8. නො ගරහනු කැමැත්තේ දැන් පළමු කොට සූත්‍රාන්තයන් හෝ ගාථා හෝ අභිධර්‍මය හෝ හදාරව පසු වැ විනය ද හදාරවයි බෙණේ නම් ඇවැත් නො වේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
දෙවැනි විලේඛන ශික්‍ෂාපද යි.
6. 8. 3.
මෝහන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ අනේපිඬු සිටුහුගේ ජේතවන අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු පනත් විකුම් කොට නො දැනීමෙන් අවන්හ යි දනිත්වා යි පාමොක් උදෙසනු ලබන කල්හි මෙසේ කියත්; “මේ ශික්‍ෂාපදධර්‍මය ද විනය ශික්‍ෂායෙහි ආයේ යැ විනය ශික්‍ෂායෙහි ඇතුළත් යැ අඩමසක් පාසා උදෙසීමට පැමිණේ යි මෙ දැන් මැ ඇපි දනුම්හ”යි.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු පාමොක් උදෙසනු ලබන කල්හි මේ ශික්‍ෂාපදධර්‍මය ද විනය ශික්‍ෂායෙහි ආයේ යැ විනය ශික්‍ෂායෙහි ඇතුළත් යැ අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයැ යි මෙ දැන් මැ ඇපි දනුම්හ යි මෙසේ කීහු”ද? ... සැබෑ ද මහණෙනි, තෙපි පාමොක් උදෙසනු ලබන කල්හි මේ ශික්‍ෂාපද ධර්‍මය ද විනය ශික්‍ෂායෙහි ආයේ යැ විනය ශික්‍ෂායෙහි ඇතුළත් යැ අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයැයි මෙ දැන් මැ ඇපි දනුම්හ යි මෙසේ කියවු ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පාමොක් උදෙසනු ලබන කල්හි මේ ශික්‍ෂාපද ධර්‍මය ද විනය ශික්‍ෂායෙහි ආයේ යැ විනය ශික්‍ෂායෙහි ඇතුළත් යැ අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයැ යි මෙ දැන් මැ ඇපි දනුම්හ යි මෙසේ කියන්නහු ද හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් අඩමසක් පාසා පාමොක් උදෙසනු ලබන කල්හි මෙසේ කියා නම්; “මෙ දහම ද විනයෙහි ආයේ විනයෙහි ඇතුළු වූයේ අඩ මසක් පාසා උදෙසීමට ඒ ලැ යි මම දැන් මැ දනිමි”යි ඉදින් ඒ මහණ “මේ මහණහු දෙතුන් වරක් පාමොක් උදෙසනු ලබන කල්හි හුන්විරූ”යයි අන් මහණහු දන්නාහු නම් ඒ මහණහට නො දැන්මෙන් මිදීමෙක් නැති, බොහෝ වුව කවර කථා යැ? එහි ලා යම් මැ ඇවැතකට අවනේ නම් ඒ ඇවතින් ධර්‍ම වූ පරිද්දෙන් කැරැවිය යුතු යැ. මත්තෙහි දු ඔහුට ඇවැත, යම් හෙයෙකින් තෙපි පාමොක් උදෙසනු ලබන කල්හි මොනවට වැඩ ඇති කොට මෙනෙහි නො කරවු ද (එහෙයින්) ඒ තොපට අලාභයහ. ඒ තොපට දුක් පිණිස ලද්දෙකැයි මෙසේ මෝහය ආරෝපණය කළ යුතු යැ, මෝහනය කරන ඔහු කෙරෙහි මේ පචිති වේ” යයි.
3. යො පන යනු: යම්, යම්බඳු ... භික්ඛු යනු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
අන්‍වද්ධමාසං යනු: පොහෝකිරීමක් (පාමොක් උදෙසීමක්) පාසා
පාතිමොක්ඛේ උද්දිස්සම නෙ යනු: උදෙසන කල්හි;
එවං වදෙය්‍ය යනු: පනත් විකුම් කොට නො දැනීමෙන් අවනැ යි දනිත්ව යි පාමොක් උදෙසන කල්හි “මේ ධර්‍මය ද විනයෙහි ආයේ යැ විනයෙහි ඇතුළත් යැ අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයැයි මෙ දැන් මැ මම දනිමි”යි මෙසේ කියා නම් දුකුළා ඇවැත් වේ.
4. තඤ්චෙ යනු: මුළා කරනු කැමැති මහණහු – දෙතුන් වරක් පාමොක් උදෙසනු ලබන කල්හි මේ මහණ හුන් විරූ යයි” අන් මහණහු දන්නාහු නම් ඒ මහණහට නො දැනීමෙන් මිදීමෙක් නැත, බොහෝ වරෙකැ වුව කවර කථා යැ. එහි ලා යම් ඇවතකට අවනේ නම් එද ධර්‍ම වූ පරිද්දෙන් කැරැවිය යුතු, මත්තෙහි දු ඔහට මෝහය ආරෝපණය කළ යුත්තේ යි. මහණෙනි මෙසේ ආරෝපණය කළ යුතු යැ, ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණහු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මවදන් අසාවා, මේ මෙනම් ඇති මහණ පාමොක් උදෙසනු ලබන කල්හි මොනවට අර්‍ත්‍ථවත් කොට මෙනෙහි නො කෙරෙයි. ඉදින් සඞ්ඝයාහට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහට මෝහය ආරෝපණය කරන්නේ යැ තෙල ඥප්ති යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මවදන් අසාවා මේ මෙනම් ඇති මහණ පාමොක් උදෙසනු ලබන කල්හි මොනොවට අර්‍ත්‍ථවත් කොට මෙනෙහි නො කෙරෙයි. සඞ්ඝ තෙමේ මෙනම් මහණහට මෝහය ආරෝපණය කරයි. යම් ආයුෂ්මත්නමක්හට මෙනම් මහණහට මෝහය ආරෝපණය කිරීම රුස්නේ නම් හේ නිහඬ වන්නේ යැ, යමක්හට නො රුස්නේ නම් හේ කියන්නේ යැ.
සඞ්ඝයා විසින් මෙනම් ඇති මහණහට මෝහය ආරෝපණය කරන ලද්දේ යැ සංඝයාහට රුස්නේ යැ එහෙයින් නිහඬ යැ, තෙල මෙසේ දරමි යි.
මෝහය ආරෝපණය නො කළ කල්හි මුළා කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. මෝහය ආරෝපණය කළ කල්හි මුළා කෙරේ නම් පචිති ඇවැත් වේ.
දැහැමිකම්හි දැහැමිකම්සන් ඇති යේ මුළා කෙරේ නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇති යේ මුළා කෙරේ නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි නොදැහැමිකම් සන් ඇතියේ මුළා කෙරේ නම් පචිති ඇවැත් වේ.
නො දැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියේ මුළා කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියේ මුළා කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇතියේ මුළා කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
විස්තර විසින් (පාමොක්) නො අසන ලද නම්, උනු දෙතුන් යළක් විස්තර විසින් අසන ලද නම් (ඇවැත් නො වේ) මුළා නො කරනු කැමැත්තහුට උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
තෙවැනි මෝහන ශික්‍ෂාපද යි.
6. 8. 4.
පහාර ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි සවග මහණහු කිපියෝ නොසියමන් ඇත්තෝ සතළොස්වගැ මහණුන්හට පහර දෙති. ඔහු හඬත්, භික්‍ෂූහු මෙසේ කීහු: “ඇවැත්නි, තෙපි කුමකට හඬවු” දැ යි ඇවැත්නි, මේ සවග මහණෝ කිපී නොසියමන් වැ අපහට පහර දෙති යි.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු කිපියෝ නොසියමන් වූවෝ මහණුන්හට පහර දුන්නු” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි කිපියාහු නොසියමන් වූවාහු මහණුන්හට පහර දෙවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි කිපියෝ නොසියමන් වූවෝ මහණුන්හට පහර දුන්නහු ද, හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් මහණක්හට කිපියේ නොසියමන් වූයේ පහර දෙන්නේ නම් පචිති වේ” යයි.
3. යො පන යනු යම්, යම්බඳු ... භික්ඛු යනු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
භික්ඛුස්ස යනු අන් මහණක්හට,
කුපිතෝ අනත්තමනෝ යනු නොසතුටු වූයේ ප්‍රතිඝයෙන් ගැටුණු සිත් ඇතියේ හටගත් පිළිඝුහුල් ඇතියේ,
පහාරං දදෙය්‍ය යනු කයින් හෝ කය පිළිබද්දෙන් හෝ නිසැගියෙන් හෝ යටත් පිරිසෙයින් උපුල් පතිනුදු පහර දේ නම් පචිති ඇවැත් වේ.
4. උපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ කිපියේ නො සියමන් වූයේ පහර දේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ කිපියේ නොසියමන් වූයේ පහරදේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ කිපියේ නොසියමන් වූයේ පහර දේ නම් පචිති ඇවැත් වේ.
5. අනුපසපනක්හට කිපියේ නොසියමන් වූයේ පහර දේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපනුසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
6. කිසිවකු විසිනුදු වෙහෙසනු ලබන්නේ මිදෙනු කැමැති වැ පහර දේ නම් ඇවැත් නැත. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
සිවුවැනි පහාරශික්‍ෂාපද යි.
6. 8. 5.
තලසත්තික ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේ පිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙත්. එසමයෙහි වනාහි සවග මහණහු කිපියෝ නොසියමන්වූවෝ සතළොස්වගැ මහණුන්හට තලසැත් නඟා දක්වති. ඔහු පුරුදු පහර එතියි හඟනාහු හඬති. භික්‍ෂූහු මෙසේ කීහු: “ඇවැත්නි, තෙපි කුමකට හඬවු” දැ යි ඇවැත්නි, මේ සවග මහණෝ කිපියෝ නොසියමන්වූවෝ අපහට තලසැත් නඟා දක්වන්නාහ යි.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු කිපියෝ නො සියමන් වූවෝ මහණුන්හට තලසැත් නඟා දැක්වූහු”දැයි ... සැබෑ ද මහණෙනි, තෙපි කිපියාහු නො සියමන් වූවාහු මහණුන්හට තලසැත් නඟා දක්වවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි කිපියාහු නොසියමන්වූවාහු මහණුන්හට තලසැත් නඟා දැක්වූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් කිපියේ නො සියමන් වූයේ මහණක්හට තලසැත් නඟන්නේ නම් පචිති වේ” යයි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛූ ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
භික්ඛුස්ස: අන් මහණක්හට,
කුපිතෝ අනත්තමනෝ: නො සතුටු වූයේ ප්‍රතිඝයෙන් හැපුණු සිත් ඇතියේ හටගත් පිළඝුහුල් ඇතියේ,
තලසත්තිකං උග්ගිරෙය්‍ය: කය හෝ කය පිළිබද්දක් හෝ යටත් පිරිසෙයින් උපුල්පතකුදු නඟා දක්වා නම් පචිති ඇවැත් වේ.
උපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ කිපියේ නො සියමන් වූයේ තලසැත් නඟා දක්වා නම් පචිති ඇවැත් වේ. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ කිපියේ නොසියමන් වූයේ තලසැත් නඟා දක්වා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ කිපියේ නොසියමන් වූයේ තලසැත් නඟා දක්වා නම් පචිති ඇවැත් වේ.
අනුපසපනක්හට කිපියේ නොසියමන්වූයේ තලසැත් නඟා දක්වා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
කිසිවකු විසිනුදු වෙහෙසනු ලබන්නේ මිදෙනු කැමැති වැ තල සැත් නඟා දක්වා නම් ඇවැත් නැත, උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
පස්වැනි තලසත්තික ශික්‍ෂාපද යි.
6. 8. 6.
අමූලක ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු මහණක්හට අමූලක සඞ්ඝාදිශේෂයෙකින් චෝදනා කරති.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු මහණක් හට අමූලක සඞ්ඝාදිශේෂයෙකින් චෝදනා කොළෝ”දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි මහණක්හට අමූලක සඞ්ඝාදිශේෂයෙකින් චෝදනා කරවු දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මහණක්හට අමූලක සඞ්ඝාදිශේෂයෙකින් චෝදනා කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් මහණක්හට අමුල් සඟවෙසෙසකින් චෝදනා කරන්නේ නම් පචිති වේ” යයි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛූ ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහිලා අදහස් කරන ලද භික්‍ෂු යි.
භික්ඛුං: අන් මහණක්හු,
අමූලක නම්: නො දක්නා ලද්ද යැ නො අසන ලද්ද යැ සැක නො කරන ලද්ද යි.
සඞ්ඝාදිසේසෙන: තෙළෙස් සඟවෙසෙසුන් අතුරෙන් එක්තරයෙකින්,
අනුද්ධංසෙය්‍ය: චෝදනා කෙරේ නම් හෝ චෝදනා කරවා නම් හෝ පචිති ඇවැත් වේ.
උපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ අමුල් සඟ වෙසෙසෙකින් චෝදනා කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ අමුල් සඟවෙසෙසෙකින් චෝදනා කරයි නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ අමුල් සඟවෙසෙසෙකින් චෝදනා කෙරේ නම් පචිති ඇවැත් වේ.
ආචාරවිපත්තියෙකින් හෝ දෘෂ්ටිවිපත්තියෙකින් හෝ චෝදනා කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හට චෝදනා කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
එසේ සඟවෙසෙස් සන් ඇතියේ චෝදනා කෙරේ නම් හෝ චෝදනා කරවා නම් හෝ ඇවැත් නැත, උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
සවැනි අමූලකශික්‍ෂාපද යි.
6. 8. 7.
සඤ්විච්ච ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු සතළොස් වග මහණුන්හට දැනැ දැනැ කුකුස් උපදවති. “ඇවැත්නි, භාග්‍යවතුන් විසින් උනුවිසිවස් ඇති පුඟුල් තෙමේ උපසපන් නො කැරැවිය යුතු යැ යි සිකපදයෙක් පනවන ලදී. තෙපි දු උනුවිසිවස් ඇතියව්හු උපසපන් වූවහු යැ. කිම, තෙපි අනුපසපන්හු”දැ යි. ඔහු හඬත්. භික්‍ෂූහු මෙසේ කීහු: “කුමකට ඇවැත්නි, තෙපි හඬවු”දැ යි. ඇවැත්නි, මේ සවග මහණහු අපට දැනැදැනැ කුකුස් උපදවතැ යි.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු මහණුන්හට දැනැදැනැ කුකුස් ඉපැදවූහු”දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි මහණුන්හට දැනැ දැනැ කුකුස් උපදවවු දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මහණුන්හට දැනැ දැනැ කුකුස් ඉපැදවූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් මහණක්හට ‘මෙයින් මොහුට ඇසිල්ලකුදු නො පහසුවෙක් වන්නේ’යැ යි දැන දැනැ අනෙකක් නො වැ මෙය මැ කරුණු කොට කුකුස් උපදවන්නේ නම් පචිති වේ” යයි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
භික්ඛුස්ස: අන් මහණක්හට,
සඤ්විච්ච: දන්නේ මැනැවින් දන්නේ සිතා මෙහෙයා විකුම් කිරීම යි.
කුක්කුච්චං උපදහෙය්‍ය: තෙපි උනුවිසිවස් ඇති වැ උපසපන් වූහු යි හඟිමි. තොප විකල්හි වළඳන ලදැ යි හඟිම්. තොප මත්පැන් බොන ලදැ යි හඟිම්. තොප නොරඹුරෙහි මාගමක හා හිනැ යි හඟිමැ යි කුකුස් උපදවා නම් පචිති ඇවැත් වේ.
ඒතදෙව පච්චයං කරිත්‍වා අනඤ්ඤං: කුකුස් උපදවන්නට අන් කිසිදු කරුණෙක් නැති.
උපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ දැනැ දැනැ කුකුස් උපදවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ දැනැ දැනැ කුකුස් උපදවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ දැනැ දැනැ කුකුස් උපදවා නම් පචිති ඇවැත් වේ.
අනුපසපනක්හට දැනැ දැනැ කුකුස් උපදවා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
කුකුස් නො උපදවනු කැමැත්තේ “තෙපි උනු විසි වස් ඇති වැ උපසපන් වූහු යි හඟිම්, තොප විකල්හි වළඳන ලදැ යි හඟිම්, තොප මත් පැන් බොන ලදැ යි හඟිම්, තොප නොරඹුරෙහි මාගමක සමග හිනැ යි හඟිම්, එබැවින් දනුව, තොපට පසුවැ කුකුසෙක් නහමක් වේව යි බෙණේ නම් ඇවැත් නැත, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සත්වැනි සඤ්විච්ච ශික්‍ෂාපද යි.
6. 8. 8.
උපස්සුති ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු ප්‍රියශීලී භික්‍ෂූන් සමඟ ඩබර කෙරෙති. ප්‍රියශීලී භික්‍ෂූහු මෙසේ කියත්: “ඇවැත්නි මේ සවග මහණහු අලජ්ජීහු යැ, මොවුන් සමඟ ඩබර කරන්නට නොහැකි” යැ යි සවග මහණහු මෙසේ කියත්: “කුමකට ඇවැත්නි, තෙපි අප අලජ්ජීවාදයෙන් පමුණුවවු” දැ යි ඇවැත්නි, තෙපි කොබ සිටැ ඇසුවහු දැ යි. ඇපි ආයුෂ්මතුන්ගේ බස් ඇසෙන තන්හි සිටියම්හ යි.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්; “කෙසේ නම් සවග මහණහු හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විරුද්ධවාදයට බැස ගත් මහණුන්ගේ බස් ඇසෙන තන්හි සිටියෝ” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විරුද්ධවාදයට බැසගත් මහණුන්ගේ බස් ඇසෙන තන්හි සිටිවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විවාදයට බැසගත් මහණුන්ගේ බස් ඇසෙන තන්හි සිටියහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විරුද්ධවාදයට පැමිණි මහණුන්ගේ බස් ඇසෙන තන්හි මොහු යමක් බෙණෙත් නම් එය අසන්නෙමැ’යි අනෙකක් නො වැ මෙය මැ කරුණු කොට සිටින්නේ නම් පචිති වේ” යයි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
භික්ඛූනං: අන් මහණුන්ගේ.
භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං: හටගත් අධිකරණ ඇතියවුන්ගේ.
උපස්සුතිං තිට්ඨෙය්‍ය: මොවුන්ගේ බස් අසා චෝදනා කරන්නෙමි සිහි කරවන්නෙමි නැවැතැ චෝදනා කරන්නෙමි නැවැතැ සිහි කරවන්නෙමි මකු කරන්නෙමැ යි යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියේ අසා නම් පචිති වෙයි. පසු වැ යන්නේ අසන්නෙමැ යි යුහු වැ යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙක සිටියේ අසා නම් පචිති ඇවැත් වෙයි. පෙරටු වැ යන්නේ අසන්නෙමැ යි පසුබසිමින් එලිඑලී යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියේ අසා නම් පචිති ඇවැත් වෙයි. මහණක්හුගේ සිටි තැනට හෝ හුන් තැනට හෝ හොත් තැනට හෝ අවුත් මන්ත්‍රණය කරන්නහුට කෑරිය යුතු යැ දැන්විය යුතු යැ. ඉදින් නොකරන්නේ නම් නො දන්වන්නේ නම් හෝ පචිති ඇවැත් වේ.
ඒතදෙව පච්චයං කරිත්‍වා අනඤ්ඤං: බස් ඇසෙන තන්හි සිටින්නහට අන් කිසිදු කරුණෙක් නැත.
උපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ බස් ඇසෙන තන්හි සිටී නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ බස් ඇසෙන තන්හි සිටී නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ බස් ඇසෙන තන්හි සිටී නම් පචිති ඇවැත් වේ.
අනුපසපනක්හුගේ බස් ඇසෙන තන්හි සිටී නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
මොවුන්ගේ බස් අසා මිදෙන්නෙමි වළකින්නෙමි සන්හිඳින්නෙමි තමා හාත්පසින් මිදෙන්නෙමැ යි යේ නම් ඇවැත් නැත, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
අටවැනි උපස්සුති ශික්‍ෂාපද යි.
6. 8. 9.
කම්මපටිබාහන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු පනත් විකුම් කොට එකක් එකක්හට කර්‍ම කරනු ලබන කල්හි වළහත්. එසමයෙහි වනාහි කිසියම් කරුණෙකින් සඞ්ඝයා රැස්වූයේ වෙයි. සවග මහණහු සිවුරුකම් කරන්නෝ එකක්හට ඡන්‍දය දුන්හු. එකල්හි සඞ්ඝයා ඇවැත්නි, මේ සවග මහණ එකලා වැ පැමිණියේ යැ. එබැවින් ඇපි මොහුට කර්‍ම කරම්හ යි ඔහට කර්‍ම කෙළේ යැ. එකල්හි එ මහණ සවග මහණුන් වෙතැ එළැඹියේ යැ. සවග මහණහු එ මහණහට මෙය කීහු. ඇවැත්නි, සඞ්ඝයා කුමක් කෙළේ දැයි. ඇවැත්නි, සඞ්ඝයා මාහට කර්‍ම කෙළේ යැ යි. ඇවැත්නි, ඇපි තොපට කර්‍ම කරන්නේ යැ යි තෙල කරුණ සඳහා ඡන්‍දය නුදුම්හ. ඉදින් තොපට කර්‍ම කරන්නේ යැයි ඇපි දන්නමෝ නම් ඇපි ඡන්‍දය නො දෙම්හ යි.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු දැහැමි කර්‍මයනට ඡන්‍දය දී පසු වැ ගරහන බවට පැමිණියේ”දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි දැහැමි කර්‍මයනට ඡන්‍දය දී පසු වැ ගරහන බවට පැමිණෙවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දැහැමි කර්‍මයනට ඡන්‍දය දී පසු වැ ගරහන බවට පැමිණියහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් දැහැමි කර්‍මයනට ඡන්‍දය දී පසු වැ ගරහන බවට පැමිණෙන්නේ නම් පචිති වේ”යයි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
ධම්මික කම්ම නම්: අපලෝකන කර්‍ම යැ ඥප්ති කර්‍ම යැ ඥප්තිද්විතීය කර්‍ම යැ, ඥප්තිචතුර්‍ත්‍ථ කර්‍ම යි. ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් කරන ලද තෙල කර්‍මය ධම්මික නම් වෙයි. ඡන්‍දය දී ගරහා නම් පචිති ඇවැත් වේ.
දැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියේ ඡන්‍දය දී ගරහා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇතියේ ඡන්‍දය දී ගරහා නම් දුකුළා ඇවැත් වෙයි. දැහැමිකම්හි නො දැහැමි කම්සන් ඇතියේ ඡන්‍දය දී ගරහා නම් ඇවැත් නැති.
නො දැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇතියේ නම් ඇවැත් නැති.
අධර්‍මයෙන් හෝ ව්‍යග්‍රයෙන් හෝ කර්‍මාර්‍හ නොවනුවක්හට කර්‍ම කරන ලදැ යි දන්නේ ගරහා නම් (ඇවැත් නොවේ), උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
නවවැනි කම්මපටිබාහන ශික්‍ෂාපද යි.