නො යහන්ගෙයි යහන්ගෙයෙකැ යන සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො යහන්ගෙයි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො යහන්ගෙයි නො යහන්ගෙයෙකැ යන සන් ඇතියේ නම් ඇවැත් නැති.
මහත් යහන්ගෙයි දොරබාවෙහි අත්පස නො හැරපියා හිඳී නම්, කුඩා යහන්ගෙයි ගෙමැද නො ඉක්මවා හිඳී නම්, මහණක්හු දෙවැනි කොට ඇතියේ වේ නම්, දෙදෙන නික්මුණාහු වෙත් නම්, දෙදෙන පහකළ රාගඇතියෝ නම්, නො යහන්ගෙයි නම්, ඇවැත්නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
තෙවැනි සභෝජන ශික්‍ෂාපදයි.
6. 5. 4.
පඨමරහෝනිසජ්ජ ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහු ගේ ජේතවන නම් අරම්හි වැඩ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර යහළුවාගේ ගෙට ගොස් ඔහුගේ ඇඹේණිය සමඟ නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හුන්නේ යැ. එකල්හි ඒ පුරුෂ තෙමේ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි. “කෙසේ නම් ආර්‍ය්‍ය උපනන්‍ද මාගේ ඇඹේණිය සමග නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හිඳීම කරන්නේ” දැයි.
2. භික්‍ෂූහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ පුරුෂයාගේ (අකීර්තිශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂූ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර මාගමක සමග නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හිඳීම කෙළේ” දැයි .... “සැබෑ ද උපනන්‍දයෙනි, තෙපි මාගමක සමග නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ නිසද්‍යා කළවු දැයි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂය! තෙපි මාගමක සමග නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හුන්නහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් මාගමක සමග නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ නිසද්‍යා කරන්නේ නම් පචිති වේ යයි.
3. යො පන: යම් යම්බඳු ... භික්ඛු: ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
මාතුගාම නම්: මිනිස්මාගම යි. යකිනි නො වෙයි. ප්‍රේතී නො වෙයි. තිරිසන්ගිය මාගම නො වෙයි. යටත් පිරිසෙයින් එදවස උපන්නා වූ ද දැරිය යි. වැඩිහිටියක ගැන කියනුම කවරේ ද?
සද්ධිං: එක්වැ;
රහෝ නම්: ඇසට නො හමු යැ, කනට නො හමු යැ, ඇසට නො හමුව නම්; ඇස හෝ කසනු ලබන කල්හි බැම හෝ නඟනු ලබන කල්හි හිස හෝ ඔසවනු ලබන කල්හි බලන්නට නො හැකි වෙයි. කනට නො හමුව නම්; පියවිබස් අසන්නට නො හැකි වෙයි.
පටිච්ඡන්න නම්: අසුන භිත්තියෙන් හෝ කවුළුයෙන් දොපියනින් හෝ කළාල යෙන් හෝ කඩතුරායෙන් හෝ රුකින් හෝ ටැඹෙන් හෝ කොතැලියෙන් හෝ යම් කිසිවෙකින් පිළිසන් වූයේ වෙයි.
නිසජ්ජං කප්පෙය්‍ය: මාගම හුන් කල්හි මහණ වෙතැ හුන්නේ හෝ වෙතැ හොත්තේ හෝ වේ නම් පචිති ඇවැත් වෙයි. මහණ හුන් කල්හි මාගම වෙතැ හුන්නේ හෝ වෙතැ හොත්තේ හෝ වේ නම් පචිති ඇවැත් වෙයි. දෙදෙන මැ හුන්නාහු වෙත් නම් හෝ දෙදෙන මැ හොත්තාහු වෙත් නම් හෝ පචිති ඇවැත් වේ.
මාගම කෙරෙහි මාගමක යන සන් ඇතියේ නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හිඳී නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි විමති ඇතියේ නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හිඳී නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි නො මාගමකයන සන් ඇතියේ නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ නිසද්‍යා කෙරේ නම් පචිති ඇවැත් වේ.
යකින්නක සමග හෝ ප්‍රේතියක සමග හෝ පණ්ඩකයක්හු සමඟ හෝ තිරිසන්ගිය මිනිස්සිරිරි දරන ඉතිරියක සමඟ හෝ නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ නිසද්‍යා කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
නො මාගම කෙරෙහි මාගමක යන සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නොමාගම කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නොමාගම කෙරෙහි නොමාගමක යන සන් ඇතියේ නම් ඇවැත් නැති.
යම් කිසිදු දැනුමැති පිරිමි දෙවැන්නෙක් වේ නම්, සිටී නම් නො හිඳී නම්, නොරඹුරෙහි, ලෝකාස්වාදරති නැතියේ නම්, අනෙකක් කරනුයේ හිඳී නම් ඇවැත් නැති උම්මත්තකය හට ආදිකම්මිකය හට ඇවැත් නැති.
සිව්වැනි පඨමරහෝනිසජ්ජ ශික්‍ෂාපද යි.
6. 5. 5.
දුතියරහෝ නිසජ්ජ ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර එකලා වූයේ යහළුවාගේ ගෙට ගොස් ඔහුගේ එකලා වූ ඇඹේණිය සමඟ නොරඹුරෙහි නිසද්‍යා කෙළේ යැ. එකල්හි ඒ පුරුෂ තෙමේ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් ආර්‍ය උපනන්‍ද එකලා වූයේ මාගේ එකලා වූ ඇඹේණිය සමග නොරඹුරෙහි නිසද්‍යා කෙළේ” දැයි.
2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ පුරුෂයාගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහ. යම් භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර එකලා වූයේ එකලා වූ මාගමක සමග නොරඹුරෙහි නිසද්‍යා කෙළේ” දැයි ... “සැබෑ ද උපනන්‍දයෙනි, තෙපි එකලා වැ එකලා වූ මාගමක සමග නොරඹුරෙහි නිසද්‍යා කළහු දැයි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ සේක ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි එකලා වැ එකලා වූ මාගමක සමඟ නොරඹුරෙහි නිසද්‍යා කළහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන් ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු.
යම් මහණෙක් එකලා වූයේ එකලා වූ මාගමක සමග නොරඹුරෙහි නිසද්‍යා කරන්නේ නම් පචිති වේ යැයි.
3. යො පන: යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
මාතුගාම නම්: මිනිස්මාගම යි, යකිනි නො වෙයි, ප්‍රේතී නො වෙයි, තිරිසන්ගිය මාගම නො වෙයි. සුබැසි දුබැසි දුළුල් නො දුළුල් තෙපුල් දන්නට ප්‍රතිබල දැනුමැත්තී යි.
සද්ධිං: එක් වැ
ඒකෝ ඒකාය: මහණ ද වෙයි, මාගම ද වෙයි.
රහෝ නම්: ඇසට නො හමු යැ, කනට නො හමු යැ, ඇසට නො හමුව නම්: ඇස හෝ කසනු ලබන කල්හි බැම හෝ නඟනු ලබන කල්හි හිස හෝ ඔසවනු ලබන කල්හි බලන්නට නො හැකි වෙයි. කනට නො හමුව නම්: පියවිබස් අසන්නට නො හැකි වෙයි.
නිසජ්ජං කප්පෙය්‍ය: මාගම හුන් කල්හි මහණ වෙතැ හුන්නේ හෝ වෙතැ හොත්තේ හෝ වේ නම් පචිති ඇවැත් වෙයි. මහණ හුන් කල්හි මාගම වෙතැ හුන්නී හෝ වෙතැ හොත්තී හෝ වේ නම් පචිති ඇවැත් වෙයි. දෙදෙන මැ හුන්නා හු හෝ දෙදෙන මැ හොත්තාහු හෝ වෙත් නම් පචිති ඇවැත් වේ.
මාගමකෙරෙහි මාගමක යන සන් ඇතියේ එකලා වූයේ එකලා වූවක සමඟ නොරඹුරෙහි හිඳී නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි විමති ඇතියේ එකලා වූයේ එකලා වූවක සමග නොරඹුරෙහි හිඳී නම් පචිති ඇවැත් වෙයි. මාගමක කෙරෙහි නොමාගම් සන් ඇතියේ එකලා වූයේ එකලා වූවක සමඟ නොරඹුරෙහි හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වේ.
එකලා වූයේ එකලා වූ යකින්නක හෝ ප්‍රේතියක හෝ පණ්ඩකයක්හු හෝ තිරිසන්ගිය මිනිස් සිරිරි දරන ඉතිරියක හෝ සමඟ නොරඹුරෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
නොමාගම කෙරෙහි මාගමක යන සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නොමාගම කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො මාගම කෙරෙහි නොමාගමක යන සන් ඇතියේ නම් ඇවැත් නැති.
යම් කිසිදු දැනුමැති පිරිමි දෙවැන්නෙක් වේ නම්, සිටී නම්, නො හිඳී නම්, නොරඹුරෙහි, ලෝකාස්වාදරතියක් නැතියේ නම්, අනෙකක් කරනුයේ හිඳී නම් ඇවැත් නැත. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
පස්වැනි දුතිය රහෝනිසජ්ජ ශික්‍ෂාපද යි.
6. 5. 6.
චාරිත්ත ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්‍දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩැ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයාගේ උපස්ථායක කුලය ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයහට බතින් පැවැරී යැ. අන්‍ය භික්‍ෂූනුදු බතින් පැවැරී යැ. එසමයෙහි වනාහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර පෙරබත්හි කුලයන් ඇසිරි කෙරෙයි. එකල්හි ඒ භික්‍ෂූහු ඒ මිනිසුනට මෙය කීහු; ‘ඇවැත්නි, බත් දෙව’ යි. ස්වාමීනි, ආර්‍ය්‍ය උපනන්‍ද වහන්දැ පැමිණෙන තාක් පොරොත්තු වනු මැනැවැ යි. දෙවන වට දු ඒ භික්‍ෂූහු ... තෙවන වට දු ඒ භික්‍ෂූහු ඒ මිනිසුනට මෙය කීහු. “ඇවැත්නි! බත් දෙවු, පෙරවරු ඉක්මැ යේ යැ යි ස්වාමීනි, ඇපි යම් හෙයෙකින් ආර්‍ය්‍ය උපනන්‍ද හිමිහු කරුණු කොට ගෙන බත කළමෝ ද? එහෙයින් ආර්‍ය්‍ය උපනන්‍ද වහන්දැ පැමිණෙන තාක් වහන්ස, පොරොත්තුවනු මැනැවැයි.
2. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර පෙරබත්හි කුලයන් ඇසිරි කොට දහවල්හි පැමිණියේ යැ. භික්‍ෂූහු සිත්සේ නො වැළඳූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්; “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර නිමතන ලදුයේ බොජුන් සහිත වූයේ මැ පෙරබත්හි කුලයන්හි හැසිරීමට පැමිණියේ” දැ යි ... සැබෑද උපනන්‍දයෙනි, තෙපි නිමතන ලදුයෙහි බොජුන් සහිත වූයෙහි මැ පෙරබත්හි කුලයන්හි හැසිරීමට පැමිණියෙහි දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ සේක ... කෙසේ නම් හිස් පුරුෂය! තෙපි නිමතන ලදුයෙහි බොජුන් සහිත වූයෙහි මැ පෙරබත්හි කුලයන්හි හැසිරීමට පැමිණියෙහි ද? හිස් පුරුෂය! මෙය අප්‍රසන්නගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි! මේ සිකපදය උදෙසවු.
යම් මහණෙක් පවරන ලදුයේ බොජුන් සහිත වූයේ මැ පෙරබත්හි කුලයන්හි හැසිරීමට පැමිණෙන්නේ නම් පචිති වේ ය යි.
මෙසේත් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි වනාහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයාගේ උපස්ථායකකුලයෙක් සඞ්ඝයාගේ ප්‍රයෝජනය පිණිස “ආර්‍ය්‍ය උපනන්‍ද තෙරුනට දක්වා සඟනට දියයුතු” යැයි කෑ යුතු දැය එවී යැ. එසමයෙහි වනාහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර ගමට පිඬු පිණිස පිවිසියේ වෙයි. එකල්හි ඒ මිනිස්සු ආරාමයට ගොස් “ස්වාමීනි, ආර්‍ය්‍ය උපනන්‍ද වහන්දැ කොහි” දැයි මහණුන් පිළිවිසියහ. ඇවැත්නි, තෙලෙ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර ගමට පිඬු පිණිස පිවිසියේ යි. ස්වාමීනි, මේ කෑයුතු දැය ආර්‍ය්‍ය උපනන්‍ද වහන්දෑහට දක්වා සඟනට දිය යුතු යි. තෙල කරුණ භාග්‍යවතුන්හට දැන්වූහ. එසේ නම් මහණෙනි, උපනන්‍ද පැමිණෙන තුරු පිළිගෙන තැන්පත් කොට තබවු.
4. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර පෙරබත්හි කුලයන්හි හැසිරීම භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරණ ලදැ යි පසුබත්හි කුලයන් ඇසිරි කොට දහවල්හි පෙරළා පැමිණියේ යි. කෑ යුතු දැය පෙරළා ගෙනැ ගියහ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර පසුබත්හි කුලයන්හි හැසිරීමට පැමිණියේ” දැ යි ... සැබෑද උපනන්‍ද, තෙපි පසුබත්හි කුලයන්හි හැසිරීමට පැමිණියවු දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස! භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෝ පසුබත්හි කුලයන්හි හැසිරීමට පැමිණියෙහි ද? හිස් පුරුෂය! මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි! මේ සිකපදය උදෙසවු.
යම් මහණෙක් නිමතන ලදුයේ බොජුන් සහිත වූයේ මැ පෙරබත්හි හෝ පසු බත්හි කුලයන්හි හැසිරීමට පැමිණේ නම් පචිති වේ යැ යි.
මෙසේත් භාග්‍යවතුන් විසින් මේ සිකපදය භික්‍ෂූන්හට පනවන ලද්දේ වෙයි.
5. එසමයෙහි භික්‍ෂූහු සිවුරු දෙන සමයෙහි කුකුස් කරන්නාහු කුලයන් ඇසිරි නො කෙරෙති. මඳ සිවුරෙක් උපදී. තෙල කරුණ භාග්‍යවතුන්හට දැන්වූහ ... “මහණෙනි! සිවුරු දෙන සමයෙහි කුලයන් ඇසිරි කරන්නට අනුදනිමි.” මෙසේ ද මහණෙනි! මේ සිකපදය උදෙසවු.
යම් මහණෙක් නිමන්ත්‍රණ ලදුයේ බොජුන් සහිත වූයේ මැ සුදුසු සමය තබා පෙරබත්හි හෝ පසුබත්හි කුලයන්හි හැසිරීමට පැමිණේ නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි, සිවුරු දෙන සමය යැ, මේ එහි සුදුසු සමය යි.
මෙසේ භාග්‍යවතුන් විසින් මේ සිකපදය භික්‍ෂූන්හට පනවන ලද්දේ වෙයි.
6. එසමයෙහි භික්‍ෂූහු සිවුරුකම් කෙරෙති. හිදියෙනුදු හුයෙනුදු සැතිනුදු ප්‍රයෝජන වෙයි. භික්‍ෂූහු කුකුසනුවෝ කුලයන් ඇසිරි නො කෙරෙති. තෙල කරුණ භාග්‍යවතුන්හට දැන්වූහ ... “මහණෙනි! සිවුරු කරන සමයෙහි කුලයන් ඇසිරි කරන්නට අනුදනිමි.” මෙසේ ද මහණෙනි! මේ සිකපදය උදෙසවු.
යම් මහණෙක් නිමන්ත්‍රණ ලදුයේ බොජුන් සහිත වූයේ මැ සුදුසු සමය තබා පෙර බත්හි හෝ පසුබත්හි කුලයන්හි හැසිරීමට පැමිණේ නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි. සිවුරු දෙන සමය යැ සිවුරු කරන සමය යැ. මේ එහි සුදුසු සමය යි.
මෙසේත් භාග්‍යවතුන් විසින් මේ සිකපදය භික්‍ෂූන්හට පනවන ලද්දේ වෙයි.
7. එසමයෙහි වනාහි භික්‍ෂූහු ගිලන්වූවෝ වෙති. බෙහෙදින් ප්‍රයෝජන වෙයි. භික්‍ෂූහු කුකුස්කරනුවෝ කුලයන් ඇසිරි නො කෙරෙති. තෙල කරුණ භාග්‍යවතුන් හට දැන්වූහ ... “මහණෙනි, ඇති මහණක්හු පිළිවිසැ කුලයන් ඇසිරි කරන්නට අනුදනිමි.” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු.
යම් මහණෙක් නිමතන ලදුයේ බොජුන් සහිත වූයේ මැ සුදුසු සමය තබා ඇති මහණක්හු නො පිළිවිසැ පෙරබත්හි හෝ පසුබත්හි හෝ කුලයන්හි හැසිරීමට පැමිණේ නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි: සිවුරු දෙන සමය යැ සිවුරු කරන සමය යැ, මේ එහි සුදුසු සමය යි.
8. යො පන: යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
නිමන්තිත නම්: පස් බොජුනෙන් එක්තරා බොජුනෙකින් නිමතන ලදුයේ;
සහත්ත නම්: යමෙකින් නිමන්තන ලදුයේ නම් එයින් බොජුන් සහිත වූයේ;
සන්ත භික්ඛු නම්: පිළිවිසැ පිවිසෙන්නට හැකියේ වෙයි. අසන්ත භික්ඛු නම්: පිළිවිසැ පිවිසෙන්නට නො හැකියේ වෙයි.
පුරේභත්ත නම්: යමකින් නිමන්ත්‍රණ කරන ලදුයේ නම් එය නො වැළඳූයේ,
පචඡාභත්ත නම්: යමකින් නිමන්ත්‍රණ කරන ලදුයේ නම් යටත් පිරිසෙයින් අරුණ නැඟීමෙහිදු වළඳන ලදුයේ වෙයි.
කුල නම්: ක්‍ෂත්‍රියකුල යැ බ්‍රාහ්මණකුල යැ වෛශ්‍යකුල යැ ශුද්‍ර කුල යැයි කුල සතරෙකි.
කුලෙසු චාරිත්තං ආපජ්ජෙය්‍ය යනු: අනෙකක්හුගේ ගෘහොපචාරයට බස්නාහට දුකුළා ඇවැත් වෙයි. පළමු පය එළිපත ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි. දෙවන පය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
අඤ්ඤත්‍ර සමයා; සුදුසු සමය තබා,
චීවරදාන සමය නම්: කෙළින් නො අතුළ කල්හි වසන්හි පැසුළු මස යි, කෙළින් අතුළ කල්හි පස් මස යි.
චීවරකාර සමය නම්: සිවුරක් කරනු ලබන කල්හි.
නිමතන ලදුයෙහි නිමතනලද සන් ඇතියේ විද්‍යමාන මහණක්හු නො පිළිවිසැ සුදුසු සමය තබා පෙරබත්හි හෝ පසුබත්හි හෝ කුලයන්හි හැසිරීමට පැමිණේ නම් පචිති ඇවැත් වෙයි. නිමතන ලදුයෙහි විමති ඇතියේ විද්‍යමාන මහණක්හු නො පිළිවිසැ සුදුසු සමය තබා පෙරබත්හි හෝ පසු බත්හි හෝ කුලයන්හි හැසිරීමට පැමිණේ නම් පචිති ඇවැත් වෙයි. නිමතන ලදුයෙහි නො නිමතනලද සන් ඇතියේ විද්‍යමාන මහණක්හු නො පිළිවිසැ සුදුසු සමය තබා පෙරබත්හි හෝ පසුබත්හි හෝ කුලයන්හි හැසිරීමට පැමිණේ නම් පචිති ඇවැත් වේ.
නො නිමතන ලදුයෙහි නිමතනලද සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො නිමතන ලදුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො නිමතන ලදුයෙහි නො නිමතනලද සන් ඇතියේ නම් ඇවැත් නැති.
සුදුසු සමයෙහි ඇති මහණක්හු පිළිවිසැ පිවිසේ නම්, නැති මහණක්හු නො පිළිවිසැ පිවිසේ නම් අනෙකක්හුගේ ගෙයින් මග වේ නම්, ගෙහි උවසරින් මග වේ නම්, අන් අරමකට යේ නම්, මෙහෙණවරකට යේ නම්, තීර්‍ත්‍ථක සෙනසුනකට යේ නම්, අසුන්හලට යේ නම්, බොජුන් දෙන ගෙට යේ නම්, ආපදාවෙහි ඇවැත් නොවේ, උම්මත්තකය හට ආදිකම්මිකය හට ඇවැත් නැති.
සවැනි චාරිත්තශික්‍ෂාපද යි.
6.5. 7.
මහානාම ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් නුවරැ නුගඅරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි මහානාම ශාක්‍යයනට බෙහෙත් බහුල වෙයි. එකල්හි මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන්නා වූ මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන්හට මෙය කීයැ: “ස්වාමීනි, මම සඟනට සිවුමස මුළුල්ලෙහි බෙහෙදින් පවරන්නට කැමැත්තෙමි” යි මැනැවි මැනැවි මහානාම, එසේ නම් මහානාම තෙපි සඟනට සිවුමස මුළුල්ලෙහි බෙහෙදින් පවරව යි භික්‍ෂූහු කුකුස්ඇතියාහු නො ඉවසත්. භාග්‍යවතුන් හට තෙල කරුණ දැන්වූහ ... “මහණෙනි, සිවුමසකට ගිලන්පස පැවරීම ඉවසන්නට අනුදනිමි” යි.
2. එසමයෙහි වනාහි භික්‍ෂූහු මහානාම ශාක්‍යයන්ගේ මඳ බෙහෙදක් විනවත්. එපරිද්දෙන් මැ මහානාම ශාක්‍යයහට බෙහෙත් බහුල වෙයි. දෙවනවටදු මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් හට මෙය කී යැ: “ස්වාමීනි, මම අනෙකුදු සිවුමසක් මුළුල්ලෙහි සඟහු බෙහෙදින් පවරන්නට කැමැත්තෙමි” යි මැනැවි මැනැවි මහානාමයෙනි! එසේ වී නම් මහානාමයෙනි, තෙපි අනෙකුදු සිවුමසක් මුළුල්ලෙහි සඟහු බෙහෙදින් පවරව යි. භික්‍ෂූහු කුකුස්කරනුවෝ නො ඉවසත්. භාග්‍යවතුන් හට තෙල කරුණු දැන්වූහ ... “මහණෙනි, වටාලා පැවරීමකුදු ඉවසන්නට අනුදනිමි” යි.
3. එසමයෙහි භික්‍ෂූහු මහානාම ශාක්‍යයාගෙන් මඳ වූ ම බෙහෙත් විනවත්. එපරිද්දෙන් මැ මහානාම ශාක්‍යයහට බෙහෙත් බහුල වෙයි. තෙවනවටදු මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් හට මෙය කී යැ: “ස්වාමීනි, මම දිවිහිමියෙන් සඟහු බෙහෙදින් පවරන්නට කැමැත්තෙමි” යි මැනැවි මැනැවි මහානාමයෙනි, එසේ වී නම් මහානාමයෙනි, තෙපි දිවිහිමියෙන් සඟහු බෙහෙදින් පවරව යි. භික්‍ෂූහු කුකුස්ඇත්තෝ නො ඉවසත්. භාග්‍යවතුන් හට තෙල කරුණ දැන්වූහ ... “මහණෙනි! නිති පැවරීම ද ඉවසන්නට අනුදනිමි” යි.
4. එසමයෙහි වනාහි සවග මහණහු නොසකස් කොට හැදැ පෙරෙවියාහු නො සරිලන පැවතුම් ඇතියාහු වෙති. මහානාම ශාක්‍ය තෙමේ මෙසේ දොස් නඟා කියන්නේ වෙයි: “වහන්ස, කුමට නුඹවහන්දෑ නො මනා වැ හැදැ පෙරෙවියාහු නො සරිලන පැවැතුම් ඇතියාහු වූ දෑද? පැවිද්දහු විසින් මොනවට හැදැ පෙරෙව ආකල්ප සම්පන්න වියයුතු නොවේ දැ” යි. සවග මහණහු මහානාම ශාක්‍යයන් කෙරෙහි වෙර බැඳියහ. එකල්හි සවග මහණුන්හට මෙසිත විය: “ඇපි කිනම් උපායයෙකින් මහානාම ශාක්‍යයන් මකු කරන්නමෝ දැ” යි. එකල්හි සවග මහණුන්හට මෙසිත විය: “ඇවැත්නි, මහානාම ශාක්‍යයන් විසින් බෙහෙදින් සඞ්ඝයා පවරනලද්දේ යැ, එබැවින් ඇවැත්නි, ඇපි මහානාම ශාක්‍යයන්ගෙන් ගිතෙල් විනවම්හ” යි.
5. ඉක්බිති සවග මහණහු මහානාම ශාක්‍යයන් වෙතැ එළැඹියහ. එළැඹැ මහානාම ශාක්‍යයන්ට මෙය කීහු: “ඇවැත්නි, ගිතෙල් ද්‍රෝණයකින් ප්‍රයෝජන වේ” යයි. ස්වාමීනි, අද දවස පොරොත්තු වනු මැනැවි, මිනිස්සු ගිතෙල් ගෙනැ එන්නට ගොවුදට ගියහ. කල් ගනු මැනැවැයි.
දෙවනවටදු ... තෙවනවටදු සවග මහණහු මහානාම ශාක්‍යයන්ට මෙය කීහු: “ඇවැත්නි, ගිතෙල් දොණයකින් ප්‍රයෝජන වේ” යැයි. ස්වාමීනි, අද දවස පොරොත්තු වනු මැනැවි, මිනිස්සු ගිතෙල් ගෙන එන්නට ගොවුදට ගියහ. කල් ගනු මැනැවැයි. ඇවැත්නි, තෙපි යමක් පවරා නො දෙවු නම් නො දෙනු කැමැති තොප විසින් පවරන ලද්දෙන් කවර වැඩෙක් වේ දැයි.
6. ඉක්බිති මහානාම ශාක්‍ය ලමු කොට සිතයි. නුගුණ පවසයි. දොස් පතුරුවයි. “කෙසේ නම් හිමිවරු ස්වාමීනි, අද දවස පොරොත්තුවනු මැනැවැයි කියනු ලබන්නාහු පොරොත්තු නො වූහු” දැයි. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන මහානාම ශාක්‍යයන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු යම් භික්‍ෂු කෙනෙක් අපිස්වූවාහු ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරවත්. “කෙසේ නම් සවග මහණහු මහානාම ශාක්‍යයන් විසින් “ස්වාමීනි, අද දවස පොරොත්තු වනු මැනැවැ”යි කියනු ලබන්නාහු පොරොත්තු නො වූහුදැ”යි ... සැබෑ ද මහණෙනි, තෙපි මහානාම ශාක්‍යයන් විසින් “ස්වාමීනි, අද දවස පොරොත්තු වනු මැනැවැ”යි කියනු ලබන්නාහු පොරොත්තු නොවවුදැයි සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි තෙපි මහානාම ශාක්‍යයන් විසින් “ස්වාමීනි, අද දවස පොරොත්තු වනු මැනැවැ”යි කියනු ලබන්නාහු පොරොත්තු නො වූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන් ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු.
නො ගිලන් මහණහු විසින් සිවුමසකට ගිලන්පසයෙන් පැවරීම ඉවසිය යුතු යි. වටාලා සිවුමසකට පැවරීම තබා නිති පැවැරීම තබා ඉදින් ඉන් මත්තෙහි ඉවසන්නේ නම් පචිති වේ යැයි.
7. අගිලානෙන භික්ඛුනා චාතුමාසප්පච්චයපවාරණා සාදිතබ්බා: ගිලන්පසයෙන් පැවැරීම ඉවසිය යුතු යි.
පුන පවාරණාපි සාදිතබ්බා: යම් දිනෙකැ ගිලනෙකිම් වන්නෙම් නම් එදිනැ විනවන්නෙමි යි;
නිච්චපවාරණාපි සාදිතබ්බා: යම් දිනෙක ගිලනෙකිම් වන්නෙම් නම් එදිනැ විනවන්නෙමැයි:
තතො චෙ උත්තරිං සාදියෙය්‍ය; බෙහෙත් පිරියත් කොට ඇති රෑ පිරියත් කොට නැති පැවැරීමෙක් ඇත, රෑ පිරියත් කොට ඇති බෙහෙත් පිරියත් කොට නැති පැවැරීමෙක් ඇත, බෙහෙතුත් පිරියත් කොට ඇති රෑත් පිරියත් කොට ඇති පැවැරීමෙක් ඇත, බෙහෙතුත් පිරියත් කොට නො මැති රෑත් පිරියත් කොට නැති පැවැරීමෙක් ඇති.
භේසජ්ජ පරියන්ත නම්: මෙතෙක් බෙහෙදින් පවරමැයි බෙහෙත්හු සලකා ගන්නා ලද්දහු වෙති. රත්තිපරියන්ත නම්: මෙතෙක් රාත්‍රීන්හි පවරමැයි රාත්‍රීහු සලකා ගන්නා ලද්දහු වෙති. භේසජ්ජපරියන්ත හා රත්තිපරියන්ත නම්: මෙතෙක් බෙහෙදින් මෙතෙක් රාත්‍රීන්හි පවරමැයි බෙහෙතුත් සලකා ගන්නා ලද්දාහු වෙති. රාත්‍රීහුත් සලකා ගන්නා ලද්දාහු වෙති. නේව භේසජ්ජපරියන්ත න රත්තිපරියන්ත නම්: බෙහෙතුත් නො සලකා ගන්නා ලද්දාහු වෙති, රාත්‍රීහුත් නො සලකා ගන්නා ලද්දාහු වෙති.
බෙහෙත් පිරියත්හි: යම් බෙහෙතකින් පවරන ලද්දේ වේ නම් ඒ බෙහෙත් තබා අන් බෙහෙත් විනවා නම් පචිති ඇවැත් වෙයි. රෑපිරියත්හි: යම් රාත්‍රීන්හි පවරන ලද්දේ වේ නම් ඒ රාත්‍රීන් තබා අන්‍ය රාත්‍රීන්හි විනවා නම් පචිති ඇවැත් වෙයි. බෙහෙත් පිරියත්හි හා රෑපිරියත්හි: යම් බෙහෙතකින් පවරන ලද්දේ වේ නම් ඒ බෙහෙත් තබා යම් රාත්‍රීන්හි පවරන ලද්දේ වේ නම් ඒ රාත්‍රීන් තබා අන් බෙහෙත් අන්‍ය රාත්‍රීන්හි විනවා නම් පචිති ඇවැත් වේ. බෙහෙත් පිරියතක් නො මැති කල්හි රෑ පිරියතක් නැති කල්හි ඇවැත් නැති.
බෙහෙතින් කරණී නැති කල්හි බෙහෙත් විනවා නම් පචිති ඇවැත් වෙයි. අන් බෙහෙතකින් කරණී ඇති කල්හි අන් බෙහෙතක් විනවා නම් පචිති ඇවැත් වේ.
ඉන් මත්තෙහි ඉන් මතු සන් ඇතියේ බෙහෙත් විනවා නම් පචිති ඇවැත් වෙයි. ඉන් මත්තෙහි විමති ඇතියේ බෙහෙත් විනවා නම් පචිති ඇවැත් වෙයි. ඉන් මත්තෙහි ඉන් මතු සන් නැතියේ බෙහෙත් විනවා නම් පචිති ඇවැත් වේ.
ඉන් මතු නො වූයෙහි ඉන් මතු සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. ඉන් මතු නො වූයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. ඉන් මතු නො වූයෙහි ඉන්මතු සන් නැතියේ නම් ඇවැත් නැති.
යම් බෙහෙතකින් පවරන ලද්දේ නම් ඒ බෙහෙත් විනවා නම්, යම් රාත්‍රීන්හි පවරන ලද්දේ නම් ඒ රාත්‍රීන්හි විනවා නම්, තොප විසින් මේ බෙහෙතින් පවරන ලදු වම්හ අපට ද මේ මේ බෙහෙතින් ප්‍රයෝජන යැයි කියා විනවා නම්, තොප විසින් යම් රාත්‍රීන්හි පවරන ලදුමෝ නම් ඒ රාත්‍රීහුත් නො ඉක්මැ ගියෝ නම් අපට ද බෙහෙතින් ප්‍රයෝජන යැයි කියා විනවා නම්, නෑයන්ගෙන් නම්, පැවැරූවන්ගෙන් නම්, අනෙකක්හු සඳහා නම්, තමාගේ ධනයෙන් නම් ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සත්වැනි මහානාම ශික්‍ෂාපදයි.
6. 5. 8.
උය්‍යුත්තසේනා ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි ප්‍රසේනජිත් කෝශල රජ තෙමේ (රිපුසෙන් ඉදිරියට යන්නෙමැයි නුවරින්) සෙන් සමග නික්මුණේ වෙයි. සවග මහණහු යුදයට නික්මුණු සෙන් දකිනු පිණිස ගියහ. ප්‍රසේනජිත් කෝශල රජ එන්නා වූ සවග මහණුන් දුරැදී මැ දුටුයේ යි. දැකැ කැඳවා මෙය කී යැ: “කුමකට ස්වාමීනි, නුඹවහන්දැ ආදෑ දැයි. ඇපි මහරජහු දකිනු කැමැතියම්හ යි. “ස්වාමීනි, යුදයට රිසි දක්වන මා දැකීමෙන් කවර වැඩෙක් ද? භාග්‍යවතුන් වහන්සේ දැකිය යුතු සේක් නො වෙත්” දැයි.
2. මිනිස්සු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ යුදයට නික්මුණු සෙන් දකිනු පිණිස පැමිණියෝ ද? යම්බඳු ඇපි දිවෙල් හේතුයෙන් අඹුදරුවන්ගේ කාරණයෙන් සෙන් හමුවට යන්නමෝ නම් එබඳු අපට ද අලාභයෙකැ එබඳු අප විසිනුදු දුකසේ ලැබිය යුත්තෙකැ”යි. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහ. යම් භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු යුදයට නික්මුණු සෙන් දකිනු පිණිස පැමිණියෝ දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි යුදයට නික්මුණු සෙන් දකිනු පිණිස යවු දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි යුදයට නික්මුණු සෙන් දකිනු පිණිස පැමිණියහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් යුදයට නික්මුණු සෙන් දකිනු පිණිස යන්නේ නම් පචිති වේ යයි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි වනාහි එක්තරා මහණක්හු ගේ මයිලණු කෙනෙක් සේනායෙහි ගිලන් වූවාහු වෙති. හේ එමහණහු වෙත දූතයකු එවී යැ. “මම වනාහි සේනායෙහි ගිලන්වීමි, වහන්සේ වඩනා සේක්වා, ඔබගේ පැමිණීම කැමැත්තෙමැ” යි. එකල්හි එමහණට මෙ සිත විය: “යුදයට නික්මුණු සෙන් දැකීමට නො යායුතු යැයි භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට සිකපද පනවන ලද්දේ වෙයි. මේ මාගේ මයිලණුවෝ ද සේනායෙහි ගිලන් වූවාහු වෙති. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දෝ හෝ” යි. භාග්‍යවතුන් හට තෙල කරුණ දැන්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූ සේකැ. “මහණෙනි! එබඳු කරුණක් ඇති කල්හි සෙන් හමුවට යන්නට අනුදනිමි.” මෙසේ ද මහණෙනි! මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් එබඳු කරුණක් තබා යුදයට නික්මුණු සෙන් දකිනු පිණිස යේ නම් පචිති වේ යයි.
4. යො පන: යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
උය්‍යුත්තා නම්: සෙන් ගමින් නික්ම කඳවුරු බැඳ සිටියා හෝ ගියා හෝ වෙයි.
සේනා නම්: ඇත් අස් රිය පාබලයැ, දොළොස් පුරුෂ කෙනකුන් ඇති ඇතෙකැ. තුන් පුරුෂ කෙනකුන් ඇති අසෙකැ. සිව් පුරුෂ කෙනකුන් ඇති රියෙකැ දුනු හී ගත් අත් ඇති පුරුෂයෝ සතර දෙනෙකැ යන මේ පත්ති (පාබළ) නමු. දැකීමට යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියේ බලා නම් පචිති ඇවැත් වෙයි. දසුන් උවසර හැරපියා පුන පුනා බලා නම් පචිති ඇවැත් වේ.