Pācittiya

Expiation Rules

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 4249 segments

පෙන්වන කොටස් 1301-1400 න් 4249

භික්ඛුස්ස; අන් මහණක්හුගේ;
පත්ත නම්: යපයැ මැටිපයැ යි දෙපයෙකි.
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකපුන් පොහෝනා පැසුළු සිවුරක්;
නිසීදන නම්: දාවලු සහිත නිසීදන යැ යි කියනු ලැබේ.
සූචිඝර නම්: හිදි සහිත වූ හෝ හිදි රහිත වූ හෝ,
කායබන්‍ධන නම්: පට්ටිකා යැ සූකරන්තක යැ යි දෙ කාබානෙකි.
අපනිධෙය්‍ය: තෙමේ සඟවා නම් පචිති ඇවැත් වෙයි.
අපනිධාපෙය්‍ය: අනෙකක්හු අණවා නම් පචිති ඇවැත් වෙයි. වරක් අණවන ලදුයේ බොහෝ වරකුදු සඟවා නම් පචිති ඇවැත් වේ.
අන්තමසෝ හස්සාපේඛො යනු කෙළිරිසි ඇතියේ.
උපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ යටත් පිරිසෙයින් කෙළිරිසි ඇතියේ නමුදු පාත්‍රයක් හෝ සිවුරක් හෝ නිසීදනයක් හෝ හිදිගුළාවක් හෝ කාබානක් හෝ සඟවා නම් හෝ සඟවවා නම් හෝ පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ ... උපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ යටත් පිරිසෙයින් කෙළිරිසි ඇතියේ නමුදු පාත්‍රයක් හෝ සිවුරක් හෝ නිසීදනයක් හෝ හිඳිගුළාවක් හෝ කාබානක් හෝ සඟවා නම් හෝ සඟවවා නම් හෝ පචිති ඇවැත් වේ.
යටත් පිරිසෙයින් කෙළිරිසි ඇතියේ නමුදු අන් පිරිකරක් සඟවා නම් හෝ සඟවවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. යටත් පිරිසෙයින් කෙළිරිසි ඇතියේ නමුදු අනුපසපනක්හුගේ පයක් හෝ සිවුරක් හෝ අන් පිරිකරක් හෝ සඟවා නම් හෝ සඟවවා නම් හෝ දුකුළා ඇවැත් වේ.
අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
කෙළිඅදහස් නැතියේ නම්, නො මනාසේ තබන ලද්දක් තැන්පත් කෙරේ නම්, දැහැමි කථා කොට දෙන්නෙමැ යි තැන්පත් කෙරේ නම් ඇවැත් නො වේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
දසවැනි චීවරාපනිධාන ශික්‍ෂාපද යි.
සවැනි සුරාපාන වර්‍ග යි.
එහි උද්දානය:
සුරාපාන යැ අඞ්ගුලිපතෝදක යැ, භාස්සධම්ම යැ, අනාදරිය යැ, භිංසාපනක යැ, ජෝති යැ, නහාන යැ, දුබ්බණ්ණකරණ යැ, චීවරාපනිධාන සිකපදය සමග විකප්පනය ද වෙයි.
සප්පාණක වර්‍ගය
සඤ්චිච්චපාණ ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උදායී දුනුවායෙක් වෙයි. කපුටුවෝ ඔහුට අමනාප වෙති. හේ කපුටුවන් විද විද හිස සිඳ හුලෙහි පිළිවෙළින් තැබී යැ. භික්‍ෂූහු මෙසේ කීහු: ඇවැත්නි කවරක්හු විසින් මේ කපුටුවෝ දිවියෙන් තොර කරන ලද්දාහු දැ යි. ඇවැත්නි, මා විසින් මට කපුටුවෝ අමනාපයෝ යි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් උදායී තෙරණුවෝ දැනැ දැනැ සතක්හු දිවියෙන් තොර කළෝ”දැ යි. ... සැබෑ ද උදායී, තෙපි දැනැදැනැ සතක්හු දිවියෙන් තොර කළහු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි දැනැදැනැ සතක්හු දිවියෙන් තොර කළහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් දැනදැන සතක්හු දිවියෙන් තොර කරන්නේ නම් පචිති වේ” යි.
2. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
සඤ්චිච්ච: දන්නේ මැනැවින් දන්නේ සිතා මෙහෙයා විකුම් කිරීම යි.
පාණ නම්: තිරිසන් ගිය සතෙකැ යි කියනු ලැබෙයි.
ජීවිතා චෝරොපෙය්‍ය: ජීවිතේන්‍ද්‍රිය සිඳලා නම් වළහා නම් සන්තතිය විකෝපනය කෙරේ නම් පචිති ඇවැත් වේ.
3. සතක්හු කෙරෙහි සතෙකැ යි සන් ඇතියේ දිවියෙන් තොර කෙරේ නම් පචිති ඇවැත් වෙයි. සතක්හු කෙරෙහි විමති ඇතියේ දිවියෙන් තොර කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. සතක්හු කෙරෙහි සතෙකැ යි සන් නැතියේ දිවියෙන් තොර කෙරේ නම් ඇවැත් නැති.
4. නො සතක්හු කෙරෙහි සතෙකැයි සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො සතක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො සතක්හු කෙරෙහි නො සතෙකැ යි සන් ඇතියේ නම් ඇවැත් නැති.
5. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට මරණ අදහස් නැතියහුට, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
පළමුවැනි සඤ්චිච්චපාණ ශික්‍ෂාපද යි.
සප්පාණක ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි සවග මහණහු දැනැදැනැ පණුවන් සහිත ජලය පරිභෝග කෙරෙති යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු දැනැදැනැ පණුවන් සහිත ජලය පරිභෝග කළාහු දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි දැනැදැනැ පණුවන් සහිත ජලය පරිභෝග කරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු නොයෙක් අයුරින් ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දැනැදැනැ පණුවන් සහිත ජලය පරිභෝග කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් දැනැදැනැ පණුවන් සහිත ජලය පරිභෝග කරන්නේ නම් පචිති වේ” යි.
2. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. ජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත්. පණුවන් සහිත යැ යි දන්නේ පරිභෝගයෙන් මැරෙති යි දන්නේ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වේ.
පණුවන් සහිතයෙහි පණුවන් සහිතය යන සන් ඇතියේ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වෙයි. පණුවන් සහිතයෙහි විමති ඇතියේ පරිභෝග කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. පණුවන් සහිතයෙහි පණුවන් රහිතය යන සන් ඇතියේ පරිභෝග කෙරේ නම් ඇවැත් නැති.
පණුවන් රහිතයෙහි පණුවන් සහිතය යන සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පණුවන් රහිතයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පණුවන් රහිතයෙහි පණුවන් රහිතය යන සන් ඇතියේ නම් ඇවැත් නැති.
පණුවන් රහිත යැ යි දන්නේ නම්, පරිභෝගයෙන් නො මැරෙති යි දන්නේ නම්, ඇවැත් නො වේ. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
දෙවෙනි සප්පාණක ශික්‍ෂාපද යි.
උක්කෝටන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු ධර්‍ම වූ පරිද්දෙන් සන්සිඳුවන ලද අධිකරණය දැනැදැනැ යළි කරනු පිණිස මතු කරලති. “කර්‍මය නො කරන ලදැ යැ, කර්‍මය නපුරු කොට කරන ලද යැ, කර්‍මය යළි කළයුතු යැ, නො සන් හිඳුවන ලද යැ, නපුරු කොට සන්හිඳුවන ලද යැ, යළි සන්හිඳවිය යුතු” යැ යි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු ධර්‍ම වූ පරිද්දෙන් සන්හිඳුවන ලද අධිකරණය දැනැදැනැ යළි කරනු පිණිස මතු කොළෝ” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි ධර්‍ම වූ පරිද්දෙන් සන්සිඳුවන ලද අධිකරණය දැනැ දැනැ යළි කරනු පිණිස මතු කරහු දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු නොයෙක් අයුරින් ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි ධර්‍ම වූ පරිද්දෙන් සන්සිඳුවන ලද අධිකරණය දැනැදැනැ යළි කරනු පිණිස මතු කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් ධර්‍ම වූ පරිද්දෙන් සන්සිඳුවන ලද අධිකරණයක් දැනැ දැනැ යළි කරනු පිණිස මතු කරලන්නේ නම් පචිති වේ” යි.
2. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
ජානාති නම්: තෙමේ හෝ දනී, අන්හු හෝ ඔහුට ඇරොජත් හෙතෙමේ හෝ ඇරොජයි.
යථාධම්ම නම්: ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් කරන ලද්ද යැ. මේ යැ යථාධම්ම නම්;
අධිකරණ නම්: විවාදාධිකරණ යැ අනුවාදාධිකරණ යැ ආපත්තාධිකරණයැ කිච්චාධිකරණ යැ යි අධිකරණ සතරෙකි.
පුනකම්මාය උක්කොටෙය්‍ය: කර්‍මය නො කරන ලද යැ කර්‍මය නපුරු කොට කරන ලද යැ කර්‍මය යළි කළ යුතු යැ නො සන්හිඳු වන ලද යැ නපුරු කොට සන්හිඳුවන ලද යැ යළි සන්හිඳවිය යුතු යැ යි දනිමින් මතුකරා නම් පචිති ඇවැත් වේ.
දැහැමිකම්හි දැහැමිකමෙක යන සන් ඇතියේ මතු කරලා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇතියේ මතු කරලා නම් දුකුළා ඇවැත් වෙයි. දැහැමිකම්හි නො දැහැමිකමෙක යන සන් ඇතියේ මතු කරලා නම් ඇවැත් නැති.
නො දැහැමිකම්හි දැහැමිකමෙක යන සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකමෙක යන සන් ඇතියේ නම් ඇවැත් නැති.
අධර්‍මයෙන් හෝ ව්‍යග්‍රයෙන් හෝ කර්‍මාර්‍හ නොවනුවක්හට හෝ කර්‍ම කරන ලදැ යි දන්නේ මතුකරලා නම් ඇවැත් නො වේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
තුන්වැනි උක්කෝටනශික්‍ෂාපද යි.
දුට්ඨුල්ල ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙත්. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර දැනැ දැනැ සුක්විසැටි ඇවැතකට පැමිණ බෑයාගේ සද්ධිවිහාරික භික්‍ෂුහට ඇරොජී යැ: ඇවැත්නි මම දැනැ දැනැ සුක්විසැටි ඇවැතකට පැමිණියෙමි, කිසිවක්හට නහමක් ඇරොජ යි. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් දැනැ දැනැ සුක්විසැටි ඇවැතකට පැමිණ සඞ්ඝයාගෙන් ඒ ඇවැතට පිරිවෙස් යැදී යැ. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැතට පිරිවෙස් දුන්නේ යැ. හේ පිරිවසනුයේ එමහණහු දැකැ මෙය කී යැ: “ඇවැත්නි, මම දැනැ දැනැ සුක්විසැටි ඇවැතකට පැමිණ සඞ්ඝයාගෙන් ඒ ඇවැතට පිරිවෙස් යැදීමි. සඞ්ඝ තෙමේ ඒ මාහට ඒ ඇවැතට පිරිවෙස් දුන්නේ යැ. හේ මම පිරිවසමි. ඇවැත්නි, මම දනිමි. මා දනී යැ යි ආයුෂ්මත් තෙමේ දරාව යි.
2. කිමෙක් ද? ඇවැත්නි, අන් යමෙකුත් මේ ඇවැතට පැමිණේ නම් හෙතෙමේත් මෙසේ කෙරේ දැ යි. ඇවැත්නි, එසේ යැ. ඇවැත්නි, මේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර දැනැ දැනැ සුක්විසැටි ඇවැතකට පැමිණ හේ කිසිවක්හට නහමක් ඇරොජ යි මට දැන්වී යැ. කිමෙක් ද? ඇවැත්නි, තෙපි පිළිසන් කරවූ දැ යි. ඇවැත්නි, එසේ යැ. එකල්හි ඒ මහණ මහණුන්හට තෙල කරුණ දැන්වී යැ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරවත්:
“කෙසේ නම් මහණෙක් මහණක්හුගේ දුළුල් ඇවැතක් දැනදැන පිළිසන් කෙළේ” දැ යි ... සැබෑ ද මහණ, තෙපි මහණක්හුගේ දුළුල් ඇවැතක් දැනැ දැනැ පිළිසන් කරවු දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහු ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි මහණක්හුගේ දුළුල් ඇවැතක් දැනැ දැනැ පිළිසන් කළහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් මහණක්හුගේ දුළුල් ඇවැතක් දැනැ දැනැ පිළිසන් කරන්නේ නම් පචිති වේ” ය යි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. භික්ඛුස්ස: අන් මහණක්හුගේ, ජානාති නම්: තෙමේ හෝ දනී, අන්හු හෝ ඔහුට ඇරොජත්. හෙතෙමේ හෝ ඇරොජයි. දුට්ඨුල්ල නම්: සතර පරිජි හා තෙළෙස් සඟ වෙසෙස් හා ඇවැති. පටිච්ඡාදෙය්‍ය; මෙ කරුණ දැන සොයන්නාහ සිහිකරවන්නාහ හෙළා දක්නාහ, ගරහන්නාහ, මකුකරන්නාහ, නො ඇරොජන්නෙමැ යි ධුරය බහා තැබූ කෙණෙහි පචිති ඇවැත් වේ.
දුළුල් ඇවැතෙහි දුළුල් ඇවැත් සන් ඇතියේ පිළිසන් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. දුළුල් ඇවැතෙහි විමති ඇතියේ පිළිසන් කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. දුළුල් ඇවැතෙහි නො දුළුල් ඇවැත්සන් ඇතියේ පිළිසන් කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
නො දුළුල් ඇවැතක් පිළිසන් කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හුගේ දුළුල් වූ හෝ නො දුළුල් වූ හෝ අධ්‍යාචාරයක් පිළිසන් කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
නො දුළුල් ඇවැතෙහි දුළුල් ඇවැත්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දුළුල් ඇවැතෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දුළුල් ඇවැතෙහි නො දුළුල් ඇවැත්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
සඞ්ඝයාගේ භණ්ඩනයෙක් හෝ කලහයෙක් හෝ විග්‍රහයෙක් හෝ විවාදයෙක් හෝ වන්නේ යැ යි නො ඇරොජා නම්, සඞ්ඝභේදය හෝ සඞ්ඝරාජිය හෝ වන්නේ යැ යි නො ඇරොජා නම්, මෙතෙමේ කර්‍කශ යැ පරුෂ යැ දිවියට අනතුරු හෝ බඹසරට අනතුරු හෝ කරන්නේ යැ යි නො ඇරොජා නම් අන් සුදුසු මහණුන් නො දක්නේ නො ඇරොජා නම්, නො වසනු කැමැත්තේ නො ඇරොජා නම්, සිය කැමින් පැනෙන්නේ යැයි නො ඇරොජා නම් ඇවැත් නො වේ. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සතරවැනි දුට්ඨුල්ල ශික්‍ෂාපදයි.
ඌනවීසතිවස්ස ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්‍දක නිවාප නම් වේළුවනයෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි රජගහ නුවරැ සතළොස්වග දරුවෝ යහළුවෝ වෙති. උපාලි දරු ඔවුන්ගේ ප්‍රමුඛයා වෙයි. එකල්හි උපාලිහුගේ මාපියනට මෙ සිත විය: “කි නම් උපායෙකින් උපාලි තෙමේ අපගේ ඇවෑමෙන් සැපසේ දිවි වටන්නේත් නො මිරිකෙන්නේත් වේ දැ යි. එකල්හි උපාලිහුගේ මාපියනට මෙ සිත විය: ඉදින් උපාලි තෙමේ ලෙඛනයෙහි හික්මෙන්නේ නම් මෙසේ උපාලි තෙමේ අපගේ ඇවෑමෙන් සැපසේ දිවි වටන්නේත් නො මිරිකෙන්නේත් වෙයි. එකල්හි උපාලිහුගේ මාපියනට මේ සිත විය: ඉදින් උපාලි තෙමේ ලෙඛනයෙහි හික්මෙන්නේ නම් ඇඟිලි රිදෙයි. ඉදින් උපාලි තෙමේ ගණිතයෙහි හික්මෙන්නේ නම් මෙසේ උපාලි තෙමේ අපගේ ඇවෑමෙන් සැපසේ දිවි වටන්නේත් නො මිරිකෙන්නේත් වෙයි. ඉක්බිති උපාලිහුගේ මාපියනට මෙ සිත විය: ඉදින් උපාලි තෙමේ ගණිතයෙහි හික්මෙන්නේ නම් ළයට දුක් වන්නේයැ. ඉදින් උපාලි තෙමේ රූපසූත්‍රයෙහි හික්මෙන්නේ නම් මෙසේ උපාලි තෙමේ අපගේ ඇවෑමෙන් සැපසේ දිවි වටන්නේත් නො මිරිකෙන්නේත් වෙයි. එකල්හි උපාලිහුගේ මාපියනට මෙසිත විය: ඉදින් උපාලි තෙමේ රූපසූත්‍රයෙහි හික්මෙන්නේ නම් ඇස් රිදෙයි.
2. මේ ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ වනාහි සුවසැහැවි ඇතියෝ සැප පැවතුම් ඇතියෝ මනා බොජුන් වළඳා සිසිල් යහන්හි සැතැපෙත්. ඉදින් උපාලි තෙම ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් කෙරෙහි පැවිදි වන්නේ නම් මෙසේ උපාලි තෙමේ අපගේ ඇවෑමෙන් සැපසේ දිවි වටන්නේත් නො මිරිකෙන්නේත් වෙයි. උපාලි දරු තෙමේ මාපියන්ගේ මේ කතාබහ ඇසුයේ යි. ඉක්බිති උපාලි දරු තෙමේ ඒ (යහළු) දරුවන් වෙතැ එළඹියේ යැ. එළැඹැ ඒ දරුවනට මෙය කී යැ: “එව සගයෙනි ඇපි ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන් කෙරෙහි පැවිදි වම්හ” යි. ඉදින් සගය තෙපි පැවිදි වන්නහු නම් මෙසේ ඇපිදු පැවිදි වම්හ යි.
3. ඉක්බිති ඒ දරුවෝ එකිනෙකාගේ මාපියන් වෙතැ එළැඹැ මෙය කීහු: “ගිහිගෙයින් නික්මැ සස්නෙහි පැවිදිවීමට මට අනුදනුව” යි එකල්හි ඒ දරුවන්ගේ මාපියෝ මේ හැම දරුවෝ මැ සමසඳැතියෝ කලණ අදහස්ඇතියෝ යැ යි අනුදත්හ. ඔහු මහණුන් වෙතැ එළැඹැ පැවිද්ද යැදූහ. භික්‍ෂූහු ඔවුන් පැවිදි කළහ, උපසපන් කළහ. ඔහු රෑ පසොස්සල්හි (අලුයම) නැගිට හඬත්: “හඹු දෙව, බත් දෙව, කෑයුතුදැය දෙව” යි. භික්‍ෂූහු මෙසේ කීහු: ඇවැත්නි, පහන් වන තෙක් පොරොත්තු වවු, ඉදින් හඹුවන්නේ නම් පානය කරන්නහු යැ, ඉදින් බත් වන්නේ නම් වළඳන්නහු යැ, ඉදින් කෑයුතුදැය වන්නේ නම් කන්නහු යැ. ඉදින් හඹු හෝ බත් හෝ කෑයුතුදැය නො වන්නේ නම් පිඬු පිණිස හැසිරැ වළඳන්නහු යැ යි. මෙසේ මහණුන් විසින් කියනු ලබන්නා වූ ඒ භික්‍ෂූහු “හඹු දෙව, බත් දෙව, කෑයුතුදැය දෙව” යි හඬත් මැ යි. සෙනසුනැ මල පැහැරීම ද කෙරෙති. සුලුදිය පහකිරීම ද කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේ රෑ පසොස්සල්හි නැඟිට දරුහඬ අසා ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමැතූසේකැ කිමෙක් ද ආනන්‍ද, ඒ දරුහඬැ යි. එකල්හි ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ භාග්‍යවතුන් හට තෙල කරුණ දැන්වී යැ.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙඅවසරයෙහි ලා බික්සඟන රැස් කරවා මහණුන් පුළුවුත් සේකැ: සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු දැනැ දැනැ උනුවිසිවස් ඇති පුඟුලක්හු උපසපන් කරවද්දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් මහණෙනි, ඒ හිස් පුරුෂයෝ දැනැදැනැ උනුවිසිවස් ඇති පුඟුලක්හු උපසපන් කොළෝ දැ යි. මහණෙනි, උනුවිසිවස් ඇති පුඟුල් තෙමේ සිහිලස උණුසුම සාගිනි පවස නො ඉවසන්නෙක් වෙයි. ඩැහැමැසි මදුරු වා හිරුරැස් දිග්දෑ පහස ද දුබැසි දුවදනා වදන්මග ද සිරිරි පිළිබැඳි උපන් නො සිහිය හැකි බහල තියුණු රළු නො මිහිරි නො මනවඩන දිවි හරන වෙයිනුදු නො ඉවසන සැහැවි ඇති වෙයි මහණෙනි, විසිවස් ඇති පුඟුල් තෙමේ වනාහි සිහිලස උණුසුම ... ඉවසන්නෙක් වෙයි. දිවිහරන වෙයිනුදු ඉවසන සැහැවි වෙයි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මහණෙනි මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් දැනැ දැනැ උනු විසිවස් පුඟුලක්හු උපසපන් කරවා නම් ඒ පුද්ගල ද අනුපසපන් වූයේ වෙයි. ඒ භික්‍ෂූහු ද ගැරහිය යුත්තෝ යැ, ඒ උපාධ්‍යායයා කෙරෙහි මේ පචිති ඇවැත් වේ” යි.
5. යො පන: යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. ජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත්. හෙතෙමේ හෝ ඇරොජයි. ඌනවීසතිවස්ස නම්: නො පත් විසිවස් ඇතියේ යි.
උපසපන් කරවන්නෙමියි ගණයා හෝ ඇජරක්හු හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙහි දුකුළායෙක් වෙයි. දෙකම් වදනින් දෙ දුකුළායෙක් වෙයි. කම්වදන් අවසන්හි වත්හිමිහට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරහටද දුකුළා ඇවැත් වේ.
උනුවිසිවස් ඇතියහු කෙරෙහි උනුවිසිවසැයි සන් ඇතියේ උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. උනුවිසිවස් ඇතියහු කෙරෙහි විමති ඇතියේ උපසපන් කරවා නම් දුකුළා ඇවැත් වෙයි. උනු විසිවස් ඇතියහු කෙරෙහි පිරිපුන් විසිවසැයි සන් ඇතියේ උපසපන් කරවා නම් ඇවැත් නැති.
පිරිපුන් විසිවස් ඇතියහු කෙරෙහි උනුවිසිවසැයි සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පිරිපුන් විසිවස් ඇතියහු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පිරිපුන් විසිවස් ඇතියහු කෙරෙහි පිරිපුන් විසිවසැයි සන් ඇතියේ නම් ඇවැත් නැති.
උනු විසිවස් ඇතියක්හු පිරිපුන් විසිවසැයි සන් ඇතියේ උපසපන් කරවා නම්, පිරිපුන් විසිවස් ඇතියක්හු පිරිපුන් විසිවසැයි සන් ඇතියේ උපසපන් කරවා නම් ඇවැත් නො වේ. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
පස් වැනි ඌනවීසතිවස්ස ශික්‍ෂාපද යි.
ථෙය්‍යසත්‍ථ ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි එක්තරා ගැල් සාත්තුවෙක් රජගහ නුවරින් පැසුළුදිගට යනු කැමැත්තේ වෙයි. එක්තරා මහණෙක් ඒ මිනිසුන්හට මෙය කී යැ. “මමද ඇවතුන් සමග යන්නෙමැ” යි. ස්වාමීනි, ඇපි වනාහි සුංවත් වළහා යන්නම්හ, ඇවැත්නි, දනුවයි. අයකැමියෝ වනාහි සාත්තුවෙන් සුංවත් වළහා යන්නේ යැ යි ඇසූහු. ඔවුහු මගෙහි නැඟී සිටියහ. ඉක්බිති ඒ කැමියෝ ඒ සාත්තුව ගෙනැ අසිඳ එමහණහට මෙය කීහු: “කුමකට ස්වාමීනි, නුඹ වහන්දැ දැනැදැනැ සොරසාත්තුවක් සමග යනදෑ දැ යි වද දී මුදාහළහ. ඉක්බිති ඒ මහණ සැවැතට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වී යැ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරවත්:
“කෙසේ නම් මහණෙක් දැනැ දැනැ සොරසාත්තුවක් සමග බැණ ගෙනැ එක් වැ අදන්මගට පිළිපන්නේ” දැ යි ... සැබෑ ද මහණ, තෙපි දැනැ දැනැ සොරසාත්තුවක් සමග බැණගෙනැ එක් වැ අදන්මඟට පිළිපන්හු දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. කෙසේ නම් හිස් පුරුෂය, තෙපි දැනැ දැනැ සොරසාත්තුවක් සමග බැණගෙනැ එක් වැ අදන්මඟට පිළිපන්හු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් දැනැ දැනැ සොරසාත්තුවක් සමඟ බැණගෙනැ එක් වැ අදන්මඟට–යටත් පිරිසෙයින් අන් ගමකටදු පිළිපදනේ නම් පචිති වේ” ය යි.
2. යො පන; යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. ජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත්, හෙතෙමේ හෝ ඇරොජයි. ථෙය්‍යසත්‍ථ නම්: කළසොරකම් ඇත්තා වූ හෝ නො කළ සොරකම් ඇත්තා වූ හෝ සොරු වෙති. සොරකමට රජහු වෙතැ හෝ යෙති. සුංවත් හෝ වළහා යෙත්. සද්ධිං: එක් වැ. සංවිධාය: යමු ඇවැත්නි, යම්හ ස්වාමීනි, යම්හ ස්වාමීනි, යම්හ ඇවැත්නි, අද හෝ හෙට හෝ අනිද්දා හෝ යම්හ යි සංවිධාන කෙරේ නම් දුකුළා ඇවැත් වේ. අන්තමසෝ ගාමන්තරම්පි: කුකුළුගමන් ඇති ගමෙහි නම් ගමතුරෙහි ගමතුරෙහි පචිති ඇවැත් වෙයි. ගමක් නො වන ආරණ්‍යයෙහි නම් අඩයොදුනෙහි අඩයොදුනෙහි පචිති ඇවැත් වේ.
සොරසාත්තුවෙහි සොරසාත්තුසන් ඇතියේ බැණගෙනැ එක් වැ අදන්මඟට යටත්පිරිසෙයින් අන් ගමකටදු පිළිපදනේ නම් පචිති ඇවැත් වෙයි. සොරසාත්තුවෙහි විමති ඇතියේ බැණගෙනැ එක් වැ අදන්මඟට යටත් පිරිසෙයින් අන්ගමකටදු පිළිපදනේ නම් පචිති ඇවැත් වෙයි. සොරසාත්තුවෙහි නො සොරසාත්තුසන් ඇතියේ බැණගෙනැ එක් වැ අදන්මඟට යටත් පිරිසෙයින් අන්ගමකටදු පිළිපදනේ නම් ඇවැත් නැති.
මහණ සංවිධාන කෙරේ නම් මිනිස්සු සංවිධාන නො කෙරෙත් නම් දුකුළා ඇවැත් වෙයි. නො සොරසාත්තුයෙහි සොරසාත්තුයෙක යන සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො සොරසාත්තුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො සොරසාත්තුයෙහි නො සොරසාත්තුයෙක යන සන් ඇතියේ නම් ඇවැත් නැති.
සංවිධාන නො කොට යේ නම්, මිනිස්සු සංවිධාන කෙරෙත් නම් මහණ සංවිධාන නො කෙරේ නම්, කාලවිසඞ්කෙතයෙන් යේ නම් ඇවැත් නො වේ. ආපදාවෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සවැනි ථෙය්‍යසත්‍ථ ශික්‍ෂාපද යි.
සංවිධාන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි සිටැ සැවැතට යන්නේ එක්තරා ගම්දොරක් ඉක්මවයි. එක්තරා ස්ත්‍රියක් තොමෝ සැමියා සමග ඩබර කොට ගමින් නික්මැ එමහණ දැකැ මෙය කිවු යැ. “ස්වාමීනි, ආර්‍ය්‍යයෝ කොහි වඩිත්” දැ යි, බුහුන මම වනාහි සැවැතට යන්නෙමි” යි. “මම ද ආර්‍ය්‍යයන් සමඟ යන්නෙමැ” යි. “එන්නැ බුහුනැ” යි. එකල්හි ඒ ස්ත්‍රියගේ සැමියා ගමින් නික්මැ මිනිසුන් පිළිවිසී යැ. සගයෙනි, මෙබඳු ස්ත්‍රියක දක්නහු දැයි. ආර්‍ය්‍යය, තෙල මාගම පැවිද්දකු සමඟ යේ යැ යි. එකල්හි ඒ පුරුෂ තෙමේ ලුහුබැඳ එමහණ ගෙනැ අකොළා මුදාලී යැ. ඉක්බිති ඒ මහණ එක්තරා රුක්මුලෙකැ (තමාට මැ) අවමන් කරමින් හුන්නේ යැ. එකල්හි ඒ ස්ත්‍රී තොමෝ ඒ පුරුෂයාට මෙය කිවු යැ. “ආර්‍ය්‍ය වූ මේ භික්‍ෂු තෙමේ මා ගෙනැ නො ආයේ යැ, වැළිදු මම මැ ඒ මහණහු සමඟ යමි. ඒ මහණ අකාරක යැ. යා, එ මහණහු කමාකරව යි. එකල්හි ඒ පුරුෂ තෙමේ එමහණහු කමා කැරැවී.
2. ඉක්බිති ඒ මහණ සැවැතට ගොස් තෙල කරුණ මහණුන්හට දැන්වී යැ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් මහණෙක් මාගමක සමඟ බැණ ගෙනැ එක් වැ අදන්මඟට පිළිපන්නේ” දැ යි ... සැබෑ ද මහණ, තෙපි මාගමක සමඟ බැණගෙනැ එක් වැ අදන්මඟට පිළිපන්නහු දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි මාගමක සමඟ බැණගෙනැ එක් වැ අදන්මඟට පිළිපන්නහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් මාගමක සමඟ බැණ ගෙනැ එක් වැ අදන්මගට – යටත් පිරිසෙයින් අන් ගමකට දු – පිළිපදනේ නම් පචිති වේ” යයි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
මාතුගාම නම්: මිනිස් ඉතිරි යැ. යකින්නක් නො වෙයි. ප්‍රෙතියක් නො වෙයි. තිරිසන් ගිය මාගමක් නො වේ. සුබැසි දුබැසි දුළුල් නො දුළුල් තෙපුල් දැන ගන්නට පිළිවන් දැනුමැතියා යි.
සද්ධිං: එක් වැ.
සංවිධාය: යම්හ බුහුන, යම්හ ආර්‍ය්‍යය, යම්හ ආර්‍ය්‍යය, යම්හ බුහුන, අද හෝ හෙට හෝ අනිද්දා හෝ යම්හ යි සංවිධාන කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
අන්තමසෝ ගාමන්තරම්පි: කුකුළුගමන් ඇති ගමෙහි නම් ගමතුරෙහි ගමතුරෙහි පචිති ඇවැත් වෙයි. ගමක් නො වන අරන්හි නම් අඩ යොදුනෙහි අඩ යොදුනෙහි පචිති ඇවැත් වේ.
මාගම කෙරෙහි මාගමක යන සන් ඇතියේ බැණ ගෙනැ එක් වැ අදන් මඟට යටත් පිරිසෙයින් අන්ගමකට දු – පිළිපදනේ නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි විමති ඇතියේ බැණගෙනැ එක් වැ අදන්මඟට යටතින් අන් ගමකට දු – පිළිපදනේ නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි නො මාගම් සන් ඇතියේ බැණගෙනැ එක් වැ අදන්මඟට යටතින් අන්ගමකට දු, පිළිපදනේ නම් පචිති ඇවැත් වේ.
මහණ සංවිධාන කෙරේ නම් මාගම සංවිධාන නො කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. යකින්නක හෝ ප්‍රේතියක හෝ පණ්ඩකයකු හෝ තිරිසන් ගිය මිනිස් සිරිරි දරන ඉතිරියක හෝ සමඟ බැණගෙනැ එක් වැ අදන්මඟට – යටත්පිරිසෙයින් අන්ගමකට දු – පිළිපදනේ නම් නම් දුකුළා ඇවැත් වේ.
නො මාගම්හි මාගම්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො මාගම්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො මාගම්හි නො මාගම්සන් ඇති යේ නම් ඇවැත් නැති.