සංවිධාන නො කොට යේ නම්, මාගම සංවිධාන කෙරේ නම් මහණ සංවිධාන නො කෙරේ නම්, කාලවිසඞ්කෙතයෙන් යේ නම්, ආපදාවෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සත්වැනි සංවිධාන ශික්‍ෂාපද යි.
6. 7. 8.
අරිට්ඨ ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ගිජුලිහිණියන් මැරූ කුලෙහි උපන් අරිට්ඨ නම් මහණහට මෙබඳු ලමු දිට්හයෙක් උපන්නේ වෙයි. “භාග්‍යවතුන් විසින් යම් මේ අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අනතුරු පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමි” යි. බොහෝ භික්‍ෂූහු ගිජුලිහිණියන් මැරූ කුලෙහි උපන් අරිට්ඨ නම් මහණහට භාග්‍යවතුන් විසින් යම් මේ අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අනතුරු පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ යි මෙබඳු ලමු දිට්හයෙක් උපනැයි ඇසූහු.
2. ඉක්බිති ඒ භික්‍ෂූහු ගද්ධාබාධිපුබ්බ (ගිජු ලිහිණියන් මැරූ කුලෙහි උපන්) අරිට්ඨ නම් මහණහු වෙතැ එළැඹියහ. එළැඹැ ගද්ධාබාධිපුබ්බ අරිට්ඨ නම් මහණහට මෙය කීහු. සැබෑ ද ඇවැත්නි අරිට්ඨයෙනි, භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අනතුරු පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ යි මෙබඳු ලාමක දෘෂ්ටියක් තොපට උපන්නේ ද? භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අනතුරු පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසෙයින් ඇවැත්නි, භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමි, ඇවැත්නි අරිට්ඨයෙනි, මෙසේ නහමක් කියව, භාග්‍යවතුන්හට නහමක් නුගුණ කියව, භාග්‍යවතුන් හට නුගුණකීම නො මනා මැ යි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරන සේක් මැ යි. ඇවැත්නි අරිට්ඨයෙනි, භාග්‍යවතුන් විසින් නොයෙක් කරුණෙන් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි වදාරන ලද යැ. තව ද ඒ ධර්‍මයන් සෙවුනාහට අනතුරු පිණිස සමර්‍ත්‍ථ වෙත් මැ යි. කාමයෝ අල්පාස්වාද ඇතියහ බොහෝ දුක් ඇතියහ බොහෝ දැඩි ආයාස ඇතියහ. මෙහි ආදීනවය බෙහෙවැ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. බොහෝ දුක් ඇති බොහෝ දැඩි ආයාස ඇති කාමයෝ ඇටසැකිලි බන්දහ මෙහි ආදීනවය බෙහෙවැ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. කාමයෝ මස් වැදැලි බන්දහ ... භාග්‍යවතුන් විසින් වදාරන ලද. කාමයෝ තණහුලක් බන්දහ ... භාග්‍යවතුන් විසින් වදාරන ලද. කාමයෝ අඟුරුවළක් බන්දහ ... භාග්‍යවතුන් විසින් වදාරන ලද. කාමයෝ සිහිනයක් බන්දහ ... භාග්‍යවතුන් විසින් වදාරන ලද. කාමයෝ පිරුළින් අළදැයක් බන්දහ ... භාග්‍යවතුන් විසින් වදාරන ලද. කාමයෝ රුක්පල බන්දහ ... භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ අසිසූනා බන්දහ ... භාග්‍යවතුන් විසින් වදාරන ලද. කාමයෝ ශක්තිශුල බන්දහ ... භාග්‍යවතුන් විසින් වදාරන ලද. බොහෝ දුක් ඇති බොහෝ දැඩි ආයාස ඇති කාමයෝ සර්‍ප ශිර්‍ෂ බන්දහ. මෙහි ආදීනවය බෙහෙවැ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද්දේ යැ.
3. මෙසේ ද වනාහි ගද්ධබාධිපුබ්බ අරිට්ඨ මහණ ඒ භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ එසේ මැ ඒ ලාමකදෘෂ්ටිය දැඩිසේ අල්වා ගෙනැ (එයට) බැසැගෙනැ බැවහර කෙරෙයි. “භාග්‍යවතුන් විසින් යම් මේ අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ ඇවැත්නි, භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ” යි. ඒ භික්‍ෂූහු වනාහි ගිජුලිහිණියන් මැරූ කුලෙහි උපන් අරිට්ඨ මහණහු තෙල ලමු දිට්හයෙන් වෙන් කරන්නට යම් හෙයකින් නොහැකිවූහු ද එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වෙතැ එළැඹියහ. එළැඹ භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා බික්සඟන රැස්කරවා ගිජුලිහිණියන් මැරූ කුලෙහි උපන් අරිට්ඨ මහණහු පිළිවුසූ සේකැ. සැබෑ ද අරිට්ඨය, භාග්‍යවතුන් විසින් යම් මේ අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ යි මෙබඳු ලමු දිට්හයෙක් තාහට උපන්නේ දැ යි. භාග්‍යවතුන් විසින් යම් මේ අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසෙයින් ස්වාමීනි, භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමි. හිස් පුරුෂය, තෙපි මා විසින් කවරක්හට නම් එසේ ධර්‍මය දෙසන ලදැ යි දනිහු ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් කරුණෙන් අන්තරායකර ධර්‍මයෝ අන්තරාය කරහ යි වදාරන ලද්දාහු නො වෙද්ද? තවද ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ නො වෙද්ද? කාමයෝ අල්පාස්වාදයහ. බොහෝ දුක් ඇතියහ. බොහෝ දැඩි ආයාස ඇතියහ. මෙහි ආදීනවය බෙහෙවැ යි මා විසින් වදාරන ලද. කාමයෝ ඇටසැකිල්ලක් බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ මස් වැදැල්ලක් බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ තණහුලක් බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ අඟුරුවළක් බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ සිහිනයක් බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ පිරුළු අළදැයක් බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ රුක්පල බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ අසිසුනා බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ ශක්තිශූල බන්දහ ... මා විසින් වදාරන ලද. බොහෝ දුක් ඇති බොහෝ දැඩි ආයාස ඇති කාමයෝ සර්‍පශීර්‍ෂ බන්දහ මෙහි ආදීනවය බෙහෙවැ යි මා විසින් වදාරන ලද්දේ යි.
5. එතෙකුදු වුවත් හිස් පුරුෂය, තෙපි තමා විසින් නපුරු කොට ගන්නා ලද දිට්හයෙන් අපට ද නුගුණ කියව, තමා ද සැරූ ගුණ ඇතියව, බොහෝ අකුසල් ද රැස් කරව, හිස් පුරුෂය, එය බලත් තා හට දිගුරැයක් අහිත පිණිස දුක් පිණිස වන්නේ යැ, හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු.
“භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ යි යම් මහණෙක් මෙසේ කියන්නේ නම් ඒ මහණ මහණුන් විසින් ඇවැත්නි, මෙසේ නහමක් කියව, භාග්‍යවතුන්හට නහමක් නුගුණ කියව භාග්‍යවතුන් හට නුගුණ කීම නො මැනැවි, භාග්‍යවත් තෙමේ මෙසේ නො මැ වදාරන්නේ යැ, ඇවැත්නි නොයෙක් කරුණෙන් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ වෙත් මැ යි මෙසේ කිය යුත්තෙක් වන්නේ යැ. මෙසේ ද වනාහි ඒ මහණ මහණුන් විසින් කියනු ලබන්නේ එසේ මැ දැඩි වැ ගන්නේ නම් ඒ මහණ මහණුන් විසින් ඒ දිට්හය හැරැපීම පිණිස තුන්යළ තෙක් සමනුභාසන කර්‍ම කළ යුත්තෙක් වෙයි. ඉදින් තුන්යළ තෙක් සමනුභාසනර්‍ම කරනු ලබන්නේ ඒ දිට්හය හැරැපියන්නේ නම් මෙසේ තෙල හැරැපීම මැනැවි. ඉදින් නො හැරැපියන්නේ නම් පචිති වේ” යයි.
6. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
එවං වදෙය්‍ය: භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ යි.
සො භික්ඛු: යමෙක් මෙසේ කියන සුලු නම් ඒ මහණ තෙමේ;
භික්ඛූහි: අන් මහණුන් විසින්; යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් ඇවැත්නි, මෙසේ නහමක් කියව, භාග්‍යවතුන්හට නහමක් නුගුණ කියව, භාග්‍යවතුන්හට නුගුණ කීම නො මැනැවි. භාග්‍යවත් තෙමේ මෙසේ නො වදාරන්නෙ යැ, ඇවැත්නි, නොයෙක් කරුණෙන්, අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ වෙත් මැ යි කියයුත්තේ යැ. දෙවනවටදු කියයුත්තේ යැ. තෙවන වටදු කිය යුත්තේ යි. ඉදින් හැරැ පියා නම් මෙසේ තෙල හැරපීම මැනැවි. ඉදින් නො හැරැපියා නම් දුකුළා ඇවැත් වෙයි. අසා නො කියත් නම් දුකුළා ඇවැත් වේ.
7. ඒ මහණ සඟමැදට බහා ගෙනැ ඇවැත්නි, මෙසේ නහමක් කියව භාග්‍යවතුන්හට නහමක් නුගුණ කියව, භාග්‍යවතුන්හට නුගුණ කීම නො මැනැවි. භාග්‍යවත් තෙමේ මෙසේ නො මැ වදාරන්නෙ යැ, ඇවැත්නි, නොයෙක් කරුණෙන් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ වෙත් මැ යි කිය යුත්තේ යැ, දෙවනවටදු කිය යුත්තේ යැ, තෙවනවට දු කිය යුත්තේ යි. ඉදින් හැරැපියා නම් මෙසේ තෙල හැරැපීම මැනැවි. ඉදින් නො හැරපියා නම් දුකුළා ඇවැත් වේ.
8. ඒ මහණ මහණුන් විසින් සමනුභාසන කර්‍ම කළයුත්තේ යැ. මෙසේ ද වනාහි මහණෙනි, සමනුභාසන කර්‍ම කළයුත්තේ යැ, ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝයා දැන්විය යුත්තේ යි.
ස්වාමීනි, සඞ්ඝයා මවදන් අසාවා, මෙනම් ඇති මහණහට මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන. “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ” යි. හෙ ඒ දෘෂ්ටි නො හැරැපියයි. ඉදින් සඞ්ඝයාහට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝයා මෙනම් ඇති මහණහට ඒ දෘෂ්ටි හැරැපීම පිණිස සමනුභාසන කර්‍ම කරන්නෙ යැ. මේ ඥප්තිය යි.
ස්වාමීනි, සඞ්ඝයා මවදන් අසාවා, මෙනම් ඇති මහණහට මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන. “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ යි. හෙ ඒ දෘෂ්ටි නො හැරැපියා යි. සඞ්ඝයා මෙනම් ඇති මහණහට ඒ දෘෂ්ටි හැරැපීම පිණිස සමනුභාසන කර්‍ම කරයි. මෙනම් ඇති මහණහුගේ ඒ දෘෂ්ටි හැරැපීම පිණිස සමනුභාසන කර්‍මය යම් ආයුෂ්මත් නමක්හට රුස්නේ නම් හේ නිහඬ වන්නේ යැ, යමක්හට නො රුස්නේ නම් හෙ කියන්නේ යි. දෙවනවට දු තෙල කරුණ කියමි ... තෙවනවට දු තෙල කරුණ කියමි. වහන්ස, සඞ්ඝයා මවදන් අසාවා, මෙනම් ඇති මහණහට මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන. “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ” යි. හෙ ඒ දෘෂ්ටි නො හැරැපියයි. සඞ්ඝයා මෙනම් ඇති මහණහට ඒ දෘෂ්ටි හැරැපීම පිණිස සමනුභාසන කර්‍ම කරයි. මෙනම් ඇති මහණහුගේ ඒ දෘෂ්ටි හැරැපීම පිණිස සමනුභාසන කර්‍මය යම් ආයුෂ්මත් නමක්හට රුස්නේ නම් හේ නිහඬ වන්නෙ යැ, යමක්හට නො රුස්නේ නම් හේ කියන්නේ යි.
සඞ්ඝයා විසින් මෙනම් ඇති මහණ ඒ දෘෂ්ටි හැරැපීම පිණිස සමනුභාසන කර්‍ම කරන ලදුයේ යැ. සඞ්ඝයාහට රුස්නේ යැ. එහෙයින් නිහඬ වන්නෙ යි. මෙසේ මෙය දරමි.
9. ඥප්තියෙහි දුකුළායෙකි. දෙ කම් වදනින් දෙ දුකුළායෙකි. කම්වදන් අවසන්හි පචිති ඇවැත් වේ.
දැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියේ නො හැරැපියා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇතියේ නො හැරපියා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇතියේ නො හැරැපියා නම් පචිති ඇවැත් වේ.
නො දැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
සමනුභාසන කර්‍ම නො කළහුට, (ලබ්ධිය) හැරැපියන්නහුට උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
අටවැනි අරිට්ඨ ශික්‍ෂාපද යි.
6. 7. 9.
උක්ඛිත්තසම්භෝග ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේ පිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු එසේ මැ කියන ඒ ලබ්ධිය නො හළ ඔසාරණය නො කළ අරිට්ඨ මහණහු සමඟ දැනැ දැනැ සම්භෝග ද කෙරෙති, විනයකර්‍ම ද කෙරෙති, එක් වැ ශයනය ද කෙරෙත්. යම් භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු දැනැ දැනැ එසේ මැ කියන ඒ ලබ්ධිය නො හළ ඔසාරණය නො කළ අරිට්ඨ මහණහු සමඟ සම්භෝගත් කොළෝ ද විනයකර්‍මත් කොළෝ ද එක් වැ ශයනයත් කොළෝ” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි දැනැදැනැ එසේ මැ කියන ඒ ලබ්ධිය නො හළ ඔසාරණය නො කළ අරිට්ඨ මහණහු සමඟ සම්භෝගත් කරවු ද විනයකර්‍මත් කරවු ද එක් වැ ශයනයත් කරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දැනැ දැනැ එසේ මැ කියන ඒ ලබ්ධිය නො හළ ඔසාරණය නො කළ අරිට්ඨ මහණහු සමඟ සම්භෝගත් කළහු ද විනයකර්‍මත් කළහු ද එක් වැ ශයනයත් කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් දැනැ දැන එසේ මැ කියන ඒ දෘෂ්ටි නො හළ ඔසාරණය නො කළ මහණක්හු සමඟ සම්භෝග කරන්නේ නම් හෝ විනයකර්‍ම කරන්නේ නම් හෝ එක් වැ ශයනය කරන්නේ නම් හෝ පචිති වේ” යයි.
2. යො පන; යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහිලා අදහස් කරන ලද භික්‍ෂු යි.
ජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත් හෙතෙමේ හෝ ඇරොජයි.
තථාවාදිනා: භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ යි මෙසේ කියන්නාවූ;
අකටානුධම්ම නම්: උකෙච්නීකම් කරන ලදුයේ–ඔසාරණය නො කරන ලදුයේ යි.
තං දිට්ඨිං අප්පටිනිස්සට්ඨෙන සද්ධිං: තෙල දෘෂ්ටි නො හැරැපියන ලදහු සමඟ;
සම්භුඤ්ජෙය්‍ය වා සම්භෝග නම්: සම්භෝගයෝ දෙදෙනෙකි ආමිස සම්භෝගය ද ධම්ම සම්භෝගය දැයි. ආමිසසම්භෝග නම්: ආමිෂයක් දේ නම් හෝ පිළිගනී නම් හෝ පචිති ඇවැත් වේ. ධම්මසම්භෝග නම්: උදෙසා නම් හෝ උදෙසවා නම් හෝ, පදයෙන් උදෙසා නම් හෝ උදෙසවා නම් හෝ පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වෙයි. අක්‍ෂරයෙන් උදෙසා නම් හෝ උදෙසවා නම් හෝ අකුරෙහි අකුරෙහි පචිති ඇවැත් වේ.
සංවසෙය්‍ය වා: උකෙච්නීකම් කරන ලද්දක්හු සමඟ පොහොය හෝ පවුරුණු හෝ සඟකම් හෝ කෙරේ නම් පචිති ඇවැත් වේ.
සහ වා සෙය්‍යං කප්පෙය්‍ය: එක් සෙවින්නෙහි උක්ඛිත්තකයා හොත් කල්හි මහණ හො වී නම් පචිති ඇවැත් වෙයි. මහණ හොත් කල්හි උක්ඛිත්තකයා හො වී නම් පචිති ඇවැත් වෙයි. දෙදෙන ම හෝ හොවිත් නම් පචිති ඇවැත් වෙයි. නැඟිට පුන පුනා හොවිත් නම් පචිති ඇවැත් වේ.
උක්ඛිත්තකයා කෙරෙහි උකෙච්නීකම් කළ සන් ඇතියේ සම්භෝග කෙරේ නම් හෝ විනයකර්‍ම කෙරේ නම් හෝ එක් වැ ශයනය හෝ කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උක්ඛිත්තකයා කෙරෙහි විමති ඇතියේ සම්භෝග කෙරේ නම් හෝ විනයකර්‍ම කෙරේ නම් හෝ එක් වැ ශයනය හෝ කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වෙයි. උක්ඛිත්තකයා කෙරෙහි උකෙච්නීකම් නො කළ සන් ඇතියේ සම්භෝග කෙරේ නම් හෝ විනයකර්‍ම කෙරේ නම් හෝ එක් වැ ශයනය හෝ කෙරේ නම් හෝ ඇවැත් නැති.
උකෙච්නීකම් නො කළහු කෙරෙහි උකෙච්නීකම් කළ සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උකෙච්නී කම් නො කළහු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උකෙච්නීකම් නො කළහු කෙරෙහි උකෙච්නීකම් නො කළ සන් ඇතියේ නම් ඇවැත් නැති.
උකෙච්නීකම් නො කෙළෙකැ යි දනී නම්, උකෙච්නීකම් කරන ලදු වැ ඔසාරණය කරන ලද්දෙකැයි දනී නම්, ඒ දෘෂ්ටි හැරැපියන ලද්දේ කැ යි දනී නම්, උම්මත්තකයහට ආදිකම්මිකයහට, ඇවැත් නැති.
නවවැනි උක්ඛිත්තසම්භෝග ශික්‍ෂාපද යි.
6. 7. 10.
කණ්ටක ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි කණ්ටක නම් හෙරණහට මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන්නේ වෙයි. “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ” යි. බොහෝ භික්‍ෂූහු කණ්ටක නම් හෙරණහට මෙබඳු ලාමකදෘෂ්ටියෙක් උපනැයි ඇසූහු. “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ” යි. එකල්හි ඒ භික්‍ෂූහු කණ්ටක හෙරණහු වෙත එළැඹියහ. එළැඹැ කණ්ටක හෙරණහට මෙය කීහු. සැබෑ ද ඇවැත් කණ්ටකය, තොපට මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන්නේ ද? “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමි” යි. භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසෙයින් ස්වාමීනි, භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමි.
2. ඇවැත් කණ්ටකය, මෙසේ නහමක් කියව, භාග්‍යවතුන්හට නහමක් නුගුණ කියව, භාග්‍යවතුන්හට නුගුණ කීම නො මැනැවි. භාග්‍යවත් තෙමේ මෙසේ නො මැ වදාරන්නේ යැ. ඇවැත්නි කණ්ටකය, නොයෙක් කරුණෙන් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ වෙත් මැයි. කාමයෝ අල්පාස්වාද ඇතියහ. බොහෝ දුක් ඇතියහ. බොහෝ දැඩි ආයාස ඇතියහ, මෙහි ආදීනවය බෙහෙවැ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. බොහෝ දුක් ඇති බොහෝ දැඩි ආයාස ඇති කාමයෝ ඇට සැකිල්ලක් බන්දහ මෙහි ආදීනවය බෙහෙවැ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. ...
බොහෝ දුක් ඇති බොහෝ දැඩි ආයාස ඇති කාමයෝ සර්‍ප ශීර්‍ෂ බන්දහ. මෙහි ආදීනවය බෙහෙවැ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. මෙසේ ද වනාහි කණ්ටක හෙරණ ඒ භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ එසේ මැ ඒ ලාමක දෘෂ්ටිය දැඩිසේ අල්වාගෙනැ (එයට) බැසැගෙනැ බැවහර කෙරෙයි. “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ ස්වාමීනි, භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ” යි.
3. ඒ භික්‍ෂූහු කණ්ටක හෙරණහු තෙල ලාමකදෘෂ්ටියෙන් වෙන් කරන්නට යම් හෙයකින් නො හැකිවූහු ද, එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වෙතැ එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා බික්සඟන රැස් කරවා කණ්ටක හෙරණහු පුළුවුත් සේකැ. සැබෑ ද කණ්ටකය, තොපට මෙබඳු ලාමකදෘෂ්ටියක් උපන්නේ ද? “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය දනිමැ” යි. භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසෙයින් ස්වාමීනි, භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමි.
4. හිස් පුරුෂය, තෙපි මා විසින් කවරක්හට නම් එසේ ධර්‍මය දෙසන ලදැ යි දනිවු ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් කරුණෙන් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි දෙසන ලද්දහු නො වෙද්ද? තව ද ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ නො වෙද්ද? කාමයෝ අල්පාස්වාද ඇතියහ. බොහෝ දුක් ඇතියහ. බොහෝ දැඩි ආයාස ඇතියහ. මෙහි ආදීනවය බෙහෙවැ යි මා විසින් වදාරන ලද යැ. කාමයෝ ඇටසැකිල්ලක් බන්දහ යි මා විසින් දෙසන ලද ... බොහෝ දුක් ඇති බොහෝ දැඩි ආයාස ඇති කාමයෝ සර්‍පශීර්‍ෂ බන්දහ. මෙහි ආදීනවය බෙහෙවැ යි මා විසින් දෙසන ලද. එතෙකුදු වුවත් හිස් පුරුෂය, තෙපි තමා විසින් නපුරු කොට ගන්නා ලද දෘෂ්ටියෙන් අපට ද නුගුණ කියව, තමා ද සැරූ ගුණ අතියව. බොහෝ පව් ද රැස් කරහි. හිස් පුරුෂය, එය බලත් තොපට දිගුරැයක් අහිත පිණිස දුක් පිණිස වන්නේ යැ. හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමැතූ සේකැ. එකරුණෙන් මැ මහණෙනි, සඞ්ඝතෙමේ කණ්ටක හෙරණහු (දණ්ඩකර්‍මනාසනායෙන්) නසාවා. මෙසේ ද මහණෙනි, නැසිය යුත්තේ යි. “ඇවැත්නි කණ්ටකය, අද පටන් කොට ඒ භාග්‍යවත් තෙමේ තොප ශාස්තෘ යැ යි නොම කියා යුත්තේ යැ. අන් හෙරණහු මහණුන් සමග යම් දෙතුන්රැයක් එක් වැ ශයනය ලබත් නම් ඒ එක් වැ ශයන ද තට නැති, මමතා නැත්තව, බැහැරැ යා, නො දැක්මට යව” යි. ඉක්බිති සඞ්ඝ තෙමේ කණ්ටක හෙරණහු නැසී යැ.
5. එසමයෙහි වනාහි සවග මහණහු දැනැ දැනැ එසේ නසන ලද කණ්ටක හෙරණහු නැළවීම ද කෙරෙති. උවටැන් කරවා ගැනීම ද කෙරෙති. සම්භෝග ද කෙරෙති, එක් වැ ශයනය ද කෙරෙති. යම් භික්‍ෂූ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරවත්: “කෙසේ නම් සවග මහණහු දැනැ දැනැ එසේ නසන ලද කණ්ටක හෙරණහු නැළවීමත් කොළෝ ද උවැටන් කරවා ගැනීමත් කොළෝ ද සම්භෝගත් කොළෝ ද එක් වැ ශයනයත් කොළෝ” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි දැනැ දැනැ එසේ නසන ලද කණ්ටක හෙරණහු නැළවීමත් කරවූ ද උවැටන් කරවා ගැනීමත් කරවු ද සම්භෝගත් කරවුද එක් වැ ශයනයත් කරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දැනැ දැනැ එසේ නසන ලද කණ්ටක හෙරණහු නැළවීමත් කළහු ද උවැටන් කරවා ගැනීමත් කළහු ද සම්භෝගත් කළහු ද එක් වැ ශයනයත් කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු
“හෙරණකුදු “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අනතුරු පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ” යි මෙසේ කියන්නේ නම් ඒ හෙරණ මහණුන් විසින් “ඇවැත් හෙරණ, මෙසේ නහමක් කියව, භාග්‍යවතුන්හට නහමක් නුගුණ කියව, භාග්‍යවතුන්හට නුගුණකීම නො මැනැවි, භාග්‍යවත් තෙමේ මෙසේ නො මැ වදාරන්නෙ යැ, ඇවැත් හෙරණ, නොයෙක් කරුණෙන් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. ඒ ධර්‍මයන් සෙවුනාහට අනතුරු පිණිස සමර්‍ත්‍ථ වෙත් මැ යි, මෙසේ කියයුත්තෙක් වන්නේ යැ. මෙසේ ද වනාහි ඒ හෙරණ මහණුන් විසින් කියනු ලබන්නේ එසේ මැ දැඩි වැ ගන්නේ නම් ඒ හෙරණ මේ මහණුන් විසින් “ඇවැත, හෙරණ, අද පටන් කොට ඒ භාග්‍යවත් තෙමේ තාගේ ශාස්තෘ යැ යි නො මැ කිය යුත්තේ යැ, අන් හෙරණෝ මහණුන් සමඟ යම් දෙතුන් රැයකුදු එක් වැ ශයනය ලබත් නම් ඒ එක් වැ ශයනය ද තොපට නැති. මමතා නැත්තව, බැහැරැ යා, නො දැක්මට යව යි මෙසේ කියයුත්තෙක් වන්නේ යැ. යම් මහණෙක් දැනැ දැනැ එසේ නසන ලද හෙරණක්හු නළවන්නේ නම් හෝ උවටැන් කරවා ගන්නේ නම් හෝ සම්භෝග කරන්නේ නම් හෝ එක් වැ ශයනය කරන්නේ නම් හෝ පචිති වේ” යයි.
6. සමණුද්දෙස නම්: හෙරණැ යි කියනු ලැබේ.
එවං වදෙය්‍ය: භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ යි. සො සමණුද්දෙසො: යමෙක් මෙසේ කියන සුලු නම් ඒ හෙරණ තෙමේ;
භික්ඛූහි: අන් මහණුන් විසින් යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් “ඇවැත් හෙරණ, මෙසේ නහමක් කියව, භාග්‍යවතුන්හට නහමක් නුගුණ කියව, භාග්‍යවතුන්හට නුගුණ කීම නො මැනැවි. භාග්‍යවත් තෙමේ මෙසේ නො මැ වදාරන්නේ යැ, ඇවැත් හෙරණ, නොයෙක් කරුණෙන්, භාග්‍යවතුන් විසින් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි වදාරන ලද. ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ වෙත් මැ යි කියයුත්තේ යැ. දෙවනවට දු කියයුත්තේ යැ, තෙවනවට දු කිය යුත්තේ යි ... ඉදින් හැරැපියා නම් මෙසේ තෙල හැරැපීම මැනැවි. ඉදින් නො හැරැපියා නම් ඒ හෙරණ මහණුන් විසින් “ඇවැත් හෙරණ, අද පටන් කොට ඒ භාග්‍යවත් තෙමේ තොපගේ ශාස්තෘ යැ යි නො මැ කිය යුත්තේ ය. අන් හෙරණහු මහණුන් සමඟ යම් දෙතුන් රැයකුදු එක් වැ ශයනය ලබත් නම් ඒ එක් වැ ශයනය ද තොපට නැති, මමතා නැත්තව, බැහැරැ යා, නො දැක්මට යව යි.
යො පන: යම්බඳු ... භික්ඛු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂූ යි.
ජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත් හෙතෙමේ හෝ ඇරොජයි.
තාථානාසිතං: එසේ නසන ලද;
සමණුද්දෙස නම්: හෙරණැ යි කියනු ලැබේ.
උපලාපෙය්‍ය වා; ඔහට පාත්‍රයක් හෝ සිවුරක් හෝ උදෙසීමක් හෝ පිළිවිසීමක් හෝ දෙන්නෙමැ යි නළවා නම් පචිති ඇවැත් වේ.
උපට්ඨාපෙය්‍ය වා; ඔහුගේ සුණු හෝ මැටි හෝ දැහැටු හෝ මුව දෝනාදිය හෝ ඉවසා නම් පචිති ඇවැත් වේ.
සම්භූඤ්ජෙය්‍ය වා: සම්භෝග නම්; සම්භෝගයෝ දෙදෙනෙකි. ආමිස සම්භෝගය ද ධම්ම සම්භෝගය දැ යි. ආමිසසම්භෝග නම්: ආමිසයක් දේ නම් හෝ පිළිගනී නම් හෝ පචිති ඇවැත් වේ. ධම්ම සම්භෝග නම් උදෙසා නම් හෝ උදෙසවා නම් හෝ පදයෙන් උදෙසා නම් හෝ උදෙසවා නම් හෝ පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වෙයි. අක්‍ෂරයෙන් උදෙසා නම් හෝ උදෙසවා නම් හෝ අකුරෙහි අකුරෙහි පචිති ඇවැත් වේ.
සහ වා සෙය්‍යං කප්පෙය්‍ය: එක් සෙවින්නෙහි නැසූ හෙරණක්හු හොත් කල්හි මහණ හො වී නම් පචිති ඇවැත් වෙයි. මහණහු හොත් කල්හි නැසූ හෙරණ හො වී නම් පචිති ඇවැත් වෙයි. දෙදෙන මැ හෝ හොවිත් නම් පචිති ඇවැත් වෙයි. නැඟිට පුන පුනා හොවිත් නම් පචිති ඇවැත් වේ.
නැසුවහු කෙරෙහි නැසුණු සන් ඇතියේ නළවා නම් හෝ උවටැන් කරවා ගනී නම් හෝ සම්භෝග කෙරේ නම් හෝ එක් වැ ශයනය කෙරේ නම් හෝ පචිති ඇවැත් වෙයි. නැසුවහු කෙරෙහි විමති ඇතියේ නළවා නම් හෝ උවටැන් කරවා ගනී නම් හෝ සම්භෝග කෙරේ නම් හෝ එක් වැ ශයනය කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වේ. නැසුවහු කෙරෙහි නො නැසුණු සන් ඇතියේ නළවා නම් හෝ උවටැන් කරවා ගනී නම් හෝ සම්භෝග කෙරේ නම් හෝ එක් වැ ශයනය කෙරේ නම් හෝ ඇවැත් නැති.
නො නැසුවහු කෙරෙහි නැසුණු සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො නැසුවහු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො නැසුවහු කෙරෙහි නො නැසුණු සන් ඇතියේ නම් ඇවැත් නැති.
නො නැසුවෙකැ යි දනී නම්, ඒ දෘෂ්ටිය හැරැපුවෙකැ යි දනී නම්, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
දසවැනි කණ්ටක ශික්‍ෂාපද යි.
සප්තම සප්පාණක වර්‍ග යි.
එහි උදානය:
සඤ්චිච්චපාණ යැ සප්පාණක යැ උක්කෝටන යැ දුට්ඨුල්ල යැ ඌනවීසතිවස්ස යැ ථෙය්‍යසත්‍ථ යැ සංවිධාන යැ අරිට්ඨ යැ උක්ඛිත්තසම්භෝග යැ කණ්ටක ය දැ යි මේ සිකපදයෝ දස දෙනෙකි.
සහධම්මික වර්‍ගය
6. 8. 1.
සහධම්මික ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු කොසඹෑ නුවරැ ඝෝෂිතාරාමයෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් ඡන්නයෝ අනාචාරයෙහි හැසිරෙති. භික්‍ෂූහු මෙසේ කීහු. “ඇවැත්නි, ඡන්නයෙනි, මෙබන්දක් නහමක් කරව, මෙය නො කැප”යැ යි. හේ මෙසේ කියයි. “ඇවැත්නි, මම යම්තාක් ව්‍යක්ත වූ විනයධර වූ අන් මහණක්හු පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමි”යි.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආයුෂ්මත් ඡන්නයෝ භික්‍ෂූන් විසින් පැනවූ සිකපදයෙන් කියනු ලබන්නෝ මෙසේ කීහු ද “ඇවැත්නි, මම යම් තාක් ව්‍යක්ත විනයධර අන් මහණක්හු පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමැ”යි ... සැබෑ ද ඡන්නයෙනි, තෙපි භික්‍ෂූන් විසින් පැනවූ සිකපදයෙන් කියනු ලබන්නහු මෙසේ කියා ද, “ඇවැත්නි, මම යම් තාක් ව්‍යක්ත විනයධර අන් මහණක්හු පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි භික්‍ෂූන් විසින් පැනවූ සිකපදයෙන් කියනු ලබන්නහු මෙසේ කීහු ද? “ඇවැත්නි මම යම් තාක් ව්‍යක්ත විනයධර අන් මහණක්හු පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමැ”යි. හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් භික්‍ෂූන් විසින් පැනවූ සිකපදයෙන් කියනු ලබන්නේ ඇවැත්නි, මම යම් තාක් ව්‍යක්ත විනයධර අන්‍ය මහණක්හු පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමැ”යි මෙසේ කියන්නේ නම් පචිති වේ. මහණෙනි, හික්මෙන මහණහු විසින් දතයුතු යැ පිළිවිසිය යුතු යැ සිතිය යුතු යි. මේ එහි අනුධර්‍මතා යි.”
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
භික්ඛූහි; අන්‍ය භික්‍ෂූන් විසින්;
සහධම්මික නම්: භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද යම් සිකපදයෙක් වේ නම් මෙය සහධම්මික නම් වේ. එයින් කියනු ලබන්නේ;
එවං වදෙය්‍ය: ඇවැත්නි, මම යම් තාක් ව්‍යක්ත වූ විනයධර වූ අන්‍ය භික්‍ෂුනමක් පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙ මැ යි. පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණැති වූ බහුශ්‍රුත වූ ධර්‍මකථිකයක්හු පිළිවිසිමැ යි බෙණේ නම් පචිති ඇවැත් වේ.
උපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ මෙසේ කියා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ මෙසේ කියා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ මෙසේ කියා නම් පචිති ඇවැත් වේ.
(ප්‍රඥප්ත ශික්‍ෂාපද තබා) සූත්‍රාභිධර්‍මයෙන් කියනු ලබන්නේ මෙය සලේ පැවැත්මට කෙලෙස් කැපීමට පැහැදුම් එළවීමට නිවනට වැරඇරැඹුමට නො පවතී යැ යි මෙසේ කියයි. ඇවැත්නි, මම යම් තාක් ව්‍යක්ත වූ විනයධර වූ පණ්ඩිත වූ නුවණැති වූ බහුශ්‍රුත ධර්‍මකථික අන්‍ය භික්‍ෂුනමක් පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙ මැ යි බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
අනුපසපනක්හු විසින් පනවන ලද සිකපදයෙන් හෝ සූත්‍රාභිධර්‍මයෙන් හෝ කියනු ලබන්නේ මෙය සලේ පැවැත්මට කෙලෙස් කැපීමට පැහැදුම් එළවීමට නිවනට වැර ඇරැඹුමට නො පවතී යැ යි මෙසේ කියයි. “ඇවැත්නි, මම යම් තාක් ව්‍යක්ත වූ විනයධර වූ පණ්ඩිත වූ නුවණැති බහුශ්‍රුත ධර්‍මකථික අන්‍ය භික්‍ෂුනමක් පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමැ”යි බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
අනුපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
සික්ඛමානෙන යනු: හික්මෙනු කැමැත්තහු විසින්;
අඤ්ඤාතබ්බං: දතයුතු යැ;
පරිපුච්ඡිතබ්බං යනු වහන්ස මෙය කෙසේ ද? මෙහි අර්‍ත්‍ථය කුමක් දැ යි.
පරිපඤ්හිතබ්බං යනු සිතිය යුතු යැ, තුලනය කළ යුතු යි,
අයං තත්‍ථ සාමීචි යනු මේ එහි අනුධර්‍මතා යි.
දන්නෙමි හික්මෙන්නෙමැ යි බෙණේ නම් ඇවැත් නැත. උම්මත්තක හට, ආදිකම්මිකහට ඇවැත් නැති.
පළමුවැනි සහධම්මික ශික්‍ෂාපද යි.
6. 8. 2.
විලේඛන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භාග්‍යවත්හු නොයෙක් අයුරින් විනයකථා කෙරෙති, විනයෙහි ගුණ පවසති, විනය වනපොත් කිරීමෙහි අනුසස් පවසති, පුනපුනා ආයුෂ්මත් උපාලි තෙරුන්ගේ ගුණ පවසත්. භික්‍ෂූහු “භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් විනයකථාව කරන සේක, විනයෙහි ගුණ පවසන සේක, විනය වනපොත් කිරීමෙහි අනුසස් දෙසන සේක, පුනපුනා ආයුෂ්මත් උපාලි තෙරුන්ගේ ගුණ පවසන සේක, එබැවින් ඇවැත්නි, ඇපි ආයුෂ්මත් උපාලි තෙරුන්ගේ සමීපයෙහි විනය පිරිවහම්හ’ යි කීහු. ස්ථවිර නවක මධ්‍යම ඒ බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් උපාලි තෙරුන් සමීපයෙහි විනය පිරිවහති.
2. එකල්හි සවග මහණුන්හට තෙල සිත විය: මෙකල්හි ඇවැත්නි, ස්ථවිර නවක මධ්‍යම බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් උපාලි තෙරුන් සමීපයෙහි විනය පිරිවහති. ඉදින් මොහු විනයෙහි දැනුමැතියෝ වන්නාහු නම් අප රිසිතෙනකට රිසිසේ රිසිතාක් අදනාහ, ඔබ මොබ අදනාහ. එබැවින් ඇවැත්නි, ඇපි විනය ගරහම්හ යි. එකල්හි සවග මහණහු මහණුන් වෙතැ එළැඹැ මෙසේ කියත්: “මේ කුඩා ඉතා කුඩා සිකපද උදෙසීමෙන් කවර වැඩෙක් ද? හුදෙක් කුකුස් පිණිස වෙහෙස පිණිස සැක පිණිස වැටෙති යි.
3. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු විනය ගරහත් දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි විනය ගරහවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ” ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි විනය ගරහවු ද? හිස් පුරුෂයෙනි, තෙල අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“පාමොක් උදෙසනු ලබන කල්හි යම් මහණෙක් “මේ කුඩා අනුකුඩා සිකපද උදෙසීමෙන් කවර වැඩෙක් ද හුදෙක් කුකුස් පිණිස වෙහෙස පිණිස සැක පිණිස වැටෙති” යි මෙසේ කියන්නේ නම් සිකපද ගැරහීමෙහි පචිති වේ” යි.
4. යො පන යනු: යම්බඳු ... භික්ඛු යනු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
පාතිමොක්ඛේ උද්දිස්සමානෙ යනු උදෙසන කල්හි හෝ උදෙසවන කල්හි හෝ හැදෑරීම කරන කල්හි හෝ,
එවං වදෙය්‍ය යනු උදෙසන ලද මේ කුඩා අනුකුඩා සිකපදවලින් කවර වැඩෙක් ද? හුදෙක් කුකුස් පිණිස වෙහෙස පිණිස සැක පිණිස වැටෙති. යම් කෙනෙක් මෙය පිරිවහත් නම් ඔවුනට කුකුස් වෙයි. වෙහෙස වෙයි. සැක වෙයි. යම් කෙනෙක් මෙය නො පිරිවහත් නම් ඔවුනට කුකුස් නො වෙයි. වෙහෙස නො වෙයි. සැක නො වෙයි. මෙය නො උදෙසන ලද නම් මැනැවැ. මෙය නො ඉගෙන ගනු ලද නම් මැනැවැ, මෙය නො පිරිවහන ලද නම් මැනැවැ, මෙය නො දරන ලද නම් මැනැවි. විනය හෝ අතුරුදන් වේවා. මේ භික්‍ෂූහු හෝ නො දනුමැතියෝ වෙත්ව යි උපසපනක්හට විනය ගරහා නම් පචිති ඇවැත් වේ.
5. උපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ විනය ගරහා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ විනය ගරහා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ විනය ගරහා නම් පචිති ඇවැත් වේ.
6. අන් දහමක් ගරහා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හට විනය හෝ අන් දහමක් හෝ ගරහා නම් දුකුළා ඇවැත් වේ.
7. අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.