Mahāvagga

Great Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 2789 segments

පෙන්වන කොටස් 601-700 න් 2789

7. එකල්හි මවුපිය දෙපසින් නැති වී ගිය කුලපුත්‍රභාවය ඇති සියුමැලි වූ පුරාණ කුලපුත්‍රයෙක් වෙයි. නැසීගිය කුලපුත්බැව් ඇති ඒ පුරාණ කුලපුත්‍රයාහට “මම සියුමැලි වෙමි. නො ලැබූ භෝගයක් ලබන්නට හෝ ලැබූ භෝගයක් දියුණු කරන්නට හෝ සමර්‍ත්‍ථ නො වෙමි. මම කිනම් උපායයකින් සුව සේ ජීවත් වන්නෙම් ද? නො පෙළෙන්නෙම් දැ?” යි මේ සිත් වි ය.
8. නැවත ඔහුට “මේ ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ සැප වූ පැවතුම් ඇත්තෝ ය. සැප වූ හැසිරීම් ඇත්තෝ ය. මනා බොජුන් වළඳා හුළං හැමීම් තැති යහන්හි සයනය කරති. ඉදින්, මම ම පාසිවුරු පිළියෙල කොට කෙස් රැවුල් බැහැර කොට කසාවත් හැඳ ආරාමයට ගොස් භික්‍ෂූන් සමග එක් ව වසන්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වි ය.
9. ඉක්බිති නැසීගිය කුලපුත්බැව් ඇති ඒ පුරාණකුලපුත්‍රයා තෙමේ ම පාසිවුරු පිළියෙල කොට කෙස්රැවුල් බැහැර කොට කසාවත් හැඳ ආරාමයට ගොස් භික්‍ෂූන්ට නමස්කාර කරයි. භික්‍ෂූහු “ඇවැත, තෝ කෙතෙක් වස් ඇත්තෙහි දැ?” යි ඇසූහ. “ඇවැත්නි, ‘කතිවස්සෝ’ යන මෙහි තේරුම කිමෙක් දැ?” යි (හෙතෙමේ ඇසී ය.) “ඇවැත, ඔබගේ උපාද්ධ්‍යාය තෙමේ කවරේ ද?” යි භික්‍ෂූන් ඇසූ විට “ඇවැත්නි, උපාද්ධ්‍යාය යන මෙහි තේරුම කිමෙක් දැ?” යි ඇසී ය. භික්‍ෂූහු ආයුෂ්මත් උපාලිස්ථවිරයන් වහන්සේට “ඇවැත්නි, උපාලි ස්ථවිරයෙනි, මේ පැවිද්දහු අතින් කරුණු විචාරණු මැනවැ’ යි කීහ.
10. ඉක්බිති නැසී ගිය කුලපුත්බැව් ඇති ඒ පුරාණ කුලපුත්‍රතෙමේ ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ විසින් කරුණු විචාරණු ලබන්නේ මේ කාරණය දන්වා සිටියේ ය. ආයුෂ්මත් උපාලි ස්ථවිර තෙමේ භික්‍ෂූන්ට එය දැන්වී ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ථෙය්‍යසංවාසක තෙමේ උපසපන් නො වූයේ උපසපන් නො කළ යුතු ය. උපසපන් වූයේ මහණ බැවින් මුදා හැරිය යුතු ය. මහණෙනි, තිත්‍ථියපක්කන්තක තෙමේ උපසපන් නො වූයේ උපසපන් නො කළ යුතු ය. උපසපන් වූයේ මහණ බැවින් මුදා හැරිය යුතු ය” යි වදාළ සේක. (2. 3.)
11. එකල්හි එක්තරා නාගයෙක් නාගයෝනිය කරණ කොට පෙළෙ යි. ලජ්ජිත වේ. අත්බව පිළිකුල් කෙරෙ යි. ඉක්බිති ඒ නාගයාහට “කිනම් උපායයකින් මම නාගයෝනියෙන් මිදෙන්නෙම් ද? මිනිසත්බවක් වහා ලබන්නෙම් දැ යි” යි සිතෙක් වි ය. නැවත ඒ නාගයාහට “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ ධර්‍මයෙහි හැසිරෙන්නෝ ය. සම වූ හැසිරීම් ඇත්තෝ ය. සත්‍යවාදීහු ය. සිල්වත් ය. යහපත් ගුණ ඇත්තෝ ය. එහෙයින් මම ශ්‍රමණශාක්‍යපුත්‍රයන් වෙත පැවිදි වන්නෙම් නම්, මෙසේ නාගයෝනියෙන් ද මිදෙන්නෙමි. මිනිසත්බව ද වහා ලබන්නෙමි” යි කල්පනා වි ය.
12. ඉක්බිති ඒ නාග තෙමේ මාණවකවේශයෙන් භික්‍ෂූන් වෙත පැමිණ පැවිද්ද ඉල්ලී ය. භික්‍ෂූහු ඔහු පැවිදි කළහ. උපසපන් කළහ. එකල්හි, නාග තෙමේ එක්තරා භික්‍ෂුනමක් සමග පිටිසරගමෙක වූ විහාරයෙක්හි වාසය කර යි. එකල ඒ භික්‍ෂු තෙමේ රැ අලුයම නැඟිට එළිමහන් තැනෙක සක්මන් කර යි.
13. නාග තෙමේ ඒ භික්‍ෂුහු නික්ම ගිය කල්හි සැක නැති ව නින්දට ගියේ ය. සියලු විහාරය නාගයාගෙන් පිරුණේ ය. ජනෙල්කවුළුවලින් දරණවැල් නික්මුනේ ය. එවේලෙහි ඒ භික්‍ෂු තෙමේ “වෙහෙරට පිවිසෙන්නෙමි” යි දොරකවුළුව හරින්නේ නාගයාගෙන් පිරී තුබූ විහාරය හා ජනෙල්කවුළුවලින් නික්මුනු දරණවැල් ද දැක්කේ ය. දැක බියට පැමිණියේ වියරු මහහඬක් කෙළේ ය. භික්‍ෂූහු ලඟට දුව ගොස් ඒ භික්‍ෂුහුගෙන් “ඇවැත, තෙපි කුමකට වියරු හඬක් කළහු දැ?” යි ඇසූහ. “ඇවැත්නි, මුළු වෙහෙර නාගයාගෙන් පිරී තිබේ. ජනෙල් කවුළු වලින් දරණවැල් නික්ම තිබේ ය” යි කී ය.
14. ඉක්බිති නාග තෙමේ ඒ හඬින් පිබිද සිය අසුනෙහි හිඳ ගත්තේ ය. භික්‍ෂූහු “ඇවැත, තෝ කවරෙක් වෙහි දැ?” යි ඇසූහ. “ස්වාමීනි, මම නාගයෙක් වෙමි” යි කී ය. “ඇවැත, තෝ කුමකට මෙබන්දක් කෙළෙහි දැ?” යි ඇසූහ.
15. ඉක්බිති එ නාගතෙමේ භික්‍ෂූන්ට මේ කාරණය දැන්වී ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා (සඟමැද) ඒ නාගයාහට “තෙපි නාගයෝ වහු ය. මේ ශාසනයෙහි නොවැඩෙන ස්වභාව ඇත්තහුය නාගය, තෝ එහි ම යව. තුදුස්වක්හි ද පසළොස්වක්හි ද පක්‍ෂයේ අටවක්හි ද පෙහෙවස් වසව. මෙසේ කල්හි තෝ නාගයෝනියෙන් මිදෙන්නෙහි ය. වහා මිනිසත්බව ද ලබන්නෙහි ය” යි වදාළ සේක.
16. එවිට ඒ නාග තෙමේ “මම මේ ශාසනයෙහි නො වැඩෙන ස්වභාව ඇත්තෙමි” යි දුක් ඇත්තේ නො සතුටු සිත් ඇත්තේ කඳුළු හෙළමින් වියරුහඬක් කොට බැහැර ගියේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, නාගයාගේ ස්වභාවය පහළ කිරීමෙහි මේ කරුණු දෙකක් වේ. යම් කලෙක සැපින්නක හා මෙවුන්දම් සේවනය කෙරේ ද, යම් කලෙක නිසැක ව නින්දට බසී ද යන මෙ දෙක නාගයාගේ ස්වභාවය ප්‍රකට වීමෙහි කරුණු වෙයි. මහණෙනි, තිරිසන් තෙමේ උපසපන් නො වූයේ උපසපන් නො කළ යුතු ය. උපසපන් වූයේ සිවුරු හැරවිය යුතු ය” යි වදාළ සේක. (4)
17. එකල්හි එක්තරා මාණවකයෙක් මව මැරී ය. හෙතෙමේ ඒ පව්කම්න් පෙළෙයි. ලජ්ජිත වේ. පිළිකුල් කෙරේ. ඒ අතර ඔහුට “කිනම් උපායයකින් මම මේ පාපකර්‍මයෙන් මිදෙන්නෙම් දැ?” යි සිත් වි ය. එකල ඔහුට “මේ ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ ධර්‍මයෙහි හැසිරෙන්නෝ ය. සම ව හැසිරෙන්නෝ ය. උතුම් හැසිරීම් ඇත්තෝ ය. සත්‍යවාදීහු ය. සිල්වත් ය. යහපත් ගුණ ඇත්තෝ ය. ඉදින් මම මේ ශ්‍රමණශාක්‍යපුත්‍රයන් වෙත පැවිදි වන්නෙම් නම්, මේ පාපකර්‍මයෙන් මිදෙන්නට හැක්කෙමි” යි අදහස් වි ය.
18. එකල්හි ඒ මාණවකතෙමේ භික්‍ෂූන් වෙත ගොස් පැවිද්ද ඉල්ලී ය. භික්‍ෂූහු ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේට “ඇවැත්නි, උපාලි ස්ථවිර තුමනි, පෙර ද නාගයෙක්තෙමේ මාණවකවේශයෙන් අවුත් භික්‍ෂූන් වෙත පැවිදි වූයේ ය. එබැවින් ඇවැත්නි, උපාලි ස්ථවිර තුමනි, මේ මාණවකයාගෙන් කරුණු විචාරණු මැනවැ” යි දැන්වූහ.
19. ඉක්බිති ඒ මාණවක තෙමේ ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ විසින් කරුණු විචාරණ ලබන්නේ මේ කාරණය කියා සිටියේ ය. ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට එය දැන්වූහ. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. “මහණෙනි, මාතෘඝාතක තෙමේ උපසපන් නො වූයේ උපසපන් නො කළ යුතු ය. උපසපන් වූයේ සිවුරු හැරවිය යුතු ය” යි වදාළ සේක. (5.)
20. එකල්හි එක්තරා මාණවකයෙක් පියා මැරී ය. හෙතෙමේ ඒ පව්කමින් පෙළේ. ලජ්ජිත වේ. පිළිකුල් කෙරේ. ඒ අතර ඔහුට “කිනම් උපායයෙකින් මම මේ පාපකර්‍මයෙන් මිදෙන්නෙම් දැ?” යි සිත් වි ය. එකල ඔහුට “මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ ධර්‍මයෙහි හැසිරෙන්නෝ ය. සම ව හැසිරෙන්නෝ ය. උතුම් හැසිරීම් ඇත්තෝ ය. සත්‍යවාදීහු ය. සිල්වත් ය. යහපත් ගුණ ඇත්තෝ ය. මම මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයන් වෙත පැවිදි වන්නේනම් නම්, මේ පාපකර්‍මයෙන් මිදෙන්නට හැක්කෙමි” යි අදහස් වි ය.
21. එකල්හි ඒ මාණවක තෙමේ භික්‍ෂූන් වෙත ගොස් පැවිද්ද ඉල්ලී ය. භික්‍ෂූහු ආයුෂ්මත් උපාලිස්ථවිරයන් වහන්සේට “ඇවැත්නි, උපාලි ස්ථවිර තුමනි, පෙර ද නාගයෙක් තෙමේ මාණවක වේශයෙන් අවුත් භික්‍ෂූන් වෙත පැවිදි වූයේ ය. එබැවින් ඇවැත්නි උපාලි ස්ථවිරතුමනි, මේ මාණවකයාගෙන් කරුණු විචාරණ මැනවැ’යි කීහ.
22. එකල්හි ඒ මාණවක තෙමේ ආයුෂ්මත් උපාලිස්ථවිරයන් වහන්සේ විසින් කරුණු විචාරණ ලබන්නේ ඒ කාරණය දැන්වී ය. ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට ඒ කාරණය දැන්වූහ. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පිතෘඝාතක තෙමේ උපසපන් නො වූයේ උපසපන් නො කළ යුතු ය. උපසපන් වූයේ සිවුරු හැරවිය යුතු ය” යි වදාළ සේක. (6)
23. එකල්හි බොහෝ භික්‍ෂූහු සාකේත නුවරින් සැවැත්නුවරට යනු පිණිස දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නෝ ය. අතරමග දී සොරු (වනයෙන්) නික්ම අවුත් ඇතැම් භික්‍ෂූන්ගෙන් (පාසිවුරු) පැහැර ගත්හ. ඇතැම් භික්‍ෂූන් නැසූහ. සැවැත්නුවරින් නික්ම ආ රාජභටයෝ ඇතැම් සොරුන් අල්ලා ගත්හ. ඇතැම් සොරු පලා ගියහ. පලා ගිය සොරු භික්‍ෂූන් වෙත පැවිදි වූහ. (රාජභටයන් විසින්) අල්ලා ගත් සොරු වධයට ගෙණ යනු ලැබෙත්.
24. ඒ පැවිද්දෝ වධයට ගෙණ යනු ලබන ඒ සොරුන් දුටුහු ය. දැක, “අපි පලා ගියෙමු. ඒ යහපත් ය. යම් ලෙසකින් අපිත් අල්ලා ගන්නා ලද්දෙමු නම්, අපිත් අද මෙසේ නසනු ලබන්නෙමු” යි මෙසේ කීහ. භික්‍ෂූහු (ඒ අසා) “ඇවැත්නි, තෙපි කුමක් කළහු දැ?” යි ඇසූහ. එවිට ඒ පැවිද්දෝ භික්‍ෂූන්ට ඒ කාරණය දැන්වූහ. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට එය සැළකළහ. “මහණෙනි, මේ (මරණ ලද) භික්‍ෂූහු රහත්හු වෙති. මහණෙනි, අරහන්තඝාතක තෙමේ උපසපන් නො වූයේ උපසපන් නො කළ යුතු ය. උපසපන් වූයේ ශාසනයෙන් බැහැර කළ යුතු ය” යි වදාළ සේක. (7.)
25. එ කල්හි බොහෝ මෙහෙණෝ සාකේත නුවරින් සැවැත් නුවරට යනු පිණිස දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නාහ. අතරමග දී සොරු නික්ම අවුත් ඇතැම් මෙහෙණන්ගේ පාසිවුරු පැහැර ගත්හ. ඇතැම් මෙහෙණන් දූෂ්‍ය කළහ. සැවැත් නුවරින් ආ රාජභටයෝ ඇතැම් සොරුන් අල්වා ගත්හ. ඇතැම් සොරු පලා ගියහ. පලා ගිය සොරු භික්‍ෂූන් වෙත පැවිදි වූහ. අල්ලා ගණු ලැබූ සොරු වධයට ගෙණ යනු ලැබෙත්.
26. ඒ පැවිද්දෝ වධයට ගෙණ යනු ලබන ඒ සොරුන් දුටුවාහු ය. දැක, “අපි පලා ගියෙමු. ඒ යහපත් ය. යම් ලෙසකින් අපිත් අල්ලා ගන්නා ලද්දෙමු නම්, අපිත් අද මෙසේ නසනු ලබන්නෙමු” යි කීහ. භික්‍ෂූහු ඒ අසා “ඇවැත්නි, තෙපි කුමක් කළහුදැ?” යි ඇසූහ. එවිට ඒ පැවිද්දෝ භික්‍ෂූන්ට ඒ කාරණය දැන්වූහ. භික්‍ෂූන් භාග්‍යවතුන් වහන්සේට එය සැළකළහ. “මහණෙනි, භික්ඛුණීදූසක තෙමේ උපසපන් නො වූයේ උපසපන් නො කළ යුතු ය. උපසපන් වූයේ ශාසනයෙන් නෙරපා හැරිය යුතු ය. මහණෙනි, සඞ්ඝභේදක තෙමේ උපසපන් නො වූයේ උපසපන් නො කළ යුතු ය. උපසපන් වූයේ ශාසනයෙන් නෙරපිය යුතු ය. මහණෙනි, ලෝහිතුප්පාදක තෙමේ උපසපන් නො වූයේ උපසපන් නො කළයුතු ය. උපසපන් වූයේ ශාසනයෙන් නෙරපිය යුතු ය.” (8.9.10)
27. එ කල්හි එක්තරා උභතෝබ්‍යඤ්ජනකයෙක් භික්‍ෂූන් වෙත පැවිදි වූයේ වේ. හෙතෙමේ (මෙවුන්දම් සේවනය ද) කරයි. (මෙවුන්දම සේවනය) කරවාත් ගණියි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. උන් වහන්සේ “මහණෙනි, උභතෝබ්‍යඤ්ජනක තෙමේ උපසපන් නො වූයේ උපසපන් නො කළ යුතු ය. උපසපන් වූයේ ශාසනයෙන් නෙරපිය යුතු ය”යි වදාළ සේක. (11)
අනුපසපන් එකොළොස් වත නිමි.
1. එකල්හි භික්‍ෂූහු උපාද්ධ්‍යායයෙකු නො ගත් හෙරණහු උපසපන් කෙරෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උපාද්ධ්‍යායයෙකු නොගත් හෙරණ තෙමේ උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසපන් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි උන් වහන්සේ වදාළ සේක. (1.)
2. එකල්හි භික්‍ෂූහු සඞ්ඝයා උපාද්ධ්‍යාය කොට උපසපන් කෙරෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සඞ්ඝයා උපාද්ධ්‍යාය කොට උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසපන් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක. (2.)
3. එකල්හි භික්‍ෂූහු ගණයා උපාද්ධ්‍යාය කොට උපසම්පදා කෙරෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගණයා උපාද්ධ්‍යායා කොට උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසපන් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක. (3.)
4. එකල්හි භික්‍ෂූහු පණ්ඩකයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් කෙරෙති. –පෙ– ථෙය්‍යසංවාසකයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් කෙරෙති. – තිත්‍ථියපක්කන්තකය උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් කෙරෙති. – තිරච්ඡානගතයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් කෙරෙති – මාතෘඝාතකයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් කෙරෙති. – පිතෘඝාතකයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් කෙරෙති. – අරහන්තඝාතකයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් කෙරෙති. – භික්ඛුණීදූසකයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් කෙරෙති. – සඞ්ඝභේදකයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් කෙරෙති. – ලෝහිතුප්පාදකයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් කෙරෙති. – උභතෝබ්‍යඤ්ජනකයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් කෙරෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
5. “මහණෙනි, පණ්ඩකයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් නො කළ යුතු ය. –පෙ – ථෙය්‍යසංවාසකයා උපාද්ධ්‍යාය කොට ගෙණ, – තිත්‍ථියපක්කන්තකයා උපාද්ධ්‍යාය කොට ගෙණ, – තිරච්ඡානගතයා උපාද්ධ්‍යාය කොට ගෙණ, – මාතුඝාතකයා උපාද්ධ්‍යාය කොට ගෙණ, – පිතුඝාතකයා උපාද්ධ්‍යාය කොට ගෙණ, – අරහන්තඝාතකයා උපාද්ධ්‍යාය කොට ගෙණ, – භික්ඛුණීදූසකයා උපාද්ධ්‍යාය කොට ගෙණ, – සඞ්ඝභේදකයා උපාද්ධ්‍යාය කොට ගෙණ, – ලෝහිතුප්පාදකයා උපාද්ධ්‍යාය කොට ගෙණ, – උභතෝබ්‍යඤ්ජනකයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසපන් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක. (4-14.)
6. එකල්හි භික්‍ෂූහු පාත්‍රය නැත්තහු උපසපන් කෙරෙති. (පාත්‍රය නැත්තෝ) අත්වලින් පිඬු සිඟා හැසිරෙති. මිනිස්සු “(මොහු) තීර්‍ත්‍ථකයන් වැනිය” යි අවමන් කෙරෙති. නින්‍දා කෙරෙති දොස් කියති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පාත්‍රය නැත්තෙක් උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසපන් කරන්නේ නම්, දුකුළා ඇවැත් වේ”සි වදාළ සේක. (15.)
7. එකල්හි භික්‍ෂූහු සිවුරු නැත්තනු උපසපන් කෙරෙති. (ඔහු) නග්න ව පිඬු සිඟා යති. මිනිස්සු “(මොහු) තීර්‍ත්‍ථකයන් වැනි ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සිවුරු නැත්තේ උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසපන් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක. (16.)
8. එකල්හි භික්‍ෂූහු පාසිවුරු නැත්තනු උපසපන් කෙරෙති. (ඔහු) නග්න ව අතින් පිඬු සිඟා යති. “මිනිස්සු (මොහු) තීර්‍ත්‍ථකයන් මෙනැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්, භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. උන්වහන්සේ “මහණෙනි, පාසිවුරු නැත්තෝ උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසපන් කරන්නේ නම්, දුකුළා ඇවැත් වේ” යි වදාළ සේක. (17.)
9. එකල්හි භික්‍ෂූහු පිරුළු ගත් පාත්‍රය ඇත්තහු උපසපන් කෙරෙති. උපසපන් වූ කල්හි පාත්‍රය නැවැත ගෙණ යත්, (ඔහු) අතින් පිඬු සිඟා යති. මිනිස්සු “(මොහු) තීර්‍ත්‍ථකයන් මෙනැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඉල්ලා ගත් පාත්‍රය ඇත්තේ උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසපන් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක. (18.)
10. එකල්හි භික්‍ෂූහු පිරුළු ගත් සිවුරු ඇත්තහු උපසපන් කෙරෙති. උපසපන් වූ කල්හි සිවුර නැවත ගෙණ යත්. නග්න ව පිඬු සිඟා යති. මිනිස්සු “(මොහු) තීර්‍ත්‍ථකයන් මෙනැ’ යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පිරුළු ගත් සිවුරු ඇත්තෝ උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසපන් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක. (19.)
11. එකල්හි භික්‍ෂූහු පිරුළු ගත් පාසිවුරු ඇත්තහු උපසපන් කෙරෙත්. උපසපන් කල්හි පාසිවුරු නැවැත ගෙණ යත්. නග්න ව අතින් පිඬු සිඟා යති. මිනිස්සු “(මොහු) තීර්‍ත්‍ථකයන් මෙනැ”යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඉල්ලා ගත් පාසිවුරු ඇත්තේ උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසපන් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක. (20.)
උපසපන් නො කළ යුතු විසි වර නිමි.
1. එකල්හි භික්‍ෂූහු කැපූ අත් ඇත්තහු පැවිදි කරති. පෙ – කැපූ පා ඇත්තහු පැවිදි කරති. – කැපූ අත්පා ඇත්තහු පැවිදි කරති. – කැපූ කන් ඇත්තහු පැවිදි කරති. – කැපූ නාසය ඇත්තහු පැවිදි කරති. – කැපූ කන් නාස් ඇත්තහු පැවිදි කරති. – කැපූ ඇඟිලි ඇත්තහු පැවිදි කරති. – කැපූ මාපට ඇඟිලි ඇත්තහු පැවිදි කරති. – කැපූ මහනහර ඇත්තහු පැවිදි කරති. – පෙණය වැනි අත් ඇත්තහු පැවිදි කරති. – කුදු වූවහු පැවිදි කරති. – මිටි වූවහු පැවිදි කරති. – ගලගණ්ඩරෝගය ඇත්තහු පැවිදි කරති. – කෙටූ ලකුණු ඇත්තහු පැවිදි කරති. – කසවලින් තළනලද්දහු පැවිදි කරති. – රජ යෙහි ලියා තබනලද්දහු පැවිදි කරති. – බරවාරෝග ඇත්තහු පැවිදි කරති. – නිතර පවත්නා පාපරෝග ඇත්තාහු පැවිදි කරති. – විරූප බැවින් පිරිස දූෂණය කරන්නහු පැවිදි කරති. – එක් ඇසක් (පමණක්) ඇත්තහු පැවිදි කරති. – වක් වූ අත්පා ඇඟිලි ඇත්තහු පැවිදි කරති. – කොර වූවහු පැවිදි කරති. – එක් අතක් හෝ පයක් හෝ සිරුරු අඩක් හෝ නැසුනහු පැවිදි කරති. – පිළා පැවිදි කරති. – ජරාවෙන් දුබල වූවහු පැවිදි කරති. – අන්‍ධයා පැවිදි කරතී. – ගොළුවා පැවිදි කරති. – බිහිරා පැවිදි කරති. – අඳගොළුවා පැවිදි කරති. – අඳබිහිරා පැවිදි කරති. – ගොළුබිහිරා පැවිදි කරති. – පෙ – අඳගොළුබිහිරා පැවිදි කරති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
2. මහණෙනි, කැපූ අත් ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – පෙ – කැපූ පා ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – කැපූ අත්පා ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – කැපූ කන් ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – කැපූ නාස් ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – කැපූ කන්නාස් ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – කැපූ ඇඟිලි ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – කැපූ මාපට ඇඟිලි ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – කැපූ මහනහර ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – පෙණය වැනි අත් ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – කුදා පැවිදි නො කළ යුතු ය. – මිට්ටා පැවිදි නො කළ යුතු ය. – ගලගණ්ඩරෝගය ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – ලකුණු කෙටූයේ පැවිදි නො කළ යුතු ය. – කසයෙන් පැහැරුණේ පැවිදි නො කළ යුතු ය. – රජයෙහි ලියා තැබුයේ පැවිදි නො කළ යුතු ය. – බරවාරෝග ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – පාපරෝග ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – පිරිස් දූෂණය කරන්නේ පැවිදි නො කළ යුතු ය. – එකැස් ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – වක් වූ අත්පා ඇත්තේ පැවිදි නො කළ යුතු ය. – කොර වූයේ පැවිදි නො කළ යුතු ය – එක් අතක් හෝ එක් පයක් හෝ සිරුර අඩක් හෝ නැසුනේ පැවිදි නො කළ යුතු ය. – පිළා පැවිදි නො කළ යුතු ය. – ජරාවෙන් දුබල වූයේ පැවිදි නො කළ යුතු ය. – අන්‍ධයා පැවිදි නො කළ යුතු ය. – ගොළුවා පැවිදි නො කළ යුතු ය. – බිහිරා පැවිදි නො කළ යුතු ය. – අඳගොළුවා පැවිදි නො කළ යුතු ය. – අඳබිහිරා පැවිදි නො කළ යුතු ය. – ගොළුබිහිරා පැවිදි නො කළ යුතු ය. – පෙ – අඳගොළුබිහිරා පැවිදි නො කළ යුතු ය. යමෙක් පැවිදි කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක.
පැවිදි නො කළ යුතු දෙතිස් වාරය නිමි.
නවවන දායාද බණවර නිමි.
1. එකල්හි සවග භික්‍ෂූහු අලජ්ජීන්ට නිස දෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අලජ්ජීන්ට නිස නො දිය යුතු ය. යමෙක් දෙන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක. එකල්හි භික්‍ෂූහු අලජ්ජීන් නිසා වසති. ඔහු ද නොබෝ දිනකින් ම අලජ්ජි වූ ලාමක භික්‍ෂූහු වෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අලජ්ජීන් නිසා නො විසිය යුතු ය. යමෙක් වසන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක.
2. එකල්හි භික්‍ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘අලජ්ජීන්ට නිස නො දිය යුතු ය. අලජ්ජීන් නිසා නො විසිය යුතු ය’ යි නියම කරණ ලද්දේ ය. අපි ‘(මෙ තෙමේ) ලජ්ජී හෝ වේ ද? අලජ්ජී හෝ වේ දැ’? යි කෙසේ නම් දන්නෙමු දැ?” යි අදහස් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. උන්වහන්සේ “මහණෙනි, යම් තාක් භික්‍ෂූන් හා ශීලාදිසභාගත්‍වය දනිම් ද, ඒ තාක් (සිටිමියි) සතර පස් දිනක් බලාපොරොත්තු වන්නට අනුදනිමි” යි වදාළ සේක.
3. එකල්හි එක්තරා භික්‍ෂුනමක් කොසොල්දනව්වෙහි අදන්මගට පිළිපන්නේ ය. එකල්හි ඒ භික්‍ෂුහට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘නිස නැති ව නො විසිය යුතු ය’ යි නියම කරණ ලද්දේ ය. මමත් කට යුතු නිස ඇත්තේ අදන්මගට පිළිපන්නේ වෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. ‘මහණෙනි, අදන්මගට පිළිපන්, නිස නො ලබන්නාවූ මහණහු විසින් නිස නැතු ව වසන්නට අනුදනිමි” යි වදාළ සේක.
4. එකල්හි භික්‍ෂූහු දෙනමක් කොසොල්දනව්වෙහි අදන්මගට පිළිපන්නෝ වෙත්. ඔහු එක්තරා ආවාසයකට ගියහ. ඔවුනතුරෙන් එක් නමක් ගිලන් වෙයි. ඒ ගිලන් භික්‍ෂුහට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘නිස නැති ව නො විසිය යුතු ය’ යි පණවන ලද්දේ ය. මමත් කට යුතු නිස ඇති ගිලනෙක් වෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?”යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගිලන්, නිස නො ලබන, භික්‍ෂූහු විසින් නිස නැති ව වසන්නට අනුදනිමි” යි වදාළ සේක.
5. එකල්හි ඒ ගිලානෝපස්ථායකභික්‍ෂුහට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘නිස නැති ව නො විසිය යුතු ය’ යි පණවන ලදී. මමත් නිස කට යුත්තෙක් වෙමි. මේ මහණ ද ගිලන් ය. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, (ඒ ගිලන් භික්‍ෂුහු විසින්) ඉල්ලනු ලබන, නිස නො ලබන්නාවූ, ගිලානෝපස්ථායක භික්‍ෂූහු විසින් නිස නැති ව වසන්නට අනුදනිමි” යි වදාළ සේක.
6. එකල්හි එක්තරා මහණෙක් වනයෙහි වසයි. ඔහුට ඒ වනසෙනසුනෙහි විසීම පහසු වේ. එකල්හි ඒ භික්‍ෂුහට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘නිස නැති ව නො විසිය යුතු ය’ යි පණවන ලදී. මමත් නිස කට යුත්තේ වනයෙහි වසම්. මට මේ සෙනසුනෙහි විසීම පහසු ය. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වනයෙහි වසන නිස නො ලබන භික්‍ෂුහු විසින් ඵාසු විහරණය සලකා ‘යම් විටෙක සුදුසු වූ නිස දෙන්නෙක් එන්නේ නම්, ඔහු නිසා වසන්නෙමි’ යි සිතා නිස නැති ව වසන්නට අනුදනිමි”යි වදාළ සේක.
7. එකල්හි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට උපසම්පදාපේක්‍ෂකයෙක් වේ. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගේ සමීපයට “ආනන්‍ද ස්ථවිරතෙමේ (මෙහි) ඒවා. (අවුත්) මේ හෙරණහුට කර්‍මවාක්‍යය අස්වාවා” යි දූතයකු යැවූහ. එවිට ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ “මම ස්ථවිරයන් වහන්සේගේ නම කියන්ට අපොහොසත් වෙමි. ස්ථවිරයන් වහන්සේ මාගේ ගුරුය” යි කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගෝත්‍රයෙන් අස්වන්නට* අනුදනිමි” යි වදාළ සේක.
8. එකල්හි ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේට උපසම්පදාපේක්‍ෂකයෝ දෙදෙනෙක් වෙති. “මම පළමු කොට උපසපන් වන්නෙමි. මම පළමු කොට උපසපන් වන්නෙමි” යි ඔහු විවාද කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දෙදෙන එක් අනුසාවණයෙහි උපසපන් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
9. එකල්හි බොහෝ ස්ථවිරයන් වහන්සේලාට උපසම්පදාපේක්‍ෂකයෝ දෙදෙනෙක් වෙති. ඔහු “මම පළමු කොට උපසපන් වන්නෙමි, මම පළමු කොට උපසපන් වන්නෙමි” යි විවාද කෙරෙත්. තෙරහු “ඇවැත්නි, එබැවින් අපි සියලු දෙනා එක් අනුසාවණයෙහි උපසපන් කරමු” යි මෙසේ කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දෙ තුන් දෙනා එක් අනුසාවණයෙහි උපසපන් කරන්නට අනුදනිමි. එ ද එක් උපාද්ධ්‍යාය කෙනෙකුන්ගෙන් ය. නානාඋපාද්ධ්‍යායයන්ගෙන් ඒ නො ම කට යුතු ය” යි වදාළ සේක.
10. එකල්හි ආයුෂ්මත් කුමාරකාශ්‍යප ස්ථවිර තෙමේ ගැබෙහි පටන් විසිවස් ඇත්තෙක් උපසපන් වූයේ වේ. ඉක්බිති ආයුෂ්මත් කුමාර කාශ්‍යපස්ථවිරයන් වහන්සේට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘විසිවසින් අඩු පුද්ගල තෙමේ උපසපන් නො කළ යුතු ය’ යි පණවන ලද්දේ ය. මම ගැබෙහි පටන් විසිවස් ඇත්තේ උපසපන් වූයෙම් වෙම්. මම උපසපන් වූයෙමි දෝ? උපසපන් නො වූයෙම් දෝ?” යි සැකයෙක් පහළ වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මවුකුසෙහි යම් පළමු ප්‍රතිසන්‍ධි චිත්තයක් උපන්නේ ද, යම් පළමු ප්‍රතිසන්‍ධිවිඥානයක් වූයේ ද, එතැන් පටන් ඒ ප්‍රතිසන්‍ධිය ම ඔහුගේ උප්පත්තිය යි. මහණෙනි, ගැබෙහි පටන්, විසිවස් ඇත්තහු උපසපන් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
11. එකල්හි කුෂ්ඨරෝග ඇත්තෝ ද, ගණ්ඩරොග ඇත්තෝද, කිලාසරෝග ඇත්තෝ ද, ක්‍ෂයරොග ඇත්තෝ ද, මීමැස්මොර ඇත්තෝ ද, උපසපන් වූවාහු දක්නා ලැබෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උපසපන් කරන්නහු විසින් තෙළෙස් අන්තරායකරධර්‍මයන් විචාරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ විචාළ යුතු ය: ඔබට කුෂ්ඨ – ගණ්ඩ – කිලාස – ක්‍ෂය – මීමැස්මොර යන මෙබඳු ආබාධයෝ වෙත් ද? මිනිසෙක් වෙහි ද? පුරුෂයෙක් වෙහි ද? නිවහල් වෙහි ද? නය නැත්තේ වෙහි ද? රාජභටයෙක් නො වෙහි ද? මවුපියන් විසින් අනුදන්නා ලද්දේ වෙහි ද? පිරිපුන් විසිවස් ඇත්තේ වෙහි ද? ඔබගේ පාසිවුරු සම්පූර්‍ණ වේ ද? (13) කි නම් ඇත්තෙක් වෙහි ද? ඔබගේ උපාද්ධ්‍යාය තෙමේ කි නම් ඇත්තේ ද?”
12. එකල්හි භික්‍ෂූහු අනුශාසනා නො කළ උපසම්පදාපේක්‍ෂකයන් වෙතින් අන්තරායකාරධර්‍මයන් විචාරති. උපසම්පදාපේක්‍ෂකයෝ කලබල වෙති. ලජ්ජිත වෙති. විසඳන්ට (පිළිතුරු දෙන්ට) නො පොහොසත් වෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පළමු ව අනුශාසනා කොට පසු ව අන්තරායකරධර්‍මයන් විචාරන්නට අනුදනිමි” යි වදාළ සේක. එහි ම සඟ මැද අනුශාසනා කෙරෙත්. උපසම්පදාපේක්‍ෂකයෝ එසේ ම කලබල වෙති. මංකු වෙති. පිළිතුරු දෙන්ට අපොහොසත් වෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පසෙකට ගෙණ අනුශාසනා කොට සඟ මැද දී අන්තරායකරධර්‍මයන් විචාරන්නට අනුදනිමි. මහණෙනි, අනුශාසනා කළ යුත්තේ මෙසේ ය: පළමු කොට උපාද්ධ්‍යායයා ගැන්විය යුතු ය. උපාද්ධ්‍යායයෙකු ගන්වා පා සිවුරු කිය යුතු ය: “මේ ඔබගේ පාත්‍ර ය. මේ සඞ්ඝාටි ය. මේ උත්තරාසඞ්ග ය. මේ අන්තරවාසක ය. යව, අසුවල් අවකාසයෙහි සිටුව”.
13. අඥ වූ අව්‍යක්තයෝ අනුශාසනා කෙරෙත්. වැරදි ලෙසට අනුශාසනා කළ උපසම්පදාපේක්‍ෂකයෝ කලබල වෙති. නො වැටහෙන්නෝ වෙති. විසඳන්ට අපොහොසත් වෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, අඥ වූ අව්‍යක්තයා විසින් අනුශාසනා නො කට යුතු ය. (බාල වූ) යමෙක් අනුශාසනා කරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් අනුශාසනා කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
14. සම්මත නො කරණ ලද භික්‍ෂූහු අනුශාසනා කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සම්මත නො කළ භික්‍ෂුනමක් විසින් අනුශාසනා නො කට යුතු ය. යමෙක් අනුශාසනා කරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, සම්මතය ලැබූවහු විසින් අනුශාසනා කරන්නට අනුදනිමි. මහණෙනි, සම්මතය කළ යුත්තේ මෙසේ ය. තමන් විසින් හෝ තමා සම්මත කට යුතු ය. අනිකකු විසින් හෝ අනෙකෙක් සම්මත කට යුතු ය.”
15. “තමන් විසින් හෝ තමා සම්මත කළ යුත්තේ කෙසේ ද? ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු ය: ‘සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් ඇත්තේ මෙ නම් ඇති ආයුෂ්මත්හුගේ උපසම්පදාපේක්‍ෂකයා වේ. ඉදින් සඞ්ඝයාහට සුදුසු කල් පැමිණියේ වේ නම්, මම මෙ නම් ඇත්තහුට අනුශාසනා කරන්නෙමි’ යි මෙසේ තමන් විසින් හෝ තමා සම්මත කළ යුතු ය.”
16. “අන්‍යයකු විසින් හෝ අනෙකෙක් සම්මත කළ යුත්තේ කෙසේ ද? ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු ය: ‘සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් ඇත්තේ මෙ නම් ඇති ආයුෂ්මත්හුගේ උපසම්පදාපේක්‍ෂකයා වේ. ඉදින් සඞ්ඝයාහට සුදුසු කල් පැමිණියේ නම්, මෙ නම් ඇත්තේ මෙ නම් ඇත්තනුට අනුශාසනා කරන්නේ ය’ යි අන්‍යයකු විසින් හෝ අනෙකෙක් මෙසේ සම්මත කළ යුතු ය.
17. සම්මතය ලද ඒ භික්‍ෂූහු විසින් (උපසම්පදාපේක්‍ෂකයා වෙතට) ගොස් “මෙ නම් ඇත්ත, අසව. මේ ඔබගේ සත්‍යය කිය යුතු කාලය යි. වූවක් කිය යුතු කාලය යි. සඟ මැද විචාරණ කල්හි වූවක් නම් ඇතැ යි කිය යුතු ය. නො වූවක් නම් නැතැයි කිය යුතු ය. ත්‍රස්ත වූවෙක් නො වන්න. හැකිළෙන්නෙක් නො වන්න. ඔබගෙන් මෙසේ විචාරන්නාහු ය: ඔබට කුෂ්ඨ, ගණ්ඩ, කිලාස, ක්‍ෂය, මීමැස්මොර යන මෙබඳු ආබාධයෝ වෙත් ද? මිනිස් වෙහි ද? පිරිමියෙක් වෙහි ද? නිවහලෙක් වෙහි ද? නය නැත්තෙහි ද? රාජභටයෙක් නො වෙහි ද? මවුපියන් විසින් අනුදන්නා ලද්දේ වෙහි ද? පිරිපුන් විසි වස් ඇත්තෙහි ද? ඔබගේ පාසිවුරු සම්පූර්‍ණ ද? කි නම් ඇත්තෙහි ද? ඔබගේ උපාද්ධ්‍යාය තෙමේ කි නම් ඇත්තේ වේ දැ?’ යි මෙසේ ඇසිය යුතු වන්නේ ය.”
18. (අනුශාසනා කළ භික්‍ෂූහු අනුශිෂ්ට උපසම්පදාපේක්‍ෂකයන් හා එක් ව එති. “මහණෙනි, එක් ව නො ආ යුතු ය අනුශාසකයා පළමු කොට අවුත් සඞ්ඝයාට මෙසේ දැන්විය යුතු ය:
19. “සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ නම් ඇත්තේ මෙ නම් ඇති ආයුෂ්මත්හට උපසම්පදාපේක්‍ෂක වේ. මා විසින් හෙ තෙමේ අනුශාසනා කරණ ලද්දේ ය. ඉදින් සඞ්ඝයාට කල් පැමිණියේ නම්, මෙ නම් ඇත්තේ එන්නේ ය. එව යි කිය යුතු ය.”
20. උතුරුසඟසිවුර එකස් කරවා භික්‍ෂූන්ගේ පා වඳවා උක්කුටිකයෙන් හිඳුවා ඇඳිලි ගන්වා උපසම්පදාව යාච්ඤා කරවිය යුතු ය.
21. “ස්වාමීනි, සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්ලමි. අනුකම්පා කොට සඞ්ඝ තෙමේ මා සාමණේරභාවයෙන් උදුරාවා. දෙවනු ව ද ස්වාමීනි, සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්ලමි. අනුකම්පා කොට සඞ්ඝ තෙමේ මා සාමණේරභාවයෙන් උදුරාවා. තෙවනු ව ද ස්වාමීනි, සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්ලමි, අනුකම්පා කොට සඞ්ඝ තෙමේ මා සාමණේරභාවයෙන් උදුරාවා.”
22. “ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝයාට මෙසේ දැන්විය යුතු ය. ‘සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් ඇති මෙ තෙමේ මෙ නම් ඇති ආයුෂ්මත්හුගේ උපසම්පදාපේක්‍ෂක වේ. ඉදින් සඞ්ඝයාට පැමිණ කල් ඇත්තේ නම්, මම මෙ නම් ඇත්තාගෙන් අන්තරායකාර ධර්‍මයන් විචාරන්නෙමි. මෙ නම් ඇත්ත, අසව. මේ තාගේ ඇත්ත කිය යුතු කාලය යි. වූවක් කිය යුතු කාලය යි. යමක් වූයේ නම් එය අසමි. වූවක් නම් ඇතැ යි කිය යුතු ය. නො වූවක් නම් නැතැයි කිය යුතු ය. ඔබට කුෂ්ඨ, ගණ්ඩ, කිලාස, ක්‍ෂය, මීමැස්මොර යන මෙබඳු ආබාධයෝ වෙත් ද? මිනිස් වෙහි ද? පිරිමියෙක් වෙහි ද? නිවහලෙක් වෙහි ද? නය නැත්තෙහි ද? රාජභටයෙක් නො වෙහි ද? මවුපියන් විසින් අනුදන්නා ලද්දේ වෙහි ද? පිරිපුන් විසි වස් ඇත්තෙහි ද? ඔබගේ පාසිවුරු සම්පූර්‍ණ ද? කිනම් ඇත්තෙහි ද? ඔබගේ උපාද්ධ්‍යාය තෙමේ කි නම් ඇත්තේ ද?
23. “ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝයාට මෙසේ දැන්විය යුතු ය: ‘සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම ඇති මෙ තෙමේ මෙ නම් ඇති ආයුෂ්මත්හට උපසම්පදාපේක්‍ෂක වේ. අන්තරායකරධර්‍මයන් ගෙන් පිරිසිදු ය. මොහුගේ පාසිවුරු සම්පූර්‍ණ ය. මේ නම් ඇත්තේ මෙ නම් ඇත්තහු උපාද්ධ්‍යාය කොට ගෙණ සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්ලයි. සඞ්ඝයාට කල් පැමිණියේ නම් සඞ්ඝ තෙමේ මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව මෙ නම් ඇත්තහු උපසපන් කරන්නේ ය. මේ දැන්වීම ය.
24. ස්වාමීනි, ‘සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් ඇත්තේ මෙ නම් ඇති ආයුෂ්මත්හට උපසම්පදාපේක්‍ෂක වේ. අන්තරායකරධර්‍මයන්ගෙන් පිරිසිදු ය. මොහුගේ පාසිවුරු සම්පූර්‍ණ ය. මෙ නම් ඇත්තේ මෙ නම් ඇත්තහු උපාද්ධ්‍යාය කොට ගෙණ සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්ලයි. සඞ්ඝ තෙමේ මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව මෙ නම් ඇත්තහු උපසපන් කරයි. මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව මෙ නම් ඇත්තහුගේ උපසම්පදාව යම් ආයුෂ්මතෙකුහට රුචි වේ නම්, හෙ තෙමේ නිශ්ශබ්ද වේවා. යමෙකුට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා.
25. “දෙවනුව ද මේ කරුණ කියමි. ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් ඇත්තේ මෙ නම් ඇති ආයුෂ්මත්හට උපසම්පදාපේක්‍ෂක වේ. අන්තරායකරධර්‍මයන්ගෙන් පිරිසිදු ය. මොහුගේ පාසිවුරු සම්පූර්‍ණ ය. මෙ නම් ඇත්තේ මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්ලයි. සඞ්ඝ තෙමේ මෙ නම ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව මෙ නම් ඇත්තහු උපසපන් කරයි. මෙ නම ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත වූ මෙ නම් ඇත්තහුගේ උපසම්පදාව යම් ආයුෂ්මතෙකුහට රුචි වේ නම්, හෙ තෙමේ නිශ්ශබ්ද වේවා. යමෙකුට රුචි නො වේ නම්, හෙතෙමේ කියාවා.”
26. “තෙවනුව ද මේ කරුණ කියමි. ස්වාමීනි, සඞ්ඝතෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් ඇත්තේ මෙ නම් ඇති ආයුෂ්මත්හුගේ උපසම්පදාපේක්‍ෂකයෙකි. අන්තරායකරධර්‍මයන්ගෙන් පිරිසිදු ය. මොහුගේ පාසිවුරු සම්පූර්‍ණ ය. මෙ නම් ඇත්තේ මෙ නම් ඇති උපාද්‍යායයාගෙන් යුක්ත ව සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්ලයි. සඞ්ඝ තෙමේ මෙ නම් ඇත්තහු මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව උපසපන් කරයි. මෙනම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත වූ මෙ නම් ඇත්තහුගේ උපසම්පදාව යම් ආයුෂ්මතෙකුහට රුචි වේ නම්, හෙ තෙමේ නිශ්ශබ්ද වේවා. යමෙකුට රුචි නො වේ නම්, හෙතෙමේ කියාවා.”
27. “සඞ්ඝයා විසින් මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව මෙ නම් ඇත්තේ උපසපන් කරණ ලද්දේ ය. සඞ්ඝයාට එය රුචි වේ. එහෙයින් තුෂ්ණීම්භූත වේ. මෙය මෙසේ දරමි.”
උපසම්පදාකර්‍මය නිමි.
1. උපසපන් කිරීමට අනතුරු ව (උපසපන් වේලාව දැනගැණීමට) පියවර මැනිය යුතු ය. ඍතුප්‍රමාණය කිය යුතු ය. දවස පිළිබඳ පෙරවරු පස්වරු කිය යුතු ය. සඞ්ගීතිය කිය යුතු ය. නිස සතර කිය යුතු ය.
2. පැවිද්ද සිඟා ලත් බත්පිඬු නිසා ය. තා විසින් දිවි තෙක් ඒ පිණ්ඩියාලෝපභෝජනයෙහි උත්සාහ කට යුතු ය. සඞ්ඝයා පිණිස දෙන බත, උදෙසා දෙන බත, ආරාධනා කොට දෙන බත, කුසපත් හෙළා දෙන බත, පසළොස් දිනකට වරක් දෙන බත, පොහෝදිනයෙහි දෙන බත, පෑළවියෙහි දෙන බත – යන මෙය අතිරේක ලාභය යි. (1)
3. පැවිද්ද පංසුකූලසිවුර නිසා ය. තා විසින් දිවි තෙක් ඒ පංසු කුලචීවරයෙහි උත්සාහ කට යුතු ය. කොමු, කපු, කෝසෙය්‍ය, කම්බිලි, හණ, මිශ්‍ර පිළී – යන මෙය අතිරේක ලාභය යි. (2)
4. පැවිද්ද රුක්මුල්සෙනසුන නිසා ය. තා විසින් දිවි තෙක් ඒ රුක්ඛ මූලසෙනාසනයෙහි උත්සාහ කට යුතු ය. වෙහෙර, ගුරුළු පියාපත් වැනි වහල ඇති ගෙය, සිවු රැස් ගෙය, සඳලු සහිත ගෙය, ගුහා – යන මෙය අතිරේක ලාභයි. (3)
5. පැවිද්ද ගොමූත්‍ර බෙහෙත් නිසා ය. තා විසින් දිවි තෙක් ඒ පූති මුත්තභේසජ්ජයෙහි උත්සාහ කට යුතු ය. ගිතෙල්, වෙඬරු, තෙල්, මී, උක්සකුරු – යන මෙය අතිරේක ලාභ යි. (4)
සතර නිස නිමි.
1. එකල්හි භික්‍ෂූහු එක්තරා භික්‍ෂුනමක් උපසපන් කොට තනි ව හැර දමා ගියහ. හෙ තෙමේ පසු ව තනි ව එන්නේ අතරමග දී පෙර බිරිඳට හමු වි ය. ඕතොමෝ “කොහොම ද? දැන් පැවිදි වූයෙහි දැ?” යි ඇසූ ය. “ඔව්. දැන් පැවිදි වූයෙමි”(යි හේ කී ය). “පැවිද්දනට මෛථුන ධර්‍මය ලැබීම පහසු නො වේ. එන්න, මෙවුන්දම් සේවනය කරන්නැ” යි කීවා ය. ඒ භික්‍ෂු තෙමේ ඈ හා මෙවුන්දම් සේවනය කොට බොහෝ වේලාවක් ගෙවා භික්‍ෂූන් වෙත ගියේ ය. එකල්හි භික්‍ෂූහු “ඇවැත්නි, ඔබ කුමක් නිසා බොහෝ කල් ගෙවූවෝ දැ” යි ඇසූහ. එවිට ඒ භික්‍ෂු තෙමේ සියලු කරුණු භික්‍ෂූන්ට සැළකෙළේ ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. උන්වහන්සේ “මහණෙනි, උපසපන් කොට දෙ වැන්නෙකු දෙන්නට ද, නො කට යුතු කරුණු සතර කියන්නට ද අනුදනිමි” යි වදාළ සේක.
2. උපසපන් මහණහු විසින් යටත් පිරිසෙයින් තිරිසන් ගිය මාගමක හා ද මෙවුන්දම් නො සෙවිය යුතු ය. යම් මහණෙක් මෙවුන්දම් සේවනය කෙරේ නම්, හෙ තෙමේ ශ්‍රමණයෙක් නො වේ. ශාක්‍යපුත්‍රයෙක් නො වේ. හිස් සිඳි පුරුෂයෙක් ඒ ශරීරබන්‍ධනයෙන් ජීවත් වන්නට යම් සේ හැකි නො වේ ද, එ පරිද්දෙන් ම මහණ තෙමේ මෙවුන්දම් සේවනය කිරීම හේතු කොට ශ්‍රමණශාක්‍යපුත්‍රයෙක් නො වේ. තා විසින් ඒ මෙවුන්දම් සේවනය දිවි තෙක් නො කට යුතු ය. (1)
3. උපසපන් මහණහු විසින් යටත් පිරිසෙයින් තණකූරක් පටන් වූ නොදුන් දෙයක් සොරසිතින් නො ගත යුතු ය. යම් මහණෙක් කහවණු වෙන් සතරෙන් කොටස වූ පාදයක් හෝ පාදයක් අගනා වූ හෝ පාදය කට වැඩි තරම් වූ හෝ නො දුන් දෙයක් සොර සිතින් ගණී ද, හෙතෙමේ ශ්‍රමණයෙක් නො වේ. ශාක්‍යපුත්‍රයෙක් නො වේ. නැට්ටෙන් ගැලවුනු ඉදුනු කොළයක් නිල්වන් වීමට යම් සේ නො සුදුසු වේ ද, එපරිද්දෙන් ම මහණ තෙමේ පාදයක් වූ හෝ පාදයක් අගනා වූ හෝ පාදයකට වැඩි තරම් වූ හෝ නො දුන් දෙයක් සොර සිතින් ගැණීම හේතු කොට ශ්‍රමණශාක්‍යපුත්‍රයෙක් නො වේ. තා විසින් ඒ සොරකම දිවි තෙක් නො කට යුතු ය. (2)
4. උපසපන් මහණහු විසින් දැන දැන යටත් පිරිසෙයින් කුරුකුහුඹුවෙකු පටන් පණැති සතෙකු ජීවිතයෙන් තොර නො කළ යුතු ය. යම් මහණෙක් දැන දැන යටත් පිරිසෙයින් ගැබ් හෙළීම පටන් මිනිස් සිරුරක් ජීවිතයෙන් තොර කෙරේ ද, හෙ තෙමේ ශ්‍රමණයෙක් නො වේ. ශාක්‍යපුත්‍රයෙක් නො වේ. යම් සේ දෙකට බිඳුනු මහත් ගලෙක් නො ගැළපිය හැකි වේ ද, එ පරිද්දෙන් ම මහණෙක් තෙමේ දැන දැන මිනිස් සිරුරක් ජීවිතයෙන් තොර කිරීම් හේතුවෙන් ශ්‍රමණශාක්‍යපුත්‍රයෙක් නො වේ. තා විසින් එය දිවි තෙක් නො කට යුතු ය. (3)
5. උපසපන් මහණහු විසින් ධ්‍යානාදි උත්තරිමනුෂ්‍යධර්‍මය නො කිය යුතු ය. යටත් පිරිසෙයින් ශුන්‍යාගාරයෙහි ඇලෙමි යි ද නො කිය යුතු ය. යම් මහණෙක් තෙමේ ලාමක ආසා ඇත්තේ ආසාවෙන් මඩනා ලද්දේ විද්‍යමාන නො වූ ධ්‍යානයක් හෝ විමෝක්‍ෂයක් හෝ සමාධියක් හෝ සමාපත්තියක් හෝ මාර්‍ගයක් හෝ ඵලයක් හෝ යන උත්තරිමනුෂ්‍ය ධර්‍මය කියා ද, (හෙ තෙමේ) ශ්‍රමණයෙක් නො වේ. ශාක්‍යපුත්‍රයෙක් නො වේ. කරටිය කපා හළ තල්ගස නැවත හට ගැණිමට යම් සේ සුදුසු නො වේ ද, එ පරිද්දෙන් ම ලාමක ආසා ඇති ආසාවෙන් මැඩුනු ඒ මහණ තෙමේ අවිද්‍යමාන වු උත්තරිමනුෂ්‍යධර්‍මය කියා පෑම හේතු කොට ශ්‍රමණශාක්‍යපුත්‍රයෙක් නො වේ. ‘තා විසින් එය දිවි තෙක් නො කට යුතු ය. (4)
සතර අකරණීයයෝ නිමි.
1. එකල්හි එක්තරා මහණෙක් තෙමේ ඇවැත් නො දැක්මෙහි උත්ක්‍ෂේපණීයකර්‍මය කරණ ලද්දේ සිවුරු හැර ගියේ ය. හෙතෙමේ නැවත පෙරළා අවුත් භික්‍ෂූන්ගෙන් උපසම්පදාව ඉල්ලී ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
2. “මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් තෙමේ ඇවැත් නො දැක්මෙහි උත්ක්‍ෂේපණීයකර්‍මය කරණ ලද්දේ සිවුරු හරියි. හෙ තෙමේ නැවත පෙරළා අවුත් භික්‍ෂූන්ගෙන් උපසම්පදාව ඉල්ලයි. එකල්හි ඔහුට ‘ඒ ඇවැත දකින්නෙහි දැ?’ යි කිය යුතු ය. ඉදින් ‘මම දකින්නෙමි’ යි කියා නම්, පැවිදි කළ යුතු ය. ඉදින් ‘මම නො දකින්නෙමි’ යි කියා නම්, පැවිදි නො කළ යුතු ය. පැවිදි කොට ‘ඒ ඇවැත දකින්නෙහි දැ’ යි කිය යුතු ය. ඉදින් ‘මම දකින්නෙමි’ යි කියා නම්, උපසපන් කළ යුතු ය. ඉදින් ‘මම නො දකින්නෙමි’ යි කියා නම්, උපසපන් නො කළ යුතු ය. උපසපන් කොට ‘ඒ ඇවැත දකින්නෙහි දැ’ යි කිය යුතු ය. ඉදින් ‘මම දකින්නෙමි’ යි කියා නම්, (සඟ පිරිසට) ඇතුළත් කර ගත යුතු ය. ‘මම නො දකින්නෙමි’ යි කියා නම්, ඇතුළත් කර නො ගත යුතු ය. ඇතුළත් කොට ‘ඒ ඇවැත දකුව’ යි කිය යුතු ය. ඉදින් දකී නම්, මෙය යහපත් ය. ඉදින් නො දකී නම්, සමගිය ලැබෙන කල නැවත උත්ක්‍ෂේපණීයකර්‍මය කළ යුතු ය. සමගිය නො ලත් කල ප්‍රත්‍යයසම්භෝගයෙහි ද සමාන සංවාසයෙහි ද ඇවැත් නො වේ.”
3. “මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් තෙමේ ඇවැතට පිළියම් නො කිරීමෙහි උත්ක්‍ෂේපණීයකර්‍මය කරණ ලද්දේ සිවුරු හරියි. හෙතෙමේ නැවත පෙරළා අවුත් භික්‍ෂූන්ගෙන් උපසම්පදාව ඉල්ලයි. ඔහුට ‘ඒ ඇවැතට පිළියම් කරන්නෙහි දැ?’ යි මෙසේ කිය යුතු ය. ඉදින් “මම පිළියම් කරන්නෙමි’ යි කියා නම්, පැවිදි කළ යුතු ය. ඉදින් ‘මම පිළියම් නො කරන්නෙමි’ යි කියා නම් පැවිදි නො කළ යුතු ය. පැවිදි කොට ‘ඒ ඇවැතට පිළියම් කරන්නෙහි දැ?’ යි කිය යුතු ය. ඉදින් ‘මම පිළියම් කරන්නෙමි’ යි කියා නම්, උපසපන් කළ යුතු ය. ඉදින් ‘මම පිළියම් නො කරන්නෙමි’ යි කියා නම්, උපසපන් නො කළ යුතු ය. උපසපන් කොට ‘ඒ ඇවැතට පිළියම් කරන්නෙහි දැ’ යි කිය යුතු ය. ඉදින් ‘මම පිළියම් කරන්නෙමි’ යි කියා නම්, (සඟ පිරිසට) ඇතුළත් කළ යුතු ය. ‘ඉදින් මම පිළියම් නො කරන්නෙමි’ යි කියා නම්, ඇතුළත් නො කළ යුතු ය. ඇතුළත් කොට ‘ඒ ඇවැතට පිළියම් කරව’ යි කිය යුතු ය. ඉදින් පිළියම් කෙරේ නම්, මෙය යහපත් ය. පිළියම් නො කෙරේ නම්, සමගිය ලැබෙන කල නැවත උත්ක්‍ෂේපණීයකර්‍මය කළ යුතු ය. සමගිය නො ලැබෙන කල ප්‍රත්‍යයසම්භෝගයෙහි ද සමාන සංවාසයෙහි ද ඇවැත් නො වේ.”
4. “මහණෙනි, මේ ශාසනයෙහි මහාණෙක් තෙමේ ලාමකදෘෂ්ටිය නො හැරීමෙහි උත්ක්‍ෂේපණීයකර්‍මය කරණ ලද්දේ සිවුරු හරියි. හෙතෙමේ නැවත පෙරළා අවුත් භික්‍ෂූන්ගෙන් උපසම්පදාව ඉල්ලයි. ඔහුට ‘ඒ ලාමකදෘෂ්ටිය හරින්නෙහි දැ?’ යි කිය යුතු ය. ඉදින් ‘මම හරින්නෙමි’යි කියා නම්, පැවිදි කළ යුතු ය. ‘ඉදින් මම නො හරින්නෙමි’ යි කියා නම්, පැවිදි නො කළ යුතු ය. පැවිදි කොට ‘ඒ ලාමකදෘෂ්ටිය හරින්නෙහි දැ?’ යි කිය යුතු ය. ‘ඉදින් මම හරින්නෙමි’ යි කියා නම්, උපසපන් කළ යුතු ය. ඉදින් ‘මම නො හරින්නෙමි’ යි කියා නම් උපසපන් නො කළ යුතු ය. උපසපන් කොට ‘ඒ ලාමකදෘෂ්ටිය දුරු කරන්නෙහි දැ?’ යි කිය යුතු ය. ඉදින් ‘මම දුරුකරන්නෙමි’ යි කියා නම්, (සඟ පිරිසට) ඇතුළත් කළ යුතු ය. ‘මම දුරු නො කරන්නෙමි’ යි කියා නම්, ඇතුළත් නො කළ යුතු ය. ඇතුළත් කොට ‘ඒ ලාමකදෘෂ්ටිය හරුව’ යි කිය යුතු ය. ඉදින් හරින්නේ නම්, යහපත් ය. නො හරින්නේ නම්, සමගිය ලැබෙන කල නැවත උත්ක්‍ෂේපණීයකර්‍මය කළ යුතු ය. සමගිය නො ලැබෙන කල ප්‍රත්‍යසම්භෝගයෙහි ද සමානසංවාසයෙහි ද ඇවැත් නො වේ.”
ප්‍රථම වූ මහාඛන්‍ධකය නිමි.
1. ප්‍රියශීලි භික්‍ෂූන්ට සැප එළවන්නා වූ, ලාමක ආශා ඇති භික්‍ෂූන්ට නිග්‍රහ කිරීමට කරුණු වූ, ලජ්ජි භික්‍ෂූන්ට රුකුලක් වූ, ත්‍රිවිධ ශාසනය දරන්නා වූ, සියල්ල දත් බුදුරජුන්ට විෂය වූ, අන්‍යයනට විෂය නොවූ, බිය රහිත වූ, මනා කොට පණවන ලද, සැක රහිත වූ, මහත් අර්‍ත්‍ථ ඇති විනය පිටකය ඇති කල්හි ඛන්‍ධක විනයෙහි ද පරිවාර විනයෙහි ද මාතෘකා විනයෙහි ද අරුත් පරිදි කරන්නා වූ දක්‍ෂ පුද්ගල තෙමේ නුවණින් පිළිපදී.
2. යමෙක් (තමාගේ) ගව රැළ (මෙතෙකැ යි) නො දනී ද, හෙතෙමේ ගව සමූහයා නො රකී. එපරිද්දෙන් සීලය නො දන්නා වූ ඒ පුද්ගල තෙමේ කිනම් සංවරයක් රකින්නේ ද?
3. සූත්‍රපිටකය පිරිහී ගියත් එසේ ම අභිධර්‍මපිටකය පිරිහී ගියත් විනයපිටකය නො නැසී පවත්නා තාක් ශාසනය පවත්නේ ය.
4. එහෙයින් සඞ්ග්‍රහ කිරීමට හේතු වූ උද්දානය (වස්තුනාමාවලිය) පිළිවෙළින් න්‍යායානුකූලව කියන්නෙමි. කියන්නා වූ මාගේ වචනය අසවු.
5. වස්තු – නිදාන – ආපත්ති – නය – පෙය්‍යාල යන ඒ සියල්ල සම්පූර්‍ණ කොට දැක්වීම දුෂ්කර වේ. ක්‍රමය අනු ව එය දැන ගණිවු.
6. බෝධිකථා ද මුචලින්‍දකථා ද රාජායතනකථා ද අජපාලකථා ද සහම්පතිබ්‍රහ්මායාචනකථා ද ආළාර–කාලාමකථා ද උද්දකරාමපුත්‍රකථා ද පඤ්චවර්‍ගගීයකථා ද උපකාජීවකකථා ද වෙයි.
7. කොණ්ඩඤ්ඤ– භද්දිය– වප්ප– මහානාම– අස්සජී– යස යන ස්ථවිර– කථා ද චස්තුසහායකකථා ද පඤ්ඤාසසහායකකථා ද වෙයි. බුදුරජානන් වහන්සේ මේ සියලු භික්‍ෂූන් දහම් දෙසන්නට ඒ ඒ දිශාවන්හි යැවූහ.
8. රත්නත්‍රයශරණගමනකථා ද මාරකථා ද තිංසභද්දවග්ගියගකකථා ද උරුවේල– නදී– ගයාකස්සප ජටිලදමනකථා ද ගිනිහල් ගෙට පිවිසීම ද සතරවරම් මහරජුන්ගේ පැමිණීම ද සක්දෙවිඳුගේ පැමිණීම ද මහා බ්‍රහ්මයාගේ පැමිණීම ද අඟුමගද වැස්සන්ගේ පැමිණීම ද වෙයි.
9. පංසුකූලය ලැබීම, පොකුණක් සෑරීම, ගලක් එළවීම, කකුධකථා, සිලාකථා, ජම්බු– අම්බ– ආමලකී– පාරිච්ඡත්තකකථා ද වෙයි.
10. දඬු පැළීම, ගිනි දැල්වීම, ගිනි නිවීම, දියෙහි ගිලීම, නොකල් වැස්ස, ගයාහි විසීම, ලට්ඨිවනයෙහි විසීම, බිම්සරරජු බුදුරජුන් සරණ යෑම ද වෙයි.
11. උපතිස්ස– කෝලිතපරිව්‍රාජක, අභිඥාතපුරුෂ – යන කථා ද වෙයි. මොහු හැමදෙන පැවිදි වූහ. නො සකස් ව හැඳීම – පෙරවීම හා අපනාමනය ද රාධබ්‍රාහ්මණයාගේ පැවිද්ද ද වෙයි.
12. අනාචාරයෙහි හැසිරෙයි. උදරය නිසා පැවිදිවීම ද මාණවකයකු නිස්සය සතර පිළිකුල් කොට පැවිදි නො වීම ද ගණොපසම්පදාව ද ඌනදසවස්සික වූ භික්‍ෂූන් විසින් සද්ධිවිහාරිකයන් උපසපන් නො කටයුතු බව ද ධර්‍මවිනය නො දත්තන් උපසපන් නො කටයුතු බව හා උපාද්ධ්‍යායයන් බැහැර යෑම ද දසවස් නිස ගැණීම හා නිස දීම ද – වෙයි.
13. නො මනා පැවැත්ම, අපනාමනය, නො වියත්නිසැදුරු, නිස සන්සිඳුම් පස හා සය, තීර්‍ත්‍ථකයන් වෙතින් ආවුන් උපසපන් නො කිරීම, අන්‍ය තීර්‍ත්‍ථකපරිවාසය, නග්නයනට සිවුරු දීම, භණ්ඩුකර්‍මය, කර්‍මක්‍රියාවාදීන්ගේ පැවිදි උපසම්පදා, අන්‍යතීර්‍ත්‍ථකශාක්‍යයන්ගේ පැවිදි උපසම්පදා යන මේ ද වෙයි.
14. මගදදනව්වෙහි පඤ්ච ආබාධයන්ගෙන් මැඩුනවුන් පැවිදි උපසපන් නො කිරීම, රාජභටයන් පැවිදි නො කිරීම, අඟුල්මල් සොරු පිළිබඳ පුවත, බිම්සරරජු කළ තහනම, සිරගෙය බිඳ පලා ගිය – රජයේ ලියාතැබූ– කස පහර කෑ සොරුන් පැවිදි නො කිරීම යන මේ ද වෙයි.
15. ලකුණු කෙටූ සොරුන් – නය ගැතියන් – දාසයන් පැවිදි නො කිරීම, භණ්ඩුකර්‍මය අනුදැනීම, (විසි වස් නො පිරුණු) සප්තදශවර්‍ගිකයන්ගේ උපසම්පදාප්‍රතික්‍ෂේපය, අහිවාතකරෝගීකුලයෙන් පැවිදි වීම, අහිවාතක රෝගයෙන් මිය ගියවුන් ඇති ශ්‍රද්ධාවත්කුලයෙන් පැවිදි වීම, කණ්ටකපැවිද්ද, ආහුන්‍දරිකවස්තුව යන මේ ද වෙයි.
16. නිස සමාදන් ව විසිය යුතු නො විසිය යුතු කාලය, පැවිද්ද, සිකපද අනුදැනීම, ගරු බුහුමන් නැති ව විසීම, දඬුවම් කිම් දැ යි පිළිවිසීම, සියලු සඞ්ඝාරාමය ඇවිරීම, මුඛද්වාරිකවස්තුව, උපාද්ධ්‍යායයන් නො විචාරා ඇවිරීම, තමන්ට නතු කර ගැණීම, කණ්ටකහෙරණහු කණ්ටකී හෙරණිය දූෂිත කිරීම යන මේ ද වේ.
17-18. පණ්ඩක – ථෙය්‍යසංවාසක – නාග–මාතෘඝාතක–පිතෘඝාතක – අරහන්තඝාතක – භික්ඛුණීදූසක – සඞ්ඝභේදක – ලෝහිතුප්පාදක – උභතෝ බ්‍යඤ්ජනකයන් පැවිදි උපසපන් නො කිරීම, සිවුරෙන් මුදා ලීම, අනුපජ්ඣායක– සඞ්ඝ – ගණ – පණ්ඩකාදි උපජ්ඣාය උපසම්පදාප්‍රතික්‍ෂේපය, අපත්තක – අචීවරක – අපත්ත අචීවරක උපසම්පදා ප්‍රතික්‍ෂේපය, පිරුළෙන් ගත් පාත්‍රය – චීවරය – පාත්‍රචීවරය ගෙණ උපසපන් නො කිරීම යන මේ ද වේ.