැති බහුශ්‍රුත ධර්‍මකථික වෙති, ඔවුනට දුගති නැති, ඔවුනට සුගති මැ කැමැති විය යුතු”යැ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
67. උපසපනෙක් අනුපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ මෙසේ කියයි: “යම් කෙනෙක් එකැතින් සැඩොල් කුළුපොතු වැදි සොම්මර පුප්සඬු වෙති”යි බෙණේ නම් ... යම් කෙනෙක් එකැතින් පණ්ඩිත ව්‍යක්ත නැණැති බහුශ්‍රුත ධර්‍මකථික වෙති”යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
68. උපසපනෙක් අනුපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ මෙසේ කියයි: “අපි සැඩොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරු පුප්සඬුවෝ නො වම්හ’යි බෙණේ නම් ... ඇපි පණ්ඩිතයෝ ව්‍යක්තයෝ නැණැතියෝ බහුශ්‍රැතයෝ ධර්‍මකථිකයෝ නො වම්හ, අපට දුගති නැති, අපට සුගති මැ කැමැති විය යුතු”යැ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
69. උපසපනෙක් උපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් හීනජාතිවචනයෙන් හීනයකුහට (මෙසේ) කියයි: සැඬොලකුට කුළුපොත්තකුට වැද්දකුට සොම්මරකුට පුප්සඬුවකුට ‘සැඬොලෙහි කුළුපොත්තෙහි වැද්දෙහි සොම්මරයෙහි පුප්සඬුයෙහි’යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
70. උපසපනෙක් උපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් හීනජාතිවචනයෙන් උත්කෘෂ්ට ජාතිකයකුහට මෙසේ කියයි: ක්‍ෂත්‍රියයකුට බ්‍රාහ්මණයකුට ‘සැඩොලෙහි කුළුපොත්තෙහි වැද්දෙහි සොම්මරයෙහි පුප්සඬුයෙහි’යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
71. උපසපනෙක් උපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් උත්කෘෂ්ට ජාතිවචනයෙන් හීන ජාතිකයකුහට මෙසේ කියයි: සැඬොලකුට කුළුපොත්තකුට වැද්දකුට සොම්මරකුට පුප්සඬුවකුට ‘ක්‍ෂත්‍රියයෙහි බ්‍රාහ්මණයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
72. උපසපනෙක් උපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් උත්කෘෂ්ටජාතිවචනයෙන් උත්කෘෂ්ටජාතිකයකුහට මෙසේ කියයි; ක්‍ෂත්‍රියකුට බ්‍රාහ්මණයකුට ‘ක්‍ෂත්‍රියෙහි බ්‍රාහ්මණයෙහි’ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වේ.
73. උපසපනෙක් උපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් හීනත්‍වයෙන් හීනයකුහට මෙසේ කියයි ... හීනත්‍වයෙන් උත්කෘෂ්ටයකුහට (මෙසේ) කියයි; ... උත්කෘෂ්ටත්‍වයෙන් හීනයකුහට (මෙසේ) කියයි; … උත්කෘෂ්ටත්‍වයෙන් උත්කෘෂ්ටයකුහට මෙසේ කියයි; පණ්ඩිතයකුට ව්‍යක්තයකුට නැණැතියකුට බහුශ්‍රැතයකුට ධර්‍මකථිකයකුට “පණ්ඩිතයෙහි ව්‍යක්තයෙහි නැණැතියෙහි බහුශ්‍රැතයෙහි ධර්‍මකථිකයෙහි තට දුගති නැති තට සුගති මැ කැමැති විය යුතු”යැ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
74. උපසපනෙක් උපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් මෙසේ කියයි: “මෙහි ඇතැම් කෙනෙක් සැඬොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරහු පුප්සඩුවෝ වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් පණ්ඩිතයෝ ව්‍යක්තයෝ නැණැතියෝ බහුශ්‍රැතයෝ ධර්‍මකථිකයෝ වෙති. ඔවුනට දුගති නැති, ඔවුනට සුගති මැ කැමැති විය යුතු”යැ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
75. උපසපනෙක් උපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් මෙසේ කියයි: “යම් කෙනෙක් එකැතින් සැඬොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරහු පුප්සඩුවෝ වෙති”යි බෙණේ නම් ... යම් කෙනෙක් එකැතින් පණ්ඩිතයෝ ව්‍යක්තයෝ නැණැතියෝ බහුශ්‍රැතයෝ ධර්‍මකථිකයෝ වෙති” යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
76. උපසපනෙක් උපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් මෙසේ කියයි: “ඇපි සැඬොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරහු පුප්සඩුවෝ නො වම්හ”යි බෙණේ නම් ... ඇපි පණ්ඩිතයෝ ව්‍යක්තයෝ නැණැතියෝ බහුශ්‍රැතයෝ ධර්‍මකථිකයෝ නො වම්හ. අපට දුගති නැති, අපට සුගති මැ කැමැති විය යුතු” යැ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
77. උපසපනෙක් අනුපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් හීනයකුට හීනත්‍වයෙන් (මෙසේ) කියයි: ... උත්කෘෂ්ටයකුහට හීනත්‍වයෙන් (මෙසේ) කියයි ... හීනයකුහට උත්කෘෂ්ටත්‍වයෙන් (මෙසේ) කියයි ... උත්කෘෂ්ටයකුහට උත්කෘෂ්ටත්‍වයෙන් (මෙසේ) කියයි: පණ්ඩිතයකුට ව්‍යක්තයකුට නැණැතියකුට බහුශ්‍රැතයකුට ධර්‍මකථිකයකුට “පණ්ඩිතයෙහි ව්‍යක්තයෙහි නැණැතියෙහි බහුශ්‍රැතයෙහි ධර්‍මකථිකයෙහි තට දුගති නැති, තට සුගති මැ කැමැති විය යුතු යැ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
78. උපසපනෙක් අනුපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් මෙසේ කියයි: “මෙහි ඇතැම් කෙනෙක් සැඬොල් කුළුපොතු වැදි සොම්මර පුප්සඩු වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් පණ්ඩිත ව්‍යක්ත නැණැති බහුශ්‍රුත ධර්‍මකථික වෙති. ඔවුනට දුගති නැති. ඔවුනට සුගති මැ කැමැති විය යුතු” යැ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
79. උපසපනෙක් අනුපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකුකරනු කැමැත්තේ කෙලි රිසියෙන් මෙසේ කියයි: “යම් කෙනෙක් එකැතින් සැඬොල් කුළුපොතු වැදි සොම්මර පුප්සඩු වෙති”යි බෙණේ නම් ... “යම් කෙනෙක් එකැතින් පණ්ඩිත ව්‍යක්ත නැණැති බහුශ්‍රුත ධර්‍මකථික වෙති”යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
80. උපසපනෙක් අනුපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් මෙසේ කියයි: “ඇපි සැඬොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරහු පුප්සඩුවෝ නො වම්හ”යි බෙණේ නම් ... “ඇපි පණ්ඩිතයෝ ව්‍යක්තයෝ නැණැතියෝ බහුශ්‍රැතයෝ ධර්‍මකථිකයෝ නො වම්හ, අපට දුගති නැති. අපට සුගති මැ කැමැති විය යුතු යැ”යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වේ.
81. අර්‍ත්‍ථය පෙරටු කොට කියන්නහුට, ධර්‍මය පෙරටු කොට කියන්නහුට, අනුශාසනය පෙරටු කොට කියන්නහුට, උම්මත්තකහට වික්‍ෂිප්තචිත්තහට වේදනාර්ත්තහට ආදිකාර්මිකහට ඇවැත් නැති.
දෙවෙනි ඔමසවාද ශික්‍ෂාපද යි.
6. 1. 3.
පෙසුඤ්ඤ ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්හි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු උපන් භණ්ඩන (කලහ පෙරටු බිණුම්) ඇති උපන් කලහ ඇති විවාදයට පැමිණි මහණුන්හට පෙහෙසුන් බස් එළවත්. මොහුගෙන් අසා මොහුගේ බිඳීමට ඔහුට කියත්. ඔහුගෙන් අසා ඔහුගේ බිඳීමට මොහුට කියත්. එයින් නූපන් භණ්ඩනයෝ ද උපදිත්. උපන් භණ්ඩනයෝ ද බහුලබවට විපුලබවට වැටෙත්. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති. නුගුණ කියති. දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු උපන් භණ්ඩන කලහ ඇති විවාදයට පැමිණි මහණුන්හට පෙහෙසුන්බස් එළවූහු ද, මොහුගෙන් අසා මොහුගේ බිඳීමට ඔහුට කීහු ද, ඔහුගෙන් අසා ඔහුගේ බිඳීමට මොහුට කීහු ද, එයින් නූපන් භණ්ඩනයෝ ද උපදිත්. උපන් භණ්ඩනයෝ ද බහුල බවට විපුල බවට වැටෙත්”යැයි.
2. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්හට මෙ කරුණ දැන්වූහ ... සැබෑ ද මහණෙනි, තෙපි උපන් භණ්ඩන කලහ ඇති විවාදයට පැමිණි මහණුන්හට පෙහෙසුන් බස් එළවවු ද? මොහුගෙන් අසා මොහුගේ බිඳීමට ඔහුට කියවු ද? ඔහුගෙන් අසා ඔහුගේ බිඳීමට මොහුට කියවු ද? එයින් නූපන් භණ්ඩනයෝ ද උපදිත්. උපන් භණ්ඩනයෝ ද බහුල බවට විපුල බවට වැටෙත් යැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි උපන් භණ්ඩන කලහ ඇති විවාදයට පැමිණි මහණුන්හට පෙහෙසුන් බස් එළවූවහු ද? මොහුගෙන් අසා මොහුගේ බිඳීමට ඔහුට කීවහු ද? ඔහුගෙන් අසා ඔහුගේ බිඳීමට මොහුට කීවහු ද, එයින් නූපන් භණ්ඩනයෝ ද උපදිත්. උපන් භණ්ඩනයෝත් බහුල බවට විපුල බවට වැටෙත්. හිස්පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ ප්‍රසන්නයන්ගේ අතිරේක ප්‍රසාදයට හෝ නො වේ ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු;
මහණුන්ගේ පෙහෙසුන් බස්හි පචිති ඇවැත් වේ යයි.
3. පෙසුඤ්ඤ නම්: දෙ අයුරෙකින් පෙහෙසුන් වෙයි. ප්‍රිය භාවය කැමැත්තාහට හෝ බිඳුවන අදහස ඇතියාහට හෝ යි. දස අයුරෙකින් පෙහෙසුන් බස් එළවයි. ජාතියෙනුදු නාමයෙනුදු ගෝත්‍රයෙනුදු කර්‍මයෙනුදු ශිල්පයෙනුදු ආබාධයෙනුදු ලිඞ්ගයෙනුදු ක්ලේශයෙනුදු ආපත්තියෙනුදු ආක්‍රොශයෙනුදු යි.
4. ජාති නම්: ජාති දෙකෙකි, හීන ජාති ද උත්කෘෂ්ට ජාති දැ යි. හීන ජාති නම්: සැඬොල්ජාති යැ කුළුපොතුජාති යැ වැදිජාති යැ සොම්මරජාති යැ පුප්සඬුජාති යි. තෙල හීනජාති නම. උත්කෘෂ්ට ජාති නම්: ක්‍ෂත්‍රිය ජාති යැ බ්‍රාහ්මණ ජාති යි. තෙල උත්කෘෂ්ට ජාති නමු ...
5. ආක්‍රෝශ නම්: ආක්‍රෝශ දෙකෙකි හීනආක්‍රෝශ ද උත්කෘෂ්ට ආක්‍රෝශ දැ යි. හීනාක්‍රෝශ නම්: ඔටුයෙහි මැඬයෙහි ගොන්හි ගදුබුයෙහි තිරිසන්ගියෙහි නිරිසත්හි තට සුගති නැති, තට දුගති මැ කැමැති වියයුතු යි, යකාරභකාරයන් යොදා කරන ආක්‍රෝශ යැ කාටකෝටචිකායෙන් (ස්ත්‍රී පුරුෂ නිමිත්ත කරුණු කොට) කරන ආක්‍රෝශ යි. තෙලෙ හීනාක්‍රෝශ නම. උත්කෘෂ්ටාක්‍රෝශ නම්: පණ්ඩිතයෙහි ව්‍යක්තයෙහි නැණැතියෙහි බහුශ්‍රැතයෙහි ධර්‍මකථිකයෙහි තට දුගති නැති තට සුගති මැ කැමැති වියයුතු යි. තෙලෙ උත්කෘෂ්ටාක්‍රෝශ නමි.
6. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට “මෙ නම් ඇතියේ තට සැඬොල් යැ කුළුපොතු යැ වැදි යැ සොම්මර යැ පුප්සඩු යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
7. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට “මෙ නම් ඇතියේ තට ක්‍ෂත්‍රිය යැ බ්‍රාහ්මණ යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
8. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට මෙ නම් ඇතියේ තට අවකණ්ණක යැ ජවකණ්ණක යැ ධනිට්ඨක යැ සවිට්ඨක යැ කුලවඩ්ඪක යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
9. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට “මෙ නම් ඇතියේ තට බුද්ධරක්‍ෂිත යැ ධර්‍මරක්‍ෂිත යැ සඞ්ඝරක්‍ෂිත යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
10. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට මෙ නම් ඇතියේ තට කෝසිය යැ භාරද්වාජ යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
11. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට මෙ නම් ඇතියේ තට ගොතම යැ මොග්ගල්ලාන යැ කච්චාන යැ වාසෙට්ඨ යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
12. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට මෙ නම් ඇතියේ තට කොට්ඨක යැ පුප්ඵඡඩ්ඪක යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
13. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුහට “මෙ නම් ඇතියේ තට කර්‍ෂක යැ වාණිජ යැ ගෝරක්‍ෂකයැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
14. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුහට “මෙ නම් ඇතියේ තට නළකාර යැ කුම්භකාර යැ පේසකාර යැ චම්මකාර යැ නහාපිත යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
15. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට මුද්දික යැ ගණක යැ ලේඛක යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
16. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට මෙනම් ඇතියේ තට කුට්ඨික යැ ගණ්ඩික යැ කිලාසික යැ සොසික යැ අපමාරික යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
17. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට මධුමෙහික යැ යි බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
18. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට අතිදීර්‍ඝ යැ අතිභ්‍රස්ව යැ අතිකෘෂ්ණ යැ අත්‍යවදාත යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
19. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට නාතිදීර්‍ඝ යැ නාතිභ්‍රස්ව යැ නාතිකෘෂ්ණ යැ නාත්‍යවදාත යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
20. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුහට “මෙ නම් ඇතියේ තට රාගපර්‍ය්‍යුත්‍ථිත යැ ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත යැ මෝහපර්‍ය්‍යුත්‍ථිත යැයි බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
21. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට වීතරාග යැ වීතද්වේෂ යැ වීතමෝහ යැ යි බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
22. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට පරිජි අවනැ සඟවෙසෙස් අවනැ තුලසි අවනැ පචිති අවනැ පිළිදෙස්නී අවනැ දුකුළා අවනැ දුබැසි අවනැ යි බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
23. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට සෝතාපන්නයෙකැ යි බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
24. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට ඔටු යැ මැඬ යැ ගොන් යැ ගදුබු යැ තිරිසන්ගියෙ යැ නිරිසත් යැ තට සුගති නැත, තට දුගති මැ කැමැති වියයුතු යැයි බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
25. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට පණ්ඩිත යැ ව්‍යක්ත යැ මේධාවී යැ බහුශ්‍රුත යැ ධර්‍මකථික යැ තට දුගති නැති තට සුගති මැ කැමැති විය යුතු යැ යි බෙණේ යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
26. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ “මෙහි ඇතැම් සැඬොල් කෙනෙක් කුළුපොතු කෙනෙක් වැදි කෙනෙක් සොම්මර කෙනෙක් පුප්සඬු කෙනෙක් වෙතියි බෙණේ නම් හේ අනෙකකුට නො බෙණේ තට මැ බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
27. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ මෙහි ඇතැම් ක්‍ෂත්‍රිය කෙනෙක් බ්‍රාහ්මණ කෙනෙක් වෙති යි බෙණේ නම් හේ අනෙකකුට නො බෙණේ, තට මැ බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
28. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ මෙහි ඇතැම් පණ්ඩිත කෙනෙක් ව්‍යක්ත කෙනෙක් මේධාවී කෙනෙක් බහුශ්‍රුත කෙනෙක් ධර්‍මකථික කෙනෙක් වෙති ඔවුනට සුගති මැ කැමැති වියයුතු යැ යි බෙණේ නම් හේ අනෙකකුට නො බෙණේ තට මැ බෙණේ” යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
29. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුහට “මෙ නම් ඇතියේ යම් කෙනෙක් ඒකාන්තයෙන් සැඬොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරහු පුප්සඩුහු යැ යි බෙණේ නම් හේ අනෙකකුට නො බෙණේ තට මැ බෙණේ” යයි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
30. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුහට “මෙ නම් ඇතියේ ... යම් කෙනෙක් ඒකාන්තයෙන් පණ්ඩිතයෝ ව්‍යක්තයෝ මේධාවීහු බහුශ්‍රැතයෝ ධර්‍මකථිකයෝ වෙද්ද, ඔවුනට දුගති නැති, ඔවුනට සුගති මැ කැමැති වියයුතු යැයි බෙණේ නම් හේ අනෙකකුට නො බෙණේ තට මැ බෙණේ” යයි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
31. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුහට “මෙ නම් ඇතියේ ඇපි සැඬොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරහු පුප්සඩුහු නො වම්හ යි බෙණේ ද හේ අනෙකකුට නො බෙණේ, තට මැ බෙණේ” යයි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
32. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුහට “මෙ නම් ඇතියේ ඇපි පණ්ඩිතයෝ ව්‍යක්තයෝ මේධාවීහු බහුශ්‍රැතයෝ ධර්‍මකථිකයෝ නො වම්හ අපට දුගති නැති, අපට සුගති මැ කැමැති වියයුතු යැයි බෙණේ ද, හේ අනෙකකුට නො බෙණේ. තට මැ බෙණේ” යයි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
33. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුහට පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
34. උපසපනෙක් උපසපනකුගෙන් අසා අනුපසපනකුහට පෙහෙසුන් එළවා නම් දුකුළා ඇවැත් වෙයි.
35. උපසපනෙක් අනුපසපනකුගෙන් අසා උපසපනකුහට පෙහෙසුන් එළවා නම් දුකුළා ඇවැත් වෙයි.
36. උපසපනෙක් අනුපසපනකුගෙන් අසා අනුපසපනකුහට පෙහෙසුන් එළවා නම් දුකුළා ඇවැත් වෙයි.
37. ප්‍රියභාවය නොකැමැතියාහට ද බිඳුවන අදහස නැතියාහට ද උම්මත්තකයාහට ද ආදිකම්මිකයාහට ද ඇවැත් නැති.
තෙවැනි පෙසුඤ්ඤශික්‍ෂාපද යි.
6. 1. 4.
පදසෝධම්ම ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්හි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි සවග මහණහු උවසුවනට පද විසින් එක් වැ ධර්‍මය කියවති. උවසුවෝ භික්‍ෂූන් කෙරෙහි ගරු නැති වැ බුහුමන් නැති වැ විසම පැවැතුම් ඇති වැ වෙසෙති. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ද ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු උවසුවනට පද විසින් ධර්‍මය කියැවූහු ද, උවසුවෝ භික්‍ෂූන් කෙරෙහි ගරු නැති වැ බුහුමන් නැති වැ විසම පැවතුම් ඇති වැ වෙසෙන්නාහ” යි.
2. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ ... සැබෑ ද මහණෙනි, තෙපි උවසුවනට පද විසින් එක් වැ ධර්‍මය කියවහු ද උවසුවෝ භික්‍ෂූන් කෙරෙහි ගරු නැති වැ බුහුමන් නැති වැ විසම පැවතුම් ඇති වැ වෙසෙන්නාහයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූහ ... “කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි උවසුවනට පද විසින් ධර්‍මය කියවූහු ද උවසුවෝ භික්‍ෂූන් කෙරෙහි ගරු නැති වැ බුහුමන් නැති වැ විසම පැවැතුම් ඇති වැ වෙසෙන්නාහ. හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ ප්‍රසන්නයන්ගේ අතිරේක ප්‍රසාදයට හෝ නොවේ ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් අනුපසපනක්හට පද විසින් ධර්‍මය කියවා නම් පචිති වේ” යයි.
3. යෝපන: යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙම මෙ අරුතෙහි ලා අදහස් කරනලද භික්‍ෂු යි. අනුපසම්පන්න නම්: මහණ ද මෙහෙණ ද තබා අවශේෂ වූයේ අනුපසම්පන්න නම් වේ.
පදසො නම්: පද යැ අනුපද යැ අන්‍වක්‍ෂර යැ අනුව්‍යඤ්ජන යි. පද නම්: එක් වැ පටන් ගෙනැ එක් වැ නිමවති. අනුපද නම්: වෙන වෙන පටන් ගෙනැ එක් වැ නිමවති. අන්‍වක්ඛර නම්: “රූපං අනිච්චං”යී කියනු ලබන්නේ ‘රූ’ යි එක් වැ කියා නිමව යි. අනුබ්‍යඤ්ජන නම්: “රූපං අනිච්චං” යි කියනු ලබන්නේ ‘වේදනා අනිච්චා’යි ශබ්දය නිකුත් කෙරෙයි, යම් පදයෙකුදු යම් අනුපදයෙකුදු යම් අන්‍වක්‍ෂරයෙකුදු යම් අනුව්‍යඤ්ජනයෙකුදු වේ ද මේ හැම පදසො නම් වේ.
ධම්ම නම්: බුද්ධභාෂිත යැ ශ්‍රාවකභාෂිත යැ ඍෂිභාෂිත යැ දේවභාෂිත යැ අර්‍ත්‍ථොපසංහිත යැ ධර්මොපසංහිත යි.
වාචෙය්‍ය නම්: පදයෙන් කියවා නම් පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වෙයි. අක්‍ෂරයෙන් කියවා නම් අකුරෙහි අකුරෙහි පචිති ඇවැත් වේ.
අනුපසපනක්හු කෙරෙහි අනුපසපනැ යි සන් ඇතියේ පද විසින් ධර්‍මය කියවා නම් පචිති ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ පද විසින් ධර්‍මය කියවා නම් පචිති ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපනැ යි සන් ඇතියේ පද විසින් ධර්‍මය කියවා නම් පචිති ඇවැත් වේ.
උපසපනක්හු කෙරෙහි අනුපසපනැ යි සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි උපසපනැ යි සන් ඇතියේ නම් ඇවැත් නැති.
එක් වැ උදෙසවා ගනුයේ නම්, එක් වැ හදාරනුයේ නම්, බෙහෙවින් පුහුණු ග්‍රන්‍ථයක් කියන්නහු අනු වැ කියා නම්, උසුරුවන්නහු අනු වැ කියා නම්, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සිව්වැනි පදසෝධම්මශික්‍ෂාපද යි.
6. 1. 5.
සහසෙය්‍ය ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු අළවුපුරැ අග්ගාළව සෑයෙහි වැඩැ වෙසෙති. එසමයෙහි උවසුවෝ බණ ඇසීමට ආරාමයට පැමිණෙති. බණ දෙසූ කල්හි ස්ථවිර භික්‍ෂූහු තමන්තමන්ගේ විහාරයට යෙති. නවක භික්‍ෂූහු එහි මැ උවටන්හල්හි උවසුවන් හා සමග මුළාසිහි ඇති වැ මනා නුවණ නැති වැ නග්න වැ නන් දොඩමින් නැහැ හඬවමින් ශයනය කෙරෙත්. උවසුවෝ ලමු කොට සිතති. නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් වහන්දෑ මුළාසිහි ඇති වැ මනා නුවණ නැති වැ නග්න වැ නන් දොඩමින් නැහැ හඬවමින් ශයනය කොළෝ”දැ යි. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ උවසුවන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු යැ. යම් භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් භික්‍ෂූහු අනුපසපනක්හු සමග එක් වැ ශයනය කොළෝදැ”යි.
2. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ දැන් වූහ ... සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු අනුපසපනක්හු සමග එක් වැ ශයනය කෙරෙද්දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් මහණෙනි, ඒ හිස් පුරුෂයෝ අනුපසපනක්හු සමග එක් වැ ශයනය කොළෝ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙ යි ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් අනුපසපනක්හු සමග එක් වැ ශයනය කරන්නේ නම් පචිති වේ” යැයි.
මෙසේත් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අළවුපුරැ කැමැති තාක් කල් වැස කොසඹෑ නුවරට චාරිකාවෙහි නික්මුණු සේක. පිළිවෙළින් සැරි සරනුවෝ කොසඹෑ නුවර යම් තැනෙක ද එතනට පැමිණි සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ කොසඹෑපුරැ ඩෙබර අරමෙහි වසන සේක. භික්‍ෂූහු ආයුෂ්මත් රාහුලයනට මේ කීහු: ‘ඇවැත්නි, රාහුලයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අනුපසපනක්හු සමඟ එක් වැ ශයනය නො කළයුතු යැ යි සිකපද පනවන ලද. ඇවැත්නි, රාහුලයෙනි, හෝනා තැනක් දනුව යි. එකල්හි ආයුෂ්මත් රාහුල හෝනා තැනක් නොලබන්නේ වස්කිළියෙහි ශයනය කෙළේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ පසොස්සල්හි නැඟී සිට වස්කිළියට එළැඹි සේක. එළැඹැ උකැසිසේක. ආයුෂ්මත් රාහුල ද උකැසී ය. මෙහි කවරෙක්දැ යි? භාග්‍යවතුන් වහන්ස, මම රහල්මි. රාහුල කුමකට තෙපි මෙහි හුන්නවු ද? එකල්හි ආයුෂ්මත් රාහුල භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ දැන්වී ය.
4. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණෙහි ලා තෙල අවසරයෙහි ලා දැහැමි බණ වදාරා මහණුන් ඇමතූසේක. මහණෙනි, අනුපසපනක්හු සමග දෙතුන් රැයක් එක් වැ ශයනය කරන්නට අනුදනිමි. මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු.
යම් මහණෙක් අනුපසපනක්හු සමග දෙතුන් රැයකින් මත්තෙහි එක්වැ ශයනය කරන්නේ නම් පචිති වේ.
5. යෝපන: යම් යම්බඳු ..... භික්ඛු ........... මෙතෙම මෙ අරුතෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. අනුපසම්පන්න නම්: භික්‍ෂූහු තබා අවශේෂ වූයේ අනුපසපන් නම් වේ. උත්තරිං දිරත්තතිරත්තං යනු: අයිරා දෙතුන් රැයක්. සහ යනු: එක් වැ. සෙය්‍යා නම්: හැම පිළිසන් යැ, හැම පසින් පිළිසන් යැ, බෙහෙවින් පිළිසන් යැ, බෙහෙවින් හැම පසින් පිළිසන් යැ. සෙය්‍යං කප්පෙය්‍ය යනු: සතර වන දිනයෙහි හිරු අස්තයට ගිය කල්හි අනුපසපනක්හු හොත් කල්හි මහණ නිදා නම් පචිති ඇවැත් වෙයි. මහණහු හොත් කල්හි අනුපසපන නිදා නම් පචිති ඇවැත් වෙයි. දෙදෙනා මැ හෝ හොවිත් නම් පචිති ඇවැත් වෙයි. නැඟිට පුන පුනා හොවිත් නම් පචිති ඇවැත් වේ.
අනුපසපනක්හු කෙරෙහි අනුපසපනැයි සන් ඇතියේ දෙතුන් රැයකින් මත්තෙහි එක් වැ ශයනය කෙරේ නම් පචිති ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ දෙතුන් රැයකින් මත්තෙහි එක්වැ ශයනය කෙරේ නම් පචිති ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපනැයි සන් ඇතියේ දෙතුන් රැයකින් මත්තෙහි එක් වැ ශයනය කෙරේ නම් පචිති ඇවැත් වේ.
අඩක් පිළිසන් වූයෙහි, අඩක් අවටින් පිළිසන් වූයෙහි, දුකුළා ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපනැයි සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. උපසපනක්හු කෙරෙහි උපසපනැයි සන් ඇතියේ නම් ඇවැත් නැති.
දෙතුන් රැයක් වෙසේ නම්, උනු දෙතුන් රැයක් වෙසේ නම්, දෙරැයක් වැස තෙවන රැයෙහි අරුණට පෙරැ නික්ම නැවත වෙසේ නම්, හැම නොසන් වූයෙහි, හැම නො පිළිසන් වූයෙහි, බෙහෙවින් නො සන් වූයෙහි, බෙහෙවින් නොපිළිසන් වූයෙහි නම්, අනුපසපනක්හු හොත් කල්හි භික්‍ෂුතෙමේ හිඳී නම්, භික්‍ෂූහු හොත් කල්හි අනුපසපන් වූයේ හිඳී නම්, දෙදෙනාම හෝ හිඳිත් නම්, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
පස්වැනි පඨමසහසෙය්‍යශික්‍ෂාපද යි.
6. 1. 6.
දුතියසහසෙය්‍ය ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවත්හි ජේතවන නම් අනේ පිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ කොසොල් දනව්හි සිට සැවැතට යන්නාහු සවසැ එක්තරා ගමකට එළැඹියහ. එසමයෙහි ඒ ගම්හි එක්තරා ස්ත්‍රියක විසින් විසුම්හලෙක් පිහිටුවන ලද්දේ වෙයි. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ඒ ස්ත්‍රිය වෙතැ එළැඹැ ඇයට මෙය කීහ: ‘ඉදින් බුහුන, තොපට බරෙක් නො වේ නම් එක් රැයක් විසුම්හල්හි වසන්නම්හ’යි. වසනු මැනැවැ වහන්ස. අන්‍ය වූ ද මගියෝ ඇය වෙතැ එළැඹියහ. එළැඹැ ඒ ස්ත්‍රියට මෙය කීහු. ‘ඉදින් ආර්‍ය්‍යාවෙනි, තොපට බරෙක් නො වේ නම් එක් රැයක් විසුම්හල්හි වසන්නම් හ’යි. තෙල ආර්‍ය්‍ය වූ ශ්‍රමණයෝ පළමු කොට එළැඹියහ. ‘ඉදින් ඔබ අනුදනිත් නම් වසන්නහු යැයි කිවු යැ. එකල්හි ඒ මගියෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වෙතැ එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්හට මෙය කීහු. ‘ඉදින් වහන්ස, තොපට බරෙක් නො වේ නම් එක් රැයක් විසුම්හල්හි වසන්නම්හ’යි. ඇවැත්නි. වසන්නහු යැ.
2. එකල්හි ඒ ස්ත්‍රී තොමෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් කෙරෙහි දක්නා හා මැ පිළිබඳ සිත් ඇත්තී වූ යැ. එකල්හි ඒ ස්ත්‍රී ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වෙත එළැඹියා ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්හට මෙය කිවු යැ. ස්වාමීනි, ආර්‍ය්‍යයෝ මේ මිනිසුන් හා ගැවසුණහු පහසු සේ නො වසන්නාහ. මැනැවැ ස්වාමීනි, මම ආර්‍ය්‍යයනට ඇතුළුගබැ හැඳක් පනවම් දැයි. ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ තූෂ්ණීම්භාවයෙන් ඉවසූහ. එකල්හි ඒ ස්ත්‍රී ආයුෂ්මත් අනුරුද්ධ තෙරුනට ඇතුළුගබැ හැඳක් පනවා අබරණ ලා සැරසුණී සුවඳින් සුවඳවත් වූවා ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වෙත එළැඹියා යැ. එළැඹැ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් හට “ස්වාමීනි, ආර්‍ය්‍යයෝ අභිරූපයහ, දර්‍ශනීයහ, ප්‍රාසාදිකයහ, මම ද අභිරූප වෙමි දර්‍ශනීය වෙමි ප්‍රාසාදික වෙමි, ස්වාමීනි, මම ආර්‍ය්‍යයනට ප්‍රජාපතිවූම් නම් මැනැවැ”යි කිවු යැ. මෙසේ කී කල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ නිහඬ වූහ. දෙවන වට ද ... තෙවනවට ද ඒ ස්ත්‍රී ආයුෂ්මත් අනුරුද්ධ තෙරුනට “ස්වාමීනි, ආර්‍ය්‍යයෝ අභිරූපයහ, දර්‍ශනීයයහ, ප්‍රාසාදිකයහ, මම ද අභිරූප වෙමි දර්‍ශනීය වෙමි ප්‍රාසාදික වෙමි, ස්වාමීනි, ආර්‍ය්‍යයෝ මා ද මුළු සම්පත්තිය ද පිළිගනිත්ව”යි කිවු යැ. තෙවන වට ද ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ නිහඬ වූහ.
3. එකල්හි ඒ ස්ත්‍රී සළුව බහා තබා ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් පෙරටුයෙහි සක්මන් කරයි. සිටියි, හිඳියි, ශයනය ද කරයි. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ඉඳුරන් පහතට හෙළා එ මාගම නො මැ බැලූහ. නො ද බිණූහ. එකල්හි ඒ ස්ත්‍රී “භවත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකැ, භවත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකැ, බොහෝ වූ මේ මිනිස්සු මට සියයෙනුදු දහසිනුදු පඬුරු එවත්: මේ ශ්‍රමණයෝ කලි මා විසින් තමා මැ යදිනු ලබන්නාහු මා ද මුළු සම්පත්තියද පිළිගන්නට නො කැමැති වෙති”යි සළුව හැඳ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් පා මුල්හි හිසින් වැටී ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් හට මෙය කිවු යැ. “ස්වාමීනි, යම්බඳු මම් මෙසේ කළම් ද බාලබවට අනුරූප වැ මූඪබවට අනුරූප වැ අදක්‍ෂබවට අනුරූප වැ වරද ඒ මා ඉක්ම ගියේ වන. ස්වාමීනි, ඒ මාගේ වරද වරද විසින් මතු සංවරය පිණිස ආර්‍ය්‍යයෝ පිළිගනිත්ව’යි. බුහුන, යම්බඳු තෙපි මෙසේ කළවුද, එකැනින් බාලබවට අනුරූප වැ මූඪබවට අනුරූප වැ අදක්‍ෂබවට අනුරූප වැ වරද ඒ තොප ඉක්ම ගියේ වන. යම් හෙයකින් බුහුන, තෙපි වරද වරද විසින් දැක ධර්‍ම වූ පරිද්දෙන් පිළියම් කරවු ද, තොප ගේ ඒ වරද ඇපි පිළිගනුම්හ. බුහුන, යමෙක් වරද වරද විසින් දැක ධර්‍ම වූ පරිද්දෙන් පිළියම් කෙරේ ද, මතු සංවරයට පැමිණේ ද, මේ වනාහි ශාසනයෙහි වැඩීමෙක් මැ යි.
4. එකල්හි ඒ ස්ත්‍රී තොමෝ එරැය ඉක්මීමෙන් පසු ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ප්‍රණීත වූ කෑයුතු දෙයින් බිදිය යුතු දෙයින් සියතින් සතප්වා මොනවට පවරා වළඳා නිමවූ පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් සකසා වැඳ එකත්පස් වැ හින. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයෝ එකත්පස් වැ හුන් එ මාගමට දැහැමි බණින් මොනවට කරුණු දැක්වූහ. මොනවට කරුණු ගැන්වූහ. මොනවට තෙද ගැන්වූහ. මොනවට සතුටු කැරැවූහ. එකල්හි ඒ ස්ත්‍රී තොමෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් විසින් දැහැමි බණින් මොනවට කරුණු දක්වන ලද්දී මොනවට කරුණු ගන්වන ලද්දී මොනවට තෙද ගන්වන ලද්දී මොනවට සතුටු කරවන ලද්දී ආයුෂ්මත් අනුරුද්ධ තෙරුනට මෙය කිවු යැ, “ඉතා මැනවැ ස්වාමීනි, ඉතා මැනැවැ ස්වාමීනි. යම්සේ යටිහුරු කරන ලද්දක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, පිළිසන්වූවක් විවෘත කරන්නේ හෝ වේද, මං මුළා වූවකුට මඟ කියාපාන්නේ හෝ වේ ද, ඇස් ඇතියෝ රූප දකිත්ව යි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ හෝ වේ ද, එසේ මැ ආර්‍ය්‍ය අනුරුද්ධයන් විසින් නොයෙක් කරුණෙන් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේ වෙයි. ස්වාමීනි, මම බුදුන් ද දහම් ද බික්සඟන ද සරණ කොට යමි. ආර්‍ය්‍ය තෙමේ අද පටන් දිවිහිම් කොට සරණ ගිය උවැසියක කොට මා දරාව”යි කිවු යැ.