Pācittiya

Expiation Rules

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 701-800 න් 4249

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT5. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT5. යො පන යනු: යම්, යම්බඳු ... භික්ඛු යනු ... මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTභික්ඛුනී නාම: උභතො සඞ්ඝෙ උපසම්පන්නා.
Sinhala BJTභික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.
Pali BJTසද්ධින්ති: එකතො.
Sinhala BJTසද්ධිං යනු: එක් වැ.
Pali BJTසංවිධායාති: අභිරූහාම භගිනි අභිරූහාමය්ය, අභිරූහාමය්ය, අභිරූහාම භගිනි, අජ්ජ වා හියො වා පරෙ වා අභිරූහාමාති සංවිදහති ආපත්ති දුක්කටස්ස. භික්ඛුනියා අභිරූළ්හෙ භික්ඛු අභිරූහති ආපත්ති පාචිත්තියස්ස. භික්ඛූ{1} අභිරූළ්හෙ භික්ඛුනී අභිරූහති ආපත්ති පාචිත්තියස්ස. උභො වා අභිරූහන්ති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසංවිධාය යනු: නැඟෙමු බුහුනැ නැඟෙමු ආර්‍ය්‍යය, නැඟෙමු ආර්‍ය්‍යය නැඟෙමු බුහුනැ, අද හෝ හෙට හෝ තෙවන දා හෝ නැඟෙමු යි සංවිධාන කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. මෙහෙණ නැඟි කල්හි මහණ නඟී නම් පචිති ඇවැත් වෙයි, මහණහු නැඟි කල්හි මෙහෙණ නඟී නම් පචිති ඇවැත් වෙයි, දෙදෙන මැ හෝ නඟිත් නම් පචිති ඇවැත් වේ.
Pali BJTඋද්ධගාමිනින්ති: උජ්ජවනිකාය.
Sinhala BJTඋද්ධගාමිනිං යනු: උඩුගං බලා යන නැවෙකැ.
Pali BJTඅධොගාමිනින්ති: ඔජවනිකාය.
Sinhala BJTඅධෝගාමිනිං යනු: යටිගං බලා යන නැවෙකැ.
Pali BJTඅඤ්ඤත්ර තිරියං තරණායාති: ඨපෙත්වා තිරියං තරණං.
Sinhala BJTඅඤ්ඤත්‍ර තිරියං තරණාය යනු: සරසින් එතරවීම හැර
Pali BJTකුක්කුටසම්පාතෙ ගාමෙ, ගාමන්තරෙ ගාමන්තරෙ ආපත්ති පාචිත්තියස්ස. අගාමකෙ අරඤ්ඤෙ අද්ධයොජනෙ අද්ධයොජනෙ ආපත්ති පාචිත්තියස්ස. සංවිදහිතෙ සංවිදහිතසඤ්ඤී එකං නාවං අභිරූහති උද්ධංගාමිනිං වා අධොගාමිනිං වා, අඤ්ඤත්ර තිරියං තරණාය ආපත්ති පාචිත්තියස්ස. සංවිදහිතෙ වෙමතිකො එකං නාවං අභිරූහති උද්ධංගාමිනිං වා අධොගාමිනිං වා, අඤ්ඤත්ර තිරියං තරණාය ආපත්ති පාචිත්තියස්ස. සංවිදහිතෙ අසංවිදහිතසඤ්ඤී එකං නාවං අභිරූහති උද්ධංගාමිනිං වා අධොගාමිනිං වා අඤ්ඤත්ර තිරියං තරණාය ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTකුක්කුටසම්පාත ගම්හි ගමක් පාසා පචිති ඇවැත් වෙයි. ගමක් නො වන අරණ්‍යයෙහි නම් අඩයොදුනෙහි අඩයොදුනෙහි පචිති ඇවැත් වෙයි, සංවිදහිතයෙහි සංවිදහිතසංඥා ඇතියේ උඩුගං බලා යන්නා වූ හෝ යටිගං බලා යන්නා වූ හෝ එක් නැවකට සරසින් එතරවීමක් හැර නැඟේ නම් පචිති ඇවැත් වෙයි, සංවිදහිතයෙහි විමති ඇතියේ උඩුගං බලා යන්නා වූ හෝ යටිගං බලා යන්නා වූ හෝ එක් නැවකට සරසින් එතරවීමක් හැර නැඟේ නම් පචිති ඇවැත් වෙයි, සංවිදහිතයෙහි අසංවිද හිතසංඥා ඇතියේ උඩුගං බලා යන්නා වූ හෝ යටිගං බලා යන්නා වූ හෝ එක් නැවකට සරසින් එතරවීමක් හැර නැඟේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTභික්ඛු සංවිදහති භික්ඛුනී න සංවිදහති ආපත්ති දුක්කටස්ස. අසංවිදහිතෙ සංවිදහිතසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අසංවිදහිතෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අසංවිදහිතෙ අසංවිදහිතසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTමහණ සංවිධාන කෙරේ නම් මෙහෙණ සංවිධාන නො කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, අසංවිදහිතයෙහි සංවිදහිතසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි, අසංවිදහිතයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි, අසංවිදහිතයෙහි අසංවිදහිතසංඥා ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: තිරියං තරණාය අසංවිදහිත්වා අභිරූහන්ති භික්ඛුනී සංවිදහති භික්ඛු න සංවිදහති විසංකෙතෙන අභිරූහන්ති ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිස්සාති.
Sinhala BJTසරසින් එතරවීමෙහි සංවිධාන නො කොට නැඟෙත් නම්, මෙහෙණ සංවිධාන කෙරේ නම්, මහණ සංවිධාන නො කෙරේ නම්, කාලවිසංකෙතයෙන් නැගෙත් නම් ඇවැත් නැත. ආපදාවන්හි උම්මත්තකයහට ආදිකම්මිකය හට ඇවැත් නැති.
Pali BJTනාවාභිරූහනසික්ඛාපදං අට්ඨමං.
Sinhala BJTඅටවැනි නාවාභිරූහනශික්‍ෂාපද යි.
Pali BJT6. 3. 9.
Sinhala BJT6. 3. 9.
Pali BJTපරිපාචිතසික්ඛාපදං
Sinhala BJTපරිපාචිත ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී අඤ්ඤතරස්ස කුලස්ස කුලූපිකා හොති නිච්චභත්තිකා. තෙන ච ගහපතිනා ථෙරා භික්ඛූ නිමන්තිතා හොන්ති. අථ ඛො ථුල්ලනන්දා භික්ඛුනී පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන තං කුලං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං ගහපතිං එතදවොච:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවරැ වේළුවන නම් කලන්‍දක නිවාපයෙහි වැඩවෙසෙති. එසමයෙහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ එක්තරා කුලයෙකැ නිතිබත් ඇති කුලූපිකාවක් වෙයි. ඒ ගැහැවිහු විසිනුදු ස්ථවිර භික්‍ෂූහු පවරණ ලද්දාහු වෙති. එකල්හි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පෙරවරුයෙහි හැඳ පෙරවැ පාසිවුරු ගෙන ඒ කුලය වෙත එළැඹියා යැ. එළැඹැ ඒ ගැහැවිහට තෙල කරුණ කිවු ය.
Pali BJTකිමිදං ගහපති පහූතං ඛාදනීයං භොජනීයං පටියත්තන්ති.
Sinhala BJT“ගැහැවිය, මේ බොහෝ කෑයුතු බුදිය යුතු දැය කුමකට පිළියෙළ කරන ලද දැ යි.
Pali BJTථෙරා මයා අය්යෙ නිමන්තිතාති.
Sinhala BJTආර්‍ය්‍යාවනි, මා විසින් ස්ථවිර භික්‍ෂූහු පවරණ ලද්දාහු යැ.
Pali BJTකෙ පන තෙ ගහපති ථෙරාති.
Sinhala BJTගැහැවිය, තොපගේ ස්ථවිරභික්‍ෂූහු කවුරු ද?
Pali BJTඅය්යො සාරිපුත්තො අය්යො මහාමොග්ගල්ලානො අය්යො මහාකච්චානො අය්යො මහාකොට්ඨිකො අය්යො මහාකප්පිනො අය්යො මහාචුන්දො අය්යො අනුරුද්ධො අය්යො රෙවතො අය්යො උපාලි අය්යො ආනන්දො අය්යො රාහුලොති.
Sinhala BJTආර්‍ය්‍ය ශාරිපුත්‍ර යැ. ආර්‍ය්‍ය මහාමෞද්ගල්‍යායන යැ. ආර්‍ය්‍ය මහාකත්‍යයාන යැ. ආර්‍ය්‍ය මහාකොට්ඨිත යැ, ආර්‍ය්‍ය මහාකප්පින යැ. ආර්‍ය්‍ය මහාචුන්‍ද යැ, ආර්‍ය්‍ය අනුරුද්ධ යැ, ආර්‍ය්‍ය රේවත යැ, ආර්‍ය්‍ය උපාලි යැ, ආර්‍ය්‍ය ආනන්‍ද යැ, ආර්‍ය්‍ය රාහුල යි.
Pali BJTකිං පන ත්වං ගහපති මහානාගෙ තිට්ඨමානෙ චෙටකෙ නිමන්තෙසීති”
Sinhala BJTකිමැ ගැහැවිය, තෙපි මහානාගයන් සිටිය දී දාසයන් පැවරුහු දැ යි.
Pali BJTකෙ පන තෙ අය්යෙ මහානාගාති?
Sinhala BJTආර්‍ය්‍යාවෙනි, තොපගේ මහානාගයෝ කවරහු ද?
Pali BJTඅය්යො දෙවදත්තො අය්යො කොකාලිකො අය්යො කටමොරකතිස්සකො{1} අය්යො ඛණ්ඩදෙවියා පුත්තො අය්යො සමුද්දදත්තොති.
Sinhala BJTආර්‍ය්‍ය දේවදත්ත යැ, ආර්‍ය්‍ය කෝකාලික යැ, ආර්‍ය්‍ය කටමොරකතිස්ස යැ, ආර්‍ය්‍ය ඛණ්ඩදේවිපුත්‍ර යැ, ආර්‍ය්‍ය සමුද්‍රදත්ත යි.
Pali BJTඅයං චරහි ථුල්ලනන්දාය භික්ඛුනියා අන්තරා කථා විප්පකතා. අථ ථෙරා{2} භික්ඛූ පවිසිංසු. “සච්චං මහානාගා ඛො තයා ගහපති නිමන්තිතාති. ඉදානෙව ඛො ත්වං අය්යෙ චෙටකෙ අකාසි ඉදානි මහානාගෙති ඝරතො ච නික්කඩ්ඪි, නිච්චභත්තඤ්ච පච්ඡින්දි.
Sinhala BJTථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ මේ අතුරුකථාව නිමාවට නො යා දී මැ ස්ථවිරභික්‍ෂූහු පැමිණියාහු යැ. සැබැවැ ගැහැවිය, තොප විසින් මහානාගයෝ පවරන ලද්දාහු මැ යි. ආර්‍ය්‍යාව, තෙපි දැන් මැ දාසයන් කළවුන් දැන් මැ මහානාගයන් කළහු යැ යි ගෙයිනුදු ඇද දැමී යැ. නිතිබත ද සිඳ දැමී.
Pali BJT2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, “කථං හි නාම දෙවදත්තො ජානං භික්ඛුනි පරිපාචිතං පිණ්ඩපාතං පරිභුඤ්ජිස්සතීති{3} -පෙ- සච්චං කිර ත්වං දෙවදත්ත ජානං භික්ඛුනීපරිපාචිතං පිණ්ඩපාතං පරිභුඤ්ජසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස ජානං භික්ඛුනී පරිපාචිතං පිණ්ඩපාතං පරිභුඤ්ජිස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: කෙසේ නම් දේවදත්ත තෙමේ දැන දැන මෙහෙණක විසින් (ගුණකීමෙන්) නිපදවන ලද පිණ්ඩපාතයක් වැළැඳී දැ යි ... සැබෑ ද දේවදත්ත, තෙපි දැනැ දැනැ මෙහෙණක විසින් නිපදවන ලද පිණ්ඩපාතය වළඳවු දැ’යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි දැන දැන මෙහෙණක විසින් නිපදවන ලද පිණ්ඩපාතය වැළඳුවහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... තව ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු ජානං භික්ඛුනී පරිපාචිතං පිණ්ඩපාතං භුඤ්ජෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් දැනැ දැනැ මෙහෙණක විසින් නිපැයුණු පිණ්ඩපාතය වළඳා නම් පචිති වේ” ය යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේ භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු රාජගහා පබ්බජිතො ඤාතිකුලං අගමාසි. මනුස්සා චිරස්සම්පි{1} භදන්තො ආගතොති සක්කච්චං භත්තං අකංසු තස්ස කුලස්ස කුලූපිකා භික්ඛුනී තෙ මනුස්සෙ එතදවොච, “දෙථ ආවුසො අය්යස්ස භික්ඛ”න්ති{2}. අථ ඛො සො භික්ඛු භගවතා පටික්ඛිත්තං ජානං භික්ඛුනී පරිපාචිතං පිණ්ඩපාතං භුඤ්ජිතුන්ති. කුක්කුච්චායන්තො න පටිග්ගහෙසි. නාසක්ඛි පිණ්ඩාය චරිතුං ඡින්නභත්තො අහොසි. අථ ඛො සො භික්ඛු ආරාමං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ පුබ්බෙ ගිහීසමාරම්භෙ ජානං භික්ඛුනීපරිපාචිතං පිණ්ඩපාතං භුඤ්ජිතුං” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT3. එසමයෙහි එක්තරා මහණෙක් රජගහනුවරින් (නික්මැ) පැවිදි වූයේ නෑකුලයට ගියේ යැ. මිනිස්සු බොහෝ කලෙකින් ‘හිමියෝ ආහ’ යි සකසා බතක් කළහ. ඒ කුලයෙහි කුලූපික වූ මෙහෙණක් ඒ මිනිසුනට ‘ඇවැත්නි, ආර්‍ය්‍යයහට භික්‍ෂාව දෙව’ යි මෙය කිවු යැ. එකල්හි ඒ මහණ තෙමේ දැනැ දැනැ මෙහෙණක විසින් නිපැයුණු පිණ්ඩපාතය වළඳන්නට භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුස් කරනුයේ නො පිළිගත්තේ යි. පිඬු පිණිස හැසිරෙන්නට නො හැකි විය. සුන්බත් ඇත්තේ විය. එකල්හි ඒ මහණ තෙම අරමට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වී ය. මහණහු භාග්‍යවතුන්ට තෙල කරුණ සැලකළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි ලා මේ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. “මහණෙනි, පෙරැ ගිහියන් විසින් පිළියෙළ කරන ලද්දෙහි දැනැ දැනැ මෙහෙණක විසින් නිපදවන ලද පිණ්ඩපාතය වළඳන්නට අනුදනිමි” තව ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු ජානං භික්ඛුනීපරිපාචිතං පිණ්ඩපාතං භුඤ්ජෙය්ය අඤ්ඤත්ර පුබ්බෙ ගිහීසමාරම්භා පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් පෙරැ ගිහියන් විසින් පිළියෙළ කරන ලද්දක් හැර මෙහෙණක විසින් නිපදවන ලද පිණ්ඩපාතය වළඳන්නේ නම් පචිති ඇවැත් වේ” යයි.
Pali BJT4. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT4. යො පන යනු: යම්, යම් බඳු ... භික්ඛු යනු ... මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTජානාති නාම: සාමං වා ජානාති අඤ්ඤෙ වා තස්ස ආරොචෙන්ති සා වා ආරොචෙති.
Sinhala BJTජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහට දන්වත්. ඕතොමෝ හෝ දන්වයි.
Pali BJTභික්ඛුනී නාම: උභතො සඞ්ඝෙ උපසම්පන්නා.
Sinhala BJTභික්ඛුනී නම්: දෙ සඟුන් කෙරෙහි උපසපන් වූවා.
Pali BJTපරිපාචෙති නාම: පුබ්බෙ අදාතුකාමානං අකත්තුකාමානං අය්යො භාණකො අය්යො බහුස්සුතො අය්යො සුත්තන්තිකො අය්යො විනයධරො අය්යො ධම්මකථිකො දෙථ අය්යස්ස කරොථ අය්යස්සාති එසා පරිපාචෙති නාම.
Sinhala BJTපරිපාචේති නම්: පෙරැ නො දෙනු කැමැතියන්හට (සත්කාර) නො කරනු කැමතියන්ට “ආර්‍ය්‍ය තෙමේ භාණක යැ, ආර්‍ය්‍ය තෙමේ බහුශ්‍රුත යැ, ආර්‍ය්‍ය තෙමේ සෞත්‍රාන්තික යැ, ආර්‍ය්‍ය තෙමේ විනයධර යැ, ආර්‍ය්‍ය තෙමේ ධර්‍මකථික යැ, ආර්‍ය්‍යහට දෙවු. ආර්‍ය්‍යහට (සත්කාර) කරවු” යයි. මෝ තොමෝ පරිපාචේති නමු.
Pali BJTපිණ්ඩපාතො නාම: පඤ්චන්නං භොජනානං අඤ්ඤතරං භොජනං.
Sinhala BJTපිණ්ඩපාත නම්: පස් බොජුනෙන් එක්තරා බොජුනක්.
Pali BJTඅඤ්ඤත්ර පුබ්බෙ ගිහිසමාරම්භාති ඨපෙත්වා ගිහිසමාරම්භං.
Sinhala BJTඅඤ්ඤත්‍ර පුබ්බේ ගිහීසමාරම්භා යනු: ගිහියන් විසින් පිළියෙළ කරන ලද්දක් තබා,
Pali BJTගිහිසමාරම්භො නාම: ඤාතකා වා හොන්ති පවාරිතා වා පකතිපටියත්තං වා.
Sinhala BJTගිහීසමාරම්භ නම්: නෑයෝ හෝ වෙති. පැවරුවෝ හෝ වෙති. පියවින් පිළියෙල කරන ලද්දක් හෝ වෙයි.
Pali BJT5. අඤ්ඤත්ර පුබ්බෙ ගිහිසමාරම්භා භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT5. පෙරැ ගිහියන් විසින් පිළියෙල කරන ලද්දක් තබා වළඳන්නෙමැ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
Pali BJT6. පරිපාචිතෙ පරිපාචිතසඤ්ඤී භුඤ්ජති අඤ්ඤත්ර පුබ්බෙ ගිහිසමාරම්භා ආපත්ති පාචිත්තියස්ස. පරිපාචිතෙ වෙමතිකො භුඤ්ජති අඤ්ඤත්ර පුබ්බෙ ගිහිසමාරම්භා ආපත්ති දුක්කටස්ස. පරිපාචිතෙ අපරිපාචිතසඤ්ඤී භුඤ්ජති අඤ්ඤත්ර පුබ්බෙ ගිහිසමාරම්භා අනාපත්ති.
Sinhala BJT6. නිපදවන ලද්දෙහි නිපදවන ලද සන් ඇතියේ පෙරැ ගිහියන් විසින් පිළියෙල කරන ලද්දක් තබා වළඳා නම් පචිති ඇවැත් වෙයි. නිපදවන ලද්දෙහි විමති ඇතියේ පෙරැ ගිහියන් විසින් පිළියෙල කරන ලද්දක් තබා වළඳා නම් දුකුළා ඇවැත් වෙයි, නිපදවන ලද්දෙහි නො නිපදවන ලද සන් ඇතියේ පෙරැ ගිහියන් විසින් පිළියෙල කරන ලද්දක් තබා වළඳා නම් ඇවැත් නැති.
Pali BJT7. එකතො උපසම්පන්නාය පරිපාචිතං භුඤ්ජති අඤ්ඤත්ර පුබ්බෙ ගිහිසමාරම්භා ආපත්ති දුක්කටස්ස. අපරිපාචිතෙ පරිපාචිතසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අපරිපාචිත්තෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අපරිපාචිතෙ අපරිපාචිතසඤ්ඤී අනාපත්ති.
Sinhala BJT7. මෙහෙණ සඟුන් කෙරෙහි උපසපන් වූවක විසින් නිපදවන ලද්දක් පෙරැ ගිහියන් විසින් පිළියෙළ කරන ලද්දක් තබා වළඳා නම් දුකුළා ඇවැත් වෙයි. නො නිපදවන ලද්දෙහි නිපදවන ලද සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො නිපදවන ලද්දෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො නිපදවන ලද්දෙහි නො නිපදවන ලද සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJT8. අනාපත්ති: ගිහිසමාරම්භෙ{1} සික්ඛමානා පරිපාචෙති, සාමණෙරා පරිපාචෙති පඤ්චභොජනානි ඨපෙත්වා සබ්බත්ථ අනාපත්ති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJT8. ගිහියන් විසින් පිළියෙළ කරන ලද්දෙහි නම්, සික්මනුව නිපදවා නම්, හෙරැණි නිපදවා නම්, පස්බොජුන් තබා හැමතන්හි ඇවැත් නැති. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTපරිපාචිතසික්ඛාපදං නවමං.
Sinhala BJTනවවැනි පරිපාචිත ශික්‍ෂාපද යි.
Pali BJT6. 3. 10.
Sinhala BJT6. 3. 10.
Pali BJTරහොනිසජ්ජ සික්ඛාපදං
Sinhala BJTරහෝනිසජ්ජ ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතො උදායිස්ස පුරාණදුතියිකා භික්ඛුනීසු පබ්බජිතා හොති. සා ආයස්මතො උදායිස්ස සන්තිකෙ අභික්ඛණං ආගච්ඡති. ආයස්මාපි උදායී තස්සා භික්ඛුනියා සන්තිකෙ අභික්ඛණං ගච්ඡති. තෙන ඛො පන සමයෙන ආයස්මා උදායී තස්සා භික්ඛුනියා සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙසි.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උදායී තෙරණුවන් පැරණි අඹුව මෙහෙණන් කෙරෙහි පැවිදිවූවා වෙයි. ඕ නිරතුරු ආයුෂ්මත් උදායී තෙරණුවන් වැළතට යෙයි. ආයුෂ්මත් උදායී තෙරණුවෝ ද ඒ මෙහෙණ වැළතට නිරතුරු යෙති. එකල්හි එකලා වූ ආයුෂ්මත් උදායී තෙරණුවෝ එකලා වූ මැ එමෙහෙණ හා සමඟ නොරඹුරෙහි (පිළිසන් තැනෙකැ) හිඳීම කළහ.
Pali BJT2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උදායි භික්ඛුනියා සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙස්සතී”ති -පෙ- සච්චං කිර ත්වං උදායි, භික්ඛුනියා සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස, භික්ඛුනියා සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙස්සසි. නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් එකලා වූ ආයුෂ්මත් උදායී එකලා වූ මෙහෙණක හා සමඟ නොරඹුරෙහි හිඳී දැ යි ... සැබෑ ද? උදායී, එකලා වූ තෙපි එකලා වූ මෙහෙණක හා සමඟ නොරඹුරෙහි හිඳිවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, එකලා වූ තෙපි එකලා වූ මෙහෙණක හා සමඟ නොරඹුරෙහි හිඳිවු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු භික්ඛුනියා සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් එකලා වූයේ එකලා වූ මෙහෙණක හා සමඟ නොරඹුරෙහි (පිළිසන් තැනෙක) හිඳිම කරන්නේ නම් පචිති වේ” යයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන යනු: යම්, යම් බඳු ... භික්ඛු නම්: මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTභික්ඛුනී නාම: උභතො සඞ්ඝෙ උපසම්පන්නා.
Sinhala BJTභික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.
Pali BJTසද්ධින්ති: එකතො.
Sinhala BJTසද්ධිං: එක් වැ.
Pali BJTඑකො එකායාති: භික්ඛු චෙව හොති භික්ඛුනී ච.
Sinhala BJTඒකෝ ඒකාය: මහණෙක් ද වෙයි, මෙහෙණක් ද වෙයි.
Pali BJTරහො නාම: චක්ඛුස්ස රහො සොතස්ස රහො. චක්ඛුස්ස රහො නාම: න සක්කා හොති අක්ඛිං වා නිඛණීයමානෙ භමුකං වා උක්ඛිපීයමානෙ සීසං වා උක්ඛිපීයමානෙ පස්සිතුං. සොතස්ස රහො නාම: න සක්කා හොති පකතිකථා සොතුං.
Sinhala BJTරහෝ නම්: ඇසට නො හමු යැ, කනට නො හමු යැ. චක්ඛුස්ස රහෝ නම්: ඇස හෝ කසනු ලබන කල්හි බැම හෝ නඟනු ලබන කල්හි හිස හෝ ඔසවනු ලබන කල්හි බලන්නට නො හැකි වෙයි. සෝතස්ස රහෝ නම්: පියවි බස් අසන්නට නො හැකි වෙයි.
Pali BJTනිසජ්ජං කප්පෙය්යාති: භික්ඛුනියා නිසින්නාය භික්ඛු උපනිසින්නො වා හොති උපනිපන්නො වා ආපත්ති පාචිත්තියස්ස. භික්ඛු නිසින්නෙ භික්ඛුනී උපනිසින්නා වා හොති උපනිපන්නා වා ආපත්ති පාචිත්තියස්ස. උභො වා නිසින්නා හොන්ති උභො වා නිපන්නා, ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනිසජ්ජං කප්පෙය්‍ය යනු: මෙහෙණ හුන් කල්හි මහණ වෙතැ හුන්නේ නම් හෝ වෙතැ හොත්තේ නම් හෝ පචිති ඇවැත් වෙයි. මහණ හුන් කල්හි මෙහෙණ වෙතැ හුන්නී නම් හෝ වෙතැ හොත්තී නම් හෝ පචිති ඇවැත් වේ. දෙදෙන මැ හෝ හුන්නාහු වෙත් නම් දෙදෙන මැ හෝ හොත්තාහු වෙත් නම් පචිති ඇවැත් වේ.
Pali BJTරහො රහොසඤ්ඤී එකො එකාය නිසජ්ජං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස. රහො වෙමතිකො එකො එකාය නිසජ්ජං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස. රහො අරහොසඤ්ඤී එකො එකාය නිසජ්ජං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනොරඹුරෙහි නොරඹුරුසන් ඇතියේ මහණ මෙහෙණක හා සමඟ හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වෙ යි. නොරඹුරෙහි විමති ඇතියේ මහණ මෙහෙණක හා සමඟ හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වෙයි. නොරඹුරෙහි හමුසන් ඇතියේ මහණ මෙහෙණක හා සමඟ හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅරහො රහොසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අරහො වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අරහො අරහොසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTහමුයෙහි නොරඹුරු සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි, හමුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. හමුයෙහි හමුසන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: යො කොචි විඤ්ඤූ දුතියො හොති තිට්ඨති න නිසීදති අරහොපෙක්ඛො අඤ්ඤවිහිතො නිසීදති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTයම් කිසිදු දැනුමැති දෙවැන්නෙක් වේ නම්, සිටී නම් නොහිඳී නම්, අනෙකක් කරනුයේ හිඳී නම්, නොරඹුරෙහි ලෝකාස්වාද රතියක් නැතියේ නම්, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTරහොනිසජ්ජසික්ඛාපදං දසමං.
Sinhala BJTදසවැනි රහෝනිසජ්ජ ශික්‍ෂාපද යි.
Pali BJTභික්ඛුනොවාද වග්ගො තතියො.
Sinhala BJTතුන්වැනි භික්ඛුනෝවාද වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅසම්මත‘ත්ථඞ්ගතා, උපස්සයං ආමිසදානෙන{1} සිබ්බති අද්ධානං නාවං භුඤ්ජෙය්ය, එකො එකාය තෙ දසා’ති.
Sinhala BJT(අසම්මත වැ මෙහෙණන්හට ඔවා දීමෙන් පැන වූ) ඕවාද ය, අත්‍ථඞ්ගත යැ, භික්ඛුනී උපස්සය යැ, ආමිස යැ, චීවරදානය සමඟ චීවරසිබ්බන යැ, සංවිධාන යැ, නාවාභිරූහන යැ, පරිපාචිත යැ, රහෝනිසජ්ජ යැ යි සිකපදහු දස දෙනෙකි.
Pali BJTභොජන වග්ගො
Sinhala BJTභෝජන වර්‍ගය
Pali BJT6. 4. 1.
Sinhala BJT6. 4. 1.
Pali BJTආවසථපිණ්ඩ සික්ඛාපදං
Sinhala BJTආවසථපිණ්ඩ ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සාවත්ථියා අවිදූරෙ අඤ්ඤතරස්ස පූගස්ස ආවසථපිණ්ඩො පඤ්ඤත්තො හොති. ඡබ්බග්ගියා භික්ඛූ පුබ්බන්හ සමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථියං පිණ්ඩාය පවිසිත්වා පිණ්ඩං අලභමානා ආවසථං අගමංසු. මනුස්සා චිරස්සාපි භදන්තා ආගතාති තෙ{1} සක්කච්චං පරිවිසිංසු. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ දුතියම්පි දිවසං -පෙ- තතියම්පි දිවසං පුබ්බන්හ සමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිත්වා පිණ්ඩං අලභමානා ආවසථං ගන්ත්වා භුඤ්ජිංසු. අථ ඛො ඡබ්බග්ගියානං භික්ඛූනං එතදහොසි. කිං මයං කරිස්සාම ආරාමං ගන්ත්වා හිය්යොපි ඉධෙව ආගන්තබ්බං භවිස්සතීති. තත්ථෙව අනුවසිත්වා අනුවසිත්වා ආවසථපිණ්ඩං භුඤ්ජන්ති. තිත්ථියා අපසක්කන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා අනුවසිත්වා අනුවසිත්වා ආවසථපිණ්ඩං භුඤ්ජිස්සන්ති. න ඉමෙසඤ්ඤෙව ආවසථපිණ්ඩො පඤ්ඤත්තො සබ්බෙසඤ්ඤෙව ආවසථපිණ්ඩො පඤ්ඤත්තොති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි වනාහි සැවැත් නුවර සමීපයෙහි එක්තරා ශ්‍රේණිකුලයක් විසින් ආවසථපිණ්ඩයක් (ආගන්තුක දනක්) තබන ලද්දේ වෙයි. සවග මහණහු පෙරවරුයෙහි හැඳ පෙර වැ පා සිවුරු ගෙන සැවැත් නුවරැ පිඬු පිණිස පිවිස පිඬු නො ලබන්නෝ දොරදන්හලට ගියහ. මිනිස්සු බොහෝ කලෙකින් වහන්දෑ ආහයි සකසා වැළැඳවූහ. එකල්හි වනාහි සවග මහණහු දෙවන දින ද ... තෙවන දින ද පෙරවරුයෙහි හැඳ පෙරවැ පා සිවුරු ගෙන සැවැත් නුවරැ පිඬු පිණිස පිවිස පිඬු නො ලබන්නාහු ආවසථපිඬු හලට ගොස් වැළඳූහ. එකල්හි සවග මහණුන්හට මෙවැනි සිතෙක් විය. ආරාමයට ගොස් ඇපි කුමක් කරමෝ ද? හෙටත් මෙහි මැ ඉයයුතු යැ යි එහි මැ නිබඳ වැ වසමින් ආවසථපිඬු වළඳත්. තීර්‍ත්‍ථකයෝ පහවැ යෙති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් : “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ එහි නිබඳ වැ වසමින් ආවසථපිඬු වැළඳූහු ද. මොවුනට මැ පමණක් ආවසථ පිඬු තබන ලද්දේ නො වෙයි. සියලු දෙනාට මැ ආවසථ පිඬු තබන ලද්දේ වෙයි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ අනුවසිත්වා අනුවසිත්වා ආවසථපිණ්ඩං භුඤ්ජිස්සන්තී”ති. -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ අනුවසිත්වා අනුවසිත්වා ආවසථපිණ්ඩං භුඤ්ජථාති? සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා අනුවසිත්වා අනුවසිත්වා ආවසථපිණ්ඩං භුඤ්ජිස්සථ නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු මැ යි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවාහු ... ඔහු ලාමක කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු නිබඳ වැ වසමින් ආගන්තුක දන් වැළඳූහු ද?... සැබෑද, මහණෙනි, තෙපි නිබඳ වැ වසමින් ආගන්තුක දන් වළඳහු ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, නිබඳ වැ වසමින් ආගන්තුක දන් වැළඳූහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“එකො ආවසථපිණ්ඩො භුඤ්ජිතබ්බො තතො චෙ උත්තරිං භුඤ්ජෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“එක් අවස්පිඬුවෙක් වැළඳියයුතු ඉදින් එයින් මත්තෙහි වළඳන්නේ නම් පචිති වේ” යයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො කොසලෙසු ජනපදෙ සාවත්ථියං ගච්ඡන්තො යෙන අඤ්ඤතරො ආවසථො තෙනුපසඞ්කමි. මනුස්සා චිරස්සාපි ථෙරො ආගතොති සක්කච්චං පරිවිසිංසු. අථ ඛො ආයස්මතො සාරිපුත්තස්ස භුත්තාවිස්ස ඛරො ආබාධො උප්පජ්ජි. නාසක්ඛි තම්හා ආවසථා පක්කමිතුං. අථ ඛො තෙ මනුස්සා දුතියම්පි දිවසං ආයස්මන්තං සාරිපුත්තං එතදවොචුං. භුඤ්ජථ භන්තෙති. අථ ඛො ආයස්මා සාරිපුත්තො භගවතා පටික්ඛිත්තං අනුවසිත්වා අනුවසිත්වා ආවසථපිණ්ඩං භුඤ්ජිතුන්ති කුක්කුච්චායන්තො න පටිග්ගහෙසි. ඡින්නභත්තො අහොසි. අථ ඛො ආයස්මා සාරිපුත්තො සාවත්ථිං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT3. එසමයෙහි වනාහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ කොසොල් දනව්වෙහි සැවැතට යන්නාහු එක්තරා දොරදන්හලකට එළැඹියහ. මිනිස්සු බොහෝ කලෙකින් තෙරුන් ආහයි සකසා වැළඳවූහ. එකල්හි වළඳා නිමවූ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට බලවත් රෝගයක් උපන. ඒ ආගන්තුක දන්හලින් බැහැර යන්නට නො හැකිවූහ. එකල්හි ඒ මිනිස්සු දෙවන දින ද ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මෙය කීහු. ස්වාමීනි, වළඳනු මැනැවි. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ නිබඳ වැ වසමින් ආගන්තුකදන් වැළඳීම භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැයි කුකුස්කරනුවෝ නො පිළිගත්හ. සුන්බත් ඇතියෝ වූහ. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැතට ගොස් භික්‍ෂූන්ට මෙකරුණ දැන්වූහ. භික්‍ෂූහු භාග්‍යවත්හට මෙකරුණ දැන්වූහ.
Pali BJT4. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි “අනුජානාමි භික්ඛවෙ ගිලානෙන භික්ඛුනා අනුවසිත්වා අනුවසිත්වා ආවසථපිණ්ඩං භුඤ්ජිතුං. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT4. එකල්හි භාග්‍යවත් බුදුහු මෙකරුණෙහි ලා මෙඅවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූහ: මහණෙනි, ගිලන් මහණහු විසින් නිබඳ වැ වසමින් දොරදන් වළඳන්නට අනුදැන වදාරමි. මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“අගිලානෙන භික්ඛුනා එකො ආවසථපිණ්ඩො භුඤ්ජිතබ්බො තතො චෙ උත්තරිං භුඤ්ජෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“නො ගිලන් මහණහු විසින් එක් අවස් පිඬුවෙක් වැළඳිය යුතු ඉඳින් එයින් මත්තෙහි වළඳන්නේ නම් පචිති වේ” යයි.
Pali BJT5. අගිලානො නා:ම සක්කොති තම්හා ආවසථා පක්කමිතුං. ගිලානො නාම න සක්කොති තම්හා ආවසථා පක්කමිතුං.
Sinhala BJT5. අගිලාන නම්: ඒ දොරදන්හලින් බැහැර යන්නට හැකි වෙයි. ගිලාන නම්: ඒ දොරදන්හලින් බැහැර යන්නට නො හැකි වෙයි.
Pali BJTආවසථපිණ්ඩො නාම පඤ්චන්නං භොජනානං අඤ්ඤතරං භොජනං, සාලායං වා මණ්ඩපෙ වා රුක්ඛමූලෙ වා අජ්ඣොකාසෙ වා අනොදිස්ස යාවදත්ථො පඤ්ඤත්තො හොති.
Sinhala BJTආවස්ථ පිණ්ඩ නම් පස්බොජුන් අතුරෙන් එක්තරා බොජුනක් හලෙකැ හෝ මඩුවෙකැ හෝ රුක්මුලෙකැ හෝ අබවස්හි හෝ නො උදෙසා කැමැතිතාක් තබන ලද්දේ වෙයි.
Pali BJTඅගිලානෙන භික්ඛුනා සකිං භුඤ්ජිතබ්බං{1} තතො චෙ උත්තරිං භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනො ගිලන් මහණහු විසින් එක්වරක් වැළඳිය යුතු, ඉදින් එයින් මත්තෙහි වළඳන්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වේ. පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
Pali BJTඅගිලානො අගිලානසඤ්ඤී තතුත්තරි ආවසථපිණ්ඩං භුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. අගිලානො වෙමතිකො තතුත්තරි ආවසථපිණ්ඩං භුඤ්ජති, ආපත්ති පාචිත්තියස්ස. අගිලානො ගිලානසඤ්ඤී තතුත්තරිං ආවසථපිණ්ඩං භුඤ්ජති, ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනො ගිලන් වූයේ නො ගිලන්සන් ඇතියේ එයින් මත්තෙහි අවස්පිඬුවක් වළඳා නම් පචිති ඇවැත් වෙයි. නො ගිලන් වූයේ විමති ඇතියේ එයින් මත්තෙහි අවස්පිඬුවක් වළඳා නම් පචිති ඇවැත් වෙයි. නො ගිලන් වූයේ ගිලන්සන් ඇතියේ එයින් මත්තෙහි අවස්පිඬුවක් වළඳා නම් පචිති ඇවැත් වේ.
Pali BJTගිලානො අගිලානසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. ගිලානො වෙමතිකො ආපත්ති දුක්කටස්ස. ගිලානො ගිලානසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTගිලන් වූයේ නො ගිලන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූයේ විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූයේ ගිලන්සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: ගිලානස්ස අගිලානො සකිං භුඤ්ජති, ගච්ඡන්තො වා ආගච්ඡන්තො වා භුඤ්ජති, සාමිකා නිමන්තෙත්වා භොජෙන්ති ඔදිස්ස පඤ්ඤත්තො හොති, න යාවදත්ථො පඤ්ඤත්තො හොති, පඤ්ච භොජනානි ඨපෙත්වා සබ්බත්ථ අනාපත්ති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTගිලන්හට, නො ගිලන් වැ වරක් වළඳා නම්, යමින් හෝ එමින් හෝ වළඳා නම්, හිමියෝ නිමතා වළඳවත් නම්, (මහණුන්) උදෙසා තබන ලද්දේ නම්, කැමැතිතාක් තබන ලද්දේ නො වේ නම්, පස්බොජුන් තබා (හඹුකැවිලි ඈ) හැම වැළඳීමෙහි නම්, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTආවසථපිණ්ඩ සික්ඛාපදං පඨමං.
Sinhala BJTපළමුවැනි ආවසථපිණ්ඩ ශික්‍ෂාපද යි.
Pali BJT6. 4. 2.
Sinhala BJT6. 4. 2.
Pali BJTගණභොජන සික්ඛාපදං
Sinhala BJTගණභෝජන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන දෙවදත්තො පරිහීනලාභසක්කාරො සපරිසො කුලෙසු විඤ්ඤාපෙත්වා විඤ්ඤාපෙත්වා භුඤ්ජති මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා කුලෙසු විඤ්ඤාපෙත්වා විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සන්ති, කස්ස සම්පන්නං න මනාපං, කස්ස සාදුං න රුච්චතී”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්‍දක නිවාප නම් වූ වේළුවන අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි පිරිහුණු ලාභසත්කාර ඇති දේවදත්ත තෙමේ පිරිස සමඟ කුලයන්හි විනව විනවා වළඳයි. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ කුලයන්හි විනව විනවා වැළඳූහු ද? කවරක්හට මිහිර නො මැනැවි ද? කවරක්හට රසවත් දැය නුරුස්නේ දැ යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං, යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම දෙවදත්තො සපරිසො කුලෙසු විඤ්ඤාපෙත්වා විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සතී”ති. -පෙ- සච්චං කිර ත්වං දෙවදත්ත, සපරිසො කුලෙසු විඤ්ඤාපෙත්වා විඤ්ඤාපෙත්වා භුඤ්ජසීති. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස, සපරිසො කුලෙසු විඤ්ඤාපෙත්වා විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. භික්‍ෂූහු ලාමක කොට සිතන, නුගුණ පවසන, දොස් පතුරුවන, ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලාමක කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් දෙව්දත් තෙමේ පිරිස සමඟ කුලයන්හි විනව විනවා වැළඳී ද? ... සැබෑ ද, දේවදත්ත, තෙපි පිරිස සමඟ කුලයන්හි විනව විනවා වළඳවු ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... හිස්පුරුෂය, කෙසේ නම් තෙපි පිරිස සමග කුලයන්හි විනව විනවා වැළඳුවහු ද? හිස් පුරුෂය! මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“ගණභොජනෙ පාචිත්තිය”න්ති.
Sinhala BJT“ගණබොජුනෙහි පචිති වේ” යයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන මනුස්සා ගිලානෙ භික්ඛූ භත්තෙන නිමන්තෙන්ති. භික්ඛූ කුක්කුච්චායන්තා නාධිවාසෙන්ති, “පටික්ඛිත්තං භගවතා ගණභොජන”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ ගිලානෙන භික්ඛුනා ගණභොජනං භුඤ්ජිතුං.” එවඤ්ච පන භික්ඛවෙ, ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT3. එසමයෙහි මිනිස්සු ගිලන් මහණුන්ට බතින් පවරත්. භික්‍ෂූහු භාග්‍යවතුන් විසින් ගණ බොජුන ප්‍රතික්‍ෂේප කරන ලදැ යි, කුකුස් කරන්නාහු නො ඉවසත්. භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවත් බුදුහු මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූහ. “මහණෙනි, ගිලන් මහණහු විසින් ගණ බොජුන් වළඳන්නට අනුදනිමි” මෙසේ ද වනාහි මහණෙනි, මේ සික පදය උදෙසවු:
Pali BJT“ගණභොජනෙ අඤ්ඤත්ර සමයා පාචිත්තියං, තත්ථායං සමයො; ගිලානසමයො, අයං තත්ථ සමයො”ති.
Sinhala BJT“සුදුසු සමය තබා ගණබොජුනෙහි පචිති වේ. එහි ලා මේ සුදුසු සමය යි, එනම්: ගිලන් සමයැ. එහි මේ සුදුසු සමය” යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT4. තෙන ඛො පන සමයෙන මනුස්සා චීවරදානසමයෙ සචීවරභත්තං පටියාදෙත්වා භික්ඛූ නිමන්තෙන්ති, “භොජෙත්වා චීවරෙන{1} අච්ඡාදෙස්සාමා”ති. භික්ඛූ කුක්කුච්චායන්තා නාධිවාසෙන්ති, “පටික්ඛිත්තං භගවතා ගණභොජන”න්ති. චීවරං පරිත්තං උප්පජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “අනුජානාමි භික්ඛවෙ චීවරදානසමයෙ ගණභොජනං භුඤ්ජිතුං”. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT4. එසමයෙහි වනාහි මිනිස්සු සිවුරු දෙන සමයෙහි සිවුරු බතක් පිළියෙළ කොට වළඳවා සිවුරු දෙම්හ යි භික්‍ෂූන් පවරත්. භික්‍ෂූහු භාග්‍යවතුන් විසින් ගණබොජුන ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුස් කරමින් නො ඉවසත්. මඳ සිවුරෙක් උපදී. භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ ... “මහණෙනි, සිවුරු දෙන සමයෙහි ගණබොජුන් වළඳන්නට අනුදනිමි”. තවද, මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJT“ගණභොජනෙ අඤ්ඤත්ර සමයා පාචිත්තියං, තත්ථායං සමයො: ගිලානසමයො චීවරදානසමයො, අයං තත්ථ සමයො”ති.
Sinhala BJT“සුදුසු සමය තබා ගණබොජුනෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යි. ගිලන් සමයැ සිවුරු දෙනසමයැ, මේ එහි සුදුසු සමය” යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් මහණෙනි, භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT5. තෙන ඛො පන සමයෙන මනුස්සා චීවරකාරකෙ භික්ඛූ භත්තෙන නිමන්තෙන්ති. භික්ඛූ කුක්කුච්චායන්තා නාධිවාසෙන්ති, පටික්ඛිත්තං භගවතා ගණභොජනන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- අනුජානාමි භික්ඛවෙ චීවරකාරසමයෙ ගණභොජනං භුඤ්ජිතුං”. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT5. එසමයෙහි මිනිස්සු සිවුරු කරන මහණුන් බතින් පවරත්. භික්‍ෂූහු භාග්‍යවතුන් විසින් ගණබොජුන ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුස් කරමින් නො ඉවසත්. භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ ... “මහණෙනි, සිවුරු කරන සමයෙහි ගණබොජුන් වළඳන්නට අනුදනිමි”. මහණෙනි, මේ සිකපදය තවද මෙසේ උදෙසවු:
Pali BJT“ගණභොජනෙ අඤ්ඤත්රසමයා පාචිත්තියං, තත්ථායං සමයො: ගිලානසමයො චීවරදානසමයො චීවරකාරසමයො, අයං තත්ථ සමයො”ති.
Sinhala BJT“සුදුසු සමය තබා ගණබොජුනෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යි. ගිලන්සමයැ, සිවුරු දෙනසමයැ, සිවුරු කරනසමයැ, මේ එහි සුදුසු සමය” යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT6. තෙන ඛො පන සමයෙන භික්ඛූ මනුස්සෙහි සද්ධිං අද්ධානං ගච්ඡන්ති. අථ ඛො තෙ භික්ඛූ තෙ මනුස්සෙ එතදවොචුං, මුහුත්තං ආවුසො ආගමෙථ පිණ්ඩාය චරිස්සාමා”ති. තෙ එවමාහංසු ඉධෙව භන්තෙ භුඤ්ජථාති. භික්ඛූ කුක්කුච්චායන්තා න පතිගණ්හන්ති පටික්ඛිත්තං භගවතා ගණභොජනන්ති, භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “අනුජානාමි භික්ඛවෙ අද්ධානගමනසමයෙ ගණභොජනං භුඤ්ජිතුං”. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT6. එසමයෙහි වනාහි භික්‍ෂූහු මිනිසුන් සමඟ අදන්මගට (දීර්‍ඝ මාර්‍ගයට) පැමිණෙත්. එකල්හි ඒ භික්‍ෂූහු ඒ මිනිසුන්ට මෙය කීහු. ඇවැත්නි, මොහොතක් පොරොත්තුවවු, පිඬු පිණිස හැසිරෙමු. ඔවුහු මෙසේ කීහ. ස්වාමීනි, මෙහි මැ වළඳනු මැනැවි. භික්‍ෂූහු භාග්‍යවතුන් විසින් ගණබොජුන ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුස් කරන්නාහු නො පිළිගනිත්. භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ ... “මහණෙනි, අදන් මඟට පිළිපන් සමයෙහි ගණබොජුන් වළඳන්නට අනුදනිමි”. තවද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJT“ගණභොජනෙ අඤ්ඤත්ර සමයා පාචිත්තියං. තත්ථායං සමයො: ගිලානසමයො චීවරදානසමයො චීවරකාරසමයො අද්ධානගමනසමයො. අයං තත්ථ සමයොති,
Sinhala BJT“සුදුසු සමය තබා ගණබොජුනෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යි. ගිලන් සමයැ, සිවුරු දෙන සමයැ, සිවුරු කරන සමයැ, අදන් මඟට පිළිපන් සමයැ. මේ එහි සුදුසු සමය” යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT7. තෙන ඛො පන සමයෙන භික්ඛූ මනුස්සෙහි සද්ධිං නාවාය ගච්ඡන්ති. අථ ඛො තෙ භික්ඛූ තෙ මනුස්සෙ එතදවොචුං “මුහුත්තං ආවුසො තීරං උපනෙථ පිණ්ඩාය චරිස්සාමා”ති. තෙ එවමාහංසු ඉධෙව භන්තෙ භුඤ්ජථාති. භික්ඛූ කුක්කුච්චායන්තා නපතිගණ්හන්ති, පටික්ඛිත්තං භගවතා ගණභොජනන්ති භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “අනුජානාමි භික්ඛවෙ නාවාභිරූහනසමයෙ ගණභොජනං භුඤ්ජිතුං” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT7. එසමයෙහි භික්‍ෂූහු මිනිසුන් සමඟ නැවෙන් යෙති. එකල්හි ඒ භික්‍ෂූහු ඒ මිනිසුන්ට මෙය කීහු. “ඇවැත්නි, මොහොතක් නැව තොටට පමුණුවවු.” පිඬු පිණිස හැසිරෙන්නෙමු. ඔවුහු මෙසේ කීහ. ස්වාමීනි, මෙහි මැ වළඳනු මැනැවි. භික්‍ෂූහු භාග්‍යවතුන් විසින් ගණබොජුන ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුස් කරන්නාහු නො පිළිගනිත්. භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ ... “මහණෙනි, නැව් නගින සමයෙහි ගණබොජුන් වළඳන්නට අනුදනිමි.” මහණෙනි, තවද මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJT“ගණභොජනෙ අඤ්ඤත්ර සමයා පාචිත්තියං, තත්ථායං සමයො: ගිලානසමයො චීවරදානසමයො චීවරකාරසමයො අද්ධානගමනසමයො නාවාභිරූහනසමයො, අයං තත්ථ සමයො”ති.
Sinhala BJT“සුදුසු සමය තබා ගණබොජුනෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යි ගිලන් සමයැ සිවුරු, දෙන සමයැ, සිවුරු කරන සමයැ, අදන්මගට පිළිපන්සමයැ, නැව් නගිනසමයැ, මේ එහි සුදුසු සමය” යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT8. තෙන ඛො පන සමයෙන දිසාසු වස්සං වුත්ථා භික්ඛූ රාජගහං ආගච්ඡන්ති, භගවන්තං දස්සනාය. මනුස්සා නානාවෙරජ්ජකෙ භික්ඛූ පස්සිත්වා භත්තෙන නිමන්තෙන්ති. භික්ඛූ කුක්කුච්චායන්තා නාධිවාසෙන්ති, පටික්ඛිත්තං භගවතා ගණභොජනන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “අනුජානාමි භික්ඛවෙ මහාසමයෙ ගණභොජනං භුඤ්ජිතුං”. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT8. එසමයෙහි දිශාවන්හි වස් වැස නිමවූ භික්‍ෂූහු භාග්‍යවතුන් දැකීමට රජගහ නුවරට පැමිණෙත්. මිනිස්සු නොයෙක් අන් රටවල මහණුන් දැක බතින් පවරත්. භික්‍ෂූහු භාග්‍යවතුන් විසින් ගණබොජුන ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුස්කරනුවෝ නො ඉවසත්. තෙල කරුණ භාග්‍යවතුන්හට දැන්වූහ ... “මහණෙනි, මහාසමයෙහි ගණබොජුන් වළඳන්නට අනුදනිමි”. මහණෙනි, මේ සිකපදය තවද මෙසේ උදෙසවු.
Pali BJT“ගණභොජනෙ අඤ්ඤත්ර සමයා පාචිත්තියං, තත්ථායං සමයො: ගිලානසමයො චීවරදානසමයො චීවරකාරසමයො අද්ධානගමනසමයො නාවාභිරූහනසමයො, මහාසමයො අයං තත්ථ සමයොති.
Sinhala BJT“සුදුසුසමය තබා ගණබොජුනෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යැ, ගිලන්සමය යැ, සිවුරු දෙන සමය යැ, සිවුරු කරන සමය යැ, අදන් මඟට පිළිපන් සමය යැ නැව් නඟින සමය යැ, මහාසමය යැ, මේ එහි සුදුසු සමය” යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT9. තෙන ඛො පන සමයෙන රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස ඤාතිසාලොහිතො ආජීවකෙසු පබ්බජිතො හොති. අථ ඛො සො ආජීවකො යෙන රාජා මාගධො සෙනියො බිම්බිසාරො තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා රාජානං මාගධං සෙනියං බිම්බිසාරං එතදවොච: “ඉච්ඡාමහං මහාරාජ සබ්බපාසණ්ඩිකභත්තං කාතුන්ති”. සචෙ ඛො ත්වං භන්තෙ බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පඨමං භොජෙය්යාසි, එවං කරෙය්යාසී”ති. අථ ඛො සො ආජීවකො භික්ඛූනං සන්තිකෙ දූතං පාහෙසි: අධිවාසෙන්තු මෙ භික්ඛූ ස්වාතනාය භත්තන්ති. භික්ඛූ කුක්කුච්චායන්තා නාධිවාසෙන්ති, පටික්ඛිත්තං භගවතා ගණභොජනන්ති. අථ ඛො සො ආජීවකො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සො ආජීවකො භගවන්තං එතදවොච: “භවම්පි ගොතමො පබ්බජිතො අහම්පි පබ්බජිතො, අරහති පබ්බජිතො පබ්බජිතස්ස පිණ්ඩං පටිග්ගහෙතුං, අධිවාසෙතු මෙ භවං ගොතමො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො සො ආජීවකො භගවතො අධිවාසනං විදිත්වා පක්කාමි. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි, “අනුජානාමි භික්ඛවෙ සමණභත්තසමයෙ ගණභොජනං භුඤ්ජිතුං” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT9. එසමයෙහි වනාහි මගධේශ්වර ශ්‍රේණිය බිම්බිසාර රජුගේ සහලේ නෑයෙක් ආජීවකයන් කෙරෙහි පැවිදි වූයේ වෙයි. එකල්හි ඒ ආජීවක තෙමේ මගධේශ්වර ශ්‍රේණිය බිම්බිසාර රජු වෙතැ එළැඹියේ යැ. එළැඹැ මගධේශ්වර ශ්‍රේණිය බිම්බිසාර රජුට මෙය කී යැ. මහරජ, සර්‍වපාෂණ්ඩික බතක් කොට දෙන්නට මම කැමැත්තෙමි. ඉදින් වනාහි ස්වාමීනි, ඔබ පළමු වැ බුදු පාමොක් බික්සඟන වළඳවත් නම් එසේ කරනු මැනැවි. එකල්හි ඒ ආජීවක තෙමේ භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යැවී ය. “භික්‍ෂූහු මාගේ බත හෙට දවසට ඉවසත්වා” යි. භික්‍ෂූහු ගණබොජුන භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුස් කරනුවෝ නො ඉවසත්. එකල්හි ඒ ආජීවක තෙමේ භාග්‍යවතුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙකැ සිටියේ යැ. එකත් පසෙකැ සිටි ඒ ආජීවකයා භාග්‍යවතුන්හට මෙය කී යැ. භවත් ගොයුම්හු ද පැවිදි කෙනෙකි. මම් ද පැවිද්දෙක්මි. පැවිද්දෙක් පැවිද්දකු ගේ පිඬු පිළිගන්නට සුදුසු වෙයි. භවත් ගොයුම්හු භික්‍ෂුසඞ්ඝයා සමඟ මාගේ බත හෙට දවසට ඉවසත්වා! භාග්‍යවත්හු තුෂ්ණීම්භාවයෙන් ඉවසූහු. එකල්හි ඒ ආජීවකයා භාග්‍යවතුන්ගේ ඉවසීම දැනැ පිටත් වැ ගියේ යි. ඉක්බිති භාග්‍යවත්හු මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූහු: “මහණෙනි, මහණබත්සමයෙහි ගණබොජුන් වළඳන්නට අනුදනිමි” තවද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJT“ගණභොජනෙ අඤ්ඤත්ර සමයා, පාචිත්තියං, තත්ථායං සමයො ගිලානසමයො චීවරදානසමයො චීවරකාරසමයො අද්ධානගමනසමයො නාවාභිරූහනසමයො මහාසමයො සමණභත්තසමයො, අයං තත්ථ සමයො”ති.
Sinhala BJT“සුදුසු සමය තබා ගණබොජුනෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය වෙයි ගිලන් සමය යැ සිවුරු දෙන සමය යැ සිවුරු කරන සමය යැ අදන්මගට පිළිපන් සමය යැ නැව් නඟින සමය යැ මහාසමය යැ මහණබත් සමය යැ, මේ එහි සුදුසු සමය යි.