Pācittiya

Expiation Rules

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 4249 segments

පෙන්වන කොටස් 1801-1900 න් 4249

කාරයමානෙන: කරන්නේ හෝ කරවන්නේ හෝ; පමණින් යුතු කොට කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ: දිගින් සුගත්වියතින් සවියතෙකැ. සරසින් යෙළ තුන්වියතෙකි. එය ඉක්මවා කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් සිඳැලා පචිති දෙසිය යුතු යි.
තමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නොකරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි, මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
මෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් ලැබ පිරිබෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
පමණින් යුතු කොට කෙරේ නම්, උනු කොට කෙරේ නම්, මෙරමා විසින් කරන ලද පමණ ඉක්මවූවක් ලැබ සිඳැලා පිරිබෝ කෙරේ නම්, වියනක් හෝ බුමුතුරුණක් හෝ කඩතුරාවක් හෝ බිස්සක් හෝ මාවුලාවක් හෝ කෙරේ නම්, ඇවැත් නැති. උම්මත්තකයහට ආදි කම්මිකයහට ඇවැත් නැති.
නවවැනි වස්සිකසාටික ශික්‍ෂාපද යි.
නන්‍දත්‍ථේර ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භාග්‍යවතුන් ගේ සුළුමවගේ පුත්‍ර වූ ආයුෂ්මත් නන්‍දස්ථවිර තෙමේ විශිෂ්ටරූප ඇතියේ දැකුම්කලු වූයේ පැහැදුම් එළවනුයේ භාග්‍යවතුන්හට සතරඟුලෙකින් මිටි වූයේ වෙයි. හේ සුගත්සිවුරුපමණ සිවුරක් දරයි. ස්ථවිර භික්‍ෂූහු දුර දී මැ එන්නාවූ ආයුෂ්මත් නන්‍දතෙරහු දුටුහු දැකැ භාග්‍යවතුන් වහන්සේ වඩනාසේකැ යි හුනස්නෙන් නැගිට ඔහුවෙතැ එළැඹි කල්හි හැඳිනැ ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආයුෂ්මත් නන්‍දස්ථවිර තෙමේ සුගත්සිවුරුපමණ සිවුරක් දැරී දැ යි. භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දතෙරහු පුළුවුත් සේකැ. සැබෑ ද නන්‍දයෙනි, තෙපි සුගත්සිවුරුපමණ සිවුරක් දරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරැහූහ ... කෙසේ නම් නන්‍දයෙනි, තෙපි සුගත්සිවුරුපමණ සිවුරක් දැරුවහු ද? නන්‍දයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙන් සුගත්සිවුරුපමණ හෝ අයිරා කොට හෝ සිවුරක් කරවන්නේ නම් ඡේදනක පචිති ඇවැත් වෙයි. එහි මේ සුගත්හුගේ සුගත්සිවුරෙහි පමණ යැ, දිගින් සුගත්වියතින් නවවියතෙකැ, සරසින් සවියතෙකි. මේ සුගතයන්ගේ සුගත් සිවුරෙහි පමණ යි.
2. යො පන: යම්, යම්බඳු ... භික්ඛු: මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
සුගතවිවර නම්: දිගින් සුගත්වියතින් නවවියතෙකැ, සරසින් සවියතෙකි.
කාරාපෙය්‍ය: කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් සිඳැලා පචිති දෙසිය යුතු යි.
තමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
මෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් ලැබ පිරිබෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
උනු කොට කෙරේ නම් මෙරමා විසින් කරන ලද්දක් ලැබ සිඳැලා පිරිබෝ කෙරේ නම්, වියනක් හෝ බුමුතුරුණක් හෝ කඩතුරාවක් හෝ බිස්සක් හෝ මාවුලාවක් හෝ කෙරේ නම් ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
දස වැනි නන්‍දත්‍ථේරශික්‍ෂාපද යි.
නවවන රාජවර්‍ගය යි.
එහි උදානය:
රාජන්තෙපුර යැ රතන යැ (සන්ත) විකාලෙ ගාමප්පවේසන යැ සූචීඝර යැ මඤ්ච යැ තුලෝනද්ධ යැ නිසීදන යැ කණ්ඩුපටිච්ඡාදි යැ වස්සිකසාටික යැ [සුගතචීවරය නිසා පැන වූ] නන්‍දත්‍ථේරසිඛයෙන් දැ යි. වර්‍ගය වේ.
වර්ගෝද්දානය:
මුසාවාද යැ භූතගාම යැ භික්ඛුනෝවාද යැ භෝජන යැ අවෙලකය සමඟ සුරාපාන යැ සප්පාණක යැ සහධම්මික යැ රාජවර්‍ගය සමඟ ඒ වර්‍ග නවයෙකි.
ආයුෂ්මත්නි, දෙඅනූ පාචිත්තිධර්‍මයෝ උදෙසනලදහු මැ යි. එහි ලා ආයුෂ්මතුන් පුළුවුස්මි, කිම පිරිසුදුවහු ද? දෙවනවට දු පුළුවුස්මි, කිම පිරිසුදුවහු ද? තෙවනවට දු පුළුවුස්මි. කිම පිරිසුදුවහු ද? මෙහි ලා ආයුෂ්මත්හු පිරිසුදුහ. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි.
ඛුද්දකය සමාප්ත යි.
පාටිදේසනීය කාණ්ඩය
ආයුෂ්මත්නි, මේ සතර පාටිදේසනීය ධර්‍මයෝ උදෙසීමට පැමිණෙත්.
පළමුවන පාටිදේසනීය ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවරජේතවන’ නම් වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩැ වෙසෙති. එසමයෙහි එක්තරා මෙහෙණක් සැවැත්නුවර පිඬුසිඟා ඇවිද පෙරළා එන කල්හි එක්තරා මහණක්හු දැක මෙසේ කිව. “ආර්‍ය්‍යයෙනි, භික්‍ෂාව පිළිගනු මැනැව” යි. “මැනැවැ නැගණියෙනි” යි සියල්ල මැ ගත්තේ යැ. ඕ වේලා ආසන්න කල්හි පිඬුසිඟා යන්නට නො හැකි වූ, එහෙයින් මැ සුන්බත් වූ යැ. එකල්හි ඒ මෙහෙණ දෙවන දවස්හි දු තුන්වන දවස්හි දු සැවැත්නුවර පිඬුසිඟා ඇවිද පෙරළා එන කල්හි ඒ මහණහු දැක තෙල කිව: “ආර්‍ය්‍යයෙනි, භික්‍ෂාව පිළිගනු මැනැවැ” යි. “මැනැවැ නැගණියෙනි” යි සියල්ල මැ පිළිගත. ඕ වේලා ආසන්න කල්හි පිඬුසිඟා යන්නට නොහැකි වූවා සුන්බත් වූ යැ.
2. එසඳ ඒ මෙහෙණ සතරවන දවස්හි වීථියෙහි වෙවුළමින් යෙයි. සිටුගැහැවියෙක් රථයෙකින් පෙරමගට එන්නේ ඒ මෙහෙණට මෙය කී: “පහව යා ආර්‍ය්‍යාවෙනි” යි. ඕ බැහැරවන්නී එහි මැ ඇදැවැටුණා යැ. සිටුගැහැවි ඒ මෙහෙණ ක්‍ෂමා කරවී: “කමන්නැ ආර්‍ය්‍යාවෙනි, මා විසින් හෙළනලදු යැ” යි. “ගැහැවියෙනි, මම තොප විසින් නො හෙළන ලදුමු. වැළිත් මම් මැ දුබලයමු” යි. “ආර්‍ය්‍යාවෙනි, තෙපි කවර හෙයින් දුර්‍වල වූ දැ” යි. එකල්හි ඒ මෙහෙණ සිටු ගැහැවියහට තෙල කරුණ දැන්වූ. සිටුගැහැවි ඒ මෙහෙණ ගෙට පමුණුවා වළඳවා “කෙසේ නම් වහන්දෑවරු මෙහෙණ අතින් ආමිෂ පිළිගන්නාහු ද, මාගම දුකසේ ආමිෂ ලබන්නී යැ” යි අවමන් කරයි. අගුණ කියයි, නුගුණ පතුරුවයි.
3. භික්‍ෂූහු අවමන් කරන අගුණ කියන නුගුණ පතුරුවන ඒ ගැහැවි සිටුහුගේ බස් ඇසූහ. යම් අල්පෙච්ඡ භික්‍ෂු කෙනෙක් ඇද්ද ඔහු “කෙසේ නම් මහණ මෙහෙණක අතින් ආමිෂ පිළිගත්තේ දැ” යි අවමන් කෙරෙති අයුණු කියති නුගුණ පතුරුවති. සැබැව ද මහණ, තෙපි මෙහෙණක අතින් ආමිෂ පිළිගත්තේ දැ’ යි. සැබෑව භාග්‍යවතුන් වහන්සැ’ යි. “මහණ, තොපගේ නෑ මෙහෙණක් ද? නොනෑ මෙහෙණක් දැ?” යි. “නොනෑ මෙහෙණක භාග්‍යවතුන් වහන්සැ” යි. තුච්ඡ පුරුෂය, නොනෑ මහණෙක් නොනෑ මෙහෙණකගේ නිසි බව හෝ නොනිසි බව හෝ ඇති බව හෝ නැති බව හෝ නො දනියි. තුච්ඡපුරුෂය, කෙසේනම් තෙපි නොනෑ මෙහෙණක අතින් ආමිෂ පිළිගත්තාහු දැ? තුච්ඡපුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
“යම් මහණෙක් ඇතුළුගමට පිවිසි නොනෑ මෙහෙණක අතින් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කන්නේ නම් හෝ බුදින්නේ නම් හෝ ඒ මහණහු විසින්: ඇවැත්නි, අසත්ප්‍රාය වූ පාටිදේසනීය වූ ගර්‍හනීය වූ ඇවැතකට පැමිණියෙමි. එය පෙරළා දෙසමි” පෙරළා දෙසියයුතු,
4. යො පන යනු: යමෙක්, යම් බඳුයෙක් ... භික්ඛු යනු: ... මෙ තෙම මේ අර්‍ත්‍ථයෙහි ‘භික්‍ෂු’ යි අභිප්‍රේත යි.
අඤ්ඤාතිකා නම්: මව්පසින් හෝ පියපසින් හෝ සත්මුතු යුගය තෙක් අසම්බද්ධ වූවා යි.
භික්ඛුනී නම්: උභතෝසඞ්ඝයා කෙරෙහි උපසපන් වූවා ය.
අන්තරඝර නම්: වීථි යැ විනිවිද නොගිය වීථි යැ සතරමංසන්‍ධි යැ කුලගේ යි.
ඛාදනීය නම්: පස්බොජුන: යාමකාලික යැ සත්තාහකාලික යැ යාවජීවික යැ යන මේ හැර සෙස්ස ඛාදනීය නම.
භෝජනීය නම්: පස්බොජුන: ඕදන යැ කොමු යැ අත්සුණු යැ දියමස් යැ, ගොඩමස් යැ. ‘කමි’ යි ‘බුදිමි’ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
නොනෑ මෙහෙණෙක යන සංඥා ඇති වැ ඇතුළුගමට වන් නොනෑ මෙහෙණක අතින් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් හෝ ‘පාටිදේසනීය’ ඇවැත් වෙයි. විමති ඇති වැ ඇතුළුගමට වන් නොනෑ මෙහෙණ අතින් කෑයුතු හෝ බිදියයුතු දැයක් සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් ‘පාටිදේසනීය’ ඇවැත් වෙයි. නෑ මෙහෙණෙක යන සංඥා ඇති වැ ඇතුළුගමට වන් නොනෑ මෙහෙණක අතින් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් හෝ ‘පාටිදේසනීය’ ඇවැත් වෙයි.
යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය ආහාර පිණිස පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වෙයි. භික්‍ෂුණීන් කෙරෙහි උපසපන් මෙහෙණක අතින් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ‘කමි’ යි ‘බුදිමි’ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වෙයි.
නෑ මෙහෙණෙක අතින් නොනෑ මෙහෙණෙක යන සංඥා ඇති වැ පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. නෑ මෙහෙණෙක අතින් විමති ඇත්තේ දුකුළා ඇවැත් වෙයි. නෑ මෙහෙණෙක අතින් නෑ මෙහෙණෙක යන සංඥා ඇත්තේ අනාපත්ති වේ.
අනාපත්ති: නෑ මෙහෙණෙක අතින් නම්, අනෙකකු ලවා දෙවවා නම් (තොමෝ) නොදේ නම්, සමීපයෙහි තබා දේ නම්, ආරාමය තුළදී, මෙහෙණවරෙහි, තීර්‍ත්‍ථක අරමෙහි, පෙරළා ඊමෙහි, ගමින් බැහැර කොට දේ නම්, යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය ප්‍රත්‍යය ඇති කල්හි වළඳා යයි දේ නම් සික්ඛමානාවක හෙරණක අතින් ගනී නම් ඇවැත් නො වෙයි. උමතුවහට, ආදිකාර්මිකහට ඇවැත් නැති.
පළමුවන පාටිදේසනීය යි.
දෙවන පාටිදේසනීය ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවර කලන්‍දක නිවාප නම් වූ වේළුවන විහාරයෙහි වැඩවෙසෙති. එසමයෙහි භික්‍ෂූහු කුලයෙහි නිමන්ත්‍රණ කරන ලද්දාහු වළඳති. සවග මෙහෙණහු මෙහි සූප දෙව මෙහි බත් දෙව යි සවග මහණුනට වොසාසන (විධාන) කම් කරමින් සිටියාහු වෙති. සවග මහණහු ඇති තාක් වළඳති. අන් මහණහු සිත්සේ නො ලැබෙති. යම් අල්පේච්ඡ භික්‍ෂූ කෙනෙක් ... ඔහු අවමන් කෙරෙති, නුගුණ කියති, නුගුණ පතුරුවති: “කෙසේ නම් සවග මහණහු වොසාසන කම් කරන මෙහෙණන් නො වළහන්නාහු” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි වොසාසන කම් කරන මෙහෙණන් නො වළහවූ ලැ” යි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් මෝඝපුරුෂයෙනි , තොපි වොසාසන කම් කරන මෙහෙණන් නො වළහවූ ද? හිස් පුරුෂයෙනි, තෙල අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
“මහණහු කුලයෙහි නිමන්ත්‍රණ කරන ලද්දාහු වළඳත් ද? ඉදින් එහි ඒ මෙහෙණ “මෙහි සූප දෙව මෙහි බත් දෙව” යි වොසාසන (විධාන) කම් කරන පියවින් සිටියා වේ ද, ඒ මහණුන් විසින් ඒ මෙහෙණ “නැගණියනි, භික්‍ෂූන් වළඳනා තාක් පහව යා” යි පහකළයුත්තී යැ. ඉදින් එක් මහණක්හට ද “නැගණියනි, භික්‍ෂූන් වළඳනා තාක් පහව යා” යි ඒ මෙහෙණ පහ කරන්නට නො වැටහේ නම් ඒ මහණුන් විසින් “ඇවැත්නි, ගැරැහියයුතු අසත්ප්‍රාය වූ පාටිදේසනීය ඇවැතකට පැමිණියම්හ. එය යළි දෙසම්හ” යි පිළිදෙසියයුතු”
2. භික්ඛු පනෙව කුලෙසු නිමන්තිතා භුඤ්ජන්ති යනු: කුල නම් සතර කුලයෝ යි: ක්‍ෂත්‍රියකුල යැ බ්‍රාහ්මණකුල යැ වෛශ්‍යකුල යැ ශුද්‍රකුල යි.
නිමන්තිතා භුඤ්ජන්ති යනු: පස් බොජුන් අතුරෙන් එක්තරා බොජුනෙකින් නිමන්ත්‍රණ කරනලද්දහු වළඳති.
භික්ඛුනී නම්: උභතෝසඞ්ඝයා කෙරෙහි උපසපන් වූවා යි.
වොසාසන්ති නම්: මිතුරු බව ඇති සේ දුටුමිතුරුබව ඇති සේ දැඩි මිතුරුබව ඇති සේ සමානෝපාධ්‍යායතා ඇති සේ සමානාචාර්‍ය්‍යතා ඇති සේ “මෙතන්හි සූප දෙව මෙතන්හි බත් දෙව” යි මෝ වොසාසන්ති නම.
තෙහි භික්ඛුහි යනු: වළඳනා භික්‍ෂූන් විසින්.
සා භික්ඛුනී යනු: ඒ වොසාසන කම් කරන මෙහෙණ යි. ඒ මහණුන් විසින් ඒ මෙහෙණ අපසාදන කළයුත්තී යැ: “නැගැණියනි භික්‍ෂූන් වළඳනා තාක් පහව යා” යි ඉදින් එකද මහණක්හු අපසාදනා නො කළ කල්හි ‘කමි’ ‘බුදිමි’ පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
‘උපසපනක’ යන සංඥා ඇත්තේ උපසපන් මෙහෙණ විධාන කරන කල්හි නො වළහා නම් පාටිදේසනීය ඇවැත් වෙයි. විමති ඇත්තේ උපසපන් මෙහෙණ විධාන කරන කල්හි නො වළහා නම් පාටිදේසනීය ඇවැත් වෙයි. ‘අනුපසපනක’ යන සංඥා ඇත්තේ උපසපන් මෙහෙණ විධාන කරන කල්හි නො වළහා නම් පාටිදේසනීය ඇවැත් වේ.
භික්‍ෂුණීසංඝයා කෙරෙහි උපසපන් මෙහෙණ විධාන කරන කල්හි නො වළහා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපන ‘උපසපනක’ යන සංඥා ඇත්තේ දුකුළා ඇවැත් වෙයි. අනුපසපන (විධාන කරන කල්හි) විමති ඇත්තේ දුකුළා ඇවැත් වෙයි. අනුපසපන (විධාන කරන කල්හි) ‘අනුපසපනක’ යන සංඥා ඇත්තේ ඇවැත් නැති.
අනාපත්ති: තමාගේ බත දෙවවා ද නො දේ ද, මෙරමාගේ බත දේ ද නො දෙවා ද, යමක් නො දෙනලද නම් එහි දෙවවා ද, යම් තැනක නො දෙන ලද නම් එහි දෙවවා ද, හැමට සම වැ දෙවවා ද, සික්ඛමානාවට විධාන කෙරේ ද, හෙරණියට විධාන කෙරේ ද, පස්බොජුන් තබා හැමතන්හි ඇවැත් නැති. උමතුවූවහුට ආදිකාර්මිකයාට ඇවැත් නැති.
දෙවැනි පාටිදේසනීය යි.
තුන්වැනි පාටිදේසනීය ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර අනේපිඬුසිටුහු කරවා දුන් දෙව්රම් වෙහෙරෙහි වැඩවෙසෙති. එසමයෙහි සැවැත් නුවර එක්තරා කුලයක් උවසු උවැසි දෙපසින් පහන් වූයේ වෙයි. සැදැහැයෙන් වැඩෙයි, භෝගයෙන් පිරිහෙයි. ඒ කුලයෙහි පෙරබත් වේලෙහි යම් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ උපදී ද එ හැම භික්‍ෂූනට විසඳා (බෙදා දී) ඇතැම් දවසෙක නිරාහාර වැ ද හිඳිති. මිනිස්සු අවමන් කෙරෙති, නුගුණ කියති, නුගුණ පතුරුවති: “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ පමණ නො දැනැ පිළිගන්නාහු ද මොවුනට දී ඇතැම් දවසෙක නිරාහාර වැ ද හිඳිති” යි. භික්‍ෂූහු අවමන් කරන නුගුණ කියන නුගුණ පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. එසඳ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ දැන්වූහ.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තෙල නිදානයෙහි තෙල කරුණෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, යම් කුලයක් සැදැහැයෙන් වැඩේ ද භෝගයෙන් පිරිහේ ද මෙවන් කුලයට ඤත්තිදුතිය කර්‍මයෙන් ‘සේඛසම්මුති’ දෙන්නට අනුදනිමි”. මහණෙනි මෙසේ දියයුතු යැ. ප්‍රතිබල සම්‍පන්න ව්‍යක්ත මහණක්හු විසින් සඞ්ඝයා ඥාපන කළ (දැන්විය) යුත්තේ යැ.
3. “වහන්ස සඞ්ඝයා මාගේ වචන අසාවා. මෙ නම් කුලය සැදැහැයෙන් වැඩෙයි, භෝගයෙන් පිරිහෙයි. ඉදින් සඞ්ඝයාට ප්‍රාප්තකාල වී නම් සඞ්ඝයා මෙ නම් කුලයට ‘සේඛසම්මුති’ දෙන්නේ යැ. මේ ඥප්ති යි.
වහන්ස, සඞ්ඝයා මාගේ වචන අසාවා. මෙ නම් කුලය සැදැහැයෙන් වැඩෙයි. භෝගයෙන් පිරිහෙයි. සඞ්ඝයා මෙ නම් කුලයට ‘සේඛසම්මුති’ දෙයි. යම් ආයුෂ්මත් කෙනකුන්ට මෙ නම් කුලයට ‘සේඛසම්මුති’ දීම රිසියෙයි නම්, ඒ ආයුෂ්මත් තුෂ්ණීම්භූත වේවා. යමක්හට නො රිසි යෙයි නම් හේ කියන්නේ යැ.
සඞ්ඝයා විසින් මෙ නම් කුලයට ‘සේඛසම්මුති’ දෙන ලදු. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් තුෂ්ණීම්භූත වී. තෙල මෙසේ ධරමි” යි
මහණෙනි, මේ ශික්‍ෂාපදය මෙසේ උදෙසවු:
“යම් ‘සේඛසම්මත’ කුල කෙනෙක් ඇද්ද, යම් මහණෙක් එබඳු සේඛසම්මත කුලයෙහි ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙනැ කන්නේ නම් හෝ බුදින්නේ නම් හෝ ඒ මහණහු විසින් ඇවැත්නි, නොසරුප් වූ පිළිදෙස්නී වූ ගැරැහිය යුතු ඇවැතකට අවන්මි. එය පිළිදෙසමි’ යි පිළිදෙසියැ යුතු”.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේත් මේ සිකපදය පනවන ලදී.
4. එසමයෙහි සැවැත්නුවර උත්සවයෙක් වෙයි. මිනිස්සු භික්‍ෂූන් නිමන්ත්‍රණ කොට වළඳවති. ඒ (සේඛසම්මත) කුලය ද භික්‍ෂූන් නිමන්ත්‍රණ කෙළේ යැ. භික්‍ෂූහු කුකුස් කරන්නාහු “භාග්‍යවතුන් විසින් සේඛසම්මත කුලයෙහි ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කන්නට බුදින්නට ප්‍රතික්‍ෂේප කරන ලදැ” යි නො ඉවසති. ඔහු අවමන් කෙරෙති, නුගුණ කියති, නුගුණ පතුරුවති: “යම් හෙයෙකින් ආර්‍ය්‍යයෝ අපගේ නිමන්ත්‍රණ නො පිළිගනිත් නම් අපගේ ජීවිතයෙන් කවර අර්‍ත්‍ථයෙක් දැ” යි. භික්‍ෂූහු ඒ මිනිසුන් අවමන් කරනුවන් නුගුණ කියනුවන්, නුගුණ පතුරනුවන්ගේ බස් ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ.
5. එසඳ භාග්‍යවතුන් වහන්සේ තෙල නිදානයෙහි තෙල කරුණෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමැතූ සේක: “මහණෙනි, නිමන්ත්‍රණ කරන ලදුවහු විසින් සේඛසම්මත කුලයෙහි ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කන්නට බුදින්නට අනුදනිමි”. මහණෙනි මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
“යම් ඒ සේඛසම්මත කුල කෙනෙක් ඇද්ද යම් මහණෙක් එබඳු සේඛසම්මත කුලයෙහි පෙර නිමන්ත්‍රණ නො කරන ලද්දේ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් හෝ ඒ මහණහු විසින්, ඇවැත්නි, ගැරැහිය යුතු අසත්ප්‍රාය වූ පාටිදේසනීය ඇවැතකට පැමිණියෙමි. එය වෙන් කොට දෙසමි” යි පාටිදේසනා කළ යුතු.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේත් මේ සිකපදය පනවන ලදී.
6. එසමයෙහි එක්තරා මහණෙක් ඒ කුලයට කුලුපග වෙයි. එසඳ ඒ මහණ පෙරවරුයෙහි හැඳැපෙරෙවැ පාසිවුරු ගෙන ඒ කුලය කරා එළැඹියේ යැ, එළැඹැ පැනවූ අස්නෙහි හින. එසමයෙහි ඒ මහණ ගිලන් වෙයි. එසඳ ඒ මිනිස්සු ඒ මහණහට තෙල කීහ: “වහන්ස ‘වළඳව’ යි එසඳ එ මහණ භාග්‍යවතුන් විසින් “නිමන්ත්‍රණ නො කරන ලදහු විසින් සේඛසම්මත කුලයෙහි ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කනු හෝ බුදිනු ප්‍රතික්‍ෂිප්ත යැ” යි කුකුස් කරනුයේ නො පිළිගත. පිඬුසිඟා යන්නට නො හැකි වී. සුන්බත් වී. ඉක්බිති එ මහණ අරමට ගොස් භික්‍ෂුනට තෙල කරුණ දැන්වී. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ.
7. එසඳ භාග්‍යවතුන් වහන්සේ තෙල නිදානයෙහි තෙල කරුණෙහි දැහැමි කථා කොට මහණුන් ඇමැතූ සේක: “මහණෙනි, ගිලන් මහණහු විසින් සේඛසම්මත කුලයෙහි ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කන්නට බුදින්නට අනුදනිමි”.
මහණෙනි මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
“යම් ඒ සේඛසම්මත කුල කෙනෙක් ඇද්ද, යම් මහණෙක් එබඳු සේඛසම්මත කුලයෙහි පෙර නිමන්ත්‍රණ නො කරන ලද්දේ නො ගිලන් වූයේ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් හෝ ඒ මහණහු විසින් “ඇවැත්නි, ගැරැහිය යුතු අසත්ප්‍රාය වූ පාටිදේසනීය ඇවැතකට පැමිණියෙමි. එය වෙන් කොට දෙසමි” යි පාටිදේසනා කළ යුතු.
8. යානි ඛො පන සේඛසම්මතානි කුලානි යනු: සේඛසම්මත කුල නම්: යම් කුලයක් ශ්‍රද්ධායෙන් වැඩේ ද, භෝගයෙන් පිරිහේ ද, එබඳු කුලයට ‘ඤත්තිදුතිය’ කර්‍මයෙන් සේඛසම්මුති දෙන ලද වෙයි.
යො පන’ යනු: යමෙක් යම්බඳුයෙක් ... ‘භික්‍ඛු’ යනු: ... මේ තෙම මේ අර්‍ත්‍ථයෙහි ‘භික්‍ඛු’ යයි අදහස් කරනලද්දේ යැ.
තථාරූපෙසූ සේඛසම්මතේසු කුලෙසු යනු: මෙබඳු වූ සෙඛසමමත කුලයෙහි.
අනිමන්තිත නම්: අද දවසට හෝ සෙට දවසට නිමන්ත්‍රණ නො කරන ලද්දේ යැ. ගෘහොපචාරයට බස්නා කල්හි නිමන්ත්‍රණ කෙරෙද්ද තෙල තැනැත්තේ අනිමන්තිත නම් වෙයි.
නිමන්තිත නම්: අද දවසට හෝ සෙට දවසට නිමන්ත්‍රණ කරන ලද්දේ යැ. ගෘහොපචාරයට නො පැමිණි කල්හි නිමන්ත්‍රණ කෙරෙද්ද තෙල තැනැත්තේ නිමන්තිත නම් වේ.
අගිලාන නම්: පිඬුසිඟා යන්නට හැකි වූයේ වෙයි.
ගිලාන නම්: පිඬුසිඟා යන්නට නො හැකි වූයේ ය.
ඛාදනීය නම්: පඤ්චභෝජනයෝ යි. යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය තබා සෙස්ස ඛාදනීය නම.
භෝජනීය නම්: පඤ්චභෝජනයෝ යැ. බත් යැ කොමු යැ. අත්සුණු යැ. දියමස් යැ. ගොඩමස් යැ. නිමන්ත්‍රණ නො කරන ලද්දේ නො ගිලන් වූයේ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ‘කමි’ යි ‘බුදිමි’ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පාටිදේසනීය ඇවැත් වේ.
සේඛසම්මත කුලයෙහි සේඛසම්මත යැ යන සංඥා ඇතියේ නිමන්ත්‍රණ නො කරන ලදු වැ නො ගිලන් වැ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කන්නේ නම් හෝ බුදින්නේ නම් හෝ පාටිදේසනීය ඇවැත් වෙයි. සේඛසම්මතයෙහි විමති ඇතියේ නිමන්ත්‍රණ නො කරන ලදු වැ නො ගිලන්වැ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කන්නේ නම් හෝ බුදින්නේ නම් හෝ පාටිදේසනීය ඇවැත් වෙයි. සේඛසම්මතයෙහි සෙඛසම්මතසංඥා නැතියේ නිමන්ත්‍රණ නො කරන ලදු වැ නො ගිලන් වැ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කන්නේ නම් හෝ බුදින්නේ නම් හෝ පාටිදේසනීය ඇවැත් වෙයි.
යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය ආහාර පිණිස පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වේ.
අසේඛසම්මතයෙහි සෙඛසම්මතසංඥා ඇතියේ දුකුළා ඇවැත් වෙයි. අසේඛසම්මතයෙහි විමති ඇතියේ දුකුළා ඇවැත් වෙයි. අසේඛසම්මතයෙහි අසේඛසම්මතසංඥා ඇතියේ ඇවැත් නැති.
අනාපත්ති: නිමන්ත්‍රිතයාහට, ගිලනාහට, නිමන්ත්‍රිතයාගේ හෝ ගිලනාගේ හෝ ශේෂය වළඳනුයේ නම් ඔහුට, එහි අන්‍යයන්ට භික්‍ෂා පනවන ලද වේ ද, ගෘහයෙන් බැහැරැ කොට දෙත් ද එහි නිතිබත්හි, ලහබත්හි, පක්‍ෂයට වරක් දෙන බත්හි, පොහෝබත්හි, පැළවියදවස් දෙන බත්හි, යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය ප්‍රත්‍ය ඇති කල්හි වළඳා නම් දේ නම් ඔහුට, උමතුවූවහුට, ආදිකාර්මිකයාට ඇවැත් නැති.
තුන්වැනි පාටිදේසනීය යි.
සතරවැනි පාටිදේසනීය ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි ශාක්‍යදාසයෝ විරුද්ධ වූවාහු වෙති. සැහැකුල කාන්තාවෝ වනසෙනසුන්හි දනක් දෙන්නට රිසි වෙති. “සැහැකුල කාන්තාවෝ වනසෙනසුන්හි දනක් දෙනු රිසිවූහ ල’ යි ශාක්‍යදාසයෝ ඇසූහ. ඔහු මග අවුරාසිටියහ. සැහැකුල කාන්තාවෝ ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍ය ගෙනැ වනසෙනසුනට ගියහ. සැහැකුල මෙහෙකරුවෝ නික්ම සැහැකුල කාන්තාවන් පැහැර ගත්හ. දූෂණ ද කළහ. ශාක්‍යයෝ නික්ම ඒ බඩු සහිත හොරුන් අල්වාගෙනැ අවමන් කෙරෙති, නුගුණ කියති, නුගුණ පතුරවති: “කිසේ නම් වහන්දැවරු ආරාමයෙහි සොරකු වසනා කල්හි ආරොචන නො කෙරෙත් දැ” යි. භික්‍ෂූහු ඒ අවමන් කරන නුගුණ කියන නුගුණ පතුරුවන ශාක්‍යයන්ගේ බස් ඇසූහ. ... එසඳ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ.
2. එසඳ භාග්‍යවතුන් වහන්සේ තෙල නිදානයෙහි තෙල කරුණෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක. එකරුණින් මහණෙනි, දසඅර්‍ත්‍ථ විශේෂයන් පිණිස භික්‍ෂූන්ට ශික්‍ෂාපද පනවන්නෙමි. සඞ්‍ඝයාගේ මනාබව පිණිස යැ ... සද්ධර්‍මස්ථිතිය පිණිස යැ විනයට උපස්ථම්භ පිණිස යි. මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
“යම් ඒ සැක සහිත යැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ වන සෙනසුන් කෙනෙක් ඇද්ද, යම් මහණෙක් එබඳු සෙනසුන්හි වාස කරන්නේ පළමු නොදන්වා ගෙනෙන ලද ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ඇතුළුඅරම්හි දී සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් හෝ ඒ මහණහු විසින්: ඇවැත්නි, ගැරැහියැයුතු අසත්ප්‍රාය වූ පාටිදේසනීය ඇවැතකට පැමිණියෙමි. එය වෙන් කොට දෙසමි” යි.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේත් මේ ශික්‍ෂාපදය පනවන ලද වේ.
3. එසමයෙහි එක්තරා මහණෙක් වනසෙනසුන්හි ගිලන්වූයේ වෙයි. මිනිස්සු ඛාද්‍ය භෝජ්‍ය ගෙන වනසෙනසුනට ගියහ. එසඳ ඒ මිනිස්සු ඒ මහණහට තෙල කරුණ කීහ; “වහන්ස, වළඳව’ යි. එසඳ ඒ මහණ භාග්‍යවතුන් විසින් වනසෙනසුන්හි දී ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කනු බුදිනු ප්‍රතික්‍ෂේප කරන ලදැ’ යි කුකුස් කරන්නේ නොපිළිගත. පිඬුසිඟායන්නට නොහැකි විය. සුන්බත් වී. ඉක්බිති ඒ මහණ, තෙල කරුණ මහණුන්ට ආරොචන කළේ. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ.
4. එසඳ භාග්‍යවතුන් වහන්සේ තෙල නිදානයෙහි තෙල කාරණයෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, ගිලන් මහණහු විසින් වනසෙනසුන්හි දී කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ සියතින් පිළිගෙන කනු බොනු අනුදනිමි”. මහණෙනි මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
“යම් ඒ සැක සහිත යැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ වන සෙනසුන් කෙනෙක් ඇද්ද, යම් මහණෙක් එබඳු සෙනසුන්හි වාස කරන්නේ නො ගිලන් වැ පළමු නො දන්වා ගෙනෙන ලද කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ ඇතුළුඅරම්හි දී සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් හෝ ඒ මහණහු විසින් ඇවැත්නි, ගැරැහිය යුතු අසත්ප්‍රාය වූ පාටිදේසනීය ඇවැතකට පැමිණියෙමි. එය වෙන් කොට දෙසමි’ යි පටිදේසනා කළයුතු” යි.
5. යානි ඛො පන තානි ආරඤ්ඤකානි සේනාසනානි යනු: ආරණ්‍යක සේනාසන නම්: පශ්චිමය දුනු පන්සියයක් දුර වූයේ යි.
සාසඞ්ක නම්: ආරාමයෙහි හෝ ආරාමොපචාරයෙහි හෝ සොරුන් පිවිසි තැන් පැනෙයි. බත් බිදිතැන් පැනෙයි. සිටි තැන් පැනෙයි. හුන්තැන් පැනෙයි. වැදහොත් තැන් පැනේ.
සප්පටිභය නම්: ආරාමයෙහි හෝ ආරාමොපචාරයෙහි හෝ සොරුන් විසින් මිනිස්සු නසනලද්දාහු පැනෙති. වොලොගන්නා ලද්දාහු පැනෙති, පහර දෙන ලද්දාහු පැනෙත්.