විකාලභොජන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්‍දකනිවාප නම් වූ වේළුවන අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි රජගහ නුවරැ ගිරග්ගසමජ්ජ නම් නෘත්‍යයෙක් වෙයි. සප්තරස වර්ග්ගීය භික්‍ෂූහු ගිරග්ගසමජ්ජ නම් නෘත්‍යය බැලීමට ගියහ. මිනිස්සු සප්තරස වර්ග්ගීය භික්‍ෂූන් දැකැ නහවා විලෙවුන් ගල්වා වළඳවා කෑයුතු දෑ දුන්හ. සප්තරස වර්ග්ගීය භික්‍ෂූහු කෑයුතු දෑ ගෙනැ ආරාමයට ගොස් ෂඩ්වර්ග්ගීය භික්‍ෂූන්හට මෙය කීහු. ගනිවු ඇවැත්නි, කෑ යුතු දෑ වළඳන්නැ යි. ඇවැත්නි, තොප විසින් කොයින් කෑ යුතු දෑ ලබන ලද දැයි. සප්තරස වර්ග්ගීය භික්‍ෂූහු ෂඩ්වර්ග්ගීය භික්‍ෂූන්හට මෙකරුණ දැන්වූහ. කිමෙක් ද ඇවැත්නි, තෙපි විකාලයෙහි බොජුන් වළඳවු දැයි. එසේ යැ ඇවැත්නි. සවග මහණහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් සප්තරස වර්ග්ගීය භික්‍ෂූහු විකල්හි බොජුන් වැළඳූහු දැ” යි
2. එකල්හි සවග මහණහු භික්‍ෂූන්හට මෙකරුණ දැන්වූහ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් සප්තරස වර්ග්ගීය භික්‍ෂූහු විකල්හි බොජුන් වැළඳූහු දැයි ... සැබෑද මහණෙනි, තෙපි විකාලයෙහි බොජුන් වළඳවු දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි තෙපි විකල්හි බොජුන් වැළඳූහු දැයි. හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... තව ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු.
යම් මහණෙක් විකාලයෙහි කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති වේ යැයි.
3. යො පන: යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහිලා අදහස් කරන ලද භික්‍ෂු යි.
විකාල නම්: මද්දහන ඉක්මැ ගිය කල්හි අරුණ නැගීම දක්වා.
ඛාදනීය නම්: පස් බොජුන් ද යාමකාලිකය ද සප්තාහ කාලිකය ද යාවජීවිකය ද තබා සෙසු දෑ ඛාදනීය නම් වේ.
භෝජනීය නම්: බත් යැ, කොමු යැ, අත්සුණු යැ, දියමස් යැ, ගොඩමස් යැ යන පස් බොජුනි. කන්නෙමි වළඳන්නෙමැයි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
විකාලයෙහි විකාලසංඥා ඇතියේ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වෙයි. විකාලයෙහි විමති ඇති යේ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වෙයි. විකාලයෙහි කාලසංඥා ඇතියේ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වේ.
යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය අහර පිණිස පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වේ.
කාලයෙහි විකාලසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. කාලයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. කාලයෙහි කාලසංඥා ඇතියේ නම් ඇවැත් නැති.
යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය කරුණක් ඇති කල්හි වළඳා නම්, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
සත්වැනි විකාලභොජන ශික්‍ෂාපදයි.
6. 4. 8.
සන්නිධිකාර ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ගේ උපාධ්‍යාය වූ ආයුෂ්මත් බෙල්ලට්ඨිසීස තෙරණුවෝ ආරණ්‍යයෙහි වෙසෙති. උන්වහන්සේ පිඬු පිණිස හැසිරැ සූප ව්‍යඤ්ජනයෙන් නො මුසු බත් ආරාමයට ගෙනැ ගොස් වියළවා තබති. යම් දිනෙකැ අහරින් ප්‍රයෝජන වේ ද, එදින දියෙන් තෙම තෙමා වළඳති. බොහෝ කලෙකින් පිඬු පිණිස ගමට පිවිසෙති. භික්‍ෂූහු ආයුෂ්මත් බෙල්ලට්ඨිසීස තෙරුන්ට මෙය කීහු: ඇවැත්නි බෙල්ලට්ඨිසීසයෙනි, කුමකට තෙපි බොහෝ කලෙකින් පිඬු පිණිස ගමට පිවිසෙවු දැයි.
2. එකල්හි ආයුෂ්මත් බෙල්ලට්ඨිසීස තෙරණුවෝ භික්‍ෂූන්හට තෙල කරුණ දැන්වූහ. කිමෙක් ද? ඇවැත්නි, තෙපි තැන්පත් කොට තැබූ බොජුන් වළඳහු දැ යි. එසේ යැ ඇවැත්නි, යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආයුෂ්මත් බෙල්ලට්ඨිසීස තෙරණුවෝ තැන්පත් කොට තැබූ බොජුන් වැළඳූහු දැ” යි ... සැබෑද බෙල්ලට්ඨිසීස, තෙපි තැන්පත් කොට තැබූ බොජුන් වළඳවු දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් බෙල්ලට්ඨිසීස, තෙපි තැන්පත් කොට තැබූ බොජුන් වැළඳුවහු ද? බෙල්ලට්ඨිසීස, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් තැන්පත් කොට තැබූ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති වේ” යයි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
සන්නිධිකාරක නම්: අද පිළිගත් ආමිසය අන් දිනකට තැබීම යි.
ඛාදනීය නම්: පස් බොජුන් ද යාමකාලිකය ද සත්තාහකාලිකය ද යාවජීවිකය ද තබා සෙසු දෑ ඛාදනීය නම් වේ.
භෝජනීය නම්: බත් යැ කොමු යැ අත්සුණු යැ දියමස් යැ ගොඩමස් යැ යන පස් බොජුනි. කන්නෙමි වළඳන්නෙමැ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වේ.
තැන්පත් කොට තබන ලදුයෙහි තැන්පත් කොට තැබූ සන් ඇතියේ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වෙයි. තැන්පත් කොට තබන ලදුයෙහි විමති ඇතියේ කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වෙයි. තැන්පත් කොට තබන ලදුයෙහි නො තැන්පත් කොට තැබූ සන් ඇතියේ කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වේ.
යාමකාලිකය, සත්තාහකාලිකය, යාවජීවිකය අහර පිණිස පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි දුකුළා ඇවැත් වේ.
නො තැන්පත් කොට තබන ලදුයෙහි තැන්පත් කොට තැබූ සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො තැන්පත් කොට තබන ලදුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො තැන්පත් කොට තබන ලදුයෙහි නො තැන්පත් කොට තැබූසන් ඇතියේ නම් ඇවැත් නැති.
යාවකාලිකය යාවකාලයෙහි තැන්පත් කොට තබා වළඳා නම් යාමකාලිකය යාමකාලයෙහි තැන්පත් කොට තබා වළඳා නම් සත්තාහකාලිකය සත්දිනක් තැන්පත් කොට තබා වළඳා නම් යාවජීවිකය කරුණක් ඇති කල්හි වළඳා නම් ඇවැත් නැත. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
අටවැනි සන්නිධිකාරක ශික්‍ෂාපද යි.
6. 4. 9.
පණීතභෝජන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුහේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු පිණීබොජුන් තමා පිණිස විනවා වළඳත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ පිණීබොජුන් තමා පිණිස විනවා වැළඳූහු දැ” යි කවරකුහට මිහිරිදැය නො මැනවිද? කවරකුහට රසවත්දැය නො රුස්නේ දැ යි. භික්‍ෂූහු ලමු කොට සිතන, නුගුණ පවසන, දොස් පතුරුවන, ඒ මිනිසුන් ගේ (අකීර්ත්තිශබ්ද) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු පිණීබොජුන් තමා පිණිස විනවා වැළඳූහු දැ යි ... සැබෑද මහණෙනි, තෙපි පිණීබොජුන් තමා පිණිස විනවා වැළඳූහු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පිණීබොජුන් තමා පිණිස විනවා වැළඳූහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන් ගේ ප්‍රසාය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම්බඳු ඒ පිණීබොජුන් එනම්:– ගිතෙල්, වෙඬරු, තෙල්, මී, උක්සකුරු, දියමස්, ගොඩමස්, කිරි, දී, යන එබඳු වූ පිණීබොජුන් යම් මහණෙක් තමා පිණිස විනවා වළඳන්නේ නම් පචිති වේ” යයි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
2. එසමයෙහි වනාගි භික්‍ෂූහු ගිලන් වෙති. ගිලනුන් පුළුවුස්නා භික්‍ෂූහු ගිලන් භික්‍ෂූන්ට මෙය කීහු: “කිම ඇවැත්නි, ඉවසිය හැකි ද යැපිය හැකි දැ” යි. “ඇවැත්නි, ඇපි පෙරැ පිණීබොජුන් තමා පිණිස විනවා වළඳම්හ. එයින් අපට පහසු වෙයි. දැන් වූ කලි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුස් කරනුවෝ නො විනවම්හ. එයින් අපට පහසු නො වේ. භාග්‍යවත්හට මෙකරුණ දැන්වූහ. එකල් හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. “මහණෙනි, ගිලන් මහණහු විසින් පිණීබොජුන් තමා පිණිස විනවා වළඳන්නට අනුදනිමි” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු;
“යම්බඳු ඒ පිණීබොජුන් එනම්: ගිතෙල්, වෙඬරු, තෙල්, මී, උක් සකුරු, දියමස්, ගොඩමස්, කිරි දී යන එබඳු වූ පිණීබොජුන් යම් මහණෙක් නොගිලන් වැ තමා පිණිස විනවා වළඳන්නේ නම් පචිති වේ” යයි.
3. යානි ඛො පන තානි පණීතභෝජනානි: සප්පි නම් එළඟිතෙල් හෝ එළුගිතෙල් හෝ මිහිගිතෙල් හෝ යැ. යම් කෙනකුන්ගේ මස් කැප නම් ඔවුන්ගේ ගිතෙල. නවනීත නම්: ඔවුන්ගේ මැ වෙඬරු. තෙල නම්: තලතෙල්, අබතෙල්, මීතෙල්, එරඬුතෙල්, වුරුණුතෙල. මධු නම්: මීමැසි මී. ඵාණිත නම්: උක්ගසින් නිපදවනලද යැ. මච්ඡ නම්: දියෙහි හටගත් මසැ යි කියනු ලැබේ. මංස නම්: යම් කෙනකුන්ගේ මස් කැප නම් ඔවුන් ගේ මස. ඛීර නම්: එළකිරි හෝ එළුකිරි හෝ මීකිරි හෝ යි, යම් කෙනකුන්ගේ මස් කැප නම් ඔවුන් ගේ කිරි. දධි නම්: ඔවුන් ගේ මැ දිහි.
යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
එවරූපානි පණීතභෝජනානි: එබඳු වූ පිණීබොජුන්.
අගිලාන නම්: යමකුහට පිණීබොජුනෙන් වෙන් වැ පහසු වේ නම් හේ යැ.
ගිලාන නම්: යමකුහට පිණීබොජුනෙන් වෙන් වැ පහසු නො වේ නම් හේ යැ.
නොගිලන් වූයේ තමා පිණිස විනවා නම් පියෝහි දුකුළා ඇවැත් වෙයි. ලැබීමෙන් වළඳන්නෙමැ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වේ.
නොගිලන් වූයේ නොගිලන් සන් ඇති වැ පිණීබොජුන් තමා පිණිස විනවා වළඳා නම් පචිති ඇවැත් වෙයි. නොගිලන් වූයේ විමති ඇති වැ පිණීබොජුන් තමා පිණිස විනවා වළඳා නම් පචිති ඇවැත් වෙයි. නොගිලන් වූයේ ගිලන්සන් ඇති වැ පිණීබොජුන් තමා පිණිස විනවා වළඳා නම් පචිති ඇවැත් වේ.
ගිලන් වූයේ නොගිලන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූයේ විමති ඇති යේ නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූයේ ගිලන්සන් ඇතියේ නම් ඇවැත් නැති.
ගිලනාහට, ගිලන් වැ විනවා නොගිලන් වූයේ වළඳා නම්, ගිලනාගේ ඉතිරිදැය වළඳා නම් නෑයන්ගේ නම් පැවැරුණුවන්ගේ නම් මෙරමා පිණිස නම් තමන්ගේ ධනයෙන් නම් ඇවැත් නැත. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
නව වැනි පණීතභෝජන ශික්‍ෂාපද යි.
6. 4. 10.
දන්තපොන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු විසල් පුරැ කුළාරහල්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් සර්‍වපාංශුකූලික වූයේ සොහොනෙහි වෙසෙයි. හෙතෙම මිනිසුන් විසින් දෙනු ලබන්නක් පිළිගන්නට නො කැමැති වෙයි. සොහිනෙහි දු රුක්මුලෙහි දු එළිපත්තෙහි දු මළගිය නෑයන් උදෙසා තබන පිඬු තෙමේ මැ ගෙනැ වළඳ යි. මිනිස්සු ලාමක කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මේ මහණ අපගේ මළගිය නෑයන් උදෙසා තබන පිඬු තෙමේ මැ ගෙනැ වැළඳී”දැ යි. මේ මහණ තර වට සිරිරි ඇතියෙක. මිනීමස් කතීයි හඟිමු. භික්‍ෂූහු ලාමක කොට සිතන, නුගුණ පවසන, දොස් පතුරුවන, ඒ මිනිසුන්ගේ (අකීර්ත්තිශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලාමක කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මහණෙක් නො පිළිගත් අහරක් පරගලා කෙළේ දැ” යි ... සැබෑද මහණ, තෙපි නො පිළිගත් අහරක් පරගලා කරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි නො පිළිගත් අහරක් පරගලා කළහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් නො පිළිගත් අහරක් ගලබිලයට ගන්නේ නම් පචිති වේ” යයි.
මෙසේත් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
2. එසමයෙහි වනාහි භික්‍ෂූහු දැහැටු පැන්හි කුකුස් කරති. භාග්‍යවත්හට මෙකරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූසේක. “මහණෙනි, නො පිළිගන්වන ලද දැහැටුපැන් තෙමේ මැ ගෙනැ වළඳන්නට අනුදනිමි”. මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් දැහැටු පැන් තබා නො පිළි ගන්වන ලද අහරක් ගලබිලයට ගන්නේ නම් පචිති වේ” යයි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
අදින්න නම්: නො පිළිගන්වනලද්දැ යි කියනු ලැබේ. දින්න නම්: කයින් හෝ කය පිළිබද්දෙන් හෝ නිසැගියෙන් හෝ දෙන කල්හි අත්පසැ සිටියේ කයින් හෝ කය පිළිබද්දෙන් හෝ පිළිගනී නම් තෙලෙ දෙනලද්ද නම් වේ.
ආහාර නම්: දැහැටු පැන් තබා යම් කිසි පරගලා කළයුතු දැයෙකි, මේ යැ ආහාර නම්.
අඤ්ඤත්‍ර උදකදන්ත පොනා: දැහැටු පැන් තබා කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වේ.
නො පිළිගත් දැයෙහි නො පිළිගත්සන් ඇතියේ දැහැටු පැන් තබා නොදුන් අහරක් ගලබිලයට ගනී නම් පචිති ඇවැත් වෙයි. නො පිළිගත් දැයෙහි විමති ඇතියේ දැහැටු පැන් තබා නො දුන් අහරක් ගලබිලයට ගනී නම් පචිති ඇවැත් වෙයි. නො පිළිගත් දැයෙහි පිළිගත්සන් ඇතියේ දැහැටු පැන් තබා නො දුන් අහරක් ගලබිලයට ගනී නම් පචිති ඇවැත් වේ.
පිළිගත් දැයෙහි නො පිළිගත්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පිළිගත් දැයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පිළිගත් දැයෙහි පිළිගත්සන් ඇතියේ නම් ඇවැත් නැති.
දැහැටු පැන්හි, සතර මහාවිකටයන් කැපකරුවකු නැති සඳ කරුණක් ඇති කල්හි තෙමේ මැ ගෙනැ වළඳා නම් ඇවැත් නැත. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
දසවැනි දන්තපොන ශික්‍ෂාපද යි.
චතුර්‍ත්‍ථ භෝජනවර්‍ග යි.
එහි උදානය:
ආවසථපිණ්ඩ යැ ගණභෝජන යැ පරම්පරභෝජන යැ කාණමාතු යැ පඨමපවාරණ දුතියපවාරණ දෙක යැ විකාලභොජන යැ සන්නිධිකාරක යැ පණීතභෝජන යැ දන්තපෝනය සමඟ වදාළ ඒ සිකපද දශයෙකි.
අචේලක වර්‍ගය
6. 5. 1.
අචේලක ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු විසල් පුර මහවෙනෙහි කුළාර හල්හි වැඩැවෙසෙති, එසමයෙහි වනාහි සඟනට කැවිලි බහුල වූයේ වෙයි, එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ. එසේ වී නම් ආනන්‍දයෙනි, ඉඳුල් කන්නවුනට කැවුම් දෙව යි. එසේ යැ වහන්සැ යි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන්ට පිළිවදන් දී ඉඳුල් කන්නවුන් පිළිවෙළින් හිඳුවා එක් එක් කැවුමක් දෙන්නාහු එක්තරා පිරිවැජියකට එකෙකැ යි හඟිමින් දෙ කැවුමක් දුන්හ. අවට පිරිවැජිනියෝ එපිරිවැජිනියට මෙය කීහු. “තෙල මහණ තීගේ සොර සැමි දැ”යි තෙල මහණ මාගේ සොර සැමි නො වෙයි, එකෙකැ යි හඟිමින් දෙ කැවුමක් දුන් වනැ යි. දෙවනවට ද ... තෙවනවට ද ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ එක් එක් කැවුමක් දෙන්නෝ එ මැ පිරිවැජිනියට එකෙකැ යි හඟිමින් දෙ කැවුමක් දුන්හ, අවට පිරිවැජිනියෝ එපිරිවැජිනියට මෙය කීහු: “තෙල මහණ තීගේ සොරසැමි දැ”යි තෙල මහණ මාගේ සොරසැමි නො වෙයි, එකෙකැ යි හඟිමින් දෙ කැවුමක් දුන් වනැ යි. සොරසැමි යැ නො සොරසැමි” යැ යි ඩබර කළහ.
2. එක්තරා ආජීවකයෙක් ද දන් වළඳන තැනට ගියේ ය. එක්තරා මහණෙක් බොහෝ වූ ගිතෙලින් බත් හනා මහත් පිඬුවක් ඒ ආජීවකයාට දුන්නේ යැ. එකල්හි ඒ ආජීවක තෙමේ ඒ බත් පිඬුව රැගෙන ගියේ යි. එක්තරා ආජීවකයෙක් ඒ ආජීවකයාට මෙය කී යැ. “ඇවැත්නි, තා විසින් පිඬු කොයින් ලබන ලද” දැ යි ඇවැත්නි, ඒ මුඬුගැහැවි මහණගොයුම්හුගේ දන් වළඳනා තෙනින් ලදිමි, උවසුවෝ ඒ ආජීවකයන්ගේ මේ කථාසල්ලාපය ඇසූහු, එකල්හි ඒ උවසුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වැඳ එකත් පසෙකැ හුන්හු. එකත් පසෙකැ හුන් ඒ උවසුවෝ භාග්‍යවතුන්හට මෙය කීහු. “ස්වාමීනි, මේ අන්තොටුවෝ බුදුනට ගරහනු කැමැතියෝ දහමට ගරහනු කැමැතියෝ සඟනට ගරහනු කැමැතියෝ යි. ස්වාමීනි, ආර්‍ය්‍යයෝ අන්තොටුවනට සියතින් යමක් නො දෙන්නහු නම් මැනැවැ යි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථායෙන් ඒ උවසුවනට (දෙලෝවැඩ) මොනවට දැක්වූ සේක. (කුසල්දහම්හි) සමාදන් කරවූ සේක. මොනවට තෙද ගැන්වූ සේක, මොනවට සතුටු කරවූ සේකි. එකල්හි ඒ උවසුවෝ භාග්‍යවතුන් විසින් දැහැමි කථායෙන් මොනවට දක්වන ලදුවෝ මොනවට සමාදන් කරවන ලදුවෝ මොනවට තෙද ගන්වන ලදුවෝ මොනවට සතුටු කරවන ලදුවෝ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් සකසා වැඳ පැදකුණු කොට ගියහ.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. එසේ වී නම් මහණෙනි, කරුණු දසයක් පිණිස මහණුන්හට සිකපද පනවන්නෙමි. සඟුන්ගේ මනා පිළිගැනුම, සඟුන්ගේ පහසුබව ... සසුන් පැවැත්ම, විනයට රුකුල් දීම පිණිස යැ. මෙසේත් මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් නිවටක්හට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජියකට හෝ සියතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ දෙන්නේ නම් පචිති වේ” යයි.
4. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි; අචේලක නම්: යම් කිසි පිරිවැජිබවට පැමිණි නිරිවතෙකි. පරිබ්බාජික නම් මහණ ද හෙරණ ද තබා යම් කිසි පිරිවැජිබවට පැමිණියෙකි. පරිබ්බාජිකා නම්: මෙහෙණ ද සික්මනුව ද හෙරැණිය ද තබා යම් කිසි පිරිවැජිබවට පැමිණියකි. ඛාදනීය නම්: පස් බොජුන් දැහැටු පැන් තබා අවශේෂය ඛාදනීය නම් වෙයි.
භෝජනීය නම්: බත් යැ කොමුපිඬු යැ අත්සුණු යැ දියමස් යැ ගොඩ මස් යැ යන පස්බොජුනි. දදෙය්‍ය: කයින් හෝ කයපිළිබද්දෙන් හෝ නිසැගියෙන් හෝ දේ නම් පචිති ඇවැත් වේ.
තීර්‍ත්‍ථකයා කෙරෙහි තීර්‍ත්‍ථකසංඥා ඇතියේ සියතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ දේ නම් පචිති ඇවැත් වෙයි. තීර්‍ත්‍ථකයා කෙරෙහි විමති ඇතියේ සියතින් කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ දේ නම් පචිති ඇවැත් වෙයි. තීර්‍ත්‍ථකයා කෙරෙහි අතීර්‍ත්‍ථකසංඥා ඇතියේ සියතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ දේ නම් පචිති ඇවැත් වේ.
දැහැටු පැන් දේ නම් දුකුළා ඇවැත් වෙයි. අතීර්‍ත්‍ථකයා කෙරෙහි තීර්‍ත්‍ථකසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අතීර්‍ත්‍ථකයා කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අතීර්‍ත්‍ථකයා කෙරෙහි අතීර්‍ත්‍ථකසංඥා ඇතියේ නම් ඇවැත් නැති.
දෙවා නම් නො දේ නම් වෙතැ තබා දේ නම් බැහැරී ගැල්වීමක් දේ නම් ඇවැත් නැත, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
අචේලක ශික්‍ෂාපදය නිමි.
6. 5. 2.
උය්‍යෝජන ශික්‍ෂාපදය
1. එසමයෙහි භගවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර බෑයාගේ සද්ධිවිහාරික භික්‍ෂුහට මෙය කී යැ. “එව ඇවැත්නි, ගමට පිඬු පිණිස පිවිසෙම්හ” යි, ඔහුට නො දෙවා නඟා යැවී යැ: “යා ඇවැත්නි, තොප සමඟ බිණීම හෝ හිඳීම හෝ මට පහසු නො වෙයි, එකලා වූ මට බිණීම හෝ හිඳීම හෝ පහසු වේ” යයි. එකල්හි ඒ මහණ වළඳන වේලා එළඹැ සිටි කල්හි පිඬු පිණිස හැසිරෙන්නට නො හැකි වූයේ යැ. අසුන්හලෙහි දු බත්කිස නො හඹා ගත්තේ යැ සුන්බත් විය.
2. ඉක්බිති ඒ මහණ ආරාමයට ගොස් මහණුන්ට තෙල කරුණ දැන්වී යැ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර “එව ඇවැත්නි, ගමට පිඬු පිණිස පිවිසෙම්හ” යි, මහණක්හට කියා ඔහුට (යමක්) නො දෙවා නඟා යැවී” දැ යි ... සැබෑ ද උපනන්‍දයෙනි, තෙපි “එව ඇවැත්නි, ගමට පිඬු පිණිස පිවිසෙම්හ” යි, මහණක්හට කියා ඔහුට නො දෙවා නඟා යැවූ දැ”යි, ... සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු නොයෙක් අයුරින් ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය: තෙපි “එව ඇවැත්නි, ගමට පිඬු පිණිස පිවිසෙම්හ” යි, කියා ඔහුට නො දෙවා නඟා යැවූහුද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් මහණක්හට “එව ඇවැත්නි, ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙම්හ” යි බැණ ඔහුට දෙවා හෝ නො දෙවා හෝ “යා ඇවැත්නි, තොප සමග බිණීම හෝ හිඳීම හෝ මට පහසු නො වෙයි, එකලා වූ මට බිණීම හෝ හිඳීම හෝ පහසු වේ” යයි අන් කරුණක් නො වැ මෙය මැ කරුණු කොට ගෙන නඟා යවන්නේ නම් පචිති වේ” යයි.
3. යො පන: යම් යම්බඳු ... භික්ඛු: ... මෙ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. භික්ඛුං: අන් මහණක්හු. ඒහාවුසෝ ගාමං වා නිගමං වා: ගම ද නියම්ගම ද නගරය ද ගමත් වේ නියම්ගමත් වේ.
තස්ස දාපෙත්‍වා: හඹු හෝ බත් හෝ කෑයුතු දැයක් හෝ බිඳිය යුතු දැයක් හෝ දෙවා,
අදාපෙත්‍වා: කිසිවක් නො දෙවා.
උය්‍යෝජෙය්‍ය: මාගමක සමග සෙනු කැමැත්තේ කෙළිනු කැමැත්තේ නොරඹුරෙහි හිඳිනු කැමැත්තේ නොසිරිත්හි හැසිරෙනු කැමැත්තේ මෙසේ කියා: “යා ඇවැත්නි! තෝ සමග බිණීම හෝ හිඳීම හෝ මට පහසු නො වෙයි, එකලා වූ මට බිණීම හෝ හිඳීම පහසු වේ” යැයි නඟා යවා නම් දුකුළා ඇවැත් වෙයි; දසුන් උවසර හෝ සවන් උවසර හෝ හරින්නහුට දුකුළා ඇවැත් වෙයි. හළ කල්හි පචිති ඇවැත් වේ.
ඒතදෙවපච්චයං කරිත්‍වා අනඤ්ඤං: නඟා යවන්නට අන් කිසිදු කරුණෙක් නො වේ.
උපසපනක්හු කෙරෙහි උපසපනෙකැයි සංඥා ඇතියේ නඟා යවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නඟා යවා නම් පචිති ඇවැත් වෙයි. උපසපන්නක්හු කෙරෙහි අනුපසපෙනෙකැයි සංඥා ඇතියේ නඟා යවා නම් පචිති ඇවැත් වේ.
එරෙහි බස් නඟා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු නඟා යවා නම් දුකුළා ඇවැත් වෙයි. එරෙහි බස් නඟා නම් දුකුළා ඇවැත් වෙයි.
අනුපසපනක්හු කෙරෙහි උපසපනෙකැයි සංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි, අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි.
දෙදෙන එක් වැ නො යැපෙන්නම්හ යි නඟා යවා නම් මාඇඟි බඩුවක් දැකැ ගිජුකම උපදවන්නේ යයි නඟා යවා නම්, මාගමක දැකැ උකටළිය උපදවන්නේ යැයි නඟා යවා නම්, ගිලනුනට හෝ නැවතී සිටින්නහුට හෝ වෙහෙර රක්නහුට හෝ හඹු හෝ බත් හෝ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ ගෙන යව යි නඟා යවා නම්, නො සිරිත්හි නො හැසිරෙනු කැමැත්තේ කරුණක් ඇති කල්හි නඟා යවා නම් ඇවැත්නැති, උම්මතත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
දෙවෙනි උය්‍යෝජන ශික්‍ෂාපද යි.
6. 5. 3.
සභෝජන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර යහළුවක්හුගේ ගෙට ගොස් ඔහුගේ අඹුව සමග යහන්ගෙයි හිඳීම කෙළේයැ. එකල්හි ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍රයා වෙත එළැඹියේයැ, එළැඹ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයා සකසා වැඳ එකත්පසෙකැ හුන්නේ යැ, එකත් පසෙකැ හුන් ඒ පුරුෂ තෙමේ ‘ආර්‍ය්‍යයහට (වහන්දෑට) භික්‍ෂාව දෙව’ යි අඹුවට කී යැ. ඉක්බිති ඒ ස්ත්‍රී තොමෝ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයහට භික්‍ෂාව දුන්නී යැ, එකල්හි ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයහට මෙය කී ය. “ආර්‍ය්‍යයහට භික්‍ෂාව දෙනලද හෙයින් වහන්ස, වඩින්නැ” යි. එකල්හි ඒ ස්ත්‍රීතොමෝ “මේ පුරුෂ රාගපර්‍ය්‍යුත්‍ථිත” යැයි සලකා ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයහට මෙය කිවුය; “වැඩ හිඳින්න වහන්ස, නහමක් වඩින්නැ” යි. දෙවනවටදු ඒ පුරුෂ තෙමේ ... තෙවනවට දු ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයහට මෙය කී ය: “ආර්‍ය්‍යයහට භික්‍ෂාව දෙන ලද හෙයින් වහන්ස, වඩින්නැ” යි. තෙවනවටදු ඒ ස්ත්‍රී තොමෝ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයහට මෙය කිවු ය: “වැඩ හිඳින්නැ වහන්ස, නහමක් වඩින්නැ” යි.
2. ඉක්බිති ඒ පුරුෂ තෙමේ නික්මැ මහණුන් (හමුයෙහි) දොස් පැවැරී යැ: “ස්වාමීනි, මේ ආර්‍ය උපනන්‍ද තෙමේ මාගේ අඹුව සමග යහන්ගෙයි හුන්නේ යැ, හේ මා විසින් නඟා යවනු ලබන්නේ යන්නට නො කැමැති වෙයි, ඇපි බොහෝ කිස ඇතියම්හ. බොහෝ කරණී ඇති යම්හ”යි. යම් ඒ භික්‍ෂූ කෙනෙක් අපිස්වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙමේ අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැද හිඳීම කෙළේ දැ යි ... සැබෑද උපනන්‍ද, තෝ අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැද හිඳීම කෙළෙහි දැයි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු නොයෙක් අයුරින් ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂය! තෝ අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැද හිඳීම කෙළෙහි ද? හිස් පුරුෂය මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නොවෙයි. ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු.
යම් මහණෙක් අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැද හිඳීම කරන්නේ නම් පචිති වේ යැයි.
3. යො පන: යම් යම්බඳු ... භික්ඛු: ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
සභෝජන කුල නම්: ස්ත්‍රී තොමෝත් වෙයි. පුරුෂ තෙමේත් වෙයි. ස්ත්‍රිය ද පුරුෂයා දැයි දෙදෙන (ගෙයින්) නො නික්මුණෝ වෙති. දෙදෙන නො පහකළ රාග ඇතියෝ ද වෙත්.
අනුපඛජ්ජ: ඇතුළට පිවිසැ,
නිසජ්ජං කප්පෙය්‍ය: මහත් යහන්ගෙයකැ දොරබාවෙහි (දෙරියන්වියත්) අත්පස හැරපියා හිඳී නම් පචිති ඇවැත් වෙයි. කුඩා යහන්ගෙයකැ ගෙමැද ඉක්මවා හිඳී නම් පචිති ඇවැත් වේ.
යහන්ගෙයි යහන්ගෙයෙකැ යන සන් ඇතියේ අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැදහිඳීම කෙරේ නම් පචිති ඇවැත් වෙයි. යහන්ගෙයි විමති ඇතියේ අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැද හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වෙයි. යහන්ගෙයි යහන්ගෙයෙකැ යන සන් නැතියේ අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැද හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වෙයි.