අඤ්ඤත්‍ර තථාරූපප්පච්චයා: එබඳු කරුණක් තබා;
හැරපියා යුදයට නික්මුණු සෙන්හි යුදයට නික්මුණු සන් ඇතියේ එබඳු කරුණක් තබා දැකීමට යේ නම් පචිති ඇවැත් වෙයි. යුදයට නික්මුණු සෙන්හි විමති ඇතියේ එබඳු කරුණක් තබා දැකීමට යේ නම් පචිති ඇවැත් වෙයි. යුදයට නික්මුණු සෙන්හි යුදයට නො නික්මුණු සන් ඇතියේ එබඳු කරුණක් තබා දැකීමට යේ නම් පචිති ඇවැත් වේ.
එකක් එකක්හු දැකීමට යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියේ බලා නම් දුකුළා ඇවැත් වෙයි. දසුන් උවසර හැරපියා පුනපුනා බලා නම් දුකුළා ඇවැත් වේ.
යුදයට නො නික්මුණු සෙන්හි යුදයට නික්මුණු සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. යුදයට නො නික්මුණු සෙන්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. යුදයට නො නික්මුණු සෙන්හි යුදයට නොනික්මුණු සන් ඇතියේ නම් ඇවැත් නැති.
අරම්හි සිටියේ බලා නම්, මහණක්හු සිටි තැනට හෝ හුන් තැනට හෝ හොත් තැනට හෝ පැමිණේ නම්, පෙරමගට යන්නේ දකී නම්, එබඳු කරුණකින් නම්, ඇවැත් නැති ආපදාවෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
අටවැනි උය්‍යුත්තසේනා ශික්‍ෂාපද යි.
6. 5. 9.
සේනාවාස ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු කරණී ඇති කල්හි සෙනාවට ගොස් අයිරා තුන් රැයක් සේනායෙහි වසති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ සේනායෙහි වුසූහු ද? යම්බඳු ඇපි දිවෙල් හේතුයෙන් අඹුදරුවන්ගේ කාරණයෙන් සේනායෙහි වසමු නම් එබඳු අපට ද අලාභයෙකැ, එබඳු අප විසිනුදු දුකසේ ලැබිය යුත්තෙකැ”යි.
2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් සවග මහණහු අයිරා තුන් රැයක් සේනායෙහි වුසූහු” දැයි ... සැබෑ ද මහණෙනි තෙපි අයිරා තුන් රැයක් සේනායෙහි වසවු දැ යි. සැබෑ වැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු විගැරහු ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි අයිරා තුන් රැයක් සේනායෙහි වුසුවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නොවෙයි ... මෙසේ ද මහණෙනි! මේ සිකපදය උදෙසවු:
යම් ඒ මහණක්හට සෙනාවට යාම පිණිස කිසියම් කරුණක් වන්නේ නම් ඒ මහණහු විසින් දෙතුන් රැයක් සේනායෙහි විසිය යුතුයි. ඉදින් ඉන් මත්තෙහි වෙසේ නම් පචිති වේ යැයි.
3. සියා ච තස්ස භික්ඛුනෝ කෝචිදේව පච්චයො සේනං ගමනාය: කරුණෙක් වන්නේ යැ කළයුත්තෙක් වන්නේ යි.
දිරත්තතිරත්තං තෙන භික්ඛුනා සේනාය වාසිතබ්බං; දෙතුන් රැයෙක් විසිය යුතු යි.
තතො චෙ උත්තරිං වසෙය්‍ය: සතරවන දිනයෙහි හිරු අත්ගල් ගිය කලැ සේනායෙහි වෙසේ නම් පචිති ඇවැත් වෙයි. වැඩි තුන් රැයෙහි අයිරා සන් ඇතියේ සේනායෙහි වෙසේ නම් පචිති ඇවැත් වෙයි. අයිරා තුන් රැයෙහි විමති ඇතියේ සේනායෙහි වෙසේ නම් පචිති ඇවැත් වෙයි. වැඩි තුන් රැයෙහි අඩුය යන සංඥා ඇතියේ සේනායෙහි වෙසේ නම් පචිති ඇවැත් වේ.
4. උනුතුන්රැයෙහි අයිරා සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උනුතුන්රැයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උනුතුන්රැයෙහි උනුසන් ඇතියේ නම් ඇවැත් නැති.
5. දෙතුන් රැයක් වෙසේ නම්, උනු දෙතුන්රැයක් වෙසේ නම්, දෙරැයක් වැස තෙවන රැය අරුණට පළමු නික්මැ යළි වෙසේ නම්, ගිලන් වැ වෙසේ නම්, ගිලනක්හුගේ කළයුත්තෙකින් වෙසේ නම්, සේනාව විසින් ප්‍රතිවිරුද්ධ සේනාව වළහන ලද්දී හෝ වේ නම්, කිසිවකුදු විසිනුදු වළහන ලද්දේ වේ නම්, ආපදාවෙහි උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
නවවැනි සේනාවාස ශික්‍ෂාපද යි.
6. 5. 10.
උය්‍යෝධික ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි සවග මහණෝ දෙතුන් රැයක් සේනායෙහි වසනුවෝ රණබිමට ද බලසෙන් ගණිනා තැනට ද සෙන් කඳවුරු බැඳි තැනට ද ඇණි දැකුමට ද යෙති. එක්තරා සවග මහණෙක් රණබිමට ගොස් ඊයෙන් විදින ලදුයේ වෙයි. මිනිස්සු එ මහණ දැකැ වෙළපූහ. “කිමෙක් ද? ස්වාමීනි! මනා යුද්ධයෙක් වී ද? නුඹ වහන්දෑ විසින් කෙතෙක් ලක්හු ලබන ලදහු දැ යි හේ මහණ තෙමේ ඒ මිනිසුන් විසින් වෙළපනු ලබන්නේ මකු විය.
2. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ රණබිම බැලීම පිණිස ආවෝ ද? යම් බඳු ඇපි දිවෙල් හේතුයෙන් අඹුදරුවන්ගේ කාරණයෙන් රණබිමට යමු නම් එබඳු අපට ද අලාභයෙකැ, එබඳු අප විසිනුදු දුකසේ ලැබිය යුත්තෙකැ”යි. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු මැ යි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්. “කෙසේ නම් සවග මහණෝ රණබිම දැකීම පිණිස ගියෝ” දැ යි ... සැබෑ ද මහණෙනි! තෙපි රණබිම දැකීම පිණිස යවු දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස! භාග්‍යවත් බුදුහු විගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි! තෙපි රණබිම දැකීම පිණිස ගියහු ද? හිස් පුරුෂයෙනි! මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි! මේ සිකපදය උදෙසවු.
ඉදින් මහණෙක් දෙතුන්රැයක් සේනායෙහි වසන්නේ රණබිමට හෝ බලසෙන් ගණින තැනට හෝ සෙන් කඳවුරු බැඳි තැනට හෝ ඇණි දැකුමට හෝ යන්නේ නම් පචිති වේ යැයි.
3. දිරත්තතිරත්තං චෙ භික්ඛු සේනාය වසමානෝ; දෙතුන් රැයක් වසන්නේ;
උය්‍යෝධික නම්: යම් තැනෙකැ සම්ප්‍රහාරය දෙනු ලැබේ ද?
බලග්ග නම්: මෙතෙක් ඇත්තු යැ, මෙතෙක් අස්හු යැ, මෙතෙක් රියහු යැ මෙතෙක් පාබළ යැ.
සේනාබ්‍යුහ නම්: මෙහි ඇත්තු වෙත්වා, මෙහි අස්හු වෙත්වා, මෙහි රියහු වෙත්වා මෙහි පාබලහු වෙත්වා.
අණික නම්: ඇත් ඇණි යැ අස් ඇණි යැ රිය ඇණි යැ පාබළ ඇණි යැ තුන් ඇත්හු පැසුළු ඇත් ඇණි යැ තුන් අස්හු පැසුළු අස් ඇණි යැ තුන් රියහු පැසුළු රිය ඇණි යැ අවි ගත් අත් ඇති සිවු පුරිස්හු පැසුළු පාබළ ඇණිය යි.
දැකීම පිණිස යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියේ බලා නම් පචිති ඇවැත් වෙයි. දසුන් උවසර හැරැපියා පුන පුනා බලා නම් පචිති ඇවැත් වේ.
5. එකක් එකක්හු දැකීම පිණිස යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියේ බලා නම් දුකුළා ඇවැත් වෙයි. දසුන් උවසර හැරැපියා පුන පුනා බලා නම් දුකුළා ඇවැත් වේ.
6. අරම්හි සිටියේ දකී නම්, මහණක්හු සිටි තැනට හෝ හුන් තැනට හෝ හොත් තැනට හෝ අවුත් පහර දෙනු ලැබේ නම්, පෙර මඟට යන්නේ දකී නම්, කරණී ඇති කල්හි ගොස් බලා නම්, ආපදායෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
දසවැනි උය්‍යෝධිකශික්‍ෂාපද යි.
පඤ්චම අචෙලකවර්‍ග යි.
එහි උද්දානය:
අචේලක යැ උය්‍යෝජන යැ සභෝජන යැ පඨම–දුතිය රහෝ නිසජ්ජ දෙක යැ බොජුන් සහිත චාරිත්ත යැ බෙහෙත් නිසා පැන වූ මහානාම සිඛ යැ උය්‍යුත්ත සේනා වාස යැ සේනා වාස යැ උය්‍යෝධික සිඛපදය ද වේ.
සුරාපාන වර්‍ගය
6. 6. 1.
සුරාපාන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු චේතිය දනවුහි සැරි සරනුවෝ භද්දවතිකා නම් ග්‍රාමයට වැඩවදාළෝ. ගවපාලකයෝ පශුපාලකයෝ කර්‍ෂකයෝ මාර්ගිකයෝ වඩනා භාග්‍යවතුන් දුරැ දී ම දුටුහ. දැක භාග්‍යවතුන්හට තෙල කීහු. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අම්බතීර්‍ත්‍ථයට නහමක් වඩනා සේක්වා. වහන්ස! අම්බතීර්‍ත්‍ථයෙහි ජටිලයාගේ අසපුවෙහි ඍද්ධිමත් වූ ආශීවිෂ ඇති ඝොරවිෂ ඇති නාගයෙක් වෙසෙයි. හේ භාග්‍යවතුන් නහමක් වෙහෙසාව” යි. මෙසේ කී කල්හි බුදුහු නිහඬ වූහු. දෙවනවටදු ... තෙවනවටදු ගවපාලකයෝ පශුපාලකයෝ කර්‍ෂකයෝ මාර්ගිකයෝ භාග්‍යවතුන්හට මෙය කීහු. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අම්බතීර්‍ත්‍ථයට නහමක් වඩනා සේක්වා, වහන්ස, අම්බතීර්‍ත්‍ථයෙහි ජටිලයාගේ අසපුවෙහි ඍද්ධිමත් වූ ආශීවිෂ ඇති ඝොරවිෂ ඇති නාගයෙක් වෙසෙයි. හේ භාග්‍යවතුන් නහමක් වෙහෙසාව” යි. තෙවනවටදු බුදුහු නිහඬ වූහු.
2. ඉක්බිති භාග්‍යවත් බුදුහු පිළිවෙළින් සැරි සරනුවෝ භද්දවතිකා නම් ග්‍රාමයට වැඩමකළහ. බුදුහු ඒ භද්දවතිකායෙහි වැඩැවෙසෙති. එකල්හි ආයුෂ්මත් සාගත ස්ථවිර තෙමේ අම්බතීර්‍ත්‍ථයෙහි ජටිලයාගේ අසපුවට එළැඹියේ යැ. එළැඹැ ගිනිහල්ගෙට පිවිස තණ ඇතිරියක් පනවා පලඟ බැඳ උඩුකය ඉදීව තබා කමටහනට අබිමුව කොට සිහි එළවා හුන්නේ යි. එකල්හි ඒ නාගයා පිවිසි ආයුෂ්මත් සාගත තෙරුන් දැක දුකට පැමිණියේ නො සතුටු වූයේ දුමාලී යැ. ආයුෂ්මත් සාගත ස්ථවිර තෙමේත් දුමාලී යැ. එකල්හි ඒ නාගයා ක්‍රෝධය නො ඉවසන්නේ දිලිහී ගියේ යැ. ආයුෂ්මත් සාගත ස්ථවිර තෙමේත් තේජෝධාතුවට සමවැද දිලිහී ගියේ යි. ඉක්බිති ආයුෂ්මත් සාගත ස්ථවිර තෙමේ ඒ නාගයාගේ තෙද (තමාගේ) තෙදින් මැඩැගෙන භද්දවතිකා ග්‍රාමයට එළැඹියේ යි. ඉක්බිති භාග්‍යවත් බුදුහු භද්දවතිකායෙහි කැමැතිතාක් විහරණය කොට කොසඹෑනුවර බලා සැරි සැරූහු කොසඹෑනුවරැ වූ උවසුවෝ “ආර්‍ය්‍ය සාගතස්ථවිර තෙමේ අඹතොටැ නාගයා හා සමඟ යුද කෙළේ යැ” යි ඇසූහු.
3. ඉක්බිති බුදුහු පිළිවෙළින් සැරි සරනුවෝ කොසඹෑ නුවරට වැඩම කළහ. එකල්හි කොසඹෑ නුවර උවසුවෝ භාග්‍යවතුන්හට පෙරැගමන් කොට ආයුෂ්මත් සාගත තෙරුන් වෙත එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් සාගත තෙරුන් සකසා වැඳ එකත්පසෙකැ සිටියහ. එකත්පසෙකැ සිටියා වූ කොසඹෑනුවර උවසුවෝ ආයුෂ්මත් සාගත තෙරුන්ට තෙල කීහු: “වහන්ස, ආර්‍ය්‍යයන්හට කිමෙක් දුර්‍ලභත් වේ ද? මනවඩන්නේත් වේ ද? කුමක් පිළියෙළ කරමෝ” දැ යි. මෙසේ කී කල්හි සවග මහණහු කොසඹෑ නුවර උවසුවනට තෙල කීහු: “ඇවැත්නි, මහණුන්හට දුර්‍ලභ වූත් මනවඩන්නා වූත් කාපෝතිකා නම් සුරාමණ්ඩයෙක් ඇති, එය පිළියෙළ කරව”යි. එකල්හි කොසඹෑනුවර උවසුවෝ ගෙයක් පාසා කාපෝතිකා සුරා මණ්ඩය පිළියෙළ කොට ආයුෂ්මත් සාගත තෙරුන් පිඬු පිණිස හැසිරෙන්නවුන් දැක ආයුෂ්මත් සාගත තෙරුන්ට මෙය කීහු: “වහන්ස, ආර්‍ය්‍ය සාගත තෙමේ කාපොතිකාසුරාමණ්ඩය පානය කෙරේවා” වහන්ස, සාගත ආර්‍ය්‍යයන් වහන්සේ කාපොතිකාසුරාමණ්ඩය පානය කෙරෙත්වා” යි. එකල්හි ආයුෂ්මත් සාගත තෙමේ ගෙයක් පාසා කාපොතිකාසුරාමණ්ඩය පානය කොට නුවරින් නික්මෙනුයේ නුවර දොරැ වැටුණේ යි.
4. ඉක්බිති භාග්‍යවත් බුදුහු බොහෝ භික්‍ෂූන් සමග නුවරින් නික්මෙනුවෝ නුවරදොරැ වැටුණු ආයුෂ්මත් සාගත තෙරුන් දුටුහ. දැකැ වදාරා “මහණෙනි, සාගතයා ගනුව” යි මහණුන් ඇමැතූහ. එසේ යැ වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්හට පිළිවදන් දී ආයුෂ්මත් සාගත තෙරුන් ආරාමයට ගෙන ගොස් භාග්‍යවතුන් දෙසට හිස කොට හොවා තැබූහු. එකල්හි ආයුෂ්මත් සාගත පෙරැළී භාග්‍යවතුන් දිසාවට පාදිගු කොට ශයනය කෙළේ යැ. එකල්හි බුදුහු මහණුන් ඇමැතූහ: “මහණෙනි, සාගත මහණ තථාගතයන් කෙරෙහි ගරු සහිත වූයේ බුහුමන් සහිත වූයේ නො වේ” දැ යි.
එසේ යැ වහන්ස,
මහණෙනි, සාගත මහණ දැන් වූ කලි තථාගතයන් කෙරෙහි ගරු සහිත වූයේ බුහුමන් සහිත වූයේ වේ දැ යි.
තෙල කරුණ නො වේ මැ යි වහන්ස,
මහණෙනි, සාගත මහණ අම්බතීර්‍ත්‍ථයෙහි වැසි නාගයා සමඟ යුද කෙළේ නො වේ දැ යි.
එසේ යැ වහන්ස,
දැන් වූ කලි මහණෙනි, සාගතමහණ දියබරණක්හු සමඟ වත් යුද කරනට සමර්‍ත්‍ථ වේ දැ යි.
තෙල කරුණ නො වේ මැ යි වහන්ස,
මහණෙනි, යමක් පානය කොට විසංඥ වේ නම් එය පානය කළයුතු වේ දැ යි.
තෙල කරුණ නොවේ මැ යි වහන්ස,
මහණෙනි, සාගත මහණහට මෙය නො සීහෙන්නෙකැ, නො අනුලෝමෙකැ නො සුදුස්සෙකැ, නො මහණකමෙකැ, නො කැපයෙකැ නො කළයුත්තෙකි. කෙසේ නම් මහණෙනි, සාගත මහණ මත්පැන් පානය කෙළේ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
රහමෙර බීමෙහි පචිති වේ යැ යි.
5. සුරා නම්: පිට්ඨසුරා යැ පූවසුරා යැ ඕදනියසුරා යැ කිණණපක්ඛිත්තසුරා යැ සම්භාරසංයුත්තසුරා යි.
මේරය නම්: පුප්ඵාසව යැ ඵලාසව යැ මධවාසව යැ ගුළාසව යැ සම්භාර සංයුත්ත යි.
පිචෙය්‍ය: යටත් පිරිසෙයින් කුසතණගිනුදු පානය කෙරේ නම් පචිති ඇවැත් වේ.
6. මද්‍යයෙහි මද්‍යසංඥා ඇතියේ පානය කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මද්‍යයෙහි විමති ඇතියේ පානය කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මද්‍යයෙහි අමද්‍ය සංඥා ඇතියේ පානය කෙරේ නම් පචිති ඇවැත් වේ.
7. අමද්‍යයෙහි මද්‍යසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අමද්‍යයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අමද්‍යයෙහි අමද්‍ය සංඥා ඇතියේ නම් ඇවැත් නැති.
8. මද්‍යවර්‍ණය ඇති මද්‍යගන්‍ධය ඇති මද්‍යසාරය ඇති (යම්) අමද්‍යයෙක් වේ ද එය පානය කෙරේ නම්, සූපසම්පාකයෙහි මංසසම්පාකයෙහි තෙලසම්පාකයෙහි ඇඹුල්පැණියෙහි මද්‍ය නො වූ අරිෂ්ටය පානය කෙරේ නම්, ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
පළමුවැනි සුරාපාන ශික්‍ෂාපද යි.
6. 6. 2.
අඞ්ගුලිපතෝදක ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ ජේතවන නම් වූ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු සතළොස්වගැ මහණක්හු ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනා ගැන්වූහ. ඒ මහණ මහ සිනායෙන් මිරිකුණේ හුස්ම හිර වූයේ කලුරිය කෙළේ යැ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු මහණක්හු ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනා ගැන්වූහු” දැ යි ... සැබෑද මහණෙනි, තෙපි මහණක්හු ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනා ගන්වවු දැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි තෙපි මහණක්හු ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනා ගැන්වූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... තවද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
ඇඟිල්ලෙන් ගිරිති කැවීම නිමිතිකොට පචිති වේ යයි.
2. අඞ්ගුලිපතෝදක නම්: උපසපනෙක් උපසපනක්හු කෙළිරිසි ඇති වැ කයින් කය පහසා නම් පචිති ඇවැත් වෙයි. උපසපන්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනහ දනවා නම් පචිති ඇවැත් වෙයි. උපසපන්හු කෙරෙහි විමති ඇතියේ ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනහ දනවා නම් පචිති ඇවැත් වෙයි. උපසපන්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනහ දනවා නම් පචිති ඇවැත් වේ.
කයින් කයපිළිබැදියක් පහසා නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළි බද්දෙන් කය පහසා නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළිබද්දෙන් කය පිළිබැදියක් පහසා නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පහසා නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පිළිබැදියක් පහසා නම් දුකුළා ඇවැත්වෙයි. නිසැගියෙන් නිසැගියක් පහසා නම් දුකුළා ඇවැත් වේ.
අනුපසපනක්හු කයින් කය පහසා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
කෙළනා රිසි නැතියේ නම්, කරණී ඇති කල්හි පහසා නම්, ඇවැත් නැති. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
දෙවැනි අඞ්ගුලිපතෝදක ශික්‍ෂාපද යි.
6. 6. 3.
හස්සධම්ම ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරැ වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සතළොස් වග මහණහු අචිරවතී නදියෙහි දිය කෙළිති. එසමයෙහි පසේනදි කොසොල් රජ මල්ලිකා දේවිය සමඟ මතුමහලට ගියේ වෙයි. පසේනදි කොසොල් රජ අචිරවතී නදියෙහි දිය කෙළින සතළොස් වග මහණුන් දුටුවේ ය. දැකැ මල්ලිකා දේවියට තෙල කී යැ: “මල්ලිකාවෙනි, තොපගේ තෙලෙ රහත්හු ජලක්‍රීඩා කෙරෙති යි. මහරජ, නිසැකයෙන් මැ භාග්‍යවතුන් වහන්සේ විසින් සිකපද නො පනවන ලද්දේ වන. ඒ භික්‍ෂූහු ද සිකපද පනවන ලද බව නො දන්නෝ හෝ වෙතැ යි.
2. ඉක්බිති පසේනදි කොසොල් රජහට තෙල සිත විය. “මම් මේ මහණුන් දිය කෙළියෙහි යෙදුණු බව භාග්‍යවතුන් වහන්සේට නො දන්වන්නෙම් කවර නම් උපායෙකින් උන්වහන්සේත් මෙය දැනගන්නා සේක්” දැ යි. එකල්හි පසේනදි කොසොල් රජ තෙමේ සතළොස් වග මහණුන් කැඳවා “වහන්ස, මේ ගුළපිඬ භාග්‍යවතුන් වහන්සේට දෙනු මැනැවැ” යි ඔවුනට මහත් ගුළපිඬක් දුන්නේ යි. සතළොස්වග මහණහු ඒ ගුළපිඬ රැගෙන භාග්‍යවතුන් වහන්සේ වෙතැ එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහු. “වහන්ස, මේ ගුළපිඬ පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට දේ” යැ යි. මහණෙනි, රජ තෙමේ තොප කොහි දී දිටී දැ යි. භාග්‍යවතුන් වහන්ස: අචිරවතී නදියෙහි දිය කෙළනා කල්හි යැ. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දිය කෙළියහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
දියෙහි කෙළෙනා සැහැවියෙහි පචිති වේ ය යි.
3. උදකෙ හස්සධම්ම නම්: ගොප් ඇටයෙන් මතු දියෙහි කෙළනා රිසි ඇති වැ ගැලේ නම් හෝ නැඟේ නම් හෝ පිහිනා නම් හෝ පචිති ඇවැත් වේ.
දිය කෙළනා සැහැවියෙහි කෙළනා සැහැවි සන් ඇතියේ නම් පචිති ඇවැත් වෙයි. දිය කෙළනා සැහැවියෙහි විමති ඇතියේ නම් පචිති ඇවැත් වෙයි. දිය කෙළනා සැහැවියෙහි නො කෙළනා සැහැවි සන් ඇතියේ නම් පචිති ඇවැත් වෙයි.
ගොප්ඇටයෙන් යටැ දියෙහි කෙළනේ නම් දුකුළා ඇවැත් වෙයි. දියෙහි නැවෙකැ කෙළනේ නම් දුකුළා ඇවැත් වෙයි. අතින් හෝ පයින් හෝ කැටින් හෝ කැබිලිත්තෙන් හෝ දියට පහරදෙන්නේ නම් දුකුළා ඇවැත් වෙයි. බඳුනෙහි වූ දිය හෝ කැඳ හෝ කිරි හෝ මෝරු හෝ රඳන් හෝ මූ හෝ මඩ හෝ කෙළනේ නම් දුකුළා ඇවැත් වෙයි.
දියෙහි නො කෙළනා සැහැවියෙහි කෙළනා සැහැවිසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. දියෙහි නො කෙළනා සැහැවියෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. දියෙහි නො කෙළනා සැහැවියෙහි නො කෙළනා සැහැවිසන් ඇතියේ නම් ඇවැත් නැති.
නො කෙළනා රිසි ඇතියේ නම්, කරණී ඇති කල්හි දියට බැස ගැලේ නම් හෝ නැඟේ නම් හෝ පිහිනා නම් හෝ, පරතෙරට යමින් ගැලේ නම් හෝ නැඟේ නම් හෝ පිහිනා නම් හෝ, ආපදාවෙහි ඇවැත් නොවේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
තෙවැනි හස්සධම්ම ශික්‍ෂාපද යි.
6. 6. 4.
අනාදරිය ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් ඡන්නස්ථවිර තෙමේ පනත් විකුම් කෙරෙයි භික්‍ෂූහු මෙසේ කීහු: “ඇවැත් ඡන්නයෙනි, මෙබන්දක් නහමක් කරන්නැ, තෙල නො කැප යැ” යි. හෙ අනදර බව පිණිස කෙරේ මැ යි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරවත්: “කෙසේ නම් ආයුෂ්මත් ඡන්න ස්ථවිර තෙමේ අනදරබව කෙළේ දැ” යි ... සැබෑද ඡන්න, තෙපි අනදර බව කරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරැහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි අනදර බව කළහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු:
අනදරබව කිරීමෙහි පචිති වේ යයි.
2. අනාදරිය නම්: අනාදරිය දෙකෙකි: පුද්ගලානාදරිය ද ධර්‍මානාදරිය දැ යි.
පුද්ගලානාදරිය නම්: “උපසපනක්හු, විසින් පනවන ලද සිකපදයෙකින් කියනු ලබන්නේ “මෙතෙම උක්ඛිත්තයෙකැ යි හෝ අවමන් ලද්දෙකැ යි හෝ ගැරහුම් ලද්දෙකැ යි හෝ වෙයි. මොහුගේ වචනය නො කළයුතු වන්නේ” ය යි අනදරබව කෙරේ නම් පචිති ඇවැත් වේ.
ධර්‍මානාදරිය නම්: උපසපනක්හු, විසින් පනවන ලද සිකපදයෙකින් කියනු ලබන්නේ “මේ ධර්‍මය කෙසේ නැසෙන්නේ හෝ වැනසෙන්නේ හෝ අතුරුදන් වන්නේ හෝ වේ” දැ යි ඒ පනවන ලදුයෙහි නො හික්මෙනු කැමැත්තේ අනදරබව කෙරේ නම් පචිති ඇවැත් වේ.
උපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ අනදරබව කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ අනදරබව කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ අනදරබව කෙරේ නම් පචිති ඇවැත් වේ.
උපසපනක්හු විසින් නො පනවන ලද්දෙකින් (සූත්‍රයෙහි හෝ අභිධර්‍මයෙහි හෝ ආයෙකින්) කියනු ලබන්නේ “මෙය සලේපැවැත්මට කෙලෙස් කැපීමට පැහැදුම් එළවීමට නිවනට වැර ඇරැඹුමට නො පවතී” ය යි අනදරබව කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
අනුපසපනක්හු විසින් පනවන ලද්දෙකින් හෝ නොපනවන ලද්දෙකින් හෝ කියනු ලබන්නේ “මෙය සලේපැවැත්මට කෙලෙස් කැපීමට පැහැදුම් එළවීමට නිවනට වැර ඇරඹුමට නො පවතී” ය යි අනදරබව කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
අපගේ ගුරුවරුන්ගේ උගැන්ම අර්‍ත්‍ථකථනය මෙසේ යැ යි බෙණේ නම් ඇවැත් නො වේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
සිව්වැනි අනාදරිය ශික්‍ෂාපද යි.
6. 6. 5.
භිංසාපනක ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු සතළොස්වග මහණුන් බිය ගන්වති. ඔහු බිය ගන්වනු ලබන්නාහු හඬති. භික්‍ෂූහු මෙසේ කීහු: “කුමකට ඇවැත්නි, තෙපි හඬවු” දැ යි. ඇවැත්නි, මේ සවග මහණහු අප බිය ගන්වති යි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණෝ මහණක්හු බිය ගැන්වූහු” දැ යි ... සැබෑද? මහණෙනි, තෙපි මහණක්හු බිය ගන්වහු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි තෙපි මහණක්හු බිය ගැන්වූවහු ද, හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේත් මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් මහණක්හු බිය ගන්වා නම් පචිති වේ ය යි.
2. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. භික්ඛුං: අන් මහණක්හු:
හිංසාපෙය්‍ය: උපසපනෙක් උපසපනක්හු බිය ගන්වනු කැමැත්තේ රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්‍ධයක් හෝ රසයක් හෝ ස්ප්‍රෂ්ටව්‍යයක් හෝ එළවයි. හේ බිය වේ නම් හෝ නො බිය වේ නම් හෝ පචිති ඇවැත් වෙයි. සොරකතරක් හෝ වල්කතරක් හෝ නොමිනිස් කතරක් හෝ කියයි. හේ බිය වේ නම් හෝ නො බිය වේ නම් හෝ පචිති ඇවැත් වේ.
උපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ බියගන්වා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ බියගන්වා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ බියගන්වා නම් පචිති ඇවැත් වේ.
අනුපසපනක්හු බියගන්වනු කැමැත්තේ රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්‍ධයක් හෝ රසයක් හෝ ස්ප්‍රෂ්ටව්‍යයක් හෝ එළවයි. හේ බිය වේ නම් හෝ නො බිය වේ නම් හෝ දුකුළා ඇවැත් වෙයි. සොරකතරක් හෝ වල්කතරක් හෝ නොමිනිස් කතරක් හෝ කියා ද හේ බිය වේ නම් හෝ නො බිය වේ නම් හෝ දුකුළා ඇවැත් වේ.