අනුපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
6. නො බියගන්වනු කැමැත්තේ රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්‍ධයක් හෝ රසයක් හෝ ස්ප්‍රෂ්ටව්‍යයක් හෝ එළවා නම්, සොරකතරක් හෝ වල් කතරක් හෝ නො මිනිස් කතරක් හෝ කියා නම්, ඇවැත් නො වේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
පස්වැනි හිංසාපනකශික්‍ෂාපද යි.
6. 6. 6.
ජෝති ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු භග්ග ජනවියෙහි සුංසුමාරගිරි නම් නුවරැ මිගදාය නම් වූ භේසකලාවනයෙහි වැඩැවෙසෙති. එසමයෙහි භික්‍ෂූහු හිමත්කල්හි එක්තරා මහත් බෙණය සහිත දරකඩකට ගිනි දල්වා තැපූහු. ඒ බෙණෙහි දු කළුනයෙක් ගින්නෙන් තැවුණේ නික්මැ මහණුන් ලුහුබැඳී යැ. භික්‍ෂූහු තන්හි තන්හි දිවූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරවත්: “කෙසේ නම් භික්‍ෂූහු ගිනි දල්වා තැපූහු” දැ යි ... සැබෑද මහණෙනි, භික්‍ෂූහු ගිනි දල්වා තපිත් දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි ඒ හිස් පුරුෂයෝ ගිනි දල්වා තැපූහු ද, මහණෙනි, මෙය අප්‍රසන්නගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් තපිනු කැමැත්තේ ගිනි දල්වා නම් හෝ දල්වවා නම් හෝ පචිති වේ ය යි.
මෙසේත් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
2. එසමයෙහි භික්‍ෂූහු ගිලන්වූවාහු වෙති. ගිලනුන් පුළුවුස්නා මහණහු ගිලන් මහණුන්ට මෙය කීහු: “කිම ඇවැත්නි, සිහිය හැකි ද? කිම යැපිය හැකි” දැ යි ඇවැත්නි, පෙරැ ඇපි ගිනි දල්වා තපිමු. එයින් අපට පහසු වෙයි. දැන් වූ කලි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂිප්ත යැ යි කුකුස් කරන්නමෝ නො තපිම්හ, එයින් අපට පහසු නො වෙයි. භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහ ... “මහණෙනි, ගිලන් මහණහු විසින් ගිනි දල්වා හෝ දල්වවා හෝ තපින්නට අනුදනිමි.”
මෙසේ ද මහණෙනි, මේ සිකපද උදෙසවු:
යම් මහණෙක් නො ගිලන් වැ තප්‍නාකැමැත්තේ ගිනි දල්වා නම් හෝ දල්වවා නම් හෝ පචිති වේ ය යි.
මෙසේත් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි භික්‍ෂූහු පහන් දැල්වීමෙහි දු ගිනිදැල්වීමෙහි දු ගිනිහල් ගෙහි දු කුකුස් කෙරෙත්. භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහ ... “මහණෙනි, එබඳු කරුණක් ඇති කල්හි ගිනි දල්වන්නට අනුදනිමි.” තවද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
යම් මහණෙක් නො ගිලන් වැ එබඳු කරුණක් තබා තප්‍නා කැමැත්තේ ගිනි දල්වා නම් හෝ දල්වවා නම් හෝ පචිති වේ ය යි.
4. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
අගිලාන නම්: යමක්හට ගින්නෙන් තොර වැ පහසු වේ නම් හේ යැ.
ගිලාන නම්: යමක්හට ගින්නෙන් තොර වැ පහසු නො වේ නම් හේ යැ.
විසිබ්බනාපේඛෝ: තපිනු කැමැත්තේ,
ජෝති නම්: ගිනි යැ යි කියනු ලැබේ.
සමාදහෙය්‍ය: තෙමේ දල්වා නම් පචිති ඇවැත් වේ.
සමාදහාපෙය්‍ය: අනෙකක්හු අණවා නම් පචිති ඇවැත් වේ. වරක් අණවන ලදුයේ බොහෝ වරකුදු දල්වා නම් පචිති ඇවැත් වේ.
අඤ්ඤත්‍ර තථාරූපප්පච්චයා; එබඳු කරුණක් තබා.
නො ගිලනෙක් නො ගිලන් සන් ඇති වැ තපිනු කැමැත්තේ එබඳු කරුණක් තබා ගිනි දල්වා නම් හෝ දල්වවා නම් හෝ පචිති ඇවැත් වෙයි. නො ගිලනෙක් විමති ඇති වැ තපිනු කැමැත්තේ එබඳු කරුණක් තබා ගිනි දල්වා නම් හෝ දල්වවා නම් හෝ පචිති ඇවැත් වෙයි. නො ගිලනෙක් ගිලන් සන් ඇති වැ තපිනු කැමැත්තේ එබඳු කරුණක් තබා ගිනි දල්වා නම් හෝ දල්වවා නම් හෝ පචිති ඇවැත් වේ.
දැවී වැටුණු ගිනි පෙනෙලි ඔසවා තබා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. ගිලනෙක් නො ගිලන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. ගිලනෙක් විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. ගිලනෙක් ගිලන් සන් ඇතියේ නම් ඇවැත් නැති.
ගිලනාහට, අනෙකක්හු විසින් කළ ගින්නක් තපී නම්, ගිනිදැලින් තොර අඟුරු තපී නම්, පහන් දැල්වීමෙහි නම්, (පාත්‍රපචනාදියට) දැල්වීමෙහි නම්, ගිනිහල්ගෙහි නම්, එබඳු අන් කරුණක් ඇති කල්හි නම්, ඇවැත් නො වේ. ආපදාවෙහි උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සවැනි ජෝති ශික්‍ෂාපද යි.
6. 6. 7.
නහාන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භික්‍ෂූහු තපෝදයෙහි ස්නාන කෙරෙත්. එකල්හි මගධේශ්වර වූ ශ්‍රේණිය බිම්බිසාර රජතෙමේ හිස සෝධා නහන්නෙමැ යි තපෝදයට ගොස් ආර්‍ය්‍යයන් සනහා නිමාවන තෙක් එකත් පසෙකැ සාපේක්‍ෂක වැ සිටියේ ය. භික්‍ෂූහු අඳුරු වැටෙන තුරු ස්නානය කළහ. එකල්හි මගධේශ්වර වූ ශ්‍රේණිය බිම්බිසාර රජ විකල්හි හිස් සෝධා නහා නුවරැ දොර වැසූ කල්හි බිහිනුවරැ වැසැ උදෑසන මැ නො මැකිවිලෙවුනෙන් යුතු වැ භාග්‍යවතුන් වහන්සේ වෙතැ එළඹියේ යි. එළඹැ බුදුන් වැඳ එකත් පසෙකැ හුන්නේ යැ. භාග්‍යවතුන් වහන්සේ එකත් පසෙකැ හුන් මගධේශ්වර ශ්‍රේණිය බිම්බිසාර රජහට තෙල වදාළ සේක: “මහරජ, තෙපි උදෑසන මැ නොමැකි විලෙවුනෙන් යුතු වැ කුමකට අවු” දැ යි. එකල්හි මගධේශ්වර වූ ශ්‍රේණිය බිම්බිසාර රජ තෙමේ භාග්‍යවතුන්හට තෙල කරුණ සැලකෙළේ යැ.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගධේශ්වර වූ ශ්‍රේණිය බිම්බිසාර රජහු දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූ සේක. මොනවට කරුණු ගැන්වූ සේක. මොනවට තෙද ගැන්වූ සේක. මොනවට සතුටු කරවූ සේකි. එකල්හි මගධේශ්වර වූ ශ්‍රේණිය බිම්බිසාර රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් මොනවට කරුණු දක්වන ලදුයේ මොනවට කරුණු ගන්වන ලදුයේ මොනවට තෙද ගන්වන ලදුයේ මොනවට සතුටු කරවන ලදුයේ හුනස්නෙන් නැගැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි ලා මේ අවසරයෙහි ලා බික්සඟන රැස් කරවා මහණුන් පුළුවුත්සේක. සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු රජහු දු දැක පමණ නො දැනැ සනහද්දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ඒ හිස් පුරුෂයෝ රජහුදු දැක පමණ නො දැනැ සනැහූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් නෑ දින පටන් අඩමසක් නො පිරුණු සඳ සනහා නම් පචිති වේ ය යි.
මෙසේ භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි භික්‍ෂූහු උෂ්ණසමයෙහි පරිදාහසමයෙහි කුකුස් කරන්නාහු නො සනහත්. ඩහවැකුණු සිරුරෙන් යුතු වැ හොවිත්. සිවුර ද සෙනසුන ද කිලිටි වෙයි. භාග්‍යවතුන්හට තෙල කරුණ සැලකළහ. ... “මහණෙනි, උෂ්ණසමයෙහි පරිදාහසමයෙහි අඩමසෙකින් මෙපිට නහන්නට අනුදනිමි” මහණෙනි, මෙසේත් මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් සුදුසුසමය තබා අඩමසෙකින් මොබ නහන්නේ නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි: ග්‍රීෂ්ම මාසයන් අතුරින් ඉතිරිවැ සිටි යෙළමස යැ. වස්සාන ඍතුව පිළිබඳ පළමු මස යැ යි මෙසේ මේ අඩුතුන් මසෙකි, උෂ්ණසමය යැ පරිදාහ සමය යි. මේ එහි සුදුසු සමය යි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
4. එසමයෙහි වනාහි භික්‍ෂූහු ගිලන් වූවාහු වෙති. ගිලනුන් පුළුවුස්නා භික්‍ෂූහු ගිලන් මහණුන්ට මෙය කීහු: “කිම ඇවැත්නි, සිහිය හැකි ද? කිම යැපිය හැකි දැ යි. ඇවැත්නි, පෙරැ ඇපි අඩමසෙකින් මොබ සනහම්හ. එයින් අපට පහසු වෙයි. දැන් වනාහි භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂිප්ත යැ යි කුකුස් කරන්නමෝ නො සනහම්හ. එයින් අපට පහසු නො වේ යැ” යි භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ. “මහණෙනි, ගිලන් මහණහු විසින් අඩමසෙකින් මොබ නහන්නට අනුදනිමි.” මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
යම් මහණෙක් සුදුසු සමය තබා අඩමසෙකින් මොබ සනහා නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි; ගිමන් සිවු මස අතුරින් ඉතිරිව සිටි යෙළ මස යැ වසන් සෙමෙහි පළමු මස යැ යි මෙසේ තෙල අඩු තුන් මස් උෂ්ණසමය යැ පරිදාහසමය යැ. ගිලානසමය යි. මේ එහි සුදුසු සමය යි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
5. එසමයෙහි වනාහි භික්‍ෂූහු නවාම් කොට කුකුස් කරන්නාහු නො සනහත්. ඩහවැකුණු සිරුරෙන් යුතු වැ හොවිත්. සිවුර ද සෙනසුන ද කිලිටි වෙයි. භාග්‍යවතුන්හට තෙල කරුණ සැලකළහ. ... “මහණෙනි, කර්‍මාන්තසමයෙහි අඩමසෙකින් මොබ සනහන්නට අනුදනිමි” මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් සුදුසු සමය තබා අඩමසෙකින් මොබ සනහා නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි: ගිමන් සිවුමසින් ඉතිරි වැ සිටි යෙළමස යැ වසන් සිවුමස පළමු මස යැ. මෙසේ තෙල දෙමස් අඩ මස උෂ්ණසමය යැ පරිදාහසමය යැ ගිලානසමය යැ කර්‍ම සමය යි මේ එහි සුදුසු සමය යි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
6. එසමයෙහි වනාහි භික්‍ෂූහු දුරුමඟ ගොස් කුකුස් කරන්නාහු නො සනහති. ඩහවැකුණු කයින් යුතු වැ හොවිත්. සිවුර ද සෙනසුන ද කිලිටි වෙයි. භාග්‍යවතුන්හට තෙල කරුණ සැලකළහ. ... “මහණෙනි, දුරුමග යන කල්හි අඩමසෙකින් මොබ සනහන්නට අනුදනිමි”. මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
යම් මහණෙක් සුදුසු සමය තබා අඩමසෙකින් මොබ සනහා නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි. ගිමන් සිවු මස පිළිබඳ වූ සෙසු එක්මස් අඩමස යැ වසන් සිවුමස පිළිබඳ වූ පළමු මස යැ. මෙසේ මේ දෙමස් අඩමස උෂ්ණසමය යැ පරිදාහසමය යැ, ගිලානසමය යැ කර්‍මාසමය යැ අද්ධාන ගමන සමය යි. මේ එහි සුදුසු සමය යි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
7. එසමයෙහි වනාහි බොහෝ භික්‍ෂූහු එළිමහනෙහි සිවුරුකම් කරන්නාහු දුහුවිලි සහිත සුළඟින් වැකුණාහු වෙති. වැස්ස ද මඳින් මඳ වැටෙයි. භික්‍ෂූහු කුකුස්කරන්නාහු නො සනහත්, තෙත් වූ කයින් යුතු වැ හොවිත්. සිවුර ද සෙනසුන ද කිලිටි වෙයි. භාග්‍යවතුන්හට තෙල කරුණ සැලකළහ. ... “මහණෙනි, වැසි සුළං සමයෙහි අඩමසෙකින් මොබ සනහන්නට අනුදනිමි.” මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් සුදුසු සමය තබා අඩමසින් මොබ සනහා නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි: ගිමන් සිවුමසින් ඉතිරි වැ සිටි යෙළ මස යැ. වසන් සිවුමස්හි පළමු මස යැ. මෙසේ මේ දෙමස් අඩමස උෂ්ණසම යැ පරිදාහසමය යැ, ගිලානසමය යැ කම්මසමය යැ අද්ධාන ගමන සමය යැ වාතවුට්ඨිසමය යි. මේ එහි සුදුසු සමය යි.
8. යො පන යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහිලා අදහස් කරන ලද භික්‍ෂු යි.
ඔරෙනද්ධමාසං: යනු උනු අඩමසක්,
නහායෙය්‍ය යනු සුන්නෙන් හෝ මැටියෙන් හෝ සනහා නම් පියෝහි දුකුළා වෙයි. සනහන අවසන්හි පචිති ඇවැත් වේ.
අඤ්ඤත්‍ර සමයා: සුදුසු සමය තබා,
උණ්හසමය නම්: ගිමන් සිවුමස අතුරින් ඉතිරිවැ සිටි යෙළ මස යැ,
පරිළාහසමය නම්: වැසි සිවුමස පිළිබඳ පළමු මස යැ, මෙසේ තෙල දෙමස් අඩමස උෂ්ණසමයැ පරිදාහසම යැ යි ස්නාන කළ යුතු යි.
ගිලානසමය නම්: යමක්හට නෑමෙන් තොර වැ පහසු නො වේ නම් ගිලානසමයැ යි සැනහිය යුතු යි.
කම්මසමය නම්: යටත් පිරිසෙයින් පිරිවෙන ද හමදනා ලද්දේ වේ නම් කම්මසමයැ යි සැනහිය යුතු යි.
අද්ධානගමනසමය නම් : අඩයොත්නක් යෙමි යි සැනහිය යුතු, යන්නහු විසින් සැනහිය යුතු, ගියාහු විසින් සැනහිය යුතු යි.
වාතවුට්ඨීසමය නම් : භික්‍ෂූහු දුහුවිලි සහිත සුළඟින් වැකුණාහු වෙද්ද, දෙතුන් දිය පොදෙක් සිරුරෙහි වැටුණේ හෝ වේ ද, වාතවුට්ඨිසම යැ යි සැනහිය යුතු යි.
උනු අඩමස්හි උනු සන් ඇතියේ සුදුසු සමය තබා සනහා නම් පචිති ඇවැත් වෙයි. උනු අඩමස්හි විමති ඇතියේ සුදුසු සමය තබා සනහා නම් පචිති ඇවැත් වෙයි. උනු අඩමස්හි අයිරා සන් ඇතියේ සුදුසු සමය තබා සනහා නම් පචිති ඇවැත් වේ.
අයිරා අඩමස්හි උනු සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අයිරා අඩමස්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි, අයිරා අඩමස්හි අයිරා සන් ඇතියේ නම් ඇවැත් නැති.
සුදුසු සමයෙහි නම්, අඩමසකට වරක් සනහා නම්, අයිරා අඩමසෙකින් සනහා නම්, කරුණු ඇති කල්හි දියට බැස සනහා නම්, පරතෙරට යමින් සනහා නම් ඇවැත් නො වේ. සියලු පසල්දනව්හි, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
සත්වැනි නහාන ශික්‍ෂාපද යි.
6. 6. 8.
දුබ්බණ්ණකරණ ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් වූ, අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි බොහෝ භික්‍ෂුහු ද පරිව්‍රාජකයෝ ද සාකේතයෙන් සැවැතට යන අදන්මගට පිළිපන්නාහු වෙති. අතරැ මඟැ සොරු නික්මැ ඔවුන් ඇසිඳගත්හ. රාජපුරුෂයෝ සැවැතින් නික්මැ ගොස් බඩු සහිත ඒ සොරුන් අල්වා ගෙන භික්‍ෂූන් වෙතැ දූතයකු යැවූහු: “පින්වතුන් වහන්සේ එත්වා, තමන් තමන් සතු සිවුරු හැඳිනැ ගනිත්වා,” යි. භික්‍ෂූහු නො හඳුනති. ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් වහන්දැ තමන් තමන් සතු සිවුරු නො හඳුනද්දැ”යි. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේහට තෙල කරුණ සැලකළාහු ය.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණෙහි ලා තෙල අවසරයෙහි ලා බික්සඟන රැස් කරවා මහණුන්හට එයට සරිලන එයට අනුලොම් වන දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. එහෙයින් මහණෙනි, කරුණු දසයක් පිණිස මහණුන්හට සිකපද පනවන්නෙමි. (එනම්) සඞ්ඝයාගේ මනා පිළිගැනුම පිණිස සඞ්ඝයාගේ පහසුබව පිණිස ... සසුන් පැවැත්ම පිණිස විනයට රුකුල් දීම පිණිස යි. මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“අලුත් සිවුරක් ලත් මහණහු විසින් නිල් හෝ මඩ හෝ කළු හෝ යන තෙවැදෑරුම් දුර්වර්‍ණ කිරීම් අතුරෙන් එක්තරා දුර්වර්‍ණ කිරීමෙක් ගත යුත්තේ යි. ඉදින් මහණ තෙවැදෑරුම් දුර්වර්‍ණ කිරීම් අතුරෙන් එක්තරා දුර්වර්‍ණ කිරීමක් නොගෙන අළුත් සිවුරක් පරිභෝග කෙරේ නම් පචිති වේ” යි.
3. නව නම්: කප්බිඳු නො තැබූ සිවුර කියනු ලැබෙයි.
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා සිවුරෙකි.
තිණ්‍ණං දුබ්බණ්ණකරණානං අඤ්ඤතරං දුබ්බණ්ණකරණං ආදාතබ්බං; යටත් පිරිසෙයින් කුසතණගිනුදු (කප්බිඳු) තැබීම කළ යුතු.
නීල නම්: කංසනීල (යමල) යැ පලාසනීල (කොළපැහැ) යැයි දෙනිලෙකි.
කද්දම නම්: දියමඩැ යි කියනු ලැබෙයි.
කාළසාම නම්: යම් කිසි කළු පැහැයක්:
අනාදා චෙ භික්ඛූ දුබ්බණ්ණ කරණානං අඤ්ඤතරං දුබ්බණ්ණකරණං යනු යටත් පිරිසෙයින් කුසතණගිනුදු තෙ වැදෑරුම් දුර්වර්‍ණ කිරීම් අතුරෙන් එක්තරා දුර්වර්‍ණ කිරීමක් නො කොට අලුත් සිවුරක් පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වේ.
කප් බිඳු නො දුන් කල්හි නුදුන් සන් ඇතිවැ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වෙයි. කප්බිඳු නුදුන් කල්හි විමති ඇතිවැ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වෙයි. කප් බිඳු නො දුන් කල්හි දුන් සන් ඇතිවැ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වේ. කප්බිඳු දුන් කල්හි නො දුන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. කප්බිඳු දුන් කල්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. කප් බිඳු දුන් කල්හි දුන් සන් ඇතියේ නම් ඇවැත් නැති.
කප්බිඳු ගෙන පරිභෝග කෙරේ නම්, කප් බිඳු නැසුණේ වී නම්, කප් බිඳු කළ තැන දිරා ගියේ වී නම්, කප් බිඳු තබන ලද්ද හා කප් බිඳු නො තබන ලද්දක් හිවන ලදුයේ වී නම් ඇවැත් නො වේ. මැඩිල්ලෙහි දිගනුවායෙහි සරසනුවායෙහි උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
අටවැනි දුබ්බණ්ණකරණ ශික්‍ෂාපද යි.
6. 6. 9.
විකප්පන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර බෑයාගේ සද්ධිවිහාරික භික්‍ෂුහට තමා මැ සිවුරක් විකපා නොපසුදුරා පරිභොහ කෙරෙයි. එකල්හි ඒ මහණ මහණුන්හට තෙල කරුණ දැන්වී යැ: “ඇවැත්නි, මේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර මාහට තමා මැ සිවුරක් විකපා නො පසුදුරා පරිභොහ කෙරේ” ය යි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර මහණක්හට තමා මැ සිවුරක් විකපා නො පසුදුරා පරිභෝග කෙළේ” දැයි ... සැබෑ ද, උපනන්‍ද, තෙපි මහණක්හට තමා මැ සිවුරක් විකපා නො පසුදුරා පරිභොහ කරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි මහණක්හට තමා මැ සිවුරක් විකපා නො පසුදුරා පරිභොහ කළහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි! මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් මහණක්හට හෝ මෙහෙණක්හට හෝ සික්මනුවක්හට හෝ හෙරණකුහට හෝ හෙරණකහට හෝ තෙමේ සිවුරක් විකපා නො පසුදුරා පරිභෝග කෙරේ නම් පචිති වේ” යයි.
2. යො පන: යම් යම්බඳු ... භික්ඛු ... මෙ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
භික්ඛුස්ස: අන් මහණක්හට.
භික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.
සික්ඛමානා නම්: දෙවසක් සදහම්හි හික්මුණු සික ඇත්තී.
සාමණේර නම්: දස සිකපද ඇතියේ.
සාමණෙරී නම්: දස සිකපද ඇත්තී.
සමං; තෙමේ විකපා
චීවර නම්: ස වැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකපුන් පොහෝනා පැසුළු සිවුරක්.
විකප්පනා නම්: හමුයෙහි විකප්පනා යැ, නොහමුයෙහි විකප්පනා යි විකප්පනා දෙකෙකි.
සම්මුඛා විකප්පනා නම්: මේ සිවුර තොපට හෝ මෙනම් අතියහුට හෝ විකපමි.
පරම්මුඛා විකප්පනා නම්: මේ සිවුර විකපුන් සඳහා තොපට දෙමැ යි. කවරෙක් තාගේ මිතුරු හෝ දුටුමිතුරු හෝ වේ දැ යි ඔහු විසින් කිය යුත්තේ යි. මෙනම් ඇතියේ ද මෙනම් ඇතියේ දැ යි ඔහු විසින් කිය යුත්තේ යි. මම ඔවුනට දෙමි, ඔවුන් සතු වූව පරිභෝග හෝ කරව, දීම හෝ කරව, රිසියෙන්නක් හෝ කරව යි.
අපච්චුද්ධාරක නම්: ඔහුට නො දෙන ලද්ද හෝ ඔහුට අවිස්වසින් හෝ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වෙයි. නො කළ පසුදුරුණෙහි නො කළ පසුදුරුණු සන් ඇතියේ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වෙයි. නො කළ පසුදුරුණෙහි විමති ඇතියේ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වෙයි. නො කළ පසුදුරුණෙහි කළ පසුදුරුණු සන් ඇතියේ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වේ.
ඉටා නම් හෝ විසඳා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. කළ පසුදුරුණෙහි නො කළ පසුදුරුණු සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. කළ පසුදුරුණෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. කළ පසුදුරුණෙහි කළ පසුදුරුණු සන් ඇතියේ නම් ඇවැත් නැති.
හෙතෙමේ දෙයි හෝ, ඔහු කෙරෙහි විස්වස් කරමින් පරිභෝග කෙරෙයි හෝ ඇවැත් නො වේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
නවවැනි විකප්පනශික්‍ෂාපද යි.
6. 6. 10.
චීවරාපනිධාන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම්වූ, අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සතළොස් වග මහණහු නො තැන්පත් කළ පිරිකර ඇතියේ වෙති. සවග මහණහු සතළොස්වග මහණුන්ගේ පා ද සිවුරු ද සඟවති. සතළොස් වග මහණහු සවග මහණුන්ට තෙල කීහු: “ඇවැත්නි, අපගේ පාත්‍ර ද සිවුරු ද දෙව” යි. සවග මහණෝ සිනා සෙති. ඔහු හඬත්. භික්‍ෂූහු මෙසේ කීහු: “ඇවැත්නි, තෙපි කුමකට හඬවු” දැ යි ඇවැත්නි, මේ සවග මහණෝ අපගේ පාත්‍ර ද සිවුරු ද සඟවති යයි.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු මහණුන් ගේ පාත්‍ර ද සිවුරු ද සැඟවූහු” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි මහණුන්ගේ පාත්‍ර ද සිවුරු ද සඟවවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මහණුන්ගේ පාත්‍ර ද සිවුරු ද සැඟවූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් යටත් පිරිසෙයින් කෙළිරිසියේ නමුදු මහණක්හුගේ පයක් හෝ සිවුරක් හෝ නිසීදනයක් හෝ හිදිගුළාවක් හෝ කාබානක් හෝ සඟවන්නේ නම් හෝ සඟවවන්නේ නම් පචිති වේ” යයි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛූ ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.