උග්ගණ්හෙය්‍ය; තෙමේ ගනී නම් පචිති ඇවැත් වේ.
උග්ගණ්හාපෙය්‍ය; මෙරමා ලවා ගන්වා නම් පචිති ඇවැත් වේ.
8. රතනං වා පන භික්ඛුනා රතනසම්මතං වා අජ්ඣාරාමෙ වා අජ්ඣාවසථේ වා උග්ගහෙත්‍වා වා උග්ගහාපෙත්‍වා වා නික්ඛිපිතබ්බං; රූපයෙන් හෝ නිමිත්තෙන් හෝ සලකුණු කොට නඟා තබා කිය යුතු යි: යමක්හුගේ බඩුවෙක් නටුයේ නම් හේ පැමිණේව යි. ඉදින් එහි පැමිණේ නම් ඇවැත්නි, තොපගේ බඩුව කෙබඳු දැ යි හේ කියයුත්තේ යි. ඉදින් රූපයෙන් හෝ නිමිත්තෙන් හෝ සම කොට කියා නම් දිය යුතු යි. ඉදින් සම කොට නො කියා නම් “ඇවැත්නි” සොය යි කිය යුත්තේ යි. ඒ අවසින් ඉවත් වැ යන්නහු විසින් එහි යම් සුදුසු මහණ කෙනෙක් වෙත් නම් ඔවුන්ගේ අතෙහි නඟා තබා ඉවත් වැ යා යුතු යි. ඉදින් සුදුසු මහණ කෙනෙක් නො වෙත් නම් සුදුසු ගැහැවි කෙනෙක් වෙත් නම් ඔවුන්ගේ අතෙහි නඟා තබා ඉවත් වැ යා යුතු යි.
අයං තත්‍ථ සාමීචි: මේ එහි අනුධර්‍මතා යි.
ඇතුළු අරමෙහි හෝ ඇතුළුගෙයි හෝ රත්නයක් හෝ රත්න සම්මතයක් හෝ රැගෙනැ හෝ ගන්වාගෙනැ හෝ යමක්හුගේ වන්නේ නම් හේ රැගෙන යන්නේ යැයි නඟා තබා නම්, රත්න සම්මතයක් විස්වස් වැ ගනී නම් තවුකැලි වැ ගනී නම් ඇවැත් නැති, පංසුකූල සඤ්ඤියහට උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
දෙවැනි රතන ශික්‍ෂාපද යි.
6. 9. 3.
විකාලෙ ගාමප්පවේසන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු විකාලයෙහි ගමට පිවිස සභායෙහි හිඳ නානා ප්‍රකාර වූ තිරශ්චීනකථා කියති. හේ මෙසේ යැ: රාජකථා යැ චෝරකථා යැ මහාමාත්‍රකථා යැ සේනාකථා යැ භයකථා යැ යුද්ධකථා යැ අන්නකථා යැ පානකථා යැ වස්ත්‍රකථා යැ ශයනකථා යැ මාලාකථා යැ ගන්‍ධකථා යැ ඥාතිකථා යැ යානකථා යැ ග්‍රාමකථා යැ නිගමකථා යැ නගරකථා යැ ජනපදකථා යැ ස්ත්‍රීකථා යැ පුරුෂකථා යැ සූරකථා යැ විශිඛාකථා යැ කුම්භස්ථානකථා යැ පූර්‍වප්‍රේතකථා යැ නානාත්‍වකථා යැ ලෝකාඛ්‍යායිකා යැ සමුද්‍රාඛ්‍යායිකා යැ ඉතිභවාභවකථා යනාදී හු යැ. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවති: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ විකාලයෙහි ගමට පිවිස සභායෙහි හිඳ කාමභෝගී ගිහියන් මෙන් නානාප්‍රකාර වූ තිරශ්චීනකථා කීහු ද? ඔහු මෙසේ යැ; රාජකථා යැ චෝරකථා යැ ... ඉතිභාවාභවකථා යැ යනාදීහු යි.
2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්:” කෙසේ නම් සවග මහණෝ විකාලයෙහි ගමට පිවිස සභායෙහි හිඳ නානා ප්‍රකාර වූ තිරශ්චීනකථා කීහු ද? හෙ මෙසේ යැ. රාජකථා යැ චෝරකථා යැ ... ඉතිභවාභවකථා යැ යනාදීහු යි. සැබෑ ද මහණෙනි, තෙපි විකාලයෙහි ගමට පිවිස සභායෙහි හිඳ නානාප්‍රකාර වූ තිරශ්චීනකථා කියවු ද? හෙ මෙසේ යැ. රාජකථා යැ චෝරකථා යැ ... ඉතිභවාභවකථා යැ යනාදීහු යැ. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි විකාලයෙහි ගමට පිවිස සභායෙහි හිඳ නානා ප්‍රකාර වූ තිරශ්චීන කථා කීවාහු ද? ඔහු මෙසේ යැ රාජකථා යැ චෝරකථා යැ ... ඉතිභවාභවකථා යැ යනාදීහු යැ. හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වේ යි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් විකාලයෙහි ගම් වදනේ නම් පචිති වේ ය යි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි වනාහි බොහෝ භික්‍ෂූහු කොසොල් දනව්වෙහි සිට සැවැතට යන්නාහු සවසැ එක්තරා ගමක් වෙත පැමිණියහ. මිනිස්සු ඒ මහණුන් දැකැ තෙල කීහු: “වහන්ස, පිවිසෙනු මැනැවැ” යි. එකල්හි ඒ භික්‍ෂූහු විකාලයෙහි ගම් වදනට භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුසනුවෝ නො පිවිසියහ. සොරු ඒ මහණුන් අසිඳගත්හ. එකල්හි ඒ භික්‍ෂූහු සැවැතට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වූහු. භික්‍ෂූහු භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේකැ. “මහණෙනි, පිළිවිසැ විකාලයෙහි ගම් වදනට අනුදනිමි” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් නො පිළිවිසැ විකාලයෙහි ගම් වදනේ නම් පචිති වේ යයි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
4. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි සිට සැවැතට යන්නේ සවසැ එක්තරා ගමකට පැමිණියේ යැ. මිනිස්සු එමහණ දැක තෙල කීහු: “වහන්සැ පිවිසෙන්නැ”යි එකල්හි ඒ මහණ නො පිළිවිසැ විකාලයෙහි ගම් වදනට භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැයි කුකුසනුයේ නො පිවිසියේ යැ. සොරු ඒ මහණහු අසිඳගත්හ. එකල්හි ඒ මහණ සැවැතට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වී යැ. භික්‍ෂූහු භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූසේකැ. “මහණෙනි, ඇති මහණක්හු පිළිවිසැ විකාලයෙහි ගම් වදින්නට අනුදනිමි” මෙසේ ද මහණෙනි මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් ඇති මහණක්හු නො පිළිවැසැ විකාලයෙහි ගම් වදනේ නම් පචිති වේ යයි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
5. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් සර්‍පයකු විසින් දෂ්ට කරන ලද්දේ වෙයි. එක්තරා මහණෙක් ගිනි ගෙනැ එන්නෙමැ යි ගමට යෙයි. එකල්හි ඒ මහණ ඇති මහණක්හු නො පිළිවිසැ විකාලයෙහි ගමට පිවිසෙන්නට භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුසනුයේ නො පිවිසියේ යැ. භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූසේකැ. “මහණෙනි, එබඳු අත්‍යායික කාර්‍ය්‍යයක් ඇති කල්හි මහණක්හු නො පිළිවිසැ විකාලයෙහි ගම් වදනට අනු දනිමි” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු
යම් මහණෙක් එබඳු අත්‍යායික කාර්‍ය්‍යයක් තබා ඇති මහණක්හු නො පිළි විසැ විකාලයෙහි ගම් වදනේ නම් පචිති වේ යයි.
6. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
සන්තභික්ඛු නම්: පිළිවිසැ පිවිසෙන්නට සමර්‍ත්‍ථ වෙයි;
අසන්ත භික්ඛු නම්: පිළිවිසැ පිවිසෙන්නට අසමර්‍ත්‍ථ වෙයි;
විකාල නම්: මද්දහන ඉක්මුණු කල්හි අරුණ නැඟීම දක්වා;
ගාමං පවිසෙය්‍ය; පරික්‍ෂිප්ත ග්‍රාමයාගේ පරික්‍ෂේපය ඉක්මවන්නාහට පචිති ඇවැත් වෙයි. අපරික්‍ෂිප්ත ග්‍රාමයාගේ උපචාරයට බස්නාහට පචිති ඇවැත් වේ.
අඤ්ඤත්‍ර තථාරූපා අච්චායිකා කරණීයා: එබඳු අත්‍යායික කාර්‍ය්‍යයක් තබා;
විකල්හි විකල්සන් ඇතියේ එබඳු ඉක්මන් කටයුත්තක් තබා විද්‍යමාන මහණක්හු නො පිළිවිසැ ගම් වදී නම් පචිති ඇවැත් වෙයි. විකල්හි විමති ඇතියේ එබඳු ඉක්මන් කටයුත්තක් තබා ඇති මහණක්හු නො පිළිවිසැ ගම් වදී නම් පචිති ඇවැත් වෙයි. විකල්හි කල්සන් ඇතියේ එබඳු ඉක්මන් කටයුත්තක් තබා ඇති මහණක්හු නො පිළිවිසැ ගම් වදී නම් පචිති ඇවැත් වේ.
කල්හි විකල්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි, කල්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. කල්හි කල්සන් ඇතියේ නම් ඇවැත් නැති.
එබඳු ඉක්මන් කටයුත්තක් ඇති කල්හි නම්, විද්‍යමාන මහණක්හු පිළිවිසැ පිවිසේ නම්, නැති මහණක්හු නො පිළිවිසැ පිවිසේ නම්, අන් අරමකට යේ නම්, මෙහෙණවරකට යේ නම්, අන් තොටු සෙනසුනකට යේ නම්, දන් වළඳන තැනට යේ නම්, ගමින් මඟ වේ නම් ඇවැත් නැති. ආපදාවෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
තුන්වැනි විකාලෙ ගාමප්පවේසන ශික්‍ෂාපද යි.
6. 9. 4.
සූචිඝර ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුරැ නුගඅරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි එක්තරා දළකම්කරුවකු විසින් භික්‍ෂූහු පවරන ලද්දාහු වෙති. යම් හිමි කෙනකුන්හට හිදිගුළායෙන් ප්‍රයෝජනයෙක් වේ නම් හිදිගුළායෙන් මම පවරමැ යි. එසමයෙහි වනාහි භික්‍ෂුහු බොහෝ හිදිගුළා විනවති. යම් කෙනකුන්හට කුඩා හිදිගුළා වෙත් නම් ඔහු මහත් හිදිගුළා විනවති. යම් කෙනකුන්හට මහත් හිදිගුළා වෙත් නම් ඔහු කුඩා හිදිගුළා විනවත්. එකල්හි ඒ දළකම්කරු තෙමේ මහණුන් හට බොහෝ හිදිගුළා කරනුයේ අන් විකිණිය යුතු බඩුවක් කරන්නට නො හැකි වෙයි. තෙමේත් නො යැපෙයි. ඔහුගේ අඹුදරුවෝත් මිරිකෙත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ පමණ නො දැනැ බොහෝ හිදිගුළා විනවූහු”ද? මෙතෙමේ මොවුනට බොහෝ හිදිගුළා කරනුයේ අන් විකිණිය යුතු බඩුවක් කරන්නට නො හැකි වෙයි. තෙමේත් නො යැපෙයි. මොහුගේ අඹුදරුවෝත් මිරිකෙත්”යයි.
2. භික්‍ෂූහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්” කෙසේ නම් භික්‍ෂූහු පමණ නො දැනැ බොහෝ හිදිගුළා විනවූහු දැ යි ... සැබෑ ද මහණෙනි භික්‍ෂූහු පමණ නො දැනැ බොහෝ හිදිගුළා විනවද්දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් මහණෙනි, ඒ හිස් පුරුෂයෝ පමණ නො දැනැ බොහෝ හිදිගුළා විනවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් ඇටමුවා හෝ දළමුවා හෝ අංමුවා හෝ හිදිගුළාවක් කරවා නම් භේදනක පචිති ඇවැත් වේ යයි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
අට්ඨි නම්: යම් කිසි ඇටයෙක්;
දන්ත නම්: ඇත්දතැයි කියනු ලැබේ.
විසාණ නම්: යම් කිසි හඟෙක්;
කාරාපෙය්‍ය කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වෙයි. ලැබීමෙන් බිඳ පියා පචිති ඇවැත් දෙසිය යුතු.
තමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
මෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්ද ලැබ පරිභෝග කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
ගණ්ඨියෙහි අරණියෙහි (ගිනිගානාදඬුයෙහි) කාබාන් විටුයෙහි අඳුන් තලයෙහි, අඳුන් ලහයෙහි, වෑදඬියෙහි, දියපිස්නෙහි ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සතරවැනි සූවිඝර ශික්‍ෂාපද යි.
6. 9. 5.
මඤ්ච ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍ර උස් හැඳෙකැ හොවී. එකල්හි භාග්‍යවතුන් වහන්සේ බොහෝ මහණුන් සමග සේනාසන චාරිකායෙහි ඇවිදිනා සේක් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රගේ වෙහෙර වෙතැ එළැඹිසේකි. ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍ර දුර දී මැ වඩනා වූ භාග්‍යවතුන් දුටුවේ යි. දැකැ භාග්‍යවතුන්හට මෙය කී යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වඩනා සේක්වා මාගේ යහන බලන සේක්ව යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එතැනින් මැ පෙරළා වැඩ මහණුන් ඇමැතූ සේකැ. මහණෙනි ආශ්‍රයස්ථානයෙන් හිස් පුරුෂයා දත යුත්තේ යි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයහට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව් පිණිස ... මෙසේ ද මහණෙනි මේ සිකපදය උදෙසවු,
“අළුත් හැඳක් හෝ පුටුවක් හෝ කරවන මහණහු විසින් හැඳවතෙහි යටැ කොටස තබා සුගත් අඟුලෙන් අටඟුල් පා ඇති සේ කැරවිය යුතු යි. එය ඉක්මවන්නාහට ඡේදනක පචිති ඇවැත් වේ”යයි.
2. නව නම්: කිරීම නිසා කියනු ලැබේ.
මඤ්ච නම්: මසාරක යැ බුන්‍දිකාබද්ධ යැ කුළීරපාදක යැ ආහච්චපාදක යැ යි සතර හැඳෙකි.
පීඨ නම්: මසාරක යැ බුන්‍දිකාබද්ධ යැ කුළීරපාදක යැ ආහච්චපාදක යැ යි සතර පුටුවෙකි.
කාරයමානෙන; කරන්නේ හෝ කරවන්නේ හෝ;
අට්ඨඞ්ගුලපාදකං කාරෙතබ්බං සුගතඞ්ගුලෙන අඤ්ඤත්‍ර හෙට්ඨිමාය අටනියා: යට හැඳවත තබා; එය ඉක්මවා කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් සිඳැ පචිති ඇවැත් දෙසිය යුතු
තමා විසින් නිමාම් නොකරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නොකරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
මෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් ලැබ පිරිබෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
පමණින් යුතු කොට කෙරේ නම්, උනු කොට කෙරේ නම්, මෙරමා විසින් කරන ලද පමණ ඉක්මවූවක් ලැබ සිඳ පිරිබෝ කෙරේ නම්, ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
පස්වැනි මඤ්ච ශික්‍ෂාපද යි.
6. 9. 6.
තුලෝනද්ධ ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු හැඳ ද පුටුව ද පුළුන් බහා වළඳනා ලද්දක් කොට කරවති. මිනිස්සු විහාරචාරිකායෙහි ඇවිදිනාහු දැකැ ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ කාමභෝගී ගිහියන් මෙන් හැඳ ද පුටුව ද පුළුන් බහා වළඳනා ලද්දක් කොට කැරැවූහු දැ යි.
2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු හැඳ ද පුටුව ද පුළුන් බහා වළඳනා ලද්දක් කොට කැරැවූහු දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි හැඳ ද පුටුව ද පුළුන් බහා වළඳනා ලද්දක් කොට කරවවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු නොයෙක් අයුරින් ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි හැඳ ද පුටුව ද පුළුන් බහා වළඳනා ලද්දක් කොට කැරැවූහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් හැඳක් හෝ පුටුවක් හෝ පුළුන් බහා වළඳනා ලද්දක් කොට කරවන්නේ නම් විදැහීම් ඇති පචිති වේ යයි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
මඤ්ච නම්: මසාරක යැ බුන්‍දිකාබද්ධ යැ කුළීරපාදක යැ ආහච්ච පාදක යැ යි සතර හැඳෙකි.
පීඨ නම්: මසාරක යැ බුන්‍දිකාබද්ධ යැ කුළීරපාදක යැ ආහච්ච පාදක යැ යි සතර පුටුවෙකි.
තුල නම්: රුක් පුළුනැ ලියපුළුනැ තණපුළුනැ යි තුන් පුළුනෙකි.
කාරාපෙය්‍ය: කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් විදැ හෙළා පචිති දෙසිය යුතු යි.
තමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
මෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් ලැබ පිරිබෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
ආයෝගපට්ටයෙහි, කාබානෙහි, අංසවට්ටකයෙහි, පාත්‍රථවිකායෙහි, පෙරහනෙහි, මාවුලාවක් කෙරේ නම්, මෙරමා විසින් කරන ලද්දක් ලැබැ විදැ හෙළා පිරිබෝ කෙරේ නම් ඇවැත් නැත, උම්මත්තකයහට ආදි කම්මිකයහට ඇවැත් නැති.
සවැනි තුලෝනද්ධ ශික්‍ෂාපද යි.
6. 9. 7.
නිසීදන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භාග්‍යවතුන් විසින් මහණුන්හට නිසීදනයෙක් අනුදන්නා ලද්දේ වෙයි. සවග මහණහු භාග්‍යවතුන් විසින් නිසීදනය අනුදන්නා ලදැ යි පමණ ඉක්ම වූ නිසීදනයන් ධරත්. හැඳෙහි දු පුටුවෙහි දු ඉදිරියෙනුදු පස්සෙනුදු එල්බෙත්. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු පමණ ඉක්මවූ නිසීදනයන් ධැරූහු දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි පමණ ඉක්මවූ නිසීදනයන් ධරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පමණ ඉක්මවූ නිසීදනයන් දැරුවහු ද? හිස් පුරුෂයෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙ සිකපදය උදෙසවු:
නිසීදනයක් කරවනු කැමැති මහණහු විසින් පමණින් යුතු කොට කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ: දිගින් සුගත් වියතින් දෙවියතෙකැ සරසින් යෙළවියතෙකි. එය ඉක්මවන්නාහට ඡේදනක පාචිත්තිය ඇවැත් වේ යයි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මෙ සිකපදය පනවන ලද්දේ වෙයි.
2. එසමයෙහි වනාහි ආයුෂ්මත් උදායී මහත් සිරිරි ඇතියේ වෙයි. හේ භාග්‍යවතුන් පෙරටුයෙහි නිසීදනය පනවා හාත්පසින් අදිමින් හුන්නේ යැ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායිහට මෙය වදාළ සේකැ. කුමකට තෙපි උදායි, නිසීදනය පනවා පැරැණි සොම්මරකු මෙන් හාත්පසින් අදනෙහි දැ? යි. ස්වාමීනි, භාග්‍යවතුන් විසින් මහණුන්හට එබඳු ඉතා කුඩා නිසීදනයෙක් අනුදන්නා ලද්දේ මැ නු? ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙඅවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූ සේකැ. “මහණෙනි, නිසීදනයාගේ දහවලු වියතක් අනුදනිමි.” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
නිසීදනයක් කරවනු කැමැති මහණහු විසින් පමණින් යුතු කොට කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ දිගින් සුගත් වියතින් දෙවියතෙකැ සරසින් යෙළ වියතෙකැ. දහවලුව වියතෙකි. එය ඉක්මවන්නාහට ඡේදනක පචිති වේ යයි.
3. නිසීදන නම්: දහවලු සහිතය කියනු ලැබේ.
කාරයමානෙන: කරන්නේ හෝ කරවන්නේ හෝ, පමණින් යුතු කොට කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ. දිගින් සුගත් වියතින් දෙවියතෙකැ, සරසින් යෙළ විය තෙකැ, දහවලුව වියතෙකි. එය ඉක්මවා කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් සිඳලා පචිති දෙසිය යුතු යි.
තමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
මෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් ලැබ පිරිබෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
පමණින් යුතු කොට කෙරේ නම් උනු කොට කෙරේ නම් මෙරමා විසින් කරන ලද පමණ ඉක්මවූවක් ලැබ සිඳලා පිරිබෝ කෙරේ නම්, වියනක් හෝ බුමුතුරුණක් හෝ කඩතුරාවක් හෝ බිස්සක් හෝ මාවුලාවක් හෝ කෙරේ නම්, ඇවැත් නැත. උම්මත්තකයහට ආදි කම්මිකයහට ඇවැත් නැති.
සත්වැනි නිසීදන ශික්‍ෂාපද යි.
6. 9. 8.
කණ්ඩුපටිච්ඡාදි ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භාග්‍යවතුන් විසින් මහණුන්හට කස්පිළිසනෙක් අනුදන්නා ලද්දේ වෙයි. සවග මහණහු භාග්‍යවතුන් විසින් කස්පිළිසනෙක් අනුදන්නා ලදැ යි පමණ ඉක්මවූ කස් පිළිසන් දරති. ඉදිරියෙනුදු පස්සෙනුදු අදිමින් ඇවිදිත්. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්:
“කෙසේ නම් සවග මහණහු පමණ ඉක්මවූ කස් පිළිසන් දැරුහු දැ යි ... සැබෑද මහණෙනි, තෙපි පමණ ඉක්මවූ කස් පිළිසන් දරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු නොයෙක් අයුරින් ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පමණ ඉක්මවූ කස් පිළිසන් දැරුවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මේ සිකපදය උදෙසවු:
කස්පිළිසනක් කරවනු කැමැති මහණහු විසින් පමණින් යුතු කොට කැරැවිය යුතු යැ. එහි මේ පමණ යැ දිගින් සුගත වියතින් සිවු වියතෙකැ. සරසින් දෙවියතෙකි. එය ඉක්මවන්නාහට ඡේදනක පචිති වේ යයි.
2. කණ්ඩුපටි ඡාදි නම්: යමක්හුගේ නැබෙන් යට දණමඬලෙන් උඩ කැසිල්ලෙක් හෝ පොළෙක් හෝ මලවැහීමෙක් හෝ මහත් කස් ආබාධයෙක් හෝ වේ නම් ඒ ආබාධයාගේ වැසීම පිණිස.
කාරයමානෙන: කරන්නේ හෝ කරවන්නේ හෝ; පමණින් යුතු කොට කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ දිගින් සුගත් වියතින් සිවු වියතෙකැ. සරසින් දෙවියතෙකි. එය ඉක්මවා කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් සිඳලා පචිති දෙසිය යුතු යි.
තමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
මෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් ලැබ පරිභෝග කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
පමණින් යුතු කොට කෙරේ නම් උනු කොට කෙරේ නම් මෙරමා විසින් කරන ලද පමණ ඉක්මවූවක් ලැබ සිඳැලා පරිභෝග කෙරේ නම් වියනක් හෝ බුමුතුරුණක් හෝ කඩතුරාවක් හෝ බිස්සක් හෝ මාවුලාවක් හෝ කෙරේ නම්, ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
අටවැනි කණ්ඩුපටිච්ඡාදි ශික්‍ෂාපද යි.
6. 9. 9.
වස්සකාටික ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භාග්‍යවතුන් විසින් මහණුන්හට වැසිසළු අනුදන්නා ලද වෙයි. සවග මහණහු භාග්‍යවතුන් විසින් වැසිසළු අනුදන්නා ලදැ යි පමණ ඉක්මවූ වැසිසළු දරති. ඉදිරියෙනුදු පස්සෙනුදු අදිමින් ඇවිදිත්. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු පමණ ඉක්මවූ වැසිසළු දැරුහු දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි පමණ ඉක්මවූ වැසිසළු දරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පමණ ඉක්මවූ වැසිසළු දැරුවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු;
වැසිසළුවක් කරවනු කැමැති මහණහු විසින් පමණින් යුතු කොට කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ, දිගින් සුගත්වියතින් සවියතෙකැ, සරසින් යෙළ තුන්වියතෙකි. එය ඉක්මවන්නාහට සිඳැලීම් ඇති පචිති වේ යයි.
2. වස්සාටිකා නම්: වසන්හි සිවුමස පිරිබෝ පිණිස යැ,