Mahāvagga

Great Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 2789 segments

පෙන්වන කොටස් 701-800 න් 2789

19. අත් – පා – අත්පා – කන් – නාස් – කන් නාස් – ඇඟිලි – මාපටඇඟිලි – මහනහර කැපූවන් හා ඵණහත්‍ථක – බුජ්ජ – වාමනයන් පැවිදි නො කිරීම ද වේ.
20. ගලගණ්ඩික – ලක්ඛණාහත – කසාහත – ලිඛිතක – සීපදි – පාපරෝගී – පරිසදූසක – කාණ – කුණී යන මොවුන් පැවිදි නො කිරීම ද වේ.
21. ඛඤ්ජ– පක්ඛහත – ජින්නිරියාපථ – ජරාදුබ්බල – අන්‍ධ–මූග – බධිර – අන්‍ධ මූගයන් පැවිදි නො කිරීම ද වේ.
22. අන්‍ධබධිර – මූගබධිර – අන්‍ධමූගබධිරයන් පැවිදි නො කිරීම, අලජ්ජින්ට නිස නො දීම ද වේ.
23. අලජ්ජීන්ගෙන් නිස නො ගැණීම, අදන්මග දී නිස නො ගැණීම, ග්ලානෝපස්ථායකයන් නිස නො ගැණීම, ආරණ්‍යක භික්‍ෂූන්ගේ නිඃශ්‍රයාපේක්‍ෂාව, ආනන්‍දස්ථවිරානුශ්‍රාවණය, ඒකෝපාද්ධ්‍යානුශ්‍රාවණවිවාදය, කුමාරකාශ්‍යපපොපසම්පදාව යන මේ කථා ද වෙයි.
24-25. පඤ්චාබාධයන්ගෙන් පෙළුනු උපසම්පන්නයෝ දක්නා ලැබෙත්. අනුශාසනා නො කරණ ලද්දෝ තැති ගණිත්. උන් පිළිබඳ අනුශාසනය, සඟ මැදින් බැහැරට ගෙණ අනුශාසනා කිරීම, බාල – අසම්මත අනුශාසනා ප්‍රතික්‍ෂේපය, අනුශාසකයන් උපසම්පදාපේක්‍ෂකයන් හා එක් ව පැමිණීම, උපසම්පදායාචනය, සිවු නිස කීම, එකලා ව නො යෑම, උක්ඛිත්තකයන් තිදෙන යන මොහු ද වෙත්.
මේ ඛන්‍ධකයෙහි වස්තු එක්සියදෙසැත්තෑවකි.{*}
මහාක්ඛන්‍ධකයෙහි උද්දානය (වස්තුනාමාවලිය) නිමි.
උපෝසථක්ඛන්‍ධකය
1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ ගිජුකුළුපව්වෙහි වසන සේක. එසමයෙහි අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ තුදුස්වක්හි ද පසළොස්වක්හි ද පක්‍ෂයේ අටවක්හි ද එක් තැන් වී දහම් (කටයුතු නො කටයුතු) කියා දෙත්. මිනිස්සු ඒ දහම් ඇසීමට ඔවුන් වෙත යත්. ඔහු අන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයන් කෙරෙහි ප්‍රේමය ලබත්. පැහැදීම ලබත්. අන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයෝ පක්‍ෂබල ලබත්.
2. එකල්හි එකලා වූ සිත එකඟ කොට සිටි මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජහට “දැන් අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වී ධර්‍මය කියා දෙත්. ඒ මිනිස්සු ඒ දහම් ඇසීමට ඔවුන් වෙත යත්. එයින් ඔහු අන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයන් කෙරෙහි ප්‍රේමය ලබත්. පැහැදීම ලබත්. අන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයෝ පක්‍ෂබල ලබත්. අපගේ ආර්‍ය්‍යයන් වහන්සේලා ත් තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වන්නාහු නම්, වැඩෙක් වන්නේ ය” යි සිත් වි ය.
3. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ, භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන්නා වූ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය:
4. “ස්වාමීනි, මෙහි එකලා ව සිත එකඟ කොට සිටි මට, ‘දැන් අන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයෝ තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වී (මිනිසුන්ට) යුතු අයුතුකම් කියා දෙති. මිනිස්සු ඒ ඇසීමට ඔවුන් කරා යන්නෝ ය. එයින් ඔහු අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන් කෙරෙහි ප්‍රේමය ලබත්. පැහැදීම ලබත්. අනන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයෝ පක්‍ෂබල ලබත්. අප ගේ ආර්‍ය්‍යයන් වහන්සේලා ත් තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වන්නෝ නම්, වැඩෙක් වන්නේ ය’ යි සිත් වි ය. ‘ස්වාමීනි, ආර්‍ය්‍යයන් වහන්සේලා ත් තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වන්නාහු නම් යහපතැ” යි රජ තෙමේ සැළකෙළේ ය.
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුට දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තියුණු කරවූහ. සතුටු කරවූහ. භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමිකතාවෙන් කරණු දක්වනලද සමාදන් කරවනලද තියුණු කරවනලද සතුටු කරවනලද මගධේශ්වර වූ සේනියබිම්බිසාරරජ තෙමේ හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
6. අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වන්නට අනුදනිමි” යි වදාළසේක.
7. එකල්හි භික්‍ෂූහු “භාග්‍යවතුන් වහන්සේ විසින් තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වන්නට අනුදන්නාලදැ” යි තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වී නිශ්ශබ්ද ව හිඳිත්, මිනිස්සු දහම් ඇසීමට ඒ භික්‍ෂූන් වෙත පැමිණෙත්. ඒ මිනිස්සු “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස්ව ගොළු ඌරන් මෙන් නො බැණ හිඳිත් ද? රැස් වූවන් විසින් දහම් දෙසිය යුතු නො වේ දැ?” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්,
8. භික්‍ෂූහු බණන දොඩන දොස් කියන ඒ මිනිසුන්ගේ බැණුම් දෙඩුම් ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ බව සැළකළහ.
9. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වී දහම් දෙසන්නට අනුදනිමි” යි.
10. ඉන් පසු එකලා ව විවේකයෙන් වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේට “මා විසින් භික්‍ෂූන්ට යම් සිකපද කෙනෙක් පණවනලද ද, ඒ සිකපද ඔවුන්ට පාමොක් උදෙසීම් කොට අනුදන්නෙම් නම්, යෙහෙක. ඒ පාමෙක් උදෙසීම ඔවුන්ට පෙහෙවස්කම් වන්නේ ය” යි අදහස් වි ය.
11. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස්කාලයෙහි පලසමවතින් නැගී සිටි සේක් මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, මෙහි එකලා වූ පලසමවතින් යුක්ත වූ මට ‘මා විසින් භික්‍ෂූන්ට යම් සිකපද කෙනෙක් පණවනලද ද, ඒ සිකපද මම ඔවුන්ට පාමොක් උදෙසීම් කොට අනුදන්නෙම් නම් යෙහෙක. එය ඔවුන්ට පෙහෙවස්කම් වන්නේ ය’ යි සිත් වි ය. මහණෙනි, පාමොක් උදෙසන්නට අනුදනිමි. එය මෙසේ උදෙසිය යුතු ය. ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂූනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු ය:
12. “සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝයාට කල් පැමිණියේ නම්, සඞ්ඝ තෙමේ පොහොය කරන්නේ ය. පාමොක් උදෙසන්නේ ය. සඞ්ඝයාගේ පූර්‍වකෘත්‍යය කිම? ආයුෂ්මතුනි, පිරිසිදුබව සැළකරවු. පාමොක් උදෙසන්නෙමි. ඒ පාමොක් මේ පිරිසෙහි වූ අපි සියලු දෙන ම මනා කොට අසමු. මෙනෙහි කරමු. යමකුට ඇවැතෙක් වේ නම්, හෙ තෙමේ එය කියන්නේ ය. ඇවැත් නැති කල්හි නිශ්ශබ්ද විය යුතු ය. නිශ්ශබ්ද වීමෙන් ආයුෂ්මතුන් පිරිසිදුහ යි දැන ගන්නෙමි. යම් සේ වෙන් වෙන් කොට විචාරණ ලද්දහුගේ (මා විචාරන්නේ ය යි දැන) විචාළ දෑ කීමෙක් වේ ද, එපරිද්දෙන් ම මෙබඳු පිරිස්හි තෙවනවර තෙක් අස්වන ලද්දේ වේ. යම් මහණෙක් තෙමේ තෙවනවර තෙක් අස්වනු ලබන කල්හි තමා කෙරෙහි ඇති ඇවැත සිහිපත් කරමින් ප්‍රකාශ නො කෙරේ නම්, සම්පජානමුසාවාදය වේ. ආයුෂ්මතුනි, සම්පජානමුසාවාදය අන්තරායකාරධර්‍මයෙකැ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. එහෙයින් ඇවැතට පැමිණියා වූ, ඒ ඇවැත සිහිපත් කරන්නා වූ, පිරිසිදුබව බලාපොරොත්තු වන්නා වූ, භික්‍ෂූහු විසින් ඇති ඇවැත කිය යුතු ය. ඒ එසේ ම ය. ප්‍රකාශ කිරීම හේතු කොට ඒ ඕහට පහසු වෙයි.
13. “පාතිමෝක්ඛං” යනු මේ සංවරසීලය තෙමේ ‘පාති’ සඞ්ඛ්‍යාත කුශලධර්‍මයන්ට (මොක්ඛ=) ආදි වේ. මේ මුඛය වේ. මේ ප්‍රධාන වේ. එහෙයින් “පාතිමෝක්ඛං” යි කියනු ලැබේ.
14. “ආයස්මන්තෝ” යනු ප්‍රියවචනයෙකි. ගරුවචනයෙකි. අවවාද පිළිගන්නවුන්ට ගෞරව කළ යුත්තන් ඇසුරු කළවුන්ට නමෙකි. එහෙයින් ‘ආයස්මන්තෝ” යි කියනු ලැබේ.
15. “උද්දිසිස්සාමි” යන්නෙහි – කියන්නෙමි, දෙසන්නෙමි, පණවන්නෙමි, තබන්නෙමි, විවෘත කරන්නෙමි, බෙදන්නෙමි, ප්‍රකට කරන්නෙමි, ප්‍රකාශ කරන්නෙමි යන අර්‍ත්‍ථයි.
16. “තං” යි ප්‍රාතිමෝක්‍ෂය කියනු ලැබේ.
17. “සබ්බේව සන්තා” යනු ඒ සඟපිරිසෙහි ස්ථවිර නවක මධ්‍යම යම් පමණ භික්‍ෂූහු වෙත් ද, තෙල පැවිද්දෝ “සබ්බේව සන්තා” යි කියනු ලැබෙත්.
18. “සාධුකං සුණොම” යන්නෙහි – අර්‍ත්‍ථවත් කොට මෙනෙහි කොට මුළු හිතින් සලකමු යන අර්‍ත්‍ථයි.
19. “මනසි කරෝම” යන්නෙහි – ප්‍රයෝජන සලකා මෙනෙහි කොට මුළු හිතින් මනා කොට ගණිමු යන අර්‍ත්‍ථයි.
20. “යස්ස සියා ආපත්ති” යන්නෙහි අර්‍ත්‍ථ නම් – තෙරනමකට හෝ නවකයකුට හෝ මධ්‍යමයකුට හෝ පඤ්චාපත්තිස්කන්‍ධයන් අතුරෙන් එක්තරා ඇවැතක් හෝ සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් එක්තරා ඇවැතක් වී නම් යනුයි.
21. “සො ආවීකරෙය්‍ය” යන්නෙහි අර්‍ත්‍ථ නම – ඒ භික්‍ෂු තෙමේ සඞ්ඝයා මැද හෝ ගණයා මැද හෝ එක් පුද්ගලයකු ඉදිරියෙහි හෝ දෙසන්නේ ය. ඒ භික්‍ෂු තෙමේ විවෘත කරන්නේ ය. ඒ භික්‍ෂු තෙමේ ප්‍රකට කරන්නේ ය. ඒ භික්‍ෂු තෙමේ ප්‍රකාශ කරන්නේ ය යනුයි.
22. “අසන්තී නාම ආපත්ති” යනු, නො පැමිණියා වූ හෝ පැමිණ නැගී සිටියා වූ හෝ ඇවැතයි.
23. “තුණ්හී භවිතබ්බං” යනු ඉවසිය යුතු ය. කතා නො කළ යුතු ය යනුයි.
24. ‘පරිසුද්ධා ති වේදිස්සාමි” යනු දන්නෙමි, දරන්නෙමි යනුයි.
25. “යථා ඛො පන පච්චේකපුට්ඨස්ස වෙය්‍යාකරණං හොති” යනු යම් සේ එකකු විසින් වෙන් වශයෙන් එකෙක් විචාරණ ලද්දේ වෙන් වශයෙන් ප්‍රකාශ කරන්නේ ද, එපරිද්දෙන් ඒ පිරිසෙහි හුන් සාපත්තික භික්‍ෂුහු විසින් “මා විචාරන්නේ ය” යි දත යුතු ය. මෙබඳු පිරිස නම් භික්ඛු පිරිස කියනු ලැබේ.
26. “යාවත්තියං අනුසාවිතං හොති” යනු එකවරකුත් අස්වන ලද්දේ වේ. දෙවනු ද අස්වන ලද්දේ වේ. තෙවනු ද අස්වන ලද්දේ වේ යනුයි.
27. “සරමානෝ” යනු දන්නේ, මනා කොට දන්නේ යනුයි.
28. “සන්තී නාම ආපත්ති” යනු පැමිණියා වූ හෝ පැමිණ නො නැගී සිටියා වූ හෝ ඇවැතයි.
29. ‘නාවීකරෙය්‍ය” යනු සඞ්ඝයා මැද හෝ ගණයා මැද හෝ එක් පුද්ගලයකු වෙත හෝ නො දෙසන්නේ ය, විවෘත නො කරන්නේ ය, ප්‍රකට නො කරන්නේ ය, ප්‍රකාශ නො කරන්නේ ය යනුයි.
30. “සම්පජානමුසාවාදස්ස හොති” මෙහි දැන දැන. බොරු කීමෙහි කිනම් ඇවැතක් වේ ද? දුකුළා ඇවැත් වේ.
31. “අන්තරායිකො ධම්මේ වුත්තො භගවතා.” මෙහි කුමකට අන්තරායකර වේ ද? ප්‍රථමධ්‍යානය ලැබීමට අන්තරායකර වේ. ද්විතීයධ්‍යානය ලැබීමට අන්තරායකර වේ. තාතීයධ්‍යානය ලැබීමට අන්තරායකර වේ. චතුර්‍ත්‍ථධ්‍යානය ලැබීමට අන්තරායකර වේ. ධ්‍යාන– විමොක්ඛ– සමාධි– සමාපත්ති– නෙක්ඛම්ම– නිස්සරණ– පවිවේක යන මේ කුශලධර්‍ම ලැබීමට අන්තරයාකර වේ.
32. “තස්මා” – ‘ඒ හේතුවෙන්’ යනුයි.
33. “සරමානෙන” – දන්නහු විසින්, මනා කොට දන්නහු විසින් යනුයි.
34. “විසුද්ධාපෙක්ඛන” – නැගී සිටිනු කැමැත්තහු විසින් – ඇවැතින් පිරිසිදු වනු කැමැත්තහු විසින් යනුයි.
35. “සන්තී නාම ආපත්ති” යනු පැමිණියා වූ හෝ පැමිණ නො නැගී සිටියා වූ හෝ ඇවැතයි.
36. “ආවීකාතබ්ඛා” – සඞ්ඝයා මැද හෝ ගණයා මැද හෝ එක් පුද්ගලයකු වෙත හෝ ප්‍රකාශ කළ යුතු ය යනුයි.
37. “ආවීකතා හිස්ස ඵාසු හොති” මෙහි කුමකට පහසු වේ ද? ප්‍රථමධ්‍යානය ලැබීමට පහසු වේ. ද්විතීයධ්‍යානය ලැබීමට පහසු වේ. තෘතීයධ්‍යානය ලැබීමට පහසු වේ. චතුර්‍ත්‍ථධ්‍යානය ලැබීමට පහසු වේ. ධ්‍යානවිමොක්ඛ– සමාධි– සමාපත්ති – නෙක්ඛම්ම – නිස්සරණ – පවිවේක – යන මේ කුශලධර්‍ම ලැබීමට පහසු වේ.
38. එකල්හි භික්‍ෂූහු “භාග්‍යවතුන් වහන්සේ විසින් පාමොක් උදෙසීම අනුදන්නා ලදැ” යි දින පතා පාමොක් උදෙසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දින පතා පාමොක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම්; දුකුළාඇවැත් වේ. මහණෙනි, පොහෝ දිනයෙහි පාමොක් උදෙසන්නට අනුදනිමි.”
39. එකල්හි භික්‍ෂූහු “භාග්‍යවතුන් වහන්සේ විසින් උපෝසථදිනයෙහි පාමොක් උදෙසීම අනුදන්නාලදැ” යි තුදුස්වක්හි ද පසළොස්වක්හි ද පක්‍ෂයේ අටවක්හි දැ යි පක්‍ෂයට තෙවරක් පාමොක් උදෙසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පක්‍ෂයට තෙවරක් පාමොක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, පක්‍ෂයකට වරක් – තුදුස්වක්හි හෝ පසළොස්වක්හි හෝ පාමෙක් උදෙසන්නට අනුදනිමි”.
40. එකල්හි සවග භික්‍ෂූහු පිරිස් අනු ව සිය සිය පිරිස්හි පාමොක් උදෙසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පිරිස් අනු ව සිය සිය පිරිස්හි පාමොක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, සමගි වූවන්ගේ පෙහෙවස් කර්‍මය අනුදනිමි”.
41. එකල්හි භික්‍ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ විසින් සමගි වූවන්ට පෙහෙවස්කම් අනුදන්නා ලද්දේ ය. සමගිය කෙතෙක් ද? එක් ආවාසයක් තෙක් ද? නොහොත් මුළුපොළොව දැ?” යි සිත් විය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, (සීමාවට රැස් වූ) ඒකාවාසය යම් තාක් ද සමගිය එපමණ ය යි අනුදනිමි”.
42. එකල්හි ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේ රජගහනුවර මිගදාය නම් මද්දකුච්ඡියෙහි වැඩ වසති. එහි එකලා ව විවේකයෙන් හුන් ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේට “මම පොහොය කිරීමට යන්නෙම් ද? නො යන්නෙම් ද? සඞ්ඝකර්‍මයට යන්නෙම් ද? නො යන්නෙම් ද? ගියත් නොගියත් මම උතුම් වූ පිරිසිදු බැවින් පිරිසිදුබැව් ඇත්තේ වෙමි” යි සිත් වි ය.
43. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තම සිතින් ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේගේ සිත දැන බලවත් පුරුෂයෙක් තෙමේ හැකිළූ, අතක් යම් සේ දිගු කරන්නේ වේ ද, දිගු කළ අතක් යම් සේ හකුළන්නේ වේ ද, එපරිද්දෙන් (ඉතා වහා) ගිජුකුළුපව්වෙහි අතුරුදහන් වූසේක් මෘගදාය නම් වූ මද්දකුච්ජියෙහි ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේගේ ඉදිරියෙහි පහළ වූ සේක. පැණවූ අසුනෙහි වැඩ හුන් සේක. ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේ ද භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හුන්සේක. පසෙක හුන් ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:–
44. “කප්පිනය, එකලා ව විවේකයෙන් හුන් ඔබට ‘මම පොහොය කිරීමට යන්නෙම් දෝ හෝ නො යන්නෙම් දෝ හෝ සඞ්ඝකර්‍මයට යන්නෙම් දො හෝ නො යන්නෙම් දෝ – ගියත් නො ගියත් මම උතුම් පිරිසිදු බැවින් පිරිසිදු වූයේ වෙමි’ යි මෙබඳු සිතක් වූයේ නො වේ දැ” යි. “ස්වාමීනි, එසේ ය” යි කී කල්හි “රහත් වූ තෙපි උපෝසථයට සත්කාර නො කරන්නහු නම්, ගරු නො කරන්නහු නම්, නො පුදන්නහු නම්, එකල්හි කවරෙක් උපෝසථයට සත්කාර කරන්නේ ද? ගරු කරන්නේ ද? බුහුමන් කරන්නේ ද? පුදන්නේ ද? බ්‍රාහ්මණය, උපෝසථයට යව. නො යන්නෙහි නො ව. සඞ්ඝකර්‍මයට යව. නො යන්නෙහි නො ව” යි වදාළ සේක. ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි, එසේ ය” යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
45. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේට දැහැමිකතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා බලවත් පුරුෂයෙක් තෙමේ හැකිළූ අතක් යම් සේ දිගු කරන්නේ වේ ද, දිගු කළ අතක් යම් සේ හකුළන්නේ වේ ද, එපරිද්දෙන් මිගදාය නම් මද්දකුච්ජියෙහි ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේගේ ඉදිරියෙහි අතුරුදහන් වූ සේක් ගිජුකුළුපව්වෙහි පහළ වූ සේක.
46. එකල්හි භික්‍ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ විසින් ඒකවාසය යම් තාක් ද, සමගිය ඒ තාක් ය යි පණවන ලදී. කොපමණකින් ඒකවාසය වේ දැ” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. උන්වහන්සේ (මෙසේ වදාළසේක). “මහණෙනි, සීමාව සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය. පබ්බත නිමිත්ත– පාසාණ නිමිත්ත– වන නිමිත්ත– රුක්ඛ නිමිත්ත– මග්ග නිමිත්ත– වම්මික නිමිත්ත– නදී නිමිත්ත (යන මේ) නිමිති පළමු කොට කීර්‍තනය කළ යුතු ය. නිමිති කීර්‍තනය කොට ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන් විය යුත්තේ ය.
47. “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. හාත්පස යම් පමණ නිමිති කීර්‍තනය කරණ ලද ද, ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මේ නිමිතිවලින් සමානසංවාස වූ ඒකූපෝසථ වූ සීමාවක් සම්මත කරන්නේ ය. මේ දැන්වීම ය.”
“ස්වාමීනි, සඞ්ඝ තෙම් මාගේ වචනය අසාවා. හාත්පස යම් පමණ නිමිති කීර්‍තනය කරණ ලද ද, සඞ්ඝ තෙමේ මේ නිමිතිවලින් සමාන සංවාස වූ ඒකූපෝසථ වූ සීමාවක් සම්මත කරයි. යම් ආයුෂ්මතෙකුහට මේ නිමිතිවලින් සමාන සංවාස වූ ඒකූපෝසථ වූ සීමාව සම්මත කිරීම රුචි වේ නම්, හෙ තෙමේ තුෂ්ණිම්භූත වේවා. යමකුහට රුචි නො වේ නම්, හෙතෙමේ කියාවා. සඞ්ඝයා විසින් මේ නිමිතිවලින් සමාන සංවාස වූ ඒකූපෝසථ වූ සීමාව සම්මත කරණ ලද්දී ය. සඞ්ඝයාට එය රුචි වේ. එහෙයින් තුෂ්ණීම්භූත වේ. මෙය මෙසේ දරමි” යි.
48. එකල්හි සවග භික්‍ෂූහු – ‘භාග්‍යවතුන් වහන්සේ විසින් සීමා සම්මත කිරීම අනුදන්නා ලදැ” යි සිවු යොදුන් පමණ වූ ද පස් යොදුන් පමණ වූ ද සයොදුන් පමණ වූ ද ඉතා මහත් සීමා සම්මත කරත්. භික්‍ෂූහු උපෝසථයට එන්නෝ පාමොක් උදෙසනු ලබන කල්හි ද එත්. පාමොක් උදෙසූ ඇසිල්ලෙහි ද එත්. අතර ද රැඳෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සිවු යොදුන් පමණ වූත් පස් යොදුන් පමණ වූත් සයොදුන් පමණ වූත් ඉතා මහත් සීමා සම්මත නො කට යුතු ය. යමෙක් සම්මත කරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, තුන් යොදුන පරම කොට ඇති සීමා සම්මත කිරීමට අනුදනිමි” යි.
49. එකල්හි සවග භික්‍ෂූහු නදිය මැදි කොට දෙගංඉවුරෙහි සීමා සම්මත කෙරෙත්, උපෝසථයට එන්නා වූ භික්‍ෂූහු ද (ගඟදියෙන්) ගසා ගෙණ යනු ලැබෙත්. පාත්‍ර ද ගසා ගෙණ යනු ලැබේ. සිවුරු ද ගසා ගෙණ යනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නදිය යට කොට සිටි සීමා සම්මත නො කළ යුතු ය. යමෙක් සම්මත කරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, යම් තැනෙක නිතර හැසිරෙණ නැවක් හෝ නිතර තිබෙන හෙයක් හෝ වන්නේ ද, එබඳු වූ නදීපාර සීමාව සම්මත කරන්නට අනුදනිමි” යි.
50. එකල්හි භික්‍ෂූහු පිරිවෙණක් (=පන්සලක්) පාසා සීමා ලකුණු නො කොට පාමොක් උදෙසත්. ආගන්තුක භික්‍ෂූහු “අද උපෝසථය කො තැන්හි කරණු ලැබේ දැ” යි නො දනිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ලකුණු නො තබා පිරිවෙණක් පාසා පාමොක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි, සඞ්ඝ තෙමේ වෙහෙරක් හෝ ගුරුළුපියාපත් වැනි පියසි ඇති ගෙයක් හෝ පහයක් හෝ සඳලු සහිත ගෙයක් හෝ ගුහාවක් හෝ කැමැති නම්, විහාරාදි එබඳු ගෙයක් පොහෝගෙයක් කොට සම්මත කර පොහොය කරන්නට අනුදනිමි. මහණෙනි, එය මෙසේ සම්මත කළ යුතු ය. ව්‍යක්ත ප්‍රතිකාල භික්‍ෂුනමක් විසින් සඞ්ග තෙමේ (පළමු කොට) දැන්විය යුතු ය:
51. “සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝයාට පැමිණ කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මෙ නම් විහාරය පොහෝගෙයක් කොට සම්මත කරන්නේ ය. මේ දැන්වීම යි.”
“සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් විහාරය පොහෝගෙයක් කොට සම්මත කරයි. යම් ආයුෂ්මතෙකුහට මෙ නම් විහාරයාගේ උපෝසථාගාරසම්මුතිය රුචි වේ නම්, හෙ තෙමේ තුෂ්ණිම්භූත වේවා. යමකුට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා.‘
“සඞ්ඝයා විසින් මෙ නම් විහාරය උපෝසථාගාරයක් කොට සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාට රුචි වේ. එහෙයින් නිශ්ශබ්ද වේ. මෙය මෙසේ දරමි” යි.
52. එකල්හි එක්තරා ආවාසයෙක පොහෝ ගෙවල් දෙකක් සම්මත කරණ ලද්දේ ය. භික්‍ෂූහු “මෙහි පොහොය කරණු ලබන්නේ ය. මෙහි පොහොය කරණු ලබන්නේ ය” යි දෙ තැන්හි රැස් වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, එක ආවාසයෙක පොහෝ ගෙවල් දෙකක් සම්මත නො කළ යුතු ය. යමෙක් සම්මත කරන්නේ නම්, දුකුළා ඇවැත් වේ. මහණෙනි, එක් පොහෝගෙයක් උදුරා එක් තැනෙක පොහොය කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ඉදිරිය යුතු ය. ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන් විය යුතු ය:
53. “සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට කල් පැමිණියේ නම්, සඞ්ඝ තෙමේ මෙ නම් ඇති පොහෝගෙය උදුරන්නේ ය. මේ දැන්වීම යි.”
“සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් ඇති පොහෝගෙය උදුරාලයි. යම් ආයුෂ්මතෙකුහට මෙ නම් ඇති පොහෝගෙය උදුරාලීම රුචි වේ නම්, හෙ තෙමේ තුෂ්ණීම්භූත වේවා. යමෙකුට රුචි නො වේ නම් හෙ තෙමේ කියාවා.”
“සඞ්ඝයා විසින් මෙ නම් ඇති පොහෝගෙය උදුරණ ලද්දේ ය. සඞ්ඝයාට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි” යි.
54. එකල්හි එක්තරා ආවාසයෙක ඉතා කුඩා වූ පොහෝගෙයක් සම්මත කරණ ලද්දේ ය. එදවස පොහෝදිනයෙහි මහාභික්‍ෂුසඞ්ඝ තෙමේ රැස් වූයේ වේ. භික්‍ෂූහු සම්මත නො කළ බිම හුන්නාහු පාමොක් උදෙසුම් ඇසූහ. එකල්හි ඒ භික්‍ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පොහෝගෙයක් සම්මත කොට පොහොය කළ යුතු ය’ යි පණවන ලද්දේ ය. අපි ද සම්මත නො කළ බිම හුන්නමෝ පාමොක් උදෙසීම් ඇසූමු. (එහෙයින්) අප විසින් පොහොය කරණ ලද්දේ ද? නො කරණ ලද්දේ දැ?” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
“මහණෙනි, සම්මත කළ බිම හෝ සම්මත නො කළ බිම හෝ හුන්නේ පාමොක් උදෙසීම් අසා ද ඒ භික්‍ෂුහු විසින් පොහොය කරණ ලද්දේ ම වේ. මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ යම් පමණ මහත් වූ උපෝසථාගාර ආලින්‍දයක් කැමැති වේ නම් එ පමණ මහත් වූ උපෝසථාගාරආලින්‍දයක් සම්මත කෙරේවා. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය: පළමු කොට නිමිති කීර්‍තනය කළ යුතු ය. නිමිති කීර්‍තනය කොට ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:
55. “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. යම් පමණ හාත්පස නිමිති කීර්‍තනය කරණ ලද ද, සඞ්ඝයාට කල් පැමිණියේ නම්, සඞ්ඝ තෙමේ මේ නිමිතිවලින් උපෝසථගාරආලින්‍දයක් සම්මත කරන්නේ ය මේ දැන්වීම ය.”
“ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. යම් පමණ හාත්පස නිමිති කීර්‍තනය කරණ ලද ද, සඞ්ඝ තෙමේ මේ නිමිති වලින් උපෝසථාගාරආලින්‍දයක් සම්මත කරයි. යම් ආයුෂ්මතෙකුහට මේ නිමිතිවලින් උපෝසථාගාරආලින්‍දයාගේ සම්මුතිය රුචි වේ නම් හෙ තෙමේ තුෂ්ණීම්භූත වේවා. යමෙකුට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා.
“සඞ්ඝයා විසින් මේ නිමිතිවලින් උපෝසථාගාරආලින්‍දයෙක් සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි” යි.
56. එකල්හි එක්තරා ආවාසයෙක එ දවස පොහොයෙහි නවක භික්‍ෂූහු පළමු කොට රැස් වී “ස්ථවිරයන් වහන්සේලා ඒ තාක් නො එත්” යි නික්ම ගියහ. උපෝසථය අසම්පූර්‍ණ වූයෝ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. උන්වහන්සේ “මහණෙනි, එ දවස පොහොයෙහි පළමු කොට ස්ථවිරභික්‍ෂූන් රැස් වීමට අනුදනිමි” යි.
57. එකල්හි රජගහනුවර සම්මත සීමා ඇති බොහෝ ආවාසයෝ වෙති. ඒ ආවාසයන්හි වැසි භික්‍ෂූහු “අපගේ ආවාසයෙහි පොහොය කරණු ලැබේවා. අපගේ ආවාසයෙහි පොහොය කරණු ලැබේවා” යි විවාද කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මෙහි සමාන සීමා ඇති බොහෝ ආවාසයෝ වෙති. එහි වැසි භික්‍ෂූහු ‘අපගේ ආවාසයෙහි පොහොය කරණු ලැබේවා. අපගේ ආවාසයෙහි පොහොය කරණු ලැබේවා’ යි විවාද කෙරෙත්. මහණෙනි, ඒ සියලු භික්‍ෂූන් විසින් ම එක් තැනෙක්හි රැස් වී පොහොය කළ යුතු ය. ස්ථවිර භික්‍ෂු තෙමේ යම් ආවාසයෙක වෙසේ නම්, එ තැනට රැස් වී පොහොය කළ යුතු ය. වර්‍ග වූ සඞ්ඝයා විසින් පොහොය නො කළ යුත්තේ ම ය. යමෙක් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
58. එකල්හි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ අන්‍ධකවින්‍ද විහාරයෙන් රජගහ නුවරට උපෝසථය පිණිස එන්නාහු අතරමග දී නදියකින් එතෙර වනසේක් මදකින් ජලයෙන් ගසාගෙණ යන ලද්දෝ වූහ. (එයින්) උන්වහන්සේගේ සිවුරු තෙමුණේ ය. එකල්හි භික්‍ෂූහු ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට “ඇවැත්නි, නුඹවහන්සේගේ සිවුරු කුමක් හෙයින් තෙමුනේ දැ?” යි ඇසූහ. “ඇවැත්නි, මම මෙහි අන්‍ධකවින්‍දවිහාරයේ සිට රජගහනුවර වේළුවනයට උපෝසථය පිණිස එන්නෙම් අතරමග ගඟෙන් එතෙර වන්නෙම් ජලයෙන් මදකින් ගසා ගෙණ යන ලද්දෙමි. එයින් මගේ සිවුරු තෙමුනේ ය” යි කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සඞ්ඝයා විසින් සමානසංවාස වූ ඒකූපෝසථ වූ යම් ඒ සීමාවක් සම්මත කරණ ලද ද සඞ්ඝතෙමේ ඒ සීමාව තුන් සිවුරෙන් අවිප්පවාසය යි{*} සම්මත කෙරේවා. මහණෙනි, ඒ මෙසේ සම්මත කළ යුතු ය. ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන් විය යුත්තේ ය:”
59. “සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝයා විසින් සමානසංවාස වූ ඒකුපෝසථ වූ යම් ඒ සීමාවක් සම්මත කරණ ලද ද, ඉදින් සඞ්ඝයාහට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ ඒ සීමාව තුන් සිවුරෙන් අවිප්පවාස ය යි සම්මත කරන්නේ ය. මේ දැන්වීම ය.
“සඞ්ඝතෙමේ මාගේ වචනය අසාවා: සඞ්ඝයා විසින් සමානසංවාස වූ ඒකුපෝසථ වූ යම් ඒ සීමාවක් සම්මත කරණ ලද ද, සඞ්ඝ තෙමේ ඒ සීමාව තුන්සිවුරෙන් අවිප්පපවාසය යි සම්මත කරයි. යම් ආයුෂ්මතෙකුහට තුන්සිවුරෙන් අවිප්පවාසසම්මුතිය රුචි වේ නම්, හෙතෙමේ තුෂ්ණීම්භූත වේවා. යමෙකුට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා. සඞ්ඝයා විසින් තුන්සිවුරෙන් ආවිප්පවාසය ඇති ඒ සීමාව සම්මත කරණ ලද්දී ය. සඞ්ඝයාට එය රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි” යි.
60. එකල්හි භික්‍ෂූහු “භාග්‍යවතුන් වහන්සේ විසින් තුන් සිවුරෙන් අවිප්පවාසය පිළිබඳ සම්මුතිය අනුදන්නා ලදැ” යි ගම තුළ සිවුරු බහා තබත්. (එයින්) ඒ චීවරයෝ නැසෙත්. ගින්නෙන් දැවෙත්. මීයන් විසිනු දු කැවෙත්. භික්‍ෂූහු අපිරිසිදු සිවුරු ඇත්තෝ රළු සිවුරු ඇත්තෝ වෙති. භික්‍ෂූහු “ඇවැත්නි, තෙපි කුමක් නිසා අපිරිසිදු සිවුරු ඇත්තෝ රළු සිවුරු ඇත්තෝ වහු දැ” යි ඇසූහ. “ඇවැත්නි, මෙහි අපි ‘භාග්‍යවතුන් වහන්සේ විසින් තුන්සිවුරෙන් අවිප්පවාසසම්මුතිය අනුදන්නා ලදැ’යි ගම තුළ සිවුරු බහා තැබුවෙමු. (එයින්) ඒ චීවරයෝ නැසුනාහ. (ගින්නෙන්) දැවුනාහ. මීයන් විසිනුත් කැවුනාහ. අපි අපිරිසිදු සිවුරු ඇත්තෝ රළු සිවුරු ඇත්තෝ වූම්හ” යි කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සඞ්ඝයා විසින් සමානසංවාස වූ ඒකූපෝසථ වූ යම් සීමාවක් සම්මත කරණ ලද ද, සඞ්ඝ තෙමේ ඒ සීමාව තුන් සිවුරෙන් අවිප්පවාසය ඇත්තක් කොට, ගම ද ගාමූපචාරය ද හැර, සම්මත කෙරේවා. මහණෙනි, ඒ මෙසේ සම්මත කළ යුතු ය. ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:
61. ‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: සඞ්ඝයා විසින් සමානසංවාස වූ ඒකූපෝසථ වූ යම් ඒ සීමාවක් සම්මත කරණ ලද ද, ඉදින් සඞ්ඝයාහට කල් පැමිණියේ නම්, සඞ්ග තෙමේ ඒ සීමාව තුන් සිවුරෙන් අවිප්පවාස ඇත්තක් කොට ගමත් ගාමූපචාරයත් හැර සම්මත කරන්නේ ය. මේ දැන්වීම ය.”
“ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝයා විසින් සමාන සංවාස වූ ඒකූපෝසථ වූ යම් ඒ සීමාවක් සම්මත කරණ ලද ද, සඞ්ඝ තෙමේ ඒ සීමාව තුන් සිවුරෙන් අවිප්පවාස ඇත්තක් කොට ගමත් ගාමුපචාරයත් හැර සම්මත කරයි. යම් ආයුෂ්මතෙකුහට ගමත් ගාමූපචාරයත් හැර තුන් සිවුරෙන් අපිප්පවාසය ඇති ඒ සීමාවගේ සම්මුතිය රුචි වේ නම්, හෙ තෙමේ තුෂ්ණිම්භූත වේවා. යමෙකුට රුචි නො වේ නම්, හෙතෙමේ කියාවා.”
“සඞ්ඝයා විසින් ගමත් ගාමූපචාරයත් හැර තුන් සිවුරෙන් අවිප්පවාසය ඇති ඒ සීමාව සම්මත කරණ ලද්දී ය. සඞ්ඝයාහට රුචි වේ. එහෙයින් තුෂ්ණීම්භූත වේ. මෙය මෙසේ දරමි” යි.
62. මහණෙනි, සීමාවක් සම්මත කරන්නහු විසින් පළමු කොට සමානසංවාසසීමාව සම්මත කළ යුතු ය. පසු ව තුන් සිවුරෙන් අවිප්පවාසය සම්මත කළ යුතු ය. මහණෙනි, සීමාවක් උදුරන්නහු විසින් පළමු කොට තුන් සිවුරෙන් අවිප්පවාසය ඉදිරිය යුතු ය. පසු ව සමානසංවාසසීමාව ඉදිරිය යුතු ය. මහණෙනි, තුන්සිවුරෙන් අවිප්පවාසය මෙසේ ඉදිරිය යුතු ය: ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු ය:
63. “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: සඞ්ඝයා විසින් යම් ඒ තුන් සිවුරෙන් අවිප්පවාසයෙක් සම්මත කරණ ලද ද, සඞ්ඝයාහට කල් පැමිණියේ නම්, සඞ්ඝ තෙමේ ඒ තුන් සිවුරෙන් අවිප්පවාසය උදුරන්නේ ය. මේ දැන්වීම ය.”
“ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: සඞ්ඝයා විසින් යම් ඒ තුන් සිවුරෙන් අවිප්පවාසයෙක් සම්මත කරණ ලද්දේ ද, සඞ්ඝ තෙමේ ඒ තුන් සිවුරෙන් අවිප්පවාසය උදුරාලයි. යම් ආයුෂ්මතෙකුහට මේ තුන් සිවුරෙන් අවිප්පවාසයාගේ උදුරාලීම රුචි වේ නම්, හෙ තෙමේ තුෂ්ණීම්භූත වේවා. යමෙකුහට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා.”
“සඞ්ඝයා විසින් ඒ තුන් සිවුරෙන් අවිප්පවාසය උදුරණ ලද්දේ ය. සඞ්ඝයාහට කැමැති වේ. එහෙයින් තුෂ්ණීම්භූත වේ. මෙය මෙසේ දරමි” යි.
64. “මහණෙනි, මෙසේ සමානසංවාසසීමාව ඉදිරිය යුතු ය: ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු ය: “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝයා විසින් යම් ඒ සමානසංවාස ඒකූපෝසථසීමාවක් සම්මත කරණ ලද ද, ඉදින් සඞ්ඝයාහට කල් පැමිණියේ නම්, සඞ්ඝ තෙමේ ඒ සමානසංවාසඒකූපෝසථසීමාව උදුරන්නේ ය. මේ දැන්වීම ය.”
“ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝයා විසින් යම් ඒ සමානසංවාසඒකූපෝසථසීමාවක් සම්මත කරණ ලද ද, සඞ්ඝ තෙමේ ඒ සමානසංවාසඒකූපෝසථසීමාව උදුරාලයි. යම් ආයුෂ්මතෙකුට මේ සමාන සංවාසඑකූපෝසථසීමාවගේ උදුරාලීම රුචි වේ ද, හෙතෙමේ තුෂ්ණීම්භූත වේවා. යමෙකුට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා.
“සඞ්ඝයා විසින් ඒ සමානසංවාසඒකූපෝසථසීමාව උදුරණ ලද්දී ය. සඞ්ඝයාට රුචි වේ. එහෙයින් තුෂ්ණීම්භූත වේ. මෙය මෙසේ දරමි” යි.
65. “මහණෙනි, සීමාවක් සම්මත නො කළ කල්හි නො පිරිසිඳි කල්හි යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වාසය කෙරේ ද, ඒ ගම පිළිබඳ යම් ගාමසීමාවක් හෝ නියම්ගම පිළිබඳ යම් නිගමසීමාවක් හෝ වේ ද, මේ එහි සමානසංවාසඒකූපෝසථසීමාව” යි.
66. “මහණෙනි, ගම් නො වූ වනයෙහි හාත්පස සතරවටින් අබ්භන්තර{*} සතක් වේ ද, මේ එහි සමානසංවාස ඒකූපෝසථසීමාව ය.”
67. “මහණෙනි, සියලු නදිය සීමාව නො වෙයි. සියලු මුහුද සීමාව නො වේ. සියලු ජාතස්සරය (ඉබේ ඇති වූ විල) සීමාව නො වේ. මහණෙනි, නදියෙක හෝ මුහුදෙහි හෝ ජාතස්සරයෙක හෝ යම් පෙදෙසක් මධ්‍යමපුරුෂයාගේ හාත්පස දිය ඉසීමෙන් පිරිසිඳේ ද, මේ උදකුක්ඛේපය එහි සමානසංවාසඒකූපෝසථසීමා ය.”
68. එකල්හි සවග භික්‍ෂූහු සීමාවෙන් සීමාව බිඳිත්. (මිශ්‍ර කරත්). භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, යම් කෙනෙකුන් විසින් පළමු කොට සීමාවක් සම්මත කරණ ලද ද, ඔවුන්ගේ ඒ කර්‍මය ධාර්මික වේ. බැහැර කළයුතු බවට නො පැමිණේ. කරුණට සුදුසු වේ. මහණෙනි, යම් කෙනකුන් විසින් පසු ව සීමාවක් සම්මත කරණ ලද ද, ඔවුන්ගේ ඒ කර්‍මය ධාර්මික නො වේ. බැහැර කළ යුතු බවට පැමිණේ. කරුණට සුදුසු නො වේ. මහණෙනි, සීමාවෙන් සීමාව නො බිඳිය යුතු ය. යමෙක් බිඳින්නේ නම්, දුකුළා ඇවැත් වේ.
69. එකල්හි සවග භික්‍ෂූහු සීමාවෙන් සීමාව යටපත් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, යම් කෙනකුන් විසින් පළමු කොට සීමාවක් සම්මත කරණ ලද ද, ඔවුන්ගේ ඒ කර්‍මය ධාර්මික වේ. බැහැර කළ යුතු බවට නො පැමිණේ. කාරණයට සුදුසු වේ. මහණෙනි, යම් කෙනකුන් විසින් පසු ව සීමාවක් සම්මත කරණ ලද ද, ඔවුන්ගේ ඒ කර්‍මය ධාර්මික නො වේ. බැහැර කළ යුතු බවට පැමිණේ. කාරණයට සුදුසු නො වේ. මහණෙනි, සීමාවෙන් සීමාව යටපත් නො කළ යුතු ය. යමෙක් යටපත් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, සීමාවක් සම්මත කරන්නහු විසින් සීමාවට අතරක් තබා සීමා සම්මත කරන්නට අනුදනිමි.”
70. එකල්හි භික්‍ෂූන්ට “උපෝසථයෝ කෙතෙක් දැ?” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, චාතුද්දසිකය පණ්ණරසිකය යි උපෝසථයෝ දෙදෙනෙකි. මහණෙනි, මේ උපෝසථයෝ දෙදෙන වෙති.”
71. එකල්හි භික්‍ෂූන්ට “උපෝසථකර්‍ම කෙතෙක් දැ?” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මේ උපෝසථ කර්‍ම, අධර්‍මයෙන් වර්‍ග වූ උපෝසථකර්‍මය, අධර්‍මයෙන් සමගි වූ උපෝසථ කර්‍මය, ධර්‍මයෙන් වර්‍ග වූ උපෝසථ කර්‍මය, ධර්‍මයෙන් සමගි වූ උපෝසථ කර්‍මය යි සතරෙ කි.”
72. “මහණෙනි, ඒ උපෝසථ කර්‍මයන් අතුරෙහි යම් මේ අධර්‍මයෙන් වර්‍ග වූ උපෝසථකර්‍මයෙක් වේ ද, මහණෙනි, එබඳු වූ උපෝසථ කර්‍මය නො කළ යුතු ය. මා විසින් එබඳු වූ උපෝසථකර්‍මයෙක් නො අනුදන්නා ලද ය.”
73. “මහණෙනි, ඒ උපෝසථ කර්‍මයන් අතුරෙහි යම් මේ අධර්‍මයෙන් සමගි වූ උපෝසථකර්‍මයෙක් වේ ද, මහණෙනි, එබඳු වූ උපෝසථකර්‍මය නො කළ යුතු ය. මා විසින් එබඳු වූ උපෝසථකර්‍මයෙක් නො අනුදන්නා ලද ය.”
74. “මහණෙනි, ඒ උපෝසථකර්‍මයන් අතුරෙහි යම් මේ ධර්‍මයෙන් වර්‍ග වූ උපෝසථකර්‍මයෙක් වේ ද, මහණෙනි, එබඳු වූ උපෝසථකර්‍මය නො කළ යුතු ය. මා විසින් එබඳු උපෝසථකර්‍මයෙක් නො අනුදන්නා ලද ය.”
75. “මහණෙනි, ඒ උපෝසථකර්‍මයන් අතුරෙහි යම් මේ ධර්‍මයෙන් සමගි වූ උපෝසථකර්‍මයෙක් වේ ද, මහණෙනි, එබඳු වූ උපෝසථකර්‍මය කළ යුතු ය. මා විසින් අනුදන්නා ලද්දේ එබඳු උපෝසථකර්‍මයෙකි. මහණෙනි, එහෙයින් ‘මේ ශාසනයෙහි යම් මේ ධර්‍මයෙන් සමගි වූ උපෝසථ කර්‍මයෙක් වේ ද, එබඳු වූ උපෝසථකර්‍මය කරන්නෙමු’ යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු ම ය.”