6. 8. 10.
ඡන්‍දංඅදත්‍වාගමන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සඞ්ඝයා කිසියම් කරුණෙකින් රැස් වූයේ වෙයි. සවග මහණහු සිවුරුකම් කරන්නෝ එකක්හට ඡන්‍දය දුන්හු. එකල්හි සඞ්ඝයා යමක්හු සඳහා රැස් වූයේ නම් ඒ කර්‍මය කරන්නෙමැ යි ඥප්තිය තැබී යැ. එකල්හි ඒ මහණ මෙපරිද්දෙන් මැ මොහු එකක් එකක්හට කර්‍ම කෙරෙති. තෙපි කවරක්හට කර්‍ම කරන්නහු දැයි ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟිට ගියේ යි.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මහණෙක් සඟමැද විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟිට ගියේ”දැ යි ... සැබෑ ද මහණ තෝ සඟමැද විනිශ්චයකථාවක් පවත්නා කල්හි ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟිට යෙහි දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි සඟ මැද විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟිට ගියහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන් ගේ ප්‍රසාදය පිණිස හො නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් සඟමැද විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟිටැ බැහැරැ යන්නේ නම් පචිති වේ” යැ යි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
සඞ්ඝේ විනිච්ඡයකථා නම්: වස්තුව ආරෝචනය කරන ලද්දේ හෝ විනිශ්චය නො කරන ලද්දේ හෝ වෙයි. ඥප්තිය තබන ලද හෝ කම්වදන් නො නිමියේ හෝ වෙයි.
ඡන්‍දං අදත්‍වා උට්ඨායාසනා පක්කමෙය්‍ය: කෙසේ මේ කර්‍මය කෝප්‍ය වන්නේ ද ව්‍යග්‍ර වන්නේ ද නො කරන්නේ දැ යි යේ නම් දුකුළා ඇවැත් වෙයි. පිරිසෙන් අත්පස හරනාහට දුකුළා ඇවැත් වෙයි. හළ කල්හි පචිත් ඇවැත් වේ.
4. දැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියේ ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟිට බැහැරැ යේ නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇතියේ ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟිට බැහැර යේ නම් දුකුළා ඇවැත් වෙයි. දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇතියේ ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟිට බැහැරැ යේ නම් ඇවැත් නැති.
5. නො දැහැමිකම්හි දැහැමිකම් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකම් සන් ඇතියේ නම් ඇවැත් නැති.
6. සඞ්ඝයාගේ භණ්ඩනයෙක් හෝ කලහයෙක් හෝ විග්‍රහයෙක් හෝ විරුද්ධවාදයෙක් හෝ වන්නේ යැ යි යේ නම්, සඞ්ඝභේදය හෝ සඞ්ඝරාජිය හෝ වන්නේ යැ යි යේ නම්, අධර්‍මයෙන් හෝ ව්‍යග්‍රයෙන් හෝ කර්‍මාර්‍හ නොවනුවක්හට කර්‍ම කරන්නේ යැ යි හෝ යේ නම්, ගිලන් වැ හෝ යේ නම්, ගිලනක්හුගේ කළයුත්තෙකින් හෝ යේ නම්, මහවටනින් හෝ සුළුවටනින් හෝ පෙළෙනුයේ යේ නම් කර්‍මය කෝප්‍ය කරනු කැමැත්තක් නැතියේ යළි පෙරළා එන්නෙමැ යි යේ නම් (ඇවැත් නොවේ), උම්මත්තකයහට ආදිකම්මියහට ඇවැත් නැති.
දසවැනි ඡන්‍දංඅදත්‍වාගමන ශික්‍ෂාපද යි.
6. 8. 11.
දබ්බ ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්‍දකනිවාස නම් වේළුවන අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍ර සඞ්ඝයාහට සෙනසුනුදු පනවයි. බතුදු උදෙසයි. ඒ ආයුෂ්මත් තෙමේත් දුබල සිවුරු ඇතියේ වෙයි. එසමයෙහි වනාහි සඞ්ඝයාහට එක් සිවුරක් උපන්නේ වෙයි. එකල්හි සඞ්ඝයා ඒ සිවුර ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍රයහට දුන්නේ යැ. එකල්හි සවග මහණහු ලමු කොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්: “භික්‍ෂූහු විශ්වස්ත පරිද්දෙන් සඞ්ඝික ලාභය පිරිනමති” යි.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවාහු ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු සමග්‍ර සඞ්ඝයා හා එක්වැ සිවුරු දී පසු වැ ගරහන බවට පැමිණියෝ දැ” යි ... සැබෑ ද මහණෙනි, තෙපි සමග්‍ර සඞ්ඝයා හා එක්වැ සිවුරු දී පසු වැ ගරහන බවට පැමිණෙවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි සමග්‍ර සඞ්ඝයා හා එක් වැ සිවුරු දී පසු වැ ගරහන බවට පැමිණියහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් සමග්‍ර සඞ්ඝයා හා එක් වැ සිවුරු දී භික්‍ෂූහු විශ්වස්තපරිද්දෙන් සඞ්ඝිකලාභය පිරිණමත් යයි පසු වැ ගරහන බවට පැමිණේ නම් පචිති වේ” යයි.
3. යො පන; යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
සමග්ග නම්: සමානසංවාසක වූ සමාන සීමායෙහි සිටි සඞ්ඝ තෙමේ යි.
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකපුන් පොහෝනා පැසුළු සිවුරක්.
දත්‍වා: තෙමේ දී.
යථාසන්‍ථුත නමු: මිතුරුබව ඇති පරිදි දුටු මිතුරුබව ඇති පරිදි දැඩි මුතුරු බව ඇති පරිදි සමාන උපාධ්‍යාය බව ඇති පරිදි සමාන ඇදුරු බව ඇති පරිදි.
සඞ්ඝික නම්: සඟනට දෙන ලද්දක් පරිත්‍යක්තයෙක් වෙයි.
ලාභ නම්: චීවර යැ පිණ්ඩපාත යැ ශයනාසන යැ ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාර යැ, යටත් පිරිසෙයින් සුණු පිඬු ද දැහැටු ද දහවලුහුය ද.
පච්ඡා ඛීයනධම්මං ආපජ්ජෙය්‍ය; සඞ්ඝයා විසින් සම්මත වූ උපසපන් වූ සෙනසුන් පනවන්නකුහට හෝ බත් උදෙසන්නකුහට හෝ හඹු බෙදන්නකුහට හෝ පලතුරු බෙදන්නකුහට හෝ කැවිලි බෙදන්නකුහට හෝ මඳදැයක් බෙදා ලන්නකුහට හෝ සිවුරක් දුන් කල්හි ගරහා නම් පචිති ඇවැත් වේ.
දැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියේ සිවුරක් දුන් කල්හි ගරහා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇතියේ සිවුරක් දුන් කල්හි ගරහා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇති යේ සිවුරක් දුන් කල්හි ගරහා නම් පචිති ඇවැත් වේ.
අන් පිරිකරක් දුන් කල්හි ගරහා නම් දුකුළා ඇවැත් වෙයි. සඞ්ඝයා විසින් සම්මත නො වූ උපසපන් වූ සෙනසුන් පනවන්නකුහට හෝ බත් උදෙසන්නකුහට හෝ හඹු බෙදන්නකුහට හෝ පලතුරු බෙදන්නකුහට හෝ කැවිලි බෙදන්නකුහට හෝ මඳ දැයක් බෙදාලන්නකුහට හෝ සිවුරක් හෝ අන් පිරිකරක් හෝ දුන් කල්හි ගරහා නම් දුකුළා ඇවැත් වේ.
සඞ්ඝයා විසින් සම්මත වූ හෝ සම්මත නො වූ හෝ අනුපසපනක් වූ සෙනසුන් පනවන්නකුහට හෝ බත් උදෙසන්නකුහට හෝ හඹු බෙදන්නකුහට හෝ පලතුරු බෙදන්නකුහට හෝ කැවිලි බෙදන්නකුහට හෝ මඳ දැයක් බෙදා ලන්නකුහට හෝ සිවුරක් හෝ අන් පිරිකරක් හෝ දුන් කල්හි ගරහා නම් දුකුළා ඇවැත් වේ.
නො දැහැමිකම්හි දැහැමිකම් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නොදැහැමිකම්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නොදැහැමිකම් සන් ඇතියේ නම් ඇවැත් නැති.
ප්‍රකෘතියෙන් ඡන්‍දයෙන් ද්වේෂයෙන් මෝහයෙන් භයෙන් කරන්නහුට, ඔහුට දුන් දැයින් කවර වැඩෙක් ද, ලැබ ද නසාපියන්නේ යැ, මොනවට නො එළවන්නේ යැ යි ගරහා නම් ඇවැත් නො වේ. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
එකොළොස්වැනි දබ්බ ශික්‍ෂාපද යි.
6. 8. 12.
පරිණාමන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සැවැතැ එක්තරා මුළුවක් විසින් සඟනට සිවුරු සහිත බතෙක් පිළියෙළ කරන ලද්දේ වෙයි. වළඳවා සිවුරු පුදම්හ යි. එකල්හි සවග මහණහු ඒ මුළුව වෙතැ එළැඹියහ. එළැඹැ එ මුළුවට මෙය කීහු: ඇවැත්නි, මේ සිවුරු මේ මහණුන්හට දෙවයි. ස්වාමීනි, ඇපි නො දෙම්හ. අප විසින් අවුරුද්දක් පාසා සඟනට සිවුරු සහිත බතෙක් පනවන ලද්දේ වෙයි. ඇවැත්නි, සඟනට දායකයෝ බොහෝ යැ, සඟනට ලාභමුඛයෝ බොහෝ යැ, මොහු තොප නිසා තොප බලමින් මෙහි වෙසෙති. ඉදින් තෙපි මොවුනට නො දෙන්නහු නම් වැළි කවරෙක් මොවුනට දෙන්නේ ද? ඇවැත්නි, මේ සිවුරු මේ මහණුන්හට දෙවු. එකල්හි ඒ මුළුව සවග මහණුන් විසින් පෙළනු ලබන්නේ පිළියෙළ කළ තාක් සිවුරු සවග මහණුන්හට දී සඞ්ඝයා බතින් වැළැඳවී යැ. යම් ඒ භික්‍ෂු කෙනෙක් සඟනට සිවුරු සහිත බතෙක් පිළියෙළ කරන ලදැ යි දනිද්ද, සවග මහණුන්හට දෙන ලදැ යි නො ද දනිද්ද, ඔහු ඇවැත්නි, සඟනට සිවුරු පුදව යි මෙසේ කීහු. නැත ස්වාමීනි, සවග හිමිවරු පිළියෙළ කළ තාක් සිවුරු සවග හිමිවරුනට පිරිනැමවූහු යි.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු පිරිනමන ලද සඞ්ඝික ලාභය දැනැදැනැ පුඟුලක්හට පිරිනැමූහු”දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි පිරිනමන ලද සඞ්ඝික ලාභය දැනැදැනැ පුඟුලක්හට පිරිනමවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පිරිනමන ලද සඞ්ඟික ලාභය දැන දැනැ පුඟුලක්හට පිරිනැමුවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් පිරිනමන ලද සඞ්ඝික ලාභය දැනැ දැනැ පුඟුලක්හට පිරිනමන්නේ නම් පචිති වේ”යයි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛූ ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
ජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත් – හෙතෙමේ හෝ ඇරොජයි.
සඞ්ඝික නම්: සඟනට දෙන ලද්දෙක් පරිත්‍යක්තයෙක් වෙයි.
ලාභ නම්: චීවර යැ පිණ්ඩපාත යැ ශයනාසන යැ ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාර යැ. යටත් පිරිසෙයින් සුණුපිඬු ද දැහැටු ද දහවලුහුය ද,
පරිණත නම්: දෙම්හ කරම්හ යි වාක් බිඳින ලද වෙයි. එය පුඟුලක්හට පිරිනමා නම් පචිති ඇවැත් වෙයි. පිරිනැමුණෙහි පිරිනැමුණු සන් ඇතියේ පුඟුලක්හට පිරිනමා නම් පචිති ඇවැත් වෙයි. පිරිනැමුණෙහි විමති ඇතියේ පුඟුලක්හට පිරිනමා නම් දුකුළා ඇවැත් වෙයි. පිරිනැමුණෙහි නො පිරිනැමුණු සන් ඇතියේ පුඟුලක්හට පිරිනමා නම් ඇවැත් නැති.
සඟනට පිරිනැමුණක් අන් සඟනට හෝ සෑයට හෝ පිරිනමා නම් දුකුළා ඇවැත් වෙයි. සෑයට පිරිනැමුණක් අන්සෑයකට හෝ සඟනට හෝ ගණයට හෝ පුඟුලක්හට හෝ පිරිනමා නම් දුකුළා ඇවැත් වෙයි. පුඟුලක්හට පිරිනැමුණක් අන් පුඟුලක්හට හෝ සඟනට හෝ ගණයාට හෝ සෑයට හෝ පිරිනමා නම් දුකුළා ඇවැත් වෙයි. නො පිරිනැමුණෙහි පිරිනැමුණු සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො පිරිනැමුණෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො පිරිනැමුණෙහි නො පිරිනැමුණු සන් ඇතියේ නම් ඇවැත් නැති.
කොයට දෙමු දැ යි පුළුවුස්නා ලබන්නේ යම් තැනෙකැ තොපගේ දිය යුතු වත් පරිභෝග හෝ ලබන්නේ නම් පිළිසකර හෝ ලබන්නේ නම් තිරකල් පැවැත්මෙක් හෝ වන්නේ නම් යම් තැනෙකැ වනාහි තොපගේ සිත පහදී නම් හෝ එයට දෙව යි බෙණේ නම් ඇවැත් නො වේ, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
දොළොස්වැනි පරිණාමන ශික්‍ෂාපද යි.
අෂ්ටම සහධම්මික වර්‍ග යි.
එහි උද්දානය:
සහධම්මික යැ විවර්‍ණ සංඛ්‍යාත විලේඛන යැ මෝහන යැ පහාර යැ තලසත්තික යැ අමූලක යැ සඤ්විච්ච යැ උපස්සුති යැ කම්ම පටිබාහන යැ ඡන්‍දං අදත්‍වා ගමන යැ දබ්බ යැ පරිණාමන සිඛය දැ යි.
රාජ වර්‍ගය
6. 9. 1.
රාජන්තෙපුර ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ප්‍රසේනජිත් කෝශල රාජ තෙමේ උයන්පල්ලාට ‘යව කොලෙනි, උයනට යන්නෙමි උයන ශෝධනය කරව’යි අණ කෙළේ යැ. ‘එසේ යැ දේවයෙනි’යි ඒ උයන්පල් තෙමේ ප්‍රසේනජිත් කෝශල රාජයාහට පිළිවදන් දී උයන ශෝධනය කරන්නේ එක්තරා රුක්මුලෙකැ වැඩැහුන් භාග්‍යවතුන් දිටී. දැකැ ප්‍රසේනජිත් කෝශල රාජයා වෙතැ එළැඹියේ යැ. එළැඹැ ප්‍රසේනජිත් කෝශලරාජයාහට මෙය කී යැ. දේවයෙනි, උයන ශෝධනය කරන ලදි. තවද භාග්‍යවතුන් වහන්සේ වැඩැහුන් සෙයෙකැ යි. වේවා, බල, ඇපි භාග්‍යවතුන් පර්‍ය්‍යුපාසන කරම්හ යි.
2. ඉක්බිති ප්‍රසේනජිත් කෝශල රාජ තෙමේ උයනට ගොස් භාග්‍යවතුන් වෙතැ එළැඹියේ යැ. එසමයෙහි වනාහි එක්තරා උවසුවෙක් භාග්‍යවතුන් පර්‍ය්‍යුපාසන කරමින් හුන්නේ වෙයි. ප්‍රසේනජිත් කෝශල රාජ තෙමේ භාග්‍යවතුන් ඇසිරිකරමින් හුන් ඒ උවසුවා දිටි. දැකැ බියපත් වැ සිටියේ යි. එකල්හි ප්‍රසේනජිත් කෝශල රජහට මෙ සිත විය: මේ පුරුෂ තෙමේ යම් හෙයකින් භාග්‍යවතුන් ඇසිරි කෙරේ ද, එහෙයින් ලාමක වන්නට නො සුදුස්සෙකැ යි භාග්‍යවතුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්නේ යැ. එකල්හි ඒ උවසු තෙමේ භාග්‍යවතුන්හට ගෞරවයෙන් ප්‍රසේනජිත් කෝශල රාජයා නො මැ වැන්දේ යැ. හුනස්නෙන් නො නැඟ සිටියේ යැ. එකල්හි ප්‍රසේනජිත් කෝශල රාජ තෙමේ නො සතුටු විය: “කෙසේ නම් මේ පුරුෂ තෙමේ මා ආ කල්හි නො මැ වැන්දේ ද? නො නැඟ සිටියේ”දැ යි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ප්‍රසේනජිත් කෝශල රාජයා නො සතුටුවූවහු දැනැ ප්‍රසේනජිත් කෝශල රාජයාහට මෙය වදාළසේ කැ. මහරජ තෙල උවසු බහුශ්‍රැතයෙකැ ආගතාගමයෙකැ කාමයෙහි වීතරාගයෙකැ යි.
3. ඉක්බිති ප්‍රසේනජිත් කෝශල රාජයාහට මෙ සිත විය: මේ උවසු ලාමක වන්නට නො නිසි යැ, භාග්‍යවතුන් වහන්සේත් මොහුගේ ගුණ වනන සේකැ යි ඒ උවසුවාට මෙය කී යැ: උවුසුව, යමෙකින් වැඩෙක් වේ නම් කියන්නෙහි යැ යි යහපති දේවයෙනි යි (හේ කීය) එකල්හි භාග්‍යවතුන් වහන්සේ ප්‍රසේනජිත් කෝශල රාජයාට දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූ සේකැ, මොනවට කරුණු ගැන්වූ සේකැ, මොනවට තෙද ගැන්වූ සේකැ, මොනවට සතුටු කැරවූ සේකි. එකල්හි ප්‍රසේනජිත් කෝශලරාජ තෙමේ භාග්‍යවතුන් විසින් දැහැමි කථායෙන් මොනවට කරුණු දක්වන ලදුයේ මොනවට කරුණු ගන්වන ලදුයේ මොනවට තෙද ගන්වන ලදුයේ මොනවට සතුටු කරවන ලදුයේ හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් සකසා වැඳ පැදකුණු කොට ඉවත් වැ ගියේ යි.
4. එසමයෙහි වනාහි ප්‍රසේනජිත් කෝශලරාජ තෙමේ මතු මහල් තලයට පැමිණියේ වෙයි. ප්‍රසේනජිත් කෝශල රාජ තෙමේ වීථියෙහි කුඩගත් අත් ඇති වැ යන්නා වූ ඒ උවසුවා දිටි. දැකැ කැඳවා මෙය කී යැ. උවසුව, තෙපි බහුශ්‍රුත වව ආගතාගම ඇත්තව, මැනැවැ උවසුව; අපගේ ඇතොවුරට බණ උගන්වව යි. දේවයෙනි, මම යමක් දනිම් නම් එය ද ආර්‍ය්‍යයන් කරුණු කොට ගෙන වෙයි. ආර්‍ය්‍යයෝ මැ දේවයන්ගේ ඇතොවුරට බණ උගන්වන්නාහ යි. එකල්හි ප්‍රසේනජිත් කෝශල රාජ තෙමේ ‘සැබැවක් මැ උවසු කියා යැ යි භාග්‍යවතුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන්නා මැ වූ ප්‍රසේනජිත් කෝශලරාජ තෙමේ භාග්‍යවතුන්හට මෙය කී යැ: ස්වාමීනි, යමෙක් අපගේ ඇතොවුරට ධර්‍මය උගන්වන්නේ නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු එක් මහණක්හු අණවන සේක් නම් මැනැවැ’යි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ප්‍රසේනජිත් කෝශල රාජයා දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූසේකැ ... පැදකුණු කොට ඉවත් වැ ගියේ යි.
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමතූ සේකැ. එසේ නම් ආනන්‍දයෙනි, රජහුගේ ඇතොවුරට බණ උගන්වවයි. එසේ යැ වහන්සැ යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන්හට පිළිවදන් දී කලින් කල පිවිස රජහුගේ ඇතොවුරට බණ උගන්වති. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පෙරවරු හැඳ පෙරෙවැ පාසිවුරු ගෙනැ ප්‍රසේනජිත් කෝශල රාජයාගේ මැදුරට එළැඹියහ. එසමයෙහි වනාහි පසේනදි කොසොල් රජ මල්ලිකා දේවිය සමග ශයනගත වූයේ වෙයි. මල්ලිකා දේවී ආයුෂ්මත් අනඳ තෙරුන් දුරින් ම එනුවන් දැකැ යුහු වැ නැගී සිටියා යැ. ඇයගේ රන්වන් සළුව ගිලිහිණ, එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ එයින් මැ නැවැතී ආරාමයට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වූහ.
6. යම් මහණ කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් පෙරැ නො දන්වාලු ආයුෂ්මත් අනඳ තෙරණුවෝ රජහුගේ ඇතොවුරට පිවිසියාහු”දැ යි ... සැබෑ ද ආනන්‍දයෙනි, තෙපි පෙරැ නො දන්වන ලද්දහු රජහුගේ ඇතොවුරට පිවිසියහු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ .. කෙසේ නම් ආනන්‍දයෙනි, තෙපි පෙරැ නො දන්වන ලද්දාහු රජහුගේ ඇතොවුරට පිවිසියහු ද? ආනන්‍දයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූහු.
7. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ ආදීනවයෝ දස දෙනෙකි. කවර දස දෙනෙක් ද යත්: මෙහි මහණෙනි, රජ තෙමේ මෙහෙසිය සමඟ හොත්තේ වෙයි. එහි මහණෙක් පිවිසෙයි. මෙහෙසිය හෝ මහණහු දැකැ සිනා පහළ කෙරෙයි. මහණ හෝ මෙහෙසිය දැකැ සිනා පහළ කෙරෙයි. එහි ලා රජහට මෙබඳු සිතෙක් වෙයි. එකැතින් මොවුන් විසින් ව්‍යතික්‍රම කරන ලදැ යි හෝ කරන්නහු හෝ වෙති යි. මහණෙනි, මේ රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි පළමුවන ආදීනව යි.
තවද මහණෙනි, බොහෝ කිස ඇති බොහෝ කරණී ඇති රජ තෙමේ එක්තරා ස්ත්‍රියක වෙතැ ගොස් නො සිහි කෙරෙයි ඕ තොමෝ ඔහු කරණ කොට ගෙනැ ගැබ් ගනී. එහි ලා රජහට මෙසේ සිත් වෙයි. මෙහි පැවිද්දකු තබා අන් කිසිවෙක් නො පිවිසෙයි. පැවිද්දාගේ කර්‍මයෙක් වන්නේ හො යි. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ දෙවන ආදීනව යි.
තවද මහණෙනි, රජහුගේ ඇතොවුරෙහි එක්තරා මිණිරුවනෙක් නස්සී. එහිලා රජහට මෙසේ සිත් වෙයි. මෙහි පැවිද්දකු තබා අන් කිසිවෙක් නො පිවිසෙයි, පැවිද්දාගේ කර්‍මයෙක් වන්නේ හො යි. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ තෙවන ආදීනව යි.
තවද මහණෙනි, රජහුගේ ඇතොවුරෙහි ඇතුළත් වූ සැඟැවුණු රහස්හු පිටත්හි සම්භේදයට යෙති. එහි ලා රජහට මෙසේ සිත් වෙයි. මෙහි පැවිද්දකු තබා අන් කිසිවෙක් නො පිවිසෙයි. පැවිද්දාගේ කර්‍මයෙක් වන්නේ හො යි. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ සතරවන ආදීනව යි.
තවද මහණෙනි, රජහුගේ ඇතොවුරෙහි පුත්‍රයා හෝ පියහු (නසන්නට) කැමැති වෙයි. පියා හෝ පුත්හු (නසන්නට) කැමැති වෙයි. ඔවුනට මෙසේ සිත් වෙයි. මෙහි පැවිද්දකු තබා අන් කිසිවෙක් නො පිවිසෙයි. පැවිද්දාගේ කර්‍මයෙක් වන්නේ හො යි. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ පස්වන ආදීනව යි.
තවද මහණෙනි, රජ තෙමේ පහත්තන්හි සිටියහු උසස් තන්හි තබයි. එය යම් කෙනකුන්හට නො මැනැවි නම් ඔවුන්ට මෙසේ සිත් වෙයි. රජ තෙමේ වනාහි පැවිද්දහු සමඟ හැනී සිටියේ යැ. පැවිද්දාගේ කර්‍මයෙක් වන්නේ හො යි. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ සවන ආදීනව යි.
තවද මහණෙනි, රජ තෙමේ උසස් තන්හි සිටියහු පහත් තන්හි තබයි. එය යම් කෙනකුන්හට නො මැනැවි නම් ඔවුනට මෙසේ සිත් වෙයි. රජ තෙමේ වනාහි පැවිද්දහු සමඟ හැනී සිටියේ යැ, පැවිද්දාගේ කර්‍මයෙක් වන්නේ හො යි. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ සත්වන ආදීනව යි.
තවද මහණෙනි, රජ තෙමේ නො කල්හි සෙන් (යුදයට) නඟා යවයි. එය යම් කෙනකුන්හට නො මැනැවි නම් ඔවුනට මෙසේ සිත් වෙයි: රජතෙමේ වනාහි පැවිද්දහු සමඟ හැනී සිටියේ යැ. පැවිද්දාගේ කර්‍මයෙක් වන්නේ හො යි. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ අටවැනි ආදීනව යි.
තවද මහණෙනි, රජතෙමේ කල්හි සෙන් නඟා යවා අතරමඟින් නවත්වාලයි. එය යම් කෙනකුන්හට නො මැනැවි නම් ඔවුනට මෙසේ සිත් වෙයි. රජ තෙමේ වනාහි පැවිද්දහු සමඟ හැනී සිටියේ යැ. පැවිද්දාගේ කර්‍මයෙක් වන්නේ හො යි. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ නවවන ආදීනව යි.
තවද මහණෙනි, රජහුගේ ඇතොවුරෙහි ඇත්ගැටුම් අස්ගැටුම් රියගැටුම් පැවිද්දහුට නො නිසි රාගයට කරුණු වූ රූ හඬ ගඳ රස පහස්හු වෙති. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ දසවන ආදීනව යි. මහණෙනි, මොහු වනාහි රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි දස ආදීනවයෝ යි.
8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නොයෙක් කරුණෙන් ආයුෂ්මත් අනඳ තෙරුන් ගරහා දුබරබව පිණිස ... මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් පෙර නොදන්වන ලද්දේ රජු නික්ම නොගිය කල්හි මෙහෙසිය නික්ම නො ගිය කල්හි මුදුනෙහි බිසෙස් කළ ක්‍ෂත්‍රිය රජක්හුගේ යහන් ගෙයි එළිපත ඉක්මවා නම් පචිති වේ” යැ යි.
9. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
ඛත්තිය නම් – මවුපසින් හා පියපසින් හා දෙපසින් මොනොවට දුනුයේ ද පිරිසිදු මවුකුස ඇතියේ ද සත්වන කුලපරවිටිය තෙක් ජාතිවාදයෙන් බැහැර නො කරන ලදුයේ ද අවමන් නො කරන ලදුයේ ද වෙයි.
මුද්ධාවසිත්ත නම්: ක්‍ෂත්‍රියාභිෂේකයෙන් අභිෂික්ත වූයේ වෙයි.
අනික්ඛන්තරාජකෙ: රජ තෙමේ යහන්ගෙයින් නො නික්මුණේ වෙයි.
අනීභතරතනකෙ: මෙහෙසී තොමෝ යහන් ගෙයින් නො නික්මුණී වෙයි. දෙදෙන මැ හෝ නො නික්මුණාහු වෙත්.
පුබ්බේ අප්පටිසංවිදිතො: පෙරැ නිමන්ත්‍රණ නොකරන ලදුයේ,
ඉන්‍දඛීල නම්: යහන් ගෙයි එළිපත කියනු ලැබෙයි.
සයනිඝර නම්: යම් කිසි තැනෙකැ රජහට යහනෙක් පනවන ලද වේ ද යටත්පිරිසෙයින් කඩතුරාවෙකින් වට කරන ලද්දෙකුත් වේ ද (එය යි).
ඉන්‍දඛීලං අතික්කාමෙය්‍ය: පළමු පිය එළිපත ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි. දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
නො දන්වන ලදුයෙහි නො දන්වනලද සන් ඇතියේ එළිපත ඉක්මවා නම් පචිති ඇවැත් වෙයි. නො දන්වනලදුයෙහි විමති ඇතියේ එළිපත ඉක්මවා නම් පචිති ඇවැත් වෙයි. නො දන්වන ලදුයෙහි දන්වන ලද සන් ඇතියේ එළිපත ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
දන්වන ලදුයෙහි නො දන්වන ලද සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. දන්වන ලදුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. දන්වන ලදුයෙහි දන්වන ලද සන් ඇතියේ නම් ඇවැත් නැති.
දන්වන ලදුයෙහි, ක්‍ෂත්‍රියයෙක් නො වේ නම්, ක්‍ෂත්‍රියාභිෂේකයෙන් අභිෂික්තයෙක් නො වේ නම්, රජතෙමේ හෝ යහන්ගෙයින් නික්මුණේ වේ නම්, මෙහෙසී තොමෝ හෝ යහන්ගෙයින් නික්මුණි වේ නම්, දෙදෙන මැ හෝ නික්මුණෝ වෙත් නම්, නො යහන්ගෙයි නම්, (ඇවැත්නො වේ) උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
පළමුවැනි රාජන්තෙපුර ශික්‍ෂාපදයි.
6. 9. 2.
රතන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් අචිරවතී නදියෙහි ස්නාන කෙරෙයි. එක්තරා බමුණෙකුදු පන්සියයෙකින් පිරි පියැල්ලක් ගොඩබිමැ බහා තබා අචිරවතී නදියෙහි නහා නො සිහි කොට ගියේ යැ. එකල්හි එ මහණ ඒ බමුණාගේ මේ පියැල්ල මෙහි නහමක් නසීව යි ගත්තේ යැ. එකල්හි ඒ බමුණා සිහි කොට වෙළෙවි වෙළෙවි වැ දිවැ අවුත් එමහණහට ‘පින්වත, මාගේ පියැල්ල දක්නෙහි දැ’ යි මෙය කී යැ. ඉඳ බමණැයි දින. එකල්හි එ බමණහට මෙසිත විය; මම කිනම් උපායෙකින් මෙ මහණහට පූර්‍ණ පත්‍රය (සියයට පහ) නො දෙන්නෙම් දැ යි. පින්වත, මාගේ පන්සියයෙක් නො වෙයි. මාගේ දහසෙකැ යි වද දී මුදාලී යැ.
2. ඉක්බිති ඒ මහණ ආරාමයට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වී යැ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මහණෙක් රත්නයක් පිළිගත්තේ” දැ යි ... සැබෑ ද මහණ, තෙපි රත්නයක් පිළි ගත්තු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි රත්නයක් පිළිගත්තහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු.
“යම් මහණෙක් රත්නයක් හෝ රත්න සම්මතයක් හෝ ගන්නේ නම් හෝ ගන්වන්නේ නම් හෝ පචිති වේ” යයි.
මෙසේ භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි වනාහි සැවැතෙහි උත්සවයෙක් වෙයි. මිනිස්සු අබරණ ලා සැරසුණාහු උයනට යෙති. විශාඛා මිගාරමාතෘ තොමෝත් අබරණ ලා සැරසුණී උයනට යන්නෙමැ යි ගමින් නික්ම මම උයනට ගොස් කුමක් කෙරෙම් ද? යම් හෙයකින් මම භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසන කරන්නෙම් නම් යෙහෙකැ යි අබරණ මුදාපියා උතුරු සළුවෙන් පොදියක් බැඳ “ඉඳ කෙල්ල! මේ පොදිය ගනුව”යි දස්සට දින. ඉක්බිති විශාඛා මිගාරමාතෘ තොමෝ භාග්‍යවතුන් වෙතැ එළැඹියා යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙකැ හුන්නී යැ. භාග්‍යවතුන් වහන්සේ එකත් පසෙක හුන් මිගාරමාතෘ වූ විසාඛාව දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූ සේකැ මොනවට කරුණු ගැන්වූ සේකැ, මොනවට තෙද ගැන්වූ සේකැ මොනවට සතුටු කැරවූ සේකි. ඉක්බිති මිගාරමාතෘ විසාඛා තොමෝ භාග්‍යවතුන් විසින් මොනවට කරුණු දක්වන ලදුවා මොනවට කරුණු ගන්වන ලදුවා මොනවට තෙද ගන්වන ලදුවා මොනවට සතුටු කරවන ලදුවා හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් සකසා වැඳ පැදකුණු කොට ඉවත් වැ ගියා යැ. එකල්හි ඒ දාසී තොමෝ ඒ පොදිය නො සිහි කොට ගියා යැ. භික්‍ෂූහු දැකැ භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. එසේ නම් මහණෙනි, රැගෙනැ තැන්පත් කොට තබව යි.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූසේකැ. “මහණෙනි, රත්නයක් හෝ රත්නසම්මතයක් හෝ ඇතුළු අරමෙහි හෝ ඇතුළු අවසෙහි හෝ රැගෙනැ හෝ ගන්වා ගෙනැ හෝ ‘මේ යමක්හුගේ වන්නේ නම් හේ ගෙනැයන්නේ යැ යි නඟා තැබීමට අනුදනිමි.” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් රත්නයක් හෝ රත්නසම්මතයක් හෝ ඇතුළු අරම හෝ අවස හෝ තබා ගන්නේ නම් හෝ ගන්වන්නේ නම් හෝ පචිති වේ යැයි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
5. එසමයෙහි වනාහි කාසී ජනපදයෙහි අනේපිඬු ගැහැවිහුගේ කර්‍මාන්ත ග්‍රාමයෙක් වෙයි. ඒ ගැහැවි විසිනුදු අතැවැසි අණවන ලද්දේ වෙයි, ඉදින් හිමිවරු පැමිණෙත් නම් බත් (පිළියෙළ) කරන්නෙහි ය යි, එසමයෙහි වනාහි බොහෝ භික්‍ෂූහු කාසි ජනපදයෙහි සැරිසරණුවෝ අනේපිඬු ගැහැවිහුගේ කමත්ගමට එළැඹියහ. ඒ පුරුෂ තෙමේ දුර දී මැ එන්නා වූ ඒ මහණුන් දිට. දැකැ ඒ මහණුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ ඒ මහණුන් සකසා වැඳ මෙය කී යැ. ස්වාමීනි, ආර්‍ය්‍යයෝ සෙට දවස පිණිස ගැහැවිහුගේ බත ඉවසත්වයි. ඒ භික්‍ෂූහු තූෂ්ණිම්භාවයෙන් ඉවසූහ. එකල්හි ඒ පුරුෂ තෙමේ එරැය ඇවෑමෙන් කෑ යුතු බුදිය යුතු පිණි දැය පිළිළෙ කරවා කල් දන්වා ඇඟිලිමුදුව මුදාපියා ඒ මහණුන් බතින් වළඳවා ආර්‍ය්‍යයෝ වළඳා නිමවා යෙත්වා මම ද කමතට යන්නෙමි යි ඇඟිලිමුදුව නො සිහි කොට ගියේ යැ. භික්‍ෂූහු දැකැ ඉදින් ඇපි යන්නෙමු නම් මේ ඇඟිලිමුදුව නැසෙන්නේ යැ යි එහි මැ හුන්හු. ඉක්බිති ඒ පුරුෂ තෙමේ කමතින් එන්නේ ඒ මහණුන් දැකැ මෙය කී යැ. කුමකට ස්වාමීනි” ආර්‍ය්‍යයෝ මෙහි මැ හිඳිද්දැ යි. එකල්හි ඒ භික්‍ෂූහු ඒ පුරුෂයහට තෙල කරුණ සැල කොට සැවැතට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වූහු. භික්‍ෂූහු භාග්‍යවතුන්හට කරුණ දැන්වූහු.
6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේකැ. “මහණෙනි, ඇතුළු අරමෙහි හෝ ඇතුළුගෙහි හෝ රත්නයක් හෝ රත්න සම්මතයක් හෝ රැගෙනැ හෝ ගන්වාගෙනැ හෝ මේ යමක්හුගේ වන්නේ නම් හේ රැගෙන යන්නේ යැ යි නඟා තැබීමට අනුදනිමි” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් ඇතුළු අරම හෝ ඇතුළුගෙය හෝ හැර රත්නයක් හෝ රත්නසම්මතයක් හෝ ගන්නේ නම් හෝ ගන්වන්නේ නම් හෝ පචිති වේ. මහණහු විසින් ඇතුළු අරමෙහි හෝ ඇතුළුගෙයි හෝ රත්නයක් හෝ රත්නසම්මතයක් හෝ රැගෙන හෝ ගන්වා ගෙනැ හෝ යමක්හුගේ වන්නේ නම් හෝ ගෙනැයන්නේ යැ යි නඟා තැබිය යුතු යි මේ එහි අනුධර්‍මතා යි.
7. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
රතන නම්: මුතු යැ මිණි යැ වෙරළුමිණි යැ සක් යැ මුංවන්සල යැ පබළු යැ රිදී යැ පියුම්රාමිණි යැ මැසිරිගල් යැ.
රතනසම්මත නම්: යම් වතෙක් මිනිසුන්ගේ උපභෝග පරිභෝග නම් තෙලෙ රතනසම්මත නම් වේ.
අඤ්ඤත්‍ර අජ්ඣාරාමා වා අජ්ඣාවස්ථා වා: අධ්‍යාරාමය අධ්‍යාවසථය තබා;
අධ්‍යාරාමය නම් පරික්‍ෂිප්ත ආරාමයාගේ ඇතුළු අරම යැ, අපරික්‍ෂිප්තයාගේ උපචාරය යි.
අධ්‍යාවසථය නම්: පරික්‍ෂිප්ත ආවසථයාගේ ඇතුළු ආවාස යැ අපරික්‍ෂිප්තයාගේ උපචාරය යි.